ජෝර්දානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ දුෂ්කර රැකියා කොන්දේසි පිලිබඳව සෞදි අරාබියේ කම්කරුවෙකුගෙන් ලෝසවෙඅ ට ලිපියක්

සවුදි අරාබියේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවෙකු වන මම දශකයකට අධික කාලයක් පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ඇසුරු කරන්නෙමි. තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට ධනපති පාලක පංතීන් විසින් එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව ලොවපුරා කම්කරුවන් ගෙනයන අරගල පිලිබඳව නිරන්තරව විශ්ලේෂනය කරමින්, එම අරගල ජයග්‍රහනය කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය සම්පාදනය කරන සහ ඒ මත ජාත්‍යන්තර කම්කරු පංතිය බලමුලු ගැන්වීමට සටන් වදින එකම මාධ්‍යය, ලෝසවෙඅ යන්න මම තරයේ විශ්වාස කරමි. 

ජෝර්දානයේ රැකියාවෙහි නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන් මුහුන දෙන දුෂ්කර රැකියා සහ ජීවන කොන්දේසි පිලිබඳ වාර්තාවක් ලෝසවෙඅ ට සම්පාදනය කිරීමෙන්, එම ජාත්‍යන්තර අරගලයට ප්‍රතිපදානයක් වෙතැයි මම සිතමි. මේ ලිපිය ලියන්නේ එම අරමුනෙනි.

මැද පෙරදිග කලාපයේ රැකියාවන්හි නියුතු මිලියන 1.5 කට ආසන්න ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන් වනාහී, රුදුරු සේවා කොන්දේසි යටතේ වැඩෙහි යෙදෙන සහ දරුනු ලෙස සූරා කැවෙන කොටසකි. සොච්චම් වැටුප්, අවම දීමනා සහ ඌන පහසුකම් ඔවුන් මුහුන දෙන ගැටලු වලින් කිහිපයකි.

වසංගතය ගසා කමින් හාම්පුතුන් විසින් ක්‍රියාවට දමන වැඩ වේගවත් කිරීම්, දීමනා සහ වැටුප් කප්පාදු කිරීම් සහ රැකියා වලින් දොට්ට දැමීම් වලට මුහුන දෙන ඔවුන්ට වසංගතය වේගයෙන් පැතිරෙද්දී මරනයේ අන්තරායට මුහුන දෙමින් වැඩට යාමට සිදුව ඇත. මේ පිලිබඳව ජෝර්දානයේ රැකියාවෙහි නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන් සමග කතා කිරීමට මට අවස්ථාව ලැබුනි.

ජෝර්දානයේ ශ්‍රී ලාංකික කම්කරු නවාතැන්පොලක්

  

ජෝර්දානය තුල විදේශ ශ්‍රමිකයන්ට අර්ථ සාධක අරමුදලක් හිමි නොවේ. ඒ වෙනුවට, ඔවුන්ගෙන් වැටුපෙන් මුදලක් කපාගෙන එයට ආයතනයද යම් මුදලක් එක් කර දෙන දීමනාවක් ක්‍රියාත්මක වේ. සමාජ දීමනාව (Social allowance) ලෙසින් කම්කරුවන් අතරේ ප්‍රචලිත මෙම දීමනාව ජෝර්දාන රාජ්‍ය අරමුදල් වලට බැරවන අතර, කම්කරුවන්ට එය හිමිවන්නේ රැකියාවෙහි මාස 36 ක් සම්පූර්න කලහොත් පමනි.

කම්කරුවන් රැකියාවට එක්වෙද්දී වසර තුනක කොන්ත්‍රාත්තුවකට අත්සන් කල යුතුය. යම් හේතුවක් නිසා වසරක් ඇතුලත කම්කරුවෙකු රැකියාව හැර ගියහොත්, එතෙක් වැටුපෙන් අඩු කරගත් මුදල් ඔහුට හෝ ඇය‌ට හිමි නොවේ. එය ජෝර්දාන රජය විසින් ගසා කනු ලැබේ. මෙම මුදලට පොලියක් එකතු වන්නේද නැත.

එමෙන්ම, ජෝර්දානයේ නිවාඩු දීමනාව (Vacation Salary) ද, වසරකට අර්ධ මාසික වැටුපක් වැනි සොච්චමකි.

මෙම සූරාකෑම ඇඟලුම් කම්කරුවන් අතරේ වඩා ඉහල ආකාරයෙන් ක්‍රියාත්මක වේ. හදිසි ඇනවුම් ලැබුනොත් මාන්ඩලික අංශ නිලධාරීන් අමතර පැය දෙකක් සේවයේ යෙදිය යුතුය. එවන් අවස්ථාවන්හිදී කම්කරුවන්ට සුලු අතිකාල දීමනාවක් ගෙවුවද නිලධාරීන්ට අතිකාල හිමි නොවේ. කම්කරුවන්ගෙන් වැඩියෙන් වැඩ ගැනීම සඳහා, ඔවුන්ගේ වැටුප්, එකලස් කරන ඇඟලුම් කොටස් ගනන අනුව තීරනය වන ආකාරයට සකසා ඇත. ගෙවීම් මේ ආකාරයෙන් සැකසෙන බැවින් සාමාන්‍යයෙන් කම්කරුවෙකුට මසකට උපයාගත හැක්කේ රු 35,000 ක පමන සොච්චම් වැටුපකි.

