වසංගතය ඉහල නගිද්දී ආන්ඩුව කම්හල් නිෂ්පාදනයට මුල්තැන දෙමින් පූර්න අගුලු දැමීමක් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රට තුල ඉහල නගින කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මහජනයාට නරුම ලෙස වරද පටවමින්, තෝරාගත් ප්‍රදේශවල අගුලු දැමීම දීර්ඝ කිරීමත් සැකසහිත රෝගීන් “නිවසේවල නිරෝධානයට ලක්කිරීමත්” ඉරිදා නිවේදනය කලේ ය. 

මෙම පියවර මාධ්‍යයන්හි වාර්තා කෙරුනේ, “කොවිඩ්-19 ක්ෂනික ව පැතිර යාමට එරෙහි සටන” ආන්ඩුව විසින් තීව්‍ර කිරීමක් ලෙස පින්තාරු කරමිනි. එහෙත්, මෙම පියවරවල ඉලක්කය වන්නේ, කම්කරුවන්ට වැඩ කිරීමට බල කරමින් විශේෂයෙන් ම කම්හල් නිෂ්පාදනය ඇතුලු ආර්ථික ක්‍රියාකාරකම් දිගට ම පවත්වාගෙන යාම යි.

ජනාධිපතිගේ බාල සොහොයුරා හා ජනාධිපති කාර්ය සාධක බලකායේ (පීටීඑෆ්) ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ සඳුදා මෙසේ කීවේ ය: “බහුතරයේ අදහස වූයේ ජාතික පරිමාන ඇඳිරි නීතියක් ක්‍රියාත්මක කිරීම යි.” එහෙත්, “අවම වසයෙන් දින 10කට සියලු දේ නවත්වන” ලෙස සෞඛ්‍ය බලධාරීන් අවධාරනය කල ද, එය බස්නාහිර පලාතට පමනක්  සීමා කරන ලදී.” 

ඔක්තෝබර් 4දා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆැෂන් වෙයා කර්මාන්තශාලාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වුනු කම්කරු කාන්තාවක් අහම්බෙන් ( රාජපක්ෂගේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත්වලට එරෙහි ව ශ්‍රී ලංකාවේ කම්කරුවන්, ගම්බද දුගීන් සමග එක් ව සටන් කල යුතු යි) හමු වූ තැන් පටන්, ආසාදිතයන් සංඛ්‍යාව ආසන්න වසයෙන් 12,000 ඉක්මවා යමින්, ඊයේ වන විට මරන 24ක් සිදු වී තිබුනි. ආන්ඩුව වේගවත් පරීක්ෂන වැඩ සටහනක් ක්‍රියාත්මක නො කරන තතු තුල, මෙම සංඛ්‍යාවන් පෙන්නුම් කරන්නේ සැබෑ සංඛ්‍යාවන්ට වඩා අඩු ගනනකි.

ජනාධිපතිවරයා බස්නාහිර පලාත අගුලු දැමීම නොවැම්බර් 9දා දක්වා දීර්ඝ කලේ ය. ප්‍රධාන වානිජ, කාර්මික හා පරිපාලන ආයතන පිහිටා තිබෙන්නේ මෙම පලාත තුල ය. වයඹ පලාතේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ ද හුදකලා කරනු ලැබ තිබේ. 

කටුනායක නිදස් වෙලඳ කලාපයේ නිර්යාතයන්සිදුකෙරෙන අයුරු

නමුත්, මහ ව්‍යාපාරිකයේ හෝ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම්වලට මෙම සීමා කිරීම් බල නො පායි. වසංගතයෙන් එන බාධාවන් නො තකා, ආර්ථික ක්‍රියාකාරකම් අඛන්ඩ ව ගෙනයන බව, ජනාධිපති රාජපක්ෂ, කොවිඩ්-19 පැතිර යාම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන් සමග ඊයේ පැවති රැස්වීමේදී යලිත්  පැවසීය. කොලඹ ආන්ඩුව ගෙන යන්නේ අනෙකුත් රටවල පාලකයන් ගෙනයන සාපරාධී පිලිවෙත්මය. 

මේ වසර මුල දී ගෝලීය කොරෝනා වෛරසයෙහි බලපෑම ලංකාවට ද පැමිනි තැන් පටන්, අනෙක් රටවලට වෙනස් ව, තමන්ගේ ආන්ඩුව අද්විතීය ලෙස එය හැසිරවූ බවත්, එය පාලනය කිරීමට සමත් වූ බවත්, රාජපක්ෂ ප්‍රකාශ කරමින් සිටියේ ය. වසංගතය ක්ෂනික ව පැතිර යාම ඇරඹුනු පසුගිය සති කිහිපය තුල, ආන්ඩුවේ මෙම සාපරාධී නො තකා හැරීම හෙලිදරව් වී ඇත.

