ඉදිරිදර්ශන

යුරෝපයේ කොවිඩ්-19 වසංගතය පාලනයෙන් පිටපනියි

ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් නව අගුලු දැමීමක් නිවේදනය කිරීමෙන් පසුව, නිවාඩුව ගෙවා අවසන් කල ශිෂ්‍යයන් පලමු වරට පන්තිවලට පැමිනුනු ඊයේ (නොවැම්බර් 02), ප්‍රන්සය පුරා පාසල් දුසිම් ගනනක ගුරුවරු පන්ති වර්ජනය කලහ. යුරෝපය පුරා ආන්ඩු විසින් දැන් ප්‍රකාශයට පත් කරනු ලැබෙමින් තිබෙන අගුලු දැමීමේ දේශපාලන ප්‍රෝඩාව, තරුනයන් හා වැඩ කරන ජනයාගේ පලල් ස්ථරයන්ට පැහැදිලි වීමට වැඩි කලක් ගතවී නැත.

පසුගිය සතියේ අගුලු දැමීම නිවේදනය කරමින් මැක්රොන් සඳහන් කලේ, දෙමව්පියන්ට දිගට ම වැඩ කල හැකි පරිදි ප්‍රාථමික හා මධ්‍යම ශ්‍රේනිවල ඉගන ගන්නා ශිෂ්‍යයන් දිගට ම පාසල්වලට පැමිනෙනු ඇති බව යි. සම්ප්‍රේෂන පොකුරුවලින් තුනෙන් දෙකක් පමන පාසල්වල හෝ වැඩ කරන ස්ථානවල සිටින බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තක්සේරු කරද්දී, ශක්තිමත් කර තිබෙන ආරක්ෂක රෙගුලාසි වෛරසයේ පැතිරීම සීමා කරනු ඇතැයි මැක්රොන් පොරොන්දු විය. මෙම පොරොන්දුවෙහි වටිනාකමක් නැත. “කල හැකි ප්‍රමානයට පමනක්” සමාජ දුරස්ථකරනය ක්‍රියාවට දමනු ලැබිය යුතු අතර, “එකම පන්තියේ හෝ වයස් මට්ටමේ ශිෂ්‍යයන්ට එය අනවශ්‍ය” යි වර්තමාන ආරක්ෂක රෙගුලාසි අවධාරනය කරයි.

චෙක් ජනරජයේ කිජෝව්හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ (අයිසීයූ) සිට බ්ර්නෝහි රෝහලක් වෙත කොවිඩ්-19 රෝගියෙකු රැගෙන යන සෞඛ්යාරක්ෂක කම්කරුවන්, ඔක්තෝබර් 22, 2020 (ඒපී ඡායාරූපය/ පීට්ර් ඩේවිඩ් ජෝසෙක්)

 ප්‍රන්සයෙන් 52,518ක්, ඉතාලියෙන් 22,253ක්, ස්විට්සර්ලන්තයෙන් 21,296ක්, බ්‍රිතාන්‍යයෙන් 18,950ක්, ස්පාඤ්ඤයෙන් 18,340ක්, පෝලන්තයෙන් 15,578ක් හා ජර්මනියෙන් 13,125ක් වසයෙන් යුරෝපය තුලින් සෑම දිනක ම නව කොවිඩ්-19 ආසාදනයන් මිලියන කාලක් පමන සොයා ගනු ලබද්දී, ගුරුවරුන් හා ශිෂ්‍යයන් තවමත් පාසල් තුල 30 දෙනෙකුට ඉඩ තිබෙන පන්ති කාමරවලට අඩුක් කරනු ලබයි.

මහා පරිමාන පාසල් අල්ලා ගැනීම් හා විරෝධතාවල නිරත ග්‍රීසියේ හා පෝලන්තයේ උසස් පාඨශාලා සිසුන් සමග ප්‍රන්සයේ ශිෂ්‍යයෝ ඒකාබද්ධ වෙමින් සිටිති. යුරෝපය පුරා තරුනයෝ දේශපාලන අරගලයකට මුහුන දෙති.

යුරෝපීය ආන්ඩු ක්‍රියාත්මක වන්නේ මහජනයාගේ ජීවිත කෙරෙහි අවඥාවෙනි. හදිසි පියවර ගනු ලැබුවේ නැත්නම් ප්‍රන්ස ජාතිකයන් 400,000ක් මිය යා හැකි යයි මැක්රොන් ප්‍රකාශ කිරීමෙන් පසුව පවා, වසන්ත සමයේ ගනු ලැබූ අගුලු දැමීමේ පියවරයන්ට වෙනස් ව, පැරීසිය, ලන්ඩනය හා බර්ලිනය ලමුන් හා අත්‍යවශ්‍ය නො වන කම්කරුවන් ආසාදනයේ තර්ජනයට මුහුන දෙමින් පාසල්වලට හා වැඩට යා යුතු බව අනවන අගුලු දැමීමේ පියවරයන් ක්‍රියාවට දැමුනි.

