හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි

ජී. හීලිගේ “අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනයන්” ගැන විචාරයකට ප්‍රතිපදානයක්

- තීරනාත්මක ඓතිහාසික ලේඛනයක්

තීරනාත්මක ඓතිහාසික ලේඛනයක්

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි - වෙලුම 13- අංක 2-1986

මෙහි පලවන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින්, බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් (කවිප) හා එහි අනුගාමික ජාත්‍යන්තර ශාඛා සුලුතරයකින් බෙදී වෙන් වී, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී දේශපාලන ක්‍රියා මාර්ගය හා මාක්ස්වාදී න්‍යාය ආරක්ෂා කර ගනු ලැබීමේ ජයග්‍රාහී අරගලය සඳහා නිකුත් කරන ලද පලමු වෙඩි මුරයේ ලියවිල්ලයි. ලියවිල්ලේ කතුවරයා වර්තමාන ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ය. ඔහු, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගයේ එවක ජාතික ලේකම්වරයා විය.

කවිපය, ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය පාවාදීම ආවරනය කර ගනු සඳහා යොදාගත්, මාක්ස්වාදයේ විකට රූපයක් වූ ජෙරී හීලිගේ “අපෝහක භෞතිකවාදයෙහි” විකෘතිය එලිදරව් කරන මෙම ලියවිල්ල, එයින් ආවරනිත ප්‍රතිගාමී දේශපාලනය නිරාවරනය කරයි. මෙම කරුනු දැක්වීම මග පෑදූයේ, 1985-86 වසර වල දී, ජාත්‍යන්තර කමිටුව තුල ඇති කර ගැනුනු තීරනාත්මක භේදයට යි. හතරවන ජාත්‍යන්තරය තුල යලි යලිත් ගොජදමමින් වැඩී ආ පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සියලු නෂ්ටාවශේෂ විරේක කර දැමීමේ අරගලයක ‌ ඓතිහාසික අවසානයක් එයින් සටහන් වූවේ ය.

මෙම භේදය මගින් ඇති කෙරුන පිරිපහදුව, ට්‍රොට්ස්කිවාදය යලිත් වරක් එහි ලෝක ව්‍යාප්ත විප්ලවවාදී කාර්යභාරයට උරදෙනු හැකි උස්බිමේ එය පිහිටුවී ය. එදා මෙදා තුර, විවිධ රටවල පැවති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛා තවදුරටත් දේශපාලන සංගම් ලෙස නොව, සමාජවාදී සමානතා පක්ෂ බවට පරිවර්තනය කර ගැනුනේ, 1988දී සම්මත කරගත් ජාත්‍යන්තර ඉදිරිදර්ශනය මත පිහිටා ය. හජාජාකවේ ජාත්‍යන්තර ප්‍රකාශන මාධ්‍යය වන 1998දී පිහිටුවා ගැනුන, ලෝක සමාජවාදී වේබ් අඩවිය මේ වන විට ලෝ පතල අධිකාරවත් ට්‍රොට්ස්කිවාදයේ හඬ ලෙස අවිවාදිත අයුරින් ස්ථාපිත කෙරී ඇත.

විශේෂයෙන්ම අද වන විට, ලෝක ධනේශ්වර පද්ධතියේ දිග්ගැසුනු බිඳවැටීමක් මධ්‍යයේ රටක් රටක් පාසා මුදා හැර ඇති සමාජ ප්‍රතිවිප්ලවයට හා අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මගින් සූදානම් කෙරෙන ජන සංහාරක න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනයට මිනිස් වර්ගයා මුහුන දී සිටී. එම තතු යටතේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෛනික යාවත්කාලීන කිරීම් කටයුතු සඳහා, ජාත්‍යන්තර ව්‍යාපාරය මගින් මුදා හැරෙන සාමූහික දේශපාලන හා න්‍යායික ඉදිරිදර්ශන, වත්මන් ලෝකය අලලා ගත් පන්ති අරගල රල මාලාව මුදුනත පිහිටා සිටින, කම්කරු පන්තියේ විප්ලවවාදී ඓතිහාසික කාර්ය භාරය ඉටු කරනු වස් තීරනාත්මකය.

එහි තීරනාත්මක භාවය රඳා ඇත්තේ 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේදී ප්‍රායෝගිකව සාර්ථකත්වය ඔප්පු කර පෙන්වූ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පාදක වූ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයෙන් කම්කරු පන්තියේ වර්තමාන පරම්පරාව සන්නද්ධ කිරීම එහි කර්තව්‍යය වීමෙහිය.

මෙම ලේඛනය කෙටුම්පත් කිරීම සඳහා, 1982 නොවැම්බර් 7 දා සකසා ගත් සටහන්වල හීලිගේ අපසරනයන් පිලිබඳව, නෝර්ත් මෙසේ සඳහන් කලේය:

“වසර ගනනාවක් තිස්සේ (මාගේ අදහසට අනුව 1976 ඇරඹී, ජාත්‍යන්තර කමිටුව තුල 1978 වන විට අධිකාරවත් වූ), අපෝහක භෞතිකවාදය සඳහා සහ ප්‍රචාරකවාදයට එරෙහි අරගලය යන නාමයෙන් ජාත්‍යන්තර කමිටුව, ක්‍රමිකව ට්‍රොට්ස්කිවාදය උදෙසා අරගලයෙන් ඈතට ඇදී ගොස් ඇත.

“වෛෂයික තත්වයෙන් සංයුක්තව මුලුමනින් පාහේ වියෝ කෙරුන පරිද්දෙන් “ඥානනයේ ක්‍රියාදාමය හා භාවිතය” මත යෙදුන වඩවඩාත් ඒක පාර්ශ්වීය පටු අවධාරනය, “හැදෑරීම” තුල ප්‍රකාශයට පත් කර ඇති ආකාරයේ අපෝහකය පිලිබඳ අතිශය කඨෝර විඥානවාදී විකෘතියකට, මග පෑදීය. එය, ලෙනින්ගේ හෙගේලියානු තර්කනයේ විද්‍යාව පිලිබඳ විකට රූපයක් ද අවුරුදු 140කට ඉහතදී වාම හෙගේලියානුවන්ට එරෙහිව මාක්ස් විවේචනය කලා වූ ද 1870 දී ඩූරිං ට විරුද්ධව එංගල්ස් විසින්ද එලිදරව් කෙරුනාවූ ද ගූඪකරනයන් ඒ සැටියෙන්ම ඇදබෑමක් ද වෙයි.

“ට්‍රොට්ස්කිගේ ලියකියවිලි හැදෑරීම අඩුවී ගිය පරිමානයට පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ න්‍යායික පාර්ශ්වය සාකල්‍යයෙන්ම අතහැර දැමුනි.”

බ්‍රිතාන්‍ය කවිප ය තුල ජෙරී හීලි සුපිරි නායක තත්වයකට පත් කරමින්, ඔහුට පක්ෂය තුල අනන්‍යසාධාරන බලතල අත්පත්කර දෙන යෝජනා සම්මත කරමින් ඔහුව ඔසවා තැබුන තැතකට බරපතල අභියෝගයක්, නෝර්ත් ඉදිරිපත්කල සටහන් මගින් එල්ල කෙරුනි. පසුකාලීනව “කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රකාශයට පත් කෙරුන ග්‍රන්ථයෙහි මේ සිද්ධිය ගුනාංගීකරනය කෙරුනේ මෙසේය:

“අරගලය අවසානය තෙක් ගෙන යනු ලැබීමට නොහැකි වුවත්, 1982 වසර, කවිප නායකත්වයේ දේශපාලන පරිහානියට හා බලය අනිසි ලෙස යෙදවීම ට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඇතුලත ට්‍රොට්ස්කිවාදී කැරැල්ලක ආරම්භය සලකුනු කලේය.”

එදා අරගලය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වීමේ හේතු ද එම ග්‍රන්ථයෙහි අඩංගු විය. ඒ සනාථනය විස්තර කෙරුනේ මෙසේය: “කවිපයේ හා ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛා අතර කියා නිම කල නොහැකි සංවිධානාත්මක අසමානතාවක් පැවතුනි.” “.. .1970 මුල ගනන්වල සිට කවිපය සිය සංවිධානාත්මක ශක්තිය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට එරෙහිව මුගුරක් සේ දැනුවත්ව පාවිච්චි කරමින් මැද පෙරදිග ඔවුන් කරගෙන ගිය වැඩවල කුලී හමුදා ස්වරූපය ආවරනය කර ජාත්‍යන්තර කමිටුව හමුවේ බ්‍රිතාන්‍ය ශාඛාවේ දේශපාලන වර්ධනයන් ගැන ක්‍රමානුකූල බොරු වාර්තා ද ඉදිරිපත් කලේ ය.”

ජාත්‍යන්තර කමිටුව ඇතුලත ඇතැම් ශාඛා පක්ෂ නායකයන්ට ද හීලිගේ අධිකාරවත් අපසරනයන් ආකර්ශනීය වූවා විය හැකි ය. 1985-86 භේදයේදී හීලි සමග පෙල ගැසුන හා ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා තැබූ පියවරට පිටුපෑ සුලුතරය එම ජාතිකවාදී දිරාපත්වීම අත්කරගත් ප්‍රකාශනය වී ය.

හීලිගේ “අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයන” නමැති කෘතිය පිලිබඳව තමාට මතභේද පවතින බව නෝර්ත් ප්‍රථම වරට දැනුම් දුන්නේ 1982 ඔක්තෝබර් 22 දා ය. කවිප ප්‍රධාන ලේකම් මයිකල් බන්ඩා ගේ ඉල්ලීම පරිදි, තමාගේ මතභේද පිලිබඳව ලියූ සටහන්, පසුවදා නෝර්ත් ඔහුට භාර දුන්නේ ය. ලියවිලි කියවූ බන්ඩා ප්‍රකාශ කලේ තමා එහි අඩංගු විවේචනය ගැන මුලුමනින්ම එකඟ බවත් ඒ පිලිබඳව මුලුමහත් පක්ෂය පුරාම කෙරෙන සාකච්චාවක් අවශ්‍ය බවත්ය. ඉනික්බිතිව, ජාත්‍යන්තර කමිටුවේ නිල ලේකම්වරයා වූ ක්ලිෆ් ස්ලෝටර් ද නෝර්ත්ගේ විවේචන පිලිබඳ තම එකඟතාව පල කරමින් ජාත්‍යන්තර කමිටුවතුල ඒවා සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව තමා පිලිගන්නේ යැයි ද නිවේදනය කලේය.

එහෙත් ඊලඟ සතිය වන විට, හීලි විසින් බන්ඩා හා ස්ලෝටර් යන දෙදෙනාම තමාගේ පැත්තට නම්මා ගනු ලැබුනේ බ්‍රිතාන්‍ය ජාතිකවාදය මත පාදක වෙමිනි. කවිපයේ දේශපාලන වැඩ කටයුතුවල, ඇමරිකානු වර්කර්ස් ලීගයේ නෝර්ත් කරන මැදිහත් වීමට එරෙහි බ්‍රිතාන්‍ය ශාඛාවේ එකමුතුකම රැක ගත යුතු වේය යන ජාතික අවස්ථාවාදී ආස්ථානයට හීලි, බන්ඩා සහ ස්ලෝටර් යන තුන් ඈඳුත්ත එකඟතාවකට පැමැනියේ ය.

1982 දෙසැම්බරයේ පැවැත්වූ කවිප දේශපාලන කමිටු රැස්වීමට හීලි, පුද්ගලිකවම සහභාගි නොවුනත්, ඔහුගේ ට්‍රොට්ස්කිවාද විරෝධී පිලිවෙත පිලිගත් යටත් දඩ බල්ලන් රෑනක් නෝර්ත් ට එරෙහිව කඩාපැන්නවීමට කල් තබා සූදානම් කර එවා තිබුනි. නෝර්ත්ට එරෙහිව එහිදී තර්ජනය කෙරුනේ “මැරයෙකි”, “ඇමරිකානු තත්කාර්යවාදියෙකි” යනාදී ගර්හා පද යොදා ගනිමිනි. මෙම ප්‍රකෝපකාරී වාතාවරනය යටතේ, තම විවේචනයේ සටහන් ඉල්ලා අස් කර ගැනීමට නෝර්ත් තීන්දු කලේය. “කවිපය ඉක්මවා සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට අවශ්‍ය පරිනතකම පිලිබඳ අත්දැකීම් ලබා ගැනීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්ට තවත් කලක් අවශ්‍ය වීය.” යන අවබෝධය මත, පිටිපසට ගත් පියවර යලිත් ඉදිරියට තැබීමට, 1985 වන විට අවකාශ සැකසී තිබුනේ කවිපය මුලුමනින්ම අලලා ගත් අර්බුදයක් එය තුල පිපිරී ඒම සමග ය.

මෙම ලිපියෙහි අඩංගු න්‍යායික හා දේශපාලන විවේචනය මත න්‍යායිකව සන්නද්ධ වූ ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී සටන්කරුවෝ 1985-86 භේදයේ දී කවිපය හා හජාජාක තුල කල මැදිහත්වීම, ලිංගික සෝලි පිලිබඳ වූ අර්ථකථන ඇතුලත් සියලු අපසරනයන් මැඩ ගනිමින්, හතරවැනි ජාත්‍යන්තරයේ දෘෂ්ටිවාදාත්මක හා ක්‍රියාමාර්ගික පදනම් යලි ස්ථාපිත කිරීමට සමත් වූහ. එයට පිටුපෑ සියල්ලන් මුහුන දුන්නේ වර්ධනය වන ලෝක ධනේශ්වර අර්බුදයේ හා ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රීය පාලනයන්ගේ ද වැඩෙන පන්ති අරගලයේ ද පීඩනය යටතේ නන්නත්තාරවීමේ ඉරනමකටය. මෙහිදී යලි සනාථ කෙරුනේ තම ප්‍රතිවාදීන්ට එරෙහි දේශපාලන අරගලයේ දී, මාක්ස්වාදී පිලිවෙත් මත මූලධර්මාත්මකව පිහිටා ගැනීම, අත්පත් කර දෙන කල් ඉකුත්නොවන ශක්තිය හා දේශපාලනික පලදායීතාව යි.

1985-86 ඇතිකර ගැනුන භේදය, හතරවැනි ජාත්‍යන්තරය තුල, පශ්චාත් යුද කාලීන අධිරාජ්‍යවාදී සමයේදී ස්ටැලින්වාදී විසඳුම් වැඩ පිලිවෙලට අනුගත වෙමින් පිලිලයක් ලෙස වැඩුන, පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයේ පූර්න දේශපාලන අධිකාරය ජාත්‍යන්තර කමිටුව අතට මාරු කර ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ඉන් ආරම්භක සංඥා නිකුත් කෙරුනි.

මෙම භේදයේ දේශපාලන හා න්‍යායික අර්ථභාරය ලෝක කම්කරු පන්තියට හා තරුන පරම්පරාවට පැහැදිලි කර දීම සඳහා ලියැවී පල කෙරී ඇති ලේඛන සංඛ්‍යාව මුද්‍රිත පිටු දහස්ගනනක් වෙයි. ඒවා සැලකිල්ලෙන් කියවා ධාරනය කර ගැනීමට හා ඒ අනුව ක්‍රියාකාරීවීමට, සමාජවාදයේ ඓතිහාසික අවශ්‍යතාව පිලිගන්නන්ට මෙයින් ඇරයුම් කෙරේ. එවැනි අධ්‍යයනයක මග නොහැරිය හැකි තීන්දුව විය යුත්තේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හජාජාක ගොඩ නැගීමට එක්වීමයි.

මෙම ලිපිය පරිවර්තනය කල නන්ද වික්‍රමසිංහ සහෝදරයට ද එය පිරිපහදු කොට දීමේ ද මුද්‍රනය කිරීමේ ද කටයුත්තට සම්බන්ධවූ සියල්ලන්ට ද සසපයේ ස්තුතිය පල කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

විජේ ඩයස්

සසප-ප්‍රධාන ලේකම්.

***

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කරයි

ජී. හීලිගේ “අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනයන්” ගැන විචාරයකට ප්‍රතිපදානයක්

1982 - ඔක්තෝබර් 7-නොවැම්බර් 7

ඩේවිඩ් නෝර්ත්

පරිවර්තනය: නන්ද වික්‍රමසිංහ

ප්‍රාථමික විශ්ලේෂනය

1982 ඔක්තෝබර් 7

1. “අවුරුදු 15කට පෙර (1924) ට්‍රොට්ස්කි ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ජීවිතයත් මරනයත් අතර අරගලයක යෙදී සිටියේ ය. ස්ටැලින්, ‘පක්ෂය බෝල්ශෙවීකරනය’ සඳහා සිය වාචාල ඉල්ලීම ඉදිරිපත් කර තිබුනේ, නිලධාරි තන්ත්‍රය තහවුරු කිරීමට පූර්න උත්සාහයක යෙදෙන අතර ට්‍රොට්ස්කිගේ වාම විපාර්ශවය කායිකවම වනසා දැමීමට සැරසෙමින් සිටින ගමන් ය. ‘බෝල්ශෙවීකරනය’ සඳහා ඉල්ලීම වනාහි, ස්ටැලින් හුදෙක් සිය පිලිමලුන් ශාරීරිකව විනාශ කිරීම සඳහා පමනක් නොව, සෝවියට් කම්කරු පන්තිය දිනාගෙන තිබුනු ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කොට සෝවියට් ජනතාව මත තමාගේ පෞද්ගලික ඒකාධිපතිත්වය පටවා ලීම ට කරගෙන ගිය කුමන්ත්‍රනයට නරුම ආවරනයක් මිස අන් කිසිවක් නොවීය.” (Iවන ලිපිය 1වන පිටුව)

ස්ටැලින්ගේ භූමිකාව පිලිබඳ මෙම අර්ථ කථනය, ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලදුව, හතරවන ජාත්‍යන්තරය සැමවිටම පිලිගත් විශ්ලේෂනය ට ප්‍රතිවිරුද්ධ වූවකි. ස්ටැලින් 1924 තරම් ඈතදී සිය පෞද්ගලික ඒකාධිපතිත්වයක් ඇටවීම සඳහා සිතාමතාම සිය විරුද්ධවාදීන් වනසා දැමීමට කුමන්ත්‍රනය කරමින් සිටියේය යන මතය ට්‍රොට්ස්කි කවර කලෙකවත් දැරුවේ නැත.

තමන් ලියූ ස්ටැලින් ගේ ජීවන චරිතයේ ට්‍රොට්ස්කි මෙසේ ලියා තැබීය: “ට්‍රොට්ස්කිවාදයට විරුද්ධව තමා මෙහෙයවමින් සිටි සටන කොතැනට ගමන්කරන්නට යන්නේ දැයි ස්ටැලින් කල්තියා දැකගත්තේ නම්, තම සියලු සතුරන් පරාජය කර ජය ගැනීමට නොගොස් ඔහු අතර මග නවතිනු නිසැකය. එහෙත් ඔහු කිසිවක් පෙර දුටුවේ නැත. තමා තර්මිඩෝරයේ නායකයා බවට ද පක්ෂයේ සහ විප්ලවයේ මිනී වල හාරන්නා බවට ද පත්වනු ඇතැයි පලකරන ලද සිය විරුද්ධවාදීන්ගේ අනාවැකි ඔහුට පෙනී ගියේ, හිස් සමපේක්ෂන (සහ වාග්-හරඹයක් ) ලෙසය.” (393 පිටුව)

2. “තමා මරා දමනු ලැබීමට, යන්තම් මාස කිහිපයකට පෙර ඔහු (ට්‍රොට්ස්කි), හෙගල්, මාක්ස්, එංගල්ස් සහ ලෙනින් ගේ අධ්‍යාසය ට අනුකූලව විප්ලවවාදී කාර්යධරයන් පුහුනු කිරීමේ බරපතල ආකල්පයක අවශ්‍යතාවය යලි යලිත් අවධාරනය කරමින් සිටියේ ය.” (I,1)

මාක්ස්, එංගල්ස් සහ ලෙනින් සමග මේ ආකාරයෙන් හේගල් සරලව අනන්‍ය කිරීම අහේතුකය; භෞතික වාදය සහ විඥානවාදය අතර සීමා මායිම් අනවශ්‍ය ලෙස ව්‍යාකූල කර දමයි. හෙගල් මාක්ස්වාදයේ විශිෂ්ට පෙර ගමන්කරුවෙකි. එහෙත්, හේගල් ගේ අධ්‍යාසයට අනුව කාර්යධරයන් පුහුනු කරන්නට ට්‍රොට්ස්කි යත්න දැරුවේ ය යන්න ඓතිහාසිකව, දේශපාලනිකව සහ න්‍යායිකව සාවද්‍යය. ඇත්තවශයෙන් අප කතුවරයා සඳහන් කරන ලේඛන වලම ට්‍රොට්ස්කි ලියා ඇත්තේ මෙසේය: “මාක්ස්, එංගල්ස්, ප්ලෙඛානොව්, ලෙනින් සහ ෆ්‍රාන්ස් මෙහ්රිං අධ්‍යයනය කරනු” යනුවෙනි. [මාක්ස් වාදයේ ආරක්ෂාව සඳහා (කම්කරු මාවත ප්‍රකාශන, පි.41)] හෙගේලියානු පද්ධතියේ තාර්කික අන්තර්ගතය රැකගැනීම සඳහා මාක්ස්ට, තරයේම විඥානවාදී වූ හෙගල්ගේ අධ්‍යාසයට එරෙහිව, හෙගල්ගේ පද්ධතිය අවිවේචනාත්මකව පිලිගත් හා ඔහුගේ ගෝලයන් කෙරෙන් එය ප්‍රකාශිතවූ ආකාරයට එරෙහිව සටන් කිරීමට සිදු විය. එවන් තතු තුල ඉහතකී වර්ගයේ සූත්‍රයක් හෙගල්ගේ ප්‍රතිරූපයට කිසිවක් එකතු නොකරන අතර, අපගේ ම සාමාජිකයන් අතර ව්‍යාකුලත්වය වපුරයි.

