රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධය වැඩෙයි

මාරාන්තික වෛරසයට කම්කරුවන් ගොදුරු කරමින් අඛන්ඩව වැඩෙහි යෙදවීමට, සහ ආහාර සහ අත්‍යවශ්‍ය පහසුකම් සම්පාදනයකින් තොරව ඇඳිරි නීතිය පැනවීමට එරෙහිව, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) ඇඟලුම් කම්කරුවන් අතර රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතී.  

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙන් මේ මස මුල කොරෝනා ආසාදිත වූ කම්කරුවන් වාර්තා වීමෙන් පසු මිනුවන්ගොඩ හා දිවුලපිටිය ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය පුරා වසංගතය පැතිර යන තත්වයේ දී මේ මස 15 දා කටුනායක නිදහස් වෙලඳ කලාපය (කනිවෙක) ආශ්‍රිතවත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාවට නැගී ය.         

ආන්ඩුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කලමුත් කනිවෙක හෝ ගම්පහ දිස්ත්‍රිකයේ එකදු ඇඟලුම් කම්හලක් හෝ වසා නොදැමුනි. රෝගීන් වාර්තා වූ කම්හල් පමනක් වසා දැමුන ද මේ වන විට එලෙස වසා දැමු කම්හල්වලද පාර්ශ්වීය වශයෙන් හෝ යලි වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.   

රටතුල කිසිදු අගුලු දැමීමක් සිදු නොකොට, “සෞඛ්‍ය පිලිවෙත් ක්‍රියාවට නගමින්” ආර්ථික ක්‍රියාකාරකම් දිගටම ක්‍රියාත්මක කිරීමට, 26 දා පැවති ආමාත්‍ය මන්ඩල රැස්වීමේ දී තීරනය කොට තිබේ. ගම්පහ දිස්ත්‍රිකයේ අපනයන සමාගම්වලට ඇඳිරිනීතිය යටතේ අඛන්ඩව සිය නිෂ්පාදන කටයුතු පවත්වා ගෙන යා හැකි බව අපනයන සංවර්ධන මන්ඩලය මේ සතියේ මුල නිවේදනය කලේ ය. 

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාවේ යොදා රාජපක්ෂ ආන්ඩුව සැබෑවටම ක්‍රියාවට නගා ඇත්තේ කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීමේ පිලිවෙතකි. මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,200 ක් ඉක්මවා ඇත. ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය යටතේ ක්‍රියාත්මක කනිවෙක තුල කම්හල කිහිපයකින් හා ඊට පරිබාහිර කම්හල්වලින් ද රෝගීන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැන් 300 ක් ඉක්මවා තිබේ.   

නේවාසිකාගාර තුල හා මිලිටරිය මගින් පාලනය වන කඳවුරු තුල නිරෝධායනයට ලක්කර සිටින දහස් ගනනක කම්කරුවන් අතිශය කටුක කොන්දේසි යටතේ කාලය ගෙවන බව වාර්තා වේ. රාත්‍රී කාලයේ හමුදා භටයන් කම්කරුවන්ගේ නවාතැන් වටකර “කිසිවෙක් පැන යෑමට උත්සාහ කරන්න එපා” යයි අන කරමින්, සීමිත කාලයක් ඇතුලත නිරෝධායන කඳවුරුවලට යෑමට සූදානම් වන ලෙසට බලකර බවට කම්කරුවන් සිදුකල ප්‍රකාශ ඇතුලත් මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ. ඉන් කම්කරු කාන්තාවන්, ඔවුන්ගේ දරුවන් හා ඇතැම්විට ගර්භනී මව්වරු පවා අපහසුතාවයට ලක්ව ඇත.  

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ කම්කරු කාන්තාවක් තමන් මුහුන දුන් අත්දැකීම විස්තර කරමින් කියා සිටියේ ඇය සේවය කල කම්හලේ කම්කරුවෙකුගේ බිරිඳට කොරෝනා ආසාදනය වීම නිසා ඇගේ  නවාතැනේ විසි දෙනෙක් පමන පසුගිය 18 වන ඉරිදා රාත්‍රී 8 ට පමන හමුදාව සහිත බස් රථයකින් උතුරු පලාතේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය බවයි. 

