දකුනු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරු දේශීය සිනමා කර්මාන්තය මත කොරෝනා වෛරසයේ බලපෑම සාකච්ඡා කරති

[මෙම ලිපිය 2020 අප්‍රේල් 22 වැනි දා පල වූ ඉංගිරිසියෙන් ලිපියක සිංහල පරිවර්තනයයි.]

කොවිඩ්-19 පරාජය කිරීම සඳහා, අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 24දා සිට ජාතික අගුලු දැමීමේ කාලයක් නිවේදනය කිරීම, රට පුරා කර්මාන්ත හිටි අඩියේ නවතා දමා ඇත. ලක්ෂ ගනනක් කම්කරුවන්, කිසිදු ආර්ථික සහයෝගයකින් තොර ව රැකියා නොමැත්තන් බවට පත්කරනු ලැබ තිබේ.

ඥානා සෙරුක්කු

අඩු වැටුප් ලබන කම්කරුවන් මිලියන ගනනකට ආධාර කිරීම සඳහා කිසිදු ගැඹුරු සැලසුමක් අඩංගු නො වන අගුලු දැමීම, ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය හා දෛනික වැටුප් මත යැපෙන එහි ශ්‍රම බලකාය මත දරුනු ලෙස බලපා ඇත.

අර්බුදයෙන් පහර වැදුනු අය අතරට, සහාය අධ්‍යක්ෂවරු, කලාකරුවෝ, සැලසුම් ශිල්පියෝ, දර්ශන තල සහායකයෝ, පිටපත් පරීක්ෂකයෝ, කැමරා සහායකයෝ සහ ආලෝකකරන හා චලන පාලක තාක්ෂනවේදීහු අයත් වෙති. ඔවුන්ගේ පලපුරුද්ද මත දිනකට රුපියල් 300-700 (එක්සත් ජනපද ඩොලර් 9ක්) අතර සාමාන්‍ය වැටුපක් ලබන චිත්‍රපට කර්මාන්තයේ දෛනික වැටුප් කම්කරුවන්ට, ඉතිරි කිරීමක් රැස් කරගැනිමේ සැබෑ හැකියාවක් නැත. දහස් ගනනක් වන මෙම කම්කරුවන් දැන් රැකියා විරහිතයන් ය.

නිපදවන චිත්‍රපට සංඛ්‍යාව අනුව, ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ලෝකයේ විශාලතම ඒවායෙන් එකකි. භාෂා ගනනාවකින් වසරකට චිත්‍රපට 2,000ක් පමන නිපදවන එය, ඉතා මෑත සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 248,000කට අධික පිරිසක් සේවයේ යොදවයි. එහි සමස්ත ඉපැයීම් එක්සත් ජනපද චිත්‍රපට කර්මාන්තය හා සංසන්දිතව කුඩා වුවත්, 2017 දී ඉන්දියානු චිත්‍රාගාර ඩොලර් බිලියන 2.1කට වඩා ඉපැයූවේ, එම ඉපැයීම 2020 වන විට ඩොලර් බිලියන 3.7 කරා නැගෙනු ඇත යන පුරෝකථනයන් සමගිනි. මිලියන ගනනක් වන කම්කරුවෝ හා තරුන ජනයා රටෙහි දසදහස් ගනනක් වන සිනමා ශාලාවලට රොක් වෙති.

මුම්බායිහි පදනම් වන හින්දු භාෂා චිත්‍රපට කර්මාන්තය වන බොලිවුඩය ආධිපත්‍යය දරන අතර ම, රටෙහි වාර්ෂික සිනමා ප්‍රතිදානයට දකුනු ඉන්දීය චිත්‍රාගාර ද ප්‍රධාන ප්‍රතිපදානයක් කරයි.

ධරනි රාජේන්ද්‍රන්

රටෙහි දකුනු කොනේ පිහිටි ප්‍රාන්තය වන තමිල් නාඩුව, වාර්ෂික ව දෙමල භාෂා වෘතාන්ත චිත්‍රපට 200ක් පමන නිෂ්පාදනය කරන අතර, එම චිත්‍රපට සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, මැලේසියාව, ජපානය, මැද පෙරදිග, යුරෝපය හා උතුරු ඇමරිකාව ඇතුලු රටවල් හා කලාප ගනනාවකට බෙදාහරිනු ලැබේ. ප්‍රාන්තය සතු ව, සිනමා තිර 1,213ක් හා සිනමා ශාලා 900ක් තිබෙන අතර, එහි සමස්ත සිනමා ආසන ධාරිතාව 636,000කට අධික ය.

