කෝටි සංඛ්‍යාත කම්කරුවෝ සමස්ත ඉන්දීය මහා වැඩ වර්ජනයට එක්වීමේ සූදානමින්

කප්පාදුව, පුද්ගලීකරනය, හිතුමතේ කම්කරුවන් දොට්ට දැමිය හැකි කොන්ත්‍රාත් ශ්‍රම රැකියා ප්‍රවර්ධනය කිරීම සහ ධනපති සූරාකෑම මත පැනවෙන අනෙකුත් සියලු සීමා රෙගුලාසි අහෝසි කිරීම ආදියෙන් සමන්විත වන, නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවෙහි “ආයෝජක-ගැති” පිලිවෙත්වලට විරෝධය දැක්වීම සඳහා, ඉන්දියාව පුරා කෝටි සංඛ්‍යාත කම්කරුවෝ අද දින (නොවැම්බර් 26) එක් දින මහා වැඩ වර්ජනයකට එක් වෙති.

ආන්ඩුව කොවිඩ්-19 වසංගතය විනාශකාරී ලෙස හැසිරවීම අරබයා පවතින මහජන කෝපය විසින් ද වැඩ වර්ජනයට ඉන්ධන සපයයි. ලොව පුරා අනෙකුත් ආන්ඩු මෙන් ම, මෝදි හා ඔහුගේ බිජේපීය ද කම්කරුවන්ගේ ජීවිත හා ජීවිකාවන් රැකීමට වඩා සංගත ලාභ හා ඉන්දියාවේ බිලියනපතියන්ගේ හා බහු-මිලියනපතියන්ගේ ධනය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී තිබේ.

ඉන්දියාවේ අහමදාබාද් ප්‍රාන්තයේ 2020 ජනවාරි 8දා මහා වැඩ වර්ජනයේ නිරත වන කම්කරුවන් (මූලාශ්‍රය: ඒපී ඡායාරූප/ අජිත් සොලංකි)

මෙමගින් සෞඛ්‍යමය හා සමාජ-ආර්ථිකය ව්‍යසනයක් නිර්මානය කර ඇත.

නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි ලොව දෙවන විශාලතම කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව වන මිලියන 9.2ට අධික ප්‍රමානයක් හා මරන 135,000ට ආසන්න ගනනක් ඉන්දියාවෙන් වාර්තා කරයි. නිසැකව ම මෙම සංඛ්‍යා ලේඛන දල අවතක්සේරුවකි. ඉන්දියාව වනාහි කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමට බඳුන් වූ රටවල් අතරින් අඩුතම ඒක පුද්ගල පරීක්ෂන රේට්ටුවක් සහිත රටකි. දිල්ලිය, මුම්බායි හා අනෙකුත් නාගරික මධ්‍යස්ථාන වල පැල්පත් නිවාස වලත් මහජන සෞඛ්‍යාරක්ෂනය නො පවතින්නා හා සමාන මට්ටමකින් පවතින ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ්-19 වසංගතය මුල් බැස ඇත. සාමාන්‍ය කාලයන්හි දී පවා, රාජ්‍ය බලධාරීන් විසින් ලේඛනගත කරන්නේ සමස්ත මරනවලින් සියයට 86ක් පමනක් වන අතර, ලේඛනගත කරන මරනවලින් යන්තම් සියයට 22කට පමනක් මරනයට හේතුව වෛද්‍යවරයෙකු විසින් සහතික කරයි.