එබැවින් ඉලක්ක සපුරාගැනීමට යන්ත්‍ර ක්‍රියාකරුවන් තම පූර්න අවධානය නිෂ්පාදනය වෙත යොමු කරමින් යන්ත්‍ර මෙන්ම ඒකාකාරී වෙහෙසකර ක්‍රියාකාරීත්වයකට තල්ලුකර තිබේ. “පැය 8 ට අමතරව අතිකාල සේවයේ යෙදීමට සිදුවන බැවින් කාර්යය නිම කෙරෙද්දී තමන් හොඳටම හෙම්බත්වන” බවට කම්කරුවෝ චෝදනා කරති. සිය අවශ්‍යතා සපුරා ගැනීමට මාසිකව රු 60,000 ක පමන වැටුපක් අවශ්‍ය බැවින් එය හඹා යන ඔවුන්ට හතිවැටෙන ධාවනයක යෙදීමට බල කෙරී ඇත.

මෙසේ වෙහෙසී ඔවුන් උපයාගනු ලබන වැටුපෙන් කෑම බීම සපයාගැනීම සහ අනෙක් වියදම් ලෙස රු 15,000 ක් පමන වැයවන අතර රු 40,000 ක් පමන යැපෙන්නන් සඳහා ශ්‍රී ලංකාවට යැවිය යුතුව ඇත.

කම්කරුවන් තමා මුහුනදෙන ඉහත තත්වයන් පිලිබඳව ශ්‍රී ලංකා නාපති කාර්යාලයට යොමු කලද මේ දක්වා කිසිදු විසඳුමක් ලැබී නැත. ජෝර්දාන ආන්ඩුවේ රුදුරු නොතැකීම ප්‍රදර්ශනය කරමින්, අඩුම තරමින් කම්කරු පැමිනිලි ගැන සොයා බැලීමට කිසිදු නිලධාරියෙකු මේ දක්වා කම්හල් තුලට පැමින නැත. 

මා සමග අදහස් දැක්වූ සේවිකාවක් සඳහන් කලේ ඇය රැකියාවට සම්බන්ධ වූ 2014 වසරේ ඇගේ මූලික වැටුප ලංකා මුදලින් රු 35,000 ක් පමන වූ බවය. එම කාලයේ අතිකාල සමග ඇයට රු 45,000 ක් පමන උපයා ගැනීමේ හැකියාව තිබුනි. ඇගේ දැන් මූලික වැටුප රු 50,000 කි. සේවිකාව පවසා සිටියේ අතිකාල හැර වෙනත් කිසිදු දීමනාවක් නැති බැවින් උපයාගතහැකි මුලු වැටුප රු 60,000 කට පමන සීමා වී ඇති බවයි. වසර හයක් තුල ඇයට වැඩිවී ඇති වැටුප, එම කාලය තුල වැඩිවූ දැවැන්ත ජීවන වියදමට කිසිසේත් සමානුපාතික නොවේ.

රැකියාවක් සොයාගෙන ජෝර්දානයට පැමිනීමට බල කෙරුනු කොන්දේසි පිලිබඳ අත්දැකීම් හුවමාරු කරගනිමින්, “ලංකාවේ ලැබූ වැටුපෙන් ගෙයක් දොරක් තනාගැනීමට තබා මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි වූ බැවින් දෙමාපියන් දරුවා ද ඇතුලු සියල්ල හැරදමා විදේශගත වීමට බල කෙරුනු” බව ඇය සඳහන් කලාය. 

ශ්‍රී ලංකාවේදී ඇය ඇඟලුම් කම්හලක සේවිකාවක් ලෙස සේවය කර ඇති අතර, ලංකාවේ වෙසෙන ඇගේ සැමියා සහ පුත්‍රයාට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැත. සිය පුත්‍රයාට විදේශගතවීම සඳහා තම දෙමාපියන්ගෙන් දායාදයට ලැබුනු කුඩා ඉඩම් කැබැල්ල පවා විකුනූ නමුත්, නමුත් හදිසියේ කඩා වැටුනු කොරෝනා වසංගතය නිසා එම අපේක්ෂාව පවා බිඳ වැටුනු බව සේවිකාව වැඩි දුරටත් පැවසුවාය.

මා සමග අදහස් පල කිරීමට තවත් ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවක් එක්වූ අතර ඇයගේ තත්වයද මේ අයුරින්ම ඛේදජනකය. කම්කරු කාන්තාව දුෂ්කර ජීවන කොන්දේසි වලට විසඳුම් සෙවීම සඳහා ජෝර්දානයට පැමිනීමට සිදුවූ බව පැහැදිලි කලාය.

