බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන ආන්ඩුවේ පරීක්ෂනය කම්කරුවන් මත වරද පැටවීමේ නින්දිත උත්සාහයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ කම්කරුවන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වුයේ, ඔවුන් අසනීප නොතකා මුදල් ඉපයීම සඳහා අතිකාල සේවයේ යෙදීමෙන් බව ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂනයේදී එලිදරව් වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සඳුදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ය. "ඔවුන්ට අතිකාල සේවයේ යෙදීමෙන් මුදල් ඉපයීමට අවශ්‍ය වූ නිසා උන තිබිය දී ඒ ගැන අධීක්ෂන නිලධාරීන්ට නොදන්වා පැරසිටිමෝල් ගෙන දිගටම වැඩ කල බවට රහස් පරීක්ෂක නිලධාරීන් විසින් ප්‍රකාශන සටහන් කර ගනිද්දී සමහර කම්කරුවන් පවසා ඇතැ"යි වීරසේකර එහිදී සඳහන් කලේ ය.

බ්‍රැන්ඩික්ස් කම්කරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වුයේ විදේශිකයෙකුගෙන් බවට "බලගතු ඇඟවීම්" ඇතැයි සෞඛ්‍ය සේවා රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ තවත් පචයක් වමෑරීය. යුක්රේන් ජාතික ගුවන්යානා කාර්ය මන්ඩල සාමාජිකයෙකු ලැඟුම් ගෙන සිටි සීදුව රාමදා හෝටලයේ සේවකයන්ට වෛරසය ආසාදනය වී තිබු බවත් ඔවුන් සහ සමහර බ්‍රැන්ඩික්ස් කම්කරුවන් අතර සම්බන්ධතා තිබු බවට පරීක්ෂනයෙන් එලිදරව් වී ඇති බවත් ඇය සඳහන් කලාය.

රාජපක්ෂ ආන්ඩුවේ ඊනියා පරීක්ෂනයේ වාර්තාව මෙතෙක් එලි දක්වා නැතත්, එය බ්‍රැන්ඩික්ස් කම්කරුවන්ට වෛරසය ආසාදනය වීමේ සත්‍ය තොරතුරු යට ගැසීමේ දැනුවත් ප්‍රෝඩාවක් බව ආන්ඩුවේ ඇමතිවරුන්ගේ ඉහත ප්‍රකාශන වලින්මත් පැහැදිලිවේ.

මෙම පරීක්ෂනය, කම්කරුවන් වසංගතයට ගොදුරුවීම සම්බන්ධ වගකීමෙන් ආන්ඩුවත්, බ්‍රැන්ඩික්ස් පාලකයනුත් නිදහස් කිරීමේ දුෂ්ට ව්‍යායාමයකි. බ්‍රැන්ඩික්ස් කම්කරුවන්ට වයිරසය ආසාදනයවීම සම්බන්දයෙන් "අපක්ෂපාති" පරීක්ෂනයක් කරන ලෙස රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටිමින් විපක්ෂයේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ වෘත්තීය සමිති මෙම ප්‍රෝඩාවට සහයෝගය දුන්හ.

බ්‍රැන්ඩික්ස් පාලකයන්ට ඔක්තෝබර් 5 වෙනිදා කම්හල වසා දැමීමට බල කෙරුනේ වෛරසය කම්කරුවන් අතර පුලුල්ව පැතිර තිබූ සහ එය තවදුරටත් සඟවා යටපත් කිරීමෙට නොහැකි කොන්දේසි තුලය.