එය වනාහි අපගේ ව්‍යාපාරය තුල කවර කලෙකවත් යොදා නොගත් සූත්‍රයකි. දැන් අප විසින් මේ සූත්‍රය හඳුන්වාදීමක් පෙන්නුම්කරනු ඇත්තේ, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් හෙගල් පිලිබඳව කරන ලද ඇගයීමට වෙනස් ඇගයීමක් අප විසින් වැලඳ ගැනුමකි. එපමනක් නොව, ජාත්‍යන්තර කමිටුවේ කාර්යධරයන් පුහුනු කිරීමේ අධ්‍යාසයෙහි ප්‍රේරකයෙකු ලෙස හෙගල් ද ඇතුලත් කර ගන්නවා නම්, එයට ස්පිනොසා සහ ප්‍රන්ස භෞතිකවාදීන් ද ඇතුලත් කර ගත යුතු නොවන්නේ මන්ද?

3. “අපෝහක භෞතිකවාදී විධික්‍රමය සහ - හේගල් භෞතිකවාදී ලෙස කියවීම සම්බන්ධ ප්‍රශ්නය කරා එලඹුනු කල්හි ට්‍රොට්ස්කි දැඩි ලෙනින් වාදියෙක් විය. ඔහු ලෙනින් ගේ අඩිපාරේ පමනක් නොව මාක්ස් සහ එංගල්ස් ගේ අඩිපාරේ ද ගමන් කලේය.” (I,1)

මෙය ට්‍රොට්ස්කි සහ ලෙනින් අතර සම්බන්ධතාවය විකෘත කරන්නේ, නොදැනුවත්වම ට්‍රොට්ස්කි සුලුකොට තකමිනි. පක්ෂයට බැඳීමට පෙර ලෙනින් සමග තියුනු මතභේද පැවතී දීර්ඝ කාල පරිච්ඡේදය තුල ට්‍රොට්ස්කි, අපෝහක භෞතිකවාදියෙක්ව සිටියේය. කාරනය වෙනත් ආකාරයට ඉදිරිපත් කිරීම, ට්‍රොට්ස්කි මාක්ස්වාදියෙක් බවට පත් වූයේ ඔහු ලෙනින් වාදියෙකු, එනම් බෝල්ශෙවික් පක්ෂයේ සාමාජිකයෙකු බවට පත්වූ පසුව පමනක් යයි යෝජනා කිරීමක් වනු ඇත. එතකුදු නොව, මාක්ස්වාදයේ විශේෂ ප්‍රභේදයක් ලෙස ගැනෙන ආකාරයට, ලෙනින්වාදය යන පදය යොදා ගැනීමට ට්‍රොට්ස්කි එතරම් කැමැත්තක් දැක්වූයේ ද නැත. ට්‍රොට්ස්කි සැබවින්ම ලෙනින්ගේ “අඩිපාරෙහි” ගමන් කලේ නැත යන්න ද එකතු කල මනාය. ට්‍රොට්ස්කි ලෙනින්ගේ සමකාලීනයකු වූ අතර මාක්ස්වාදයේ වර්ධයනයට තමාගේ ම ස්වාධීන ප්‍රතිපදානයන් කලේ ය. අන් සියල්ලටත් වඩා, නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්ව, ලෙනින්ට වඩා නිවැරදි ලෙස අනාගත රුසියානු විප්ලවයේ ස්වභාවය ඔහු පූර්වාපේක්ෂා කලේ ය.

4. “පක්ෂයේ සෑම කම්කරු පන්තික සාමාජිකයෙකු ම දැනුවත් අපෝහකවාදියෙකු වනු ඇතැයි සත්තකින්ම අප කියා නොසිටින නමුත් සැම රටකම විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී නායකත්වයන් අපෝහක භෞතිකවාදී විධික්‍රමයෙන් පුහුනු විය යුතු යයි අපි අවධාරනය කරමු.” (I,1-2 )

ට්‍රොට්ස්කි බර්න්හැම් සමග ගෙනගිය විවාදයේ දී ඉහත කාරනය සඳහන් කිරීම ගැන 1972 දි හිලී විසින් විවේචනය කරන ලද බව මට මතක ය.

5. “ලෙනින්ගේ මේ ආවේක්ෂන, අපෝහකවාදී පුහුනුව සඳහා ඉතා වැදගත් ය. අතීතයේ දී හෙගල්ද අපගේ ව්‍යාපාරයේ ආරම්භකයන්ද විසින් කරනලද විඥානයේ වර්ධනය වටහාගත යුත්තේ අනන්ත සන්තතියක් ලෙසය.” (I,2)

ඉහත ආවේක්ෂනය ලෙනින්ගේ “ජනතාවගේ මිතුරන් කව් ද” යන කෘතියේ එන යට දැක්වෙන උද්ධෘතය ට පටහැනි බව පෙනෙයි: “සමාජයේ පදනම නම්, දේශපාලන සහ නෛතික ආකෘති ද සමාජ චින්තනයේ නිශ්චිත ප්‍රවනතා ද තුල ආවරනය වී පවත්නා, සම්බන්ධතා පද්ධතීන් (මාක්ස් ගේ වචනවලින් නම් නිෂ්පාදන සම්බන්ධතා) වේ.”

ඇත්ත වශයෙන් ම දෘෂ්ටිවාදාත්මක උපරි ව්‍යුහය පැන නගින්නාවූ පදනම ලෙස නිෂ්පාදන පර්යායෙන් ආරම්භ කරන්නේ නම් අප, “හෙගල් සහ අපගේ ව්‍යාපාරයේ ආරම්භකයන් විසින් විඥානය වර්ධනය කිරීමක්” ගැන කතා නොකරනු ඇත. යලිත් වරක්, (හීලි විසින්) හෙගල් සහ මාක්ස්වාදින් අඩු හෝ වැඩි වශයෙන් අනන්‍ය කරනු ලැබ ඇත.

එපමනක් නොව අප “විඥානයේ වර්ධනය” හුදෙක් “අපරිමිත සන්තතියක්” ලෙස වටහාගත නො යුතුය. එය “අපරිමිත” මෙන්ම “පරිමිත” ද වේ. හෙගල් විඥානයේ වර්ධනයට කල ප්‍රතිපදානය අවශ්‍යයෙන්ම පරිමිත වේ, සීමිත ද වේ. මන්ද යත්, ඔහු ජීවත් වූ යේ නිශ්චිත ඓතිහාසික යුගයක නිසාය. සමස්ත මානව සංස්කෘතියේ ඓතිහාසික වර්ධනය තුල ගත් කල්හි මානව ඥානයේ වර්ධනය අපරිමිත වේ. විඥානයේ අපරිමිත වර්ධනය ඉදිරියට ගමන් කරන්නේ තනි තනි මිනිසුන්ගේ පරිමිත චින්තනය හරහා ය. එංගල්ස් හරියටම මේ ප්‍රශ්නය ගැන ඩුරිංට පිලිතුරු දුන්නේ ය. (බලන්න IX, සදාචාරය හා නීතිය)

6. “අපගේ ව්‍යාපාරයේ ආරම්භකයන් විසින් වත්මනදී අපගේ අපෝහක පුහුනුවේ නාභිය වන්නා වූ විද්‍යාත්මකව උකහා ගත් විප්ලවවාදී ඥානන න්‍යායක් උරුම කර දෙනු ලැබ ඇත. විඥානයේ වර්ධනය වනාහී අපරිමිත ක්‍රියා දාමයක් වනවා පමනක් නොව බාහිර ලෝකය ඥානනය කිරීම ද එවැනි අපරිමිත ක්‍රියාදාමයක් වන්නේ ය. අද දින ඥානයේ ක්‍රියාදාමය ඔවුන්ගේ උරමත නැගී සිටීමට අපට ඉඩ සලසමින් ඔවුන් ආරම්භ කල ඓතිහාසික කර්තව්‍යයන් සම්පූර්න කිරීමට අපට ගැම්ම දෙන්නේ ය.” (I.2)

ඥානනය සරලවම අපරිමිත ක්‍රියාදාමයක් වන්නේ එහි සුපිරිසිදු අපරිමිත වර්ධනය අපවිත්‍ර කරන පරිමිත මිනිසුන් නොමැත්තේ නම් පමනි. අප දැන් පැහැදිලිවම සිටින්නේ, සුපිරිසිදු ඥානයේ ක්ෂේත්‍රයේ ය.

අපගේ ව්‍යාපාරයේ සමාරම්භකයන් අපට විප්ලවවාදී ඥානනයේ න්‍යායක් සරලවම උරුම කර දුන්නා පමනක් නොවේ; මෙය සමහරවිට, අවධාරනය සඳහා පිලිගත හැක්කකි. එහෙත් ඊලඟට පවසන පිලිගත නොහැකිය.

“ඥානනයේ ක්‍රියා දාමය අද දින ඔවුන්ගේ උර මත නැගීසිටීමට අපට ඉඩ සලසන්නේ ය.”

ට්‍රොට්ස්කිගේ ද පෙර කල විප්ලවවාදී කම්කරුවන් සහ සටන්කරු පරම්පරාවන්ගේ ද උරහිස මතට නැග ගැනීමට අපට හැකියාව සලසන්නේ, ලෝක ධනවාදී අර්බුදයේ වෛෂයික වර්ධනයද කම්කරු පන්තියේ විප්ලවවාදී ච්‍යාපාරය ද විසිනි.

ලෝක ඉතිහාසය තුල අපගේ තැන චින්තන සන්තතියට බැර කිරීම වනාහි සාකල්‍යයෙන්ම විඥානවාදී ආස්ථානයක් ගැනීමකි.

II. ප්‍රාථමික විශ්ලේෂනය ඉදිරියට ගෙන යාම

1982 ඔක්තෝබර් 8.

ජී.හීලි සහෝදරයා ගමන් අරඹන්නේ, විඥානවාදී ආකාරයකට හෙගල් විස්තාරනය කිරීමෙනි. සමුච්චය වාදී සූත්‍රයන් තුලින් දිවයමින්, ( හෙගේලියානු ශෛලියට අනුකූල ‘එනිසා’ වැනි පද මගින්) අසම්බන්ධිත සූත්‍රගත කිරීම් හරහා සිදු කෙරෙන හිතුවක්කාර සංක්‍රමනයන්, එක්තරා න්‍යායික පිලිවෙතක් (රේඛාවක්) ඉස්මත්තට ගෙන එයි.

1. මාක්ස්, එංගල්ස් හා ලෙනින් සමග හෙගල් ද - විප්ලවවාදී කාර්යධරයන් පුහුනු කරන අධ්‍යාසය සහිත මාක්ස් වාදයේ ආරම්භකයෙකු ලෙස - එකම ඓතිහාසික පෙලකට ඇද දමනු ලැබේ. මෙය ඉටු කරන්නේ, සම්භාව්‍ය ජර්මානු දර්ශන වාදයෙන් බිඳීගැනීම මගින් මාක්ස් ඉටුකල දර්ශන වාදයේ විප්ලවය සාරභූත වශයෙන් ම ප්‍රතික්ෂේප කිරීම යි.

2. “මානව වර්ගයාගේ ඉහලම කර්තව්‍යය වන්නේ, ආර්ථික විකාශනයේ (සාමාජීය විකාශනයේ ) මෙම වෛෂයික තර්කනය එහි පොදු සහ අතිමූලික ලක්ෂනයන් සහිතව ග්‍රහනය කර ගැනීමය” (14 වෙලුම, පිටුව 325) යන ලෙනින්ගේ ප්‍රකාශය වෙනස් කරමින් මානව වර්ගයාගේ ඉහලම කර්තව්‍යය, වනාහි වෛෂයික තර්කනය අධ්‍යයනය යයි නිවේදනය කරනු ලැබ ඇත.

3. ජී. විසින් අපට කියනු ලබන්නේ මිනිසාගේ ඉතිහාසය වනාහි ‘නිර්මාපක මූලාංගයේ වර්ධනයෙහි’ ඉතිහාසය මිස පන්ති අරගලය නොවන බවයි.

4. වෛෂයිකත්වයේ මූලධර්මය, චින්තනයට එරෙහිව ද්‍රව්‍යයේ ප්‍රාථමිකත්වය වෙනුවට, “භෞතික වාදය සහ වියුක්ත විඥානවාදය අතර මූලික වෙනස” බව නිවේදනය කෙරේ.

5. විඥානයේ වර්ධනය අපරිමිත සන්තතියක් යයි ප්‍රකාශ කෙරේ. මෙය පුද්ගල මනුෂ්‍යයන්ගේ සැබෑ චින්තනය තුල අත්කරගන්නා පරිමිත ස්වභාවය නොතකා හරියි.

6. අප විසින් මාක්ස්වාදීන් ගේ පෙර පරම්පරාව අතික්‍රමනය කිරීමේ මූලාශ්‍රය වනාහි, ලෝක ධනේශ්වර අර්බුදයේ සන්තතින් නොව විඥානයේ සන්තතීන් යයි නිවේදනය කෙරේ.

7. ආත්මීය ඥානනය (එනම් ස්වයං සවිඥානකත්වය) හරියටම හෙගල් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පරිදි “කාරනාවට අන්තර්ගතය ලෙස”.

8. සමාජමය පුද්ගලයා වෙනුවට සිතන්නාවූ ශරීරය ආදේශ කෙරෙයි.

9.“න්‍යායික මතිය”, “බාහිර ලෝකය” ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත.

10.“ඥානනයේ සමපේක්ෂනික ස්වභාවය” (එනම්, චින්තනය එහිම ස්වයං චලනය තුලින් පැනනගින්නක් ලෙස), අවධාරනය කෙරේ.

11. ඥානය සමුච්චය කෙරෙන්නේ “අපෝහකව සහ භෞතිකවාදීව”, “අනුභූතිවාදයෙනි.”

12. ඥානනයේ සන්තතිය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ හෙගල් ගේ තාර්කික තුලමය. ඒ ඉයුජින් ඩූරිං 1870 ගනන්වල කල ආකාරයටමය.

13. තාර්කික ප්‍රවර්ගයන් පිලිබඳ ඥානය මගින්, ප්‍රපංචයන්හි සංයුක්ත චලනය පිලිබඳ සැබෑ ඥානය විස්ථාපනය කරයි. සාරභූත සම්බන්ධතාවයන් ඉදිරිපත් කර ඇත්තේ තාර්කික ප්‍රවර්ගයන් ලෙස ය. මෙම විධික්‍රමය ඉදිරියට යන්නේ පහත දැක්වෙන අයුරු ය: අපි ඓතිහාසික ප්‍රපංචයන්ගේ සාරය වන තාර්කික ප්‍රවර්ග සොයා ගන්නෙමු; ඉන් ඉක්බිති “එහි සම්බන්ධතාවන් ආවශ්‍යකත්වය, සම්භාව්‍යතාවය, ශක්‍යතාවය, වැනි වෙනත් ප්‍රවර්ග ඥානයේ අවධියක්” ලෙස එලිදරව් කරන්නෙමු. වෙනත් වචන වලින් කිව හොත්, සකල ප්‍රපංචයන්ගේ අන්තර්ගතය වන්නේ, එහි තාර්කික චින්තන අන්තර්ගතයයි.

14. කෙටියෙන් කිවහොත්, ජී. හීලි ඉදිරිපත් කරන්නේ ද්‍රව්‍යමය ලෝකය ගැන ඉඳහිට කරන සඳහනකින් තුනීව ආවරනය කෙරුනු ගොරහැඩි හෙගේලියානු වාදයයි. කෙසේවෙතත් එහි (ද්‍රව්‍යමය ලෝකයේ ) ප්‍රාථමිකත්වය දැකගන්නා ලද්දේ කොන්දෙසි සහගතවය: “මෙම කොන්දේසි යටතේ, පැවැත්ම ප්‍රාථමිකය; විඥානය ද්වීතියිකය.” වෙනත් වචනවලින් කිවහොත් විඥානය ප්‍රාථමික වන්නාවූත් පැවැත්ම ද්විතීයික වන්නා වූ කොන්දේසි තිබිය හැකිය. (I.2)

15. මේ වනාහි සමස්තයක් වශයෙන් ගත් කල්හි, හෙගෙලියනු වාදය අවිවේචනාත්මකව වැමෑරිම මගින් භෞතික වාදයෙන් පැහැදිලිව පසු බැස යාමකි. විඥානය ඉදිරිපත් කරනු ලබන්නේ එකිනෙක පුද්ගලයාගේ තාර්කික ප්‍රපංචවේදයේ රූපාකාරයක් ලෙස ය. සමාජ විඥානය ශුන්‍යයකි. ඓතිහාසික භෞතිකවාදය නොතකා හැරේ. මෙහි ලා වාම හෙගේලියානුවන්ගේ ද දුබල පෘදොන්ගේ ද (එනම්, දරිද්‍රතාවයේ දර්ශන වාදය) සකල දෝෂ පුනර්කරනය කරනු ලැබ ඇත. මාක්ස් විසින් හෙගල් “දෙපයින් සිටුවීමේ” සැබෑ අර්ථභාරය ග්‍රහනය කරගෙන නැත. ජී. ගේ ලිපි විශ්ලේෂනය සඳහා ලාසාල් ගේ කෘතීන් පිලිබඳව මාක්ස් සහ ලෙනින් කල විවේචන අතිශයින්ම අදාලය.

(මේ සියල්ලෙහි ප්‍රතිපල වශයෙන් අවසානයේ දී අප ගෙනයනු ලබන්නේ, ස්ටැලින්වාදයේ මූලයන් පිලිබඳව ට්‍රොට්ස්කි කර ඇති විග්‍රහයට ප්‍රතිවිරුද්ධ වූ විග්‍රහයක් කරා ය. මෙය බෙහෙවින් සිත් කලඹවන්නකි. මන්ද යත් ඉතිහාසය ගූඪකරනය වාම හෙගේලියානුවන්ගේ ද ගති ලක්ෂනයක් වූ හෙයිනි.)

III. ජී.හිලීගේ “අධ්‍යනයන්” පිලිබඳ සටහන්

ඔක්තෝබර් 9-11, 1982

1. ලෝක විද්‍යාත්මක දෘෂ්ටියක් ලෙස මාක්ස්වාදයේ න්‍යායික අත්තිවාරම සපයන්නාවූ අපෝහක භෞතික වාදය නමැති ඥාන විභාග න්‍යාය, තරුන කාල් මාක්ස්ගේ අත්‍යන්ත බුද්ධිමය කාර්ය සිද්ධියේ සාඵල්‍යය යි. එනම්, සමස්තයක් වශයෙන් හෙගේලියානු අපෝහකයේ හා දර්ශනවාදයේ ගුනදෝෂ විචාරයයි.

2. ඉතිහාසය පිලිබඳ භෞතික වාදී සංකල්පය විස්තාරනයේ පූර්ව කොන්දේසියක් පමනක් නොව, එයින් අවියෝජනිය වූ ද සිද්ධියක් වන, මාක්ස් විසින් හේගල් අතික්‍රමනය කිරීම සිද්ධ කරනු ලැබුවේ, 1843-1847 කාල පරිච්චෙදයේ දි ය. මෙම අතික්‍රමනය පහත සඳහන් කෘතී මාලාව තුලින් දැක ගත හැකි වේ: හේගල්ගේ නීතිය පිලිබඳ දර්ශනයේ ගුනදෝෂ විචාරයට ප්‍රතිපදානයක් A Contribution to the Critique of Hegel’s Philosophy of Law (1843); ආර්ථික සහ දාර්ශනික කටු සටහන් TheEconomic and Philosophical Manuscripts of 1844 (1844); ජර්මානු දෘෂ්ටිවාදය The German Ideology  (1845) සහ දර්ශනවාදයේ දරිද්‍රතාව The Poverty of Philosophy (1847).

