ඉදිරිදර්ශන

2020 ජනාධිපතිවරන ප්‍රතිඵල අනන්‍යතා දේශපාලන ආඛ්‍යානය පුපුරුවා හරියි

2020 ජනාධිපතිවරනයේ ඡන්දය දීමේ දත්ත පිලිබඳ ප්‍රාරම්භක පරීක්ෂාවක් මඟින් හෙලිදරව් කෙරෙන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය විසින් නිර්දය ලෙස ප්‍රවර්ධනය කරනු ලැබූ වර්ගවාදී ආඛ්‍යානය ව්‍යාජයක් බවයි. අවසාන ප්‍රතිඵලයෙහි ලා සමාජ ආර්ථික සාධකවල බලපෑමේ ප්‍රමුඛතර බව පෙන්වා දීමෙහි දී මැතිවරන දත්තවල පාර්ශව කිහිපයක්ම සුවිශේෂ වැදගත්කමක් අත්පත් කර ගෙන ඇත.

2016 හා 2020 මැතිවරන ප්‍රතිඵල අතර සංසන්දනයකින් පෙනී යන්නේ, මැතිවරන ප්‍රතිඵලය හැරවීමෙහි ලා හේතුභූත වූ ප්‍රමුඛ සාධකය වූයේ, බයිඩන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල කම්කරු පන්තියේ සුදු ජාතිකයන්ගේ සැලකිය යුතු කොටසක් මත කඩා පාත් වූ වසංගතයේ හා ආර්ථික අර්බුදයේ බලපෑම බවයි.

කොරෝනා වෛරස වසංගතයේ බලගතු ප්‍රහාරයකට බඳුන් වූ කම්කරු පන්තියේ මෙන්ම පහල මධ්‍යම පන්තික කොටස්වල ද ඡන්දය පාවිච්චි කිරීම සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබින. ඒ අනුව සිය බහුජන ඡන්ද ජයග්‍රහනයේ වැඩි ඡන්ද පරතරය වඩාත් පලල් කර ගැනීමට බයිඩන්ට හැකි වී ඇත. එය මිලියන 6 ක් හෝ 7 ක් පමන වෙතැයි අපේක්ෂා කෙරේ. මෙය 2016 දී ක්ලින්ටන් විසින් ට්‍රම්ප් පරාජය කරන ලද වැඩි ඡන්ද සංඛ්‍යාව මෙන් දෙගුනයකි. මේ වසරේ ඡන්දය දීමට සුදුසුකම් ලද මුලු ඡන්දදායකයන්ගෙන් සියයට 66 ක් ඉක්මවූ පිරිසක් ඡන්දය පාවිච්චි කොට ඇත. මේ වූ කලී, ස්ත්‍රීන්ට ඡන්ද බලය හිමි වීමට පූර්වයෙන් වූ 1900 ජනපතිවරනයෙන් මෙපිට වාර්තා වී ඇති වැඩිම ප්‍රතිශතයයි. ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය 60.7 ක් වූ 1968 ජනාධිපතිවරනයෙන් පසු මෙතෙක් ඡන්දය දැමීමේ අනුපාතය සියයට 60 සීමාවට සම්ප්‍රාප්ත වී නොතිබින.

පිරිමි ඡන්දදායකයන් අතර, සුදු ජාතික පිරිමින් අතර හා මූලික උපාධියක් නොලැබූ සුදු ජාතිකයන් අතර ට්‍රම්ප්ට එරෙහිව වැටුනු ඡන්ද වල නිශ්චිත වැඩිවීමක් තිබින. විස්කොන්සින්, මිචිගන් හා ඇරිසෝනා ඇතුලු කොරෝනා වෛරස වසංගතයෙන් මුලුමනින් විනාශයට පත් කෙරුනු ප්‍රාන්තවල දී ප්‍රාන්ත ප්‍රතිඵලය උඩුයටිකුරු කර දැමීමට බයිඩන්ට හැකි වූයේ සුදු ජාතික පුරුෂ ඡන්දදායකයන්ගේ මෙම විස්ථාපනය නිසාය.