ඉන්දියාවේ මිලියන සිය ගනනකට ආදායම් අහිමි වී ඇති අතර, එලෙස සිදු වන්නේ වසංගතයට පෙරාතුව ම සියලු ලමුන්ගෙන් සියයට 50ක් මන්දපෝෂනයෙන් පෙලෙමින් සිටි රටක ය. අප්‍රේල්-ජුනි කාර්තුව තුල ඉන්දියාවේ ආර්ථිකය සියයට 23.9කින් හැකිලුනු අතර හා 2020-2021 මූල්‍ය වර්ෂය සඳහා එය සියයට 10කින් කිඳී යනු ඇතැයි අපේක්ෂා කරන අතර, කම්කරුවන් කෝටි ගනනකට රැකියා අහිමි වී හෝ වැඩ පැය ගනන් කප්පාදුවට මුහුන දීමට සිදු වී තිබේ. පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) නිකුත් කල වාර්තාවකට අනුව, 2020 වසර අවසන් වන විට තවත් ඉන්දියානුවන් මිලියන 40ක්, දිනකට ඩොලර් 1.90ක් හෝ ඊට අඩු ආදායමක් මත යැපීම ලෙස අර්ථ දැක්වෙන “ආන්තික දරිද්‍රතාවට” වසංගතය විසින් ඇද හෙලනු ඇත.

බීජේපීය සමග පෙල ගැසී සිටින භාරතීය මැසඩූර් සංග් (ඉන්දීය කම්කරු සංගමය) හැරුනු විට, රටෙහි ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලන සියල්ල මෙන් ම, කිසිදු පක්ෂයකට අනුබද්ධ නො වන සමිති ද අද දින පැවැත්වෙන ජාතික විරෝධතා වර්ජනයට අනුමැතිය දී තිබේ. පුද්ගලීකරන වැඩපිලිවෙල නැවැත්වීම, ආන්ඩුව මෑත දී පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගත් ප්‍රතිගාමී කම්කරු හා ගොවිපොල “ප්‍රතිසංස්කරන” හකුලා ගැනීම සහ සෑම බදු නො ගෙවන පවුලකට ම එක් වරක් රුපියල් 7,500ක් ගෙවීම හා දුගීතම පවුල්වලට මසකට ආහාර ධාන්‍ය කිලෝග්‍රෑම් 10ක් සැපයීම මගින් වඩාත් ම දුගී ජනයාට හදිසි ආධාර සම්පාදනය කිරීම, අන්ත-දක්ෂිනාංශික, හින්දු අධිපතිවාදී බිජේඵී ආන්ඩුවෙන් ඔවුහු ඉල්ලා සිටිති.

මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩුවල සේවකයෝ, ප්‍රාන්ත ප්‍රවාහන කම්කරුවෝ, පතල් කම්කරුවෝ, විදුලි බල කම්කරුවෝ, බැංකු කම්කරුවෝ සහ පුද්ගලීකරනයේ තර්ජනයට ලක් ව පවතින ගුවන් යානා නිපදවන්නා වූ හින්දුස්ථාන් එරෝනෝටික්ස් හා රජයට අයත් බීඑස්එන්එල් විදුලි සංදේශ සමාගම වැනි රජයට අයත් විවිධ ව්‍යවසායයන්හි කම්කරුවෝ, අද දින වර්ජනයට අවතීර්න වන අය අතරට අයත් වෙති. ගොඩනැගිලි කම්කරුවන් හා මෝටර්-රික්ෂෝ රියැදුරන් වැනි අයිතීන් රහිත “අවිධිමත් අංශයේ” බොහෝ කම්කරුවන් ද විරෝධතාවට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කුඩා ගොවීන්ගේ වියදමින් කෘෂි ව්‍යාපාර පිම්බීම අර්ථවත් කරන බීජේපීයේ කෘෂිකාර්මික “ප්‍රතිසංස්කරනයට” එරෙහි ව, සති ගනනක් තිස්සේ උද්ඝෝෂනයේ නිරත වී සිටින කුඩා ගොවීහු, ජාතික පරිමාන විරෝධතා වර්ජනය සමග සමපාත වන විරෝධතාවක්, ජාතික අගනුවර වන දිල්ලියේ දී අද දින පැවැත්වීමට කැඳවුම් කර ඇත. විරෝධතාව නීති-විරෝධී යයි ප්‍රකාශ කිරීමට කොවිඩ්-19 තර්ජනය බලධාරීන් විසින් යොදාගෙන තිබුනු දිල්ලි නගරයට ගොවීන් ඇතුලු වීම වැලැක්වීම පිනිස අසල්වැසි හර්යානා ප්‍රාන්තයේ පොලීසිය ඊයේ ජල ප්‍රහාර භාවිතා කලේ ය.

