වසංගතය පැතිරීම නොතකා ආන්ඩුව සීමිත අගුලු දැමීම් ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ ආන්ඩුව කොවිඩ්-19 ආසාදන හ‌ා මරන ඉහල යාම නොතකා බස්නාහිර පලාතට පනවා තිබු සීමිත අගුලු දැමීම සඳුදා ඉවත් කලේ ය. එහෙත්, බස්නාහිර පලාතේ පොලිස් බල ප්‍රදේශ 23ක හා රටේ අනෙකුත් ප්‍රදේශ බොහොමයක ඇඳිරි නීතිය අඛන්ඩ ව පවත්වාගෙන යනු ලබයි.

බදාදා හවස වන විට, බරපතල ලෙස අඩුවෙන් දක්වනු ලබන නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, රට තුල කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 15,000 ඉක්මවූයේ මරන ගනන 46කට නැගෙද්දී ය. ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ආසාදිත පුද්ගලයන් ගනන 3,500ක් විය. එහෙත්, ඔක්තෝබර් මාසය ආරම්භයේ පටන්, මෙම සංඛ්‍යාව 10,000කට අධික ප්‍රමානයකින් වේගයෙන් ඉහල ගොස් ඇති අතර, මරන ගනන තුන් ගුනයකටත් වඩා වන 33කින් වැඩි වී ඇත.

කොලඹ දී දුම්රියකට ගොඩ වීමට පෙර කම්කරුවෙකු පරීක්ෂා කරන සොල්දාදුවෝ

සීමිත අගුලු දැමීමේ පියවර අත හැරීමට ගත් තීරනය සාධාරනීකරනය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, “රෝගය පාලනය කරන අතර ම සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට” ආන්ඩුව තීරනය කර ඇති බව ප්‍රකාශ කලේ ය. කොවිඩ්-19 වැලැක්වීමේ කාර්ය සාධක බලකාය ඇමතූ ඔහු, තවදුරටත් කියා සිටියේ, වසංගතය වනාහි “සෞඛ්‍ය ප්‍රශ්නයක්” බවත්, “වෛරසයෙන් මහජනයා ආරක්ෂා කිරීමේ හා රට ඉදිරියට ගෙන යාමේ වගකීම සෞඛ්‍ය අංශය හා ආන්ඩුව” අත රැඳී තිබෙන බවත් ය.

ඇත්තෙන්ම ආන්ඩුව කියා සිටින්නේ, මහජනයා පැතිර යමින් පවතින වෛරසය සමග ජීවත් වෙමින්, එය “නව සාමාන්‍යය” ලෙස පිලිගත යුතු බවයි. රාජපක්ෂ ප්‍රතිරාවය කරමින් සිටින්නේ, ජාත්‍යන්තර ව පාලක පන්තීන්ගේ මිනීමරු පිලිවෙත ය. වෛරසය යනු ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් වුව ද ධනවාදයේ අසාර්ථකත්වය හෙලිදරව් කරමින් වසංගතය විසින් නිර්මානය කර ඇති සෞඛ්‍ය අර්බුදය, ප්‍රමුඛ වසයෙන් ම දේශපාලන ප්‍රශ්නයකි.

මූල්‍ය ප්‍රභූවේ හා මහා සංගතවල ලාබ අවශ්‍යතා වෙනුවෙන්, ලොව පුරා ආන්ඩු පසුගිය දශක හතර තිස්සේ සෞඛ්‍ය පද්ධතිය කපා හෙලුවේය. එම ලාබ අවශ්‍යතා ම ආරක්ෂා කිරීම පිනිස කම්කරුවන්ට ආපසු වැඩට යාමට බල කිරීම මගින්, පාලක පන්ති වෛරසයට ගෝලීය ව පිම්මේ පැතිරයාමට ඉඩ දී ඇත.

මේවන විට ගෝලීය ආසාදන ගනන මිලියන 50 ඉක්මවා ගොස් ඇති අතර, මරන සංඛ්‍යාව මිලියන 1.3ට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසි රට වන ඉන්දියාව, ආසාදිත පුද්ගලයන් ගනන මිලියන 8.5ක් බව හා මරන සංඛ්‍යාව 127,000ට වැඩි බව ඊයේ වාර්තා කලේ ය.

“වෛසරයේ” ඊනියා “සාර්ථක මැඩපැවැත්වීම” අමතක කිරීම ගැන මාධ්‍යවලට හා මහජනයාට පහර දුන් රාජපක්ෂ, දැන් පවතින තත්ත්වය පිලිබඳ ව ඔවුන්ට දොස් පැවරී ය. ආන්ඩුව පරීක්ෂන සඳහා දෛනික ව රුපියල් මිලියන 60ක් වියදම් කරමින් සිටින බව කියා සිටි ඔහු, “මේ තත්ත්වය අවබෝධ කර ගැනීම” මහජනයාගේ වගකීම බව ප්‍රකාශ කලේ ය.