(සෑම ජනවර්ගයකටම අයත්) පුරුෂ ඡන්දදායකයන්ගේ ඡන්දවලින් 2016 දී හිලරි ක්ලින්ටන් ලබා ගත් ප්‍රමානයට වඩා මිලියන 8.6 ක ඡන්ද ප්‍රමානයක් බයිඩන් දිනා ගෙන ඇතැයි ගනන් බලා ඇති අතර, 2016 දී ඔහු ලත් පිරිමි ඡන්ද ප්‍රමානයට වඩා මිලියන 2.2 කින් වැඩි ප්‍රමානයක් ට්‍රම්ප්ට මෙවර හිමි වී ඇත. 2016 දී සේ ම මෙවර ද ට්‍රම්ප් සියලු සුදු ජාතික ඡන්දදායකයන්ගෙන් සියයට 57 ක් දිනා ගෙන ඇත. කෙසේවෙතත්, මෙවර බයිඩන් සුදු ඡන්දදායකයන් අතරින් සියයට 42 ක් දිනා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව එය 2016 ක්ලින්ටන් විසින් දිනා ගන්නා ලද සියයට 37 ක සුදු ජාතික ඡන්ද ප්‍රතිශතයේ වර්ධනයක් සනිටුහන් කරයි. සමස්ත වශයෙන් ගත් කල, 2016 දීට වඩා මිලියන 6.4 ක සුදු ජනයා 2020 දී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දී ඇතැයි ගනන් බලා ඇත.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ඡන්දය භාවිතා කිරීම ස්ත්‍රී - පුරුෂභාවය අනුව

2020 දී සුදු පිරිමි ජනයා අතර ට්‍රම්ප්ගේ සුලු පසුබැස්මක් දක්නට ලැබිනි. 2020 දී සමස්ත සුදු පුරුෂ ඡන්දදායකයන්ගේ ඡන්දය දීම වැඩි වී පවතිද්දී වුව, 2016 දී ඔහු එම කොටසින් ලබා ගත් ඡන්ද මිලියන 28.83 ක ප්‍රමානය මෙවර තක්සේරුගත මිලියන 28.77 ක් දක්වා පහත බැස ඇත. මේ කන්ඩායමේ සමස්තයේ බහුතරය දිනා ගැනීමට බයිඩන්ට තවමත් හැකි වී නැතත්, සුදු ජාතික පුරුෂ පක්ෂයෙන් 2016 දී ක්ලින්ටන් දිනා ගත් ඡන්ද ප්‍රමානයට වඩා දල වශයෙන් මිලියන 5.4 ක් දිනා ගැනීමට ඔහු සමත් වී ඇත.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ඡන්දය භාවිතා කිරීම ස්ත්‍රී - පුරුෂභාවය හා ජන වර්ගය අනුව

2020 දී ට්‍රම්ප් හා බයිඩන් යන දෙදෙනාම මූලික උපාධි නොමැති සුදු ජාතික ඡන්ද ප්‍රමානය ඉහල දමා ගැනීමට සමත් වූහ. ට්‍රම්ප් 2016 දී මෙම ඡන්දදායකයන්ගෙන් ලද සහයෝගයට වඩා මෙවර මිලියන 3.1 ක් වැඩියෙන් ලබා ගෙන ඇතැයි තක්සේරු කොට ඇති අතර, ක්ලින්ටන් මෙකී කොට්ඨාශයෙන් ලද ඡන්ද ප්‍රමානය ඉක්මවමින් බයිඩන් දල වශයෙන් මිලියන 5 ක පමන ඡන්ද ප්‍රමානයක් වැඩිපුර ලබා සිටී. වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් මෙම ප්‍රවර්ගයෙහි ලා ගැනෙන "නව" ඡන්දදායකයන්ගේ ඡන්ද 60-40 වශයෙන් වූ වැඩි ඡන්දයකින් දිනා ගැනීමට සමත් ව සිටී. ට්‍රම්ප්ගේ පංගුව 2016 ලද ප්‍රමානයට වඩා මඳ වශයෙන් පහත වැටෙද්දී ඩිමොක්‍රටිකයන්ගේ පංගුව සියයට 29 සිට 35 දක්වා ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇත.