භූගෝලය පුරා වසංගතය පුපුරා යාමෙන් මාස අටකට පසුව, ලාභ හා කොටස් මිල ගනන් මත කේන්ද්‍රගත වන පාලක ප්‍රභූන්ගේ නිෂ්ක්‍රීයත්වයෙහි ඍජු විපාකයක් ලෙස, සියල්ලටත් වඩා කම්කරු පන්තියේ සමාජ විරෝධය පුපුරා යමින් තිබේ.

ග්‍රීසියේ රාජ්‍ය අංශ මහා වැඩ වර්ජනයක් අද දින සිදු වේ. කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාව නොමැති වීම අරබයා කම්කරුවන් අතර කෝපය හේතුවෙන් ඇඩේඩි වෘත්තීය සමිතිය මෙම වර්ජනය කැඳවී ය. පැය අටේ වැඩ දිනය අහෝසි කරමින්, වැඩ වර්ජනය කිරීමේ අයිතිය මත නව සීමාවන් පැනවීම සඳහා රටෙහි දක්ෂිනාංශික ආන්ඩුව කරන සැලසුම්වලට එරෙහි ව, අගනුවර වන ඇතන්ස්හි රාජ්‍ය ප්‍රවාහන කම්කරුවෝ ද වැඩ වර්ජනය කරමින් සිටිති.

සමහර කම්හල් හා වැඩ අඩවි වර්ජකයන් විසින් වාඩිලා ගැනීම තහනම් කරන කම්කරු-විරෝධී නීතියකට එරෙහි ව දකුනු කොරියාවේ කම්කරුවන් 200,000ක් පමන ඊයේ වැඩ වැරුවේ, ඉහල වැටුප් ඉල්ලමින් හා රැකියා කප්පාදුවලට එරෙහි ව කියා මෝටර්ස්හි කම්කරුවන් 30,000ක් පමන පාර්ශවික වැඩ වර්ජනයක යෙදෙද්දී ය.

අද දින වැඩ වර්ජනය කැඳවුම් කර ඇති කම්කරු සම්මේලනවලින් බොහොමයක්, වෙලඳපොල-ගැති පිලිවෙත් හා ධනපති ප්‍රතිව්‍යුහකරනයන් පැටවීමේ දී තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කල විරුද්ධ පක්ෂ සමග ඍජු ව සම්බන්ධිත ය. කොංග්‍රස් පක්ෂයට අනුබද්ධිත ඉන්දියානු ජාතික වෘත්තීය සමිති සම්මේලනය (අයිඑන්ටීයූසී), තමිල්නාඩු ප්‍රාදේශීයවාදී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) පක්ෂයෙහි වෘත්තීය සමිති පෙරමුන වන කම්කරු ප්‍රගතිශීලී සම්මේලනය (එල්පීඑෆ්) සහ පිලිවෙලින් ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි-එම්) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙකට අනුබද්ධ ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) හා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීඅයිසී) යන ඒවා සම්බන්ධයෙන් මෙය සත්‍ය වේ.

බැලුබැල්මට දේශපාලනික ව “ස්වාධීන” යයි කියා සිටින කම්කරු සම්මේලන හා වෘත්තීය සමිතිවල භූමිකාව ද මීට වෙනස් නැත. ඔවුහු ක්‍රමානුකූල ව පන්ති අරගලය මර්දනය කර තිබේ.

වෘත්තීය සමිති වලට, අද දින විරෝධතා වර්ජනය වූ කලී මෑතක් වනතුරු ම ඉන්දීය ධනේශ්වරයේ මනාපීය ආන්ඩු පක්ෂය වූ කොංග්‍රස් පක්ෂය ඇතුලු විරුද්ධ පක්ෂ පිටුපස කම්කරු පන්තියේ වැඩෙන කෝපය ගාල් කිරීම ඉලක්ක කරගත් හා බිජේපීයේ “මහජන-විරෝධී, කම්කරු-විරෝධී, ජාතික-විරෝධී” පිලිවෙත් අත් හරින බීජේපීයට ම නිෂ්ඵල ආයාචනා කිරීමේ උපාමාරුවකි.

