විද්‍යාවට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රවිෂ්ටය

2020 ඔක්තෝබර් 2 වැනි දා ලෝසවෙඅ යලි දියත් කිරීම සාදරයෙන් පිලිගනිමින්, ඔක්තෝබර් 25 වැනි දා පවත්වන ලද අන්තර්ජාල රැලියේ දී ලෝසවෙඅ විද්‍යා ලේඛක බ්‍රයන් ඩයින් විසින් පවත්වන ලද කතාව මෙසේ පල කරමු.

මෙම අවස්ථාව ලෝසවෙඅ විද්‍යාව කෙරෙහි ගන්නා ප්‍රවිෂ්ටය පිලිබඳ ව කතා කිරීම සඳහා උපයෝගී කර ගැනීමට මම කැමතියි. පසුගිය මාස නවය තිස්සේ, කොරෝනා වෛරස් වසංගතය පිලිබඳ අපගේ අනාවරනය විසින් මෙය ඉතා ම ඉහලින් මූර්තිමත් ව පවතිනවා. මෙම නව වෛරසයේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමත්, එය සමාජය සමග අන්තර්ඡේදනය වීමත්, ඉතා ප්‍රවේසම් සහගත විශ්ලේෂනයකට බඳුන් කිරීම, ජනවාරි මාසයේ පල කරන ලද පලමු ලිපි සමගින් අපි ආරම්භ කලා. දේශපාලන තත්ත්වය පිලිබඳ ලිපි මෙන් ම වෛරසයේ ම වසංගත විද්‍යාව පිලිබඳ ලිපි ද මෙයට ඇතුලත් වෙනවා.

මෙයට විපරීත ව, විද්‍යාව සාරභූත වසයෙන් නො තකා හල ට්‍රම්ප් පරිපාලනය, ඩිමොක්‍රටිකයන් හා ඔවුන්ගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සියලු දෙනා, වෛරසයේ බෝ වීම මගින් ඉදිරිපත් කරනු ලබන තර්ජනය ලඝු කිරීමට හා සැඟවීමට උත්සාහ දැරුවා. එවන් තත්ත්වයක් යටතේ, වෛරසයට ලෝක පරිමානයෙන් ආක්‍රමනශීලී ව පැතිරීමට ඉඩ දෙනු ලැබුවේ නම් කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් පිලිබඳ ව මුල දී ම අනතුරු ඇඟවූවා වූත්, කොරෝනා වෛරස් වසංගතය පැතිර යාමට එරෙහි ව ගෝලීය ව සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා කැඳවුම් කලා වූත්, එකම දේශපාලන ප්‍රවනතාව වූයේ අප පමනයි.

එම අනතුරු ඇඟවීම් ඛේදනීය ලෙස සනාථ කරනු ලැබ පවතිනවා: ලෝක පරිමාන ව මිලියන 1.15කට අධික මනුෂ්‍යයන් ජීවිතක්ෂයට පත් ව තිබෙන්නේ, බිලියන ගනන් දෙනාගේ සමාජීය ජීවිත මුලුමනින් ම උඩු යටිකුරු කරමින් තිබෙන තත්ත්වයක් තුල යි.

ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය යනු පෘථිවියේ සිට ආසන්න වසයෙන් ආලෝක වර්ෂ මිලියන 2.5ක් දුරින් පිහිටියා වූ හා තාරකාවන් මිලියනයක් අන්තර්ගත කර ගනී යයි තක්සේරු කරනු ලබන දඬු ආකාර කේන්ද්‍රයක් සහිත සර්පිලාකාර මන්දාකිනියකි.