ඇය සඳහන් කලේ යහපත් ජීවන සහ රැකියා කොන්දේසි සොයාගෙන ජෝර්දානයට පැමිනියද මෙහි මුහුන දීමට සිදුව ඇත්තේ අසීරු තත්වයන්ට බවයි. ඇඟලුම් කම්හලෙන් සපයන ආහාර ගැන ඇය මෙසේ කීවාය: “ඒවා කන්න බෑ. ගුනාත්මක තත්වය ඉතාම පහලයි. කිසිම රසක් නෑ.”

සමහර අවස්ථා වලදී ඔවුන් විසින් ම කෑම පිලියෙල කර ගත්තද, “ආර්ථිකය දුර්වල මාස වල කෑම රස නැති වුනත් කරන්න වෙන දෙයක් නැති නිසා ආයතනයේ කෑම කනවා" යැයි ඇය කීවාය.

කම්කරුවන්ගේ නේවාසිකාගාර සම්බන්ධයෙන් ගත් කල ඒවාට ජලය හා විදුලිය ආයතනයෙන් සැපයුවද ගෑස් ආදියට යන වියදම් ඔවුන් විසින් සපයා ගත යුතුය. ජෝර්දානයේ සමහර ප්‍රදේශ වල කම්කරු නේවාසිකාගාර වලට ජලය සපයනු ලබන්නේ දිනකට පැය දෙකක පමන සීමිත කාලයක් නිසා කම්කරුවන්ට අපහසුතා වලට මුහුන දීමට සිදුවේ. ආයතනයේ වෛද්‍ය පහසුකම් තිබුනද වියදම් අධික ඔෳෂධ කම්කරුවන්ට මිලදී ගැනීමට සිදු වන්නේ පිටිනි.

වේගයෙන් වසංගතය ව්‍යාප්ත වෙමින් තිබියදී පවා නේවාසික ස්ථාන වල එක කාමරයක කම්කරුවන් 8 බැගින් රඳවා ඇත. ඇඳක ඉහල හා පහල කම්කරුවන් දෙදෙනා බැගින් රඳවනු ලැබේ. නේවාසිකාගාර තුල විදුලි පංකා පමනක් පවතින අතර වායු සමන යන්ත්‍ර නොමැති හෙයින් උෂ්න සෘතුව ගතකිරීම ඉතා අසීරුය. 

ශීත සෘතුවද ඒ ආකාරයම වේ. උෂ්න කාලයේ සෙල්සියස් අංශක 46 දක්වා උනුසුම ඉහල යන අතර ශීත සෘතුව සෙල්සියස් අංශක -1 සිට -2 දක්වා පහල මට්ටම් වල පවතී.

මීට පෙර නිරෝධායන කටයුතු සිදුකර ඇත්තේ නිත්‍ය ගොඩනැගිලි වල වුවද වේගයෙන් රෝගීන් වැඩිවන තතු යටතේ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන්නේ පහසුකම් වලින් තොර තාවකාලික බහාලුම් (  Containers) තුලය. ආසාදිතයින්ට මෙන්ම රෝගීන්ටද නිසි ලෙස ඔෳෂධ සැපයීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත. දේශීය රෝගීන්ට ඇති සීමිත රෝහල් පහසුකම් පවා විදේශීය කම්කරුවන්ට නොමැත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ඇතිව ජෝර්දාන් පොලීසිය අල් - කරාක් හි පිහිටි කැමල් මෙගා ගාමන්ට් හි කම්කරුවන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරය මෙම සේවිකාවෝ පිලිකුලෙන් යුතුව හෙලා දුටුහ. “ඉතාම අවම සේවා කොන්දේසි යටතේ වැඩ කල කැමල් මෙගා කම්කරුවන්ට අගුලු දැමූ කාලය තුල වැටුප් තබා කෑම බීම පවා සපයා නැති බව තමන්ට දැනගන්නට ලැබුනු බව” ඔවුහු කියා සිටියහ. 

මෙම අසහනකාරී තත්වය පිලිබඳ තානාපති කාර්යාලයට දැනුම් දුන්නද සහනයක් නොමැති තත්වය හමුවේ පැවැත්වූ උද්ඝෝෂ නයට දැක්වූ ප්‍රතිචාරය අනෙක් සංක්‍රමනික කම්කරුවන්ටද “රතු එලිය දැල්වීමක් බව” ඔවුහු තවදුරටත් පැවසූහ.

මෙම කොන්දේසි මගින් හෙලිදරව් කෙරෙන්නේ, "විදෙස් කම්කරුවන්ගෙන් බහුතරය ලංකාවට පැමිනීමට කැමැත්තක් නොදක්වන" බවට අගෝස්තු මාසයේදී කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කල ප්‍රකාශය ප්‍රෝඩාවක් බවයි.

කම්කරුවන් මුහුන දෙන කොන්දේසි සම්බන්ධයෙන් ජෝර්දාන ආන්ඩුව මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලංකාවේ පෙර පැවති ධනපති ආන්ඩු වගකිව යුතුය. කම්කරුවන් පවසන පරිදිම ඔවුන්ට වඩා යහපත් රැකියා කොන්දේසි සොයා වෙනත් රටකට යාමට බල කෙරී ඇත්තේ ලංකාව තුල ඔවුන් මුහුන දුන් ගැටලු හේතුවෙනි 

Loading