ආන්ඩුවේ රංචු ප්‍රතිශක්තිකරන ප්‍රතිපත්තිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් තල්ලුවක්

ලංකාව තුල කොරෝනා වසංගතය විශාල පරිමාවෙන් ව්‍යාප්ත වෙමින් පවතින තතු තුල සමස්ත සෞඛ්‍ය අධස්ථ ව්‍යූහයම බිඳ වැටීමකට මුහුන දෙමින් සිටී. දින කිහිපයක් තුල ආසාදිතයින් සංඛ්‍යාව, රෝහල් ඇඳන් සහ නිරෝධායන මධ්‍යස්ථාන ධාරිතාවන් ඉක්මවා ගියේය. මේ තත්වය තුල ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින ඌන යටිතල පහසුකම් වලට ගැලපෙන පරිදි කොරෝනා මර්දන වැඩපිලිවෙල පිරිහෙලීමේ පිලිවෙතට තල්ලුවක් ලබාදෙන යෝජනාවලියක් පසුගිය සතියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දුනි.

ඔක්තෝබර් 26 වනදා ඉදිරිපත් කල මෙම යෝජනාවලියට ආන්ඩුවෙන් "හොඳ ප්‍රතිචාරයක්" ලැබුනු බව රවෛනිස පවසා ඇත. එය කිසිසේත්ම අහම්බයක් නොවේ. මන්දයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩවඩාත් මුදල් ආයෝජනය කිරීම, අත්‍යවශ්‍ය නොවන වැඩපලවල් වසා දැමීම, සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමානවත් පරිදි ගුනාත්මක ආරක්ෂක උපකරන සැපයීම ආදී වසංගතය මර්දනයට අත්‍යවශ්‍ය පියවරයන් කිසිවක් අඩංගු නොවන මෙම යෝජනා, ඉහත අත්‍යවශ්‍ය පියවර මුලුමනින්ම ප්‍රතික්ෂේප කර සිටින රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත් සමග තකට තක ගැලපෙන හෙයිනි. 

මෙම යෝජනාවලිය, මීට පෙර අප්‍රේල් මාසයේදී, නික්මීමේ මූලෝපාය (Exit strategy) නමින් රවෛනිස විසින් ඉදිරිපත් කල වැඩපිලිවෙලෙහි දිගුවකි. මෙය “නික්මීමේ මූලෝපාය වෙරගැන්වුම” ලෙසින් නම් කර තිබෙන අතර එහිම සඳහන් වන පරිදි එය “නව සාමාන්‍ය වැඩපිලිවෙල ප්‍රවර්ධනය” කිරීම සඳහා යොමු කෙරී ඇත.

මෙම “නව සාමාන්‍යය” වනාහි, සෞඛ්‍ය විශේෂඥයන් විසින් “ජන සංහාරක” පිලිවෙතක් ලෙස හඳුන්වා ඇති, රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති පාලකයන්ගේ පිලිවෙත වන සමූහ ප්‍රතිශක්ති පිලිවෙත හඳුන්වන වෙනත් නමක් පමනි. ලංකාවේ සහ ලොවපුරා වසංගතයේ මෑත කාලීන ව්‍යාප්තිය මගින් ආන්ඩුව සහ එහි පන්දම්කාර රවෛනිස විසින් උත්කර්ෂයට නංවමින් සිටින ඊනියා “නව සාමාන්‍යයේ” රුදුරු ස්වභාවය එලිමහනට පැමින ඇත. 

මෙම යෝජනාවලිය, නිරෝධායනය සහ ප්‍රතිකාර ද ඇතුලත් කොටස් හයකින් සමන්චිතය. “ආර්ථිකයට වන හානිය අවම වන ලෙස” කොවිඩ් 19 කලමනාකරනය කිරීම සිය මූලික අරමුනක් බව රවෛනිස එහි සඳහන් කරයි. යෝජිත මූලෝපාය තුල, “ආර්ථිකය ඉදිරියට ගමන් කිරීමට පහසුකම් සැලසීම හා මූල්‍යමය හානි අවම කිරීම, සෞඛ්‍ය පද්ධතියට බර අඩු කිරිම, කෝවිඩ් 19 වසංගතය කලමනාකරනය කිරීමේ වියදම අවම කිරීම” ඇතුලු සුවිශේෂ කරුනු හයක් ගැන අවධානය යොමු වෙයි.  

මෙම ඊනියා කරුනු හය විමසීමේදී  පැහැදිලි වන්නේ, ධනපතියන්ගේ ලාභ ඉපැදීම් ක්‍රියාවලිය හැකි ඉක්මනින් යලි පනගන්වා ගනුවස් ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට ආන්ඩුව අප්‍රේල් මාසයේ දී තීරනය කල විට, එයට අවශ්‍ය උපදෙස් ලබා දීමට පෙරට පැමිනියා සේම, සෞඛ්‍ය යටිතල ධාරිතාව ඉක්මවමින් වසංගතය වේගයෙන් පැතිරෙද්දී, ධනපති ලාභෝත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයාමට රවෛනිස යලි ආන්ඩුව සමග පෙල ගැසී සිටින බවයි.