වීරසේකරගේ ප්‍රකාශය කම්කරුවන් මාධ්‍ය වලට කරන ලද ප්‍රකාශයන් සමග මුලුමනින් ම පරස්පරවිරෝධී ය. ඔහු පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය මුලුමනින් ම අසත්‍ය බව සති තුනක නිරෝධායනයකින් පසු යලි සේවයට පැමිනි බ්‍රැන්ඩික්ස් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසීය. "වීරසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය වැරදියි. ඒකෙන් අදහස් කෙරෙන්නේ අපි අතිකාල කරලා උවමනාවෙන් වෛරසය බෝකර ගත්ත බවක්. ෆැක්ටරියේ පාලකයෝ මුලදීම කලෙත් වෛරසය බෝවීමේ වැරැද්ද ගැහැනු ලමයින්ගේ ඇඟට දාලා අත හෝදගන්න හදපු එක" යැයි කියා සිටි ඔහු ආන්ඩුවේ පරීක්ෂනය බ්‍රැන්ඩික්ස් පාලකයන් ආරක්ෂා කිරීමේ එකක් බව ද පැවසීය.

"ෆැක්ටරියේ ලොක්ක පලවෙනි පෙලේ සල්ලිකාරයෙක්. ජනාධිපතිත් එක්ක ලඟම සම්බන්ධකම් තියෙනවා. මැතිවරනෙටත් එයා සල්ලි දීලා තියෙනවා. මගේ යහලුවෝ කියන්නෙත් ෆැක්ටරියේ නම කැතවෙන නිසා පරීක්ෂන යට ගහනවා කියලා" ඔහු කීවේ ය.

අසනීප වී සිටියදී මුදල් ඉපැයීම සඳහා අතිකාල වැඩෙහි යෙදුනා නොව, ඊට විපරීතව, ඇනවුම් නිසි කලට ලබාදීම සඳහා, බ්‍රැන්ඩික්ස් පාලකයන් විසින් රෝගීව සිටි තමන් බලහත්කාරයෙන් වැඩෙහි යෙද වූ බව කම්කරුවන් මාධ්‍යයට පවසා තිබුනි.

බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයන් අතරින් ප්‍රථම ආසාදිතයා ලෙස හඳුනා ගැනුනේ ආර්.එම්.පී.එච්.රත්නායක නමැති සේවිකාවකි. ඇයට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනුනේ උන රෝගය සමග තදබල පපුවේ වේදනාවක් වැලඳී ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කරන ලද අහඹු පීසීආර් පරීක්ෂනයකිනි.

ඇය ඔක්තෝබර 14 ඩේලිමිරර් පුවත්පතට මෙසේ පැවසුවාය: "වැඩ කරමින් සිටිය දී මට උනක් හැදුනා. පසුව ක්ලාන්තයත් හැදුනා. නමුත් ඔවුන් අප ගැන සැලකීමක් දැක්කුවේ නැහැ. මට වැටහෙන ආකාරයට මේ ගැන චෝදනා කල යුත්තේ පාලනාධිකාරයට. ඇඟලුම් ෆැක්ටරියට නෙමෙයි. ඇනවුම් නැව්ගත කිරීමට තියෙද්දී පපුවේ අමාරුවට රෝහල්ගතවීම නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මට දොස් කියල මාව විවේචනය කල බව පසුව දැනගන්න ලැබුන."

"කම්කරුවන් ක්ලාන්ත උනහම ඔවුන්ගේ මුහුන වලට වතුර ටිකක් ඉහල ආපසු වැඩට යවනවා. ඔවුන්ට ලැබෙන්න විනාඩි පහක විවේකයක් පමනයි. ඒ වෙලාව තුල නාවොත් පනිවිඩයක් යවලා ආපසු වැඩට ගෙන්වන" බව ද ඇය සඳහන් කර තිබුනි.