2020 ප්‍රතිඵලය ට්‍රම්ප්ට එරෙහිව කම්කරු පන්තියේ තල්ලුවීමක් ද පෙන්නුම් කරයි.

පවුලේ ආදායම ඩොලර් ලක්ෂයකට අඩු ඡන්දදායකයන් අතුරින් බයිඩන්ට හෝ ට්‍රම්ප්ට ඡන්දය දුන් සංඛ්‍යාව, 2016 දී ක්ලින්ටන්ට හෝ ට්‍රම්ප්ට ඡන්දය දුන් සංඛ්‍යාවට වඩා දල වශයෙන් මිලියන 23 කින් වැඩි ය. පවුලේ ආදායම ඩොලර් 50,000 ට වඩා අඩු කම්කරුවන්ගේ ඡන්දවලින්, 2016 දී තමන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා තක්සේරුගත ඡන්ද මිලියන 2.1ක් වැඩිපුර ලබා ගැනීමට ට්‍රම්ප්ට හැකි විය. එහෙත් බයිඩන් මේ කන්ඩායමෙන් ක්ලින්ටන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මිලියන 4.9 ක් ලබා ඇත. මෙය 2016 දී ඩිමොක්‍රටිකයන් සතුව තුබූ සියයට 53 ක පංගුව 2020 දී සියයට 57 දක්වා වැඩි කිරීමට ඉවහල් වී ඇත.

වඩාත් ධනවත් කොටස් අතර ට්‍රම්ප් තමන්ට ලැබෙන සහාය සැලකිය යුතු සේ වැඩි කොට ගෙන ඇත. 2016 දී පවුලේ ආදායම ඩොලර් 100,000 ඉක්මවා සිටි අයගේ ඡන්ද ක්ලින්ටන් හා ට්‍රම්ප් අතර සම සේ බෙදී ගියේ දෙදෙනාම දල වශයෙන් ඡන්ද මිලියන 21.8 බැගින් ලබා ගනිමිනි. එහෙත් 2020 දී මිලියන ගනනාවක් ඉසුරුමත්හු ට්‍රම්ප්ට සහාය දීමට මාරු වී සිටිති. වඩාත් ධනවත් ඡන්දදායකයන් ට්‍රම්ප්ට සහාය දුන්නේ, ඔහුගේ "රංචු ප්‍රතිශක්තියේ" පිලිවෙත විසින් ඉහල නඟිමින් පවතින කොටස් වෙලඳ පොල පෝෂනය කෙරෙමින් මෙම පරපෝෂිත ස්ථරයට සමෘද්ධිය ලඟා කර දෙනු ලැබූ නිසා ය.

එහෙත් ඡන්ද දායකත්වයේ භාගයක් ලෙස ගත් කල, පවුලේ ආදායම ඩොලර් ලක්ෂයකට වඩා වැඩි ඡන්දදායක අනුපාතය 2016 දී පැවැති සියයට 34 සිට 2020 දී සියයට 28 දක්වා, සැලකිය යුතු ලෙස - තක්සේරුගත මිලියන 3 ක ඡන්ද ප්‍රමානයකින් - අඩු වී ඇත.

මේ වූ කලී එතරම් දුරට ධනවතුන් අතර ඡන්දය භාවිතා කිරීම අඩු වීමේ ප්‍රතිඵලයක් නොවේ. ධනවත්හු නිරතුරුවම බොහෝ සෙයින් ඉහලතර සංගතභාවයකින් යුතුව ඡන්දය පාවිච්චි කරති. එය මූලිකවම පිලිබිඹු කරන්නේ 2016 දී සිය පවුලේ ආදායම ඩොලර් 100,000 කට වැඩියෙන් පැවැති තතුවල සිට 2020 දී ඩොලර් 50,000 - 100,000 පරාසය දක්වා ඇද වැටුනු පහල මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක දිනෙන්දින නරක අතට හැරෙමින් පවතින ආර්ථික තත්ත්වයයි. වසංගතය විසින් ජනිත බහුජන විරැකියාවෙන් බරපතල ලෙස බැට කෑ මෙම ස්ථරය දැන් සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් සියයට 38 ක් වේ. එය 2016 පැවැති සියයට 30 සිට දැවැන්ත ලෙස වැඩි වීමකි.