මෙම පිලිවෙත් වලට ආවරනයක් ලබා දීමට, සෞඛ්‍ය කාර්ය මන්ඩලය ආරක්ෂා කරගැනීම ආදී අරමුනු කිහිපයක්ද මූලෝපායට ඔබ්බවා ඇත.

රෝහල් වල ඇඳන්, නිරෝධායන මධ්‍යස්ථාන පිරී ඇති තතු තුල වසංගතයට මුහුන දීමේ වඩා තර්කාන්විත ක්ෂනික ප්‍රතිචාරය විය යුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වශයෙන් මුදල් ආයෝජනය කරමින් එහි යටිතල පහසුකම් ප්‍රමානාත්මකව සහ ගුනාත්මකව වැඩි දියුනු කිරීමයි. ඒ වෙනුවට රවෛනිස ආන්ඩුවට යෝජනා කරන්නේ ඌන පහසුකම් වලට වසංගතය මර්දනය පිරීහෙලීමේ ගොඩ වෙදකම් ය.

සෞඛ්‍ය පද්ධතියට බර අඩු කිරීම, වසංගතය කලමනාකරනය කිරීමේ වියදම අවම කිරීම සහ මූල්‍යමය හානි අවම කිරීම පිනිස රවෛනිස යෝජනා කරන වැඩ පිලිවෙල ආන්ඩුව මේවන විටත් ක්‍රියාවට නගමින් සිටී. ඔවුන් පලමු පෙල ආශ්‍රිතයින් නිවෙස් තුල නිරෝධායනය කරන ලෙස යෝජනා කරන අතර ඉන් “වයෝවෘද්ධ, ලමා, සහ ජන ඝනත්වය අධික ප්‍රදේශ වල ජීවත් වන්නන්” ආදී අවදානම් පුද්ගලයින් පමනක් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කරන ලෙස පවසයි. ඒ සමගම, පීසීආර් පරීක්ෂනයෙන් තහවුරු වන රෝගීන් ගෙන් "වැඩි අවදානම් සහිත රෝගීන් පමනක්" රෝහල් ගත කරන ලෙසද අනෙක් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කරන ලෙසද ආන්ඩුවට උපදෙස් දෙයි.

නිවෙස් තුල නිරෝධායනය සඳහා වසංගත රෝග විද්‍යා අංශය මගින් නිකුත් කල මාර්ගෝපදේශයෙහි සඳහන් වන්නේ වෙනම නාන කාමරයක් නැතිනම් රෝගියා පරිහරනය කරන නාන කාමරය සහ උපකරන සබන් සහ ජලය පිරිසිදු කිරීම අවශ්‍ය බවයි. මෙය බහුතරයක් මහජනතාවට ප්‍රායෝගිකව අපහසු වන අතර මෙහි ප්‍රතිඵලය සමස්ත නිවැසියන්ම කොවිඩ් වෛරසයට නිරාවරනය වීමයි.

ඒ අනුව, නිවෙස් තුල නිරෝධායනය වන රෝගීන්ට ඉන්දියාවේ, බ්‍රසීලයේ මෙන්  නිවෙස් තුලම මිය යන්නට සිදුවනු ඇත. විශේෂයෙන් පුහුනු කරන ලද සේවකයන්ගෙන් සමන්විත සහ සෞඛ්‍ය විශේෂඥයන්ගේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන සියලු පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ප්‍රමානවත් තරම් ඉදි කිරීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. කෙසේ වෙතත් රාජපක්ෂ ආන්ඩුව එවන් මහජන අවශ්‍යතා සඳහා මුදල් වියදම් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින අතර, රවෛනිස තම මූලෝපාය ඉදිරිපත් කරන්නේ ඊට අනුපූරකව ය.

වසංගතය කලමනාකරනයේ වියදම් අවම කිරීම සහ සෞඛ්‍ය පද්ධතියට බර අඩු කිරීම වනාහී, දැනටමත් සිදු කෙරෙමින් පවතින රාජ්‍ය වියදම් කප්පාදුවට දෙන දැනුවත් තල්ලුවකි. මෙම කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස, අත්‍යාවශ්‍ය ආරක්ෂක උපකරනවල දැඩි හිඟයකට සහ දීමනා කප්පාදුවකට සෞඛ්‍ය සේවකයෝ මුහුන දී සිටිති. නිසි ආරක්ෂක උපකරන නොමැතිවීමේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් සෞඛ්‍ය සේවකයින් පනහකට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇත.