පසුගිය ශතවර්ෂය තුල වෛද්‍ය විද්‍යාව තුල සිදු වී ඇති යෝධ අභිවර්ධනයන් සහ ධනවාදය යටතේ දෛනික ජීවිතයට මෙම අභිවර්ධනයන් යොදා ගනු ලැබීම මත පටවනු ලබන බාධාවන්, එවන් සංඛ්‍යා ලේඛන මගින් හෙලිදරව් කරනවා. හදිසි හා වසංගතයක් බවට ප්‍රේරනය වීමේ විභවය ඇති රෝගයකට ප්‍රතිචාර දැක්වීම කොටස් වෙලඳපොල ආරක්ෂා කිරීම පිනිස සති ගනන් හා මාස ගනන් තිස්සේ නො තකා නො හරිනු ඇති තාර්කික ව හා විද්‍යාත්මක ව සැලසුම්ගත ලෝකයක්, ව්‍යාධිය අවහිර කිරීමට, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට හා ආර්ථික බිඳවැටීමෙන් බලපෑමට ලක්වන කෝටි සංඛ්‍යාත පුද්ගලයන්ගේ ජීවිකාවන් සුරක්ෂිත කිරීමට, පවත්නා සෑම සම්පතක් ම ක්ෂනික ව යොදා ගනු ඇත.

විද්‍යාත්මක ක්ෂේත්‍ර කිහිපයක් පමනක් නම් කරන්නේ නම්, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාරකා විද්‍යාව ආදී පවතින සෑම ක්ෂේත්‍රයක් තුල ම,මානව වර්ගයාගේ යහපත සඳහා විද්‍යාව කියන්නේ කවරක් ද යන්න හා ධනවාදය යටතේ සිදු වෙමින් පවතින්නේ කවරක් ද යන්න අතර වන අගාධය පවතිනවා. ඔසිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය විසින් ග්‍රහකයක නියැදි එක්රැස් කිරීම ගැන අපගේ මෑත අනාවරනයක දී අප සඳහන් කල පආකාරයට, යුද්ධය හා ලාබ වෙතට හරවනු ලබන සම්පත් ගවේෂනයට හා විද්‍යාත්මක සොයාගැනීම්වලට යොදාගත හොත් “අපගේ ජීවිත කාලය ඇතුලත මුදා හරිනු ඇත්තා වූ ප්‍රතිඵල මුලුමනින් ම පාහේ ගිනිය නො හැකි” වෙනවා.

වඩා පලල් ව සලකන කල, 1998 දී වෙබ් අඩවිය ආරම්භ කල තැන් පටන් විද්‍යාව මත අපගේ යොමුව වන්නේ, කම්කරු පන්තියට ඉදිරියට යාමට අවශ්‍ය නම්, ලෝකය පිලිබඳ කුදුමහත් අවබෝධයකින් එය සන්නද්ධ කරනු ලැබිය යුතු ය යන අපගේ අවධාරනය මත යි. මෙය මාක්ස්වාදීන් සෑම විට ම අවධාරනය කර ඇති කරුනක්. සමාජයේ සංවර්ධනය සමස්තයක් ලෙස නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනය මත පදනම් වන අතර, එම නිෂ්පාදන බලවේගයන් විද්‍යාවේ වර්ධනයන් විසින් ධාවනය කරමින් උත්තේජනය කරනු ලබනවා. අප මෙම රැස්වීමට යොදා ගන්නා තාක්ෂනය වන අන්තර්ජාලය, ලෝකයේ ඕනෑම තැනක සිට තොරතුරු ගබඩා කිරීමේ හා ඒවා වෙත ප්‍රවේශ වීමේ හැකියාවට ආර්ථික අවශ්‍යතාවක් සම්පාදනය කල, 1990 ගනන් මුල දී අන්තර්ජාතික නිෂ්පාදනයේ ඉස්මතු වීම හේතුවෙන් බොහෝ කොට මෙතරම් ම ව්‍යාප්ත වුනා.

එහෙත්, මෙය වනාහි, උදාහරනයක් ලෙස මෝටර් රථයක් තනන්නා වූ යාන්ත්‍ර විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව හා තාපගති විද්‍යාව පිලිබඳ ව, මෝටර් රථ කම්කරුවෙක් දැන සිටිය යුතු ය යන පන්නයේ සරල කාරනාවක් නො වේ. හුදෙක් ස්වාභාවික ප්‍රපංචවලට පමනක් නො ව, අපගේ ජීවිතය පාලනය කරනු ලබන සංකීර්න ඓතිහාසික හා සමාජීය ක්‍රියා දාමයන් වන ධනේශ්වර සංවර්ධනයේ වෛෂයික නීති අවබෝධ කරගැනීමට ද විද්‍යාත්මක ප්‍රවේශයකට හැරීමේ අවශ්‍යතාවක් පවතිනවා.

