රාජපක්ෂ ආන්ඩුවේ “සෞඛ්‍ය මාර්ගෝපදේශ” කුමක් සඳහාද?

රාජපක්ෂ ආන්ඩුව, 'අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය' පිලිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  අසේල ගුනවර්ධන විසින් නොවැම්බර් 3 වෙනිදා නිකුත් කරනු ලැබ ඇති මෙම උපදෙස් මාලාව මගින් කොරෝනා වසංගතය ව්‍යාපතවීමේ 'අවදානම් මට්ටම්' හතරක් නම්කොට, ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායන් පවත්වාගෙන යාම සහ මහජනතාව හැසිරිය යුතු ආකාරය පිලිබඳව රෙගුලාසි පනවා තිබේ. 

අවදානම් මට්ටම් මෙසේය: 1. රට සාමන්‍ය තත්වයේ පැවතීම,  2. වෛරසය ආසාදිත එක පොකුරක් පමනක් තිබීම, 3. පොකුරු කිහිපයක් තිබීම සහ 4. වසංගතය රටපුරා ව‍්‍යාප්තව තිබීම වශයෙන් සටහන් කර ඇත.

එම මාර්ගෝපදේශ, 'නව සාමාන්‍යය', එනම් මරනීය කොරෝනා  වසංගතය සමාජය තුල පැවතීම සහ ව්‍යාප්තිය පිලිගෙන මහජනයා ඒ යටතේ ජීවත්විය යුතු බව අවධාරනය කරන හා ඔවුන් දඬු ගසා ත්‍රස්ත කොට 'විනයගත' කිරීමේ සැලැස්මකි. දේශීය මහ ව්‍යාපාරිකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට කම්කරු පන්තියේ ජීවිත පරදුවට තබා සූරාකෑමේ වඩා හොඳ කොන්දේසි තහවුරු කරදීම එහි අරමුනයි.

එහි සමහර උපදෙස් කිහිපයක් මෙසේය:

*අවදානම් මට්ටම් 1 සහ 2  දී,  අත්‍යවශ්‍ය  සේවා/අවසරලත් ක්‍රියාකාරකම්  වල නිරත වන්නේ නැති නම් එක නිවසකින් හෝ නවාතැනකින් ඕනෑම සංඛ්‍යාවකට  පිටවිය හැකි ය. අවදානම් මට්ටම් 3 සහ 4 දී පිටවිය හැක්කේ පිලිවෙලින් පුද්ගලයන් දෙ‌දෙනෙකුට සහ එක් පුද්ගලයෙකුට පමනි.

*පොදු මගී ප්‍රවාහනය: අවදානම් මට්ටම් 1 දී සාමාන්‍ය  පරිදි සහ 2 දී ආසන ධාරිතාවයට අනුව 3 දී ආසන ධාරිතාවයෙන් සියයට 75 ක් සහ 4 දී සියයට පනහක්.

*පෞද්ගලික කුලී රථ: අවදානම් මට්ටම් 1 දී සාමාන්‍ය පරිදි. 2 හා 3 දී  කාර්  සහ ත්‍රි රෝද රථ වල මගීන් 2 යි. වෙනත් වාහනවල ආසන ධාරිතාවයෙන් සියයට 50 යි.  4 දී කාර් සහ ත්‍රිරෝද රථ වල මගීන් 1 යි සෙසු වාහන වල ආසන ධාරිතාවයෙන් සියයට 25 යි.

*උපයෝගිතා සේවා: විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල් ආදී අත්‍යවශ්‍ය සේවාවන් අවදානම්  මට්ටම් 1 සහ 2 දී සාමාන්‍ය පරිදි. 3 සහ 4 දී අවම සේවක සංඛ්‍යාවක් සහිතව ක්‍රියාත්මක විය යුතුය. 

