ඉදිරිදර්ශන

අත්‍යවශ්‍ය නොවන සියලු ම සේවා ස්ථාන වසා දමනු! කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාර සඳහා සම්පූර්න වන්දි ලබාදෙනු!

එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතය පාලනයෙන් තොර ව නැගී එයි.

මහජන සෞඛ්‍ය විශේෂඥයන්ගේ නරක ම අනතුරු ඇඟවීම් සැබෑ වී ඇත. මිලියන කාලක ජනතාවක් දැන් මිය ගොස් ඇත. පසු ගිය මාසය තුල, නව දෛනික රෝගීන් සංඛ්‍යාව තුන් ගුනයකින් වැඩි වී ඇත. ඔක්තෝබර් 13 වන දින, එක්සත් ජනපදයේ නව රෝගීන් 51,000 ක් වාර්තා විය. සිකුරාදා දිනයේ, නව රෝගීන් 182,000 ක් වාර්තා වූ අතර එය පෙර දින 162,000 ක් විය.

රටේ නිෂ්පාදන කේන්ද්‍රයන් වන, රෝග ව්‍යාප්තිය අධික ස්ථාන බවට පත්ව ඇති කර්මාන්තශාලා නිජබිම් වල තත්වය ඊටත් වඩා දරුනු ය. මිචිගන් හි, පසුගිය මාසය තුල දෛනික නව රෝගීන් සංඛ්‍යාව පස් ගුනයකින් වැඩි වී ඇත.

2020 නොවැම්බර් 11වන දින නිව්යෝක් හි බෘක්ලින්හි කොවිඩ්-19 ජංගම පරීක්ෂන ස්ථානයක පරීක්ෂන කූඩාරමක් තුල වෛද්‍ය කටයුතු ක්‍රියාත්මක කරයි [ස්තුතිය: ඒපී ඡායාරූප / ජෝන් මින්චිලෝ]

රට පුරා රෝහල් පිරී ඇති අතර, නගර වලට සිරුරු ගබඩා කිරීම සඳහා ශීත කල ට්‍රක් රථ ගෙන එමින් පවතියි. ඉලිනොයිස් ප්‍රාන්තය පවසන්නේ රෝහල් ධාරිතාව සති දෙකකට අඩු කාලයක් තුල ඉක්මවා යනු ඇති බවයි.

වර්තමාන අනුපාතයට අනුව, ලබන මාසය වන විට රට පුරා රෝහල් ඇඳන් හිඟයක් ඇති වේ. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව, පැවැත්මේ විශාලතම නිර්නායකය වන අතර මෙම තත්වය මත දැවැන්ත හා පෙර නොවූ විරූ පරිමානයකින් මරන සංඛ්‍යාව ඉහල යනු ඇත. සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනය පවසන්නේ මාර්තු මාසය වන විට 439,000 ක් මිය යා හැකි බවය.

මෙම ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන්, ලෝකයේ ප්‍රමුඛ මහජන සෞඛ්‍ය විශේෂඥයින් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා හදිසි අගුලු දැමීම් ඉල්ලා ඇත.

බදාදා, ආචාර්ය මයිකල් ඔස්ටර්හෝම්, නැතිවූ වැටුප් සඳහා පූර්න වන්දි ගෙවීමත් සහිතව, රට පුරා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන නතර කරන ලෙස ඉල්ලා සිටියේය. “සියලු වැටුප්, තනි කම්කරුවන්ට අහිමි වූ වැටුප්, කුඩා සමාගම්වලට, මධ්‍යම ප්‍රමානයේ සමාගම්වලට සහ නගර, ප්‍රාන්ත, ප්‍රාන්ත රජයන් සඳහා වූ පාඩු පියවා ගැනීම සඳහා අපට දැන් පැකේජයක් සඳහා මුදල් යෙදවිය හැකිය,” ඔහු පැවසී ය. “අපි එසේ කලහොත් අපට සති හතරක සිට හයක් දක්වා අගුලු දැමිය හැකියි.”

ඔස්ටර්හෝම්, එලඹෙන බිඩෙන් පරිපාලනයේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය තුල සිටින හෙයින්, ඔහුගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් වෙලඳපොලවල් වහාම පහත වැටුනි. ඒ ඔහුගේ අදහස් දැක්වීම් මගින්, අලුතින් තේරී පත් වූ පරිපාලනයේ පැත්තෙන් අගුලු දැමීමට සහාය ලැබෙන බවට වෝල් වීදියේ පවතින භීතිය නිසා ය.

බිඩෙන් ව්‍යාපාරයේ ප්‍රතිචාරය නිශ්චිත විය. බිඩෙන් ව්‍යාපාරයේ කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ ප්‍රකාශකයෙකු වන වෛද්‍ය විවේක් මූර්ති පිලිතුරු දෙමින්, “‘මුළු රටම වසා දමන්න’ යැයි පවසන තැනක අපි නොසිටිමු” යි පැවසී ය.

