ලෝක බැංකුව: දකුනු ආසියාවේ ආර්ථිකයන් කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස බැට කෑමට ලක්වේ

ලෝක බැංකුව මෑතක දී නිකුත් කරන ලද 2020 සිසිර ඍතු දකුනු ආසියා ආර්ථික වාර්තාව, පුද්ගලයින් බිලියන 1.38ක් නොහොත් ලෝක ජනගහනයෙන් හතරෙන් පංගුවක් ජීවත් වන මෙම කලාපයට කොවිඩ්-19 වසංගතය විසින් ඇති කර තිබෙන තියුනු ආර්ථික බලපෑම හෙලිදරව් කර තිබේ. 

“පහර දී තිබේ ද බිඳ වැටී තිබේ ද? අසංවිධිත භාවය හා කොවිඩ්-19” යනුවෙන් නම් කර ඇති වාර්තාව, කලාපය තුල ආර්ථික ක්‍රියාකාරීත්වය “ආසන්න වශයෙන් ඇන හිටීමකට” ගෙන එමින් දකුනු ආසියාව එහි ඉතිහාසයේ ගැඹුරු ම අවපාතය අත්දකිමින් සිටින බව සඳහන් කරයි. ඉන්දියාවේ ආර්ථිකය සියයට 9.9කින් හැකිලෙන අතර, පිලිවෙලින් මාල දිවයිනේ හා ශ්‍රී ලංකාවේ ආර්ථිකයන් සියයට 19.5කින් හා 6.8කින් හැකිලෙන තතු තුල, කලාපයේ ආර්ථිකය මේ වසරේ දී සියයට 7.7කින් හැකිලී යනු ඇතැයි එමගින් තක්සේරු කරයි.

2021 වසරේ දී දකුනු ආසියාව සියයට 4.5ක වර්ධනයක් කරා ආපසු එනු ඇතැයි ලෝක බැංකුව සුභවාදී ලෙස අපේක්ෂා කල ද එම කලාපයේ ඒක පුද්ගල ආදායම 2019 පැවති තත්ත්වයට වඩා සියයට 6කින් අඩු වී, එහි ජනගහනය එම වසරට වඩා ආන්තික දුගී බවේ ගිලෙනු ඇත.

කලාපයේ සමස්ත ශ්‍රම බලකායෙන් හතරෙන් තුන් පංගුවකට අධික පිරිසක් සිටින්නේ අවිධිමත් අංශයේ යයි තක්සේරු කරන වාර්තාව, “2020 දී අන් කවර කලාපයකටත් වඩා දකුනු ආසියාවේ බොහෝ ජනයා ආන්තික දරිද්‍රතාවෙන් පෙලෙන්නන් අතරට එක් වනු ඇත” යි සඳහන් කරයි.

සවුත් ඒෂියා එකොනොමික් ෆොකස්

නිල වාර්තාවලට අනුව, ඔක්තෝබර් 14දා දකුනු ආසියාව කොරෝනා වෛරස් ආසාදන මිලියන අටකට අධික ප්‍රමානයක් හා මරන 125,000ක් වාර්තා කොට තිබුනි. වසංගතයේ විස්තාරය ලඝු කිරීම පිනිස ආන්ඩු විසින් දත්ත එකතු කිරීම හිතා මතා ම මගහැර තිබෙන හා පරීක්ෂන සංඛ්‍යා සීමිත තතු යටතේ, මෙම ගනන් හිලවු විශ්වාසවන්ත නැත.

“පහර දී තිබේ ද බිඳ වැටී තිබේ ද? අසංවිධිත භාවය හා කොවිඩ්-19” වාර්තාව, නාගරික දරිද්‍රතාව තියුනු ලෙස ඉහල දැමීමක් සහ “නව දුගීන්” නිර්මානය කිරීමක් නිෂ්පන්න කරමින්, ඉන්දියාවේ රැකියා මිලියන ගනනක් විනාශ කර ඇති බව වාර්තා කරයි.

වසංගතයට පෙර පවා මන්දනය වෙමින් තිබුනු ඉන්දියාවේ ආර්ථික වර්ධනය, අප්‍රේල් සිට ජුනි දක්වා වන කාර්තුව තුල පෙර නුවූ විරූ පරිදි සියයට 25කින් පමන හැකිලී ගියේ ය. ස්වාධීන ආයතනයක් වන ඉන්දියානු ආර්ථික අධීක්ෂන මධ්‍යස්ථානයට (සීඑම්අයිඊ) අනුව, එම කාර්තුව තුල ස්ථීර රැකියා මිලියන 18.9ක් විනාශ කරනු ලැබිනි.

සමස්ත ආර්ථිකය සියයට 1.5කින් හැකිලී ගොස් දරිද්‍රතාව බරපතල ලෙස ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරෙන පකිස්තානය තීව්‍රතර බලපෑමට ලක්ව ඇති අතර විශේෂයෙන් ම එරටේ සේවා අංශයට මෙය බලපා ඇත. පාරිභෝගික මිල උද්ධමනය දැනට මත් සියයට 10.7 තෙක් නැගී ඇත්තේ, පකිස්තාන රුපියල මේ වසරේ මේ දක්වා සියයට 13.8කින් ඇද වැටෙද්දී ය.

