කොවිඩ්-19 පාලනයට ආන්ඩුව අපොහොසත්වී ඇතැයි වෛද්‍ය විශේෂඥයෙකු චෝදනා කරයි.

මේ වන විට ලංකාවෙහි දිස්ත්‍රික්ක සියල්ලම පුරා සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිර යමින් පවතී. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් ඇත. කොරෝනා මරන සංඛ්‍යාව 46 කි. ආන්ඩුව විසින් ඇතැම් පලාත් වලට පැනවූ අගුළු දැමීම් ලිහිල් කිරීම හේතුවෙන් තත්වය තවදුරටත් අනතුරුදායක අතට හරවා ඇත.

වසංගතයේ වර්ධනයට තුඩු දෙන අයුරින් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන දිගටම පවත්වාගෙන යාම, පීසීආර් පරීක්ෂන ප්‍රමානවත් තරමින් සිදු නොකිරීම ආදී ආන්ඩුවේ පිලිවෙත් වසංගතයේ ව්‍යාප්තියට හේතුවී ඇති බව එලිමහනේම සනාථ වෙමින් පවතී.

මෙම තතු තුල වසංගතය පැතිරීමේ වගකීම මහජනතාව මත පැටවීමේ ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආන්ඩුවේ සියලු කොටස් දියත් කර ඇත. සඳුදා දිනයේදී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමකදී, වෛරසය පැතිරීමට “මහජනතාව වගකිව යුතුය” යන්න රාජපක්ෂ පුනරුච්චාරනය කලේය.

මෙම ව්‍යාජ උද්ඝෝෂනයට විරුද්ධත්වය පල කරමින් වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය සුනිල් විමලවංශ ලියූ ලිපියක් නොවැම්බර් 5 වනදා ද අයිලන්ඩ් පුවත්පතේ පලවිය. “කොවිඩ් 19 කලමනාකරනයට අපොහොසත් වීම: වගකිව යුත්තේ කවුරුන්ද” යන ශීර්ෂය යටතේ ලියූ ලිපියෙහි සඳහන් වන්නේ “කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රවේශය” සමාජය තුල ආසාදිතයින් හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ජූනි මාසයේ සිටම රට තුල “සමාජ සම්ප්‍රේශනය සිදුවීමට ඉඩ හැර” තිබුනු බව මහාචාර්ය වරයා අවධාරනය කරයි. වසංගතයේ පුපුරා යාම පිලිබඳව අවධානය යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ කොවිඩ් 19 කලමනාකරනයේ දී “පද්ධති චින්තනය (systems thinking), නායකත්වය, විශේෂඥයන්ගේ සහාය ගැනීම” යන කාරනා වල ප්‍රධාන හිදැසක් පවතින බවයි.

ආන්ඩුවේ උද්ඝෝෂනයට එරෙහිව ඔහු සඳහන් කරන්නේ මෙම තත්වය “පසුගිය මාස කිහිපය තිස්සේ සිදුවූ සමාජ සම්ප්‍රේශනයට සහ පාලනයකින් තොරව ඉහල නගින වර්තමාන තත්වයට” හේතු වී ඇති බවයි. මේ හේතුවෙන් සමස්ත දිවයිනම ප්‍රජා පොකුරු කිහිපයකින් බලපෑමට ලක්ව ඇත..

"බ්‍රැන්ඩික්ස් පොකුර" යනු, සෞඛ්‍ය අමාත්‍යංශය රෝග විනිශ්චය කිරීමට අපොහොසත් වූ කොරෝනා සමාජ ව්‍යාප්තියේ මෑත කාලීන පොකුරු අතරින් එක් පොකුරක් පමනක් බව මහාචාර්යවරයා පවසයි. මෙම තත්වය ඇතිවීමට, “දුර්වල සහ ඒකාබද්ධ නොවූ මූලෝපාය සහ මිලිටරි පන්නයේ නිශ්ඵල ඇඳිරි නීතිය ගැන විශ්වාස තැබීම, සමාජය තුල පීසීආර් පරීක්ෂන කිරීම (ඉතා මෑතක් දක්වා) උද්ධච්ඡ ලෙස ප්‍රතික්ෂේප කිරීම, අමානුෂික නිරෝධායනය, වසංගත පාලනයේදී ප්‍රායෝගික විශේෂඥතාවය සහිත පුද්ගලයින්ගෙන් උපදෙස් ගැනීමට අපොහොසත් වීම” හේතු වී ඇති බව ඔහු පවසයි.

මහාචාර්යවරයා ඉදිරිපත් කරන කරුනු වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත් පිලිබඳව ප්‍රබල චෝදනා පත්‍රයකි. පද්ධති චින්තනය යන්න භාවිතා කෙරෙන්නේ, පද්ධතියක් සම්බන්ධයෙන් පුළුල් දැක්මක් සහිතව පද්ධතියෙහි සමස්ත ව්‍යූහය, එහි රටා පිලිබඳව අවබෝධයක් ලබා දෙන ප්‍රවේශයක් සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, ලංකාවේ ආන්ඩුව ඇතුලු ලෝකය පුරාම ධනපති ආන්ඩු වසංගතය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ එවන් ප්‍රතිචාරයක් නොව එදා වේල පිරිමසාගැනීමේ ප්‍රතිචාරයකි.