3. මෙම කාර්ය සිද්ධියේ අර්ථ භාරය එංගල්ස් විසින් මෙසේ පැහැදිලි කරනු ලැබින:

“මෙම ක්ෂේත්‍රයෙහි හේගල් ගේ සැබෑ සොයාගැනීම් වලින් සමන්විත න්‍යෂ්ටිය හෙගේලියානු තර්කයෙන් උද්ධරනය කරගෙන, සංකල්පික විකාශනයේ එකම නිවැරදි සරල රූපය වන අපෝහක විධික්‍රමය විඥානවාදී වෙලුම්වලින් මුදා ගෙන ස්ථාපනය කරලීමේ කර්තව්‍යය ඉටු කල එකම අය වූයේ ද වන්නේ ද කාල් මාක්ස් මිස අන් කිසිවෙක් නොවේ. දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිලිබඳ මාක්ස්ගේ විචාරය යටින් දිවෙන මෙම විධික්‍රමය වර්ධනය කිරීම වනාහි, මූලික භෞතික වාදී සංකල්පය ට නොදෙවෙනි අර්ථ භාරයක් දරන්නාවූ ප්‍රතිඵලයක් බව අපි කල්පනා කරමු. (දේශපාලන අර්ථශාස්ත්‍රය පිලිබඳ ගුන දෝෂ විචාරයකට ප්‍රතිපාදනයක්, ප්‍රගති ප්‍රකාශකයෝ, 218 වන පිටුව)

4. තමා “එම මහා චින්තකයාගේ ශිෂ්‍යයා ය” යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අවස්ථාවේ වුව මාක්ස් පැහැදිලිවම මෙසේ අර්ථ දැක්වීය:

මගේ අපෝහක විධික්‍රමය හෙගේලියානු විධික්‍රමයෙන් වෙනස් වනවා පමනක් නොවේ. එහි ඍජු ප්‍රතිවිරුද්ධය ද වේ. හේගල්ට නම් මනුෂ්‍ය මොලයේ ජීවන-සන්තතිය, එනම් “පරම අදහස” යන නම් යටතේ, ඔහු විසින් ස්වාධීන කාරකයක් බවට ද පත් කෙරෙන චින්තන ක්‍රියාවලිය, ඔහු ස්වාධීන විෂයක් බවට පවා පරිවර්තනය කරන්නාවූ, සැබෑලෝකයේ නිර්මාපකයා ද, පරමාධ්‍යාසයේ බාහිර ප්‍රපංචමය රූපය ද පමනකි. මෙයට ප්‍රතිවිරුද්ධව මා නම් දරන්නේ, අධ්‍යාසය (ideal) වනාහි මානුෂික මනස විසින් ප්‍රතිබිම්බිත සහ චින්තන රූපයන් බවට පරිවර්තිත භෞතික ලෝකය හැර අන් කිසිවක් නොවේය යන මතයයි. ( කැපිටාල් වෙලූම 1 “දෙවන ජර්මානු මුද්‍රනයට පසු වදන, 29 පිටුව)

5. හේගල් ගේ “අපෝහකයේ අතිශයින්ම සරල උපාංගයන් පමනක් උකහාගෙන ඒවා ඕනෑම දෙයකට හා සෑම දෙයකටම, බොහෝ විට විහිලුසහගත අදක්ෂතාවකින් යෙදූ” අපගාමින්ට, ප්‍රථමයෙන්ම දක්ෂිනාංශික සහ වාම හෙගේලියානුවන් ද පසුව පෘදොන් ද සහ ඊටත් පසුව එෆ්. ලසල් ද කෙරේ මාක්ස් සහ එංගල්ස් දැක්වුයේ පරිහාසයකි. (දේශපාලන අර්ථශාස්ත්‍රයේ ගුනදෝෂ විචාරයට ප්‍රතිපදානයක්, 222 පිටුව) හෙගලියානු පද්ධතිය හා තාර්කික ප්‍රවර්ගයන් ලසල් විසින් අවිවේචනාත්මකව යොදාගැනීම පිලිබඳ ව මාක්ස් මෙසේ ලියා තැබීය. “විද්‍යාවක් ගුනදෝෂ විචාරය මගින් අපෝහක ව සාධනය කල හැකි තැනට ගෙන ඒම වනාහි, එවන් පද්ධතියක හුදෙක් අංශු මාත්‍රයන්ට වියුක්ත පෙර නිමි තර්ක පද්ධතියක් යෙදීමට වඩා, මුලුමනින්ම වෙනස් කරුනක් බව ඔහු පාඩු විඳ ඉගෙන ගනු ඇත.” (මාක්ස් - එංගල්ස් තෝරාගත් ලිපි, ප්‍රගති, 102 පිටුව)

6. ඇන්ටි-ඩූරිං Anti-Duhring නමැති, මාක්ස්වාදයේ සම්භාව්‍ය කෘතිය යොමු කරනු ලැබුවේ, අවිචාරයෙන් මතකයට නගාගත් හෙගේලියානු ප්‍රවර්ග මත පාදක කෙරුනු තාර්කික සූත්‍ර සමග අනුචිත ද්‍රව්‍යවාදය ගැලැප්පූ එම සාරසංග්‍රහවාදී රූකඩයාට එරෙහිව ය.

“.... හෙගල්ගේ තර්කශාස්ත්‍රය (නම් කෘතිය-පරිවර්තක) ඇරඹෙන්නේ භවයෙන් යයි අපි දකිමු - ඩූරිං ද එසේ ය; එම භවය අභවය බවට පත්වෙයි. ඩුරිං ද එසේමය; මෙම භවයේ - අභවයෙන් (නාසත්‍යයෙන්) උද්භවය කරා සංක්‍රමනයක් සිදු වෙයි. මෙහි ඵලය වන්නේ නිර්නිත භවයයි, එනම් භවයේ වඩාත් ඉහල, පූර්න ආකෘතියකි. ඩූරිං ද එයම පුනරුච්චාරනය කරයි. නිර්නිත භවය ගුනය කරා ද ගුනය ප්‍රමානය කරා ද මග පාදයි. ඩූරිං මහතා ද එය පුනරුච්චාරනය කරයි.” පිටුව 61

7. 1914 දි ලෙනින් හෙගල්ගේ තර්ක ශාස්ත්‍රය (නැමති කෘතිය ) භෞතික වාදියෙකු ලෙස, එනම්. මාක්ස්වාදයේ දෘෂ්ටි ආස්ථානයෙන් කියවීම ආරම්භ කලේය. මෙයින් අදහස් වන්නේ මාක්ස් ගේ ජයග්‍රහන මත පදනම් වෙමින් “මෙම ක්ෂේත්‍රයේ හෙගල්ගේ සැබෑ සොයාගැනීම් අන්තර්ගත කරගන්නා න්‍යෂ්ටිය, හේගලියානු තර්ක ශාස්ත්‍රයෙන් උකහා ගැනීමේ කර්තව්‍යය ඉදිරියට ගෙන යාමට යත්න දැරීම යි.”

8. ලෙනින් ගේ දාර්ශනික සටහන් පොත් 70 වසරකට පෙර මාක්ස් විසින් හේගල් පිලිබඳව කරන ලද විවරනයෙන් ඔබ්බට ගමන් කරයි. ඔහුගේ සටහන් පොත් වනාහි (හෙගල්ගේ තර්ක ශාස්ත්‍රය Logic නම් කෘතිය) විවේචනාත්මකව යලි අධ්‍යයනය කිරීමකි. එම අධ්‍යයනයේ ප්‍රතිඵලය වූයේ, තර්කය, අපෝහකය සහ ඥානවිභාගය ඒකාබද්ධ කිරීම සඳහා අත්තිවාරම සම්පාදනය කිරීමයි.

9. හේගල් අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ලෙනින් ගේ ආකල්පය මාක්ස් සහ එංගල්ස් දැරූ ආකල්පය ම වූයේ ය. ලසාල් ගේ හෙරක්ලිටස් අධ්‍යයනය පිලිබඳ ලෙනින් ගේ විචාරයෙන් මෙය මැනවින්ම දැක ගත හැකි ය:

මාක්ස් ලසාල් ගේ කෘතිය ‘පාසල් ශිෂ්‍යයෙකුගේ බඳුය’යි (බලන්න, මාක්ස් විසින් එංගල්ස් ට ලියූ ලියුම...) කීවේ මන්දැයි වටහාගත හැකිය. ලසාල් කරන්නේ හෙගල් සරලවම පුනරුච්චාරනය කිරීමයි, ඔහුගෙන් කොපි කිරීමයි. හෙරක්ලිටස් ගෙන් උපුටාගත් හුදෙකලා කොටස් පිලිබඳව ලක්ෂ වතාවක් ඔහු ප්‍රති-රාවය කිරීමයි. එමගින් සිය ග්‍රන්ථයට සිතිය නොහැකි තරම් අතිපන්ඩිත බරබද්දල් ගොන්නක් පැටවීමයි.

“(ඔහු) මාක්ස්ගෙන් වෙනස් වන්නේ කෙසේද: මාක්ස් (හෙගල් පිලිබඳව කරන විවේචනය) දැවැන්ත නව කරුනු සම්භාරයක් අන්තර්ගත කර ගනී, ඔහු (මාක්ස්) උනන්දු කලේ හේගල් සහ ෆොයර්බාක් ඉක්මවා, විඥාන වාදී අපෝහකයේ සිට භෞතික වාදී අපෝහකය දක්වා ප්‍රගමනයයි....

“1844-47 සමයේ දී මාක්ස්, හෙගල් ගේ සිට ෆොයර්බාක් දක්වා ද ඉන් ඔබ්බට ෆොයර්බාක් ගේ පටන් ඓතිහාසික (ආපෝහක) භෞතික වාදය දක්වාද ඉදිරියට ගමන් කලේ ය. ලසාල් 1846 දී (ප්‍රස්තාවනාව IIIවන පිටුව) මුල පුරා, 1855 දී යලි අරඹා 1857 අගෝස්තුවේදී ( ප්‍රස්තාවනාව XV පිටුව) නිමා කරමින් තනිකර පුහු, නිෂ්ඵල, අති පන්ඩිත, හෙගේලියානු වාදයේ පුනරුච්චාරනයක් සමාප්ත කලේ ය.” ( ලෙනින් එකතුකල කෘති 38 වෙලුම 339-40 පිටු)

10. හීලි සහෝදරයාගේ “අපෝහකවාදය පිලිබඳ අධ්‍යයන,” එක තීරනාත්මක දුබලකමකින් පෙලෙයි: එය සාරභූතව මාක්ස් සහ එංගල්ස් විසින් හෙගේලියානු අපෝහකය භෞතිකවාදී ලෙස ප්‍රතිකරනය කිරීමේ දී අත්පත් කරගත් කාර්ය සිද්ධීන් නොතකා හරියි. එහෙයින් (හීලි) හෙගල් කරා ප්‍රවිෂ්ට වන්නේ සාරභූත වශයෙන්, මාක්ස් සටන් වැදුනු, වාම හෙගේලියානුවන් ගේ ක්‍රමයටය.

11. හෙගල් වෙත මේ ආකාරයෙන් ප්‍රවිෂ්ට වීමේ දී, භෞතික වාදය සහ විඥානවාදය අතර වෙනස මකා දමා ඇතිවා පමනක් නොවේ; හීලි සහෝදරයා, වාම හෙගේලියානුවෙකුගේ ක්‍රමය අනුව, හෙගල් ව්‍යාඛ්‍යානය කිරීම මගින් විඥාන වාදය කරා පල්ලම් බැස ඇත. එබැවින් අපට “විඥානය” ලැබෙන්නේ “අපරිමිත සන්තතියක්” ලෙසය. “ආත්මීය ඥානනය (එනම් ස්වයං විඥානය) උදාහරනයක් ලෙස විදුලියේ ධන සහ රින මෙන් සැකසී ගනී. එනම්, චින්තනය ද්‍රව්‍යය බවට හැරේ. හෙගල් ලියා තැබු පරිදි “ස්වයං විඥානයේ පරත්වාරෝපනය ම වාස්තවිකය පිහිටුවාලයි. ආත්මීය ඥානනය තීරනාත්මක ගාමකයකි. “මානසික ලෝකය”; “භෞතික ලෝකය වියුක්ත මතිය අනිවාර්යයෙන්ම ‘සාධනීය හෝ න්‍යායික මතියක්’ වීම සිදුකරයි”; “න්‍යායික මතිය බාහිර ලෝකයම වන්නේ ය”; “‘පිම්ම’ සිදුවන්නේ ‘විඤ්ඤානය එය නිර්මානය’ කරන තතු තුල භාවිතය කරාය”; “ඥානනයේ බෙහෙවින්ම සමපේක්ෂන ස්වභාවය තවදුරටත් අවධාරනය කිරීම ...”

12. හෙගල් විසින් තබා ගිය අයුරු හෙගේලියානු අපෝහකය පාවිච්චියට ගත නොහැකිය යනුවෙන් මාක්ස් සහ එංගල්ස් යන දෙදෙනා විසින්ම කරන ලද අනතුරු හැඟවීම් හිලී සැලකිල්ලට ගන්නේ නැත. මෙ නිසා ඔහු, ඥානනයේ සන්තතිය අර්ථකථනය කරන්නට උත්සාහ කරන්නේ කෙලින්ම හෙගේලියානු අපෝහකය තුලිනි. මෙය නම් සාවද්‍ය ප්‍රවිෂ්ටයකි. රාජ්‍යයේ ස්වභාවය තර්කය (හෙගල්ගේ කෘතිය) මගින් පැහැදිලි කල නොහැක්කේ යම්සේ ද චින්තන ක්‍රියාවලිය ද තර්කය මගින් පැහැදිලි කල නොහැකිය. හේගල්ගේ විඥානවාදී පද්ධතිය, තාර්කික ප්‍රවර්ගයන් ගේ චලනය පිලිබඳ ඔහු කල නිරූපනය ට බල පා ඇති බවට මාක්ස් කල සොයාගැනීම සැලකිල්ලට ගැනීමට හිලී අසමත් ය. ඒ කියන්නේ මාක්ස්, හෙගල් ගේ ප්‍රවර්ගයන් (ඔහු විසින් ) ඉදිරිපත් කර ඇති ආකාරයටම පිලිගන්නේ නැත. එම ප්‍රවර්ගයන් ම ස්ථිර සාර භෞතික වාදී අධ්‍යාසයකින් ප්‍රතිකරනය කල යුතුව ඇත. එනම් හෙගල්ගේ විඥානවාදී ගූඪ වාදයේ ප්‍රතිවිපාකයක් වශයෙන් (ඔහුගේ) තර්කය (Logic) කෘතියේ දි, සැබෑ අරගලයේ අන්තර්ගතයට අහිමි කෙරෙන ප්‍රතිඝතිතාව නමැති ප්‍රවර්ගය මාක්ස් විසින් ප්‍රතිකරනය කරනලදී. තුන් වැන්නක මාධ්‍යගත වීම මගින් හෙගල් ප්‍රතිඝතිතාව තාර්කිකව විසඳාලූයේ, හුදෙක් විතන්ඩවාදී ආකාරයකටය. එසේ වතුදු හීලි ප්‍රතිඝතිතාව සලකන්නේ හෙගේලියානුවකු පරිද්දෙනි; ඔහු මෙසේ කියයි: “දැන් ඥානනයේ සෑම අවධියකදීම මාධ්‍යයනයන් සිද්ධ වේ. විශ්ලේෂනය සඳහා ‘අපෝහක තර්කයේ’ විධිය යෙදවෙන්නේ මෙතැන්හි දී ය.”

13. හීලි සහෝදරයාගේ ලිපිවල ප්‍රධන දෝෂය - මාක්ස් සහ ලෙනින් ගේ ජයග්‍රහන නොතැකීම - ජ්වලිතව විදහා දැක්වෙන්නේ ඓතිහාසික භෞතික වාදය කෙරේ ඔහු දක්වන්නාවූ නොතකා හැරීම තුල ය. ඥානනය සලකනු ලබන්නේ නියාමපාලිත, ඓතිහාසිකව වැඩීඑන මිනිසාගේ සමාජ භාවිතය ට පිටින් චින්තන සංකල්පයන්ගේ චලනය ලෙස ය.

a. “සිතන කයක්” පිලිබඳ ස්පිනොසාවාදි සංකල්පය, එහි දාර්ශනික මූලාශ්‍රය පිලිබඳ කිසිදු පැහැදිලි කිරීමකින් තොරව තූන්වන ලිපියේ දි ඉදිරිපත් කරනු ලැබේ. (එය ඉදිරිපත් කෙරෙන්නේ, උද්ධෘතය නොදක්වා ඉලීයන්කොව් ගේ අපෝහක තර්කනය යන කෘතියෙන් ගත් කොටසක ය. මූලාශ්‍රය ලෙස සඳහන් නොකෙරෙන ස්පිනොසා ට හෙගේලියානු නැම්මක් ලබාදෙමින් වාස්තවිකය “අපෝහක ප්‍රවර්ගයක්” යයි නම්කරනු ලැබේ.)

b. හීලී සහෝදරයා මෙසේ ලියයි. “මානව සත්වයන්ගේ ඉතිහාසය සමාජය තුල සංවිධිත වන්නේ, මිනිසාගේ ආරම්භකත්වයේ, හාම්පුතුන් හා කම්කරු පන්තිය යන දෙකම, යනාදී වශයෙන් නිර්මාපක මූලාංගයේ, වර්ධනයේ ඉතිහාසය ලෙස ය. ජනතාවගේ විඥානය උසස් වූ තරමට, ඔවුන් ස්වභාවධර්මයේ සහ ඉතිහාසයේ වෛෂයික න්‍යායයන් වඩාත් ඉහලින් වටහාගනිති.” ඔහු මෙසේ ද ලියයි, “අපෝහකයේ ක්‍රියාකාරිත්වය...” මෙහිලා ඉතිහාසය අර්ථ කථනය කරනු ලබන්නේ විඥානයෙනි. සමාජ චින්තනය ප්‍රතිබිම්බනයක් පමනක් වන නිෂ්පාදනයේ භෞතික සම්බන්ධතාවලින් නොවේ. සත්තකින්ම මෙහිලා “නිර්මාපක මූලාංග”ය යයි ගැනෙන්නේ විඥානයයි. ඉදින්, මෙහිලා හිලී සහෝදරයා පුනරුච්චාරනය කරන්නේ ජනතාවගේ “අවිවේචක” ප්‍රායෝගික විප්ලවවාදී ක්‍රියාකාරිත්වය වෙනුවට තමන්ගේ ම විවේචක ක්‍රියාකාරිත්වය ආදේශ කල- වාම හෙගේලියනු, “විවේචක විවේචකයන්” ය.

c.හිලී සහෝදරයා මෙසේ ලියයි. “විද්‍යාත්මක අධ්‍යයනයක් හැටියට අපෝහක භෞතික වාදයේ මුල් අවධිවලදී අප ඉක්මනින්ම එලඹෙන්නේ සංකල්පයන් හැදෑරීමේ ක්ෂේත්‍රයකට ය.” මෙහි ලා “අප” යන්නෙන් අදහස් කරනු ලබන්නේ කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් මාක්ස් ට හෝ එංගල්ස් ට අපෝහක භෞතික වාදය ඇරඹෙන්නේ, සංකල්පයන් පිලිබඳ අධ්‍යයනයකින් නොව, සබෑ මිනිසා පිලිබඳ අධ්‍යනයකිනි.

“දෙව්ලොව සිට පොලොවට බසින ජර්මානු දර්ශන වාදයට ඍජුවම ප්‍රතිවිරුද්ධව, මෙහිලා සිදු වන්නේ පොලොවේ සිට දෙව්ලොවට නැගීමකි. ඒ වනාහි ලෙයින් මසින් සැදුනු මිනිසුන් කරා ලඟා වීම සඳහා මිනිසුන් කියන, සිතන, සංකල්පනය කරන, විස්තර කරන දෙයින් හෝ එසේත් නැතහොත් කථා ගෝචර, චින්තන ගෝචර, පරිකල්පිත හෝ සංකල්පිත, මිනිසුන්ගෙන් ඇරඹීම නොවේ; සැබෑ, ක්‍රියාත්මක, මිනිසුන් ගෙන් ඇරඹීම ය; ඔවුන්ගේ සැබෑ ජීවන ක්‍රියාදාමය පදනම් කර ගෙන, ඔවුන්ගේ දෘෂ්ටිමය ප්‍රතිබිම්බයන්ගේ සහ ප්‍රතිරාවයන් ගේ වර්ධනයෙන් ඇරඹීම ය. (මාක්ස්-එංගල්ස් එකතුකල කෘති, 5 වෙලූම, 36 පිටුව)

d.සැබෑ ආරම්භක ලක්ෂ්‍ය ය වන්නේ භෞතිකය පිලිබඳ සංකල්පය නොව, භෞතික ලෝකයම වේ. එසේ නොවුවහොත් ප්‍රවිෂ්ටය විය හැක්කේ හෙගේලියානුවකු ගේ ආස්ථානය යි. එනම්, යථාර්ථයේ චලනය, සංකල්පයේ චලනයන්ගෙන් ඥානනය කිරීමයි. එහෙත් අපි යථාර්ථයේ චලනය චින්තනයේ චලනයෙන් ප්‍රතිනිර්මානය කරගන්නට යන්නේ නැත. චින්තනය කිසිසේත්ම බාහිර ලෝකයේ “පිරිසිදු” පිලිබිඹුවක් නොවන හෙයින් මෙය කල නොහැක්කකි. චින්තනය සැම විටම සාමාජික චින්තනය වේ. මේ අනුව අපි, සංකල්ප වනාහි සාමාජික වශයෙන් ක්‍රියාකාරී මිනිසාගේ මනස තුල භෞතික ලෝකයේ පිලිබිඹුව බව පෙන්නුම් කරමු. එසේ නොකලහොත්,

“මෙම සංකල්ප - ඒවායේ සැබෑ පදනම පසෙක ලූවොත් (ස්ටර්නර් කොහොමටත් මෙම පදනම ඉවත දමයි.) විඥානය තුල සංකල්පයන් හැටියට, මිනිසුන්ගේ හිස්තුල චින්තනය හැටියට, ඒවායේ වෛෂයිකත්වයෙන් අත්මීය තුලට මාරු කොට, වාස්තවිකයේ (සබ්ස්ටන්ස්) සිට ආපසු ආත්මීය විඥානය තුලට - ඝනීභූත අදහස්වලට මාරු කරනු ලබයි.” ( 5 වෙලුම, 160 වන පිටුව)

14. අපෝහක භෞතික වාදය සාරභූත වශයෙන් විඥානවාදී ලෙස විකෘත කිරීම හීලි සහෝදරයා විසින් ලෙනින්ගේ භෞතිකවාදය සහ අනුභූති විචාරයෙන් උපුටාගත් පහත දැක්වෙන කොටස විග්‍රහ කරනු ලබන ආකාරයෙන් මැනවින් පෙන්නුම් කෙරේ.

a.ඔහු මෙසේ උපුටා දක්වයි:

“ලෝක ආර්ථික පර්යායේ සෑම තනි නිෂ්පාදයෙකුම, තම ඒ හෝ මේ වෙනස නිෂ්පාදන තාක්ෂනය තුලට ඇතුලු කරන බව වටහා ගනී; සෑම අයිතිකරුවෙකුම තමා සමහර නිෂ්පාදනයන් තවත් සමහර ඒවා සමග හුවමාරු කරගන්නා බව වටහා ගනී; එහෙත් මෙම නිෂ්පාදකයින් ද මෙම අයිතිකරුවන් ද වටහා ගන්නේ නැති දෙය නම්, එසේ කිරීමේදී තමන් සමාජ පැවැත්ම වෙනස් කරන බව ය.

