ඉදිරිදර්ශන

යුරෝපා සංගමයේ “සමූහ ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

යුරෝපයේ කොවිඩ්-19 රෝගීන් “ඝාතීය (ක්ෂනික) වැඩිවීම්” වලට මුහුන දෙන බවට මේ සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය. පසුගිය දින 10 තුල මහාද්වීපයේ නව රෝගීන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වසංගතය ආරම්භයේ සිට මේ දක්වා මිලියන 7 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

කොවිඩ්-19 ගෝලීය මට්ටමින් යලි හිස එසවීමේ කේන්ද්‍රයක් ලෙස යුරෝපය මතුවෙද්දී, යුරෝපා සංගමය පෙර නොවූ විරූ පරිමානයකින් මරනයට තුඩු දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර මෙම වසන්තයේ මරන 200,000 ඉක්මවා යනු ඇත.

දකුනු ප්‍රන්සයේ මර්සෙයිල් රෝහලක් තුල වෛද්‍ය සේවකයෙකු කොවිඩ්-19 රෝගයෙන් පෙලෙන රෝගියෙකු නිරීක්ෂනය කරයි [ස්තුතිය: ඒපී ඡායාරූප / ඩැනියෙල් කෝල්]

අගුලු ලෑමෙන් පසු, යුරෝපයේ කොවිඩ්-19 හි ආරම්භක නැගීම ආපසු හැරුනු අතර, මහාද්වීපය පුරා ආන්ඩු පුරසාරම් දෙඩුවේ තමන් වෛරසය පාලනය කල බවය. යුරෝපයේ මහ බැංකු යුරෝ කලාපය සඳහා යුරෝ ට්‍රිලියන 1.25 ක සහ බ්‍රිතාන්‍යයට ස්ටර්ලින් පවුම් බිලියන 645 ක ඇප ලබා දුන් අතර යුරෝපා සංගමය යුරෝ බිලියන 750 ක සංගත ඇපදීමක් පිලිබඳව සාකච්ඡා කලේය. ඒ අතරම, යුරෝපීය ආන්ඩු ඉල්ලා සිටියේ කම්කරුවන්ට නැවත රැකියාවට සහ තරුනයින්ට පාසලට පැමිනෙන ලෙසයි. ප්‍රමුඛතාවය, ඔවුන් අවධාරනය කලේ, නව අගුලු ලෑමක් වලක්වා ගැනීමයි.

මෙම සියලු තර්ක සම්පූර්නයෙන් ම හෙලිදරව් වී ඇත. වෛරසය පාලනයෙන් තොරව පුපුරා යාමෙන් යුරෝපයේ දිනපතා නව රෝගීන් සංඛ්‍යාව 150,000 ඉක්මවා ඇත. ප්‍රන්සය 30,000 කට අධික ප්‍රමානයක්, බ්‍රිතාන්‍යය 20,000 කට ආසන්න සංඛ්‍යාවක්, චෙක් ජනරජය 10,000 කට ආසන්න ප්‍රමානයක්, ඉතාලිය 9,000 ක්, බෙල්ජියම, පෝලන්තය සහ නෙදර්ලන්තය 8,000 ක් සහ ජර්මනිය 7,000 ක් ප්‍රකාශයට පත් කරයි. බලධාරීන් විසින්, මෑතක් වන තුරුම යුරෝපයේ දරුනුතම හානියට පත් රට වන ස්පාඤ්ඤයේ දිනකට  නව රෝගීන් 13,000 ක් වාර්තා කරයි; නමුත් පුවත්පත් වාර්තා කරන්නේ ප්‍රාදේශීය ආන්ඩු විසින් ඔවුන්ගේ සංඛ්‍යාලේඛන වලින් දහස් ගනනක් ආසාදිතයන් කපා හරින බවයි.

බෝවන රෝගය වර්තමාන මට්ටමේ ම පැවතියද, මසකට රෝගීන් මිලියන 4.5 ක් වුවද, එය යුරෝපයේ සෞඛ්‍ය සේවා පද්ධතිය යටපත් කරනු ඇත. කෙසේ වෙතත්, යුරෝපා සංගම් ආන්ඩු විසින් නිවෙස් තුලට වී සිටීම හෝ අගුලු දැමීමේ නියෝගයක් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ වෙනුවට ඉල්ලා සිටින්නේ විශාල සමාගම්වලට සැපයූ දැවැන්ත මූල්‍ය ප්‍රාග්ධනයෙන් ලාභ උපයා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන කම්කරුවන් නැවත සේවයට යා යුතු බවයි. යුරෝපා සංගමය මූල්‍ය වංශාධිපතිත්වයේ ලාභය සඳහා කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ජීවිත පරිත්‍යාග කර ඇත.