මෙම පාරම්බෑම් කෙසේවුවත්, විශේෂයෙන් ම පසුගිය දශක හතර තුල අනුප්‍රාප්තික ආන්ඩු විසින් කපාහරින ලද සෞඛ්‍ය පද්ධතිය ගොඩගැනීමට ආන්ඩුව පසුගිය මාස නවය පුරා පියවර ගත්තේ නැත.

ආසාදිත රෝගීන්ගේ පලමු ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධනයට ලක්වනු ඇති බවත්, වෙන් කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලබන්නේ නැති බවත්, කොවිඩ්-19 පැතිර යාම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගිය සතියේ ප්‍රකාශ කලේ ය. එයට හේතුව ප්‍රමානවත් අවකාශයක් හා අරමුදල් නොමැති වීම යි. බදාදා වාර්තා වූ පරිදි, ආසන්න වසයෙන් පුද්ගලයින් 64,000ක් දැනට මත් “නිවෙස්වල නිරෝධායනය” වෙති.

ආන්ඩුව මෙම පුද්ගලයන්ට ක්‍රමානුකූල පීසීආර් පරීක්ෂන නිර්දේශ කරන්නේ නැත. නිවෙස්වල නිරෝධනය වෙමින් සිටින පුද්ගලයන්ට 10වන දිනයේ පරීක්ෂනය සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. පරීක්ෂන වැඩිකිරීමට උපදෙස් නො දුන් ඔහු විකාර සහගත ලෙස අවධාරනය  කලේ “අඛන්ඩ හා ක්‍රමානුකූල අහඹු පරීක්ෂන පැවැත්වීමේ වැදගත් කම” ගැනයි. 

ආන්ඩුවට ඇත්තේ පීසීආර් පරීක්ෂන යන්ත්‍රන 25ක් පමනකි. ඒවායින් දිනකට පරීක්ෂා කල හැක්කේ සාම්පල 8,000ක් පමන බව ආන්ඩුවේ සෞඛ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර කීවේ ය. දවස් ගනනාවක් තිස්සේ අක්‍රීය ව තිබූ යන්ත්‍රයක් අලුත් වැඩියා කරන ලද්දේ මේ සතියේ මුල දී ය.

සෞඛ්‍ය අංශයේ පිරිහීම පිලිගත් ආන්ඩු-ගැති දි අයිලන්ඩ් කතුවැකිය, සීමිත හදිසි ප්‍රතිකාර ඒකක ගනන ඉක්මනින් ම පිරි ඉතිරී යනු ඇතැයි ලිවී ය. “රටේ තිබෙන්නේ ඇඳන් 84,728ක් (පුද්ගලයන් 1,000කට ඇඳන් 3.9ක්) සහිත රෝහල් 641ක් පමනි ...කොවිඩ්-19 පැතිර යාමට පෙර ම ඒවායින් බොහොමයක් පිරීතිරී යමින් තිබුනි. සාමාන්‍යයෙන් එම රෝහල්වල ඇඳන් යට හා කොරිඩෝරවල රෝගීහු වැතිරී සිටිති.”

පුද්ගලයන් 100,000කට සිටින්නේ වෛද්‍යවරුන් 91ක් හා හෙදියන් 212ක් පමනි. කතුවැකිය මෙසේ ද සඳහන් කලේ ය: “මෙම සංඛ්‍යාවන් ප්‍රමානවත් නො වේ. පෙරමුනේ සිටින සෞඛ්‍ය කම්කරුවන් හෙම්බත් වී ඇති අතර, ඔවුන්ගෙන් සමහරකට කොවිඩ්-19 වැලඳී ඇත.”

මේ වන විටත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා අනෙකුත් රෝහල් සේවකයන් ඇතුලු සෞඛ්‍ය කම්කරුවන් 100කට පමන රෝගය ආසාදනය වී තිබේ.

