වසංගතය රට පුරා පැතිරීමෙන් ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්වයට මහජනතාව වගකිව යුතු යැයි ජනාධිපති රාජපක්ෂ පවසයි

“මේක ආන්ඩුවෙන් දාපු වෛරසයක් නොවෙයි. ලෝකයට ම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට මේකෙ දි ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම කරේ නැති නිසයි මේ වගේ තත්ත්වයකට අපි මුහුන දුන්නේ” යැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමග ඊයේ පැවති රැස්වීමක දී ප්‍රකාශ කලේ ය.

ජනාධිපති රාජපක්ෂ මෙම නරුම ප්‍රකාශය කරනු ලබන්නේ,  වසංගත ව්‍යාප්තිය පාලනය කොට මහජනතාව ආරක්ෂා කිරීම සඳහා විධිමත් සහ ප්‍රමානවත් පිලිවෙතක් ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහු විසින් ආරම්භයේ සිටම සාපාරාධී ලෙස පැහැර හැරීම හේතුවෙන් මෙම ව්‍යසනය නිර්මානය වී ඇති බව, කම්කරු-පීඩිත මහජනතාවගේ දෑස් ඉදිරියේ නග්න ව අනාවරනය වන තතු තුල ය.

ව්‍යසනයේ පරිමාව මෙසේ ය: ශ්‍රී ලංකාවෙන් වාර්තාගත සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වන විට 11,060 දක්වා ඉහල ගොස් ඇත. 40 හැවිරිදි රෝගියෙකුගේ මරනයත් සමග ගෝලීය වසංගතය නිසා රටතුල ඇති වූ මරන සංඛ්‍යාව 21 දක්වා ඉහල නැගුනි. පසුගිය මාසයක කාලය තුල පමනක් සිදු වූ මරන සංඛ්‍යාව 8කි. ඔක්තෝබර් 2 වැනි දා සිට ගතවූ මාසය තුල, ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් ගනන 126 සිට 6,134 දක්වා ඉහල ගොස් ඇත.

දැන් සීමිත ධාරිතාවය ඉක්මවා ගොස් ඇති රෝහල් පද්ධතිය ඉහල යන රෝගීන් සංඛ්‍යාවට මුහුන දී ගත නොහැකි තත්ත්වයකට පත් ව ඇත. දිනකට රෝගීන් දෙසියයක්වත් අනාවරනය කර ගනු ලැබෙති.

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් බවට පත් ව ඇත්තේ, හුදෙක් එම වෛරසය සතු සුවිශේෂී ස්වභාවයන් නිසා ම නොවේ. එය ගෝලීය ව්‍යසනයක් බවට පත් කෙරුනේ, මහජන සෞඛ්‍යයට වඩා ධනපතියන්ගේ ලාභෝත්පාදනයට මුල් තැන දීමේ ධනේශ්වර පිලිවෙත නිසා ය. මෙ බඳු වෛරසයක් පැතිර යාම සම්බන්ධයෙන් විද්‍යාඥයන් විසින් කල් තියා සිදු කල සියලු අනතුරු ඇඟවීම් නොතකා හල ලොව පුරා ධනපති ආන්ඩු, එවැනි ආපදාවකට එරෙහි ව වෛද්‍ය පර්යේෂන කටයුතු පුලුල් කිරීම හෝ සෞඛ්‍ය සේවා පද්ධති දියුනු කිරීම් හෝ සිදු නොකලහ.

ඊට හාත්පසින් ම වෙනස් ව සිදු කෙරුනේ, මහජන සෞඛ්‍ය සේවය දරුනු ලෙස කප්පාදු කිරීමයි. මෙම කප්පාදුවේ සන්තතිය ධනපති ක්‍රමයේ පද්ධතිමය බිඳ වැටීමක් සලකුනු කල 2008 ගෝලීය මුල්‍ය අර්බුදයෙන් පසු වේගවත් කෙරුනි. දියුනු ධනපති රටවල පවා දසදහස් සංඛ්‍යාත මිනිසුන් මරා දමමින් වසංගතය සීග්‍රයෙන් පැතිර යාමට හේතුව මෙයයි.

වසංගතයේ ගෝලීය ස්වභාවයත්, එහි ව්‍යසනකාරී පරිමාවත් ඇස් පනා පිට පෙනි පෙනී තිබියදීත්, ජනාධිපති රාජපක්ෂ වසංගතය මර්දනය සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කලේ නැත. රාජපක්ෂගේ මැතිවරන තේමාවක් වූයේ “කොවිඩ්-19 ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන” යන්නයි. එයට ම ගැලපෙන ලෙස ජනාධිපති රාජපක්ෂ මහජනතාව සමාජ දුරස්ථකරනයන් තුට්ටුවකටත් නොතැකූ දැවැන්ත මහජන රැලි සංවිධානය කලේ ය.