වෛරසයට මුහුන දීමේ ප්‍රමුඛ විධික්‍රමයක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගුලු දැමීම සැලකිල්ලට ගත්තද, එය “දීර්ඝ කාලීනව තිරසර ක්‍රමයක්” ලෙස හැඳින් විය නොහැකි බව පවසන රවෛනිස යේ "මූලෝපාය", ප්‍රාදේශීය සංචරන සීමා කිරීම් පිලිබඳ අවධානය යොමු කරයි. දැනටමත් මෙය ක්‍රියාවට දමා ඇති අතර, එවන් ප්‍රාදේශීය අගුලු දැමීම් තිබියදී, අත්‍යවශ්‍ය නිශ්පාදනයන් සිදු නොකරන කම්හල් පවා විවෘතව පවත්වාගෙන යමින් කම්කරුවන් වසංගතයට ගොදුරු කිරීම දිගටම සිදුවෙමින් පවති. එම තතු තුල, අත්‍යවශ්‍ය නොවන නිශ්පාදන නතර කල යුතුය යන්න පවා රවෛනිස යෝජනා නොකරයි. 

ඒ සම්බන්ධයෙන් රවෛනිස සංස්කාරක හරිත අලුත්ගේ ලංකාදීප පුවත්පතට ලියූ ලිපියක සඳහන් වන්නේ, කොරෝනා නිසා “සම්පූර්නයෙන්ම ආර්ථිකය වසා දමනවාට වඩා අඩු ශ්‍රම බලයකින් හෝ කර්මාන්ත දියත් කිරීමට අපට හැකි” බවයි.  විශාල සංඛ්‍යාවක් සේවය කරන ආයතන වල කම්කරුවන් කන්ඩායම් වසයෙන් වැඩට ගෙන්වන ලෙස ඔහු යෝජනා කරයි. මෙය, පසුගිය කාලය තුල වසංගතය ගසා කමින්, ශ්‍රමිකයන් අඩුකොට තම ලාභ ඉහල දමා ගැනීම සදහා හාම්පුතුන් විසින් සැලසුම්කොට ක්‍රියාවට දැමූ වැඩ පිලිවෙලට පිටුබලය සපයයි.  

කෙසේ නමුත්, මෙම "මූලෝපායේ" මූලික අරමුන වනුයේ කවර හෝ වියදමකින්, ආර්ථිකය විවෘ‍තව තබා ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය අබාධිතව පවත්වාගෙන යාමයි. කම්කරුවන් වෛරසය වැලඳී මිය ගියද රැකියාවට පැමිනිය යුතුය. නැතිනම් නිවසට වී කුසගින්නේ මිය යා යුතුය. රවෛනිස “ආර්ථිකය ඉදිරියට ගමන් කිරීමට පහසුකම් සැලසීම හා මූල්‍යමය හානි අවම කිරීම” යනුවෙන් පවසන දෙයෙහි සාරය මෙයයි. ලොක් ඩවුන් “තිරසර” නොවන්නේ එය ධනපතියන්ගේ ලාභ ගැරීමට හරස් වන නිසාය.

දැනටමත් ලෝකය පුරා ආන්ඩු ක්‍රියාවට දමමින් සිටින මෙම පිලිවෙත් හේතු කොටගෙන වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මිලියන පනහට ආසන්න වී ඇත. ධනපති ක්‍රමය සමග ගැට ගැසී සිටින රවෛනිස ආදී වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන මේ ආකාරයේ මර උගුල් කම්කරුවන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය. 

“වියදම් අවම කිරීම” සහ "හානිකර නොවන අයුරින්" ආර්ථිකය පවත්වාගෙන යාම ආදී රවෛනිස යේ "මූලෝපායික" කරුනු, වසංගතයෙන් අත්මිදීම සහ තම රුකියා රැක ගැනීම ඇතුලු කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවයන්ට මුලුමනින්ම සතුරුව පිහිටයි. 

ඊට විපරීතව, කම්කරුවන්ගේ ඉහත අවශ්‍යතා සපුරාලන වැඩපිලිවෙලකට කැඳවුම් කරමින් සමාජවාදී සමානතා පක්ෂය ඔක්තෝබර් 23 වනදා ප්‍රකාශයක් ඉදිරිපත් කලේය. එහි මෙම ඉල්ලීම් ඇතුලත් වෙයි:

“සියලු සෞඛ්‍ය කම්කරුවන්ට ඉහල ගුනාත්මකභාවයෙන් යුත් ආරක්ෂක උපකරන සම්පාදනය කිරීම ඇතුලු ව සෞඛ්‍ය යටිතල පහසුකම් සම්පූර්නයෙන් වැඩි දියුනු කිරීමට වහා අරමුදල් වෙන් කිරීම, අතිශය සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි යටතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා ආහාර නිෂ්පාදන පමනක් පවත්වාගෙන යාම,  අනෙකුත් සියලු කම්කරුවන්ට, රැකියා අහිමි නො කර සම්පූර්න වැටුප් සහිත නිවාඩු ලබා දීම.”

නමුත් ලාභ ගරන ධනපති ක්‍රමය, මෙවන් ආකාරයෙන් මහජන අවශ්‍යතා සඳහා මුදල් සම්පාදනය කිරීමකට එරෙහිව පිහිටා සිටින බැවින්, ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව මෙම ඉල්ලීම් ක්‍රියාවට දැමිය නොහැක. එසේ අරගලය සංවිධානය කිරීමට නම් කම්කරුවන් වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතුය.

Loading