බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු නිලධාරීන්ගේ වෙඩිතැබීමකින් ඝාතනය කෙරේ

පසුගිය බදාදා අලුයම බෝගම්බර බන්ධනාගාරය තුල රිමාන්ඩ් අත්අඩංගුවේ සිටි රැඳවියෙකු නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ඝාතනය කෙරුනි. වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙකුට තුවල සිදුවිය. මෙය, පොලිස් හෝ බන්ධනාගාර රැඳවුම්භාරයේ සිටියදී සිදු කෙරුනු ඝාතන මාලාවක ආසන්නතම සිද්ධියයි. එම ඝාතනයන් බොහොමයකදී, පොලිසිය ඇතුලු ආන්ඩුවේ ප්‍රකාශකයන් සුපුරුදු ලෙස ඉදිරිපත් කරන, “පලායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම”, මෙම සිද්ධියේදී ද හේතුව වශයෙන් ඉදිරිපත් කෙරී ඇත.

බදාදා ඝාතනය සිදුවූයේ ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුල කොරෝනා වසංගතයේ සීඝ්‍ර පැතිරීයාම මධ්‍යයේ තමන්ට සපයා ඇති සෞඛ්‍යාරක්ෂාව පහල මට්ටමක පැවතීම සම්බන්ධයෙන් රැඳවියන් අතර විරෝධතා වර්ධනය වෙමින් පවතිද්දීය. නොවැම්බර් 12 වනදා බන්ධනාගාර රැඳවියෝ එහි වහල මතට නැගී, කඩිනම් පීසීආර් පරීක්ෂන පවත්වන ලෙසත් සෞඛ්‍යාරක්ෂාව සහිත ස්ථාන වලට තමන් මාරුකරන ලෙසත් ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.

දිවයින පුරා බන්ධනාගාර වලින් මේ වනවිට සොයාගෙන ඇති ආසාදිතයන් ගනන 500 ඉක්මවා ඇත. එය සමස්ත රැඳවියන්ගෙන් සියයට 1.5ක් වැනි සැලකිය යුතු ප්‍රමානයකි. බන්ධනාගාර තුල පවතින අධික තදබදය හා ඉතාම පහල මට්ටමේ සනීපාරක්ෂක පහසුකම් හේතුවෙන් තමන් රෝගයේ ගොදුරු බවට පත්වෙතැයි රැඳවියන්ට සාධාරන බියක් පවතියි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නම් සංවිධානයේ සභාපති සේනක පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් සිරකරුවන් මුහුනදෙන දුක්ඛිත තත්වය, වසංගතය මධ්‍යයේ තියුනු වී ඇති ආකාරය පැහැදිලි කලේ මෙසේය: “ලංකාවේ සිරගෙවල්වල තත්වය මනුෂ්‍ය වාසයකට කොහෙත්ම සුදුසු නැහැ. අධික තදබදයක් පවතින නිසා වසංගතය පැතිරීමේ ඉඩකඩ ඉතා ඉහලයි. ඒ නිසා තමන්ට රෝගය වැලඳේවි කියන බියෙන් සිරකරුවන් ඉතාම නොසන්සුන්කාරී වෙලා ඉන්නෙ. ආහාරපාන දෙන්නේ යන්තම් පන ගැටගහගන්න විතරයි. ඒ වගේම විවිධ පරිපාලන දුර්වලතා නිසා නඩු කටයුතු ප්‍රමාද වීමෙන් අවුරුදු ගනන් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින පිරිස් ඉන්නවා. මේ හැම දෙයක්ම සිරකරුවන් මත බරපතල පීඩනයක් ඇතිකරල තියෙනවා”.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, තම සංවිධානය මාර්තු මාසය තරම් ඈතකදී බන්ධනාගාර තුල වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා යෝජනා ජනාධිපති රාජපක්ෂ වෙත ඉදිරිපත් කලත් ඒවා නොතකා හැරීම නිසා අදවන විට මෙවැනි තත්වයක් නිර්මානය වී ඇති බවයි.