පසුගාමීත්වය හා ආගමික බුද්ධිරෝධවාදය වගා දිගා කිරීම වේවා, පශ්චාත්-නූතනවාදය ඉදිරියට දැමීම වේවා, කවර ආකාරයකින් හෝ අතාර්කිකත්වය නිරන්තරයෙන් උත්කර්ෂයට නැංවීම විසින් ආධිපත්‍යය දරන ලෝකයක් තුල, එවන් අධ්‍යයනයන් වඩ වඩා අවශ්‍ය වෙනවා. වෛෂයික ඥානයක පැවැත්ම ප්‍රතික්ෂේප කරන හා යතාර්ථය භාෂාව විසින් කුමන හෝ ආකාරයකින් නිර්මානය කරනු ලබති ය යන ආස්ථානය දරන සියලු දෙනාට එරෙහි ව කම්කරුවන් සටනක් දියත් කල යුතු යි. භාෂාව විසින් යතාර්ථය කෙසේ හෝ නිර්මානය කරනු ලැබේ ය යන්න සත්‍ය වී නම්, ගිම්හාන කාලය පුරා ට්‍රම්ප් අවධාරනය කල “කුඩා පරීක්ෂන සංඛ්‍යාවක් සමගින් අපට ඉතා අඩු ආසාදන ගනනක් පෙන්විය හැකි” යි යන්නෙන් අර්ථවත් වන ආකාරයට වසංගතය අවසානයකට පැමින තිබිය යුතු යි.

වර්ගය වැනි විද්‍යා-විරෝධී සංකල්පයන් යොදා ගනු ලබමින් කම්කරුවන් බෙදීමට දරන සියලු උත්සාහයන්ට එරෙහි අරගලයේ දී ද කම්කරුවන් පෙරමුන ගත යුතු වෙනවා. වසර ලක්ෂ ගනනකට පෙර මානව සංක්‍රමනය හා මිශ්‍ර වීම බොහෝ සෙයින් පෙන්වන මානව විද්‍යාත්මක වාර්තාව තුල හෝ යමෙකුගේ “වර්ගය” හෝ ජාතිකත්වය අනාවරනය කිරීමට යොදා ගනු ලැබිය නො හැකි ඩීඑන්ඒ තුල ම හෝ මනුෂ්‍යයන්ගේ විවිධ “වර්ග” පිලිබඳ සංකල්පයට පදනමක් නැති බව, ලෝසවෙඅ මත අප විස්තීර්න ලෙස ලියා තිබෙනවා.

නිරන්තරයෙන් වර්ධනය වන දේශගුන වෙනස මගින් ඉදිරියට දමන පැවැත්ම තර්ජනයට ලක් වීමේ ගැටලුව ගැන ද ලෝසවෙඅ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. වසංගතයට සමාන ව, ජාතික දේශසීමා නො දන්නා දේශගුන වෙනස, ආවේනික ව ම ජාත්‍යන්තර ගැටලුවක්. මෙම මාතෘකාව පිලිබඳ ඉදිරිපත් කෙරී ඇති බොහෝ මෑත කාලීන විද්‍යාත්මක පත්‍රිකා අවධාරනය කර තිබෙන්නේ, භූගෝලීය උෂ්නත්වය ඉහල යාමටත්, එය හේතුවෙන් දැනට පවතින හා ඉදිරියේ පැමිනීමට නියමිත ව්‍යසනයටත්, එකම යථා විසඳුම වන්නේ, ලෝකයේ බලශක්ති නිෂ්පාදනය හා ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රතිසංවිධානයක් කිරීම සහ කාබන් විමෝචනයන් වහා ම නැවැත්විය හැකි නව තාක්ෂනයන් වර්ධනය කිරීම පමනක් බවයි.