“ලෝක ධනවාදී ආර්ථිකයේ මෙම වෙනස්කම් සියල්ල ඒවායේ අන්තර් සම්බන්ධතා ද සහිතව ග්‍රහනය කර ගැනීම, මාක්ස්වරුන් 70 වකට ද කල නොහැක්කකි. වඩාත්ම වැදගත් දෙය වන්නේ, මෙම වෙනස්කම්වල නීති සොයාගෙන තිබෙන බවත්, මෙම වෙනස්කම්වල වෛෂයික තර්කනය හා ඒවායේ ඓතිහාසික වර්ධනය තුල ඇති ප්‍රමුඛ හා මූලික අංග හෙලිදරව් කර තිබෙන බවත්ය.” (14 වෙලූම, 325 පිටුව)

හීලි සහෝදරයා තව දුරටත් මෙසේ ඉදිරිපත් කරයි.

“මෙම සන්තතිය වෛෂයික වන්නේ සමාජ භවය ජනයාගේ සමාජ විඥානයෙන් ස්වාධීනය යන අර්ථයෙනි. “අවුරුදු 75 කට පෙර ලෙනින් මෙසේ ලිවීය. “ඉහලම කර්තව්‍යය වන්නේ ... මෙම වෛෂයික තර්කනය ග්‍රහනය කර ගැනීමයි.” (14 වෙලුම, 325 පිටුව)

හීලි සහෝදරයාගේ උධෘත ක්‍රමය විසින් ලෙනින්ගේ තර්කයේ අන්තර්ගතය වෙනස් කර තිබෙන්නේ, හෙගලියානු විඥානවාදයට ගැලපෙන ආකාරයටය. “එලිදරව් කරනු ලැබ ඇත” යන්න ඇතුලත් වාක්‍යයෙන් අරඹා, අපි ලෙනින් ගෙන් උපුටා දක්වමු. එහිදී හීලි සහෝදරයා විසින් උපුටා දක්වනු නොලැබූ එම ඡේද වරහන් තුල තබමු.

[ *වෛෂයික වන්නේ, එවන් සවිඥානක මිනිසුන්ගේ සමාජයක්, සවිඥානක පුද්ගලයින් ගෙන් තොරව පැවතිය හැකියි හෝ, වර්ධනය විය හැකියි යන අර්ථයෙන් නොවේ. (බොග්ඩනොව් සිය ‘න්‍යාය’ මගින් අවධාරනය කරන්නේ මෙවන් සුලු කරුනු ය.) සමාජ පැවැත්ම ජනයාගේ සමාජ විඥානයෙන් ස්වාධීනය යන අර්ථයෙනි.

[ඔබ ජිවත් වන බව ද, සිය ව්‍යවසායෙහි යෙදී ඉන්නා බව ද, දරුවන් උපදවන බව ද, බඩු නිපදවන බව ද, ඒවා හුවමාරු කරන බව ද වෛෂයිකව ආවශ්‍යක වූ වර්ධන දාමයක්, ඔබගේ විඥානයෙන් ස්වාධීනව පැන නංවන බව ද කවර කලකවත් සමාජ විඥානය විසින් මුලුමනින්ම ග්‍රහනය කර ගෙන නැත.]

මානව වර්ගයාගේ ඉහලම කර්තව්‍යය වන්නේ, මෙම වෛෂයික තර්කනය ග්‍රහනය කර ගැනීම ය. එනම්

[එහි සාමාන්‍ය සහ අතිමූලික ආකාරයෙන් ආර්ථික වර්ධනය (සමාජ ජීවිතයේ වර්ධනය) වටහාගනිමින්, එමගින් තමන්ගේ සමාජ විඥානය සහ සියලු ධනපති රටවල දියුනු පන්තීන්ගේ විඥානය එයට ගැලපෙන පරිදි -හැකිතාක් නිශ්චිත, පැහැදිලි හා තීරනාත්මක පරිදි- හැඩගස්වාලීමය.] (325 පිටුව)

b. මේ අනුව ආර්ථික පරිනාමයේ වෛෂයික තර්කනය වෙනුවට අපට ලැබී ඇත්තේ වෛෂයික තර්කනයයි. කුමක තර්කනය ද ? හීලි සහෝදරයා විසින් ඊ ලඟට ලියන ලද කොටසේ දී මෙය පැහැදිලිවෙයි.

“සම්පතනයේ මූලධර්මය විසින් ආවශ්‍යකත්වය, සම්භාව්‍යතාව, සහ ශක්‍යතාව වැනි වෙනත් ප්‍රවර්ගයන්ට සම්බන්ධිතව ඥානයේ අවධියක් ලෙස එහි සම්බන්ධතාවන් එලිදරව් කරමින්, දෙන ලද ප්‍රවර්ගයක වෛෂයික අන්තර්ගතය නිර්වචනය කිරීමට අප සමත් කෙරේ.”

හීලි. “සම්පතනයේ මූලධර්මය” යනුවෙන් අදහස් කරන්නේ, ඔහු කලින් භෞතිකවාදය සහ අනුභූති විචාරයෙන් ගත් උපුටාගැනීමට පෙරාතුව දක්වන පරිදී, “අපෝහකය, තර්කය සහ ඥානවිභාගයේ සම්පතනයයි..”

මෙම ඡේදයන්ගෙන් ද තෝරාගනු ලැබූ උද්ධෘතයන්ගෙන් ද පැහැදිලි වන්නේ, හීලි සහෝදරයා තාර්කික ප්‍රවර්ග සහ ඒවායේ අන්තර් සම්බන්ධතා දැකගන්නේ, ඓතිහාසික චලනය තුලට පෙරී එන්නාවූ සාරභූත අන්තර්ගතය බවය. මේ අනුව එක් එක් ද්‍රව්‍යමය සිද්ධියක හෝ කාරනයක තාර්කික චින්තන අන්තර්ගතය සොයාගත් ඉක්බිති ඒවායේ සාරය, “ආවශ්‍යකත්වය, සම්භාව්‍යතාව ශාක්‍යතාව” යනාදී වශයෙන් වන අනෙකුත් ප්‍රවර්ගයන් සම්බන්ධිතව ඥානයේ අවධියක් ලෙස හෙලි කරගත හැකි වේ.

මෙහිලා අපට දක්නට ලැබෙන්නේ හේගල්ගේ සම්පූර්න තාර්කික ගුඪ වාදය අවිවේචනාත්මකව ප්‍රතිනිෂ්පාදනය කිරීමයි. මෙය වනාහි හීලි සහෝදරයාගේ මෑතම ලිපිවල දක්නට ලැබෙන, අපෝහකය කරා ඔහුගේ සමස්ත ප්‍රවිෂ්ටයයි. සියල්ලම හෙගල්ගේ තාර්කික ප්‍රවර්ගයන් ගේ අනුක්‍රමය පසුපස යාම පිලිබඳ ප්‍රශ්නයක් බවට සිඳවනු ලැබේ. ද්‍රව්‍යමය අන්තර්ගතය හේගල්ගේ තර්කය තුලින් වර්ධනය කර ගත යුතුය., එසේ නැතිව මාක්ස් කී පරිදි තර්කය උකහාගත හැක්කේ අන්තර්ගතය තුලින් නොවේ.

මෙහිලා හීලි සහෝදරයා පුනර්කරනය කර තිබෙන්නේ මාක්ස්, දර්ශනයේ දරිද්‍රතාව නමති කෘතියේ දි විශ්ලේෂනය කල පෘදොන්ගේ එම වැරදි මය.

“ .... මෙම වියුක්තනයන් කිරීමේදී, තමන් කරන්නේ විශ්ලේෂනයන් යයි සිතන්නාවූ මේ අධිභෞතිකවාදියෝ වඩ වඩාත් දේවලින් ඈතට යත්ම උපකල්පනය කරන්නේ, තමන් යෙදී සිටින්නේ විශ්ලේෂනයේ යයි ද දේවල් අරටුවකරා ම එනම්, [අනෙකුත් ප්‍රවර්ගයන්ට සම්බන්ධිතව ඥානයේ අවධියක් ලෙස] විනිවිද දැක්මට වඩ වඩාත් ලං වනබවත් ය. ඒ අනුව මෙහි යට දැක්වෙන දේවල් වනාහි තාර්කික ප්‍රවර්ගයන් නැමති පසුබිම් කැන්වසයේ කෙරුනු ගෙත්තම් බවය යන අධිභෞතික වාදීන්ගේ අදහස නිවැරදිවේ.

“වියුක්ත කිරීම මගින් අපි සියල්ල තාර්කික ප්‍රවර්ගයක් බවට පත් කරන ආකාරයට මෙන්ම, චලනය කරා එහි වියුක්ත ආකාරයෙන් එනම් හුදු රූපික චලනයක් ලෙස අවතීර්න වන ආකාරයට කෙනෙකු කල යුතුව ඇත්තේ සෑම විවිධ, සුවිශේෂ, නිශ්චිත චලනයකම වියුක්තය ග්‍රහනය කර ගැනීමය. කෙනෙකු තාර්කික ප්‍රවර්ගයන් තුල සියලු දේවල සාරය දකින්නේ නම් ඉන් කල්පිත වන්නේ, චලනය පිලිබඳ තාර්කික සූත්‍රය තුල, සියලු දෙය පමනක් නොව, ඒවායේ චලනය ද පැහැදිලි කරන පරම විධි ක්‍රමයකි.

“හේගල් මෙම වචන වලින් පැහැදිලි කරන්නේ මෙම පරම විධික්‍රමයම ය.

“විධික්‍රමය වනාහි, කිසිදු විෂයකට අවරෝධනය කල නොහැකි පරම, ඒකායන, අපරිමිත, ශ්‍රේෂ්ඨ, බලයයි: එය වනාහි පරම අධ්‍යාසය විසින් තමන්වම යලි උපලබ්ධ කර ගැනීමයි. (හෙගල්ගේ තර්කය පිලිබඳ කෘතිය III වෙලුම )

“සියල්ල තාර්කික ප්‍රවර්ගයකට සිඳවනු ලැබේ, සෑම චලනයක් ම, නිෂ්පාදනයේ සෑම ක්‍රියාවක්ම, විධික්‍රමයට සිඳුවනු ලැබේ. එයින් ස්වාභාවිකවම ගලා එන්නේ, නිෂ්පාදිතයන්හි ද නිෂ්පාදනයේ ද වෛෂයික හා සංතතියක ද සෑම සංචිතයක් ම ව්‍යවහාරිත අධිභෞතිකවාදයට ඌනනය කරනු ලැබීමයි. හෙගල් ආගමට හා නීතියට කල දෙය වැන්නක්, එම්. පෘදොන් දේශපාලන අර්ථ ශාස්ත්‍රයට කිරීමට උත්සාහ කරයි. (99-100 පිටු)

15. හෙගල් “දෙපයින් සිටවීම” යන වාක්‍යංශය එම කර්තව්‍යයේ ප්‍රගාඪ විද්‍යාත්මක කාර්ය සිද්ධිය සුලුකර දැක්වීමකට යොදා ගත යුතු නැත. මෙහිලා අදාල වූයේ ස්වභාව ධර්මය, සමාජය, විඥානය පිලිබඳ නීති නියාම, ඥානනය කරනු ලැබූ භෞතික වාදී ලෝක විද්‍යාත්මක දෘෂ්ටිය ස්ථාපනය කිරීමට කිසිසේත්ම නොඅඩු දෙයකි. එතැන් පටන් දර්ශන වාදයේ ප්‍රධාන උත්සුකය වුයේ තවදුරටත් “තර්කය පිලිබඳ විෂය” නොව “විෂය පිලිබඳ තර්කයයි.”

මාක්ස් පැහැදිලි ලෙස එලිදරව් කලේ, හෙගේලියානු තාර්කික රටාව දෙන ලද පරිදිම යොදාගතහොත්, අනිවාර්යයෙන් ම, තාර්කික ප්‍රවර්ගයන් පමනක් නොව අනුභූතික කාරනා ද හරඹ කිරීම මගින් මගපාදන්නේ කුතර්කයට බවය.

විශේෂයෙන්ම සිය හෙගල්ගේ නීතිය පිලිබඳ දර්ශනවාදයේ ගුනදෝෂ විචාරයෙන් මාක්ස්, හෙගේලියානු සංකල්ප විචාරාත්මකව ප්‍රතිකරනය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කලේ ය. හෙගල් සම්බන්ධයෙන් ගත හොත්, අනන්‍යතාව, සුවිශේෂතාව, පොදුබව, යන ප්‍රවර්ගයන්ට ඇත්තේ වියුක්ත සහ එහෙයින් ම අසත්‍ය අන්තර්ගතයකි. හේගල් අථත්‍ය ප්‍රතිවාදයක සිට කල්පිත අනන්‍යත්වයක් කරා ප්‍රවිෂ්ට වෙයි. මේ ආකාරයෙන්, අනන්‍යතාවය තුල, පොදු රාජ්‍ය ආවශ්‍යක්ත්වය සුවිශේෂ පෞද්ගලික අවශ්‍යතාවය සමග එකතු කිරීමට හේගල් සමත් වෙයි. අවසාන වශයෙන් ප්‍රතිගාමී වූ කටයුතු වලට හේගල්ගේ පද්ධතිය යොදාගැනීමට හැකි වීමට හේතුව නම් එහි විඥානවාදී ව්‍යූහයයි. සර්වත්‍රිකය සහ සුවිශේෂය අතර අනන්‍යතාව සැබෑ අන්තර්ගතයෙන් තොර වූ වියුක්තයන් හැටියට මිස තාර්කික ප්‍රවර්ගයන් තුල ස්ථාපනය කල නොහැකිය. එවන් රූපයකින් ගත් කල්හි, කුමන හෝ සාමාන්‍යයක් වුව කුමන සුවිශේෂයක් සමග හෝ ඕනෑ හැටියට, වියුක්තව සහ එහෙයින්, අතත්‍ය අනන්‍යතාවයක් සමග ඒකාබද්ධ කල හැකිවේ. එහෙයින් ප්‍රවර්ගයන් අතර සම්බන්ධතාවන් චින්තනය තුල, තාර්කික අනුසන්ධානයක් ලෙස ස්ථාපනය කල නොහැකි වේ. බාහිර ලෝකය චින්තනය තුල ප්‍රතිබිම්බනය වීමේ ආකෘතින් ලෙස, සාමාන්‍යය, සුවිශේෂය, ප්‍රතිවාදය, අන්තර් ග්‍රහනය යනාදියේ සබෑ අපෝහක විෂය වස්තුව ස්වභාවධර්මය, (සහ ඉතිහාසය) තුලින්ම විද්‍යාත්මක විශ්ලේෂනය මගින් උකහාගත යුතු වේ. සමපේක්ෂක විඥානවාදය මිනිසාගේ සමාජමය වූ ද, ඓතිහාසික වශයෙන් වර්ධනය වන්නාවූ ද, විඥානය තුල ලෝකය පිලිබිඹු වීමේ පොදු වියුක්ත රූප සොයාගත්තේය. මෙම රූප තනිකොට තෝරා ගැනීම මගින් අපට හෙගේලියනු අපෝහකයේ තාර්කික ප්‍රවර්ගයන් ලැබේ. එහෙත් මේ ප්‍රවර්ගයන් අහසේ ලම්බනය වීමට අත හැරිය නොහැක්කේ ය. ඒවායේ භෞතික අන්තර්ගතය ස්වාභාධර්මය සහ ඉතිහාසය අධ්‍යනය තුලින් උකහාගත යුතු වේ.

16. මාක්ස් මෙසේ ලියා තැබී ය: “හෙගෙල් සිතන පරිදි වටහාගැනීම සමන්විතවන්නේ තාර්කික සංකල්පයේ ලක්ෂන සෑම තැනම හඳුනාගැනීම ලෙස නොවේ, සුවිශේෂ විෂයේ, සුවිශේෂ තර්කනය ග්‍රහනය කරගැනිම මගිනි.” ( මාක්ස්-එංගල්ස් සංගෘහිත කෘති 3 වන වෙලුම 91 පිට.) මාක්ස් මෙසේ ලියා තැබුවේ ඔහු සමස්තයක් වශයෙන් හෙගේලියානු අපෝහකයේ ගුනදෝෂ විචාරය ලිවීමේ මුවවිට දීය.

17. හීලි සහෝදරයාගේ “අධ්‍යයන” හෙගල් භෞතිකවාදී ලෙස කියවීමක් නොවේ. ඒ වෙනුවට එය ඔහුගෙන් දීර්ඝ උද්ධෘතයන් විඥාන වාදයට දෙන ලද සැලකිය යුතු සහන සහිත ව ගෙනහැර දැක්වීමකි.

a. “භෞතික වාදය සහ වියුක්ත විඥානවාදය අතර මූලික වෙනස සමන්විත වනන්නේ බාහිර ලෝකයට ප්‍රවිෂ්ට වීමේදී වෛෂයිකත්වය පිලිබඳ මූලධර්මය වශයෙනි. මෙය අසත්‍ය ය. හෙගල්ගේ ආස්ථානය වූයේ ද එසේය යන්නයි. වෛෂයිකත්වයයි. භෞතික වාදය සහ විඥානවාදය ( වියුක්ත යන පදය අනවශ්‍යය ) යන දෙක අතර මූලික වෙනස වූයේ විඥානය මත පදාර්ථයේ ප්‍රාථමිකත්වය පිලිබඳ ප්‍රශ්නයයි.

b. “භවය (පැවත්ම) වනාහි විඥානයෙන් ස්වාධීනව පවත්නා පදාර්ථයයි. එය වනාහි සකල සංවේදනයේ මූලාශ්‍රයයි. මෙම තතු තුල භවය ප්‍රාථමික වේ, විඥානය ද්විතියික ය. භවය ප්‍රාථමික නොවන තතු පැවතිය හැකි ද ? හෙගල් ද භවය සංවේදනයේ මූලාශ්‍රය බව පිලිගත් අතර එය සැබවින්ම ඔහුගේ ප්‍රපංච විද්‍යාවෙහි ආරම්භක ලක්ෂ්‍යයයි. ඒ අර්ථයෙන් හෙගල් ද භවයේ ප්‍රාථමිකත්වය පිලිගැනීමට සමත් විය. එහෙත් (ඔහු විසින් ) ප්‍රාථමික කොට සැලකෙන්නේ විඥානයයි.

c. “අපරිමිත සන්තතියක් වන්නේ විඥානයේ වර්ධනය පමනක් නොවේ; ලෝකය ඥානනය කිරීම ද අපරිමිත සන්තියකි.” (හීලි) “විඥානයේ වර්ධනය” “ලෝකය ඥානනය කිරීම මිස අන් කිසි දෙයක් විය හැකි ද?” හීලි සහෝදරයා අපට “විඥානයේ වර්ධනය” සහ “බාහිර ලෝකය ඥානනය කිරීම” යන ද්විවිධ අපරිමිත සන්තතින් දෙකක් ඉදිරිපත් කරන්නේ ඇයි? එපමනක් නොව “විඥානයේ වර්ධනය (බාහිර ලෝකය ඥානනය කිරීම තුල) පරිමිත මෙන්ම අපරිමිත ද වන්නේය. විඥානයට හුදෙක් අපරිමිත විය හැක්කේ චින්තනය ඓතිහාසිකව වර්ධනය කල පරිමිත මිනිසුන්ගේ පරිමිත පරම්පරාවන්ගෙන් ස්වාධීන වූ ස්වයංචලනය ලෙස ම පමනි. හීලී සහෝදරයාගේ “අපරිමිතය” වනාහි “බාහිර ලෝකය ඥානනය කිරීමෙන්” වියෝ වූ විඥානයේ වර්ධනයකි. එනම්, පරම අධ්‍යාසයේ චලනයයි.

d. හීලි සහෝදරයා ලෙනින්ගේ දාර්ශනික කටුසටහන් පොත් වලින් මෙසේ උපුටා දක්වයි: “මෙම තාර්කික ආකෘතින් ට සිද්ධාන්තයන් ගේ භාරය අත්කර දීමට නම්, මිනිසාගේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය විසින් ඔහුගේ විඥානය ලවා දස කෝටි ගනන් වාරයක් එම ආකෘතින් පුනර්කරනය කල යුතුව තිබුනි.” ( 38 වෙලුම 190 පිට )

ඉක්බිති හීලි සහෝදරයා මෙසේ පරිකථනය කරයි: “මිනිසාගේ විඥානය ට සිද්ධාන්තයන් ගේ භාරය අත්කර ගත හැකි වන පරිදි ආත්මීය අපෝහක චින්තනය කෝටි දහස් වාරයක් වෛෂයික තත්වය තුල නිමග්න වෙයි.” මෙය ඉහත දැක්වූ ලෙනින්ගේ ඡේදය විඥානවාදී ලෙස අරුත් දැක්වීමකි. ලෙනින් පටන්ගන්නේ මිනිසාගේ ප්‍රයෝගික ක්‍රියාකාරිත්වයෙනි. විඥානය මතුව එන්නේ එයිනි. “ආත්මීය අපෝහක චින්තනයෙන්” ආරම්භ කරන හීලි සහෝදරයා, මිනිසාගේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ඇත හැර දමමින්, විඥානය “සිද්ධාන්තයක්” බවට පරිවර්තනය කරයි. මෙම ප්‍රවිෂ්ටය මිනිසාගේ ඓතිහාසික වර්ධනය තුලින් පැනනගින විඥානවාදයේ මිත්‍යා විශ්වාසය සරල ලෙස ප්‍රති නිර්මානය කිරීමකි.