රටේ සෑම බන්ධනාගාරයක් තුලම රැඳවිය හැකි ප්‍රමානයට වඩා තුන්ගුනයකට වැඩි සිරකරුවන් ප්‍රමානයක් ගාල්කර ඇත. දැනට පවතින බන්ධනාගාර 22 තුල රැඳවිය හැකි ගනන 12000ක් පමන වුවද ආන්ඩුවේ දත්ත අනුවම, දැනට සිරගතව සිටින පිරිස 30000 ඉක්මවයි. මොවුන්ගෙන් 20000ක් පමන ඇප නොදී රිමාන්ඩ් භාරයේ රඳවා තබාගෙන සිටින්නන් වන අතර තවත් සැලකියයුතු පිරිසක් සුලු වැරදි වලට දඬුවම් ලැබ සොච්චම් දඩමුදල් ගෙවාගත නොහැකි කමින් දඬුවම් විඳිමින් සිටින අයයි.

සිරකරුවන් බැලීමට පිටතින් පුද්ගලයන් පැමිනීම තහනම් කර ඇති නිසා ඔවුන්ට තම ඥාතීන්ගෙන් ලැබෙන ආහාරවේල් අහිමි වී ඇත. බන්ධනාගාරයෙන් ලැබෙන අප්‍රමානවත් සහ පෝෂ්‍යදායී නොවන ආහර වේලෙන් යැපීමට සිරකරුවන්ට බලකෙරී ඇති අතර වසංගතයට ඔරොත්තු දෙන ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමට මෙම ආහාර කිසිලෙසකින් හෝ සුදුසු නොවේ.

ආන්ඩුව වසංගතය මර්දනය කිරීම සඳහා වෙන් කරන්නේ සොච්චමකි. දෛනිකව හඳුනා ගැනෙන රෝගීන්ගේ සාමාන්‍යය 500ක පමන අගයක පැවතියදී පවා දෛනික පීසීආර් පරීක්ෂන 10000ක් වැනි මට්ටමක සිරවී ඇත. මෙය වසංගත රෝග විශේෂඥයින් සහ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන දෛනික පරීක්ෂන රේට්ටුවට වඩා අතිශය පහල අගයකි. රෝහල් වල ඇඳන් ධාරිතාව ඉක්මවා යමින් පවතින අතර ආන්ඩුව රෝහල් පහසුකම් පුලුල් කිරීම අතහැර, පහසුකම් රහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇටවීමට පටන්ගෙන ඇත. වයස්ගතවූවන් සහ විවිධ රෝගාබාධ වලින් පෙලෙන්නන් වෛරසය වැලඳීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමේ වේගය කැපී පෙනෙන ලෙස ඉහල යමින් පවතින්නේ ඉදිරියේදී ඉමහත් ඛේදවාචකයක් නිර්මානය වන ලකුනු පහල කරමිනි.

බන්ධනාගාරවලට අවශ්‍ය පහසුකම් සපයනු වෙනුවට ආන්ඩුව විසකුරු ලෙස ඔවුන්ගේ විරෝධතා මර්දනය කිරීමට පටන්ගෙන ඇත. පසුගිය මාර්තු මාසයේදී අනුරාධපුර බන්ධානාගාරයේ සිරකරුවන් මෙවැනිම විරෝධතාවක් පැවැත්වීමේදී බන්ධනාගාර ආරක්ෂකයින් එල්ල කල වෙඩි ප්‍රහාරයන් නිසා දෙදෙනෙක් මියගිහ.

සිරකරුවන් හෝ අත්අඩංගුවේ පසුවන්නන් සැලසුම් සහගතව ඝාතනය කිරීමෙන් පසු පොලිසිය හෝ බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කරන කරුනු ප්‍රබන්ධයන් බව මහජනතාව අතර පිලිගැනෙන කරුනකි. මෙලෙස අත්අඩංගුවේ පසුවූවන් ඝාතනය කිරීම රාජපක්ෂ ආන්ඩුව යටතේ ඉහලයාම පිලිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය ද යොමු වී ඇත. පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා එවන් ඝාතන අටක් සිදුවී ඇති බව පෙන්වා දෙන කොමිසම, එම තත්වය වැලැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ඉතිහාසය තුල ලංකාවේ බන්ධනාගාර සිරකරුවන්ගේ විරෝධතා දරුනු ලෙස මර්දනය කරන ලද අවස්ථා ගනනාවක් වාර්තාවිය. පොලීසිය හා මිලිටරිය යොදා කිහිප අවස්ථාවකදීම රැඳවියන් වෙඩිතබා ඝාතනය කෙරිනි. බන්ධනාගාර පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට විරෝධය පෑ අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට, පසුගිය වසරේ ජනවාරි මාසයේදී අමානුෂික ලෙස පහරදෙනු ලැබුනි.