එවන් අගුලු දැමීම් කොවිඩ්-19 වෛරසයේ ප්‍රතිනිෂ්පාදන රේට්ටුව 0.9 හා 1.2 අතර ප්‍රමානයකින් පමනක් කපා හරිනු ඇතැයි ප්‍රන්සයේ විද්‍යාත්මක කවුන්සිලය සිකුරාදා (ඔක්තෝබර් 30) තක්සේරු කල අතර, එහි අර්ථය වන්නේ, එක්කෝ නව දෛනික ආසාදන ඉතා හෙමින් අඩු වන බව හෝ නැතහොත් සීඝ්‍රයෙන් ඉහල නැගීම පවා සිදු වනු ඇති බව යි. “නව, බරපතල බවින් අඩු පියවරයන්ගේ ඵලදායකත්වය විශාල අවිනිශ්චිතතාවක් තිබේ” යි විද්‍යාත්මක කවුන්සිලයේ සාමාජික සයිමන් කවුචෙමෙස් අනතුරු ඇඟවී ය. ප්‍රන්සයේ ස්වසනාධාර සහිත ඇඳන්වලින් අඩක් දැනට කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී තිබෙද්දී, ස්පාඤ්ඤයේ හතරෙන් පංගුවක් පිරී තිබෙන අතරතුර, යුරෝපයේ සෙසු ප්‍රදේශ සෞඛ්‍ය පද්ධතියේ ආසන්න බිඳ වැටීමකට සති කිහිපයක් පමනක් පිටුපසින් සිටියි.

ට්‍රම්ප් පරිපාලනයට වඩා බුද්ධිමත් ලෙස වසංගතය හසුරුවා තිබෙන බවට යුරෝපීය ආන්ඩු කරන ව්‍යාජ කියාපෑම්, කුහක හා මාරාන්තික ප්‍රෝඩාවක් බව හෙලිදරව් කෙරී තිබේ. සමහර විට, යුරෝපීය රාජ්‍ය නායකයෝ ඇමරිකාවේ බිලියනපති දේපොල වෙලඳාම් සමපේක්ෂක ජනාධිපතිවරයා තරම් මුග්ධ උද්ධච්ඡකමකින් යුතු ව ක්‍රියා නොකලා වන්නට පුලුවන. මුඛ ආවරන පැලඳීම ප්‍රතික්ෂේප කිරීම, කොවිඩ්-19 වෛරසය උන රෝගයට සමාන කිරීම හෝ වෛරසය ආසාදනය වීමෙන් අනතුරු ව, ඔවුන්ගේ රටවල අතිමහත් බහුතර කම්කරුවන්ට සාපේක්ෂ ව තමන්ට ලැබුනු වෛද්‍ය ප්‍රතිකාරවල සුවිශේෂී ගුනය ගැන පාරම්බෑම ඔවුහු නො කලහ.

පිටින් පෙනෙන නිපුනතාවට පිටුපසින්, මහා පරිමානයක බොරු කීම් තිබුනි. අවසානයේ මහජනයා ප්‍රතිශක්තිය කරා පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරමින්, වෛරසයට රට පුරා විදාරනය වීමට ඉඩ දෙන ස්වීඩනයේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත, අසල්වැසි ෆින්ලන්තයට වඩා නව ගුනයකින් වැඩි මරන අනුපාතයකට තුඩු දුනි. එහෙත් සියලු යුරෝපීය ආන්ඩු මෙම පිලිවෙත අනුගමනය කල හ.

