ඉදිරිදර්ශන

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීම හා සමාජවාදයේ අනාගතය

ඔක්තෝබර් 25 වන ඉරිදා පැවති ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීම සැමරීමේ ආරම්භක රැලියට, ඩේවිඩ් නෝර්ත් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී. නෝර්ත් ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති මෙන් ම  ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ද වේ.

***

යලි දියත් කිරීමේ ව්‍යාපෘතියට වසරකට වැඩි කාලයක් පුරා විහිදුනු තාක්ෂනික, කලාත්මක, දේශපාලන හා න්‍යායාත්මක කටයුතු ඇතුලත් විය. වෙබ් අඩවිය නව මුහුනුවරින් 2020  ඔක්තෝබර් 2 වන දින දියත් කර දැන් සති තුනකට වඩා ගත වී ඇත. එතැන් සිට මේ දක්වා වෙබ් අඩවියට ආසන්න වශයෙන් 2,300,000 ක් පිවිස ඇති අතර පිටු දසුන් සංඛ්‍යාව මිලියන තුනකට වඩා වැඩි වී  තිබේ. යලි දියත් කරන ලද වෙබ් අඩවියට දක්වන ප්‍රතිචාරයෙන් සංස්කාරක මන්ඩලය සැබවින් ම සතුටට පත්  වේ. නමුත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වේගයෙන් ව්‍යාප්ත වන පාඨක සංඛ්‍යාව හුදෙක් ස්වයං-තෘප්තිය සාධාරනීකරනය සඳහා පමනක් නොවිය යුතු බව අපි පිලිගනිමු. මෙම ප්‍රතිචාරය විචක්ෂනශීලී ව විමසා බැලීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බල කෙරී ඇත. එනම්, ලෝසවෙඅ හි දෛනික සංසරනයේ සැලකිය යුතු වර්ධනය තුල සිය ප්‍රකාශනය සොයා ගන්නා වෛෂයික ක්‍රියාවලීන් හඳුනා ගැනීම යි.

මම ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීම සැමරීමේ මෙම ජාත්‍යන්තර අන්තර්ජාල රැලියට සහභාගී වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයින් හා ආධාරකරුවන් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් සාදරයෙන් පිලිගනිමි.

