ඉහල නැගෙන චීන-විරෝධී ප්‍රකෝපකරනයන් මධ්‍යයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝ ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ සූදානමින්

මේ මාසය අවසානයේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවට කරන සංචාරයේ දී, ශ්‍රී ලංකාවට ද පැමිනෙනු ඇති බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලඹගේ පසුගිය සති අන්තයේ නිවේදනය කලේ ය.

විදෙස් පිලිවෙත, ආරක්ෂක හා මූලෝපායික කටයුතු ගැන සාකච්ඡා කිරීම පිනිස, පොම්පියෝ හා ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඔවුන්ගේ ඉන්දියානු හවුල්කරුවන් සමග ඉහල ම පෙලේ [විදෙස් සහ ආරක්ෂක අමාත්‍යංශ අතර] 2+2 හමුවක් සඳහා, නව දිල්ලියට සංචාරය කරනු ඇත.

පොම්පියෝ ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිනීමට කලින් සැලසුම් කර තිබුන ද ජපානයේ පැවති ජී20 සමුලුව හේතුවෙන් එම සංචාරය අවලංගු කරනු ලැබී ය. ඉහල පෙලේ එක්සත් ජනපද නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිනි මෑත ම සංචාරය වූයේ, 2015 අගෝස්තුවේ දී එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ පැමිනීම යි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තනතුරෙන් ඉවත් කිරීමට, 2015 ජනවාරි ජනාධිපතිවරනයේ දී වොෂින්ටනය ක්‍රියාවට දැමූ මෙහෙයුමකින් අනතුරු ව, කෙරී ශ්‍රී ලංකාවට සංචාරය කලේ ය. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන තන්ත්‍රයට සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි එහි යුද්ධයට එක්සත් ජනපදය පිටු බලය දුන්නේ  වී නමුත්, ආර්ථික සහයෝගය හා මිලිටරි යන්ත්‍රෝපකරන පතා ඔහු බෙයිජිනය සමග ගොඩනගා ගෙන තිබූ සබඳතාවන්ට ඔවුන් හතුරු විය.

බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් රට ලැබූ නිදහස සමරන සංවත්සරික උත්සවයකට සහභාගි වන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ [ඡායාරූපය අනුග්‍රහය: ඒපී ෆොටෝ/එරංග ජයවර්ධන]

පොම්පියෝ හා එස්පර්ගේ ඉන්දු උප-මහාද්වීපීය සංචාරය සිදු වන්නේ, බෙයිජිනයට එරෙහි වොෂින්ටනයේ යුදකාමීත්වය ආසියා පැසිෆික් කලාපය තුල භූ-දේශපාලන ආතතීන් නව ඉහලකට නංවා තිබෙන අතරතුර ය.

චීන-විරෝධී එකමුතුවක් වන, එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ හා ජපානයේ විදේශ ඇමතිවරුන්ගේ චතුර්-පාර්ශවික ආරක්ෂක සංවාදය (ක්වොඩ්) සඳහා පසුගිය සතියේ දී ඔවුන් ටෝකියෝවේ දී හමු වූ අවස්ථාවේ, චීන-ඉන්දීය දේශසීමාව දිගේ සොල්දාදුවන් 60,000ක් දිගේලි කිරීම පිලිබඳ ව පොම්පියෝ චීනය හෙලා දැක්කේ ය.

“මෙම සටනේ දී, එක්සත් ජනපදය ඉන්දියාවේ සහකරුවා වීම ඔවුන්ට ඒකාන්තයෙන් ම අවශ්‍ය යි” යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කලේ ය. “චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පැනවීමට උත්සාහ කරන තර්ජනවලට සම්බන්ධ සැබෑ අන්තරායන්ට” ක්වොඩ් රටවල් මුහුන දෙන බව ඔහු කීවේ ය. “අපි ඔවුන්ට මුහුන දී ඔවුන්ට වන්දි ගෙවීමට සැලැස්වීමට සූදානම් වෙමින් සිටීමේ” සංඥාව, කලාපය තුල එක්සත් ජනපදයේ ඍජු මිලිටරි මැදිහත් වීම මගින් චීනයට යවනු ඇතැයි ඔහු ප්‍රකෝපකාරී ලෙස තව දුරටත් සඳහන් කලේ ය.

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දිරිමත් කරනු ලබන එක්සත් ජනපදය සමග වන සමීප සබඳතාවන් දශකයක් තිස්සේ ගොඩ නගා ගැනීමෙන් පසු, බෙයිජිනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි, දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රනයන්ගේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව දැන් පත්ව ඇත.

එක්සත් ජනපදයේ සහයෝගය ලබන නව දිල්ලිය, චීනය සමග පවතින දීර්ඝ-කාලීන දේශසීමා අර්බුදයන් ගැන එහි ස්ථාවරය දැඩි කර ඇත. න්‍යෂ්ටික ව සන්නද්ධ ඉන්දියාව හා චීනය අතර ඇති වන ඕනෑම යුද පුපුරා යාමක්, විනාශකාරී විපාක සහිත ගෝලීය අග්නි ජාලාවකට තුඩු දිය හැක.