වසංගතය වැලැක්වීමට අවශ්‍ය කෙරෙන එක් පියවරක් වන සංචරනයන් සීමා කිරීම ප්‍රතික්ෂේප කරමින් රාජපක්ෂ මුලින් ම කියා සිටියේ, තමන් විසින් ආරක්ෂක ලේකම් තනතුර දරමින් ලේ වැකි අවසානයකට ගෙනා සිවිල් යුද්ධය අවසන් සමයේවත් ලොක්ඩවුන් කලේ නැති ය යන්නයි. පසු ව, මාර්තු මස අගදී, සංචරන සීමාවන් පැනවීමට කටයුතු කලේ, මහජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපිරෙන ආකාරයේ කවර හෝ විධිමත් සමාජ වැඩපිලිවෙලකින් තොර ව ය.

දැන් නැවතත් බස්නාහිර පලාතට කල් පමා වූ සංචරන සීමාවක්, “නිරෝධායන ඇඳිරි නීතියක්” වශයෙන් පනවා ඇත. මේ තීරනය ගනු ලැබුනේ කොලඹ නගරයේ ආසාදන ව්‍යාප්තියක් නැති බවට තහවුරු කිරීමට ගත් උත්සාහයන්ගේ පල්ල යාමත් සමගයි.

තම අවශ්‍යතා සැපිරීමට ආන්ඩුව විසින් වැඩපිලිවෙලක් යොදා නොමැති තතු යටතේ, දෛනික යැපුම් මාධ්‍ය සපයා ගැනීමට මහ මගට බසිනවා හැර මහජනතාවට අන් විකල්පයක් නොමැත. ඔවුන් මත පොලිස් මර්දන දිගේලි කෙරෙයි. ආසාදිතයන් දිගින් දිගට ම වාර්තා වෙද්දී, ලාභ ශ්‍රම කලාපවල ද, වෙනත් කර්මාන්තශාලාවල ද වැඩකටයුතු දිගින් දිගට ම පවත්වා ගෙන යාමට සියලු රාජ්‍ය අනුග්‍රහය සැපයෙයි.

පසුගිය අප්‍රෙල් අග දී වසංගතය තථ්‍ය වශයෙන් ම මර්දනය කිරීම කෙසේ වෙතත් ආන්ඩුවට පැවතියේ එවැනි ආරක්ෂිත බවක් මවා පාමින්, යලි ධනපති ආර්ථික කටයුතු පන ගැන්වීමේ තදියමයි. වසංගතය දඩමීමා කර ගෙන වෘත්තීය සමිති නායකයන්ගේ සහයෝගයෙන් කම්කරු ආරක්ෂන නීති ඓතිහාසික ආකාරයෙන් කප්පාදු කරමින් නැවතත් කර්මාන්තශාලා, පසු ව පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කෙරුනේ අනාරක්ෂිත කොන්දේසි යටතේ ය.

“මාස දෙකකට වැඩි කාලයක් ආසාදිතයන් වාර්තා නොවීම” මෙම වෑයමේ ප්‍රතිඵලයක් විනා නිවැරදි මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් නිසා වූවක් නොවේ. තථ්‍ය වශයෙන් ම සිදු වුනේ ආන්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ ව්‍යසනකාරීබව පෙර ඇඟවුම් කරමින් විවිධ අවස්ථාවල දී සමාජයෙන් යලි යලිත් රෝගීන් හඳුනා ගනු ලැබීමයි. ජූලි 10 වැනි දා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගත් ව්‍යාප්තියක් හඳුනා ගැනුනි. අගෝස්තු 13 රාජාංගනය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු අසාදිත වූ බව වාර්තා විය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම අනාරක්ෂිත කොන්දේසි දිගින් දිගට ම පෙන්වා දෙමින් ධනපති ආන්ඩුවේ මහජන විරෝධී ප්‍රතිපත්තීන්ට එරෙහි ව සටන් කරනුවස් කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කලේ ය.

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ ඇතුලු සියලු ධනපති පක්ෂ මෙන්ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ ද, ධනපති නිෂ්පාදනය අනාරක්ෂිත කොන්දේසි යටතේ යලි ඇරඹීමට එකඟ වූහ.

පසුගිය 29 වැනි දා, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග පැවැත් වූ සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුත් දැනුමක් පහල වූවාක් පරිද්දෙන් කියා සිටියේ, අහඹු පීසීආර් පරීක්ෂන ඉහල නැංවිය යුතු බව යි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත්, දෙස් විදෙස් සෞඛ්‍ය විශේෂඥයනුත් දිගින් දිගට ම අවධාරනය කල තීරනාත්මක ම සෞඛ්‍ය කටයුත්තකි.

ආන්ඩුවට විවිධ අවස්ථා කීපයක දී දෛනික පරීක්ෂන ධාරිතාවන් වැඩි කිරීමට සිද්ධ කෙරුනේ සැලසුම් සහගත සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිසාවෙන් නොව, රෝගයේ පාලනය ගිලිහෙමින් ගිය අවස්ථාවන්හි දී එය නොකර බැරි තත්වයකට තල්ලු කෙරුනු බැවිනි. නමුත් ආන්ඩුව සිතා මතා ම කටයුතු කලේ පීසීආර් පරීක්ෂන හැකි තරම් සීමාකොට වසංගත ව්‍යාප්තියේ සත්‍ය පරිමාව මහජනතාවගෙන් වසං කිරීමටයි. “ආර්ථිකය විවෘතව පවත්වා ගැනීමට” එය අවශ්‍ය විය.