මෙම ඩොලර් 50,000 - 100,000 ආදායම් පරාසයේ "නව" ඡන්දදායකයන් (එනම්, එක්කෝ 2016 දී ඉහල ආදායම් පරාසයේ සිටි අය, නැතහොත් 2016 දී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හෝ ඡන්දය නොදුන් අය) අතරින් තක්සේරුගත මිලියන 14.1 ක් බයිඩන්ට ඡන්දය දී ඇති අතර, සංසන්දනාත්මකව ඉන් ට්‍රම්ප්ට ඡන්දය දී ඇති පිරිස මිලියන 5.2 කි. 2016 දී ට්‍රම්ප් මෙම කොටස සියයට 49 - 46 ලෙස වැඩි ඡන්දයෙන් ජය ගත් අතර, 2020 දී බයිඩන් සියයට 56 - 43 ලෙස එම කන්ඩායම තුල ජය ලබා ඇත.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ඡන්දය භාවිතා කිරීම ආදායමට අනුව

විශේෂයෙන්ම කැපී පෙනෙන කරුනක් වන්නේ ස්ත්‍රීන්, ධනවතුන්, අප්‍රිකානු ඇමරිකානුවන්ගේ වඩාත් සමෘද්ධිමත් කොටස්, ලතින් ඇමරිකානු සම්භවයක් ඇති අය, ආසියානු ඇමරිකානුවන් හා සමලිංගික, ද්විලිංගික හා සංක්‍රාන්ති ලිංගික ජනයා අතර ට්‍රම්ප්ට සහාය වර්ධනය වී තිබීමයි.

අප්‍රිකානු ඇමරිකානු පුරුෂයන් අතර ට්‍රම්ප්ට පවතින සහාය 2016 දී පැවැති සියයට 13 සිට 2020 දී සියයට 18 කරා නැඟී ඇත්තේ දල වශයෙන් සමස්ත ඡන්ද ලක්ෂ 5 ක පමන වැඩිවීමක් ඔහුට අත්පත් කර දෙමිනි. ඩිමොක්‍රටික් පක්ෂයට කලු පිරිමින් අතර ලැබී ඇති වැඩිවීම ලක්ෂ 6 ක පමන සංඛ්‍යාවක් වන අතර, ප්‍රතිඵලය ලෙස පෙනී යන්නේ "නව" අප්‍රිකානු-ඇමරිකානු පිරිමි ඡන්ද ට්‍රම්ප් සහ ඩිමොක්‍රටිකයන් අතර බොහෝදුරට 50-50 අනුපාතයටම පාහේ බෙදී ගොස් ඇති බවයි.

අප්‍රිකානු-ඇමරිකානු ස්ත්‍රීන් අතරේ දී ට්‍රම්ප් තම ඡන්ද සංඛ්‍යාව මෙන්ම ඡන්ද ප්‍රතිශතය ද දෙගුනයකට වැඩියෙන් වැඩි කර ගැනීමට සමත් වී ඇත. 2016 දී අප්‍රිකානු - ඇමරිකානු ස්ත්‍රීන් අතර ට්‍රම්ප් දිනා ගත්තේ යන්තම් සියයට හතරක ප්‍රතිශතයකි; සංඛ්‍යාවෙන් ගත් කල ඡන්ද 383,000 පමන ගනනකි. 2020 දී ඔහු සියයට අටක්, නැතහොත්, ඡන්ද 868,000 ක් ලබා ඇත. මේවා පෙර නුදුටු විරූ ජයග්‍රහනයන් ය.

