රාජපක්ෂ ආන්ඩුව කොලඹ දුගී ජනයා වසංගතයට හා කුසගින්නට ඇද දමයි

රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන කොලඹ දිස්ත්‍රික්කය මේ වන ලංකාවේ කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තියේ ප්‍රධාන ස්ථානය බවට පත්ව ඇත. කොලඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල හා අනෙකුත් තදාසන්න ප්‍රදේශයන්හි, කූලී රැකියාවන්හි, සුලු වෙලඳාම්වල හා ත්‍රිරෝද රථ ධාවනය වැනි රැකියාවන්හි නිරත නාගරික දිලිඳු ජනයා වසංගතයේ ප්‍රධාන ගොදුරක් බවට පත් වෙමින් සිටිති.

කොලඹ කොටුව, මරදාන, මට්ටක්කුලිය, වේල්ලවීදිය, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, වැල්ලම්පිටිය සහ බොරැල්ල වැනි ජනාකීර්න ප්‍රදේශ තවමත් හුදකලා කොට ඇත. මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා කර්මාන්ත බහුල සමස්ත බස්නාහිර පලාතට පනවා තිබූ අගුලු දැමීම් ඔක්තෝබර් 29 දා රාජපක්ෂ ආන්ඩුව විසින් ඉවත් කලේ ය.

දැනට අගුලු දමා ඇති ප්‍රදේශ තුලත් රටපුරාත් ආයෝජන මන්ඩලය යටතේ හා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ක්‍රියාත්මක සියලුම කර්මාන්ත ශාලාවල කම්කරුවන්ට අනාරක්ෂිත කොන්දේසි යටතේ අඛන්ඩව වැඩට යෑමට බල කෙරී පවතී.

තම දෛනික රැකී රක්ෂා අහිමි වීම, රෝග පරීක්ෂාවන් හැකි තරම් සීමා කිරීම, අඛන්ඩ සමාජ සහනාධාර සැලැස්මක් නොමැතිව සිදුකරන අගුලු දැමීම් හා පොලිස් අත්අඩංගුවට ගැනීම් මගින් මෙම දුගී ජනයා ඇද දමා ඇත්තේ වසංගතයෙන් හා බඩගින්නෙන් නිවාස තුල මියැදෙන තත්වයකටයි.

කොලඹත් ඇතුලුව රට පුරා සිදු කරන සීමිත පීසීආර් පරීක්ෂන හා සංසන්දනයක යෙදෙමින්, කොලඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල 30,000 කට පමන රෝගය වැලඳී ඇති බවට අනුමාන කරන බව, කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි පසුගිය සතියේ පැවසී ය. මෙම පුද්ගලයින් රෝග ලක්ෂන නොපෙන්වන නිසාත් රෝග සම්ප්‍රේෂනය පිලිබඳ අදහසක් නොමැති නිසාත් තත්වය යහපත් නොවන බවට ඔහු අනතුරු ඇඟවීය.

කොලඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා කොවිඩ්-19 වෛරස් රෝගීන් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර පවුල් 5,800 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කර ඇති බව කොලඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසීය.

පසුගිය සතියේ ඩේලිමිරර් පුවත්පතේ පල වූ වාර්තාවක් මගින්, නිවාස නිරෝධායන මාර්ගෝපදේශය මෙම දිලිඳු නිවාසවලට බලපාන්නේ කෙසේද යන්න පිලිබඳව අවධානය යොමු කෙරුනි. වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ දරුවන්ගෙන් දුරස්ථ ව නිරෝධායනයට ලක්වන්නන් සිටිය යුතු බව මාර්ගෝපදේශයේ සඳහන් වේ.

නමුත්, කොලඹ පැල්පත් හා තට්ටු නිවාසවල ඇත්තේ වයිරස ව්‍යාප්තියට සරු පසක් නිර්මානය කරන පිරිසිදු වතාශ්‍රයක් නොමැති කොන්දේසි ය. ඒවා සාමාන්‍ය තත්වය යටතේ පවා මනුෂ්‍ය වාසයට සුදුසු නොවේ. වනාතමුල්ල, ග්‍රෑන්ඩ්පාස් හා කොටහේන වැනි ප්‍රදේශවල එක් නිවසක් තුල පවුල් කිහිපයක් වාසය කරන අතර එවන් නිවාස රාශියක් එකිනෙක සම්බන්ධ වී පවති. බොහෝ අය භාවිතා කරන්නේ පොදු ජල කරාම හා වැසිකිලි පද්ධතීන් ය.

සමාජ විද්‍යා කථිකාචාර්යවරයකු උපුටා දක්වූ ඉහත ලිපියේ සඳහන් වූයේ “ජනාකීර්න ජීවන තත්වයන් නිසා ඔවුන් කොවිඩ්-19 සම්ප්‍රේෂනයට බෙහෙවින් ගොදුරු විය හැකි” බවයි.