රාජපක්ෂ එසේ පවසද්දී, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මාධ්‍ය හමුවක දී සඳහන් කලේ පීසීආර් පරීක්ෂන උපරිම ධාරිතාවට ලඟා වී ඇති බැවින් විකල්ප පරීක්ෂා කිරීම්වලට යොමු වීම ගැන සලකා බලන බවයි. එ මෙන් ම දිනකට එකතු කෙරෙන සාම්පල ප්‍රමානයට සරිලන පරීක්ෂන ධාරිතාවක් නොමැති බැවින්, ආසාදිත යයි සැක කෙරෙන රෝගියෙකුගේ පරීක්ෂන වාර්තා ලැබෙනතුරු දින දෙක තුනක් බලා සිටීමේ තත්ත්වයක් ද උද්ගත ව ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරන්නේ රෝග ලක්ෂන නොපෙන්වන හෝ සුලු රෝග ලක්ෂන පෙන්වන රෝගීන් දින 10කින් පසු රෝහලෙන් නිදහස් කල හැකි බවත් රෝහලෙන් පිටත් කිරීමේ දී පීසීආර් පරීක්ෂනයක් කිරීම අවශ්‍ය නොවන බවත් ය. ඔවුන් තවත් දින 14ක් නිරෝධායනය කර තැබීම ප්‍රමානවත් බව ද ඔහු පවසයි.

දින 10කට පසු එවන් රෝගියෙකුගෙන් රෝගය ආසාදනය නොවන බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කලත්, මෙය, රෝහල් ධාරිතාව ඉක්මවාගොස් ඇති කොන්දේසි හමුවේ ගැනෙන තීරනයක් බව පැහැදිලි ය. පසු ගිය සතියේ දී, රෝග ලක්ෂන නොපෙන්වන රෝගීන් රෝහල්ගත කිරීම නවතා දමා ඔවුන්ට නිවසේ දී ම ප්‍රතිකාර කිරීමට සැලැස්වීමේ ක්‍රමයක් සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක ජයරුවන් බන්ඩාර කියා සිටියේ ය.

නමුත් දැන් රෝග ලක්ෂන පෙන්වන රෝගීන් පවා තැන් තැන්වල අත හැර දමා ඇති ආකාරය ගැන වාර්තා පල වෙයි. නිරෝධායන පහසුකම් සැපයිය නොහැකි තතු තුල, පොලිස් බලහත්කාරය ද යොදා කෙරෙන නිවෙස් නිරෝධායන පිලිවෙතට ආන්ඩුව පසුගිය සතියේ යොමු විය.

මහබැංකු නිලධාරීන්ට තර්ජනය කරමින්, මුදල් මුද්‍රනය කොට මහා ව්‍යාපාරිකයන්ට නය සම්පාදනය කර දීමට රාජපක්ෂට තිබූ උනන්දුව, “ගෝලීය වසංගතයට” දැවැන්ත සෞඛ්‍ය ප්‍රතිචාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නැත. ඒ වෙනුවට රාජපක්ෂගේ ආන්ඩුව එම වියදම්වලින් ගැල වී ගැනීමට ඊනියා සම්මාදම් අරමුදලක් දියත් කර ඇත. ඒ රාජපක්ෂට අනුව “වසංගතය ආන්ඩුව ගෙනැත් දැමූ එකක් නොවන” බැවිනි.

ඔහුගේ පනිවිඩය නම් “වසංගතය ගෝලීය” බැවින්, පීඩිත මහජනතාව ධනපති ලාභ ක්‍රියාවලියට බාධා නොවන අයුරින් “වගකීමෙන් හැසිරිය යුතු” ය යන්නයි. එසේ කටයුතු නොකරන්නන් මිලිටරිය සහ පොලිසිය විසින් හික්මවනු ඇත. නැතහොත් රෝගයට ගොදුරු වී මියයනු! මේ ජනාධිපති රාජපක්ෂ ඇතුලු සියලු ම ධනපති නායකයන්ගේ ආස්ථානයයි.

එහෙත්, ධනපති ආන්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මහජනතාව අතර දැවැන්ත විරෝධයක් වැඩෙමින් පවතී. සමාජ පුපුරා යාමක් පිලිබඳ භීතියෙන් හමුදාවේ සහ පොලිසියේ සරන පතන රාජපක්ෂ, මහජනයා බියගන්වා ත්‍රස්තකොට තැබීමට සෑම අවස්ථාවක්ම යොදා ගනිමින් සිටී. “29 වැනි දා ඇඳිරි නීතිය පැනවීමත් සමග ම කොලඹ නගරයෙන් පලා ගිය අය” සොයා අපරාධකරුවන් හඹා යන ආකාරයෙන් කෙරෙන මෙහෙයුම් මෙම ව්‍යායාමයේ ම කොටසකි.

Loading