එලඹෙන පරිපාලනය තුළ ඇති හෙලාදැකීම් හමුවේ, ඔස්ටර්හෝම් තමා කතා කරන්නේ තමන් වෙනුවෙන් පමනක් බව පැහැදිලි කළේ ය: “කිසිවෙකු එයට සහාය නොදක්වයි. එයට පරිපාලනයෙන් සහාය නොලැබේ. එයට කොන්ග්‍රසයේ සහාය නොලැබේ.”

බිඩෙන් ව්‍යාපාරය විසින් රටපුරා අගුලු දැමීම ප්‍රතික්ෂේප කිරීම කොටස් වෙලඳපොලවල ඉහල යෑමට ඉවහල් වූ අතර, මරන හා රෝගීන් ඉහල යාම මධ්‍යයේම ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය ඒකක 400 කින් ඉහල ගිය ගොස්, මෙතෙක් ඉහලම අගය ලෙස ඒකක 200 ක් වාර්තා විය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල, ඔහු ජනාධිපති ධුරයේ සිටියදී කිසිදු අගුලු දැමීමක් සිදු නොවන බව ඔහු පැහැදිලි කලේය. ට්‍රම්ප් සිකුරාදා පැවසුවේ “මම අගුලු දැමීමකට නොයමි. මෙම පරිපාලනය කිසිදු තත්වයක් යටතේ අගුලු දැමීමකට නොයනු ඇත. ප්‍රතිකාරය ගැටලුවට වඩා නරක විය නොහැක.”

වසංගතයට ප්‍රතිචාර වශයෙන් ඔස්ටර්හෝම්ගේ ඉල්ලීීීම සියලු පිලිගත් හා ස්වාධීන විද්‍යාඥයින්ගේ එකඟතාවය නියෝජනය කරයි. එහෙත් ඔහුගේ ප්‍රකාශය දේශපාලන සංස්ථාපිතයේ සියලු කොටස්වල පුලුල් හෙලාදැකීමට ලක්විය.

කතුවැකියක දී වෝල් ස්ට්‍රීට් සඟරාව “යහපත් වෛද්‍යවරයාගේ අත්බෙහෙත” හෙලා දුටුවේය. එය ප්‍රකාශ කලේ, “අගුලු දැමීම වෛරසය මර්දනය නොකරයි. අගුලු දැමීම අවසන් වන තුරු වසංගතය පැතිරීම ප්‍රමාද කරයි.”

මොනතරම් නීච බොරුකාරයෝද! මේ මීට දින කිහිපයකට පෙර “කොවිඩ් එන්නත් බලඇනිය 2021 මැද භාගයේ වසංගතය පලවා හරිනු ඇත” යයි පැවසූ අයයි. වසංගතය මාස කිහිපයක් තුල අවසන් වන බවත්, මේ අතරතුර ජීවිත බේරා ගැනීමට කිසිවක් කල නොහැකි බවත් මෙම විතන්ඩවාදියෝ එකවර ප්‍රකාශ කරති.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ද පාසල් විවෘතව තබන ලෙස කෝපාවිෂ්ටව ඉල්ලා තිබේ. එය බදාදා “නිව්යෝක්හි පාසැල් විවෘතව තබන්න” යන මාතෘකාව යටතේ කතුවැකියක් පල කලේය. පාසල් විවෘතව පැවතිය යුතුය යන ඉල්ලීම සාධාරනීකරනය කිරීම සඳහා ටයිම්ස් පුවත්පතේ ප්‍රවෘත්ති ලිපියක් ප්‍රකාශයට පත් කරමින්, “ප්‍රාථමික පාසල්වල දක්නට ලැබුනේ සීමිත පැතිරීම් පමනක් බව ලොව පුරා පර්යේෂනයන් පෙන්වා දී ඇත' යි පවසයි.

යථාර්ථය නම්, කොවිඩ්-19 පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට ඉඩ දීම සඳහා ප්‍රමුඛ පෙලේ උපදේශකයා ටයිම්ස් ය. නොකල්හි ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සාධාරනීකරනය කිරීම සඳහා මාර්තු මාසයේදී ටයිම්ස් තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් “ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නොහැක” යන වාක්‍ය ඛන්ඩය නිර්මානය කලේය. තවදුරටත් අගුලු දැමීම් සිදු නොවන බව ප්‍රකාශ කිරීම සඳහා සිකුරාදා ට්‍රම්ප් විසින් යොාගත් වාක්‍ය ඛන්ඩය ද මෙයමය.

බිඩෙන් පාලනයක් විසින් ට්‍රම්ප්ගේ “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනු ඇතැයි ද වසංගතය නැවැත්වීමට හදිසි පියවර ගනු ඇතැයි ද යන බලාපොරොත්තුවෙන් පසුගිය සතියේ පැවති මැතිවරනයේදී මිලියන සංඛ්‍යාත ජනතාවක් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කල අතර, එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමක් වසංගතය පාලනය කිරීම සඳහා ඇතුලත් විය යුතු මූලික ක්‍රියාමාර්ගවලට පවා සහාය නොදක්වයි.