ස්පාඤ්ඤයේ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ නිලධාරීන්, වැඩි වැඩියෙන් කෝපයට හා බියට පත්වන මහජනතාවට සහතිකයක් ලබා දීම සඳහා තෝරාගත් නගරවල රාත්‍රී ඇඳිරි නීතිය හෝ සංචලතාව සීමා කිරීම නිවේදනය කරයි. කෙසේ වෙතත්, මැඩ්රිඩ් සිට මාර්සෙයිල්, පැරිස් සහ ලිවර්පූල් දක්වා මෙම ඇඳිරි නීතියට පොදු දෙයක් තිබේ: ඔවුන් කම්කරුවන්ට සහ තරුනයින්ට, ආසාදනවලින් බහුතරයක් සිදුවන තැන් වන වැඩට හා පාසලට යාමට බල කරයි. මෙම ප්‍රතිපත්තිය සමඟ, නව රෝගීන් ගනන ඝාතීය ලෙස ඉහල යනු ඇත.

උතුරු අර්ධගෝලය ශීත සෘතුව කරා ගමන් කරන විට එනම්, මිනිසුන් දුර්වල ලෙස වාතාශ්‍රය ඇති ප්‍රදේශවල රැඳී සිටීමෙන් කොවිඩ්-19 වැනි රෝග ඉතා වේගයෙන් ව්‍යාප්ත වී මරන සිදුකරන කාලයේ යුරෝපයේ සහ ලොව පුරා ව්‍යසනයක් සිදුවෙමින් පවතී.

තත්වය වඩාත් නරක අතට හැරීම වලක්වා ගත හැක්කේ යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීමෙන් පමනි. වසංගත විද්‍යාඥයින් ගනන් බැලීම් වලට අනුව මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමට යුරෝපයේ මෙම වසන්තයේ දී අගුලු දැමීමේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට බල කෙරුනේ කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම නිසා පමනි. ස්වාධීනව පැන නැගි වැඩ වර්ජන ෆියට් හි පොමිග්ලියානෝ ඔටෝ කම්හලෙන් ආරම්භ වී ඉතාලියේ සහ යුරෝපයේ බොහෝ වානේ, ඉංජිනේරු සහ ආහාර සැකසුම් කම්හල් දක්වා ව්‍යාප්ත වී ඇති අතර ජාත්‍යන්තර සැපයුම් දාම වසා දමා යුරෝපා සංගම් රජයන්ට නිවාස තුල රැඳී සිටීමේ නියෝග ලබා දීමට බල කෙරුනි.

යුරෝපයේ 230,000 කට අධික සංඛ්‍යාවක් ඇතුලුව ලොව පුරා කොවිඩ්-19 මරන මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉක්මවූ පසු, පුපුරන සුලු සමාජ විරෝධයක් ගොඩනැඟෙමින් තිබේ. ග්‍රීසියේ සහ පෝලන්තයේ ආපසු පාසැල් යාමට බලකල ප්‍රතිපත්තිවලට මෙන්ම ස්පාඤ්ඤයේ හා ප්‍රන්සයේ හෙදියන් වැඩි සම්පත් හා වසංගතය සමඟ කටයුතු කිරීමට වඩා හොඳ වැටුපක් ඉල්ලා විශාල විරෝධතා පුපුරා ගොස් තිබේ. සෞඛ්‍ය සේවකයින් සහ වෘත්තිකයන්, ලොව පුරා රජයන් විසින් අනුගමනය කරන “සමූහ ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති හෙලා දකිමින් සිටින අතර බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තරව පිලිගත් වෛද්‍ය සඟරාව වන ලැන්සෙට් මගින් ඛන්ඩනය නොකල හැකි හා පැහැදිලි විවේචන එල්ල වී තිබේ.