එය වසංගතයට මුහුන දීමට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවයේ යටිතල පහසුකම් වර්ධනයට මුදල් ආයෝජනය කිරීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමෙන් ප්‍රකාශයට පත්වේ. පහසුකම් නොමැති තතු යටතේ දැන් පලමු පෙල ආශ්‍රිතයින් පවා නිවෙස් තුල නිරෝධායනයට යොමු කෙරෙන අතර ඇතැමෙකු නිවෙස් තුලම මියයන අතර ඔවුන්ගේ පවුලේ සියලුදෙනාම ආසාදිතයින් බවට පත්වේ.

ආන්ඩුව රට තුල වෛරසය පාලනය කොට ඇති බව මවා පෙන්වීම සඳහා සිදු කල ප්‍රධානම කටයුත්තක් වූයේ පීසීආර් පරීක්ෂන ගනන අඩු කිරීමයි. අනෙක් අතට මිලිටරීකරනයේ පියවරක් ලෙස වසංගතයේ පාලනය සෞඛ්‍ය අංශ වලින් ගලවා මිලිටරිය වෙතට පැවරුනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ඇතුලු බහුතරයක් මිලිටරි නායකයින් ය. ආන්ඩුව කිසි සේත්ම වසංගතය පාලනය කිරීමට ක්‍රියා නොකල අතර, ඊට සහ අනෙකුත් ප්‍රහාර වලට එරෙහිව වැඩෙන මහජන විරුද්ධත්වය මැඩීම සඳහා ආඥාදායක පාලන තන්ත්‍රයක් අටවමින් සිටී.

කොවිඩ් 19 ප්‍රජා පොකුරු ව්‍යාප්ත වීමට හේතුවූ කොන්දේසි පිලිබඳ ව මහාචාර්යවරයා අවධානය යොමු කරයි.

ඔහු පවසන්නේ පසුගිය මාස කිහිපය තුල ආන්ඩුව විසින් ප්‍රචාරය කල මතය වන “සමාජ සම්‍ප්‍රේශනයක් නොමැත” යන්න අවිද්‍යාත්මක බවයි. පීසීආර් පරීක්ෂන සීමා කිරීම හේතුවෙන් වසංගතය පිලිබඳව දැනගැනීමට අවශ්‍ය තොරතුරු අහිමි වූ බව ඔහු අවධාරනය කරයි.

“පසුගිය මාස කිහිපය තුල කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීමට නොහැකී වීම, ප්‍රජා ව්‍යාප්තියක් නොතිබීම හා සමාන නැත. සාක්ෂි නොමැතිවීම (එනම් පීසීඅර් පරීක්ෂන නොමැතිකම) රෝගය නොමැති බවට සාක්ෂි හා සමාන නොවේ” යැයි මහාචාර්ය වරයා පවසයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය(ලෝසවෙඅ) පෙන්වා දුන් ආකාරයට, ආන්ඩුව දැනුවත්වම පීසීආර් පරීක්ෂන අඩු මට්ටමක පවත්වාගෙන ගියේ වසංගතයේ පැතිරීම පිලිබඳ සාක්ෂි වලකා ව්‍යාප්තිය පාලනය කර ඇති බව ව්‍යාජ ලෙස කියා පෑමටය. වසංගතය මධ්‍යයේ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවයන් සඳ හා කම්කරුවන් යලි වැඩට දැක්කීමට අවශ්‍ය පදනම සම්පාදනය කලේ මෙම ව්‍යාජය යි.

වෛද්‍ය විශේෂඥයන් දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව පන්දහස5000 දක්වා ඉහල නංවන ලෙස යෝජනා කලද ආන්ඩුව එය නොතකා හැරියේය. පරීක්ෂන ගනන පලමු වරට 2000 සීමාව ඉක්මවා ගියේ වෛරසය පැමින මාස පහකට ආසන්න කාලයක් පසු කන්දකාඩු පොකුර හමුවීමෙන් පසුවය.

මහාචාර්යවරයා ඉදිරිපත් කරන කරුනු වලින් සනාථ කෙරෙන්නේ ලෝසවෙඅ විසින් පසුගිය කාලය පුරා වසංගතය පිලිබඳ ඉදිරිපත් කල විශ්ලේෂනයන්ගේ නිරවද්‍ය භාවයයි. අනෙක් සියලු පක්ෂ සහ මාධ්‍ය ආන්ඩුව විසින් වසංගතය සාර්ථකව පාලනය කල බවට කියා පාමින් සිටි අතර සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් මෙම ව්‍යාජයට එරෙහිව සටන් වැදුනි.