ලෝසවෙඅ වෙත දක්වන ප්‍රතිචාරය පිලිබිඹු කරන්නේ 1930 ගන්වලට පසු ඇති වූ විශාලතම අර්බුදයේ තතු යටතේ මහා දේශපාලන පෙරලිකාරිත්වයේ  ක්‍රියාවලියකි. වසංගතය ලෝක ධනේශ්වර පද්ධතියේ සමාජ, ආර්ථික, දේශපාලන හා සදාචාරාත්මක බංකොලොත්භාවය හෙලිදරව් කර තිබේ. කොවිඩ්-19 වෛරසයෙන්  මිලියනයකට අධික පිරිසක් ඝාතනය කර තිබේ. එක්සත් ජනපදය තුල පමනක් මරන සංඛ්‍යාව මිලියන කාලකට ආසන්න වෙමින් තිබේ. වර්ෂය අවසාන වන විට, ආසාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මිය ගොස් තිබෙනු ඇති ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව 300,000 ඉක්මවනු ඇත.  ලොව බොහෝ කොටසක  වසංගතය පාලනයෙන් තොර ව වියරු ව පැතිරී යද්දී පවා, ධනේශ්වර  ආන්ඩුවල කේන්ද්‍රීය අවධානය යොමු වන්නේ වෛරසය පාලනය කිරීමට නොව, ඊට වඩාවෙනස් ව  ලාභ ආරක්ෂා කිරීමට ය. “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ මාරාන්තික මූලෝපාය අනුගමනය කිරීම, මිනිස් ජීවිතයට සිදුවන හානිය නො සලකා පුලුල් ලෙස ආසාදනය වීමට ඉඩදීම සහ එය  ක්‍රියාකාරීව දිරිගැන්වීම යටින් පවතින්නේ මෙම සාපරාධී ප්‍රමුඛතාව යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය [වංසගතය] පුපුරා යාමේ ආරම්භයේ සිටම පැහැදිලි කර ඇති පරිදි, වසංගතය, “ප්‍රේරක සිදුවීමක්” වන අතර, එය පලමුවන ලෝක යුද්ධය ආරම්භ වීම මෙන්ම, ධනේශ්වර පද්ධතියේ සියලු ප්‍රතිවිරෝධතා විශාල වශයෙන් තීව්‍ර කර පුපුරා යන අවස්ථාවකට ගෙන විත් ඇත. සමාජයේ මහා පන්ති දෙක වන ධනේශ්වර පන්තිය සහ කම්කරු පන්තිය වඩ වඩාත් ඍජු හා දරුනු ගැටුමකට තල්ලු කෙරෙන්නේ, මෙම  බලවේග දෙකේ එකිනෙක තමන්ගේ උත්සුකයන් මත පාදකව මෙම ප්‍රතිඝතිතාවන් විසඳීමට උත්සාහ කිරීමත් සමගිනි. අර්බුදය ජය ගැනීම සඳහා ධනේශ්වර ප්‍රභූන් උත්සාහ කරන ක්‍රමවේද හා ප්‍රතිපත්ති වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීම, ෆැසිස්ට්වාදය හා යුද්ධය යි. ඊට ප්‍රතිචාර වශයෙන් කම්කරු පන්තියට බල කෙරෙන්නේ විප්ලවවාදී අරගලයේ මාවතට පිවිසීමට,  ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීමේ දේශපාලනික හා ඓතිහාසික සන්දර්භය මෙය යි. එහෙත්, ලෝසවෙ වර්ධනය එහි ප්‍රකාශනයක් වන වෛෂයික ඓතිහාසික ක්‍රියාවලිය හඳුනා ගැනීම යන්නෙන් අදහස් වන්නේ, ලෝසවෙඅ යලි දියත් කිරීම හෝ මීට වසර 23 කට පමන පෙර වෙබ් අඩවියේ මුල් ආරම්භයම පවා, අන්ධ ඓතිහාසික බලවේගයන්ගේ ස්වයංක්‍රීය ප්‍රතිලයක් නොවේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යනු විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර  කේඩරයේ සවිඥානික උත්සාහයේ ප්‍රතිඵලයකි. ලෝසවෙඅ ප්‍රථම වරට දියත් කරනු ලැබුවේ 1998 පෙබරවාරි මාසයේ දී ය. ඒ වන විට සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ගත වී තිබුනේ වසර හයක් පමනකි. ප්‍රති-මාක්ස්වාදී සංශෝධනවාදයේ හා සුලු ධනේශ්වර වාමාංශයේ ගිනිය නො හැකි  ප්‍රභේද සම්බන්ධයෙන් ගත් විට, නිලධාරිවාදී තන්ත්‍රයේ බිඳවැටීම මෙන් ම ලොව පුරා කම්කරු හා වෘත්තීය සමිති නිලධරයන්ගේ බෙලහීනත්වයට, අපේක්ෂා භංගත්වයේ ආඝාතය මුනගැසුනි. “සියවසෙහි මැදියම” උදාවී තිබුනි. (සියවසෙහි මැදියම: සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී පාවාදීම් පිලිබඳ වික්ටර් සර්ජ් අතින් ලියැවුනු මිඩ්නයිට් ඉන් ද සෙන්චරි නම් කෘතිය - පරිවර්තක)