ලැන්සෙට් මෙසේ ලිවීය, “දෙවන රැල්ලක පැමිනීම සහ ඉදිරියේ ඇති අභියෝගයන් සාක්ෂාත් කර ගැනීම ඊනියා සමූහ ප්‍රතිශක්තීකරන ප්‍රවේශයක් කෙරෙහි නව උනන්දුවක් ඇති කිරීමට හේතු වී ඇති අතර, එයින් ඇඟවෙන්නේ අඩු අවදානම් සහිත ජනගහනය තුල විශාල පාලනයකින් තොරව පුපුරා යාමට ඉඩ හරින අතර අවදානමට ලක් වූවන් ආරක්ෂා කරන බවයි. අඩු අවදානම් සහිත ජනගහනයක් තුල ආසාදනයෙන් අත්පත් කරගත් ජනගහන ප්‍රතිශක්තිය, සෙසු ජනයා තුලද වර්ධනය කිරීමට මෙය හේතු වනු ඇතැයි යෝජකයින් යෝජනා කරයි. මෙය විද්‍යාත්මක සාක්ෂි මගින් සහාය නොදක්වන භයානක වැරැද්දකි. ”

“යෞවනයන් තුල පාලනයකින් තොරව සම්ප්‍රේෂනය වීම මුලු ජනගහනය පුරාම සැලකිය යුතු රෝගාබාධ හා මරන අවදානමකට ලක් කරයි” යනුවෙන් ලැන්සෙට් අනතුරු ඇඟවීය. මෙය “උග්‍ර හා දෛනික රැකවරනය සැපයීමට සෞඛ්‍ය සේවා පද්ධතියට ඇති හැකියාව යටපත් කිරීමට” තර්ජනය කරන බවත්, “පුනරාවර්තී වසංගත” සහතික කරන බවත්, “සමාජ ආර්ථික අසමානතාවයන් තවදුරටත් උග්‍ර කරන අවදානම් ... වසංගතයෙන් දැනටමත් ඔප්පු වී ඇති” බවත් එය තවදුරටත් කියා සිටියේය.

වසර මුලදී සිදු කරන ලද නිවෙස් තුල රැඳී සිටීමේ ක්‍රියාමාර්ග “මරන අවම කිරීමට, සෞඛ්‍ය සේවා වල අධික අවශ්‍යතාවය වලක්වා ගැනීමට සහ අගුලු දැමීමෙන් පසු සම්ප්‍රේෂනය මැඩපැවැත්වීම සඳහා වසංගෙ ප්‍රතිචාර පද්ධති සැකසීමට කාලය මිඩංගු කිරීමට” අත්‍යවශ්‍ය බව ලැන්සෙට් ලිවීය.

යුරෝපය පුරා අගුලු දැමීම් ආරම්භ වී මාස හතකට පසු මෙම වසන්තයේ දී, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීම, මහජන සෞඛ්‍යය, පරීක්ෂන, නිරෝධායනය සහ සම්බන්ධතා සොයා ගැනීමට යෙදූ දැවැන්ත ආයෝජන සමඟ එක්ව වෛරසයට එරෙහිව සටන් කිරීමට ඇති එකම විද්‍යාත්මක ප්‍රතිපත්තිය බවට කිසිදු සැකයක් නැත. පැහැදිලි කල යුතුව ඇත්තේ කම්කරු පන්තියේ වැඩෙන විරෝධය සැබවින්ම බිහිසුනු ජීවිත හානියක් වලක්වා ගැනීම සඳහා සවිඤ්ඤානික අරගලයක් බවට පත් කල හැකි දේශපාලන වැඩපිලිවෙලයි. විද්‍යාත්මක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල හැක්කේ සමාජවාදය සඳහා අරගලයක දී කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කිරීම හා බලමුලු ගැන්වීම තුලින් පමනි.

කොවිඩ්-19 පිලිබඳ මිනීමරු ප්‍රතිපත්තියක් නියම කර ඇති බලවත් ආර්ථික ආසක්තයන්ට එරෙහිව ජය ගත හැක්කේ ධනේශ්වර දේපල වලට එරෙහි දැවැන්ත විප්ලවීය ප්‍රහාරයකට පමනි. ලැන්සෙට් ගේ ලිපියේ නොවැලැක්විය හැකි අවසාන නිගමනය නම්, යුරෝපා සංගම් ආන්ඩු, ආපසු වැඩට යාම, පාසැල් යාමේ ප්‍රතිපත්තිය ව්‍යාජ, විද්‍යා විරෝධී ප්‍රතිපත්තියක් වන අතර එය බොරු මත පදනම් වූ මූල්‍ය වංශාධිපතියන් විසින් කම්කරුවන් සහ තරුනයින් මත පැටවූ බවය.