දැන් සමාජ සම්ප්‍රේෂනයේ සාක්ෂි ඇස් පනා පිටම හෙලි වන තතු තුලත් ආන්ඩුව කොවිඩ්-19 සමාජ ව්‍යාප්තිය ප්‍රතික්ෂේප කිරීමට “නිරර්ථක” උත්සාහයක් ගෙන යන බව ඔහු සඳහන් කරයි.

ආන්ඩුව “ජනතාවට දඬුවම් නොකර ඔවුන්ට උදව් කල යුතු බව” පවසන කතුවරයා ආන්ඩුවේ වර්තමාන ප්‍රවේශය “ඵලදායි නොවන, අමානුෂික, සදාචාර විරෝධී” එකක් යැයි සඳහන් කරයි. ඔහු එයට උදාහරන ලෙස පෙන්වන්නේ මිනිසුන්ට දඬුවම් පැමිනවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල ගැසට් නිවේදනයයි.

ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සීටින නිශ්ඵල ඇඳිරි නීති ගැන සඳහන් කරන ඔහු, වයිරසයට “ඇඳිරි නීති පවතීද යන්න” අදාල නොවන බව උපහාසාත්මකව පවසයි. ආසාදනය වීම “පුද්ගලයින්ගේ චර්යාව සහ ප්‍රජාවේ ප්‍රතිශක්තිය මත රඳා පවතින” නමුත් ආන්ඩුව ඒවා වැඩි දියුනු කරන ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බව ලිපියෙහි සඳහන් ‌වෙයි. ආන්ඩුව රට තුල රෝගය නිවාරනය කිරීමේ ව්‍යූහය සෑදීමට අපොසත්ව ඇති බව වැඩි දුරටත් පවසා ඇත.

මහාචාර්යවරයා පවසන ආකාරයටම, පනවා ඇති ඇඳිරි නීති පුද්ගලයින්ගේ චර්යාව කිසිසේත්ම සීමා කර නොමැත. අත්‍යවශ්‍ය නොවන වැඩපලවල් ඇඳිරි නීතිය මධ්‍යයේ විවෘත කර ඇත. වසංගතයේ පැතිරීමට හේතුවී ඇත්තේ මේවාය.

ආන්ඩුව වසංගතයට මුහුන දීමේදි මිලිටරිය මුදුනෙහි තබා ගනිමින් ගෙන යන ක්‍රියා කලාපය විවේචනය කරන විමලවංශ නිරෝධායනය ක්‍රියාමාර්ගය ද “ජනතාවට දඬුවම් පැමිනවීමේ” භාවිතයක් ප්‍රදර්ශනය කරන බව සඳහන් කරයි. සම්බන්ධතා සොයායෑම රෝගය නිවාරනයට රුකුලක් වන නමුත්, එය “මානුෂීය ආකාරයෙන්” සිදු කල යුතු බව ඔහු පවසයි. නමුත් හමුදා කන්ඩායම් යොදාගෙන සෙවීමේ සහ අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ගය ඒ සම්බන්ධයෙන් “වැරදි ආකල්පයක්: බව ලිපියෙහි අවධාරනය කෙරේ. මෙම ක්‍රියාමාර්ග මිනිසුන්ට “මානසිකව සහ භෞතිකව” හානිකර ලෙස බලපාන බව ඔහු වැඩි දුරටත් පවසයි.

ආන්ඩුව සමාජයේ සෑම අංශයක්ම මිලිටරිය යටතට ගැනීමේ වැඩකටයුතු වසංගතයේ මුවාවෙන් ක්‍රියාවට දමා ඇත. නිරෝධායනයට මිලිටරිය යොදාගැනීමෙන් පිලිඹිඹූ වන්නේ එයයි. අනෙක් අතට වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතකා හැරීමේ වැඩපිලිවෙලට විරුද්ධව කොතනින් හෝ විරුද්ධත්වයක් යොමු වුවහොත් එය මිලිටරිය යොදා තලා දැමීමට ආන්ඩුව මාන බලමින් සිටී. මහජනතාව දඬු ගැසීමට නිකුත් කරන ගැසට් නිවේදන හරහා පිලිඹිඹු වන්නේ එම මර්දනයයි.

කෙසේ වෙතත් මහාචාර්යවරයා සඳහන් කරන කාරනා ආන්ඩුවේ ඒ හෝ මේ කොටස් වල වැරදි වලින් පැන නගින අසමත් වීම් නොවේ. මෙය කුමන වියදමක් දරා හෝ ධනපති පන්තියේ ලාභ සුරැකීමට කැපවී සිටින පාලක පංතියේ දැනුවත් ප්‍රතිචාරයයි.

“නායකත්වයෙහි” හිදැස පිරවිය හැකිවන්නේ වසංගතය මර්දන වැඩපිලිවෙල තවදුරටත් ධනපති පන්තිය නායකත්වයේ පවත්වාගැනීමෙන් නොව කම්කරු පන්තියේ නායකත්වය යටතට ගැනීමෙන් පමනි.