*රජයේ හා පෞද්ගලික කාර්යාල: අවදානම් මට්ටම් 1 සහ 2 දී සාමාන්‍ය පරිදි. 2 දී අවම සේවක සංඛ්‍යාවක් සහ 3 දී අත්‍යවශ්‍ය සේවකයන් පමනයි 

අවම සේවක සංඛ්‍යාවක් සේවයට යොදා ගැනීමේ දී සෙසු සේවකයන්ගේ වැටුප් සහ රැකියා ගැන කිසිදු සඳහනක් උපදෙස් මාලාවේ අඩංගු නැත. එහෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අන කර ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහකරනය සහ රැකියා හා වැටුප් කප්පාදුව වසංගතය තුල රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබයි. සේවකයන්ගෙන් සියයට පනහක් වැටුපෙන් අඩක් ගෙවීමේ පදනම මත ස්වේච්ඡාවෙන් ගෙදර සිට වැඩ කිරීමේ ව්‍යාපෘතියක් ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාවට දමන බව   විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබුනි. පුද්ගලික ව්‍යවසායන්හි  සේවයට නො කැඳවන සේවකයන් සඳහා ගෙවන්නේ වැටුපෙන් සියයට පනහක් හෝ රුපියල් 14,500 කි.

ඇඟලුම් හා  කෘෂිකර්ම ඇතුලු අපනයනය අරමුනු කරගත් කර්මාන්ත සම්බන්ධයෙන් කවර අවදානම් මට්ටමක දී වුව ද සේවකයන් සියලු දෙනාම සේවයට කැඳවීමේ අවසරය ඇත. එහි  දී  අවදානම් මට්ට්ම් 1 සහ 2 දී සාමාන්‍ය පරිදි සහ 3 සහ 4 දී ජෛව ආරක්ෂක බුබුලක්, එනම් කර්මාන්ත හිමියන් විසින් නවාතැන් හෝ ප්‍රවාහන පහසුකම් සැපයීම මගින් එකම බුබුලක් තුල ක්‍රියාත්මක වීමට සැලස්වීම මගින්  කම්කරුවන් සියලු දෙනාම සේවයේ යෙදවිය හැකිය

ප්‍රවාහන හා නවාතැන් පහසුකම්  සම්පාදනය කලත් ඔවුන්ට ගමන් කිරීමට සහ ජීවත්වීමට සිදුවන්නේ කන්ඩායම් නැතහොත් රංචු වසයෙනි. ඒ අනුව, මෙම මාර්ගෝපදේශනය වෛරසය ආසාදනයවීමේ අවදානම නොතකා කම්කරුවන් සේවයේ යෙදවීමට කර්මාන්තකරුවන්ට  දෙනු ලබන වරපත්‍රයකි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂනය යටතේ අදාල  කර්මාන්ත පවත්වාගෙන යායුතු බවට කර ඇති නිර්දේශය ද හුදෙක් ඔවුන් ට ඒ සඳහා ඉඩ සලසන  කඩතුරාවක් පමනි.   

මේ වන විට කම්හල් දුසිම් ගනනක කම්කරුවන් 2000 ට ආසන්න සංඛ්‍යාවක් වසංගතයට ගොදුරුවීම සහ  අසනීප වූ කම්කරුවන්ට පවා වේදනා නාශක ඖෂධ දී බලහත්කාරයෙන් සේවයේ යෙදවීම ඇතුලුව නින්දිත ආකාරයෙන් කම්කරුවන් ට සැලකීම එලිදරව් වී ඇත. කොග්ගල අපනයන කලාපයේ  කම්කරු කාන්තාවකට  වෛරසය ආසාදනය වීමෙන් පසු ස්වයං නිරෝධායනට යොමු කෙරුන කම්කරුවන් දින දෙකකට පසු පොලීසියේ මැදහත්වීම ඇතිව බලහත්කාරයෙන් යලි සේවයට කැඳ වූ බව පසුගිය සතියේ වාර්තා විය. 