ඡන්ද පොලෙන් පිටවන අවස්ථාවේ කෙරෙන මත විමසුම්වල අප්‍රිකානු - ඇමරිකානු ඡන්ද ආදායම් මට්ටම් මත බෙදා නොදක්වන නමුදු, ඒවායෙහි දී සමස්ත "සුදු ජාතික නොවන" ඡන්ද, ආදායම වෙනුවට භාවිතා කල හැකි ආසන්නතම නියෝජනය ලෙස සැලකිය හැකි, අධ්‍යාපන මට්ටමේ පදනම මත බෙදා දැක්වේ. ඒ අනුව සාමාන්‍යයෙන් ජනගහනයේ වඩාත් ධනවත් වන මෙකී කොටසෙන් ට්‍රම්ප්, 2016 ඔහු ලබා ගත් ඡන්දවලට වඩා තක්සේරුගත මිලියන 1.5 ක ප්‍රමානයක් වැඩිපුර ලබා ගනිමින්, සම්පූර්න ඡන්ද මිලියන 5.4 ක් දිනා ගෙන ඇත. මෙම කොටස තුල ඔහුගේ පංගුව 2016 පැවැති සියයට 22 සිට 2020 දී සියයට 27 ක් දක්වා වැඩි වී ඇත.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ඡන්දය භාවිතා කිරීම අධ්‍යාපනයට අනුව

 ලතින් ඇමරිකානු ජාතිකයන්ගේ ඡන්ද පිලිබඳ ගනන් හිලව් අප්‍රිකානු ඇමරිකානුවන් හා ආසියානු ඇමරිකානුවන්ගේ සංඛ්‍යාවලට සමරූපී වේ. සමලිංගික, ද්විලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයන් (LGBT ප්‍රජාව) අතර ට්‍රම්ප් සිය සමස්ත ඡන්ද සංඛ්‍යාව තුන් ගුනයක් බවට පත් කර ගෙන ඇති අතර, සමස්ත LGBT ඡන්ද අතරින් ඔහුට ලැබුනු ප්‍රතිශතය දෙගුන කර ගැනීමට ඔහු සමත් වී ඇත. 2016 දී ට්‍රම්ප් LGBT ජනයාගේ ඡන්ද දල වශයෙන් 950,000 ක් ලබා ගත්තේය. එය සියයට 14 ක් විය. ඩිමොක්‍රටිකයන්ට සියයට 77 ක් හිමි ව තිබින. 2020 දී ට්‍රම්ප් ඡන්ද මිලියන 3 ක් පමන ලැබූ අතර ප්‍රතිශතය ලෙස එය මුලු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 28 කි. ඩිමොක්‍රටිකයෝ සියයට 61 ක් ලදහ.

තරුන ඡන්දදායකයන්ගේ (වයස 18-29) ඡන්දය දීමේ අනුපාතවල වැඩි වීමක් දක්නට නොවූ නමුදු, ට්‍රම්ප්ට මේ කන්ඩායමෙන් 2016 දී ඔහු ලැබූ ඡන්ද ප්‍රමානයෙන් ඡන්ද 600,000 ක් මෙවර අහිමි වී තිබින. ඩිමොක්‍රටිකයෝ ඡන්ද මිලියන දෙකක් අලුතින් දිනා ගැනීමට සමත් වූහ. තරුන ජනයාගේ ඡන්දය ප්‍රකාශ කිරීම 2016 ට වඩා සුලු වශයෙන් අඩු වූවත්, ට්‍රම්ප්ට එරෙහි රැල්ල බෙහෙවින් සැලකිය යුතු මට්ටමේ එකක් විය.