බ්‍රැන්ඩික්ස් සේවකයන් හා රාමදා හෝටලයේ සේවකයන් අතර සම්බන්ධය ඇති වූ ආකාරය රාජ්‍ය ඇමති ප්‍රනාන්දුපුල්ලේ විස්තර කර නැති නමුත් බ්‍රැන්ඩික්ස් පාලකයන් විසින් සංවිධානය කරන ලද ප්‍රියසාදයක් හරහා එය සිදු බව රත්නායක ඩේලි මිරර් පුවත්පතට කල ප්‍රකාශයෙන් ඇඟවෙයි. "සමාගමේ විධායක නිලධාරීන් සඳහා සැප්තැම්බර් 25 වෙනිදා සීදුවේ හෝටලයක පොඩි සාදයක් සංවිධානය කලා. සැප්තැම්බර් 26 හෝටලෙන් සංගීත කන්ඩායමක් සමාගමට ගෙන්නලා සවස 3 සිට 6 වෙනකම් සේවකයන් සඳහා සාදයක් සංවිධානය කලා. මම එම සාදයට පවා සම්බන්ධ නොවී වැඩ අවසන් වෙලා ගෙදර ගියා" යැයි ඇය පවසා ඇත.

අනාරක්ෂිතව හා රුදුරු සූරාකෑමේ කොන්දේසි යටතේ බ්‍රැන්ඩික්ස් කම්කරුවන් බලහත්කාරයෙන් සේවය යොදවන ආකාරය ලෝක සමාජවාදී වෙබ අඩවිය එලිදරව්  කර ඇත.

බ්‍රැන්ඩික්ස් කම්කරුවන් 1200 කට පමන වෛරසය ආසාදනය වුයේ ඔවුන්ගේ වරදකින් නොවේ. වසංගතය ව්‍යාප්තව පැවතියදී ආර්ථිකය විවෘතකොට කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දක්කීමේ ආන්ඩුවේ දුෂ්ට පිලිවෙත හා බ්‍රැන්ඩික්ස් පාලකයන් ගේ මෙම නින්දිත නොතැකීම නිසාවෙනි. එය මිනුවන්ගොඩට පමනක් සීමා නොවේ.

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කම්කරු කාන්තාවකට වෛරසය අසාදානය වී ඇති බව ඔක්තෝබර් 29 වෙනිදා කරන ලද පරීක්ෂනයකින් තහවුරුවීමෙන් පසුවද සමාගම ක්‍රියාකර ඇත්තේ එයාකාරයෙන් ම ය. පසුදින රත්ගම පදිංචි එම කාන්තාව සමග බස් රථයේ එකට ගමන් කල සේවකයන් 35 දෙනෙකු සහ තවත් 27 දෙනෙකු පරීක්ෂන වලට යොමු කිරීමෙන් පසු සෞඛ්‍ය නිලධාරීන් විසින් කම්හලේ සියලු සේවකයන් දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කෙරුනි.

එහෙත් දින දෙකකින් නිරෝධායනය අවසන් කල බ්‍රැන්ඩික්ස් පාලකයෝ පොලීසියේ මැදිහත්වීම ඇතිව කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට ගෙන්වා ගත්හ. රාජපක්ෂ අන්ඩුවේ අනුදැනුම සහ අනුග්‍රහය නොමැතිව එවැන්නක් කල නොහැකිය.

රටවල් කිහිපයකම කර්මාන්තාශාලා පවත්වාගෙන යන බ්‍රැන්ඩික්ස් සමාගම ලංකාවේ විශාලතම රෙදිපිලි නිෂ්පාදන සමාගම් වලින් එකකි. එහි 50,000 ට අධික ශ්‍රම බලකායක් සේවයේ යොදවා ඇති අතර, වික්ටෝරියාස් සීක්‍රට් සහ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ඇතුලු එක්සත් ජනපදයේ හා යුරෝපයේ රෙදිපිලි මිලදී ගැනීමේ හා අ‌ලවියේ යෙදෙන යෝධ සංගත සමග ගනු දෙනු කරමින් දැවැන්ත ලාබ උපයයි.

ඔක්තෝබර් 27 වෙනිදා මිනුවන්ගොඩ කම්හල යලි විවෘත කල බවත් දැනට 300 ක් පමන වැඩ කරන බවත් කම්කරුවෙක් පැවසීය. වසංගතය වේගයෙන් රට තුල පැතිර යන තත්වය තුල කම්කරුවන්ගේ මෙන් ම ප්‍රදේශවාසීන්ගේ ජීවිත ද අනතුරේ හෙලමින් කම්හල යලි විවෘත කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් එදින සංවිධානය කර තිබු උද්ඝෝෂනයක් පොලීසිය විසින් විසුරුවා හැර ඇත.