චීනයේ ආර්ථික පන නල ලෙස සේවය කරන ඉන්දියන් සාගරයේ ප්‍රධාන නාවික වෙලඳ ගමන් මාර්ගවලින් යන්තමින් උතුරට වන්නට පිහිටි ශ්‍රී ලංකාව, කලාපය තුල තම යුද සැලසුම්වලට තීරනාත්මක යයි එක්සත් ජනපදය විසින් සලකනු ලබයි.

පොම්පියෝගේ සංචාරයේ දී, වොෂින්ටනය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිත එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්සීසී) දීමනාව ගැන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සමග පොම්පියෝ සාකච්ඡා කරනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ ය.

එක්සත් ජනපද-විරෝධී ලෙස ව්‍යාජ ව පෙනී සිටීම සඳහා, ජනාධිපතිවරනයේ දී හා මහ මැතිවරනයේ දී රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන එම්සීසී ගිවිසුම විවේචනය කිරීම හේතුවෙන්, එය අවසානයකට ගෙන ඒම ඇන හිටියේ ය. සමහර “වෙනස්කම්” සහිත ව ගිවිසුමට අත්සන් තබන බවට මැතිවරනවලින් පසුව ආන්ඩුව ඉඟි කලේ ය.

දිවයින පුරා එක්සත් ජනපදයේ මිලිටරි භටයන්ට නිදහසේ සැරි සැරීමට ඉඩ දෙන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) අලුත් කරන ලෙස ද වොෂින්ටනය 2019 ජූලි මාසයේ පටන් කොලඹ මත පීඩනය යොදමින් සිටී.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටි 2011 දී, එක්සත් ජනපදය සමග අත්පත් කරගැනීමේ හා අන්තර් සේවා ගිවිසුමට (ඇක්සා) අත්සන් කලේ ය. ජනාධිපති සිරිසේනගේ කලින් පැවති පාලන තන්ත්‍රය සමයේ, එහි කාල සීමාව අවිනිශ්චිත කාලයකට දිගු කරනු ලැබී ය. පොම්පියෝගේ එලඹෙන සංචාරයේ දී මෙම ගිවිසුම් සාකච්ඡාවට ගනු ඇද්ද යන්න පැහැදිලි නැති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ ය.

සිරිසේනගේ පාලන තන්ත්‍රය පැවති වසර පහ තුල, එක්සත් ජනපද-ශ්‍රී ලංකා සහයෝගිතාව සීඝ්‍රයෙන් වැඩුනි. පසුගිය නොවැම්බරයේ දී රාජපක්ෂ තේරී පත්වූ වහා ම, සුභ පැතුම් පනිවුඩයක් එවූ පොම්පියෝ, සිරිසේන යටතේ වර්ධනය කරගත් සබඳතා දිගට ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරනය කලේ ය. ශ්‍රී ලංකාවේ මිලිටරිය ද විශේෂයෙන් ම එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකාය (ඉන්පැකොම්) සමග ශ්‍රී ලංකාවේ නාවික හමුදාව ද සමග ඇති ක්‍රියාකාරී සමීප සබඳතා තීරනාත්මක ලෙස වොෂින්ටනය විසින් සලකනු ලබයි.

කලාපය තුල එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ අවශ්‍යතාවන්ට තමන්ගේ ආන්ඩුව අභියෝග නො කරන බවට සංඥා කර ඇති රාජපක්ෂ, ආරක්ෂාව පිලිබඳ සැලකීමේ දී “ඉන්දියාව පලමුව” යන පිලිවෙතක් අනුමගනය කරන බව ප්‍රකාශ කර තිබේ. රාජපක්ෂගේ ධුර කාලයේ පලමු වසර තුල, ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ මිලිටරි පුහුනු වීම් හා අභ්‍යාස පවත්වා ඇති ඉන්පැකොම්, නැගෙනහිර ශ්‍රී ලංකාවේ ත්‍රිකුනාමලය මූලෝපායික නාවික මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමේ ශක්‍යතා අභ්‍යාස ද පවත්වා ඇත.

ආරක්ෂාවට සම්බන්ධ කරුනු සාකච්ඡා කිරීම සඳහා සැප්තැම්බරයේ දී එස්පර් රාජපක්ෂට දුරකථනයෙන් කතා කලේ ය. “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක්” සඳහා-මේ වනාහි කලාපය තුල එක්සත් ජනපද නාවික හමුදාවේ නිර්බාධිත සංචාරය හා එහි චීන-විරෝධී ප්‍රකෝපකරනයන් සඳහා වන සුපුරුදු මන්තරයයි-“රටවල් දෙක ම ඔවුන්ගේ හවුල් කැපවීම සාකච්ඡා කල” බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කලේ ය.