යුරෝපය පුරා නිලධාරීන් මෙන්, ස්වීඩනයේ ප්‍රධාන වසංගත විද්‍යාඥ ඇන්ඩර්ස් ටෙග්නෙල් තමන් රංචු ප්‍රතිශක්ති පිලිවෙතක් වෙත යන බව ප්‍රතික්ෂේප කලේ ය. එහෙත්, පසුව අනාවරනය වූ පරිදි, ඔහු ෆින්ලන්ත නිලධාරීන්ට මාර්තු 14දා යැවූ ඊ-මේල් පනිවුඩයක් තුල, “රංචු ප්‍රතිශක්තිය වඩා ඉක්මනින් ලඟා විය හැකි පරිදි පාසල් විවෘත කර තැබිය යුතු” යි ටෙග්නෙල් තර්ක කලේ ය. එනම්, අද දින මැක්රොන් ආන්ඩුව කරන්නාක් මෙන්, ගුරුවරුන්, ශිෂ්‍යයන් හා වඩා පලල් ලෙස වැඩ කරන ජනගහනයහ අතර වෛරසය ව්‍යාප්ත වන පරිදි, පාසල් විවෘත කර තැබීමට පක්ෂ ව ඔහු කතා කරමින් සිටියේ ය.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් “එය සෑම දෙනාට ම බෝවීමෙන් වලක්වන්න බැහැ, ඒක යෝග්‍යත් නැහැ” යි කී අතර, ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෛරසය නිදහසේ පැතිරීම 2020 දී ජර්මානුවන් මිලියනයකගේ ජීවිත බිලි ගත හැකි යයි රහසිගත ව වාර්තා කලේ ය. එහෙත්, මාධ්‍ය ජර්මානු අතර ප්‍රචාරනය කරන “මර්කල් මව් තුමිය” මහජනතාව ඉදිරියට ගොස්, ජර්මානු ජනගහනයෙන් සියයට 70ක් ආසාදිත වනු ඇතැයි මුදුමොලොක් ලෙස පුරෝකථනය කලා ය.

වසංගත අර්බුදය ට්‍රම්ප් හෝ වෙනත් ධනේශ්වර දේශපාලනඥයෙකු සරල ව තනතුරින් ඉවත් කිරීම මගින් විසඳනු ලැබිය නො හැක. සියලු යුරෝපීය ආන්ඩු ට්‍රම්ප්ගේ පිලිවෙත ම අනුගමනය කල නමුත් කුසලතා පූර්න දේශපාලන රැවටීමක් කිරීමට වඩා වැඩි අවධානයක් දුන් හ. අද වන විට, සමස්ත යුරෝපය පුරා කොවිඩ්-19 රෝගය හේතුවෙන් සෑම දිනක ම පුද්ගලයන් 2,500ක් පමන මිය යන අතර, එය උතුරු ඇමරිකාවට වඩා 1,000කින් වැඩි ය.

යුරෝපය තුල අගුලු දැමීම් අනුගමනය කිරීමට බල කරන ලද්දේ කම්කරු පන්තියේ මැදිහත් වීම යි. මාර්තු මාසයේ දී ඉතාලිය -ආරම්භයේ දී වඩාත් ම ප්‍රහාරයට ලක් වූ රට මෙය යි- පුරා මෝටර් රථ, වානේ හා ඉංජිනේරු කර්මාන්තශාලාවලින් ඇරඹුනු නිවසේ දී රැකවරනය ඉල්ලන ක්ෂනික වැඩ වර්ජන රැල්ලක් ස්පාඤ්ඤය, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය හා යුරෝපයෙන් ඔබ්බට පැතිරුනි. එහෙත් අනෙක් අතට යුරෝපයේ ධනපති ආන්ඩු, නව ආසාදනයන් ශූන්‍යය කරා ලඟා වීමටත් ප්‍රථමයෙන්, නියමිත කලට පෙර ආපසු වැඩට හා පාසල් වෙත යැවීමට තල්ලු දෙමින්, එයින් තෘප්තිමත් වී සිටින ලෙස හැකි තරම් පීඩනය දැමූහ.

වෛරසය මැඩලා, රෝහල් පද්ධතිය විනාශ වීමක් වැලැක්විමට තිබෙන එක ම මාවත වන, නිවසේ දී රැකවරනය සැපයීමේ පිලිවෙතක් සඳහා මුදල් නැතැයි කියන තර්කය, යුරෝපයේ මිනීමරු කොවිඩ්-19 පිලිවෙතට එරෙහි ව අරගලයට පිවිසෙන කම්කරුවන් හා තරුනයන් විසින් අවඥාවෙන් යුතු ව ප්‍රතික්ෂේප කල යුතු ය. යුරෝපා සංගමය බැංකු හා සංගතවලට ඇප තැබීමේ වැඩපිලිවෙලකට යුරෝ ට්‍රිලියන 2ක් අනුමත කලේ, බ්‍රිතාන්‍යය බැංකුවලට ඇප දීමට පවුම් බිලියන 645ක් අනුමත කරද්දී ය. යතාර්ථයේ දී, කම්කරුවන්ට, ස්වයං-රැකියාවල නියුක්ත වන්නන්ට හා කුඩා ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ ආදායම් හා ජීවිකාවන් පවත්වාගෙන යන අතර ම, නිවසේ දී රැකවරනය සැපයීම සහතික කිරීමට ඕනෑ තරම් මුදල් තිබේ.

