ජවිපෙ නායකයා බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන පරීක්ෂනයක් ඉල්ලයි

කොරෝනා වසංගතය පැතිරීම  සම්බන්ධයෙන්  බ්‍රැන්ඩික්ස් ආයතනය වගකිවයුතු හෙයින් ඒ ගැන පූර්න පරීක්ෂනයක් පවත්වන ලෙස  ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුරකුමාර දිසානායක ඔක්තෝබර් 23 වෙනිදා රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. ඔහු එම ඉල්ලීම කලේ කොවිඩ්  වසංගත තත්වය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය  කල්තබන අවස්ථාවේ දී ය. "ඉන්දියාවෙන් ගෙන්වන ලද බ්‍රැන්ඩික්ස් සේවකයන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂන කර නැති බවයි පෙන්නුම් කෙරෙන්නේ.  ඒ  නිසා වසංගතයේ දෙවෙනි අදියර පැතිරීම ගැන බ්‍රැන්ඩික්ස් ආයතනය වග කිවයුතු” බවත්  ඒ ගැන පූර්න පරීක්ෂනයක් පැවැත්විය යුතු"  බවත් ඔහු එහි දී සඳහන් කලේ ය.

බ්‍රැන්ඩික්ස් ආයතනය නියමිත සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා නොකලා පමනක් නොව, මිනුවන්ගොඩ කම්හලේ කම්කරුවන් තම රෝගී තත්වය එහි කලමනාකාරිත්වයට වාර්තා කිරීමෙන් පසුව පවා, ඔවුන් නිසි රෝග පරීක්ෂාවන් සඳහා යොමු නොකොට වේදනා නාශක ලබා දී වැඩෙහි යොදවා ඇති ම්ලේච්ඡ ස්වභාවය ඉතා පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ආශීර්වාදයෙන් පවත්වාගෙන යන මෙම සාපරාධී තත්වය හුදෙක් බ්‍රැන්ඩික්ස් ආයතනයට පමනක් සීමා වූවක් නොව, එය සියලු කම්හල්වලට පොදු වෙයි. 

කෙසේ නමුත්, වසංගතයේ  ව්‍යාප්තියට මූලික  හේතුව හුදෙක් "බ්‍රැන්ඩික්ස් පොකුර" වෙතැයි යන්න අමූලික බොරුවකි. එය ආන්ඩුව, සෞඛ්‍ය බලධාරීන් සහ ධනපති මාධ්‍යයන් විසින්, රෝගය සමාජගතව පැවතියේ ය යන්න වසං කිරීම සඳහා දැනුවත්ව ගෙනයන වංචාකාරී උද්ඝෝෂනයකි. පසුගිය මාස කීපය තුල ආසාදිතයන් සැලකියයුතු ලෙසින් වාර්තා නොවූයේ, වසංගතය මැඩ පවත්වා තිබූ හෙයින් නොව, පීසීආර් පරීක්ෂන සීමාකොට එහි සැබෑ ව්‍යාප්තිය පිලිබඳව සිතාමතා වසං කල බැවිනි. බ්‍රැන්ඩික්ස් සිද්ධියත් සමග පැතිර යන්නේ දෙවන රැල්ල බවට කෙරෙන ප්‍රචාරය ද ඉහත බොරුවේ දිගුවකි. 

වසංගතය, මිනුවන්ගොඩින් ඔබ්බෙහි පිහිටි කටුනායක, බියගම ඇතුලු නිදහස් වෙලඳ කලාප හා රටේ විවිධ පලාත් තුලින් මතු වෙමින් මුලු දිවයිනම අලලාගෙන පැතිරෙමින් පවතී. අද උදෑසන වන විට,  ශ්‍රී ලංකාවේ  සමස්ත කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව 8870 ද, සක්‍රිය ආසාදිතයන් ගනන 4808 ද වෙයි. මියගිය ගනන 19 කි.  

වසංගතය පැතිරීම සම්බන්ධයෙන්  මූලිකව වගකිවයුත්තේ රාජපක්ෂ ආන්ඩුව යි. එය වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමානවත් ලෙස සම්පාදනය කිරීම සහ පුලුල් ලෙස පීසීආර් පරීක්ෂන පැවැත්වීම මුල සිටම ප්‍රතික්ෂේප කලේය. එපමනක් නොව, මැයි මාසය වන විට වසංගතය "ඉතා සාර්ථක" ලෙස මැඩ පැවැත්  වූ බවට පම්පෝරි ගසමින්, මහ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට තම ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ  කිරීම සඳහා අගුලු ඉවත් කොට "ආර්ථිකය යලි විවෘත" කලේ ය. 