වොෂින්ටනය දිවයිනේ දේශපාලන වර්ධනයන් කොතරම් සමීප ව අධ්‍යයනය කරන්නේදැයි පෙන්නුම් කරමින්, පසුගිය මාසයේ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කොංග්‍රසයට ඉදිරිපත් කල වාර්ෂික වාර්තාවේ දී, ශ්‍රී ලංකාව වනාහි “නාවික, ගුවන් හා ගොඩබිමේ හමුදාවන්ට සහයෝගය ලබාගනු පිනිස චීනය විසින් අතිරේක විදේශීය මිලිටරි ප්‍රවර්ධන පහසුකම් සඳහා දැනට මත් සලකා බලමින් හා සැලසුම් කරමින් සිටින රටක් වීමට බොහෝ දුරට ඉඩ ඇත”  යි සඳහන් කලේ ය.

චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික සැලසුම් සමග ශ්‍රී ලංකාව පෙලගස්වා තබා ගැනීමට වොෂින්ටනය අධිෂ්ටානවත් ය. කොලඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් පසුගිය සතියේ ඩේලි මිරර් සමග පැවැත්වූ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක දී මෙය පැහැදිලි කරනු ලැබිනි.

“අපගේ උත්සුකය වන්නේ ශ්‍රී ලංකාව එහි සබඳතාවන් තුල අනතුරට පත් නොවීම ගැනයි. ධරනීය, පාරිසරික ව සංවේදී හා දරාගත හැකි ප්‍රතිඵලවලට ආධාර ලැබෙන හොඳ ම ගනුදෙනු ගැන සාකච්ඡා කිරීමට මේ රටට හැකි විය යුතු යි. ... ඔවුන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල් සමග එකට සිටිනවා.”

“ස්වෛරීභාවය” ආරක්ෂා කිරීම පිලිබඳ ටෙප්ලිට්ස්ගේ නරුම ව්‍යාජෝක්තීන්, බෙයිජිනය යනු කලාපයේ ආක්‍රමනකාරයෙක් බවත්, එය (බෙයිජිනය) දකුනු චීන මුහුද තුල සිදු කරන ක්‍රියාකාරකම් “කලාපයේ රටවල ස්වෛරීත්වය අනතුරේ හෙලා ඇති” බවත් යන කියාපෑම් සමග ඒකාබද්ධ කරනු ලැබී ය.

තමන්ගේ ම භූ-මූලෝපායික අවශ්‍යතා ඉදිරියට දැමීම සඳහා කලාපීය සගයින් කල යුත්තේ කුමක්දැයි විධානය කරමින් හා ඒවා චීනයට එරෙහි ව පෙලගස්වමින් දකුනු චීන මුහුදේ සැබෑ ප්‍රකෝපකාරියා ලෙස ක්‍රියාකරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි.

“ඉන්දියන් සාගරය තුල සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාමට උදවු වීමට සහභාගි වීමට හා සහයෝගය දීමට” කියා පාමින්, වොෂින්ටනය “ආරක්ෂක හා රැකවරන සබඳතාව සඳහා රාමුවක්” නමැති ආරක්ෂක ගිවිසුමක් මාල දිවයින සමග සැප්තැම්බරයේ දී අත්සන් කලේ ය.

එහෙත්, 2018 දී, මාල දිවයිනේ චීන-ගැති ජනාධිපති අබ්දුල්ලා යමීන් ඉවත් කරමින් හා එක්සත් ජනපද විධානයන්ට වඩා නම්‍යශීලී වනු ඇති පාලන තන්ත්‍රයක් ස්ථාපනය කිරීමේ මෙහෙයුමක් නව දිල්ලියේ ද සහයෝගය සහිත ව වොෂින්ටනය විසින් ක්‍රියාවට දමන ලදී.

කලාපය තුල වැඩෙන එක්සත් ජනපද ආරක්ෂක සබඳතා කෙරෙහි නොඉවසිලිමත් වන චීනයේ ස්ටැලින්වාදී තන්ත්‍රය, ඉන්දු උප-මහාද්වීපය තුල දේශපාලන හා ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමට උත්සාහ දරමින් සිටී.

කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මන්ඩල සාමාජික හා හිටපු විදේශ ඇමති යැං ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහල පෙලේ දූත පිරිසක් පසුගිය සතියේ බෙයිජිනය විසින් කොලඹට එවී ය. “චීනයේ අරමුදල් ලබන මහා ව්‍යාපෘති ‘නය උගුල්’ යනුවෙන් හැඳින්වීම බොරුවක් කිරීමට තමන්ට සහයෝගය දෙන” ලෙස ජනාධිපති රාජපක්ෂ චීනයෙන් ඉල්ලා ඇත.

කොලඹ පැවති සාකච්ඡාවල දී, සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 90ක ප්‍රදානයක් සහ මාර්ග ප්‍රවාහන සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 898ක නයක් චීනය විසින් ලබා දුන්නේ ය. රාජපක්ෂ දෙසැම්බරයේ දී චීනයට සංචාරය කිරීමට නියමිත ය.

[මෙම ලිපිය ඔක්තෝබර් 15 වනදා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.]

Loading