දේශගුන අර්බුදයට විසඳුම් පිනිස, ලෝකයේ “අතිරික්ත ජනගහනය” විශාල ලෙස අඩු කිරීමක් කැඳවුම් කරන ඕනෑම විසඳුමක්, ආරක්ෂිත පරිසරයක් සඳහා වන සටන විසින් ප්‍රතික්ෂේප කල යුතු යයි ද අපි අවධාරනය කරනවා. ලෝකයේ ජෛවගෝලය බිඳවැටීමක අද්දර ගෙනවුත් ඇත්තේ “මානව වර්ගයා” නො ව, ගෝලීය උනුසුම ප්‍රතිවර්ත්‍ය කිරීමට දරන ඕනෑම බරපතල ප්‍රයත්නයකට බාධා කර තිබෙන ධනවාදය හා ජාතික රාජ්‍ය පද්ධතිය යන ද්විත්ව බාධාවන් දෙක ය යන කාරනය එවන් මැල්තුසියානු ආකල්පයන් විසින් ප්‍රතික්ෂේප කරනවා.

එහි අභ්‍යන්තර පරස්පර-විරෝධයන් විසින් නිර්දය ලෙස ධාවනය කරනු ලබන ධනවාදය, වසංගතවල, ලෝක යුද්ධයේ, පාරිසරික විනාශෙයේ හා ආඥාදායකත්වයේ අගාධය දෙසට මානව වර්ගයා ධාවනය කරවමින් සිටිනවා. එහෙත්, මෙම පරස්පර-විරෝධයන් ම ධනවාදය පෙරලා දැමීම සඳහා පදනම වන ජාත්‍යන්තර කම්කරු පන්තිය ද නිෂ්පන්න කරනවා.

“තාක්ෂනය හා විද්‍යාව සතුව ඔවුන්ගේ ම තර්කනයක් වන ස්වභාව ධර්මය ඥානනය කිරීමේ හා මිනිසාගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි එහි කෙල පැමිනීමේ තර්කනය තිබේ. රික්තයක් තුල වර්ධනය නො වන තාක්ෂනය හා විද්‍යාව, පන්තීන්ගෙන් සමන්විත මානව සමාජය තුල වර්ධනය වේ. දේපොල හිමි පන්තිය වන පාලක පන්තිය තාක්ෂනය පාලනය කරමින් ඒ හරහා ස්වභාව ධර්මය පාලනය කරයි” යයි මීට අවුරුදු 94කට පෙර රේඩියෝව, විද්‍යාව, තාක්ෂනය හා සමාජය තුල ට්‍රොට්ස්කි ලිවුවා.

මෙම වෛෂයික ක්‍රියා දාමයන් වඩා සවිඥානික බවට පත් කරමින්, විද්‍යාවේ ප්‍රගතිය -සහ සමස්තයක් ලෙස මානව වර්ගයාගේ ප්‍රගතිය- කම්කරු පන්තියේ නව විප්ලවවාදී ව්‍යාපාරයක පුනර්ජීවනය මත රඳා පවතින්නේ යන ඥානයෙන් හා අවබෝධයෙන්, මිලියන ගනන් කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන විරෝධය සන්තෘප්ත කිරීමට, යලි දියත් කරන ලද ලෝසවෙඅ තුලින් අන් කවරදාටත් වඩා දැන් ප්‍රවේශ විය හැකි අපේ විද්‍යාව පිලිබඳ ලේඛන උත්සාහ දරනවා. සියලු ආකාරවල විද්‍යාත්මක සත්‍යය සොයා යෑම සහ ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත, විද්‍යාත්මක ව මෙහෙයැවෙන, සමානතාව හා මානව අවශ්‍යතා තෘප්තිමත් කිරීම මත පදනම් වන ආර්ථික සැලසුම් පද්ධතියක් වන සමාජවාදය යන දෙක ම අපේ ව්‍යාපාරය යටතේ එකමුතු කරනවා.

Loading