එම මධ්‍යස්ථානයේ එක් කාමරයක පස් දෙනෙකු රඳවා ඇත. “දින දහයක් ගියාට පස්සේ තමයි අපිව පීසීආර් පරීක්ෂනයට භාජනය කලේ. හැම කෙනාගේම ඉල්ලීම පරීක්ෂන කරලා ගෙවල්වලට යවන එකයි. කම්කරුවන් අතර භීතියක් පවතිනවා එක් අයෙකුට බෝ වුනහොත් අන් අයටත් බෝ වෙයි කියලා” යැයි ඇය ප්‍රකාශ කලා ය. 

කඳවුරට ගෙනයෑමට පෙර දින හතරක් මෙම පිරිස සිය නවාතැනේ නිරෝධායනයට ලක් කොට තිබේ. ඉහත කාන්තාව ප්‍රකාශ කලේ ඒ දිනවල බෝඩිමේ සිටි කිහිප දෙනෙකුටම නිසි පරිදි ආහාර නොලැබුනු බව සහ මේ වන විට තවත් කම්කරුවන් එලෙස හිරවී සිටින බවයි. “ආන්ඩුව ඇඳිරිනීතිය දාලා කම්කරුවන්ව වසංගතයට හා දැන් කන්න බොන්න නැති තත්වයට ඇද දාලා තියෙන්නේ ධනපතියන්ගේ ලාභ තර කරන්න” යයි ඇය කෝපයෙන් පැවසුවා ය. 

රටපුරා විවිධ දුෂ්කර ප්‍රදේශවලින් පැමිනෙන තරුන කම්කරුවෝ දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට්, හයිඩ්‍රාමනි, මාස් වැනි ඇඟලුම් කම්හල්වල රැකියාවල යෙදී සිටිති. ඔවුන් මෙම කම්හල්වල රැකියාවට පැමින ඇත්තේ, තම ගම්බිම්වල නිරත වී සිටි කෘෂිකර්මාන්තයෙන්, ස්වයං රැකියාවලින් හෝ වෙනත් කුලී රැකියාවලින් තම දරු පවුල් නඩත්තු කිරීමට නො හැකි වීම හේතුවෙනි. 

රැකියා අවස්ථාවක් අපේක්ෂාවෙන් සිටින කම්හල් තුලින් දොට්ට දැමූ කම්කරුවන් හා මෑන් පවර් සමාගම් යටතේ රැකියාවල නිරත වූ කම්කරුවෝ විශාල ප්‍රමානයක් ඇඳිරි නීතිය හේතුවෙන් කඩ සාප්පු වසා දැමීම හා මිල මුදල් නොමැති වීමෙන් ආහාර ඇතුලු මූලික අවශ්‍යතා සපයා ගැනීමට නො හැකිව සිටිති. එවන් බොහොමයක් කම්කරුවන් කුසගිනි නිවා ගන්නේ නේවාසිකාගාරවලින් හා ඔවුන්ගේ මිතුරන්ගෙන් ලැබෙන ආධාරයකිනි. 

බොහෝ කම්කරුවන් නිරෝධායනයට ලක් කලද ඔවුන් පරීක්ෂන වලට ලක් නොකෙරේ. පරික්ෂනයට ලක් කලද, ඒවායේ වාර්තා ප්‍රමාද වෙයි. මේ හේතුවෙන් රෝගය වඩවඩාත් ව්‍යාප්ත වෙයි.

ඉසබෙලා ඇඟලුම් කම්හලේ රෝගී වූ කම්කරුවෙකු සමග එකම නවාතැනේ සිටි ස්මාර්ට් ෂර්ට් කම්හලේ තරුන කම්කරුවෙකු මේ වනවිට නවාතැන තුලම නිරෝධායනයට ලක් කර සිටී. තමා මුහුන දෙන තත්වය ඔහු මෙසේ විස්තර කලේ ය: “මගේ පීසීආර් පරීක්ෂනය කරලා දින 05 ක් වෙනවා තවම වාර්තාව ආවේ නෑ. මේ මාසේ 4 දා මට රුපියල් විසිඑක් දාහක පඩියක් ලැබුනේ. රුපියල් 11,000 ක නය වාරික ගෙවලා දැන් මගේ අතේ සල්ලි නෑ. ෆැක්ටරියෙන් හෝ ආන්ඩුවෙන් හෝ අපිට කිසිම සහනයක් ලැබුනේ නෑ. අසල්වාසීන්ගේ උදව් නැත්නම් අපි ඉවරයි” යයි ඔහු වේදනාවෙන් ප්‍රකාශ කලේ ය. 

වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා රැකියාවට නොයන කම්කරුවන්, නොකඩවා දින තුනක් සේවයට වාර්තා නොකලහොත් රැකියාව හැර ගියා සේ සලකා දොට්ට දැමීමට කම්හල් පරිපාලනය බලා සිටී. ඔවුනට වන්දි හා අනෙකුත් දීමනා අහිමි වෙයි. ඒ තත්වය හමුවේ බොහොමයක් කම්කරුවන්ට අනාරක්ෂිතව හා දරුනු සූරාකෑමක් යටතේ වැඩට යෑමට බල කෙරී තිබේ. 

කම්කරුවන් දෙදෙනෙකු ආසාදිතවීමෙන් පසු සතියක පමන කාලයක් වසා දමා තිබූ ඔකායා ලංකා නැමැති ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරන ජපන් කම්හලේ බොහෝ කම්කරුවන් තම ගම් ප්‍රදේශයන්ට ගොස් ඇත. ආහාර පාන පවා නිසි පරිදි නොමැතිව නේවාසිකාගාරයන් හි රැඳී සිටි හතලිහක පමන කාන්තා කම්කරුවන් පිරිසක් කම්හල් පරිපාලනයේ දැනුම් දීම මත යලි වැඩට පැමිනීමෙන් පසු, කම්හලට “මඩ ගසන” පිරිස් කම්කරුවන් අතර සිටින බවට එක් කලමනාකරුවෙකු එම කම්කරුවන්ට චෝදනා කර තිබේ. කම්හල විසින් කාන්තා කම්කරුවන් සඳහා අලුත් නවාතැනක් සූදානම් කරන බව වැඩිදුරටත් පවසා ඇති ඔහු “ඒකේ නතර වෙන්න බැරිවුන් ඉන්නවා නම් පලයල්ලා” කියා තර්ජනය කොට ඇත. 

2008 ගෝලීය මූල්‍ය අර්බූදය පුපුරාගිය තැන් පටන් අවපාතයක් දිසාවට ගමන් කරන ගෝලීය ආර්ථිකය හමුවේ ලංකාවේ ඇඟලුම් ආශ්‍රිත අපනයන පහත වැටෙමින් තිබේ. වසංගතය මගින් මේ තත්වය දරුනු ලෙස උග්‍ර කෙරී ඇති අතර ඇඟලුම් නිෂ්පාදනයේ යෙදී සිටින ආසියානු කලාපයේ සෑම රටක්ම තම වෙලඳපල ආරක්ෂා කර ගැනීම සඳහා උග්‍ර තරගයක නිරත වී සිටී. මෙම අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීම රාජපක්ෂ ආන්ඩුවේ සේම ආසියානු කලාපය පුරා පාලක පන්තින්ගේ පිලිවෙතයි.  

කම්කරු පන්තියේ විරෝධය වර්ධනය වන තතු තුල, ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප පොදු සේවක සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සංවිධාන රොත්තක් කම්කරුවන් පත්ව ඇති තත්වය සම්බන්ධව ආන්ඩුවට ආයාචනා කිරීමේත් සහන මලු කිහිපයක් බෙදීමේත් ප්‍රෝඩාවක නිරත වී සිටී. 

නමුත්, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්හල් විවෘත කිරීමටත්, හාම්පුතුන්ට වාසි දායක ලෙස කම්කරුවන් දොට්ට දැමීමට හා වැටුප් කැපීමටත් ආන්ඩුව මැයි මාසයේ ගොඩනැගූ ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බලකායට රිංගා ගත් මෙම වෘත්තීය සමිති, ඇඟලුම් කම්කරුවන් දැන් මුහුන දෙන විනාශකාරී තත්වය සම්බන්ධව වගකිව යුතු ය. 

Loading