එංගල්ස් මෙසේ පැහැදිලි කලේය: “එහෙත්, චින්තනයේ සෑම අංශයකදී ම සිදුවූ පරිදි, වර්ධනයේ එක්තරා අවධියකදි, සැබෑ ලෝකයෙන් උකහා ගැනුනා වූ නියාමයෝ සැබෑ ලෝකයෙන් වියෝ කරනු ලැබ, ස්වාධීන දෙයක් හැටියට, බැහැරින් අවතීර්නව, ලෝකය විසින් අනුගත විය යුතු වූ නීති ලෙස පිහිටුවනු ලැබෙති. සමාජයේ ද රාජ්‍යයේ ද දේවල් සිදුවූයේ මෙසේය. මේ ආකාරයට ය, වෙනස් ආකාරයකට නොවේ. ශුද්ධ ගනිතය, මෙම ලොවෙන්ම උකහා ගනු ලැබූ නමුත්, එහි අන්තර් සම්බන්ධයෙන් එක කොටසක් පමනක් නියෝජනය කරන හෙයින් අන්තිමේදී ලෝකයට යොදන ලදී. එය එසේ යෙදිය හැකි වුයේ හරියටම මේ නිසාමය. විඥානයට “සිද්ධාන්තයන්ගේ අර්ථ භාරය ලැබිය හැකිය යන්නය ඩූරිංගේ සංකල්පය විය, (ඩූරිං විරෝධය- 54 පිටුව)

18. හේගල්ගේ නීතිය පිලිබඳ දර්ශනය ගැන මාක්ස් ගේ ගුනදෝෂ විචාරයේදී, ඔහුගේ මෙම විඥානවාදී අපෝහකයේ මූලික වරද මෙසේ පැහැදිලි කලේ ය: හෙගෙල් තමාගේ අවධානය යොමු කල සංයුක්ත අධ්‍යයනයේ සෑම අංශයකදීම අප ඉදිරියේ දක්නට ලැබෙන්නේ තර්කයයි. එබැවින් චලනය හැම විටම චින්තනයෙන් පෙරට ගමන් කරන අතර එබැවින් සම්බන්ධය පිහිටන්නේ වියුක්ත තර්කය ලෙසය. හෙගෙල් ගේ රාජ්‍යය පිලිබඳ විග්‍රහය සම්බන්ධව හේගල් පැහැදිලි කල අයුරු:

“මෙසේ සංක්‍රමනය උකහාගෙන ඇත්තේ, පවුලේ සුවිශේෂ ස්වභාවයෙන්- රාජ්‍යයේ සුවිශේෂී ස්වභාවයෙන් නොව, අවශ්‍යකත්වය සහ නිදහස අතර පොදු සම්බන්ධතාවයෙනි. සාරයේ ක්ෂේත්‍රයේ සිට සංකල්පයේ ක්ෂේත්‍රය දක්වා වන සංක්‍රමනය පෙන්වා ඇති පරිද්දෙන්මය. ස්වභාව ධර්මය පිලිබඳ දර්ශනයේ දී ද අනින්ද්‍රිය ස්වභාවයේ සිට ජීවයේ දර්ශනවාදය කරා සංක්‍රමනය අත්කර ගෙන තිබෙන්නේද මෙම සංක්‍රමනය මය. දැන් ඒ හෝ මේ ක්ෂේත්‍රය සඳහා ආත්මය සම්පාදනය කරන්නේ ද එම ප්‍රවර්ගයන් විසිනි. ඉතුරුව ඇත්තේ අදාල වියුක්ත ගුනයන් සඳහා වෙන් වෙන් වූ සංයුක්ත ගති ලක්ෂනයන් අහුලා ගැනීමය. ( මාක්ස් එංගල්ස් වෙලුම 3, පි 10 )

19. හීලි සහෝදරයා සංඥානනයේ සිට විඥානය දක්වා සංක්‍රමනය ඉටු කිරීමේ ලා යොදාගන්නේ ද මෙම අතිශය විඥාන වාදී පටිපාටිය ය: සංවේදනයේ සිට දැනුවත් චින්තාව (සහ වටිනාකම් ආකෘතියේ චලනය) කරා සංක්‍රමනය අර්ථ කථනය කර ඇත්තේ ස්ථිතිය, භංගය, උත්පාදය, හේතුව, ඵලය සහ පොදුවේ නිශේධනයේ අභ්‍යන්තර චලනය යොදාගෙනය ය. හීලි සහෝදරයා මෙසේ ප්‍රකාශ කරයි, “පරම සාරය (නිශේධනීය ඡායාමාත්‍රය), ප්‍රතිවාදය තුල දී සාධනීය ඡායාමාත්‍රය බවට පත් වන්නාවූ අපගේ ඥානවිභාගයට මුහුනදී සිටිනා තතු තුල අපි ඥානන සන්තතියේ ඉන්ද්‍රිය ගොචර අවධිය අවසන් කර ඇත්තෙමු.” හීලි සහෝදරයා මෙසේ ප්‍රකාශ කරයි: “ඥානන ක්‍රියාවලියේ සංඥානන අවධිය අපි පසු කර ඇත්තෙමු.”

මේ සියල්ල ඉෂ්ටවී ඇත්තේ සරලවම හෙගේලියානු තර්කයේ ප්‍රවර්ගයන් ආශ්‍රයෙනි. වෙනත් වචන වලින් කිවහොත් අපට හමුවන්නේ, යථා සන්තතිය ලෙස ඉදිරිපත් කරන, ගූඪ ක්‍රියාවලියකි. ලෙනින්ගේ 38 වන වෙලුමේ 283 වන පිටුවෙන් කොටසක් උපුටා දක්වන හීලි සහෝදරයා, 281 වන පිටුවේ එන ලෙනින්ගේ අතිශය අර්ථභාරී උපවදනක් සඳහන් නොකරයි:

“අපෝහකයේ සහකරු වූ හේගල්, පදාර්ථයේ සිට චලනය කරා, පදාර්ථයේ සිට විඥානය කරා වන අපෝහක සංක්‍රමනය විශේෂයෙන්ම දෙවැන්න වටහා ගැනීමට සමත් වූයේ නැත. ගුඨ වාදියාගේ වරද ( හෝ දුබලකම ?) මාක්ස් නිවැරදි කලේ ය.

ඉතා වැදගත්

“ පදාර්ථයේ සිට විඥානය කරා පමනක් නොව සංවේදනයේ සිට චින්තනය කරා සංක්‍රමනය ද අපෝහකය:

20. ඥානන න්‍යාය වර්ධනය කල යුත්තේ කෙසේ ද යන්න පිලිබඳ සාධනීය යෝජනාවක් තුලින් ලෙනින් සිය විවේචනය තවදුරටත් වර්ධනය කරයි. ඔහු සංවේදී ඉන්ද්‍රියයන්ගේ “මනෝ විද්‍යාව” සහ “කායික විද්‍යාව” ඇතුලත් කරයි. සලකුනු කර ගත යුතුව ඇත්තේ, ඉහත සඳහන් ක්ෂේත්‍ර දෙකම “විවිධ විද්‍යාවන්ගේ” දරුවාගේ මානසික වර්ධනයේ, සතුන්ගේ මානසික වර්ධනයේ, භාෂාවේ ඉතිහාසය සැ .යු.” පිලිබඳ ඔහුගේ යෝජනාවන්ට ඇතුලත් කර ඇති බවයි. ඔහු මෙසේ ද කියයි. “ඥාන විමංසාව සහ අපෝහකය ගොඩ නැගිමේදී පදනම් කර ගත යුතු ඥාන ක්ෂේත්‍ර, කොටින් කිව හොත් පොදුවේ ගත් කල ඥානනයේ ඉතිහාසයයි. ඥානනයේ සකල ක්ෂේත්‍රයයි.” (පි, 351)

21. ලෙනින් අපෝහකයේ වර්ධනය කල්පනය කලේ එසේ ය. ප්‍රථමයෙන් හෙගෙල් විසින් විස්තාරනය කරන ලද අපෝහකය භෞතිකවාදීව ගැඹුරු කිරීමේ ලා ලෙනින් කල යෝජනාව මෙයයි. හීලි සහෝදරයාගේ ප්‍රවිෂ්ටයේ සාරභූත දුබලකම නම් ඔහු ගමන්කර තිබෙන්නේ මීට ප්‍රතිවිරුද්ධ දිසාවට වීමය. ඒ වනාහි හේගලියානු ප්‍රවර්ගයන්ගේ ගුඪ නිර්මිතයන් කරා පසුබැස, ඉක්බිති ඒවා කෝකටත් යතුරක් ලෙස යොදාගැනීම ය. වෙනත් වචානවලින් කිව හොත් ඔහු ගුඪ පද්ධතිය රැකගන්නා බවය. මෙවන් ප්‍රවිෂ්ටයක් නිවැරදි විය නො හැකිය.

IV. හීලිගේ අධ්‍යයනයන් පිලිබඳ වැඩිදුර සටහන්:

ඔක්තෝබර් 11-16, 1982

“විඥානවාදී චින්තනය සෑම විටම සමපේක්ෂනකාරී වන්නේ එය ප්‍රතිඝතිත්වය බැහැර කරන නිසා ය.” !!! පිටුව 12

මෙය දෙයාකාරයකින් වැරදිය: විඥානවාදී චින්තනය ප්‍රතිඝතිතාවය බැහැර කරන්නේ යයි කියනු ලැබේ. එපමනක් නොව එය සමපේක්ෂක ස්වභාවය එය බව ද කියනු ලබේ.

1. ප්‍රතිඝතිතාවය ප්‍රථමයෙන් ම ස්පෂ්ට කොට දැක්වූයේ ද එය තර්කයේ පදනම කලේ ද විඥානවාදය විසිනි. මෙය සමපේක්ෂන චින්තනයේ මහා ජයග්‍රහනය යි. අපෝහක විධික්‍රමය පැන නැංගේ විඥානවාදී සමපේක්ෂනයේ ඵලයක් ලෙසය.

2. හෙගෙල් පැහැදිලිවම “සාමාන්‍ය” චින්තනයට ප්‍රතිපක්ෂව ”සමපේක්ෂක” චින්තනය පිහිටවූයේ මේ ආකාරයට ය, මුලින් කී වර්ගයේ චින්තනය “ප්‍රතිඝතිතාවය පිලිකෙව්” කරයි. (තර්කයේ විද්‍යාව, 442 පිටුව)

3. ප්‍රතිඝතිත්වය බැහැර කර දැමුවේ යාන්ත්‍රික භෞතික වාදය විසිනි. එහි ප්‍රධාන වැරැද්ද වූයේ ද එයයි.

4. “ඥානනයේ සන්තතිය, විඥානය අර්ථ කථනය කරන්නේ හුදෙක් පැවැත්මේ (භවයේ) අකර්මන්‍ය පිලිබිඹුවක් හැටියට නොවේ. (10 පිටුව) මෙහිදී ඥානනයේ සන්තතියට මානව පෞරුෂයක් ලබා දී ඇත: එය තවදුරටත් සන්තතියක් නොවේ. පුද්ගලයෙකු බවට පත්ව ඇත.

5. සෑම ගුනාත්මකව සුවිශේෂ විෂයකට ම තමන්ගේ ම සංඛ්‍යාත්මක විෂයයක් පවතී.. එයට තමාගේම සංඛ්‍යාත්මක ගති ලක්ෂනයන් පවතින අතර, ඒවාට අචල, නිත්‍ය ගති ලක්ෂන පවතී. (පිටුව 6)

(ඇත්තවශයෙන් නම් ) ස්වභාව ධර්මය තුල අචල, නිත්‍ය කිසි දෙයක් ඇත්තේ නැත. චලනය වනාහි පදාර්ථය පැවැත්මේ ස්වභාවයයි.

6. ඉක්බිති කියවෙන දෙයින් මෙම ඡේදය තව තවත් දුරවබෝධ කරනු ලැබ ඇත.

“මෙම පරිවර්තනය ම, අවශ්‍යයෙන් ම සමහර සීමාවන් විසින් බන්ධිත වේ,”

අපි අචල්‍යතාවයේ සිට නිත්‍ය භාවය කරා ගමන්කර සිටිමු.. “මෙම පරිවර්තනය ම”

7. “පදාර්ථයේ ස්වයං චලනය ම ඡායාමාත්‍රය, දෘෂ්‍යමානය සහ තත්‍යතාවය හරහා චින්තනයේ චලනයට තනිකර වග කිව යුතුය; වියුක්ත මතියේ අවධිය කරා එලඹී කල්හි, භාවිතයම පදාර්ථයේ ස්වයං චලනය ජනනය කරයි.”

පදාර්ථයේ චලනයම විශ්වයේ පැවැත්මේ ආකාරයයි. භාවිතය, මානව භාවිතය, වනාහි ස්වභාවධර්මයේ චලනයේ කොටසකි. පදාර්ථයේ චලනය ට භාවිතය සම්බන්ධ වගකීමක් නැති ද?

8. සෑම මට්ටමකදී ම අංශුන්ගේ අන්තර් ක්‍රියා කිරීමේ ශක්‍යතාවයෙන් තොරව, ඒ හැටියට පදාර්ථයටම පැවතිය නොහැකි වේ.” (7පිටුව)

විද්‍යාවේ ආස්ථානයෙන් ගත් කල්හි මෙය වනාහි විකාර කතාවකි. එංගල්ස් ලියාතුබු පරිදි සැ.යු. ඒ හැටියට ගත් පදාර්ථය වනාහි වියුක්තයකි. හුදෙක් චින්තනයේ නිර්මානයකි. සංකල්පමය ද්‍රව්‍යය ලෙස ශාරීරිකව පවත්නා දේ හැටියට එකට දැමීමේ දි අපි, ඒවා යේ ගුනාත්මක වෙනස්කම් අත්හැර දමන්නෙමු. එ හෙයින් නිශ්චිතව ම පවත්නා ද්‍රව්‍ය කැබලි වලින් පිටස්තරව ඒ හැටියට ගත් ඊනියා ද්‍රව්‍යය වනාහි ඉන්ද්‍රිය ගෝචර ව පවතින්නක් නොවේ. (ස්වභාව ධර්මයේ අපෝහකය, 55 පිටුව)

“ඒ හැටියට ගත් ද්‍රව්‍යය” නො පවතී. මෙම පදය පාවිච්චි කරනු ලැබීම ම පෙන්නුම් කරන්නේ, හීලි සහෝදරයා අපෝහක භෞතික වාදය අතහැර දමමින් හේගලියානු ගුඨ ව්‍යවහාරයට ඇද වැටී ඇති අන්දමයි.

අනු වල අන්‍යොන්‍ය ප්‍රතික්‍රියාව වනාහි චලනයේ පවත්නා පදාර්ථයේ සාර්වත්‍රික ගති ලක්ෂනයක් බව අපෝහක භෞතික වාදියෙකු විසින් පහසුවෙන් සලකුනු කරගනු ඇත.

9. “අපෝහකව සහ භෞතිකවාදිව අනුභූති වාදයෙන් එක්රැස් කර ගත් ඥානයේ පුලුල් සහ පෝසත් මූලාශ්‍රයන් ප්‍රගාමීව පුලුල් වන්නා වූ තතු තුල, අනුභූතික නිරීක්ෂනය සහ පරීක්ෂනය මගින් එක්රැස් කර ගත් කරුනුවල ගැඹුරුම අංශයන්, අප සඳහා යොදාගැනීමට නම් අප කටු පඳුර විස වැඩිම තැනින් අල්ලා ගැනීමට සූදානම් විය යුතු ය.” (8 පිටුව) (අවධාරනය එකතු කරන ලදී)

මෙය හැන්සන්ගේ ස්ථිරසාර අනුභූති වාදය = අපෝහක වාදය ය යන්නටත් ඔබ්බට ගමන් කරයි. මේ අනුව නම්, අප විසින් ඥානය රාශිභූත කෙරෙන්නේ අනුභූතිවාදය ඇතුලත අපෝහකව සහ භෞතිකවාදිවය. ප්‍රති විරුද්ධ විධික්‍රම දෙකක්, අනුභූතිවාදයේ ක්‍රියාකාරිත්වයේ විශේෂන ලෙස අපෝහකව සහ භෞතිකවාදීව යන පද දෙක යොදාගැනීම මගින් ඒකාබද්ධ කරනු ලැබේ. නිශ්චිත ධනේශ්වර දෘෂ්ටිවාදයක් වූ අනුභූතිවාදය, ඥානය රැස්කර ගන්නේ අපෝහකව සහ භෞතිකවාදීව යයි කීමෙන් අප අපගේ කාර්ය ධරයන් පුහුනු කරන්නේ කෙසේ ද? මිනිසා අපෝහක ස්වාභව ධර්මයේ කොටසක්ය යන අර්ථයෙන්, ඔහුගේ චින්තනය වෛෂයික නීති අනුව ගමන් කරන්නේය යන අර්ථයෙන් අප කතාකරන්නේ නම්, එවිට අප කතා කරන්නේ ට්‍රොට්ස්කි පෙන්වාදුන් පරිදි හොද්ද දිවගා බලන ගොවි ගැහැනිය මෙන්ම, කුකුලෙකුගේ තරම සැලකිල්ලට ගන්නා නරියෙකු මෙන්ම “අවිඥානක අපෝහකය” ගැනය. එහෙත් අපෝහක භෞතික වාදය වනාහි දැනුවත් විධික්‍රමයකි. එය වර්ධනය වන්නේ, අනුභූතිවාදයට එරෙහි අරගලය තුලය. ඒ දෙක එකට එක් කිරීමෙන් කිසිවක් අත්කරගත නොහැක්කේය.

10. “ආත්මීය ඥානනය ප්‍රතිවාදය හරහා ඥානනයේ න්‍යාය අන්තර් විනිවිදින විට, එය භවය ලෙස සැකසීගනී. උදාහරනයක් හැටියට විද්‍යුතය සම්බන්දයෙන් ධන හා රින වන පරිදි සැකසේ. (6 පිටුව)

මේ වනාහි මුල සිට අගට ගූඪ හෙගේලියානු වාදයයි. මිනිසා “ස්වයං විඥානය” බවට ප්‍රතිවර්තනය කරනු ලැබේ. හීලි සහෝදරයා එය ආත්මීය ඥානනය ලෙස දැක්වීමට පෙලඹෙයි. ආත්මීය ඥානනය තව දුරටත් මිනිසාගේ ගුනාංගයක් නොවේ. ඒ වෙනුවට එය “භවය බවට කොන්දේසි ගත කෙරුනු” ස්වාධීන විෂයක් බවට ප්‍රතිවර්තනය කෙරේ.

හීලි සහෝදරයා එතැනින් “අපෝහක ප්‍රවර්ගයක්” ලෙස භවය කරා ප්‍රවිෂ්ට වේ. එමගින් භවය පිලිබඳ ස්පිනොසා වාදී සංකල්පය ගුඨ කරනයට පාත්‍ර කරයි. එය තවදූරටත් භවය ලෙස ගන්නා ලද භවය නොවේ, එහෙත් භවය “අපෝහක ප්‍රවර්ගයක්” ලෙස ගැනීමකි. ආත්මීය ඥානනයේ විධියක් ලෙස, වෙනත් වචන වලින් කිවහොත්, හෙගල් බඳු වූ ස්පිනොසා කෙනෙක්.

ඒ ගැන නොදැනුවත්වම හීලි සහෝදරයා, මාක්ස් හෝලි ෆැමිලි (ශුද්ධවූ පවුල) කෘතියේ යම් විචාරාත්මක ගූඪකරන පිලිවෙතකට එරෙහිව සටන් වැදුනේ ද එම මුලු පිලිවෙත ම වචනයක් වචනයක් පාසා ඉදිරිපත් කිරීමට සමත් වේ.

“ස්පිනෝසාවාදී විවේචන අතික්‍රමනය කිරීමේ දී (වාම හෙගේලියානු) විචාරය, හෙගේලියානු විඥානවාදයට ඇද වැටුනු සැටි උද්ධෘත කිහිපයකින් පෙන්වාදිය හැකිය. එය “භවයේ” සිට තවත් අධිභෞතික මෘගයෙක් එනම් “ඥාතෘ”, “භවය සන්තතියක් ලෙස”, “අපරිමිත විඥානය” සහ අවසාන ප්‍රතිවිපාකය ලෙස ‘පරිපූර්න’ සහ ‘පිරිසුදු’ විචාරය, මැවීම පිලිබඳ ක්‍රිස්තියානි න්‍යාය සමපේක්ෂනාත්මක හෙගලියානු ආකෘතියකින් ඉදිරිපත් කිරීමකි. ( ශුද්ධවූ පවුල, 170 වන පිටුව )

සිත් ගන්නා කරුන නම්, මුලු වාග්මාලව ම, “පරිපූර්න”, “අපරිමිත විඥානය”, “හරය” “විෂය” යනාදී වශයෙන් (හීලි සහෝදරයාගේ), අධ්‍යයනයන්හි කිසියම් තැනක සොයාගතහැකි වීමය.