වසර ගනනක් තිස්සේ, නැගෙන ඉන්දියාව වර්නනා කරන වාර්තාවලින් බටහිර මාධ්‍ය පිරී ඇත. ඉන්දියාවේ ධනවාදී ප්‍රසාරනයට ඉන්ධන සපයා ඇත්තේ, කම්කරු පන්තිය සුපිරි සූරාකෑමට බඳුන් කිරීම විසින් ය යන මූලික සත්‍යය එම මාධ්‍ය මගින් ලිස්සා හරී. ඉන්දියාවේ මහ ව්‍යාපාරිකය හා ගෝලීය ප්‍රාග්ධනය ධනයෙහි ඉහල පංගුව ආත්මාසාත් කරගෙන තිබෙන්නේ, ඉන්දියාව ලෝකයේ වඩාත් ම අසමාන සමාජයන්ගෙන් එකක් බවට පත් කරමිනි. ඉන්දියාවේ ධනවත් ම සියයට 1 සතුව, ජනගහනයේ දුගී ම සියයට 70 හෙවත් පුද්ගලයන් මිලියන 950ක් අත තිබෙන ධනය මෙන් හතර ගුනයක ධනයක් තිබේ.

ඉන්දියානු ධනවාදයේ ම්ලේච්ඡත්වය වසංගතය මගින් හෙලිදරව් කර ඇත.

2020 පලමු මාස තුනහමාරේ දී, බීජේපී ආන්ඩුව කොවිඩ්-19 වසංගතයෙන් එන තර්ජනය නො සලකා හැරී ය. ඉන්පසු මාර්තු 24දා, පැය හතරකට අඩු දැනුම් දීමකින්, මහා පරිමාන පරීක්ෂන සිදු කිරීම හා රෝගීන් හඳුනා ගැනීම ආදී අවශ්‍ය සෞඛ්‍යමය පියවරයන් රහිත ව සිදු කල සූදානම් රහිත හා දුශ්චින්තිත අගුලු දැමීමක් පනවනු ලැබී ය. තව ද එමගින් -සංක්‍රමනික කම්කරුවන්ගේ ඉරනම මගින් උදාහරන කොට දක්වන පරිදි- ජීවනෝපාය සපයා ගැනීම සඳහා අත්‍යවශ්‍ය රැකියා හා ආදායම් එක් රැයකින් අහිමි වූ මිලියන සිය ගනනක් දෙනා බලධාරීන් විසින් අත් හැර දැමීම හේතුවෙන් රුදුරු සමාජ පිරිවැයක් නිෂ්පන්න කලේ ය.

අප්‍රේල් මාසය අවසානයේ සිට, විරුද්ධ පක්ෂ විසින් නායකත්වය දෙන ඒවා ද ඇතුලු ප්‍රාන්ත ආන්ඩුවල ද සහයෝගය ලත් බීජේපී ආන්ඩුව, එහි ම ක්‍රියාවන් මගින් නිර්මිත සමාජ කාලකන්නි භාවය ගසාකමින්, ආපසු වැඩට යාමට තල්ලු කිරීම ආරම්භ කලේ ය. මෙහි ප්‍රතිඵලය වූයේ, විශේෂයෙන් ම මැයි මාසය අවසානයේ දී සියලු අගුලු දැමීමේ පියවරයන් ඉවත් කරනු ලැබූ කල, වසංගතය ලැව් ගින්නක් මෙන් පැතිර යාම යි.

කම්කරු පන්තියට තීව්‍ර කරන ලද ප්‍රහාරයක් එල්ල කිරීමේ වැදගත් ම සාධකය වී තිබෙන්නේ මෙම “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත යි. මැයි මාසය මැද දී, ආයෝජක-ගැති ප්‍රතිසංස්කරනවල “ක්ෂනික පිම්මක්” මෝදි විසින් පොරොන්දු වූ අතර, ඉන්දීය හා ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් දීර්ඝ කාලයක් තිස්සේ විධානය කර සිටින කම්කරු නීති හා කෘෂිකාර්මික “ප්‍රතිසංස්කරන” තල්ලු කර ගැනීමට හා පෞද්ගලීකරන ධාවනය නාටකාකාර ලෙස වේගවත් කිරීමට, ඉන් පසුව ගත වූ මාස කිහිපය තුල බීජේපී ආන්ඩුව ක්‍රියා කර ඇත.