මෑතක දී කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධියක් වසංගතයට ගොදුරුවූ පුද්ගලයන්ගේ ජීවිත කෙරෙහි ආන්ඩුව දක්වන නො සැලකිල්ලේ සාපරාධී බලපෑම පෙන්නුම් කරයි. මෙම ප්‍රවෘත්ති වාර්තාවට අනුව, එක් පුද්ගලයෙකුට වෛරසය වැලඳී ඇතැයි සොයා ගන්නා ලද අතර, කිසිවෙකු තමා රෝහලකට ගෙන යාමට නො පැමිනි හෙයින් දවස් හතරක් නිවසට වී සිටීමට ඔහුට සිදු විය. ඔහු අදාල බලධාරීන්ට කතා කල විට “රෝහල්වල කාමර නැති” බව ඔහුට කියා ඇත. ඔහුගේ බිරිඳට හා දරුවන්ට රෝගය ආසාදනය වේ යයි බියෙන්, ඔහු දවස් හතරක් ම ගත කලේ නිවසින් පිටත ය. 

වසංගත විද්‍යාඥයන් විසින් පුලුල් ව අනුමත නො කරන, අඩු පිරිවැයක් සහිත ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාව (රැට්) සිදු කිරීමට ආන්ඩුව ගිය සතියේ තීරනය කලේ ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥ රවී රන්නන් එලිය ඩේලි මිරර් පුවත්පතට කී පරිදි: “ශ්‍රී ලංකාව තුල රෝගය වැලඳී ඇතැයි සොයා ගනු ලබන බහුතරයක් දෙනා රෝග ලක්ෂන පෙන්නුම් නොකරන බැවින්, රැට් පරීක්ෂාව පීසීආර් පරීක්ෂාව තරම් නිරවද්‍ය නැත.”

මහජන අප්‍රසාදය නැගෙන තතුතුල, ආන්ඩුවේ හා ධනපති පන්තියේ වගකීම ආවරනය කිරීම සඳහා, රාජපක්ෂ කුහක ලෙස මහජනයාට දොස් පවරමින් සිටී. පසුගිය ඉරිදා පැවති රැස්වීමේ දී ඔහු මෙසේ කීවේ ය: “මේක ආන්ඩුවෙන් දාපු වෛරසයක් නොවෙයි. ලෝකයට ම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට මේකෙ දි ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම කරේ නැති නිසයි මේ වගේ තත්ත්වයකට අපි මුහුන දුන්නේ.”

ආන්ඩුවේ ප්‍රමුඛතාව වන්නේ සෞඛ්‍ය අංශය වර්ධනය කිරීම නො වේ. ආන්ඩුව මහ බැංකුව හරහා මහ ව්‍යාපාරිකයට රුපියල් බිලියන 178ක අරමුදල් මුදා හැරියේය..

2021 වසර සඳහා ආන්ඩුව සෞඛ්‍ය වියදම්වලට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 159ක් පමනි. එහෙත් ආරක්ෂක හා අභ්‍යන්තර ආරක්ෂක වියදම් වෙනුවෙන්, එය රුපියල් බිලියන 500ක් වෙන් කර තිබේ. කම්කරු පන්තිය මත කඩා පැනීමට සූදානම් වෙමින් සිටින රාජපක්ෂ පාලන තන්ත්‍රය, ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

මහ ව්‍යාපාරිකයේ ප්‍රතිලාභ පිනිස ආර්ථිකය විවෘත ව තබා ගැනීමට ආන්ඩුව එහි සම්පූර්න අනුමැතිය දී ඇත. විශේෂයෙන් ම, අපනයන සඳහා වන නිෂ්පාදනවලට ප්‍රමුඛතාව දී තිබේ. යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනවලින් අපනයනකරුවන් වාසි ලබා ගත යුතු බව අපනයන සංවර්ධන මන්ඩලයේ (බීඕඅයි) සභාපති ප්‍රභාෂ් සුබසිංහ පසුගිය සතියේ කීවේ ය. 

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අපනයන සඳහා විශාලතම වෙලඳපොල වන අතර, ලංකාවේ ඇඟලුම් ප්‍රධාන වසයෙන් ආනයනය කරන්නේ එක්සත් ජනපදයට යි. රටවල් කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා වියට්නාමය වැනි රටවල කම්කරුවන් අඩු පඩියට ඩහදිය වගුරන කම්හල්වලින් ඇඟලුම් හා අනෙකුත් භාන්ඩ ආනයනය කිරීම මගින්, එම රටවල යෝධ සමාගම් ජාලයන් විශාල ලාබ පොදිගසා ගනී.