යුරෝපා සංගම් නිලධාරීන්, ඔවුන්ගේ ප්‍රතිපත්ති සමූහ මරන වලට හේතු වන බව දැන සිටියහ. මාර්තු මාසයේදී වැඩ වර්ජන මගින් නිලධාරීන්ට අගුලු දැමීමට එකඟ වීමට බල කෙරුනු අතර, ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් පිලියෙල කල රහසිගත වාර්තාවේ, හදිසි පියවරයන් නොමැතිව 2020 දී කොවිඩ්-19 රෝගයෙන් “මිලියනයකට වඩා වැඩි” ජර්මානුවන් මිය යා හැකි බව සඳහන්ය. ප්‍රන්ස ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක නිලධාරීන්හට, සිය දහස් ගනනක් මරන පිලිබඳ රහසිගත අනතුරු ඇඟවීම් පිලිබඳ අසන්නට ලැබුනු බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම අනතුරු ඇඟවීම් ජනතාවගෙන් සඟවා මාධ්‍ය විසින් වලලනු ලැබූ අතර, එමඟින් යුරෝපා සංගම් බැංකු හා රජයන්ට කම්කරුවන් නැවත වැඩට තල්ලු කර ලාභ ප්‍රවාහය නැවත ආරම්භ කල හැකි වේ.

යුරෝපයේ වෘත්තීය සමිති නිලධරයන් සහ ජර්මනියේ වාමාංශික පක්ෂය වැනි ඊට සම්බන්ධ මධ්‍යම පන්තික පක්ෂ ද, ස්පාඤ්ඤයේ පොඩෙමෝස් සහ ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය වැනි මිත්‍රපාක්ෂික පක්ෂ ද මෙම අපරාධ ප්‍රතිපත්තියට සම්බන්ධ වේ. මෙම වසන්තයේ දී කම්කරුවන් බලමුලු ගැන්වීමට කිසිවක් නොකල පසු, ඔවුන් වැඩට යාමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උදව් කලහ. ජර්මානු සහ ප්‍රන්ශ වෘත්තීය සමිති මෙම ගිම්හානයේදී යුරෝපා සංගමයේ ඇපදීම් අනුමත කරමින් ප්‍රකාශයක් අත්සන් කිරීමෙන් පසුව, ඔවුන් අපේක්ෂා කරන්නේ බිලියන ගනනක් ඇපදීමේ අරමුදල් බැංකු හා වැඩ කවුන්සිල හරහා ඔවුන්ගේ කොටස් ආයෝජන වෙත හා වෘත්තීය සමිතිවල මුදල් පෙට්ටගම් වෙත ගෙනයනු ඇති බවයි. ඒ කම්කරුවන් දහස් ගනනක් හෝ මිලියන ගනනක් මිය යාමට ඉඩ හරිමිනි.

පාලක පන්තියේ සමූහ ප්‍රතිශක්තිය පිලිබඳ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සේවා ස්ථානවල සහ පාසල්වල ආරක්ෂක කමිටු සංවිධානය කරන ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශාඛාවන්, කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලයි. වෛරසය ජනගහනය පුරා පැතිර යන විට විට, මූල්‍ය රදල පැලැන්තියේ සමූහ ආසාදන හා මරන පිලිබඳ ප්‍රතිපත්තියට විරුද්ධ වීමට සාමූහික, විප්ලවීය උපාය මාර්ගයකින් තොරව තනි සේවා ස්ථානවල හෝ පාසල්වල සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කල නොහැකි බව පැහැදිලිය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස හජාජාක ගොඩනැගීම සඳහා මහජනතාව සම්බන්ධිත වැඩ වර්ජන, ක්‍රමානුකූල විරෝධය සහ කොවිඩ්-19 ට එරෙහි විද්‍යාත්මක හා මානුෂීය සටනක් සඳහා අවශ්‍ය සම්පත් උදුරා ගැනීමට බලය ලබා ගැනීම සඳහා දේශපාලන පදනම සැකසීම අවශ්‍ය වේ. මෙයට, තරුනයින් සහ අත්‍යවශ්‍ය නොවන සියලු සේවකයින් නිවෙස් තුලම රැඳී සිටීමට පහසුකම් සැලසීමේ ප්‍රතිපත්තියක් ඇතුලත් වේ. වැඩ කල නොහැකි කම්කරුවන් සහ කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය රැකවරන සැලසීම අවශ්‍ය වේ. යුරෝපා සංගමය බිඳ දමා, එය එක්සත් යුරෝපීය සමාජවාදී රාජ්‍ය පද්ධතියක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කම්කරු පන්තියේ විප්ලවීය අරගලයක් ඉල්ලා සිටී.

මෙම ලිපිය ඔක්තෝබර් 17 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

Loading