2011 වසරේදී ආහාරවල අයහපත් තත්වයට එරෙහිව උද්ඝෝෂනය කල අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ට වෙඩිතැබූ ආරක්ෂකයෝ එක් රැඳවියෙකු මරාදමමින් තවත් 20 කට පමන තුවාල සිදු කලහ. 2012 දී වැලිකඩ බන්ධනාගාරය තුලට කඩා වැදුනු කැරලි මර්දන පොලීසිය ලැයිස්තු වලට අනුව සිරකරුවන් 27 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඒ අතර වඩාත් කුප්‍රකට සහ සැලසුම් සහගත ප්‍රහාරයකි.

බන්ධනාගාර තුල ප්‍රකෝපකරනයන් නිර්මානය කර අවශ්‍ය සිරකරුවන් සමූහ වශයෙන් ලයිස්තුවලට අනුව තෝරා ගෙන ඝාතනය කිරීම ලංකාවේ ධනපති රාජ්‍ය යන්ත්‍රය කලක් තිස්සේ, විශේෂයෙන් ම දෙමල ජනයාට එරෙහි ව දියත් කල සිවිල් යුද්ධ සමයේ දී, වැඩි වර්ධනය කර ගත් මර්දන ක්‍රමෝපායකි. 1983 දී වැලිකඩ බන්ධනාගාරය තුල දී 53 දෙනෙකු ද, 1997 දී කලුතර බන්ධනාගාරයේ දී 3 දෙනෙකු ද, 2000 දී බිඳුනුවැව පුනරුත්ථාපන කඳවුරේ දී 26 දෙනෙකු ද වශයෙන්, දෙමල දේශපාලන සිරකරුවන් ඝාතනය කෙරුනි.

බන්ධනාගාර තුල පවත්නා අනාරක්ෂිත කොන්දේසිවලට එරෙහිව විරෝධතාවයන් හි නිරතවන රැඳවියන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව දිගේලි කර තිබෙන මර්දනය එය විසින් ගොඩනගමින් පවතින ආඥාදායක පාලනයේ පැතිකඩකි. ඊනියා වසංගත මර්දන ක්‍රියාවලියම රාජපක්ෂ විසින් යොදාගෙන ඇත්තේ පොලිස්-මිලිටරි මර්දන යාන්ත්‍රනය ශක්තිමත් කරගැනීම සඳහාය.

වසංගත මර්දනයේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කර ගැනීම එහි මූලික පියවරක් වන අතර නිරෝධායන නීති කඩකරන්නන්ට එරෙහිව දියත්වෙමින් පවතින්නේ පොලිස් වැටලීම් පන්නයේ විධික්‍රමයන්ය. වසංගත මර්දනය සඳහා උපකාරී වන්නේයැයි පවසමින් ක්‍රියාත්මක කර ඇති නවතම “ඩ්‍රෝන මෙහෙයුම්” මහජනතාවට එරෙහි ඔත්තු බැලීමේ යාන්ත්‍රනයකි.

වසංගතය මධ්‍යයේ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් ක්‍රියාවට දැමීම ලංකාවට පමනක් සීමා නොවන ගෝලීය ප්‍රපංචයකි. වසංගතයේ අනතුර ඉස්මතු වෙද්දී ලොවපුරා සෑම ධනපති ආන්ඩුවක්ම යෙදීගත්තේ බැංකු සහ මුල්‍ය ආයතන බේරාගැනීම සඳහා යුහුසුලුවීමක මිස මහජන ජීවිත බේරාගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂක පහසුකම් පුලුල් කිරීමක නොවේ.

දැන් සෑම රටකම පාලක පන්තීන්, මිනීමරු “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත අනුයමින්, එනම් සියලු මහජනයා වසංගතයට නිරාවරනය කොට, ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නන් පමනක් ඉතිරිව අනෙක් අය මරනයට ඇද දමමින්, ධනපති ලාභය වෙනුවෙන් මහජන ජීවිත බිල්ලට දී තිබේ. ඊට එරෙහිව කම්කරු, පීඩිත මහජනතාවන් අතරින් නැගෙන විරෝධයට මුහුනදීම සඳහා ඔවුහු මංමුලාසහගත ලෙස පොලිසිය සහ මිලිටරිය මත වාරු වෙමින් සිටිති.

Loading