දේශපාලනික හා ඓතිහාසික තත්ත්වය ජාත්‍යන්තර කමිටුව විසින් මුලුමනින්ම වෙනස් ආකාරයකින් තක්සේරු කරන ලද අතර, එය පැරනි හා ප්‍රතිගාමී නිලධාරිවාදී සංවිධාන එකක් පසුපස එකක් බිඳවැටෙනු ඇතැයි ට්‍රොට්ස්කි කල  අනාවැකිය සාක්ෂාත් වීම ගැන පුදුමයට හෝ යන්තම් වත් අධෛර්යයට පත් නො වී ය. ස්ටැලින්වාදයේ බිඳවැටීම සහ පැරනි ජාතික ප්‍රතිසංස්කරනවාදී හා වෘත්තීය සමිති සංවිධානවල කුනුවීම නො තකා, ධනේශ්වර පද්ධතිය  එහි නො විසඳුනු ප්‍රතිවිරෝධතාවන්ගෙන් වට කෙරී තිබුනි. හතරවැනි ජාත්‍යන්තරය මුහුන දෙන කර්තව්‍යය වූයේ ධනවාදයේ අර්බුදයේ ඊලඟ අවස්ථාව හා කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයේ යලි පිබිදීම සඳහා සූදානම් වීමයි.

ඓතිහාසික වශයෙන් පදනම් කෙරුනු මෙම ඉදිරිදර්ශනය, ජයගත යුතු දැවැන්ත දුෂ්කරතා අවතක්සේරු කලේ නැත. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මාඕවාදය සහ සංගත ගැති වෘත්තීය සමිති විසින් සිදුකරන ලද අපරාධ හා පාවාදීම් මගින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන විඥානයට හා ආත්ම විශ්වාසයට කෙරී තිබුනු දැවැන්ත හානිය තේරුම් ගත්තා පමනක් නොව ඒවා අවතක්සේරු කලේද නැත. එපමනක් නො ව, මෙම අපරාධ හා පාවාදීම් කම්කරු පන්තියේ පුලුල් කොටස් අතර සමාජවාදය පිලිබඳ තක්සේරුව ගැඹුරින් ඛාදනය කලා පමනක් නො ව, අපකීර්තියට පත් කර තිබූ බව අවිවාදිත කරුනකි. වෛෂයික සිදුවීම්වල පීඩනය හා අතීතයේ තුවාල සුව කිරීම සඳහා නව පරපුරකට කාලය ගත  යුතු ව තිබුනි.

නමුත් මෙම ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර කමිටුව තමන්ගේ ම තීරනාත්මක කාර්යභාරය හඳුනා ගත්තේ ය. 1993 දී කියෙව්හි පැවති පලමු හමුව අතරතුර, ඒ වන විට ස්ටැලින්වාදී නිලධරයට එරෙහි ව ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් වාම විපක්ෂයේ අරගලයේ ඉතිහාසයේ පලමු වෙලුමේ වැඩ කරමින් සිටි,ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියානු ඉතිහාසඥ වඩීම් රොගොවින්, සමාජවාදී ව්‍යාපාරයක් යලි පිබිදීමක් සාක්ෂාත් කරගත හැක්කේ කේසේ දැයි? මගෙන් ඇසුවේ ය. ට්‍රොට්ස්කිවාදයේ ක්‍රියාමාර්ගය සඳහා වන අරගලය කම්කරු පන්තිය තුල අව්‍යාජ සමාජවාදී ලෝක දෘෂ්ටියක් හා සංස්කෘතියක් නැවත ගොඩනැංවීම සමඟ සම්බන්ධ කිරීමට ජාත්යන්තර කමිටුව අධිෂ්ඨාන කර ගෙන සිටින බව මම ප්රකාශ කලෙමි. “එය ඉතා උසස් අභිලාෂයක්” යැයි වඩීම් පිලිතුරු දුන් අතර, ඔහු “විකල්පයක් වී ද?” යන තම ශ්‍රේෂ්ඨ ඓතිහාසික කෘතියේ වෙලුම් හතක් සම්පූර්න කරමින් මෙම ඉදිරිදර්ශනය සඳහා සිය සහයෝගය පෙන්නුම් කලේ ය. සිය අවසාන වෙලුම ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් කැප කල වඩීම්, 1998 සරත් ඍතුවේ දී පිලිකාවක් හේතුවෙන් මිය යාමට පෙර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම නැරඹීමට ජීවත් විය.