“කෘෂිකාර්මික නො වන ක්ෂේත්‍රයේ දෛනික හා ස්වයං-රැකියාවල නිරත කම්කරුවන් සහ නිෂ්පාදන අංශයේ වැටුප් ලබන කම්කරුවන්” මත විශාලතම බලපෑම ඇති කොට, දරිද්‍රතාව “අර්ථභාරී ලෙස ඉහල යාමේ” විභවය පවතින බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය, 2019 පැවති සියයට 8.1 සිට මේ වසරේ දී සියයට 2 දක්වා ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

ලෝක බැංකුවේ සමීක්ෂනයට අනුව, කොවිඩ්-19 වසංගතයට ක්ෂනික ව ඉක්බිත්තේ පැවති සාමාන්‍ය ඉපයීම්වලට සාපේක්ෂ ව, බංග්ලාදේශයේ වැටුප් ලබන හා දෛනික කම්කරුවන්ගේ සාමාන්‍ය වැටුප් සියයට 37කින් අඩු විය. මිලියන 166ක් වන රටෙහි ජනගහනයෙන් මිලියන 26ක් පමන ජීවත් වන ඩකා හා චිතගොං නගරවල ඍජු ව බලපෑමට ලක්වූ කම්කරුවන්ගෙන් සියයට 68ක් සංකේන්ද්‍රිත ව සිටිති.

දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය හා කොවිඩ්-19 විසින් වෙලඳාම මත ඇති කරන බාධාවන් හේතුවෙන්, එක්සත් ජනපදය නායකත්වය දෙන 20-අවුරුදු ආක්‍රමනය හා වාඩිලා ගැනීම විසින් විනාශභාග කර තිබෙන ඇෆ්ගනිස්තානයයේ ආදායම, සියයට 30ක ඇද වැටීමක් අත්දකිනු ඇතැයි අපේක්ෂිත ය. “පහල යන ආදායම් හා ඉහල මිල ගනන් ඒකාබද්ධ  වීම, දරිද්‍රතා අනුපාතය සියයට 72 තරම් මට්ටමකට ඉහල දමනු හැකි” යි ලෝක බැංකු වාර්තාව තක්සේරු කරයි.

2019 දී සියයට 2.3කින් වර්ධනය වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය, 2020 මුල් කාර්තුවේ දී සියයට 1.6කින් හැකිලුනු බව සමීක්ෂනය සටහන් කරයි. මෙම හැකිලීම “ධාවනය කරන ලද්දේ, ගොඩනැගිලි, රෙදිපිලි, කැනීම් හා තේ කර්මාන්තවල දුර්වල ක්‍රියාකාරීත්වය විසිනි.” 2019 දී සියයට 6.8ක් වූ අයවැය හිඟය සියයට 11.1 දක්වා පිම්බෙනු ඇතැයි තක්සේරු කරන අතර, 2019 දී සියයට 86.8ක් වූ නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයට දරන අනුපාතය සියයට 100 ඉක්මවා යනු ඇතැයි ප්‍රක්ෂේපනය කරනු ලැබේ.

සැප්තැම්බර් 28දා මූඩිස් ආයතනය ශ්‍රී ලංකාවේ නය ඇගයුම බී2 සිට සීඒඒ1 දක්වා පහත හෙලීම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, වසංගතය විසින් පැවති ආර්ථික අර්බුදය ගැඹුරු කර ඇත්තේ කෙසේ ද යන්න යි. ශ්‍රී ලංකාවේ නය ඇගයුම, නය පැහැර හැරීමේ මට්ටමෙන් යන්තම් එකක් ඉහලින් සිටින අතර, එය ඉරාකය, ඇන්ගෝලාව, කොන්ගෝ හා මාලි යන රටවල් සමග එක ලීගයේ සිටී. 

“අඛන්ඩ ව පවතින රෙදිපිලි ඇඟලුම් අපනයන, සංචාරක කර්මාන්තය හා විදෙස් ප්‍රේෂනවලින් එන දුර්වල ආදායම” ගැන සඳහන් කල මූඩිස් ආයතනය, “ආයෝජක මනෝගතිය” සඳහා “ආන්ඩුවේ ප්‍රතිපත්තියේ විශ්වාසවන්ත බව” අතිශයින් සංවේදී වේ යයි කීවේ ය.

නය සේවා ගෙවීම් 2020 හා 2025 අතර ආසන්න වසයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 4ට ලඟාවෙද්දී, ආන්ඩුවේ ද්‍රවශීලතාව හා බාහිර අවදානම තීව්‍ර වනු ඇතැයි මූඩිස් තක්සේරු කරයි.