ධනපති හාම්පුතුන් සහ කර්මාන්තකරුවන් මෙම 'සෞඛ්‍ය මාර්ගෝපදේශ' මුලුමනින් ම නොතකා සූරා කෑමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන අතරේ, මෙම මාර්ගෝපදේශ වලට සමගාමීව ක්‍රියාවට දමා ඇති නිරෝධායන නීති යටතේ රාජපක්ෂ ආන්ඩුව  කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව රුදුරු මර්දනයක් දිගේලි කර ඇත. නිරෝධායන නීති 'කඩකිරීමේ' චෝදනා යටතේ ඔක්තෝබර් 4 වෙනිදා සිට නොවැම්බර් 7 වෙනිදා වන විට  3,000 කට ආසන්න පිරිසක් පොලීසිය විසින්  අඩංගුවට ගෙන තිබුනි. රුපියල් 10,000 ක නොවැඩි දඩයකට හෝ මාස 6 සිර දඬුවමකට හෝ ඒ දෙකටම ඔවුන් යටත් කල හැකිය.

'මාර්ගෝපදේශයන්ට' අනුව, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා තබන්නේ අවදානම් මට්ටම් 4 දී පමනි. නව වන ශ්‍රේනියෙන් ඉහල පන්ති සහ විශ්ව විද්‍යාල 3 වන සහ 4 වන මට්ටම් වල දී වසා තැබේ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් විවෘතව තබා ගැනීමේ ප්‍රයත්නය පිටුපස පවතින්නේ, දරුවන් බලා ගැනීමෙන් දෙමව්පියන් නිදහස්කොට ඔවුන් රැකියාවලට කැඳවා ගැනීමේ  උවමනාවයි.

මෙම 'නව උපදෙස් මාලාව'  හඳුන්වා දී ඇත්තේ  වසංගතය විසින් වඩාත්  තීව්‍ර කෙරුනු ලෝක ධනවාදයේ ගෝලීය අර්බුදය මධ්‍යයේ  රාජපක්ෂ ආන්ඩුව හා ධනපති ව්‍යාපාරිකයන් බරපතල අර්බුදයකට මුහුන දී සිටින කොන්දේසි තුල ය. ආන්ඩුවේ ඊනියා  මාර්ගෝපදේශ හරහා ක්‍රියාවට දැමෙන්නේ මහා සංගත සහ මුල්‍ය ප්‍රභුවේ ලාභෝත්පාදක අවශ්‍යතා වෙනුවෙන් ලෝකය පුරා අධිරාජ්‍යවාදී හා ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමනු ලබන 'රංචු ප්‍රතිශක්තිකරනය' නම් වූ ප්‍රතිගාමී පිලිවෙතයි. 

කොරෝනා වසංගතය නිසා 'රට වසා තැබිය නොහැකි' බව නොවැම්බර් 4 වෙනිදා පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක රැස්වීමක දී ජනාධිපති  රාජපක්ෂ යලිත් අවධාරනය කලේ ය. 'වෛරසය මර්දනයට පිලියමක්  සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බැවින් සෞඛ්‍ය  උපදෙස් පිලිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය  පරිදි පවත්වාගෙන යෑමට සූදානම් විය යුතු'  යැයි ඔහු එහි දී පැවසීය.

කම්කරුවන්ගේ රැකියා හා වැටුප් කප්පාදුව, වැඩ වේගවත් කිරීම, වැඩ කාලය දීර්ඝ කිරීම මෙම පිලිවෙතත් සමග සමගාමීව ක්‍රියාවට දැමෙයි. 

'පලමු අවස්ථාවේදී' වසංගතය 'සාර්ථකව' පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත් මෙම අවස්ථාවේ එය පැතිරී ඇත්තේ මහජනයා 'වගකීමෙන්' නොහැසිරෙන නිසා බව පැවසූ රාජපක්ෂ, ඇඳිරි නීතිය ඉවත් කලත් 'නිරෝධායන නීති තදින් ක්‍රියාත්මක' කරන ලෙස ඉහත සඳහන් සාකච්චාවේ දී දැඩි ව අවධාරනය කලේ ය. මෙ ලෙස, වසංගතය පැතිරීමේ වගකීම මහජනයා මත පැටවීම, ඔවුන් දඬු ගසා ත්‍රස්ත කොට, 'විනය ගත' කිරීමේ  දුෂ්ට අරමුන ඇතිව කෙරෙන්නකි.