ලෝසවෙඅ වාර්තාකරුවෙක් වන යුවාන් ඩාවින්, චිත්‍රපට කර්මාන්තය මත කොරෝනා වෛරසයේ බලපෑම හා මෝදි ආන්ඩුවේ ක්ෂනික, සුදුසු සැලසුමක් රහිත අගුලු දැමීම ගැන, තමිල් නාඩුවේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වී ය.

2018 දී සම්මානලාභී ඥානා සෙරුක්කු චිත්‍රපටය අධ්‍යක්ෂනය කල ධරනි රාජේන්ද්‍රන් ස්වාධීන සිනමාකරුවෙකි. ඔහුගේ චිත්‍රපට අරබයා ජාත්‍යන්තර සම්මාන කිහිපයක් හිමිකරගෙන ඇති ඔහු, වෙනිසියුලාවේ, මියාමි නගරයේ, එක්සත් රාජධානියේ හා ඉන්දියාවේ කල්කටාවේ චිත්‍රපට උලෙලවල දී සම්භාවනාවට පාත්‍ර ව ඇත.

යුවාන් ඩාවින්: අඩු වැටුප් ලබන චිත්‍රපට කර්මාන්ත කම්කරුවන් මත අගුලු දැමීම බලපාන ආකාරය ඔබට විස්තර කල හැකි ද?

ධරනි රාජේන්ද්‍රන්: කුසගින්නේ නින්දට යන දෛනික වැටුප් ලබන බොහෝ චිත්‍රපට කම්කරුවෝ පොකට්ටුවේ කිසිවක් රහිත ව අවදි වෙනවා. තමන්ගේ උපන් නගර කරා ආපසු යාමට සමත් වූ අයට අඩු තරමින් කෑමට ආහාර හා නිදාගන්න තැනක් තියෙනවා. ඒත් ඒ අය ජීවතුන් අතර සිටීදැයි අපට දැනගත හැක්කේ අගුලු දැමීම අවසන් වීමෙන් පසුව පමනයි.

බොහෝ දෙනා “ස්වභාව ධර්මය මනුෂ්‍යවර්ගයාට පාඩමක් උගන්වමින් සිටිනවා” යි කීවත්, යථාර්ථයේ දී මේ වසංගතයේ විශාල ලෙස බලපාන්නේ දුගීන් හා පීඩිතයන්ට. ධනවතුන්ට ඔවුන්ගේ මුදල් යොදාගෙන ඕනෑම ව්‍යසනයකින් ගැලවිය හැකි යි.

වයිඩී: ඔබගේ නවතම චිත්‍රපටයට අගුලු දැමීමෙන් එල්ල වී ඇති බලපෑම ඔබට කිව හැකි ද?

ඩීආර්: 2020 මාර්තු 20දා මගේ අලුත් ම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මම සැලසුම් කරගෙන සිටියා, ඒත් අගුලු දැමීම නිසා ඒක අසාර්ථක වුනා. මගේ චිත්‍රපටය මහජනයාගේ මුදලින් තැනූ ස්වාධීන එකක්. ඒක නිෂ්පාදනය කලේ මිත්‍රයන්ගේ හා හිතවතුන්ගේ උදවුවෙන්. අගුලු දැමීම නිසා අපට විශාල පාඩුවක් සිදු වී තිබෙනවා.

අගුලු දැමීම අවසන් වුනා ම සිනමා ශාලා යලි විවෘත වෙනවා, විශාල ප්‍රාග්ධන පිටුබලයක් සහිත විශාල නිෂ්පාදකයන් ඔවුන්ගේ චිත්‍රපට සිනමා ශාලා වෙත ගෙන ඒවි, එතකොට අපව පොඩි පට්ටම් වෙලා යාවි.

එස්පීපි භාස්කරන්

කෝවායි චිත්‍රපට සමාජයේ (කේඑෆ්එස්) ආරම්භකයා වන එස්. පී. පී. භාස්කරන්, 2019 දී නිපදවන ලද ඉන්ෂා අල්ලා යන දෙමල භාෂා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ය. මිනිත්තු 84ක් දිවෙන එම චිත්‍රපටය කය වෙහෙසවා වැඩ කරන මුස්ලිම් කම්කරු පන්තිකයන්ගේ ජීවිතය පිලිබඳ සරල චිත්‍රපටයකි. මුස්ලිම් ප්‍රජාව ප්‍රචන්ඩ හා ත්‍රස්තවාදයට උදවු කරන්නන් ලෙස නිරන්තරයෙන් යක්ෂාරෝපනය කරමින් ඉන්දියානු සිනමාව විසින් නිර්මානය කරනු ලබන ඒකාකෘතික චිත්‍රපට බිඳ දැමීමට එය උත්සාහ දරයි.

සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වී ඇති ඉන්ෂා අල්ලා, පැරගුවේ ස්වාධීන චිත්‍රපට උලෙල, ඇකොලේඩ් ජාත්‍යන්තර චිත්‍රපට තරඟාවලිය, තුන්වන චැම්බල් ජාත්‍යන්තර චිත්‍රපට උලෙල හා ඉන්දීය ලෝක චිත්‍රපට උලෙල ඇතුලු චිත්‍රපට උලෙල බොහොමයක දී ප්‍රදර්ශනය කර තිබේ.

වයිඩී: කොරෝනා වෛරසය හා එයට ආන්ඩුව දක්වා ඇති ප්‍රතිචාරය මගින් චිත්‍රපටකරුවන් මත ඇති කර තිබෙන ආර්ථික බලපෑම කුමක් ද?

ඉන්ෂා අල්ලා

එස්බී: මුදල් විශාල ලෙස පොලියට දෙන්නන්ගෙන් නය ගත් කුඩා නිෂ්පාදකයන් දැන් දිවිනසා ගැනීමේ තත්ත්වයකට මුහුන දෙනවා. විශාල පොලීකරුවන්, කුඩා නිෂ්පාදකයන්ට තර්ජනය කරමින්, ඉහල පොලියක් සමග නය ආපසු ගෙවන ලෙස විධානය කරාවි. අපේ චිත්‍රපටය මේ 2020 අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට සැලසුම් කර තිබුනත්, අගුලු දැමීම නිසා එය අසාර්ථක වුනා. දැන් මගේ නිෂ්පාදකයටයි මටයි කිසිම ආදායමක් නැහැ.

වයිඩී: කලාත්මක හා සංස්කෘතික බලපෑම කුමක් ද?

එස්බී: අගුලු දැමීමේ කාලය තුල අලුත් රූපවාහිනී අන්තර්ගතයන් නැති නිසා, වැඩවසම් අදහස් සහිත පැරනි දේවල් මාධ්‍ය විසින් යලි ප්‍රචාරය කරනවා. උදාහරනයක් ලෙස, ආන්ඩුවේ මධ්‍යම නාලිකාව වන දූර්දර්ශන්, හින්දුත්වා හා ආර්එස්එස් (පාලක භාරතීය ජනතා පක්ෂයේ දෘෂ්ටිවාදාත්මක උපදේශකයා ලෙස ක්‍රියා කරන හින්දු අන්තවාදී රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග් සංවිධානය) යන ඒවායේ ප්‍රජාගනවාදී න්‍යාය පත්‍රය වක්‍ර ව දිරිමත් කිරීම සඳහා රාමායනය හා මහාභාරතය වැනි හින්දු වීර කතා ප්‍රදර්ශනය කරනවා.

සෝවියට් රුසියාව විසින් මා උද්දීපනය කරනු ලැබුවා. මම ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසය ද අධ්‍යයනය කලා, ඒත් 1991දි මගේ ඇස් ඉදිරිපිට ම ඒක විසිරී යනවා මම දැක්කා. ඒ වගේ ම දැන් “ලෝකයේ පොලීසිය” ලෙස එය විසින් ම ප්‍රකාශ කරන ඇමරිකා එක්සත් ජනපදය කඩන් වැටෙනවා මම දකිනවා. එහි පදනම් මුලුමනින් ම බිඳී යනවා.

2011දි නිකුත් කල ස්ටීවන් සෝඩර්බර්ග්ගේ කන්ටේජියන් චිත්‍රපටය තුල බඩගින්න, මරන හා මහජන නැගී සිටීම් විසින් නිෂ්පන්නිත ආහාර කැරලි හා අනෙකුත් සමාජීය පිපිරීම් පිලිබඳ දර්ශනයන් අඩංගු වෙනවා. සැකයකින් තොර ව ඉන්දියාවේ ඒ වගේ දේවල් සිදුවේවි.