වසංගතය විසින් ඇති කරන ලද රැකියා අහිමි වීම් පිලිබඳ කිසිදු දත්තයක් රාජපක්ෂ ආන්ඩුවෙන් නිකුත් කර නැතත්, නිෂ්පාදන අංශයේ පමනක් රැකියා 400,000ක් අහිමි වී තිබුනු බව ජූලි මාසයේ දී කම්කරු දෙපාර්තමේන්තුව වාර්තා කලේ ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් සියයට 40ක් පමන සේවය කරන්නේ, බරපතල ලෙස බලපෑමට බඳුන් ව ඇති අවිධිමත් අංශයේ ය.

515,600ක පමන ජනගහනයක් සිටින මාල දිවයින, වාරික කම්කරුවන්, තුන්වන පාර්ශවීය සේවා සම්පාදකයන් හා තානායම් සේවකයන්ට අමතර ව ඍජු ව ම පුද්ගලයින් 22,000ක් සේවයේ යොදවන සංචාරක කර්මාන්තය මත බොහෝ සෙයින් යැපී සිටී. මෙම කර්මාන්තය “අඩපන” කර ඇති කොවිඩ්-19 වසංගතය, රැකියා දසදහස් ගනනක් විනාශ වීමට තුඩු දී ඇත.

“ජූලි මාසය මැද දී දේශසීමාවන් යලි විවෘත කිරීමෙන් පසුව ද සංචාරක ගලා ඒම් අඩු වී පවතී. ජූලි 15 හා සැප්තැම්බර් 15 අතර සංචාරකයන් 13,787ක් පමනක් පැමිනි අතර, එය වසරින්-වසර මට්ටමේ දී සියයට 95ක අඩු වීමකි. දෛනික ජාත්‍යන්තර වානිජ ගුවන් ගමන්වල සාමාන්‍ය සංඛ්‍යාව (වසංගතයට පෙර පැවති 40ට සාපේක්ෂ ව) හතර තෙක් අඩු වී ඇත්තේ, නිවාඩු නිකේතනවලින් අඩක් වසා දමා තිබෙද්දී” යි ලෝක බැංකු වාර්තාව සටහන් කරයි. 

“පහර දී තිබේ ද බිඳ වැටී තිබේ ද? අසංවිධිත භාවය හා කොවිඩ්-19” වාර්තාව, නේපාලය හා භූතානය වැනි අනෙකුත් දකුනු ආසියාතික රටවල් මත කොවිඩ්-19 බලපෑම ද වාර්තා කරයි. පසුගිය වසරේ සියයට 7ක් වූ නේපාලයේ ආර්ථික වර්ධනය මේ වසරේ සියයට 2 තෙක් ද ගිය වසරේ සියයට 3.8ක් වූ භූතානයේ එම අගය සියයට 1.5 තෙක් ද අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ජන ඝනත්වය අධික නාගරික ප්‍රදේශවල රැකියා කිරීම සහ නැවුම් වාතය ආග්‍රහනය කිරීමට තිබෙන අඩු අවස්ථා නිසා, දකුනු ආසියාව වැනි පහල-ආදායම් ලබන රටවල ජනයා, විසමානුපාතික ලෙස වෛරසයේ බලපෑමට වඩා තදින් ලක්වන” බව දකුනු ආසියාව කාර්මික ව සංවර්ධිත රටවල් සමග සසඳමින් වාර්තාව සඳහන් කරයි. 

“එලඹෙන වසර ගනනාවකට කොවිඩ්-19 දකුනු ආසියාව ප්‍රගාඪ ලෙස පරිවර්තනය කරන” බව සටහන් කරන වාර්තාව, “සුනිත්‍ය අනාගතයක් සඳහා දැකුම්කලු ලෙස නිර්මානය කරන ප්‍රතිසාධන වැඩසටහන්වල” අවශ්‍යතාව අවධාරනය කරයි.

ධනවාදය යටතේ “චිත්තාකර්ෂක ලෙස නිර්මිත ප්‍රතිසාධන වැඩසටහන්” අපේක්ෂා කිරීම මනහ්කල්පිතයකි. වසංගතය යතාර්ථයේ දී සිදුකර ඇත්තේ කලාපය තුල හා ජාත්‍යන්තර ව එමගින් පහර දීමටත් පෙර පැවති ආර්ථිකය පිරිහීමේ අර්බුදය වේගවත් කිරීම යි.

ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් මෙන් දකුනු ආසියානු ආන්ඩු ද මිනීමරු “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත යටතේ ආපසු වැඩට දැක්කීම් පටවමින් සිටින්නේ,  සමාගම් විසින් වැටුප් හා රැකියා කප්පාදු කිරීමට සහ දීර්ඝ වැඩ පැය ගනන් හරහා සූරාකෑම ඉහල දැමීමට රබර් මුද්‍රාව දෙන අතරතුර ය. 

නැගෙන සමාජ කෝපය කෙරෙහි කනස්සලු සහගත වන ඉන්දියාවේ මෝදි ආන්ඩුව, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය හා කලාපයේ සෑම පාලන තන්ත්‍රයක් ම ඒකාධිපති පාලන රූප කරා වේගයෙන් චලනය වෙමින් සිටී.

[මෙම ලිපිය ඔක්තෝබර් 19 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.]