ඉදිරිදර්ශන

කොවිඩ්-19 සමග සටන් වදින වරාය කම්කරුවන් මර්දනය කිරීමට ලංකාවේ ආන්ඩුව පනවා ඇති අත්‍යවශ්‍ය සේවා නියෝගයට විරුද්ධ වනු !

කොලඹ වරාය කම්කරුවන් අතර කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යද්දී වරාය අධිකාරිය අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවක් බවට පත් කරන “අති විශේෂ ගැසට් පත්‍රයක්” අඟහරුවාදා රාත්‍රියේ නිකුත් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුදුරු ප්‍රතිචාරයක් දක්වා ඇත.

මේ වනවිට කොලඹ ප්‍රධාන වරායේ කම්කරුවන් 80 දෙනෙකු පමන කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂන වලින් සොයා ගැනුනි. කම්කරුවන්ගේ පැමිනීම අඩුවීම නිසා වරායේ මෙහෙයුම් කටයුතු සියයට 60 සිට 70 දක්වා පහත වැටුනු බව නිලධාරීහු මාධ්‍යයන්ට කී හ.

කොලඹ වරාය කම්කරුවන්ගේ උද්ඝෝෂනය- 2020 ජූලි

ශ්‍රී ලංකාවේ වරායන්හි කම්කරුවන් 15,000ක් පමන ඍජු ව සේවයේ යොදවනු ලැබෙති. ඉන් 10,000ක් කොලඹ වරායේ ද අනෙකුත් කම්කරුවන් ත්‍රිකුනාමලය, ගාල්ල හා කන්කසන්තුරේ වරායවල ද සේවය කරති. ප්‍රවාහන කම්කරුවන් දහස් ගනනක් හා අනෙකුත් සේවකයෝ දෛනික ව මෙම වරායන්ට පැමිනෙති. මේ සියලු කම්කරුවෝ හා ඔවුන්ගේ පවුල්, සේවා ස්ථානයන්හි දී හා රටේ අනෙකුත් ප්‍රදේශවල දී කොවිඩ්-19 අන්තරායට මුහුන දී සිටිති.

මෙම අන්තරායන් නො තකන ආන්ඩුව, දැන් වරාය කම්කරුවන්ට නියෝග කරඇත්තේ, ඛේදජනක මරනය නො තකා දිගට ම සේවයේ යෙදෙන ලෙස යි.

රාජපක්ෂගේ අත්‍යවශ්‍ය සේවා නියෝගය යටතේ, සේවයට නො පැමිනෙන ඕනෑම වරාය කම්කරුවෙකු, “මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු දඬුවම් ලැබීමටත්” ඒ අනුව වසර දෙකේ සිට පහ දක්වා වන කාලයකට “බරපතල වැඩ සහිත සිර දඬුමකට” හෝ රුපියල් 2,000ත් 5,000ත් අතර දඩයකට හෝ ඒ දෙකටම යටත් කල හැකිය.

මෙසේ වරදකරු වන ඕනෑම අයෙකුගේ චංචල හා නිශ්චල දේපොල රාජසන්තක කරනු ලැබ, ඔහුගේ හෝ ඇයගේ නම “රැකියා හෝ වෘත්තීන් සඳහා පවත්වාගෙන යන ඕනෑම ලේඛනයකින් ඉවත් කිරීමේ” හැකියාව ඇත.

“කායික ක්‍රියාවක් හෝ වාචිකව හෝ ලිඛිත ව, වෙනත් කිසිදු පුද්ගලයෙකුට වැඩ නො පැමිනෙන ලෙස පෙලඹවීම, ප්‍රේරනය කිරීම හෝ දිරිමත් කිරීම” ද වරදකි. මෙහි අර්ථය වන්නේ, වරාය සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සටන් වදින කම්කරුවන්ට හා අනෙකුත් පුද්ගලයන්ට දඬුවම් පැමිනවිය හැකි බව යි.

වරාය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව එල්ල කර ඇති ප්‍රහාරය, සමස්ත කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක් මෙන් ම, කොරෝනා වසංගතය දිවයින පුරා පැතිර යද්දී පවා, කම්කරුවන් දිගට ම සේවයේ යෙදිය යුතු බවට බල කරමින් එය ගෙන යන සාපරාධී ප්‍රයත්නයන් තවත් තීව්‍ර කිරීමකි.

වැඩ වර්ජන හා විරෝධතා බිඳ දැමීමට සහ කම්කරුවන් දඩයම් කොට සේවයෙන් නෙරපීමට, මීට ඉහත දී අත්‍යවශ්‍ය සේවා අන පනත් යොදාගනු ලැබ තිබේ. හදිසි නීති ප්‍රකාශයට පත් කොට, අත්‍යවශ්‍ය සේවා නියෝග පුද්ගලික අංශයට ද පැනවිය හැකිය.