යතාර්ථයේ දී, නය ගෙවීමේ දී ලබා දෙන සහන කාල ඇතුලු ව මහ ව්‍යාපාරිකයට ආන්ඩුව ලබා දෙන සහයෝගයට සාපේක්ෂ ව, පරීක්ෂන සඳහා කරන වියදම ඉතා අල්පය. මහ බැංකුව පසුගිය මාස හය පුරා මහා සමාගම්වලට රුපියල් බිලියන 178ක් නිදහස් කොට ඇත.

සීමිත ආසාදන හා මරන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ පරීක්ෂන පැවැත්වීමේ පහල රේට්ටුව නිසාය. සමහර කොවිඩ්-19 ආසාදන හඳුනාගනු ලැබ තිබෙන්නේ, පුද්ගලයන් නිවසේ දී මිය යාමෙන් පසුව ය. වැඩිහිටි නිවාස, රෝහල්, බන්ධනාගාර, වතුකරය, පිටිසර ගම්මාන, පොලිස් බැරැක්ක හා පොලිස් අභ්‍යාස විද්‍යාලවලින් දැන් ආසාදන වාර්තා වෙමින් පවතී. බොහෝ වැඩපොලවලින් ආසාදන වාර්තා වේ.

ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාවට මාරුවීමට (ආර්ඒඩීටී) බලධාරීන් ගෙන ඇති තීරනය වෛද්‍ය විශේෂඥයන් විසින් විවේචනයට ලක්කර ඇත්තේ ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා නො දෙන බව පෙන්වා දෙමිනි. මුදල් හිඟයෙන් පෙලෙන ආන්ඩුවක් නායකත්වය ගෙන සිටින රාජපක්ෂ, අඩු වියදම් ආර්ඒඩීටී කට්ටල ආනයනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

වසංගතය පාලනය කිරීම පිලිබඳ ව, රාජපක්ෂ සෞඛ්‍ය කම්කරුවන් හා මහජන සෞඛ්‍ය පද්ධතිය කුහක ලෙස උත්කර්ෂයට නැංවී ය. එහෙත්, මනා සෞඛ්‍ය පහසුකම් නැති කම, දුෂ්කර අතිකාල සේවා සඳහා දීමනා නො ගෙවීම, පුද්ගල ආරක්ෂක උපකරන (පීපීඊ) හා පරීක්ෂන හිඟය නිසා, මෙම ඉදිරිපෙල කම්කරුවන් අතර කෝපය නැගෙමින් තිබේ.

ප්‍රමානවත් පීපීඊ හා පරීක්ෂන ඉල්ලමින් හෝමාගම රෝහලේ කම්කරුවෝ සිය ගනනක් නොවැම්බර් 5 හා 6 දිනවල විරෝධතාවේ යෙදුනා හ.

දින හයක් තිස්සේ නිරත වුනු දුෂ්කර රාජකාරිවලින් අනතුරු ව තමන්ට හිමි විවේකය දිය යුතුයයි ඉල්ලමින්, මාතර මහ රෝහලේ හෙදියෝ හා අනෙකුත් කාර්ය මන්ඩල ඔක්තෝබර් 31දා විරෝධතාවක නිරත වූ හ. එක් හෙදියක් මෙසේ කීවා ය: “අපට විවේකයක් අවශ්‍ය යි. අපට අපේ ගෙවල්වල පවුලේ අවශ්‍යතා සොයා බැලීමට උවමනා යි. පරිපීඩිත කොන්දේසි නිහඬ ව පිලිගැනීමට සේවකයන් සූදානම් නැහැ.”

කම්කරුවන් ආපසු වැඩට කැඳවීමේ දී කාර්ය මන්ඩලය අවම කරන ලෙස ආන්ඩුව රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට නියෝග කර ඇත. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර නිකුත් කර ඇති චක්‍රලේඛයකින්, “අනතුරුදායක දිස්ත්‍රික්කවල” රාජ්‍ය ආයතනයන්හි කාර්ය මන්ඩලයන් ආපසු වැඩට කැඳවීමේ දී, සේවක සංඛ්‍යාවෙන් සියයට 20ක් පමනක් කැඳවන ලෙස නිර්දේශ කර ඇත.

රාජ්‍ය අංශය කප්පාදු කිරීම ඇතුලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය වේගවත් කිරීම පිනිස සෞඛ්‍ය අර්බුදය යොදා ගැනීමට ආන්ඩුව උත්සාහ දරමින් සිටියි.

දැනටමත් කම්කරු අමාත්‍යාංශය විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල පවත්වාගෙන ගිය කම්කරු කාර්යාල වසා දමා ඇත. සංක්‍රමනික කම්කරුවන් මිලියනයකට අධික පිරිසකට සේවා සපයන විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සිය කාර්ය මන්ඩලයෙන් සියයට 50කට ඔවුන්ගේ වැටුපෙන් අඩක ගෙවීමක් ලබමින් නිවසේ සිට වැඩ කරන ක්‍රම පටිපාටියක් නිවේදනය කර තිබේ.