ආන්ඩුව මෙම ජනයා ඉලක්ක කර ගත්, පීසීආර් පරීක්ෂන ඉහල දැමීමක්, නිරෝධායනයට පහසුකම් සැලසීමක් හා රැකියා අහිමි වී සිටින දිලිදු ජනයාට අත්‍යාවශ්‍ය ආධාර වැඩපිලිවෙලක් විධිමත්ව ක්‍රියාවේ යොදවා නැත. ඒ තත්වය තුල මතු විය හැකි මහජන පිපිරීමක් සමනය කරනු වස් පොලිස් හා හමුදා මෙහෙයුම් පුලුල් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසුවේ නිවාස නිරෝධායනයෙහි රඳවා ඇති අයගේ නිවාස සමීපව අධීක්ෂනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු පත් කර ඇති බවයි. මිලිටරිය විසින් පසුගිය දා ආරම්භ කල ඩ්‍රෝන බලකාය ජනයා දඩයම් කිරීමේ මෙහෙයුම්වලට එක් වී ඇති අතර ඊයේ දිනයේ තරුනයන් 95 කු අත්අඩංගුවට ගෙන ඇත.

සහනාධාර හෝ ආහාර වැනි මූලික අවශ්‍යතා ලබාදීමට නිසි පියවර නොගෙන ඇඳිරි නිතිය පැනවීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින මීතොටමුල්ල වඩුගොඩ වත්තේ කුලි රැකියාවන්හි නිරත කේ.එච්.යමුනා පැවසුවේ රජයෙන් පොරොන්දු වූ රුපියල් පන්දහසේ දීමනාව පසුගිය සතියේ ලැබුන නමුත් 'රුපියල් දහදාහේ සහන මල්ලක්' නොලැබුනු බවයි.

තමන් මුහුන දෙන තත්වය වැඩිදුරටත් විස්තර කරමින් ඇය මෙසේ පැවසුවාය: 'දැන් මුකුත්ම කන්න නැහැ. ඊට කලින් දවස්වල වැඩ කරලා ඉතුරු වෙච්ච සල්ලිවලින් දවසට වේලක් දෙකක් කාලා තමයි හිටියේ. දැන් වැඩ නැති නිසා සල්ලිත් නැහැ. ප්‍රදේශයේ ජනයා දැඩි බියකින් ඉන්නේ ඩ්‍රෝන් කැමරාවලින් බලලා අත්අඩංගුවට ගනියි කියලා'.

මෙසේ පොලිස් 'ආරක්ෂාව' යොදවා ඇති රන්දිය උයන තට්ටු නිවාස සංකීර්නයේ පදිංචිකරුවෙකු ප්‍රකාශ කලේ එම නිවාස සංකීර්නයෙන් ආසාදිතයන් 06 ක් වාර්තාවීම හේතුවෙන් අනෙක් සියලු දෙනාට නිවාස වලින් එලියට නොබසින ලෙසට නියෝග කෙරුනු බවයි.

ඔවුන් මුහුන දෙන ගැටලු ඔහු මෙසේ විස්තර කලේ ය: 'අපේ නිවාස සංකීර්නයේ විශාල පිරිසක් ඉන්නවා. මිනිස්සුන්ට කෑම බීම නැහැ. ආරක්ෂාව තදින්ම දාලා නිසා එලියට වත් යන්න බැහැ. අපිට රැකියාත් නැහැ සල්ලිත් නැහැ.' මේ වන විට නයක් හෝ ලබා ගැනීමට නොහැකි බවත් මහජනයා මුහුන දෙන තත්වය විමසීමට ආන්ඩුවේ හෝ විපක්ෂයේ කිසිම “මහජන නියෝජිතයෙක්“ නොපැමිනි බවත් ඔහු පැවසීය.

නිවාස නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයන් සඳහා ක්‍රමානුකූල පරීක්ෂන සිදු නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූවේ නිවාස නිරෝධායනයට ලක් වූ අය 10 වන දිනයේ දී රෝග ලක්ෂන පෙන්වන්නේ නම් පමනක් පරීක්ෂනයට භාජනය විය හැකි බවයි.

ආන්ඩුව ගෙන යමින් තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ හා අසල්වැසි ඉන්දියාවේ පාලක පන්තීන් ගෙන යමින් තිබෙන මාරාන්තික 'රංචු ප්‍රතිශක්තිකරන' වැඩපිලිවෙලයි. මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල නිවෙස් තුලම මරනයට පත්වන පිරිස් ඉහල යමින් තිබේ. 17 දා වන විට ලංකාවේ මුලු කොවිඩ් මරන සංඛ්‍යාව 66 ක් වී තිබේ. මුලු ආසාදිතයන් ගන 18,000 ඉක්මවා ගොස් ඇති අතර, රෝහල් තුල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,000 ට ආසන්න ය.

වසංගතය පාලනය කිරීමට තම රජය සමත් වී ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රෝඩාකාරී ප්‍රකාශ බිදදමමින්, වසංගතය රටේ ගරා වැටෙන සෞඛ්‍යය පද්ධතියට දරා ගත නොහැකි තත්වයට පත්ව තිබේ. බොහෝ ප්‍රදේශවල පොලිස් ස්ථාන, තැපැල් කාර්යාල, ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියකින් රෝගීන් වාර්තා වෙමින් පවතී.

කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 100 කට ආසන්න සංඛ්‍යාවත් සමග රටපුරා මුලු බන්ධනාගාරවලින් වර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 5,00 ඉක්මවා තිබේ.

ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක වාර්තාකරුවන්ට පැවසුවේ 'වරායට දරුනු කොරෝනා ප්‍රහාරයක් එල්ල වී ඇති' බවයි. නමුත්, වාරයේ නාවික අංශයේ කම්කරුවෙකු පැවසුවේ කම්කරුවන් රෝගී වීමේන් හා රැකියාවට නොපැමීනීම හේතුවෙන් ජය බහාලුම් පර්යන්තයට විශ්‍රාම ගිය කම්කරුවන් කැඳවා ඇති බවයි. 'සෞඛ්‍යය බලධාරීන් පවසන විදිහට අපිට සමාජ දුරස්ථභාවය තබා ගෙන වැඩ කරන්න බෑ' යයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක් වන ඩී.ජී.මිල්ටන් කියා සිටියේ ඇඳිරි නීතිය නිසා කුලී ගමන් විශාල ලෙස අඩුවීම හේතුවෙන් තම රථයේ නය වාරික ගෙවා ගත නොහැකිව සිටින බවයි. 'අපිට ආන්ඩුවෙන් ගිය පාර පොරොන්දු වූ කිසිම සහනයක් හම්බවුනේ නෑ. එක ලොකු ප්‍රෝඩාවක්. ඇඳිරි නීතිය ඉවත් කරත් හයර් වෙනද වගේ නෙමේ, බොහොම අඩුයි.”

කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ සෞඛ්‍යය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මුදල් වැය කරනවා වෙනුවට රජයේ අවධානය මුල සිටම යොමු වූයේ මහා ව්‍යාපාරයන්හි ලාභ උපයා ගැනීම අඛන්ඩව පවත්වාගෙනයාම සහතික කිරීම සඳහා ය. මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ දෛනික ව පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා සාකච්ඡාවල දී, රාජපක්ෂගේ මන්ත්‍රය වී ඇත්තේ අගුලු දැමීම් පවත්වාගෙන යාමෙන්, වසංගතයට 'රටේ ආර්ථිකය' බිලිදිය නොහැකි බවයි.

නය ගෙවීමේ දී ලබා දෙන සහන කාල ඇතුලු ව මහ ව්‍යාපාරිකයට ආන්ඩුව ලබා දෙන සහයෝගයට සාපේක්ෂ ව, පරීක්ෂන හා සහනාධාර සඳහා කරන වියදම ඉතා අල්පය. මහ බැංකුව පසුගිය මාස හය පුරා මහා සමාගම්වලට රුපියල් බිලියන 178ක් නිදහස් කොට ඇත.

මීට විපරීතව, මාර්තු මස අග සිට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජනයාට 'සහන' සැලසීමට ආන්ඩුව මේ දක්වා වියදම්කොට ඇත්තේ රුපියල් කෝටි 68.64 ක්, නැතහොත් රුපියල් බිලියන 0.68 ක් පමනි. ලෝක ආර්ථිකයේ එල්ල වන ප්‍රහාර හමුවේ ආන්ඩුවේ නය අර්බූදය උග්‍ර වී ඇති අතර මෙම සොච්චම් සහන පවා තවදුරටත් කප්පාදු කිරීම ආන්ඩුවේ එල්ලයයි.

මහා පරිමානයෙන් පරීක්ෂන නොපැවැත්වීම මගින් සඟවා තිබූ වසංගතයේ ව්‍යාප්තිය පුපුරා ඉස්මත්තට පැමිනීමෙන් පසු “වෛසරයේ” ඊනියා “සාර්ථක මැඩපැවැත්වීම” අමතක කිරීම ගැන රාජපක්ෂ ඇතුලු ආන්ඩුවේ මැති ඇමතියන්, මිලිටරියේ, පොලිසියේ හා ආන්ඩුවට පන්දම් අල්ලන සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනයා මත නගන චෝදනා සියලූම කම්කරුවන් හා පීඩිතයන් එක හෙලා ප්‍රතික්ෂේප කල යුතු ය.

රට පුරා කම්කරුවන් ද, දිලිඳු ජනයා ද වසංගතයට ගොදුරු කරමින් ජන ජීවිතය කාබාසිනියා කර ඇති ආන්ඩුවේ මිනිමරු පිලිවෙත මගින් යලි යලිත් පැහැදිලි වන්නේ රාජපක්ෂ ආන්ඩුව හා විපක්ෂයේ සියලු සංස්ථාපිත පක්ෂ හුවා දක්වන “ආර්ථිකය” සාමාන්‍ය මහජනයාගේ නොව ධනපති මහ ව්‍යාපාරිකයන්ගේ බවයි.

Loading