සියලු වරාය කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙසත්, අත්‍යවශ්‍ය සේවා නියෝගය වහා ම හකුලා ගන්නා ලෙසට බල කරන ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

කොවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් වැදීම පිනිස, පහත සඳහන් පියවරයන්ට සටන් වදින ලෙස ද සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

  • පූර්න වැටුප් හා වන්දි ගෙවීම් සහිත ව අත්‍යවශ්‍ය නො වන සියලු සේවා වසා දැමීම. සමාජය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බවට, ආන්ඩුව නොව, කම්කරුවන් විසින් තීන්දු කරනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන කම්කරුවන්ට, සියලු ආරක්ෂක උපකරන, ආසාදනයට ලක්වීමෙන් වැලකීමට අවශ්‍ය කරන පියවරයන් සම්පාදනය කිරීම.
  • ආසාදනය වන ඕනෑම කම්කරුවෙකුට වහාම වෛද්‍ය නිවාඩු හා අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ප්‍රමානවත් මූල්‍යමය ආධාර සම්පාදනය කිරීම.
  • ඵලදායී පරීක්ෂන වැඩසටහන් මහා පරිමානයෙන් විස්තාරනය කිරීම, සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩි දියුනු කිරීම හා සියලු සෞඛ්‍ය කම්කරුවන්ට ඉහල ගුනාත්මකභාවයෙන් යුත් ආරක්ෂක උපකරන සම්පාදනය කිරීම.
  • ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන සිසුන් ඇතුලු සියලු සිසුන්ට, ආරක්ෂා සහිත ව නිවසේ රැඳී සිටිමින් හොඳ ම අධ්‍යාපනය ලබා ගත හැකි වන පරිදි අධ්‍යාපන පද්ධතිය සංවිධානය කිරීම.

සියලු කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙම මූලික පියවරයන් ගැනීම අවශ්‍ය ය. රාජපක්ෂ ආන්ඩුව මහජනයා කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා කරනු ඇතැයි කිසිවෙකුත් කිසිදු මිථ්‍යාවක් තබා නො ගත යුතු ය.

දැනට මත් මිලියන 57කට ආසන්න පිරිසකට වැලඳී ඇති ගෝලීය වසංගතය, මිලියන 1.3 ට වැඩි ජීවිත ගනනක් බිලිගෙන ඇත. මිලියන ගනනක් කම්කරුවන්ට රැකියා අහිමි වී ඇති අතර, ගෝලය පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් දුගී භාවයට ඇද වැටී ඇත.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ ආසාදන සංඛ්‍යාව 20,000ට ආසන්න වෙමින් පවතින අතර, ඉන් 17,000ක් ම පාහේ වාර්තා වූයේ ඔක්තෝබර් මස මුල සිට ය. එම කාලය තුල ම, මරන සංඛ්‍යාව 11 සිට 73 දක්වා ඉහල ගොස් තිබේ. එහෙත් නිල නො වන තක්සේරු කිරීම්වලට අනුව, කොලඹ දිස්ත්‍රික්කය තුල පමනක් ආසාදන 30,000ක් පවතින අතර, වැඩපොලවල්, බන්ධනාගාර, සෞඛ්‍ය ආයතන, පොලීසිය, හා දුර බැහැර ගම්වලින් පවා ආසාදන සිය ගනන් වාර්තා වෙයි.

මාර්තු 20දා ප්‍රමාද වී අගුලු දමමින් කොවිඩ්-19ට ආරම්භක ප්‍රතිචාරය දැක්වූ ශ්‍රී ලංකාවේ ආන්ඩුව, පහසුවෙන් ම බෝවන මෙම රෝගය පාලනය කර ඇතැයි කියා පාමින්, අප්‍රේල් අග දී ආර්ථිකය යලි විවෘත කලේ ය. ඔක්තෝබර් මුල දී රෝගීන් සිය ගනනක් වාර්තා වූ විට, ප්‍රදේශ කිහිපයක් අගුලු දැමූ ආන්ඩුව, ඉක්මනින් ම ඒවා ඉවත් කලේ ය.

මේ මස මුලදී කොවිඩ්-19 වැලැක්වීමේ කාර්ය සාධක බලකාය ඇමතූ රාජපක්ෂ, “රෝගය පාලනය කරන අතරතුර, සාමාන්‍ය වැඩකටයුතු පවත්වාගෙන යාමේ” විකල්පය ආන්ඩුව විසින් තෝරාගෙන ඇති බව ප්‍රකාශ කලේ ය.