වෙබ් අඩවිය දියත් කල දින සිට, ලෝසවෙඅ හි දෛනික සංස්කරන 8,000 කට වඩා පල කෙරී තිබේ. එය මුලින් සතියට දින පහක් පල කරන ලද අතර, සතියේ දින හයක් පල කිරීම සඳහා තරමක් වේගයෙන් ගමන් කලේ ය. නියමිත එක් පල කිරීමේ දිනයක් හෝ මග හැරී නැත. ප්‍රකාශනයකට එවැන් ස්ථිරතාවක්  පවත්වා ගත හැකි වන්නේ මාක්ස්වාදී න්‍යාය තුල මුල් බැසගත් ඉදිරිදර්ශනයකින් හා විප්ලවීය අරගලය පිලිබඳ හතරවැනි ජාත්‍යන්තරයේ විශාල ඓතිහාසික අත්දැකීම් සවිඥානිකව සමග්‍රහනයකින් මග පෙන්වන්නේ නම් පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කර වසර භාගයකටත් අඩු කාලයක දී, 1998 ජූලි මාසයේ දී එහි කාර්යයේ දේශපාලන හා බුද්ධිමය පදනම් හා අභිප්‍රේරනයන් පහත පරිදි පැහදිලි කෙරුනි.

1. කම්කරු පන්තියේ දේශපාලන මූලෝපාය හා උපක්‍රමික සංවිධානයේ පදනම ලෙස ජාත්‍යන්තරවාදයේ ප්‍රමුඛතාවය පිලිබඳ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අවධාරනය.

2. ප්‍රතිගාමී කම්කරු නිලධරයන් විසින් කම්කරු පන්තියේ ආධිපත්‍යය ගැනීමට එරෙහි ව ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන යනු ලබන අරගලයේ සම්මුති විරහිත ස්වභාවය.

3. නව ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක අත්‍යාවශ්‍ය බුද්ධිමය හා, යමෙකුට අනුව, “අධ්‍යාත්මික” ප්‍රතිඥාවක් ලෙස කම්කරු පන්තිය තුල අවංක සමාජවාදී සංස්කෘතියක පුනර්ජීවනය මත තබන අවධාරනය

 4. ධනවාදයේ අර්බුදය, පන්ති අරගලය හා සමාජවාදී විප්ලවයේ වර්ධනය සම්බන්ධයෙන් ස්වයංසිද්ධවාදය හා දේශපාලන ඉරනම්වාදයට එරෙහි අරගලය. [1]

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පැවත්ම හා වර්ධනය සනාථ කරන්නේ මෙම අතිමූලික  මූලධර්ම හා මාක්ස්වාදී භෞතිකවාදී ලෝක දෘෂ්ටිය සහ ඒවා පදනම් කරගත් ට්‍රොට්ස්කිවාදී දේශපාලන ක්‍රියාමාර්ගයේ නිරවද්‍යතාව යි.

එහෙත් වඩාත් ම දියුනු විද්‍යාත්මක න්‍යාය හා විප්ලවවාදී ක්‍රියාමාර්ගය පවා සටන් වැදීමකින් තොරව සාක්ෂාත් කර ගත නො හැකි ය. මහජන සමාජවාදී ව්‍යාපාරයක් බිහිවීම සඳහා අවශ්‍ය මාක්ස්වාදී ක්‍රියාමාර්ගය හා ඉහල මට්ටමේ දේශපාලන විඥානය  කම්කරු පන්තිය තුල ස්වයංසිද්ධ ව වර්ධනය විය නො හැකි ය. සමාජවාදී ලෝක දෘෂ්ටිය  හා සංස්කෘතියේ ගැඹුරින් බලපෑමට ලක් වූ විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයක වර්ධනයට මාක්ස්වාදී කේඩරයේ නො නවතින හා අඛන්ඩ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වේ.