කම්කරුවන් රැකියා වලින් දොට්ට දමමින්, ඔවුනගේ වැටුප් සහ දීමනා දැවැන්ත පරිමානව කප්පාදු කරමින් සහ වැඩ වේගවත් කරමින්, තම අභිමතය පරිදි කටයුතු කිරීමට හාම්පුතුන්ට අවසර දුන්නේ ය. සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අතිශයින්ම සීමිත වූ අතර ආන්ඩුව සහ හාම්පුත්තු ඉතා ඉක්මනින්ම ඒ ගැන නොතකා හැරියහ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය හා සෙසු කම්හල් තුලින් දැන් එලිදරව් වී ඇත්තේ එම  තත්වයයි.

ජවිපෙ සහ එහි නායකයා උත්සාහ දරන්නේ, වසංගතය සමාජගතවීමේ වගකීම බ්‍රැන්ඩික්ස් ආයතනයට පවරා, ව්‍යසනයේ සැබෑ වගකිවයුත්තා වන ධනපති ආන්ඩුව කොක්කෙන් ගලවා දැමීමට යි. ආන්ඩුව මෙහි වාසිය වහා ඩැහැගනිමින්, බ්‍රැන්ඩික්ස් සිද්ධිය ගැන පරීක්ෂනයක් පවත්වා වාර්තාවක් සපයන ලෙස, නීතිපතිවරයා හරහා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත. 

දහස් සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත අනතුරේ හෙලමින් වර්ධනය වී ඇති ව්‍යසනකාරි තත්වයත්, වසංගතයෙන් උග්‍ර කෙරුනු ධනපති ආර්ථික අර්බුදයේ බර ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පන්තිය විසින් තම කර මතට පැටවීමෙන් ජීවන කොන්දේසි වලට එල්ල කෙරී ඇති බරපතල ප්‍රහාරයත් හමුවේ, කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙන කෝපය පුපුරා යාමක් අද්දරට පැමින ඇත. එම කෝපය, ධනපති ආන්ඩුවට පමනක් නොව, ලාභය අරමුනු කරගත් සමස්ත ධනපති ක්‍රමයටම එරෙහිව වැඩෙතැයි, ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති ජවිපෙ ද භීතියට පත්ව සිටී. 

ව්‍යසනයේ වගකීම බ්‍රැන්ඩික්ස් තමැති තනි ආයතනයකට පවරා, එහි මූලික වගකිවයුත්තන් වන ධනපති ආන්ඩුව සහ ධනපති ක්‍රමය මුදා හැරීම සඳහා ජවිපෙ ගෙනයන උද්ඝෝෂනය, ඉහත පන්ති අවශ්‍යතාවයන්ගෙන් පැන නගින්නකි. 

වසංගතය ආරම්භයේ සිටම ජවිපෙ ගෙනගිය පිලිවෙත ඉහත අවශ්‍යතාවයන් සමග බැඳී පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග පෙලගැසුනු ජවිපෙ  "ජාතික ආපදාවට" මුහුන දීම සඳහා "සර්ව පාක්ෂික" සාකච්චාවක් කැඳවන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. ඉක්බිතිව අගමැති මහින්ද රාජපක්ෂ  මාර්තු  24 වෙනිදා කැඳවූ සර්වපාක්ෂික සාකච්චාවට එහි  පාර්ලිමේන්තු මංත්‍රී  විජිත හේරත් සම්බන්ධ විය. වසංගතයට මුහුනදීම පිනිස "සාර්ව පාක්ෂික යාන්ත්‍රනයක්" සකස් කරන ලෙස එහි දී ඉල්ලා සිටි ඔහු ආපදා තත්වයෙන්  රට බේරා  ගැනීම සඳහා සියලු දෙනා ජාති, ආගම්, කුල භේදයකින් තොරව රටක් හා ජාතියක් ලෙස එක්සත් විය යුතු” බව මාධ්‍යයට  පැවසීය. 

“පමාවී හෝ අද රාජ්‍ය යාන්ත්‍රනයක්  ප්‍රශස්ත  මට්ටමකින් තීන්දු තීරන ගනිමින් සිටිනවා” යැයි ඊට පසු දින පැවති මාධ්‍ය හමුවක දී ජවිපෙ නායක .දිසානායක සඳහන් කලේ ය.

යලිත් ඔක්තෝබර් 13 පැවති මාධ්‍ය  හමුවක දී විජිත හේරත් සියලු භේද පසෙක තබා කොරෝනා වසංගතය මර්දනයට ඒකාබද්ධ වන ලෙස අවධාරනය කලේ ය. "මේ ප්‍රශ්නයට ශ්‍රී  ලාංකිකයන් විදිහට, රටක් විදිහට මුහුන දියයුතු" බවත්, " දේශපාලන පක්ෂ, ජාතිභේද කිසිම දෙයක් අදාල නැති" බවත්, ඔහු එහි දී පැවසීය.