තමා සති තුනක් පමන නිරෝධායනට යවා තිබු බවත් නිරෝධායනයේ යෙදුන කම්කරුවන්ට නිසි ආරක්ෂාවක් හෝ පහසුකමක් නොතිබුන බවත් ඔහු පැවසීය. "අපේ ෆැක්ටරියෙන් ගිය 160 ක් පමන ඒ කඳවුරේ හිටය. මුලින් ම කල පීසීආර් පරීක්ෂනයේ දී ආසාදිතයෝ සියයක් හමුවුනා. පෑලියගොඩ 'පොකුරෙන්' ආපු අයත් එක්ක ඔක්කොම 300 ක් පමන හිටිය. ආසාදිත වූ අයයි නැති අයයි එකට හිටියෙ. බලධාරීන්ගෙන් ඒ ගැන විමසපුවහම ඒ ගොල්ලෝ කිව්වේ ඉඩමදි, ඔයාල පරෙස්සමෙන් ඉන්න කියල." ඔහු පැවසීය

ඔවුන්ට ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දීමනා සහිත මුළු වැටුප ගෙවා ඇති අතර මෙම මාසයේ ලැබී ඇත්තේ මූලික වැටුප සහ පැමිනීමේ දීමනාව පමනක් බව තවත් කම්කරුවෙක් පැවසීය. "ඒ නිසා මගේ වැටුප රුපියල් 40,000 සිට රුපියල් 30,000 ට අඩු අඩුවෙලා. දෙසැම්බර් මාසෙට නියමිත බෝනස් දීමනාව ගෙවන බවටත් සහතිකයක් නැහැ. මාර්තු මස 17 ෆැක්ටරිය වහපු නිසා අප්‍රේල් මාසේ බෝනස් එක ගෙව්වෙත් නැහැ” යැයි ඔහු කීවේය.

වසංගතය රට පුරා පැතිරයාමේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට මිනුවන්ගොඩ, කටුනායක, බියගම, කොග්ගල සහ සීතාවක පුර ඇතුලු අපනයන කලාප තුල සහ ඉන් පිටත පිහිටි කම්හල්වල සේවයේ නියුතු විශාල පිරිසක් වසංගතයට ගොදුරු වී සිටිති. එහෙත් ලෝකයේ අනෙක් සියලුම රටවල පාලක පන්තීන් සහ සංගත හිමියන් මෙන් ම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ද අනුගමනය කරන්නේ කම්කරුවන් ගේ ජීවිත පරදුවට තබා ඔවුන් ව බලහත්කාරයෙන් හා අනාරක්ෂිතව වැඩට දැක්කීමෙන් ලාබ ඉපැයීමේ මිනීමරු "නව සාමන්‍ය" පිලිවෙතයි.

රාජපක්ෂ ආන්ඩුව බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධ ඊනියා පරීක්ෂනය මගින් සත්‍යය හිතාමතා යටගැසීමට උත්සාහ කරන්නේ මෙම සාපරාධී පිලිවෙත කෙරෙහි කම්කරුවන් හා මහජනතාව අතර වැඩෙන කෝපය යටපත් කරමින්, වසංගතයට කම්කරුවන් තවතවත් ගොදුරු කරමින් ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙනයාමේ දුෂ්ට චේතනාවෙනි.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සහ සෙසු කම්හල් තුල කම්කරුවන් කොවිඩ් 19 වසංගතයට නිරාවරනය කිරීම සම්බන්ධයෙන් හා අමානුෂික හා දුෂ්කර සේවා කොන්දේසි සම්බන්ධයෙන් සත්‍යය හෙලිදරව් කල හැක්කේ ස්වාධීන කම්කරු පරීක්ෂනයන් තුලින් පමනි.

.

Loading