වසර 23 කට ආසන්න කාලයක් අඛන්ඩ ව හා අවිච්ඡින්න ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කේඩරයේ කාර්ය සාධාරන ලෙස  “අධිෂ්ටානශීලී” හා “වෙහෙස නොතැකූ” එකක් යැයි හැඳින්විය හැකි ය. දශක දෙකකට වැඩි කාලයක් පුරා ලෝසවෙඅ ප්‍රකාශයට පත්කිරීමට විවිධ මහාද්වීපවල ජීවත් වන කේඩරයේ දෛනික සහයෝගීතාවය අවශ්‍ය වී ඇත.

ලෝසවෙඅ කාර්ය මන්ඩලය පුලුල් පරාසයක දේශපාලන අත්දැකීම් සහිත කේඩරකින් සමන්විත වේ. බැරී ග්‍රේ, පැට්‍රික් මාටින්, නික් බීම්ස්, විජේ ඩයස්, ක්‍රිස් මාස්ඩන්, පීටර් ෂ්වාස්, උල්රිච් රිපර්ට්, ඩේවිඩ් වොල්ෂ්, ලැරී පෝටර් හා ෆ්‍රෙඩ් මැසෙලිස් වැනි වෙබ් අඩවියේ නිත්‍ය ලේඛකයින්ගෙන් සමහරෙක් දශක ගනනාවක්, අඩ සියවසක් හා ඊටත් දීර්ග කාලයක්  විප්ලවවාදී කාර්යයේ නියලී සිටී. එමෙන්ම ඔවුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙන අතර, තවත් බොහෝ ලේඛකයෝ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවලට අලුතින් බඳවා ගැනුනු අය වෙති. ඒවා පිහිටි රටවල හා කලාපවල ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛා ස්ථාපිත කිරීමට බැරෑරුම් ලෙස වැඩ කරමින් සිටින අතර, ලෝසවෙඅ නිතිපතා දායක වන සහෝදර සහෝදරියෝ ද වෙති.

වෙබ් අඩවිය ලේඛකයින් විසින් පමනක් ජීවත් කරවනු නො ලැබේ. ලෝසවෙඅ තිරසාර ලෙස පවත්වාගෙන යනු ලබන්නේ වෙබ් අඩවියේ තාක්ෂනික නඩත්තු කටයුතු සඳහා සහභාගී වන, ලිපි සෝදුපත් කියවන, පසුව ඒවා වෙබ් අඩවියේ පල කරන ජාත්‍යන්තර කේඩරය විසිනි. එමෙන් ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංගත වාරනයන්ට එරෙහි ව දිනපතා සටනක් කල යුතු තතු යටතේ, ලොව පුරා සිටින පක්ෂ කේඩරයෝ, වෙබ් අඩවියේ පල කිරීම් ගෝලීය ප්‍රේක්ෂක අවධානයට යොමු කිරීමට, ගිනිය නො හැකි සමාජ මාධ්‍ය වේදිකා තුල මැදිහත් වෙති. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ගිනිය නො හැකි කැපවූ පාඨකයන් හා ආධාරකරුවන්ගේ උත්සාහයෙන් මෙම කාර්යය අතිමහත් ලෙස ශක්තිමත් කෙරේ.

සැබවින් ම, ලෝසවෙඅ ප්‍රකාශනය එහි විශ්වාසවන්ත පාඨකයින් හා ආධාරකරුවන් විසින් සපයනු ලබන මූල්‍ය සම්පත් නො මැති ව පවත්වා ගෙන යා  නො හැක.