“ජීඑස්පී සහන හේතුවෙන්” ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් හා යුරෝපා සංගමයේ ආනයනකරුවන් අතර “ස්වාභාවික රැක්මක්” තිබෙන බවත්, “ඒවා යුරෝපීය ආනයනකරුවන්ට පිරිවැය වාසි නිර්මානය කරන” බවත් සුබසිංහ තව දුරටත් කීවේ ය.

දේශීය මහ ව්‍යාපාරිකයන්  සමග ද ඇතැම්විට හවුලේ කටයුතු කරන විදේශ ආයෝජකයෝ, නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල හා ඉන් පිටත ආයෝජන මන්ඩලයෙන් අනුමත කරන කම්හල් පවත්වාගෙන යති. රාජපක්ෂ පාලන තන්ත්‍රයේ ආශීර්වාදය සහිත ව, මෙම සමාගම් මාරාන්තික වසංගතය මධ්‍යයේ කම්හල් දිගට ම පවත්වාගෙන යති.

නිවෙකවල කම්කරුවන් 133,000ක් වැඩ කරන අතර, ඒවායින් පිටත ආයෝජන මන්ඩලය (බීඕඅයි) අනුමත කල කම්හල් 1615ක කම්කරුවන් 580,000ක් සේවයේ යොදවා ඇත. බීඕඅයි සංඛ්‍යා ලේඛනවලට අනුව කම්කරුවන් 700,000කට අධික පිරිසක් අතර පීසීආර් පරීක්ෂන කර ඇත්තේ 28,670ක් පමනි. එවන් ඉතා කුඩා පරීක්ෂන සංඛ්‍යාවක දී පවා, කම්කරුවන් 1,500ට අධික පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇතිබව අනාවරනය  වී තිබේ.

බීඕඅයි අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මෙසේ කීවේ ය: “සාමාන්‍යයෙන් සියලු කර්මාන්තශාලා සෞඛ්‍ය හා ආරක්ෂක උපදෙස් ඉතා හොඳින් අනුගමනය කරනවා. ආයෝජන මන්ඩලය අදාල රෙගුලාසි ශක්තිමත් ව පිලිපදිනවා.”

එහෙත් ඇත්ත එහි අනෙක් පැත්තයි. අප්‍රේල් මාසයේ අග ආන්ඩුව මෙම කම්හල් යලි විවෘත කිරීම නිවේදනය කල විට, සමාගම් සතුව තිබුනේ අතිශයින් ම අවම ආරක්ෂක පියවරයන් පමනක් වූ අතර, සති කිහිපයක් තුල ඒවා ද අත් හැර දමන ලදී.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆැෂන් වෙයා කම්හලේ කලමනාකාරීත්වය, එම කම්හලේ කම්කරුවන් සිය ගනනක් සැප්තැම්බර්  මාසයේ රෝග ලක්ෂන පෙන්නුම් කල විට පවා, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කම්කරුවන්ට ඉඩ නො දුන් බව වාර්තාගත ය. ඔක්තෝබර් මුල සියලු කම්කරුවන් පරීක්ෂනයට බඳුන් කිරීමට සමාගමට බල කෙරුනු විට, සේවකයන් 1000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සොයා ගනු ලැබිනි.

මාස් හෝල්ඩිංග්ස් සමාගමට අයත්, කම්කරුවන් 6000ක් පමන සේවයේ යොදවන හොරන බොඩිලයින් ඇඟලුම් කම්හල පසුගිය සතියේ වසා දැමීමට බල කෙරුනි. 200කින් යුත් කන්ඩායමක එක් කම්කරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබුනි. කන්ඩායමේ 145 දෙනෙකු පරීක්ෂනයට භාජනය කල විට, තවත් 34 දෙනෙකුට ආසාදනය වී ඇතැයි සොයා ගැනුනි. කම්හල වසා දැමුනේ කම්කරුවන් වැඩට පැමිනීමට විරෝධය පල කල තතු තුල ය.

මාස් යනු රටවල් 15ක කම්හල් පවත්වාගෙන යන හා කම්කරුවන් 99,000ක් සේවයේ යොදවන යෝධ සංගතයකි. ඉන් සියයට 70ක් කාන්තා කම්කරුවන් ය. එම සමාගම වික්ටෝරියා’ස් සීක්රට්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්ස් හා කැල්වින් ක්ලයින් වැනි ජාත්‍යන්තර වෙලඳ සමාගම් සදහා රෙදිපිලි නිපදවති.

රාජපක්ෂ ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ උත්සුකය වන්නේ, මනුෂ්‍ය ජීවිත නො ව ම්ලේච්ඡ ලෙස ලාභ සූරා ගැනීම පමනි.

Loading