ඇමරිකාවේ මෙන් ම යුරෝපයේ ද ආන්ඩුවලට වසංගතය නැවැත්වීම සඳහා තීරනාත්මක ලෙස ක්‍රියා කිරීමට නො හැකි වීම, ධනවාදයේ අර්බුදය පිලිබිඹු කරයි: එවන් ක්‍රියාවක් පාලක පන්තියේ ද්‍රව්‍යමය අවශ්‍යතා ඉක්මවා යයි. ට්‍රම්ප් හා ඩිමොක්‍රටිකයන් මෙන් යුරෝපා සංගමයේ ආන්ඩු ද ජීවිත ආරක්ෂා කරනු වෙනුවට, බිලියනපතියන්ගේ කොටස් ආයෝජනවලට ඇප තැබීම හා මහ ව්‍යාපාරවල ලාබ පිම්බීම පිනිස මෙම සම්පත් යා යුතු යයි අපේක්ෂා කරති.

මෙම අරමුදල්වලින් පංගුවක්, අනේකාකාර කෝපරේට්වාදී වැඩ කවුන්සිල හා පදනම් ආයතන හරහා වෘත්තීය සමිති නිලධරයන් හා ඔවුන්ගේ දේශපාලන සගයන් වෙතට පෙරා එවන ලද්දේ, ආපසු වැඩට දැක්කීමේ පිලිවෙත් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ උදව් ලබා ගත හැකි වන පරිදි ය. ඒ අතර මේ සරත් සමයේ, ආසාදන ගනන ඉහල යමින් මහජන කෝපය ඉහල නැග අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවලට පීඩනය ගෙන එද්දී, වෘත්තීය සමිති හා ඔවුන්ගේ ආවතේවකරුවෝ කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ඊයේ පවා, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමග සභාග ආන්ඩුවක සිටින ස්පාඤ්ඤයේ “වාම ජනතාවාදී” පොදේමෝස් පක්ෂය, නිවසේ දී රැකවරනය සැලසීමේ පිලිවෙතක් ඉල්ලූ අස්තුරියාවේ ප්‍රාදේශීය බලධාරීන් ව ප්‍රතික්ෂේප කලේ ය.

කම්කරුවන්ට හා තරුනයන්ට පවතින ඉදිරි මාවත වන්නේ, වැඩ කරන ස්ථානවල සෞඛ්‍යය හා ආරක්ෂාව අධීක්ෂනය කිරීමටත්, පලල් අරගලයක් සූදානම් කිරීමටත්, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව, වැඩපොලවල හා පාසල්වල තමන්ගේ ම ක්‍රියාකාරී ආරක්ෂක කමිටු ගොඩනැගීම යි. ව්‍යසනකාරී ලෙස ජීවිත අහිමි කිරීමට තර්ජනය කරන ධනේශ්වර පද්ධතියේ ගෝලීය අසමර්ථතාවකට එරෙහි ව සටන් කිරීම සඳහා, කම්කරු පන්තියේ සාමූහික කාර්මික හා සමාජීය ශක්තිය බලමුලුගැන්වීම අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ යුරෝපීය ශාඛා, යුරෝපීය හා ජාත්‍යන්තර මහා වැඩ වර්ජනයක් සඳහා වන කැඳවුම ඉදිරිපත් කර ඇත.

එහෙත්, එවන් ක්‍රියාවක් සූදානම් කිරීමේ අර්ථය වන්නේ සමාජවාදය සඳහා දේශපාලන අරගලයක් සියතට ගැනීම යි. සෞඛ්‍ය ව්‍යසනයක් වැලැක්විය හැක්කේ, සුපිරි ධනවතුන්ගේ අයථා ලෙස උපයන ලද ධනය අල්ලාගෙන, පුද්ගලික ලාබය වෙනුවට සමාජ අවශ්‍යතාවේ පදනම මත ආර්ථික ජීවිතය සංවිධානය කිරීම සඳහා බලය ගැනීමට කම්කරු පන්තිය කරන අරගලයට පමනි. යුරෝපය තුල මෙහි අර්ථය වන්නේ, යුරෝපීය සංගමය පෙරලා දමා රාජ්‍ය බලය ගෙන එක්සත් යුරෝපීය සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමට කම්කරු පන්තිය ගෙන යන අරගලයට සහයෝගය දීම යි.

Loading