කම්කරුවන්ට හදිසි පියවර ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි. කර්මාන්තශාලා සහ සේවා ස්ථාන වෛරසය සම්ප්‍රේෂනය සඳහා ප්‍රධාන තෝතැනි බවට පත්වෙමින් පවතින අතර, සිය ගනනක් රෝගීන් තනි නිෂ්පාදන හා සැකසුම් පහසුකම් සමඟ බැඳී ඇත. වසංගතය උත්සන්න වෙද්දී කර්මාන්තශාලා මර උගුල් බවට පත්වෙමින් තිබේ.

අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම බලාත්මක කිරීම සඳහා සහ අත්‍යවශ්‍ය පහසුකම් මෙන්ම ආරක්ෂිත සේවා කොන්දේසි ස්ථාපිත කිරීම සඳහා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.

නමුත් වසංගතය තනි තනි කම්හල් මට්ටමින් පාලනය කල නොහැක. වසංගතය පාලනය කිරීමට නම් සෞඛ්‍ය සඳහා සමාජ සම්පත් යෙදවීම, පරීක්ෂන සහ සම්බන්ධතා සොයා ගැනීම සමඟ රටපුරා වසා දැමීම අවශ්‍ය වේ. එන්නතක් පැමිනෙන තෙක් වෛරසය පාලනය කල හැක්කේද, ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත බේරාගතහැක්කේද හැක්කේ මේ ආකාරයෙන් පමනි.

කම්කරුවන්ට අහිමි වූ වැටුප් සහ කුඩා ව්‍යාපාර සඳහා පූර්න වන්දි ගෙවීමක් සිදු නොවන්නේ නම් එවැනි අගුලු දැමීම් කල නොහැකි ය. වසංගතයෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත් සියලුම පුද්ගලයින් යථාවත් කල යුතුය.

ජීවිත හා ජීවනෝපායන් වෙනස් බව කියන සියල්ලෝම අසත්‍යය පවසති. මූල්‍ය කතිපයාධිකාරයේ ධනයේ පරිශුද්ධභාවය යමෙකු පිලිගන්නේ නම් මෙම තුලනය සැමදා පවතිනු ඇත. ශතවර්ෂයේ දැවැන්තම ජාතික හදිසි අවස්ථාව මධ්‍යයේ, මූල්‍ය ප්‍රභූව විසින් රැස්කරගෙන ඇති අතිමහත් ධනය පවරාගෙන සමාජ සන්තක කල යුතුය.

සංස්ථාපිත ඉඩම් හිමියන් සඳහා වන සියලුම කුලී සහ ප්‍රධාන බැංකුවලට ඇති උකස් ගෙවීම්, ශිෂ්‍ය නය සහ ක්‍රෙඩිට් කාඩ් නය සඳහා ගෙවීම් වහාම අත්හිටුවිය යුතුය. නිවසේ සිට අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපනය හා රැකවරනය ලබා දීමට සිදුව ඇති නිසා වැටුප් අහිමි වූ සියලුම කම්කරුවන්ට වන්දි ගෙවිය යුතුය.

අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනයේ සැලකිය යුතු කොටස් මාර්තු මාසයේදී වසා දැමීම හේතුවෙන් රෝහල් පිරී ඉතිරී යාම වලක්වා ගැනීමෙන් ගනන් නැති ජීවිත බේරුනි. එහෙත් පාලක පන්තිය මෙම පියවර තමන්ගේ කැමැත්තෙන් ගත්තේ නැත. මිඩ්වෙස්ට් පුරා ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානවල විශාල වශයෙන් පැතිර ගිය වැඩ වර්ජන වලින් එය භීතියට පත් වූ අතර එහිදී කම්කරුවන් නිෂ්පාදනය නතර කිරීමට පියවර ගත්හ.

පාලක පන්තිය සිය ස්ථාවරය පැහැදිලි කර ඇත: එන්නතක් පැමිනීමට පෙර සිය දහස් ගනනක් ජීවිත වෝල් වීදිය වෙනුවෙන් කැප කල යුතු ය.

කම්කරුවන් මෙම සමූහ ඝාතනයට ඉඩ නොදිය යුතුය! ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සහායකයින්ගේ, මිතුරන්ගේ සහ පවුල්වල ජීවිත ආරක්ෂා කිරීමට ඔවුන් පියවරක් ගත යුතු ය.

වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ධනේශ්වර ක්‍රමය සමග නොපෑහේ. සමාජ ක්‍රමයක් මිනිස් ජීවිත සුරැකීම සමඟ යුද්ධයට අවතීර්න වන්නේ නම්, පරිත්‍යාග කල යුත්තේ සමාජ ක්‍රමය මිස මිනිස් ජීවිත නොවේ.

[මෙම ලිපිය නොවැම්බර් 14 දින ඉංග්‍රීසියෙන් පලවින.]

Loading