“බවර් මහතා, “හරය එහි තාර්කික සරල බවින් මුදා, එයට ප්‍රජාවේ බලය තුල නිශ්චිත පැවැත්මක් අත්කර දෙයි.” ‘ඔහු කලේ -යථාර්ථයෙන් උකහා ගනු ලබන වියුක්තයන් වන- අධිභෞතික ප්‍රවර්ගයන්’ තර්කය තුලින් පහල වන්නාවූ, චින්තනයේ සරලබව තුලට දියකර හැර “භෞතික හෝ මානුෂික පැවැත්මේ නිශ්චිත රූප ලබා දෙන හෙගේලියානු ප්‍රාතිහාර්යය යොදාගැනීමයි.” (පිටුව, 170)

“බවර්ගේ ස්වයංවිඥානය වනාහි, ස්වයං විඥානය බවට ඔසොවනලද හරය නැතහොත් හරය ලෙස ස්වයං විඥානයයි. මෙසේ ස්වයංවිඥානය මිනිසාගේ ගති ලක්ෂනයක සිට ස්වයං භූත විෂයක් බවට පත් කරනු ලැබේ. මේ වනාහි සොබාදහමින් වියෝ කරුනු මිනිසා පිලිබඳ අධි භෞතික තාර්කික විකට රූපයයි. මෙම ස්වයංවිඥානයේ පැවැත්ම වනාහි මිනිසා නොව, ස්වයං විඥානය ම සැබෑ පැවැත්ම කොටගත් චින්තාවයි. එය වනාහි මිනිසා බවට පත් වූ චින්තාවයි; එහෙයින් එය අපරිමිත වේ. මේ අනුව බවර් මහතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ, සියල්ලටම ආරම්භයක් ඇති බවත්, මෙම ස්වයං විඥානයෙන් පැහැදිලි නො කරන පරිදි එහි පැවැත්මේ පදනම සාක්ෂාත් කර ගන්නා බවයි. (පිටු- 171-72 )

11. ඉහත විස්තර කෙරුනු විධික්‍රමය නිදර්ශනයක් ලෙස අපි හීලි සහෝදරයාගෙන් ගත් පහත සඳහන් උද්ධෘතය පිරික්සා බලමු.

ආත්මීය ඥානනය වනාහි තීරනාත්මක හැඟීමකි. ප්‍රති වාදය සහ අන්තර් පරිනිවෙෂනය මගින් එය “ඥානන න්‍යාය” බවට සහ මානසික ලෝකය! තුලට නිෂේධනය කරනු ලැබේ. එය සිදු කරනු ලබන්නේ හේතු ඵලතාවත් හරයත් ආවශ්‍යකත්වය හරහා අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය මගින් වියුක්ත මතිය කරා පිනීමට පවත්නා ආවශ්‍යකත්වය තුලිනි.” (6 පිටුව )

ආත්මීය ඥානනයේ සිට පුද්ගලයා දේහගත කරගන්නා මානසික ලෝකය තුලට. සරලව කිවහොත්, මෙය වනාහි තනිකර විගනන වාදයයි: පුද්ගලයා මානසික ලෝකය තුලට දේහගත කෙරේ; මිනිසා ස්වයං විඥානයයි.

12. එසේම මෙම සමස්ත වාදයේම සමපේක්ෂනාත්මක නිර්මිතය පිලිබඳව සැකයක් තිබිය නොහැකිය. අපි තවත් පහලින් එන කොටසකට ගමන් කරමු:

“පුද්ගලයා හා සාර්වත්‍රිකය අතර ස්වයං සම්බන්ධය ද එහි ප්‍රතිලෝමය ද තුලදී චින්තනයේ අපෝහක සන්තතිය වියුක්ත මතියෙන් පරිපූර්න කෙරෙයි. මතියෙහි සාධනීය අංශය සම්පාදනය කරන බාහිර ලෝකය න්‍යායික මතියම වන්නේය. චින්තනයේ සිට වෛෂයික භාවිතය කරා ප්‍රායෝගික ආවේගය පැනනැග පවත්නේ ආත්මීය ස්වයං ආවේගයෙනි.”

මානසික ලෝකය පුද්ගලයා අඩංගු කරගන්නා බව අපට කල් තබාම ම දන්වනු ලැබ ඇත. හොඳටම වැඩි වුවොත් පුද්ගලයට පත්විය හැක්කේ ආත්මීය ඥානනය බවට පමනි. පුද්ගලයා සහ සාර්වත්‍රිකය අතර ස්වයං සම්බන්ධතාව කුමක් ද ? හෙගල්ට අනුව නම් එය පරම ආත්මය සහ විඥානයේ අපෝහක චලනය අතර ය.

තව දුරටත් ඉදිරියට යතොත් අපට මෙසේ අසන්නට ලැබේ, මතිය යනු හුදෙක් එහි සාධනීය පැත්ත සම්පාදනය කරන න්‍යායික මතියම බාහිර ලෝකය ය (!) .

මෙය පදනම්වී ඇති සම්පූර්න සංකල්පය පැනනගින්නේ මිනිසා වනාහි ස්වයං විඥානය හැර අන් කිසිවෙක් නොවේ ය යන්න පිලිගැනිමකිනි. සියලු විඥානවාදයන්හි දී මෙන්, සාර්වත්‍රිකයේ චලනය සැබෑ සහ යථා වන්නේ ඔහුගේ මෙම විඥානීය ස්වයං චලනයෙනි. ( පිටුව, 177)

හේගල් මිනිසා වෙනුවට ස්වයං විඥානය ආදේශනය කරයි, මානව යථාර්ථයේ අතිශය විවිධ ප්‍රකාශනයන් පහලවන්නේ, ස්වයං විඥානයේ නිශ්චිත රූපයන් ලෙස ය, නිශ්චිත ආකෘති, නිර්නිතතා ලෙසය. එහෙත් ස්වයං විඥානයේ හුදු නිර්නිත භාවය පවිත්‍ර ප්‍රවර්ගයක්, හුදු සිතුවිල්ලක් පමනි. එහෙයින් මට එය ‘හුදු’ චින්තාව තුලම අතික්‍රමනය කල හැකි ද අභිභවනය කල හැකි ද වෙයි. හෙගල්ගේ ෆෙනොමෙනොලොජි ( ප්‍රපංච විද්‍යාව) තුල, ද්‍රව්‍යමය, ඓන්ද්‍රීයව ම දැක ගත හැකි වූ මානව ස්වයං විඥානයේ නානා ප්‍රකාර පරාරෝපිත ආකෘතින්ගේ වෛෂයික අත්තිවාරම් වල පැවැත්මට ම ඉඩ තබා ඇත.

මුලු විනාශකාරී කට යුත්ත ම අතිශයින්ම තත්වාරක්ෂක දර්ශනයක ඵලය වන්නේ එය තමන් වෛෂයික ලෝකය, ඓන්ද්‍රීයව දැක ගත හැකි සැබෑ ලෝකය, චින්තනයේ පැවැත්මක් බවට, ස්වයං විඥානයේ හුදු නිර්නිතතාවක් ලෙසට පරිවර්තනය කොට ඇති යයි සිතන හෙයිනි. පවිත්‍රතාපාත්‍ර එහි ප්‍රතිවාදය ද අතික්‍රමනය කොට, පවිත්‍ර චින්තාවේ අන්තරික්ෂයේ ද්‍රවනය කර දැමීම කල හැකියයි සංකල්පනය කරයි.

මානව යථාර්තය පරමඥානය මගින් විස්ථාපනය කරන ප්‍රපංච විද්‍යාව, එහෙයින්ම මැනවින් සුසන්ගත ද වේ. එසේ වන්නේ, මේ අනුව ඥානය මිනිසාගේ පැවැත්මේ එකම ආකාරය යයි සලකනු ලබන හෙයින් ද ස්වයං විඥානය තමන්ම පමනක් දන්නා හෙයින් ද තවදුරටත් වෛෂයික ලෝකය විසින් කම්පනය නොවන හෙයින් ද වේ. හේගල් ස්වයං විඥානය වෛෂයික ලෝකය තුල ජිවත් වන්නාවූ ද එම ලෝකය විසින් නිර්නිතවූ ද මිනිසාගේ ස්වයං විඥානය බවට පත් කරනවා වෙනුවට කරන්නේ, මිනිසා ස්වයං විඥානයේ මිනිසා බවට පත් කිරීමය. ඔහු ලෝකය එහි හිස මත සිටුවයි, එහෙයින්, සකල සිමාසහිතකම්ම තමන්ගේ ඔලූව තුල දියකර ද හරියි. එහෙත් ඒවා (ඒ සීමා සහිතතා) සදොස් ඉන්ද්‍රිය ගෝචර තාවය තුල, එනම් පෘතග්ජන සැබෑ මිනිසාගේ පැවැත්ම තුල සැබවින්ම පවති. එතකුදු නොව, ස්වයං විඥානයේ සෑම සීමාවක්ම හෙලිදරව් කරන - සකල ඉන්ද්‍රිය ගෝචර තාව ද යථාර්තය ද මිනිසුන්ගේ ද ඔවුන්ගේ ලෝකයේ ද පෞද්ගලිකත්වය ඔහු (හෙගල්) විසින් සලකනු ලබන්නේ සීමාවක් පරිද්දෙනි. ප්‍රපංච විද්‍යාවේ (Pyenomenology) සමස්තයම එකම යථාව මෙන්ම සියලූ යථාව ද ස්වයං විඥානය බවට පත්වෙයි. (එම, හෝලි ෆැමිලි: පිටු 238-39)

“අවසානයේ දී නොකිව්වත් පැහැදිලිවන කරුන නම්, හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව එහි සමපේක්ෂි ප්‍රාරම්භ පාපයෙන් යුක්ත නමුත් බොහෝ අවස්ථාවලදී මානව සම්බන්ධතා පිලිබඳ සැබෑ විස්තරයක් අත් කර දෙන අතර, ඊට ප්‍රති විරුද්ධව බෲනෝ මහත්මයා සහ සමාගම සම්පාදනය කරන්නේ, පුහු විකාර රූපයක් පමනක් බවය; ඒ වනාහි, අධ්‍යාත්මයේ නිර්මිතියකින් හෝ සැබෑ සම්බන්ධතාවයන් සහ චලනයන් ගෙන් කිසියම් නිර්නිත භාවයක් අත්කර ගෙන එම නිර්නිතභාවය චින්තාවේ ප්‍රවර්ගයක් බවට පරිවර්තනය කොට, එම ප්‍රවර්ගය වනාහි නිර්මිතයේ, සම්බන්ධතාවේ, සහ චලනයේ, ආස්ථාන යයි තහවුරු කොට, ඉක්බිති එමගින්, එම නිර්නිත භාවය මහලු මිනිහාගේ (හේගල් ගේ) පැනැ’ස තුලින්, වියුක්තයේ, පොදු ප්‍රවර්ගයේ, සහ පොදු ස්වයං විඥානයේ ආස්ථානයෙන් විජයග්‍රාහී ව අවලෝකනය කොට සංතෘප්තිය සොයන්නා වූ හාස්‍ය රූපයකි. (එම 239-40 පිටු)

V. හීලි සහෝදරයාගේ “අධ්‍යයනය” පිලිබඳ විචාරයක් සඳහා සටහන් ( ඉදිරියට ගෙන යාම)

1982 නොවැම්බර් 4,

පලමුවන ලිපිය: “ආත්මීය විඥානවාදය අද .”

1. “ප්‍රාරම්භක වශයෙන් අපෝහක භෞතික වාදීන් ලෝකය වටහාගන්නේ ඥානනයේ සන්තතියක් තුලිනි.”

අනෙකුත් මනු සතුන් සියල්ල ට වෙනස්ව “අපෝහක භෞතික වාදීන්” යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද ? “අපෝහක භෞතික වාදීන්” ලෝකය ප්‍රාරම්භක වශයෙන් දැනගැනීමට එලඹෙන්නේ අනෙකුත් සියල්ලන්ට වඩා වෙනස් ආකාරයකින් යයි මෙහිලා යෝජනා කෙරෙන්නේ ද ?

ඒ කෙසේ වෙතත්, “ප්‍රාරම්භක වශයෙන් ලෝකය වටහාගන්නේ ඥානනයේ සන්තතියක් තුලිනි” යන්නෙන් දක්වනු ලබන්නේ කුමක් ද ? ඓතිහාසික වශයෙන් ද සිය පුද්ගලික ජිවන ක්‍රමය තුලදී ද මිනිසුන් ප්‍රාරම්භක වශයෙන් ලෝකය වටහාගන්නේ භාවිතය තුලිනි. විඥානයද බාහිර ලෝකය සංඥානනය කෙරෙන එහි සුවිශේෂ රූපයන් ද පැන නගින්නේ සමාජ භාවිතයේ ඓතිහාසික වර්ධනය තුලිනි.

2. “බාහිර ලෝකයේ චලනයේ සහ වෙනස්වීමේ ආකෘතීන් ලෙස, මෙම ප්‍රතිබිම්බයෝ ප්‍රපංචයන්හි සංකල්ප හැටියට ප්‍රකරනය කෙරෙති. සාධනීය සංවේදනයේ සිට ඒවායේ වියුක්ත නිෂේධනය කරා ද්‍රවනය වීම මගින් ඒවා නිෂේධනය කරන ලද කල්හි ඡායා මාත්‍රයේ ස්වභාවය ලෙස ඒවා මනුසතෙකු ගේ ඥානවිභාගය මගින් යලිත් නනිෂේධනය කරනු ලැබේ. මෙම අන්තර් විනිවිදීමේ සන්තතිය තුලදී චිත්ත රූපයන් ලෙස ගනු ලැබූ සංකල්පයෝ චින්තනයේ හා හේතු දර්ශනයේ විද්‍යාව වන්නාවූ අපෝහක තර්කනයෙන් විශ්ලේෂනය කෙරේ.”

හෙගේලියානු ගුඪ කරනයේ භාෂාව යොදාගන්නා හීලි සහෝදරයා ඉවර කරන්නේ ඥානයේ වර්ධනය පිලිබඳ තනිකර විඥානවාදී සහ අනෛතිහාසික සංකල්පනයකිනි. ඔහු කරන්නේ ගුඪවාදී භාෂාවෙන් (සාධනීය සංවේදනයේ සිට වියුක්ත නිෂේධය කරා ඒවායේ ද්‍රවනය මගින් ඒවා යලිත් නිෂේධනය කරනු ලැබේ.”) චින්තනයේ චලනයේ පුහු වියුක්ත ආකෘතිය, සංකල්පික චින්තනයේ සැබෑ සන්තතිය ලෙස ඉදිරිපත් කිරීමයි. එහෙත් එසේ කිරීමේ දී ඔහු අපට කිසිසේත්ම නොකියන දෙය නම්, සැබෑ සංකල්ප වර්ධනය කරනු ලැබුවේත් වර්ධනය කරන්නේත් කෙසේ ද යන්නයි. අපි මෙසේ ප්‍රශ්න කරමු, “සාධනීය සංනිවේදනයේ සිට ඒවායේ වියුක්ත නිෂේධනය කරා ද්‍රවනය වූ ඉක්බිති ඒවා යලිත් ඡායා මාත්‍රයේ සවභාවය ලෙස නිෂේධනය කෙරේ.” යන්නේ දී අප මෙහි ලා සූත්‍ර ගත කරන්නේ වැඩවර්ජනයක්, රාජ්‍යය, නැත හොත් මීමැස්සෙක් අපගේ අතට විදීම යන මෙයින් කවර සංකල්පයක් ද ?

“චිත්ත රූපයන් ලෙස ගත් සංකල්ප, අපෝහක භෞතික වාදය වන්නාවූ චින්තනයේ සහ හේතු තර්කයේ විද්‍යාව මගින් විශ්ලේෂනය කරනු ලැබේ” යන්නෙහි අර්ථය කුමක් ද?. මේ භෞතික වාදය නොවේ, සහතිකෙන්ම මෙය හෙගල් වත් නොවේ.

3. තව තවත් විඥානවාදී ගුඪකරනයන්: “අපෝහක සංජානනයේ විද්‍යාව තුල ගම්‍ය වූ, සංස්ලේෂනයෙන් ප්‍රතිග්‍රහනය කරගන්නා [!], අපෝහක තර්කනය විශ්ලේෂනය සඳහා සංකල්පයන් [!] ද, ප්‍රවර්ගයන් ද හෙලි කරයි, එමගින් විද්‍යාව [!!] සහ ඥානවිභාගය සහ ඓතිහාසික භෞතික වාදය සක්‍රිය කරයි.” [!!] මෙසේ[!!] “අපෝහක තර්කනයේ නිරන්තරව පරිවර්තනය වන්නා වූ චින්තාවේ ගුනාංගයෝ ආත්මීයය සහ විෂය අතර [!] ස්වයං *සම්බන්ධිතව [!], ඥාන විභාගය සමග භෞතිකව සංසන්ධි ගත වෙති.”

මෙහි ලා අපෝහක තර්කනය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඥාන විභාගය පමනක් නොව ඓතිහාසික භෞතික වාදය ද සක්‍රිය කරන්නාවූ ස්වාධීන කර්තෘ (විෂය) ලෙස ය!!

4. “ඓතිහාසික භෞතික වාදය විධික්‍රමයක් ලෙස” යන මීලඟ කොටසේ මෙසේ කියනු ලැබේ.

“ඓතිහාසික භෞතික වාදය වනාහි විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ විධික්‍රමයකි, එය පදනම් වී ඇත්තේ සිය විෂය ඥානනය කිරීම මතය. එම විෂය වනාහි පුද්ගලයින් හැටියට එකිනෙකාගෙන් ස්වාධීනව ලෝකය වෙනස් කිරීමේ අභිප්‍රාය සහිත දැනුවත් මනු සතුන් ගෙන් සමන්විත සමාජයයි.”

ඓතිහාසික භෞතික වාදය විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ “විධික්‍රමයක්” ලෙස නිර්වචනය කිරීම සාවද්‍ය ය. ලෙනින් පැහැදිලිකල පරිදි එය වනාහි, “භෞතික වාදය සමාජමය ප්‍රපංචයන්හි ක්ෂේත්‍රය තුල ස්ථිර සාරව යෙදීම සහ ඉදිරියට ගෙන යාමය.” එය ප්‍රථම වතාවට “මහජනතාවගේ ජීවිත වල තත්වය විද්‍යාත්මක නිරවද්‍ය භාවයකින් අධ්‍යයනය කිරීම ශක්‍ය කලා පමනක් නොව සමාජ සම්බන්ධතා පර්යායේ වර්ධනය පාලනය කරන වෛෂයික නියාමයන් නිශ්චිත කර ගත්තේ ද විය. (ලෙනින්, එකතුකල කෘති, වෙලුම. 21, පි. 56)

එහි “විෂය” වනාහි “පුද්ගලයින් හැටියට එකිනෙකාගෙන් ස්වාධීනව ලෝකය වෙනස් කිරීමේ අභිප්‍රාය සහිත දැනුවත් මනු සතුන් ගෙන් සමන්විත සමාජය” නොවේ.

ඓතිහාසික භෞතික වාදයේ දාර්ශනික පදනම වනාහි සමාජ පැවැත්ම සමාජ විඥානයෙන් ස්වාධීනව පවත්නා බවයි. මෙහි යෙදෙන “දැනුවත් මනුසතුන්” පිලිබඳ සඳහන, සියලු දෙය මඩ කරන අතර එය ලෙනින් සිය 14 වන වෙලුමේ ඉදිරිපත් කර ඇති, හීලි වර්නනා කරන නමුත් වටහා ගෙන නැති, සංකල්පයන්ට ප්‍රති විරුද්ධය. ලෙනින් මෙසේ ලිවීය: “කුමන හෝ සංකීර්නත්වයක් දරන්නාවූ සියලු සමාජ නිර්මිතයන්හි - විශේෂයෙන්ම ධනේශ්වර සමාජ නිර්මිතයේ - සන්ථවයේ යෙදෙන්නාවූ මිනිස්සු ඉන් තැනෙන්නේ කුමන සමාජ සම්බන්ධ තාවයන් දැයි ද ඒවා වර්ධනය වන්නේ කුමන නීති වලට අනුව දැයි ද දැනුවත් නො වෙති... .” (වෙලුම. 14, පි. 323)

“අභිප්‍රාය” පිලිබඳ සටහන ද ඓතිහාසික භෞතික වාදයෙන් මුලුමනින්ම වියෝ වීමකි. ඉතිහාසය මිනිසුගේ “අභිප්‍රායෙන්” හෝ අධ්‍යාසයෙන් අර්ථකථනය කල නො හැකිය. සමාජමය මිනිසාගේ ඓතිහාසික “අභිප්‍රාය” වටහාගත හැක්කේ, නිශ්චිත භෞතික කොන්දේසි වලින් මතුව එන්නක් ලෙස පමනි.