වෙනත් වචනවලින් කියතොත්, මහජනයා වසංගතය සමග ජීවත් වෙමින්, එය “නව සාමාන්‍යය” ලෙස පිලිගත යුතු ය. කම්කරුවන් දහස් ගනනක් ආසාදනය වීම නො තකා, රාජ්‍ය ආයතන, සියලු පෞද්ගලික කර්මාන්තශාලා හා වානිජ මධ්‍යස්ථාන බාධාවකින් තොරව ක්‍රියාත්මක විය යුතු ය.

මේ මස මුල දී ආයෝජන මන්ඩලය නිකුත් කල සංඛ්‍යා ලේඛනවලට අනුව, රටෙහි නිදහස් වෙලඳ කලාප හා ඉන් පිටස්තර සමහර කර්මාන්තශාලා තුල කම්කරුවන් 700,000ක් සේවයේ යෙදී සිටින අතර, සිදුකර ඇත්තේ පීසීආර් පරීක්ෂන 28,670ක් පමනි. එහෙත් මෙම සීමිත පරීක්ෂනවල දී පවා, අවම වසයෙන් පුද්ගලයන් 1,500 දෙනෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි සොයා ගත්තේ ය.

ලෝකයේ අන් සෑම ආන්ඩුවක් මෙන් ම රාජපක්ෂ පාලන තන්ත්‍රය ද සංගත ප්‍රභූවේ ලාබ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා, මහජනයාට ආපසු වැඩට යන ලෙස බල කරමින් සිටී.

මුදල් ඇමතිවරයා ලෙසද ක්‍රියා කරන අගමැති මහින්ද රාජපක්ෂ, 2021 වසර සඳහා ආන්ඩුවේ අයවැය අඟහරුවාදා ඉදිරිපත් කලේ ය. සමහර ආයෝජකයින් බදුවලින් මුලුමනින් ම නිදහස් කරන, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන්ට සුවිශාල බදු සහන එහි අඩංගු වූ අතර, සංගත හා පුද්ගලික ආදායම් බදු සියයට 50කින් අඩු කිරීම් ද එයට ඇතුලත් විය.

වරාය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පැහැදිලි කරන්නේ, කොලඹ පාලක ප්‍රභූව කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව කෙරෙහි මුලුමනින් ම නො තකනසුලු බව හා ලාබ පද්ධතිය ආරක්ෂා කිරීමට හැකි සියල්ල ම කිරීමට එය ක්‍රියා කරන බව යි.

එක් වරාය කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ කීවේ ය: “සියලු ම සේවකයන් තමන් පීසීආර් පරීක්ෂනවලට ලක්කරන ලෙස ඉල්ලා සිටියා. විද්‍යාත්මක ව සකසන ලද විශේෂ ආරක්ෂක ඇඳුම් කට්ටල ද කම්කරුවන් (බලධාරීන්ගෙන්) ඉල්ලා සිටි නමුත්, ඔවුන්ට ලැබුනු එකම දෙය වූයේ රබර් අත්වැසුම් හා දිනකට පීසීආර් පරීක්ෂන 200ක් පමන යි.” පරීක්ෂන ක්‍රමවත් ව සිදු නො කරන බව ද ඔහු පැහැදිලි කලේ ය.

කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය පීලි පැන්නවීමට බලධාරීන් උත්සාහ කරන බව තවත් කම්කරුවෙක් කීවේ ය. කොලඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ ශ්‍රම බලකාය දෙකට බෙදා, සති දෙකක වැඩ මුර ක්‍රමයට සේවයේ යෙදෙන ලෙස නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කලේ ය. විශ්‍රාම ලැබූ සමහර කම්කරුවන් ද සේවයට කැඳවා ඇති අතර කම්කරුවන් “මිනිස්-බල සමාගම්වලින්” ද ගෙන එනු ලැබේ.

කම්කරු-පන්තියේ සෑම විරෝධයක්ම මර්දනය කිරීමට ආන්ඩුව අධිෂ්ටානවත් ය. රාජපක්ෂ බලයට පැමිනීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, ජනාධිපතිගේ පාලනය මිලිටරීකරනය සමග ගැලපෙන පරිදි, මූලික කම්කරු-පන්තික මධ්‍යස්ථානයක් වන වරාය අධිකාරිය, විශ්‍රාමික යුද හමුදාපති දයා රත්නායකගේ සභාපතිත්වය යටතට පත් කරනු ලැබී ය. ආන්ඩුවේ ආයතනවල ප්‍රධානත්වයට අනෙකුත් විශ්‍රාමික හා සේවයේ යෙදෙන ජනරාල්වරුන් පත් කරනු ලැබ තිබේ.