'මුල් අවස්ථාවේ' වසංගතය “සාර්ථකව” පාලනය කිරීම ගැන කෙරෙන ප්‍රකාශ මෙන් ම, දැන් දෙවන, තුන් වන රැලි ගැන කෙරෙන කතාත් මුසාවන් ය. දැන් සිදුවෙමින් පවතින වසංගතයේ ව්‍යාප්තිය, රාජපක්ෂ ආන්ඩුව විසින් පීසීආර් පරීක්ෂන සහ නිරෝධායන කටයුතු  මග හැරීමේ ප්‍රතිපලයකි. 

මෙම තත්ත්වය උද්ගත වූයේ  'දුර්වල සහ ඒකාබද්ධ නොවූ මූලෝපායන් සහ මිලිටරි විලාසය සහිත පලකට නැති ඇඳිරිනීතිය ගැන විශ්වාසය තැබීම, ප්‍රජාව තුල පීසීආර් පරීක්ෂන  කිරීම (ඉතා මෑතක් දක්වා)  උද්ධච්ඡ ලෙස ප්‍රතික්ෂේප කිරීම, අමානුෂික නිරෝධායනය, වසංගත පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විශේෂඥ දැනුමක් සහිත ශ්‍රී ලාංකිකයන්ගෙන් උපදෙස් නොගැනීම' නිසා  බව  නොවැම්බර් 5 වෙනිදා දී අයිලන්ඩ් පත්තරයට ලියු ලිපියක දී මහාචාර්ය සුනිල් විමලවංශ රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කරයි. ආන්ඩුව දැන් “ජනතාවට මගපන්වීම සහ ඔවුන්ට උපකාර කිරීම වෙනුවට දඬුවම් කිරීම තෝරාගෙන ඇති” බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

වසංගත රෝගීන්ට ප්‍රතිකාර  කිරීමේ දී ඔවුන් සමග වඩා සමීපව කටයුතු කරන හෙදියන්ට වෛරසය ආසාදනය නොවන්නේ ඔවුන් මුව ආවරන පැලඳීම ඇතුලු සෞඛ්‍ය ක්‍රමවේද  නිසි ලෙස අනුගමනය කරන නිසා බවද රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කලේ ය. එය පචයකි. සෞඛ්‍ය  කාර්ය මන්ඩල වලට අවශ්‍ය ආරක්ෂක  උපකරන සම්පාදනය නොකිරීම සහ පීසීආර් පරීක්ෂන නොකිරීම නිසා  හෙද සේවකයන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මන්ඩල සාමාජිකයන් සියයකට පමන මේ වන විට වෛරසය ආසාදනය වී ඇත. අවශ්‍ය  සෞඛ්‍යාරක්ෂක පහසුකම් නොසැපයිම හා පීසීආර් පරීක්ෂන නොකිරීමට විරුද්ධව හෝමාගම රෝහලේ සුලු සේවකයෝ නොවැම්බර් 5 සහ 6 විරෝධය පලකලහ.

කම්කරුවන් සහ පීඩිතයන් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා සියලු පියවර ගතයුතුවන අතරේ, ඊනියා මාර්ගෝපදේශ තුලින් ක්‍රියාවට දැමෙන රාජපක්ෂ ආන්ඩුවේ 'නව සාමාන්‍යය' හෙවත් රංචු ප්‍රතිශක්තිකරන පිලිවෙත කම්කරුවන් හා පීඩිතයන් ප්‍රතික්ෂේප කල යුතුය. කම්කරුවන්ට  වසංගතයෙන් ආරක්ෂා  විය හැක්කේ තමන් විසින් ම පිහිටුවා ගනු ලබන ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වෙමින් වසංගතයෙන් ආරක්ෂාවීම සහ එය පාලනය කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයන් ගේ සහ සෞඛ්‍ය කාර්ය මන්ඩල වල සහයෝගය ඇතිව කම්කරු-පීඩිත ජනයාගේ ස්වාධීන වැඩපිලිවෙලක් වර්ධනය කිරීම තුලින් පමනි.

 

Loading