රාජපක්ෂ ආන්ඩුව  වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් "යම් සාධනීය" පියවර ගත් බව ඔක්තෝබර්  23 වෙනිදා පාර්ලිමේන්තුවේ කල කතාවේදී දිසානායක යලිත් සඳහන් කලේ ය: "සමහර නිශේධනීය කරුනු තිබුනත් ආන්ඩුව  විසින් ගනු ලැබූ  සාධනීය කරුනු හේතු කොට ගෙන යම් ආකාරයකට එම (වසංගතය පැතිරීමේ) පලවෙනි පියවර මැඩ  පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුනා. ඒ සම්බන්ධව ස්තුතිවන්ත  වෙනවා" යැයි දිසානායක පැවසීය.

ජවිපෙ විසින් සහතික ලබාදුන්, රාජපක්ෂ ආන්ඩුවේ තීන්දු තීරන ගැනීමේ "ප්‍රශස්ත  මට්ටම" දැන් මහජනයා ඉදිරියේ යහමින්  ප්‍රදර්ශනය වී ඇත. ජවිපෙ විසින් තොරොම්බල් කරන "ජාතික ආපදාව" යනු, වැඩෙන මහජන කෝපය හමුවේ ධනපති ක්‍රමය මුහුන දී ඇති ආපදාව යි. "රට බේරා ගැනීම" යනු, ඉන් ධනපති ක්‍රමය බේරා ගැනීමයි. 

ආන්ඩුව කර්මාන්තකරුවන්ගේ ලාභ උවමනාව වෙනුවෙන් අනාරක්ෂිත ලෙස ආර්ථිකය යලි විවෘත කිරීම, දිසානායක සිය පාර්ලිමෙන්තු  කතාවේ දී අනුමත කලේ ය: “කර්මාන්තකරුවන්ගේ පැත්තෙනුත් යෝජනා ආවා විවෘත කරන්න. ඒක  හරි. ආන්ඩුව පැත්තෙනුත් උවමනාව තිබුනා විවෘත කරන්න. ඒකත්  හරි" ඔහු පැවසීය. ඒ අනුව, ජවිපෙ ද සහාය ඇතිව, අනාරක්ෂිතව කම්කරුවන් යලි වැඩට දැක්කීමෙන් ඔවුන්ට අත්ව ඇති ව්‍යසනකාරී ඉරනම ද "හරි" ය.

ලෝකයේ රටවල සිය සගයන් අනුයමින්, වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙද්දී, කම්කරු-පීඩිත ජනයාගේ ජීවිත පරදුවට තබා රට සහ ආර්ථිකය විවෘත කර පවත්වාගෙන යාමේ "නව සාමාන්‍යය" සහ  "රංචු ප්‍රතිශක්ති යේ" පිලිවෙත ක්‍රියාවට දැමීමේ  රාජපක්ෂ ආන්ඩුවේ තීරනයට දිසානායක සිය එකඟතාවය පල කලේ ය: "සමාජයක් හැටියට, රටක් හැටියට  අපේ සූදානම කොවිඩ් වසංගතය ඇතුලේ ජීවත්වීම නම් අපි  ඊට අවශ්‍ය වන සමාජ අවධානයත්, සමාජ සංස්ථාවල අවධානයත්, ඒ වගේම දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමුකරමින් එක මෙහෙයුමක් ඕන."  

ඔහු යෝජනා කරන මෙම සියලු කොටස් සම්බන්ධකර ගත් මෙහෙයුම කම්කරු-පීඩිත ජනයා ආන්ඩුවේ දුෂ්ට සැලැස්මට යටත් කිරීමේ මෙහෙයුමකි.

ආන්ඩුවේ මෙම සැලසුම් පරාජය කිරීමේ කම්කරු පන්තික වැඩපිලිවෙල විස්තාරනය කරමින් සමාජවාදී සමානතා පක්ෂය ඔක්තෝබර් 22 දා නිකුත් කල ප්‍රකාශයේ  මෙසේ සඳහන් වෙයි:  

"හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන මූලික ව ම වෛද්‍යමය ප්‍රශ්නයක් නො වන අතර, එය, වසංගතයට ජාතිකවාදී විසඳුමක් නැතැ යි යන අවබෝධය මත පදනම් වන දේශපාලනික අරගලයකි.

මෙම ඉල්ලීම්වලට ආමන්ත්‍රනය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන ගෝලීය ධනවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයක් හරහා පමනි. වසංගතය පුපුරා ගිය තැන් පටන් ම, මෙම ක්‍රියා මාර්ගය සඳහා වන සටන සසප විසින් ගැඹුරු කර ඇත්තේ කම්කරුවන් වාර්ගික රේඛා හරහා එක්සත් කරමිනි."

Loading