ඒ අතර ම, 1991 පටන් සෑම ඉන්දියානු ආන්ඩුවක් ම ලුහුබැඳ ඇත්තා වූ ද ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනයේ කෙම් බිමක් බවට පත් කිරීමේ ධාවනය සමග අතිනත ගෙන ඇත්තා වූ ද තවත් මූලික පිලිවෙතක් වන, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දියාවේ සබඳතා ප්‍රසාරනය කිරීම, මෝදි ආන්ඩුව විසින් දෙගුන කර තිබේ.

ඉන්දීය පාලක ප්‍රභූවේ ශක්තිමත් පිටුබලය ලබන එය, චීනයට එරෙහි වොෂින්ටනයේ ඉව බව නැති මිලිටරි-මූලෝපායික ප්‍රහාරය තුලට ඉන්දියාව වඩ වඩා ඒකාග්‍ර කර ගැනීමට, මාස හයක් තිස්සේ ඇදී යන බෙයිජිනය සමග වන දේශ සීමා අර්බුදය ගසා කා ඇත. එක්සත් ජනපදය සහ එහි ආසියා-පැසිෆික් කලාපීය ප්‍රධාන සගයන් දෙදෙනා වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමග නව ආරම්භකත්වයන් හා ගිවිසුම් කිහිපයකට ඇතුල් වීම සහ එක්සත් ජනපදය නායකත්වය දෙන චතුර් පාර්ශවික ක්වොඩ් සන්ධානය මූලෝපායික සංවාදයක සිට මිලිටරි සන්ධානයක් බවට පරිවර්තනය කිරීමේ වැදගත් පියවර ගැනීම් මෙයට ඇතුලුත් ය.

ප්‍රතිගාමීත්වය දිරිමත් කිරීමේ හා කම්කරු පන්තිය බෙදීමේ ඉලක්කය සහිත ව, මෝදි හා ඔහුගේ බීජේපීය මුස්ලිම්-විරෝධී ප්‍රජාගනවාදය දිරිමත් කිරීම උත්සන්න කර ඇත.

නව-ලිබරල් ප්‍රතිසංස්කරනවල කප්පිත්තා ලෙස කටයුතු කල කොංග්‍රස් පක්ෂ ආන්ඩු කිහිපයකට ම සහයෝගය දීම සහ ඔවුන් ප්‍රාන්ත ආන්ඩු බිහි කල බටහිර බෙංගාලය වැනි ප්‍රාන්ත තුල “ආයෝජක-ගැති පිලිවෙත්” ඔවුන් විසින් ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, ස්ටැලින්වාදීන් ඔවුන්ගේ කම්කරු පන්තික සහයෝගය කිඳී යාම දැකගෙන ඇත. එහෙත්, අද දින මහා වැඩ වර්ජනයට දේශපාලන නායකත්වය දෙන ස්ටැලින්වාදීන් ව, කොංග්‍රස් පක්ෂයට හා අනෙකුත් විරුද්ධ පක්ෂවලට ව්‍යාජ “ප්‍රගතිශීලී” අක්තපත්‍ර ප්‍රදානය කිරීම හේතුවෙන් එම පක්ෂ විසින් වටිනා ලෙස සලකනු ලබයි.