එක්සත් ජනපදය "සුදු වර්ගෝත්තමවාදය" මත පදනම් වී ඇති බවත්, ට්‍රම්ප් යනු සුදු මිනිසුන්ගේ ස්වාභාවික නියෝජිතයා බවත් කියා සිටිමින් වාර්ගික බෙදීම් ප්‍රවර්ධනය කිරීම ස්වකීය වෘත්තීය වගකීම බවට පත් කර ගෙන සිටින්නෝ, වර්ගවාදී ආඛ්‍යානය පතුලෙන් කඩා වැටීම පිලිබඳව කෝපාවිෂ්ඨව සිටිති. වර්ගවාදී ආඛ්‍යානය දිගටම පවත්වා ගෙන යාම, එය තම ලැදිකම්වල ම ප්‍රගමනය සඳහා භාවිත කරන ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයන්ගේ සමාජ උත්සුකයන්ට තීරනාත්මක ලෙස වැදගත් ය.

නිව්යෝර්ක් ටයිම්ස්හි චාල්ස් බ්ලෝ බදාදා ලියූ කොලමක අප්‍රිකානු ඇමරිකානුවන්ගේ ඡන්දවල ඉහත දැක්වූ ඇතැම් විස්ථාපනයන් ගෙන හැර දක්වා ඇත. එහෙත් ඔහු ඉන් එලඹෙන නිගමනය නම්, එම විස්ථාපනයන් විසින් කෙරෙන අවධාරනය හුදෙක්, "සුදු වාර්ගික ජ්‍යෙෂ්ඨත්වයේ බලය" ද, "ලිංග භේදයන්, ලිංගික නැඹුරුකම්වල වෙනස්කම් සහ වාර්ගික වෙනස්කම් පවා හරහා ඒවා මුලුල්ලේ සිය හස්තය දිගු කිරීමට" ඊට ඇති හැකියාව ද වන බවයි. එනම්, බ්ලෝගේ හාස්‍යජනක කියාපෑමට අනුව, (වඩාත් ධනවත්) අප්‍රිකානු ඇමරිකානුවන්ගේ හා අනෙකුත් සුලුතර ජන කන්ඩායම්වල වඩවඩාත් වැඩෙමින් පවතින කොටසක් සුදු වර්ගෝත්තමවාදය ඔසොවා තැබීම සඳහා ට්‍රම්ප්ට ඡන්දය දී ඇත.

ඡන්දය දීමේ රටාවන්ගේ මාරුවීම් කෙරේ බල පැවැත්වෙන ප්‍රමුඛ සාධකයෝ ස්වභාවයෙන් සමාජ ආර්ථික ඒවා වෙති. එහෙත් කම්කරුවන් සිය ස්වාධීන පන්ති උත්සුකයන් ගැන සවිඥානක බවක් මින් ස්වයංසිද්ධ ලෙස නොහැඟවේ. කම්කරුවෝ සියලු ආකාරයන්හි බලපෑම් හා පරිචාරනයන්ට ලක් වෙති. ආර්ථික අවිනිශ්චිතතාවයන්ට ආයාචනා කිරීමටත්, රිපබ්ලිකනයන් තරමටම බැංකු ඇපදීම්වල, යුද්ධයේ හා සමාජ අසමානතාවයේ පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය කෙරේ ඇති විරුද්ධත්වය පල කිරීමටත් තමන්ගේම අනිෂ්ඨකාරී ආකාරයට යත්න දරමින් ට්‍රම්ප්ට ඡන්දය දුන් කම්කරුවන් ද ඊට ඇතුලත් ය.

බරපතල අනතුර වන්නේ, ධනපති පක්ෂ දෙකක් විසින් පාලනය කරනු ලබන පවත්නා දේශපාලන ක්‍රමයේ රාමුව තුල ජනගහනයේ අතිමහත් බහුතරයක ද, වාර්ගික හා ලිංග වෙනසකින් තොරව සමස්ත කම්කරු පන්තියේ ද සමාජ හා ආර්ථික උත්සුකයන් අව්‍යාජ ලෙස ප්‍රකාශයට පත්වීමේ අවකාශයක් නොපැවැතීමයි.

සමාජවාදීන්ගේ කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය තුල අව්‍යාජ පන්ති විඥානයක් වර්ධනය කිරීම හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඔවුන්ගේ පොදු පන්ති උත්සුකයන් මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමයි.

[මෙම ලිපිය නොවැම්බර් 6 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින]

Loading