“පුද්ගලයින් එකිනෙකාගෙන් ස්වාධීනව ලෝකය වෙනස් කිරීම” ගත හොත් ඉන් පෙන්නුම් කෙරෙන්නේ හීලි සහෝදරයා දැන් සමාජමය මිනිසා ද අහෝසි කර ඇති බවය. විඥානයෙන් ස්වාධීනව මිනිසාගේ සාමූහික සමාජ භාවිතය තුලින් වර්ධනය ඉතිහාසයක් වනවා වෙනුවට, (හීලි සහෝදරයා) අපට දී ඇත්තේ පුද්ගලිකව එකිනෙකාගෙන් ස්වාධීන ව ලෝකය වෙනස් කරන අධිෂ්ඨානවත් සහ දැනුවත් මිනිසුන්ගෙන් පැනනගින ඉතිහාසයකි!!

5. “සමහර විට නිෂ්පාදන සම්බන්ධතා නිෂ්පාදන විධිය යන නමින් හැඳින්වෙන අතර ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග “නිෂ්පාදනය උපකරන” යයි හැඳින්විය හැකිය.

ඇත්ත වශයෙන් ම නම්, නිෂ්පාදන විධිය සමන්විත වන්නේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතාවල එකමුතුවෙනි.

අප කිවයුත්තේ හීලී විසින් මාක්ස් වාදය ආත්මීය විඥාන වාදී ලෙස කපා කොටා දැමීම සැබවින්ම වටහාගැනීමට යතුර නම් ඔහුට ඓතිහාසික භෞතික වාදයේ අතිශයින්ම මුලික වූ සංකල්පයන් කෙරේ පවතින මෙම විශ්මය ජනක නොදැනීමයි. හෙගල් සිට මාක්ස් කරා සංක්‍රමනය, වෛෂයික විඥානවාදයක සිට අපෝහක භෞතිකවාදයක් කරා කිසියම් ආකාර හිස් තාර්කික විකාශනයක් ලෙස වටහාගත හැකි නොවේ. අපෝහක භෞතික වාදය ඓතිහාසික භෞතික වාදය බවට සිඳවිය නොයුතු ය. එහෙත් අපෝහක භෞතික වාදයේ ලෝක දෘෂ්ටිය වර්ධනය කිරීම ගමන් කලේ, ඓතිහාසික භෞතික වාදය වර්ධනය කිරීම තුලිනි. මාක්ස් තම කෙටි බුද්ධිමය ස්වයං චරිතාපදානයේ සටහන් කර තැබූ පරිදි ඔහු හෙගල්ගෙන් බිඳීම ආරම්භ වුනේ, “භෞතික අවශ්‍යතා යයි කියන ලද දේ පිලිබඳ ව සාකච්ඡා කිරීමට සිදුවීමේ දුෂ්කර තත්වයට” පත්වූ හෙයිනි. (දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනයට ප්‍රතිපදානයක්, 19 පිටුව) ඉන් පැනනැගි දේශපාලන අරගල, නීතිය පිලිබඳ හෙගේලියානු දර්ශනය “විචාරාත්මකව යලි පිරික්සීමකට භාජන කිරීමට” ඔහු මෙහෙයවා ලීය.

“මගේ පර්යේෂනය මා මෙහෙයවුයේ, නෛතික සම්බන්ධතා වුවත්, දේශපාලන සම්බන්ධතා වුවත් වටහාගත හැක්කේ ඒවාම තූලින් හෝ මානව මනසේ පොදු සංවර්ධනය යයි නම්කරන ලද දෙය මත පදනම්ව හෝ නොව, එයට ප්‍රති විරුද්ධව, ජීවිතයේ භෞතික තත්වයන් තුලින් ඒවා පැන නගින බව තහවුරු කරන, නිගමනයක් කරාය.” (එම පිටුව 20) මාක්ස් එතැන් සිට ඔහුගේ නීති උපුටා දැක්වෙන නිගමන, එනම් ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පයේ සංක්ෂිප්තය සාරාංශගත කරයි. ඓතිහාසික භෞතික වාදයේ සංවර්ධනය, නිල සහ වාම හෙගේලියානු ගුරුකුලය පිලිබඳ විවේචනයක් හරහා ගමන් කරමින්, අපෝහක භෞතික වාදයේ පදනම තහවුරු කරන ලදී. එනම්, හෙගේලියානු තර්කයේ විඥාන වාදී පිට කවරය ගලවා දමා මෙම ක්ෂේත්‍රයේ හෙගල්ගේ සැබෑ සොයාගැනීම් පිලිබඳ න්‍යෂ්ටිය උකහාගෙන, එහි අපෝහක විධික්‍රමය ස්ථාපනය කිරීමය. මෙම සන්තතිය කිසියම් දැඩි කාලනුක්‍රමික සිද්ධි දාමයක් ලෙස නිවැරදිව සංකල්පනය කල නොහැකි ය. එය සැබවින්ම අපෝහක සන්තතියක් විය. එම සන්තතිය තුලදී හෙගේලියානු විධික්‍රමය පුනර්කරනය කිරීම ඉදිරියට ගියේ ඓතිහාසික භෞතික වාදය සාධනීයව විස්තාරනය කර ගැනීම සමගය.

අනෙක් අතට, ඓතිහාසික භෞතික වාදයේ සංවර්ධනය, “සංකල්පික වර්ධනයේ නිවැරදි විධිරූපයක්” ඉල්ලා සිටි. ඒ වනාහි “දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිලිබඳ මාක්ස් ගේ විචාරයට යටින් පවත්නා විධික්‍රමයයි.” ( එම 225 පිටුව)

මාක්ස්වාදයේ සැබෑ න්‍යායික පදනම් ද එහි ඉක්බිති වර්ධනය ද පිලිබඳ සැබෑ අධ්‍යයනයකින් තොරව, කෙනෙකුට අපෝහක භෞතික වාදියෙකු විය හැකියයි විශ්වාස කිරීම වනාහි භයානක මිත්‍යාවකි. හීලිගේ ගැටලුව, සරලව ඔහු හේගල් විසින් ව්‍යකුලත්වයට පත් කරනු ලැබ ඇත යන්න නොවේ. මාක්ස් පෘදොන් ගැන කී පරිදි, “ඔහු අපට දේශපාලන අර්ථ ශාස්ත්‍රය පිලිබඳ සාවද්‍ය න්‍යායක් දෙන්නේ, ඔහු විකාර දාර්ශනික න්‍යායක ධාරකයෙකු වන හෙයින් නොවේ; ඔහු විකාර දාර්ශනික න්‍යායක් අපට දෙන්නේ, අද දින සමාජ සන්තතිය එහි සංදාමතාවයෙන් (අන්‍යොන්‍ය සම්බන්ධයෙන්) වටහාගැනීමට අසමර්ත වන හෙයිනි. (මාක්ස් -එංගල්ස් තෝරාගත් ලිපි 34 පිටුව )

මාක්ස් ඇනන්කොව්ට ලියු ලිපියේ දී පෘදොන් මිනිසාගේ ඓතිහාසික වර්ධනයේ සැබෑ භෞතික පදනම් තේරුම් ගන්නේ නැති බව අවධාරනය කරයි. එහිදී, “පෘදොන් මහතා, ඉතිහාසයේ සැබෑ ගමන් මග වටහා ගැනීමට අසමත් ව, අභූත ඉන්ද්‍රජාලයක් නිර්මානය කොට එය අපෝහක බව ආඩම්බරයෙන් කියා සිටියි. ඔහුගේ ඉතිහාසය හුදෙක් පරිකල්පනයේ මීදුම් බර රාජධානියෙන් ඇරඹී කාලයට සහ අවකාශයට ඉතා උඩින් පියාසර කරන හෙයින් ඔහු දාහත්වන, දහ අටවන සහ දහ නව වන සියවස් ගැන කතාකිරීම අවශ්‍යයි නොසිතයි. කොටින් කිවහොත් මේ ඉතිහාසය නොවේ. හෙගේලියානු කුනු කන්දල්ය. පෘදොන් මහතා සඳහන් කරන විකාශනයන් වනාහි පරම විඥානයේ ගුඪ ගර්භය තුල ඉෂ්ඨ වන ජාතියේ විකාශනයන් ය. මේ ගූඪ භාෂාවෙන් එහි වහන්තරාව ගලවාලුව හොත්, ඉන් පැනෙන්නේ ආර්ථික ප්‍රවර්ගයන් ඔහුගේම මනසේ සැකසී තිබෙන පිලිවෙල ඔහු ඔබට ඉදිරිපත් කරන බවයි. එය වනාහි අතිශය අපිලිවෙල මනසක පිලිවෙල බව ඔබට ඔප්පු කිරීමට එතරම් අමාරු නැත. ” (එම 36 පිට )

අවාසනාවකට මෙන් මෙම පිලිවෙලක් නැති විධික්‍රමය ජාත්‍යන්තර කමිටුව අවමංගත කිරීමට දායකවී තිබේ.

VI. ජී. හීලිගේ “අධ්‍යනයන්හි” දේශපාලන සාරාංශය

1982, නොවැම්බර් 7

1. “අපොහකය පිලිබඳ අධ්‍යයන” ජාත්‍යන්තර කමිටුව තුල සැලකිය යුතු කාලපරිච්චෙදයක් තිස්සේ වර්ධනය වෙමින් පැවති අර්බුදයක් එලියට ගෙනවුත් තිබේ.

2. අවුරුදු ගනනක් තිස්සේ, (මගේ මතයේ හැටියට, මෙය 1976 දී ඇරඹුනු අතර ප්‍රමුඛත්වයට පත්වූයේ 1978 දී ය) අපෝහක භෞතික වාදය සඳහා ද ප්‍රචාරක වාදයට එරෙහිව ද අරගලයේ නාමයෙන් ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කි වාදය සඳහා අරගලයෙන් පිටතට, අතොරක් නැතිව ලුහුටා ගොස් තිබේ.

3. “අධ්‍යනයන්හි” ප්‍රකාශිතව ඇති පරිදි, වෛෂයික තත්වයේ සංයුක්ත හැදෑරීමකින් සාකල්‍යයෙන්ම වියෝ වූ ද, එන්ට එන්ටම ඒක පාක්ෂික සහ පටු වූ ද (හීලි ගේ ) “ඥානනයේ සන්තතිය සහ භාවිතය” පිලිබඳ අධ්‍යයනය මග පාදා ඇත්තේ, අපෝහකය ද හෙගල්ගේ තර්කයේ විද්‍යාව පිලිබඳ ලෙනින්ගේ කෘතීන් ද පිලිබඳ නිර්ලජ්ජිත විඥානවාදී හාස්‍ය රූපයකට ය. එය යලි නිර්මානය කර ඇත්තේ මෙයට වසර 140 කට පෙර වාම හෙගේලියානුවන් ට එරෙහිව සිය ලේඛනවල දී මාක්ස් ද ( 1870 ගනන් වලදී ඩූරිං හෙලිදරව් කරමින් එංගල්ස් ද) සටන් වැද හෙලිදරව් කල එම ගූඪ කාරක රූපාකෘතීන් ම ය.

4. ඓතිහාසික භෞතිකවාදය අමතක කරනු ලැබ ඇත. ලෙනින් කී පරිදි, මාක්ස් සහ එංගල්ස්, “ස්වාභාවිකවම සිය අවධානය බෙහෙවින්ම යෙද වූයේ දාර්ශනික භෞතිකවාදයේ මුදුන් මල වූ ඉතිහාසය පිලිබඳ භෞතික වාදී දෘෂ්ටියට මිස භෞතිකවාදී ඥාන විභාගයට නොවේ.” ( 14 වෙළුම පිටු 320 )

5. වත්මන්හි ජාත්‍යන්තර කමිටුව තුල, මාක්ස්, එංගල්ස් සහ ලෙනින් ගේ මට්ටමට ම හෙගල් ද ඔසොවා තැබී ඇති අතර ට්‍රොට්ස්කි පහත හෙලා ඇත. ඔහුගේ ලේඛන අධ්‍යයනය පිලිබඳ කිසිදු අවධානයක් දැන් නොයෙදේ. (මෙය සරලවම ඔප්පු කල හැකිය. 1978 සිට පැවති සියලු ජාත්‍යන්තර සම්මේලනවලදී ලෙනින්ගේ 14 වන වෙලුම, 38වන වෙලුම සහ හෙගල්ගේ තර්කය පිලිබඳ කෘතිය හා සසඳන කල්හි ට්‍රොට්ස්කිගේ ලේඛන වලට කොතරම් කාලයක් දී තිබේ ද ?

6. ට්‍රොට්ස්කිගේ ලේඛන පිලිබඳ අධ්‍යනය පහත හෙලා ඇති තරමට ම පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ න්‍යායික අංශය ද මුලුමනින්ම පාහේ අතහැර දමනු ලැබ ඇත.

7. “අපෝහකය සඳහා අරගලය” යනුවෙන් බෙදා දෙනු ලබන මාක්ස් වාදයේ ග්‍රාම්‍ය කරනය සමග ජාත්‍යන්තර කමිටුව තුල, විශේෂයෙන්ම කවිප ය තුල, පැහැදිලි අවස්ථාවාදී ලිස්සා යාමක් සිදුවෙමින් පවතී.

8. කවර කලෙකවත්, එම ප්‍රදේශය තුල ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම පිලිබඳ පැහැදිලි ඉදිරිදර්ශනයකින් මෙහෙය වී නොතිබුනු මැද පෙරදිග තුල දැන් කෙරෙන වැඩ කටයුතු ද්ශපාලන සුලඟ හමන අතට, තත්කාරවාදීව අනුගත වීම කරා පරිහානියට පත් ව තිබේ. මාක්ස්වාදීන් ජාතික විමුක්ති අරගල හා ව්‍යාපාර අධිරාජ්‍ය වාදයට එරෙහි ව ආරක්ෂා කිරීමේ විවිධ ජාතික ධනේශ්වර තන්ත්‍රයන්ට අවස්ථාවාදී ලෙස අවිවේචනාත්මක ව සහාය දීමක් ලෙස අර්ථකථනය කරනු ලැබ ඇත. ඊස්රායලය විසින් ලෙබනනය ආක්‍රමනය කිරීමේ ප්‍රතිඵලය, මෙම ප්‍රවිෂ්ටයේ බංකොලොත් බව කඨෝරව හෙලි දරව් කර තිබේ. වත්මන්හි මැද පෙරදිග තත්වය පිලිබඳ ව තක්සේරුවක් කර ගැනීමට ජා.ක. අසමත්ව සිටින අතර රීගන් පාලනයේ රාජ්‍යතාන්ත්‍රික වත්මන් උපාමරු පිලිබඳව පැහැදිලි ආස්ථානයක් තවමත් කවිපය විසින් ගෙන නැත.

9. මෙය එක් රාත්‍රියකින් සිද්ධවූ දෙයක් නොවේ. ජාත්‍යන්තර කමිටුවේ. පිලිවෙත පැහැදිලි නොකෙරුනු ප්‍රශ්න නමැති කුනුවලින් ගහනය:

අ. 1977 ලිබියානු ජමාහිරියාව සමග “සන්ධානය”

ආ. ස්ටැලින් වාදීන් මර්දනය කිරීමට ඉරාක බාත් වාදින්ට දුන් සහාය.

10. ජාත්‍යන්තර කමිටුව මැද පෙරදිග ක්‍රියාවන්හි යෙදී සිටි අවුරුදු 6 ඇතුලත එම ප්‍රදේශයේ පන්ති සම්බන්ධතාවන් විග්‍රහකරන එකදු ප්‍රකාශයක් වත් නිකුත් කොට නැත. කම්කරු පන්තියේ වර්ධනය විශ්ලේෂනය කල එකදු ලිපියක් හෝ ලියවී නැත. සකල අපේක්ෂා සහ අරමුනු උදෙසා, වත්මන් තත්වයට නොනවතින විප්ලව න්‍යාය නොයෙදිය හැකි යයි සලකනු ලැබ ඇත.

11. සිම්බාබ්වේ රාජ්‍ය පිහිටාලීමෙන් කුලුගැන්වුන ස්වාධීනතා අරගලය කෙරෙහි ද වර්ධනයන් පිලිබඳ එම අවිචාර ප්‍රවිෂ්ටය ප්‍රකාශිත වේ.

12. චීනයට පසු යටත් විජිත ලෝකයේ සිදුවූ සුවිසාලම විප්ලවවාදී නැගිටීම, එනම් ඉරානයේ 1979 පෙබරවාරි නැගිටීමෙන් ඉක්බිති මේ වනතුරු කිසිදු විචාරාත්මක විශ්ලේෂනයක් හෝ කෙරී නැත.

13. තත්කාර්යවාදී දෛනික එහාමෙහාවීම් අතුරින් පැනනගිමින් ඇත්තේ, නිශ්චිතවම පැබ්ලෝවාදී කලල් සහිත දේශපාලන ප්‍රවනතාවකි. මේ අනුව අපට 1981, දෙසැම්බර් 11 දින කවිප දේශපාලන කමිටු ප්‍රකාශය අපට මුනගැසේ. එහෙත් “ගඩාෆි විප්ලවවාදී සමාජවාදය දිසාවට වර්ධනය වී ඇති අතර ඔහු වෙනත් සමහර අරාබි නායකයන් සේ නොව මාලිගා හා අන්තඃපුර හැර පියා සිටී.

“මේ හෙයින් ඔහු ලිබියානු ජනතාවගේ අවිවාදිත නායකයා බවට පත්ව සිටී. බොහෝ රටවල පීඩිත ජනතාවගේ නැගිටීම් සමග ඔහුගේ නම සමානාර්ථ බවට පත්ව ඇත.” (1981 දෙසැම්බර් 12, නිව්ස් ලයින් )

14. මෙවන් ආවේගවාදී ප්‍රවිෂ්ටයක අන්තරායන් පිලිබඳව, පැබ්ලෝවාදයට සහ එස්ඩබ්ලිව්පීයට එරෙහි අරගලය තුලදී අපි බොහෝ වතාවක් අනතුරු හඟවා ඇත්තෙමු ඊස්රායෙල් ආක්‍රමනයට ඉක්බිති සමයේ දී සිද්ධීන්ගෙන් මේ අනතුර ම මොනවට පැහැදිලිවී ඇත.

15. මල්විනාස් යුද්ධය ඇරඹීමත් සමග කවිපය එයට දැක් වූ ප්‍රතිචාරය දේශපාලන අවමංගතවීමේ බරපතල සලකුනක් ලෙස ගත යුතුය. යුද්ධය පුපුරායාමත් සමග, ජා..ක පැරනිම සහ වඩාත් අත්දැකීම් සහිත කොටස, (කවිප), ගත්තේ සාවද්‍ය, සාරභූත වශයෙන් සාමවාදී, පිලිවෙතකි. එය නිවැරදි කරන ලද්දේ සතිදෙකක් ගත වූ පසු ය. අධිරාජ්‍යවාදයට එරෙහිව පීඩිත ජාතීන් ආරක්ෂා කිරීමේ ලා කවිපය විසින් කරන ලද සියලු කටයුතු සලකා බලන කල්හි, අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයකි, මල්විනස් යුද්ධයේදී එම ප්‍රශ්නය වටහාගැනීමට කවිප අසමත් වූයේ මන්ද? යන්න.

16. මේවා වනාහි නොතකා හැරිය හැකි හුදෙකලා සිද්ධීන් නොවේ. අපගේ සමාලෝචනයට ලක් වන්නේ, නිශ්චිත ව අවස්ථාවාදී ප්‍රවනතාත්වයක් අපගේ වැඩ කටයුතු තුල වඩ වඩාත් ඉස්මතුවෙමින් පවත්නා අවුරුදු ගනනාවක් ගැනය.

17. මෙහි අර්ථය නම් අපගේ වැඩ කටයුතු සියල්ල වැරදී ඇති යයි හෝ ජයග්‍රහනයන් අත්පත් කරගෙන නැත යන්න හෝ නොවේ. සත්තකින්ම ප්‍රශ්නය එය නොවේ. එහෙත් ලෝක අර්බුදයේ වේගවත් වර්ධනය ද ස්ටාලින් වාදයේ ගොරතර අර්බුදය සහ සියලූ ප්‍රමුඛ ධනේශ්වර රටවල ජනතාවගේ රැඩිකලීකරනය ද ට්‍රොට්ස්කිවාදය සඳහා ඇති කරන්නේ අසදෘෂ්‍ය අවස්ථාවකි. එහෙත් හරියටම මේ මොහොතේ දී අප අපගේ ට්‍රොට්ස්කිවාදී දල සඟවා ගතහොත් අප සිදු කරනු ඇත්තේ ඉමහත්ම දේශපාලන වරදකි.

උපග්‍රන්ථය: ජී.හීලි ඔහුගේ, “අධ්‍යනයන්හි”’ දී මූලාශ්‍රයන් යොදාගන්නා සැටි

1. හීලිගේ ලිපිවල තවත් අංශයකට විශේෂ අවධාරනයක් දීම වටී. එය මෙම මුලුමහත් මෙහෙයුමට ම යටින් පවත්නා වංචනිකත්වය හෙලිදරව් කරන හෙයිනි. ජි. හීලි කුපන්ඩිත නැන සොරෙකු බව එයින් ඔප්පු වී ඇත. පාන්ඩිත්‍ය යේ කූට ප්‍රාප්තයකු වීමට යත්න දරන හීලි ට අනුන්ගේ අදහස් සහ වචන නයට ගෙන ඒ එසේ බව නොකියා ම ඒවා අලජ්ජව හරඹ කිරීමට පිලිකුලක් නැත. “සෝවියට් ලේඛකයන්ගේ මුලුමහත් ඡේද හොරෙන්ම ම උස්සා “අධ්‍යනයන්හි” ලිපිවලට රිංගවා තිබේ.