දශක ගනනාවත් තිස්සේ සංස්ථාපිතයේ දේශපාලනයට ඒකාග්‍ර වී සිටින සීපීඑම් හා සීපීඅයි, ඉන්දීය ධනේශ්වරය විසින් එහි පන්ති යුද ප්‍රහාරය තීව්‍ර කිරීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ තව දුර දකුනට යමිනි. කම්කරු පන්තිය දක්ෂිනාංශික විරුද්ධ පක්ෂයට හා ඉන්දියානු රාජ්‍ය ආයතනවලට ගැට ගසනු ලැබීමේ උත්සාහයන් ඔවුන් විසින් දෙගුන කර ඇත. හින්දු අධිපතිවාදී බීජේපීය පරාජය කිරීමේ නාමයෙන් මෑත දී පැවති බිහාර් ප්‍රාන්ත මැතිවරනයට කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගත ව තරඟ කල ස්ටැලින්වාදීහු, ඩීඑම්කේ නායකත්වය දෙන සන්ධානයක දෙවැනි පක්ෂය ලෙස කොංග්‍රසය කටයුතු කරන තමිල්නාඩුවේ හා බටහිර බෙංගාලයේ එලඹෙන මාසවල පැවැත්වෙන මැතිවරනවල දී, එලෙස ම කිරීමේ අපේක්ෂාවෙන් පසු වෙති.

මෙය වනාහි පසුගිය දශක තුන තිස්සේ ඔවුන් අනුගමනය කල ප්‍රතිගාමී මාවත ම, වඩා පුපුරනසුලු හා අන්තරායකාරී කොන්දේසි යටතේ දිගට ම අනුගමනය කිරීමකි. හින්දු දක්ෂිනාංශයට එරෙහි ව සටන් කිරීමේ නාමයෙන් සාධාරනීකරනය කරනු ලබන ඔවුන්ට මාවත පෙන්වන මූල ධර්මය වී තිබෙන්නේ, ඉන්දීය මහ ව්‍යාපාරිකයේ සමාජීය දහනශීලී ආයෝජක-ගැති න්‍යාය පත්‍රය ක්‍රියාවට දමන විරුද්ධ පක්ෂවලට කම්කරු පන්තිය ගැටගැසීම යි. කම්කරු පන්තිය දේශපාලනික ව මර්දනය කිරීම මගින් හා සමාජ අර්බුදයට කම්කරු පන්තියේ ම සමාජවාදී විසඳුම ඉදිරියට දැමීමෙන් එය වැලැක්වීම මගින්, මහජන කෝපය සහ රජයන දරිද්‍රතාව, මහා පරිමාන විරැකියාව හා උග්‍ර සමාජ අසමානතාව අරබයා පවතින ඉච්ඡාභංගය ගසා කා ඉන්දියාවේ ප්‍රධාන ආන්ඩු පක්ෂය බවට පත් වීමට ස්ටැලින්වාදීන් බීජේපීයට අවස්ථාව උදා කර දී ඇත.

එම දශක තුන තුල ම කම්කරු පන්තියේ ප්‍රමානයේ හා සමාජ බලයේ යෝධ වැඩි වීමක් සිදු වී තිබේ. එහෙත් එම බලය බලමුලුගන්වනු ලැබීමට නම්, කම්කරු පන්තිය සිය පන්ති ස්වාධීනත්වය වාත්තු කර ගැනීම, එහි විවිධ අරගල එකමුතු කිරීම, ගෝලීය කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිප්‍රහාරයට දිශාගත වීම හා පීඩිතයන් ඉන්දියානු හා ලෝක ධනවාදයට එරෙහි අරගලයක් තුලට රැලි කර ගැනීම කල යුතු ය. එසේ කිරීමට, ඉන්දීය කම්කරුවෝ ධනේශ්වරයේ සියලු පක්ෂ, ඔවුන්ගේ ස්ටැලින්වාදී සාපරාධී සහායකයන්, ඔවුන්ගේ ප්‍රජාගනවාදී, කුලවාදී හා ජාතිකවාදී පක්ෂ ප්‍රතික්ෂේප කරමින්, තමන්ගේ අරගල සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියා මාර්ගය මත පදනම් කල යුතු ය.

[මෙම ලිපිය නොවැම්බර් 26 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

කතෘ පහත ලිපි නිර්දේශ කරයි:

මෝදි ආන්ඩුව විරෝධතා මැද කම්කරු විරෝධී, ගොවි විරෝධී පනත් පාර්ලිමේන්තුව හරහා සම්මත කරවා ගනී

Loading