පුරාන ලෝකය පිලිබඳ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයෙකු වන ටෙරන්ස් මෙසේ ලිවී ය: “මම මනුෂ්‍යයෙක්; මම හිතන්නේ කිසිම මිනිසෙක් මට ආගන්තුක නැහැ. ” මෙම විශ්වීය දැක්ම ලෝසවෙඅ අන්තර්ගතය තුල ප්‍රකාශ වේ. එහි ආවරන පරාසය විශාල පරාසයක විෂයයන්, සිදුවීම් සහ අත්දැකීම් වෙලා ගනී. ලෝසවෙඅ පලමු හා ප්‍රමුඛ වශයෙන් නැඹුරුවන්නේ කම්කරු පන්තියටයි. කම්කරු පන්තිය ධනවාදයේ ආධිපත්‍යය යටතේ පවතින තාක් කල්, ලෝසවෙඅ හි කේන්ද්‍රීය අවධානය යොමු විය යුත්තේ දේශපාලන සිදුවීම් හා සමාජ අරගල පිලිබඳ සවිස්තරාත්මක ආවරනයක් මෙන් ම විශ්ලේෂනයක් කම්කරු පන්තියට ලබා දීම කෙරෙහි ය.

අව්‍යාජ විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් හා පාලක පන්තියේ දේශපාලන නියෝජිතයින් විසින් නිපදවන ව්‍යාජ වැඩසටහන් අතර වෙනස හඳුනා ගැනීමට එය කම්කරුවන්ට ඉගැන්විය යුතු ය. ලෝසවෙඅ විසින් කම්කරු පන්තියේ ඓතිහාසික සවිඥානකත්වය අඛන්ඩව මතු කල යුතු අතර එය නිවැරදි දිශානතියකට හා සමකාලීන සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමට අත්‍යවශ්‍ය වේ. රුසියාවේ සමාජවාදී ඔක්තෝබර් විප්ලවය හෝ නව ඇමරිකානු සමූහාන්ඩුවේ යුද පිටිවල සටන් කල ශ්‍රේෂ්ට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව දෙක වේවා, රුධිරයෙන් ගෙවන ලද අතීතයේ ඓතිහාසික ජයග්‍රහන ව්‍යාජ ලෙස හෙලා දැකීම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉවසන්නේ නැත.

 හැකි උපරිම තරමින්, ලෝසවෙඅ කම්කරු පන්තියේ විද්‍යාත්මක දැනුම හා සංස්කෘතික අවබෝධය ඉහල නැංවීමට උත්සාහ කරයි. කම්කරු පන්තියේ විෂය පථයෙන් බැහැර වන සංස්කෘතියේ කිසිදු අංගයක් නොමැත. මානව අත්දැකීම්වල පුලුල් පරාසය සමඟ බුද්ධිමය මැදිහත්වීම හා සහානුභූතිය සමගින් පන්ති විඥානය පොහොසත් වන අතර වඩාත් තියුනු  වේ.

 ලෝසවෙඅ අරමුන  වන්නේ  ලෝක සමාජවාදී විප්ලවය ක්‍රියාවට නැගීමට සහ  මර්දනයේ සියලුම රූපාකාරයන්ගෙන්, සියලු ම ජනවර්ග, ජාති, ආගම් හා වාර්ගික පසුබිම්වල මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය අත්පත් කර ගැනීම  සඳහා අවශ්‍ය, එක්සත්කම හා ගෝලීය සමායෝජනයේ මට්ටමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානය ඉහල නැංවීම යි.

අද, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කටයුතුවල තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල කථිකයන්ට අපට සවන් දිය හැක. කථිකයින්ගේ ලැයිස්තුව අවශ්‍යයෙන්ම කාලය අනුව සීමා වේ. එබැවින් ඔවුන් කතා කරන්නේ විශාල සාමූහික උත්සාහයක නියෝජිතයන් ලෙස ය.

[1] ඩේවිඩ් නෝර්ත්, 1998 ජූලි 20 වන දින හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දහඅටවන සම්මේලනයේ ආරම්භක සැසියේ වාර්තාව.

Loading