2. “අධ්‍යයන” වල 55 වන පිටුවේ අපට දක්නට ලැබෙන වාක්‍යයක් කිසිදු හේතුවක් නොමැතිව ලිපිය තුලට බහා තිබෙන බව පෙනීයයි. සම්පතනයේ මූලධර්මය විසින්, දෙන ලද ප්‍රවර්ගයක වෛෂයික අන්තර්ගතය ඥානයේ අවධියක් හැටියට ද, සම්භාව්‍යතාව සහ ශක්‍යතාවය යන අනෙකුත් ප්‍රවර්ගයන්ට සම්බන්ධිතව ද යනාදී වශයෙන් එහි සම්බන්ධතා හෙලිදරව් කර දී එහි (එම ප්‍රවර්ගයේ) වෛෂයික අන්තර්ගතය නිර්වචනය කිරීමට හැකි කර දෙනු ලැබේ.”

එහෙත් සෝවියට් න්‍යායඥ තියඩෝර් ඔයිස්මන් ගේ අපෝහක භෞතික වාදය සහ දර්ශනවාදයේ ඉතිහාස නම් කෘති යේ 255 වන පිටුවේ අපට ඉහත කී අදහසේ මූලාශ්‍රය දැක ගත හැකිය.

“ආවශ්‍යකත්වය ඥානයේ අවධියක් හැටියට ද සම්භාව්‍යතාව සහ ශක්‍යතාවය යන අනෙකුත් ප්‍රවර්ගයන්ට සම්බන්ධිතව ඥානයේ අවධියක් ලෙස ද සම්පතනයේ මූලධර්ම තුලින්, සිය සම්බන්ධතාවන් හෙලිදරව් කොට අපට දෙන ලද ප්‍රවර්ගයක වෛෂයික අන්තර්ගතය නිර්වචනය කිරීමට හැකි කර දෙනු ලැබේ.”

“කෙසේවෙතත්, සම්පතනය පිලිබඳ මූලධර්මය යෙදීම පිලිබඳ සියලු කරුනු මෙයින් ඉවර නැත, මක්නිසා ද යත්, . උදාහරනයක් හැටියට, ආවශ්‍යකත්වය යන ප්‍රවර්ගය පරිහරනය කරන කල්හි අප කලයුතු වන්නේ, එම දෙන ලද ප්‍රවර්ගයේ අන්තර්ගතය හෙලි කිරීම සහ ඥානයේ අවධියක් හැටියට එහි සාපේක්ෂතාවය අවධාරනය කිරීම පමනක් නොව, නීතිය, සාරය, ශක්‍යතාව, අහඹුව, සම්භාව්‍යතාව, පදනම යන ආදී අනෙකුත් ප්‍රවර්ගයන්ට සම්බන්ධිතව නිර්නය කිරීම ද වේ.”

3. “අධ්‍යයනයන්හි” 63 වන පිටුවේ මෙසේ දක්නට ලැබේ, අපෝහක ප්‍රවර්ගයක් ලෙස භවය අවශ්‍ය තත්වයක් හැටියට ස්පුට වී ඇත. එය උපකල්පනය කර නොගෙන, සිතන සිරුර ද සිතන සිරුරක් ලෙස එය ක්‍රියාත්මක වන ලෝකය ද අතර අන්තර් ක්‍රියාකාරිත්වයේ විධි ය ද මූලධර්මියව වටහාගැනීම කල නොහැකිය.”

“සිතන සිරුර” යන මෙම “නව්‍යකරනයේ මූලාශ්‍රය කුමක් ද? මෙම නව්‍ය කරනයේ අනුප්‍රානය ඊ.වී. ඉලියන්කොව්ගේ අපෝහක තර්කය යන කෘතියේ 60 වන පිටුවේ ය. එහි මෙසේ සඳහන් වේ. “මේ අනුව භවය පරම වශයෙන්ම අවශ්‍ය සාධකයක් බව ඔප්පු විය. එය උපකල්පනය කර නොගෙන සිතන සිරුර සහ, එය සිතන සිරුරක් ලෙස ක්‍රියාත්මක වන ලෝකය අතර අන්තර් ක්‍රියාකාරිත්වය මූලධර්මිකව වටහාගැනීම කල නොහැකි විය.” මේ ඡේදය ඉලියන්කොව් ඉදිරිපත් කරන්නේ ස්පිනොසා පිලිබඳ සාකච්ඡාවක් තුල ය. හිලී ගේ ලේඛනයේ දී, මේ ඡේදය ස්පිනෝසා පිලිබඳ කිසිදු සඳහනින් තොරව නිල් ආකාශයෙන් කඩාපාත් කර ඇත.

4. සමහර විට හීලි සහෝදරයාගේ අති දුර්බෝධ ලිපි අතර වඩාත් දුර්බෝධ එක වන්නේ “අනුභූතිවාදය සහ න්‍යායික චින්තනය” නැමති ලිපියයි. “අධ්‍යයන” භක්තිමත්ව පිලිගන්නවුන් මෙම කොටස තේරුම් ගත හැක්කේ සුධීමතෙකුට පමනක් ඉදිරිපත් කල හැකි දෙයක් යයි විශ්වාස කිරීම ගැන ඔවුන්ට සමාව දිය හැකි ය. මෙහිදී කෙනෙකුට අවශ්‍ය වන්නේ 1982 (සමාජ විද්‍යා පිලිබඳ සෝවියට් සඟරාවේ ) නොම්මර 3 සියතට ගැනීම පමනි. එහි ව්ලැඩිමීර් ෂවිරේව් විසින් සම්පාදිත “විද්‍යාත්මක ඥානයේ අනුභූතිවාදී හා න්‍යායික සාරය” යන ලිපිය අන්තර්ගතවේ.

ජී. හීලි 70 වන පිටුවේ අපට මෙසේ කියා සිටී. “මෙම මුල් අවධිය තුල විද්‍යාත්මක චින්තනය සෑම විටම පැනනගින්නේ, සංවේදන යාන්ත්‍රනයන් ද චින්තාව ද අතර අන්තර් ක්‍රියාකරිත්වය තුලිනි.” මුල් කෘතියේ ෂවිරේව් මෙසේ ලියයි. “මේ අනුව, විද්‍යාත්මක ඥානය හැම විටම සංවේදන යාන්ත්‍රනයන ද චින්තාව ද අතර අන්තර්ක්‍රියාකාරීත්වයක් පූර්වාපේක්ෂා කරයි.” (සෝශල් සයන්ස්, පිටුව,128)

ජි. එච්. 72වන පිටුවේ මෙසේ ලියයි. “අපගේ අනුභූතික පරීක්ෂනය, විද්‍යාවේ සංකල්පමය යාන්ත්‍රනය සහ ඉන් ඔබ්බෙන් පවත්නා වූ යථාර්තය අතර සම්බන්ධතාවයන් අනන්‍ය කර ගැනීම දෙසට ඥානනය යොමු කරයි. එම සම්බන්ධතාවය දැක ගනු ලබන්නේ විශ්ලේෂනය මගින් එය සමස්තයක් වශයෙන් සංකල්පික ක්ෂේත්‍රයට ඔබ්බෙන් පවත්නා ලෙසය. එය ජීවමාන සංකල්පික ක්ෂේත්‍රයෙන් සමස්තයක් වශයෙන් ඔබ්බේ යයි එලිදරව් කරනු ලබන්නේ විශ්ලේෂනය මගින්ම පමනි.” අප අමතක නොකලයුත්තේ, “විද්‍යාව වෛෂයික යථාර්ථය පිලිබඳ ඥානයක් මිස කිසියම් ආවෘත සංකල්පික ව්‍යුහයක් සම්පාදනය නොකරන බව අමතක නොකල යුතු ය.”

මෙය අතිශය ප්‍රගාඪ යයි පෙනී යනු ඇත. ඇත්තෙන්ම එය වටහාගැනීම ද අමාරුය. එහෙත් ඊට පෙර පැවති දෙයට සුලු සම්බන්ධයක් පමනක් ඇති මේ අන්තර් ඥානය කරා හීලි එලඹුනේ කෙසේද? ඊට පිලිතුර සඳහා මෙසේ ලියූ ෂවිරෙව් පරිශීලනය කලයුතු ය.

“අනෙක් අතට, අප අනුභූතික පරික්ෂනය ගන්නවා නම්, එහි සාමාන්‍ය ගති ලක්ෂනය වීමට බෙහෙවින් ඉඩ තිබෙන්නේ, විද්‍යාවේ සාංකල්පික යාන්ත්‍රනය සහ සංකල්පනයේ ක්ෂේත්‍රයෙන් ඔබ්බේ පවත්නා වු ද අවසාන විග්‍රහයේ දී ජීවමාන සංකල්පනයේ දී ගනු ලබන්නා වූ ද යථාර්තය අතර සබන්ධතාවයයි. එවන් සම්බන්ධතාවන් නිර්නය කර ගැනීම වනාහි විද්‍යාත්මක සංඥානයේ අත්‍යවශ්‍ය කෘත්‍යයක් වන්නේ; එම විද්‍යාත්මක ඥානනය ඉටු කරනු ලබන්නේ නිශ්චිතවම අනුභූතික නිරික්ෂනයෙන් නිසාය. එය එසේ වන්නේ විද්‍යාව වනාහි කෘත්‍රිම සාංකල්පික ව්‍යුහයන්ගේ සංවෘත්ත ක්ෂේත්‍රයක් නොවන හෙයිනි, වෛෂයික යථාර්ථය පිලිබඳ දැනුම වන හෙයිනි.. . ” (එම 130- 31 පිටු )

ජි. එච්. 72 වෙනි පිටුවේ මෙසේ ලියයි: අනුභූතික සහ න්‍යායික සංකල්ප අන්තර් ක්‍රියාවේ යෙදෙන කල්හි, එම අන්තර්ක්‍රියාව තුල ඉතා නිශ්චිත කෘත්‍යයක් ඉටු කෙරේ. මෙය සිදුවන්නේ නිරීක්ෂනයේ සහ පර්යේෂනයේ සොයාගැනීම්වල ප්‍රතිපල වලට අනුකුලව ඥානන සන්තතියම තියුනු කිරිම වශයෙනි. (එම, 131 පිටුව)

සිය මුල් ලිපියේ දී ෂවීරෙව් මෙය වඩා හොඳින් ඉදිරිපත් කලේ ය: “කෙසේ වෙතත්, විද්‍යාවේ ක්‍රියා කාරිත්වයටත්, වර්ධනයටත්, අර්ථභාරි වූ සැබෑ අන්තර් ක්‍රියාකාරිත්වයක් පවත්නා හැම විටම, අනුභූතිකය හා සංකල්ප යන දෙක, මෙම අන්තර් ක්‍රියාකාරිත්වය තුල නිශ්චිත කෘත්‍යයක් අත්කර ගනී; එය නිරීක්ෂනයේ සහ පර්යේෂනයේ න්‍යායික සංකල්පික යාන්ත්‍රනය සහ ජීවමාන සංකල්පනයේ ඵලයන් අතර සම්බන්ධතාවය ස්ථාපනය කරයි.

ජි. එච්. 72 පිටුවේ මෙසේ ලියයි. “විස්තරයනය සහ පරිපූර්න කාරනය යනාදී සංකල්ප සමන්විත වන්නේ වෛෂයික යථාර්ථය, එහි භවයේ පිලිබිඹුව වඩ වඩාත් පරිපූර්නව සහ වඩ වඩාත් ගැඹුරු ලෙස විනිවිදීමෙනි.”

හීලි සඳහන් කරන සංකල්ප ට්‍රොට්ස්කි වාදී ව්‍යාපාරය තුල කවර කලෙකවත් යොදාගෙන නැති නිසා මේ සියල්ල වඩාත් අත්දැකීම් සහගත කාර්ය ධරයන් ට පවා වටහාගත නොහැකි වනු ඇත. පෙනී යන පරිදි ජි. එච්. තවත් වතාවක් ෂවිරෙව් ගෙන් දූෂිත ලෙස සොරකම් කලේ පහත දැක්වෙන පරිදිය.

“කෙසේ වෙතත් සැබවින්ම, න්‍යායික ඥානනය සංකල්පික යාන්ත්‍රනය විස්තාරනය කිරීමට සහ පරිපූර්න කිරීමට යොමුව ඇති බව අප කියන කල්හි, අමතක නොකල යුතු කරුනක් නම්, විස්තාරනය සහ පරිපූරනය වනාහි වෛෂයික යථාර්ථය, තෝරාබේරා ගෙන වඩ වඩාත් පූර්න ලෙස විනිවිදීමේ ද එහි භවය වඩ වඩාත් ගැඹුරින් පිලිබිඹු කිරීමේද කාර්යයක් බවය.” (එම 131-32 පිටු)

ෂවිරෙව්ගේ ඡේද වල කොටස් ඇහිඳගෙන පෙනෙන්ට මොනම හේතුවක් වත් නැතිව, ඡේද තුලට රිංග වමින් ඡේද සොරකම් කිරීමේදී, හීලි අහිංසක මනුෂ්‍යයා මුලූමනින්ම දුරවබෝධ කර දමයි. උදාහරනයක් හැටියට 72-73 පිටුවල ඔහු මෙසේ ලියා ඇත.

“විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස අපෝහක භෞතික වාදයේ මුල් අවධි වලදී අපි, ඉක්මනින්ම සංකල්ප අධ්‍යනයේ භූමියට එලඹෙමු. මෙම සම්බන්ධතාවේ දී එවන් අධ්‍යනයක් සම්පාදනය කරන්නේ, වචනයේ නිවැරදි අර්ථයෙන්, අනුභූතික විභාගයක් වේ. මෙම සම්බන්ධතාවය තුලදී විද්‍යාවේ විධික්‍රමයක් හැටියට, දෙනලද ප්‍රස්තුතයන් මාලවකින් පොදු නිගමනයක් උදුරා ගන්න උද්ගමන පෙලක් විද්‍යාවේ අනුභූතික අවස්ථාවේ යොදා නොගත යුත්තේ එහෙයිනි.

ජි. එච්. නිගමනය සහ උද්ගමනය අනා ගනී. එහෙත් වරද ෂව්රෙයෙව් ගේ නොවේ. ඔහුගේ ලේඛන සොරාගන්න තැනැත්තා, ඔහු ලියනදේ තේරුම් ගෙන නැතිනම් ඔහුට දොස්කිය යුතු නැත. ෂව්රෙව් ඇත්ත වශයෙන් ලියුවේ මෙයයි.

“සාමාන්‍ය විඥානයේ දී සරල සහ පැහැදිලි යයි පෙනීයන දේ විද්‍යානුකුල අධ්‍යයනයක ප්‍රාරම්භක අවධියේදී සංකල්පික විශ්ලේෂනයේ විෂයක් බවට පත් වෙයි. අප විසින් අවධාරනය කිරීම වැදගත් වන කරුන නම්, මෙම සාංකල්පික විශ්ලේෂනය අපට මග පෙන්වමින් වචනයේ නිරවද්‍ය අර්ථයෙන්ම අනුභූතික පරීක්ෂනය මෙහෙයවයි. ඥානන ක්‍රියාකාරිත්වයේ නිගාමී ආකෘතිය කාරනා වලින් සාමාන්‍යකරනයන් කරා ඉහල නැගීමේ රේඛීය සන්තතියක් වශයෙන් විද්‍යාවේ අනුභූතික අවධියේ දී වලංගු නොවන්නේ හරියටම මෙන්න මේ නිසාය.” (එම පිටු 134-35 )

“විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස අපෝහක භෞතිකවාදයේ මුල් අවධි වලදී අපි, ඉක්මනින්ම සංකල්ප අධ්‍යනයේ භූමියට එලඹෙමු. මෙම සම්බන්ධතාවේ දී එවන් අධ්‍යනයක් සම්පාදනය කරන්නේ, වචනයේ නිවැරදි අර්ථයෙන්ම අනුභූතික විභාගයකි. මෙම සම්බන්ධතාවය තුලදී විද්‍යාවේ විධික්‍රමයක් හැටියට, දෙන ලද ප්‍රස්තුතයන් මාලවකින් පොදු නිගමනයක් උදුරා ගන්න උද්ගමනය විද්‍යාවේ අනුභූතික අවස්ථාවේ යොදා නොගත යුත්තේ එහෙයිනි.

විවිධ සෝවියට් මූලාශ්‍රයන් ගෙන් සොරාගත් වෙනත් කොටස් ද තිබේ යයි මම සැක කරමි. එහෙත් මෙහි අර්ථභාරය කුමක් ද ? ට්‍රොට්ස්කි බෆන් ගේ, “මිනිහා නම් විධික්‍රමය යන ආප්තය ට කැමති විය. ලේඛන චෞර්යය වැඩ විධියක් ලෙස මාක්ස් වාදයට මුලුමනින්ම ආගන්තුකය. ප්‍රාග්ධනය ලිවීමේදී මාක්ස් තමාට සඳහන් කිරීමට සිද්ධ වූ සෑම අදහසකම කතුවරයා නම් කිරීම කවර කලෙකවත් මග හැරියේ නැත.. මෙය න්‍යායික සංකල්පයන් ගේ ඓතිහාසික වර්ධනය පිලිබඳ ඔහුගේ අපෝහක භෞතික වාදී සංකල්පයට අනුකූල වූයේය. මෙයට ප්‍රති විරුද්ධ ආස්ථානයක් දරන ජි එච් ගේ “අධ්‍යයනයන්” තුල පැතිරී ඇත්තේ පරිපුර්න බුද්ධිමය වංචාව යි. මාක්ස් පෘදොන්ගේ දරිද්‍රතාවයේ දර්ශනවාදය පිලිබදව කල තක්සේරුව සිහියට නැගෙයි.

“ජර්මානු දර්ශනවාදය යයි සිතනු ලබන, බරසාර සමපේක්ෂක අප්‍රබංස, ඔහුගේ ප්‍රන්ස වැටහීම අසාර්ථක වන විට නිරතුරුවම දර්ශනය වෙයි. ස්වයං ප්‍රචාරක, ස්වයංඋත්කර්ෂක, පුරසාරම් තානය ද විශේෂයෙන්ම විද්‍යාව ගැන කරන ප්‍රලාප ද එය ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කිරීම් ද සෑම විටම කොතරම් පහත් දැයි කිව හොත්, කෙනෙකුගේ කන් වලට දැරිය නොහැකි තරම් වෙයි.... මෙයට අමතරව, ස්වයං අධ්‍යාපිතයාගේ අති පන්ඩිතකම, ඔහුගේ සියත් චින්තනය පිලිබඳ ස්වාභාවික අභිමානය දැනටම බිඳී තිබෙන අතර දැන් ඔහු, විද්‍යාවේ නව පොහොසතෙකු හැටියට ක්‍රියාකරමින් තමාට ඇති දෙයින් පමනක් නොව නැති දෙයින්ද මුක්කු ලබාගැනීමට වෙර දරයි. (මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති, 155 පිටුව)

මාක්ස් පෘදොන්ට ට ලියු ස්මෘති වාක්‍යයේ පහත සඳහන් ඡේදය උපුටා දැක්වීම උචිත වේ.

“පෘදොන්ට අපෝහකය කෙරේ ස්වාභාවික නම්‍යතාවක් පැවතිනි. එහෙත්, ඔහු කවර කලෙකවත් විද්‍යාත්මක අපෝහකය ග්‍රහනය නොකල හෙයින්, විතන්ඩ වාදයෙන් ඔබ්බට ගමන් කිරීමට අසමත් විය. ඇත්තටම මෙය ඔහුගේ සුලුධනේශ්වර දෘෂ්ටි ආස්ථානයත් සමග බැඳී පැවතුනි. ඉතිහාසඥ රෝමර් මෙන් සුලු ධනේශ්වරයා “එක අතකින් හා ආනෙක් අතින්” යන සූත්‍රයෙන් සැදුනේ වෙයි. ඔහුගේ ආර්ථික ආසක්තතා සේම දේශපාලන, විද්‍යාත්මක, ආගමික, සහ කලාත්මක අදහස් සම්බන්ධයෙන් ද එසේ ය. ඔහු වනාහි ජීවමාන ප්‍රතිඝතිතාවකි. පෘදොන් මෙන්ම ඔහු ද දක්ෂ මිනිහෙක් නම්, ඔහුගේ සදාචාරය ඇතුලු සියල්ල එසේමය. ඔහු ඉක්මනින්ම තමාගේ ම ප්‍රතිඝතිතා සමග සෙල්ලම් කිරීමට ද තත්වයන්ට අනුව ඒවා වර්ධනය කොට සිත් කාවදින, දිදුලන, දැන් ජංජාලයක් වන, පරස්වාචක බවට වර්ධනය කරනු ද ඇත. විද්‍යාවේදී වංචනික බවත්, දේශපාලනයේදී අනුගතවීමත් මෙවන් ආස්ථානකින් වෙන් කල නොහැකි ය. ඔහුට ඉතුරුව ඇත්තේ එකම අරමුනකි. ආත්මීය අහංකාරයයි, සියලු උද්ධච්ච මිනිසුන්ට මෙන්, එය වනාහි මොහොතේ සාර්ථකත්වයයි. දවසේ අවධානයයි. (එම, 157 පිටුව)