ලෙනින් භාරතී

ලෙනින් භාරති යනු, ඉන්දියාවේ වෙස්ටන් ගැට්ස්හි කුඩා කඳුකර ප්‍රදේශවල ඉඩම් අහිමි වතු කම්කරුවන්ගේ දුෂ්කර ජීවිත පිලිබඳ දෙමල භාෂා චිත්‍රපටයක් වන, 2018 දී නිකුත් කල මෙර්කු තොදාර්චි මලෙයිහි අධ්‍යක්ෂවරයා ය. පලල් ව සම්භාවනාවට පත් භාරතීගේ චිත්‍රපටයට අව්‍යාජ කතන්දරයක් හා සුවිශේෂී සහ ඒත්තු යනසුලු චරිත ඇත. 21 වැනි කේරල ජාත්‍යන්තර චිත්‍රපට උලෙල, සිංගප්පූරුවේ දකුනු ආසියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙල, චිකාගෝ දකුනු ආසියානු චිත්‍රපට උලෙල සහ ප්‍රන්සයේ ටවුලවුස්හි ඉන්දියානු චිත්‍රපට උලෙලේ දී එය තිරගත කරන ලදී.

වයිඩී: චිත්‍රපට කම්කරුවන් ව නියෝජනය කරනවා යයි කියන වෘත්තීය සමිති සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද?

එල්බී: ඔවුන් විසින් ම “වාමාංශිකයන්” යි කියා ගන්නා චිත්‍රපට කර්මාන්තයේ වෘත්තීය සමිති කම්කරුවන් ව දැනුවත් ව පාවාදෙනවා. මෙම කම්කරුවන්ගෙන් මාසික සාමාජික මුදල් ලබන මෙම වෘත්තීය සමිති, කරන්නේ විවිධාකාර “නාම මාත්‍රික” සම්මේලන සංවිධානය කිරීම හා “කේවල් කරනවා” යන ධජය යටතේ මහා නිෂ්පාදකයන්ගෙන් විවිධාකාර වරප්‍රසාද ලබාගැනීම පමනයි.

චිත්‍රපට කර්මාන්තයේ මෝටර් රථ රියදුරන් රියදුරු වෘත්තීය සමිතියේ සිටියත්, සමිතිය ඔවුන් වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ. මෙම රියදුරන් අගුලු දැමීමට මුහුන දෙමින් මුදල් හම්බ කරගත නො හැකි ව සිටියත් පුද්ගලික බැංකු ඔවුන්ට නය ගෙවන ලෙස බලකරනවා.

මෙර්කු තොඩර්චි මලෙයි

වයිඩී: කොරෝනා වෛරසයේ හා අගුලු දැමීමේ සංස්කෘතික බලපෑම ගැන ඔබට අදහස් දැක්විය හැකි ද?

එල්බී: දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ, යුද්ධයේ හා ව්‍යසනයේ සන්ත්‍රාසයන් චිත්‍රනය කරන ජාත්‍යන්තර චිත්‍රපට අපට තිබුනා. මානව වර්ගයා මුහුන දෙන වෛෂයික අර්බුදයන්ට සෑම විට ම ප්‍රකාශය අත්පත් කර දෙන අව්‍යාජ කලාව, එහි විවිධ සෞන්දර්යාත්මක රූපාකාර තුලින් එම සිද්ධීන් කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් වර්ධනය කරගැනීමට උපකාර වෙනවා.

වයිඩී: වසංගතයට ඉන්දියාවේ හා අනෙකුත් රටවල ආන්ඩු දක්වන ප්‍රතිචාරය පිලිබඳ ව ඔබ හිතන්නේ කුමක් ද?

එල්බී: ඔවුන්ගේ දේශසීමා ආරක්ෂා කිරීමට ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කරමින් සිටින ධනේශ්වර ආන්ඩු නිදහස් සෞඛ්‍ය සේවය හා සුභසාධනය සම්පූර්නයෙන් නො තකා හරිනවා.

එක් කාලයක “ලෝකයේ සුපිරි බලය” ලෙස දැකගන්නා ලද එක්සත් ජනපදය දැන් එලිපිටම හෙලිදරවු කෙරෙනවා. කොවිඩ්-19 නිසා මිය ගිය තැනැත්තන් ව ගබඩා කිරීමට හෝ සොහොන් කරා ප්‍රවාහනය කිරීමට ක්‍රමයන් වත් එයට නැහැ. එහෙත් “නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් මිලියන ගනන් ජනයා ඝාතනය කරමින් සියවස් කාලක් තිස්සේ එක්සත් ජනපදය යුද්ධවල යෙදී සිටිනවා.

ලෝකය පුරා නිසැකයෙන් ම කම්කරු පන්තියේ මහා අරගල ඉස්මතු වෙමින් මිලියන ගනන් දෙනාගේ සිත්වල වාමාංශික අදහස් ආධිපත්‍යය දැරීමට නියමිත යි.

Loading