ආන්ඩුවට හා සමාගම්වලට එරෙහි ව කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වයේ බොහෝ සලකුනු මතුවෙමින් තිබේ.

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවිකාවක් අසනීප වුනු තවත් කම්කරුවෙක් සමග රෝහලට ගෙන ගිය විට ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සොයා ගැනීම නිසා එම කම්හල ඔක්තෝබර් 29දා වසා දැමීමට බල කෙරුනි. කම්කරුවන් 1,500කට නිරෝධායනය වීමට ඉඩ දීම පිනිස කම්හල සති දෙකකට වසා දමනු ලැබී ය.

එහෙත්, දින දෙකකට පසුව පොලීසියේ ද සහයෝගය ලබා ගත් කලමනාකාරීත්වය, නිරෝධායන රෙගුලාසි කඩකර කම්කරුවන් වැඩට කැඳවී ය. ලෝසවඅට කතා කල එක් කම්කරුවෙක් සේවකයන්ගෙන් අඅඩක්වත් සේවයට වාර්තා කලේ නැති බවත්, සමාගමේ හා පොලීසියේ රුදුරු ක්‍රියාවන්ට එරෙහි ව කැලඹිමක් වර්ධනය වෙමින් තිබෙන බවත් පැවසුවාය.

එක්සත් ජනදපයට හා යුරෝපා සංගමයේ සංගතවලට රෙදිපිලි නිපදවන බ්‍රැන්ඩික්ස් සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් සමාගම්වලින් එකකි. එය සතුව බොහෝ කම්හල් ඇති අතර, 50,000ක් පමන සේවයේ යොදවයි. ඔක්තෝබර් මුල, බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ කම්හලේ කම්කරුවන් අතර වෛද්‍ය පරීක්ෂන පැවැත්වීමට රාජ්‍ය බලධාරීන්ට බල කෙරුනු විට, ආසාදිත කම්කරුවන් 1,000ට අධික ප්‍රමානයක් සොයා ගැනුනි.

ඔක්තෝබර් මස අවසාන සතියේ දී, මාස් හෝල්ඩිංස් සමාගමට අයත් හොරන පිහිටි බොඩිලයින් ඇඟලුම් කම්හල, එහි සේවයේ යෙදෙන 6,000 ක් පමන කම්කරුවන් අතරින් දුසිම් ගනනක් ආසාදිත යයි සොයා ගැනීම නිසා, වසා දැමීමට බල කෙරුනි. මාස් යනු රටවල් 15ක කම්කරුවන් 99,000ක් සේවයේ යොදවන තවත් යෝධ සංගතයකි.

වෘත්තීය සමිති ආන්ඩුව සමග එකට වැඩ කරමින් එහි පියවර ක්‍රියාත්මක කිරීමට හා කම්කරුවන්‌ගේ විරෝධය මර්දනය කිරීමට උදව් වෙමින් සිටී.

නිරෝධායනය වෙමින් සිටි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) කම්කරුවන් සිය ගනනක්, මිලිටරිය විසින් ආපසු ඔවුන්ගේ නේවාසිකාගාර වෙත පසුගිය සතියේ ගෙන ආවේ ය. කොවිඩ්-19 පැතිර යාම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකාය විසින් මෙම තීන්දුව ගත්තේ, නිරෝධායන මධ්‍යස්ථාන අනෙකුත් රෝගීන් සඳහා නිදහස් කිරීමට යයි කියමිනි.

ආහාර පාන හා අනෙකුත් අවශ්‍ය දේවල් නො සපයන ලද තතු තුල කම්කරුවන් අතර කැලඹීම වැඩෙද්දී ඔවුන්ගේ කෝපය අපසරනය කිරීම සඳහා නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ක්ෂනික ව මැදිහත් විය. සමිතියේ සම ලේකම් වන ඇන්ටන් මාකස් සහනාධාර යදිමින් ජනාධිපතිවරයා විසින් කනිවෙකට පත් කරන ලද සම්බන්ධීකරන නිලධාරියා වන නාවික හමුදා රියර් අද්මිරාල් හේවගේට ලිවී ය.

කම්කරුවන් අතර වැඩෙන නොසන්සුන්තාව කෙරෙහි පාලක කවයන් තුල භීතිය වැඩෙන තත්වය තුල හේවගේ වැනි මිලිටරි නිලධාරීන් පත් කරමින්, රාජපක්ෂ සිය පාලනය මිලිටරීකරනය වේගවත් කර තිබේ. ආන්ඩුව සහ කම්කරු පන්තිය මර්දනය කිරීමට යොදා ගනු ඇති මිලිටරිය සමග ඒකාබද්ධ ව ක්‍රියාකිරීමේ සුදානම වෘත්තීය සමිති විසින් ප්‍රදර්ශනය කර ඇත.

[මෙම ලිපිය නොවැම්බර් 12 දින ඉංග්‍රීසියෙන් පලවින. ]

Loading