වරාය පුද්ගලීකරනය කිරීම සඳහා ආන්ඩුව ගන්නා පියවරයන්ට කම්කරුවන් යලි යලිත් විරෝධය දක්වා ඇත. කොලඹ වරායේ කම්කරුවන් 10,000ක්, අගෝස්තු 5දා පැවති මහ මැතිවරනයට යන්තම් දින හතරකට පෙර සියලු වැඩ නැවැත්වූ නමුත්, වෘත්තීය සමිති ඔවුන්ගේ අරගලය පාවා දුන් හ.

වරායේ දී හා අනෙකුත් වැඩපොලවල දී වෘත්තීය සමිති ඒ හා සමාන ව ආන්ඩුවේ මර්දන පියවරයන්ට සම්පූර්න සහයෝගය දෙමින් සිටිති.

රාජපක්ෂගේ විෂඝෝර අත්‍යවශ්‍ය සේවා පියවරයන් පිලිබඳ ව, වරාය අධිකාරියේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ), විපාර්ශ්වික සමගි ජන බලවේගයට (සජබ) හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධ වෘත්තීය සමිති වචනයක් වත් කියා නැත.

අත්‍යවශ්‍ය සේවා නියෝගය පනවනු ලැබීමට පෙර ම, රටෙහි තත්ත්වය අවබෝධ කරගෙන “දිගට ම වැඩකරන්නැ” යි වෘත්තීය සමිති නායකයන් සේවකයන්ට කී බව තවත් කම්කරුවෙක් ලෝසවෙඅට කීවේ ය.

රාජපක්ෂ විසින් පත් කල, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සම්බන්ධීකරන නිලධාරී රියර් අද්මිරාල් හේවගේට, නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් සහයෝගය පුද කර තිබුනි.

නොවැම්බර් 3දා පාර්ලිමේන්තුවේ දී කතා කල විරුද්ධ පක්ෂ වන සජබ හා ජවිපෙ, ආන්ඩුවට සහයෝගය දීමට සූදානම් බව ප්‍රකාශ කරමින්, එම සහයෝගය ගැන සාකච්ඡා කිරීමට සර්ව-පාක්ෂික සම්මේලනයක් කැඳවන ලෙස ඉල්ලා සිටිය හ. රාජපක්ෂ පාලන තන්ත්‍රය හා එහි ඒකාධිපති පාලන ක්‍රම ගැන මෙම ධනපති පක්ෂවලට කිසිදු මූලික මත භේදයක් නැත. ඔවුන්ගේ උත්සුකය වන්නේ මහ ව්‍යාපාරිකයේ ලාභ ගැන මිස, මහජනයාගේ ජීවිත ආරක්ෂා කිරීම පිලිබඳව නො වේ.

තම යහපැවැත්ම අවදානමේ හෙලන, ආන්ඩුවේ මිනීමරු තෝරාගැනීම ප්‍රතික්ෂේප කරමින්, කම්කරුවන් පෙරට පැමින සිය මූලික අයිතීන් ආරක්ෂා කරගත යුතු ය.

වරාය කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර වැඩෙන විරෝධය වැදගත් වර්ධනයකි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගනිමින්, තම සෞඛ්‍යය හා ආරක්ෂාව රැක ගැනීමට අවශ්‍ය පියවර ස්ථාපිත කර ගැනීම සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන සාමාන්‍ය කම්කරුවන්ගේ වැඩපොල ක්‍රියාකාරී කමිටු හා සුරක්ෂිතතා කමිටු ඔවුන් විසින් ගොඩනගා ගත යුතු ය. මෙම කමිටු අනෙකුත් වැඩපොලවල් වෙත ප්‍රවිෂ්ට විය යුතු ය. මෙම අරගලයේ දී කම්කරුවන්ට සහයෝගය දීමට සසප හා ලෝසවෙඅ සූදානම් ය.

ගම්බද දුගීන් රැලි කරගනිමින්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම ඉලක්ක කරගත්, ශ්‍රී ලංකාව පුරා හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් සඳහා තම අරගලය ඒකාබද්ධ කරගන්නා ලෙස අපි කම්කරුවන්ට කැඳවුම් කරමු.

සසපට බැඳී, මෙම ඉදිරි දර්ශනය සඳහා වන සටනට නායකත්වය දීමට එය ගොඩ නගන ලෙස අපි කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා තරුන ජනයාගෙන් ඉල්ලමු.

Loading