වසංගතය මැඩලීමකින් තොරව පාසල් විවෘත කිරීමට එරෙහි වනු! ජීවිත රැක ගැනීමට ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටු ගොඩ නගනු!

රට පුරා කොවිඩ්-19 වසංගතය සීග්‍රයෙන් පැතිර යමින් තිබිය දී, රාජපක්ෂ ආන්ඩුව පසුගිය මාසයේ 23 දා පාසල් විවෘත කොට මේ වනවිට සති තුනක් ඉක්මවා තිබේ. ගුරුවරු, අනධ්‍යයන සේවකයන් වන අප මෙන්ම සිසු දරුවන් හා දෙමාපියන් ද මේ වන විට අත්දකිමින් සිටින්නේ තම ජීවිත අනතුරේ හෙලා අධ්‍යාපනය ද කඩාකප්පල් කොට ඇති ආකාරයයි.

පසුගිය සතියේ හැටන් ප්‍රදේශයේ සිසුන් පස් දෙනෙකුට හා ගුරුවරියකට රෝගය ආසාදිත වී තිබේ. නුවර ගෙලිඔය විද්‍යාලය, දෙනුවර උඩඅලුදෙනිය මහා විද්‍යාලය, ට්‍රිනිටි විද්‍යාලය, ගාල්ල නගරයේ බාලිකා පාසලක, නිකවැරටිය අවුලේගම මහා විද්‍යාලය යන පාසල් ආශ්‍රිතව රෝගීන් ගනනාවක් වාර්තා විය. 14 වන සඳුදා යාපනයේ උඩුවිල් ප්‍රදේශයෙන් රෝගීන් 26 ක් වාර්තා වීමෙන් පසු යාපනයේ පාසල් 140 ක් වසා දැමීමත් සමග ගෙුනු සති කිහිපය තුල රටපුරා පාසල් තුන්සීයකට වැඩි ගනනක් වසා දැමීමට බල කෙරුනි.

තදබදයෙන් පිරුනු කුඩා පංතිකාමරවල සමාජ දුරස්ථකරනය පවත්වා ගත නොහැකි ය. [credit: WSWS]

පසුගිය 23 දා පාසල් විවෘත නොකෙරුනු බස්නාහිර පලාතින් පිටත, මහනුවර, ගාල්ල සහ යාපනය වැනි ප්‍රධාන නගර ආශ්‍රිතව හා රටපුරාමත් ආසාදිතයන් සංඛ්‍යාව දිනපතා සිය ගනන්වලින් ඉහල යෑමට එම ප්‍රදේශවල පාසල් විවෘත කිරීම බලපා තිබිය හැක. නිල වාර්තාවලට අනුව මේ වන විට ලංකාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 33,800 කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 9,000 ට අධිකය. කොවිඩ්-19 ආසාදනයෙන් සිදු වී ඇති මරන සංඛ්‍යාව 154 කි.

වසංගතය පැවතිය දී කම්හල් විවෘත කිරීම හා සමානවම, පාසල් විවෘත කිරීම වසංගත ව්‍යාප්තියේ ප්‍රමුඛතම සාධකයක් වී ඇත. වැඩිහිටියන්සේම දරුවන් ද, වසංගතය හේතුවෙන් ජීවිත අවදානමට මෙන්ම, දීර්ඝකාලීන ප්‍රතිවිපාකවලට ලක්විය හැකි බව ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

නමුත් මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ධනපති අතලොස්සකගේ ලාභ අවශ්‍යතා පිහිටුවා ඇති ලොව පුරා ධනපති ආන්ඩු මෙම විද්‍යාත්මක සත්‍යයන් මුලුමනින්ම ඉවත දමා තිබේ. පාසල් දරුවන් නිවෙස් තුල රැඳී සිටීම කම්කරුවන් වැඩට කැඳවා ගැනීමට එරෙහි බාධකයක් ලෙස සලකා වසංගතය මධ්‍යයේ පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කොට ඇත.

මෙය පාලනයකින් තොර රෝග ව්‍යාප්තිය හා ජීවිත විනාශයේ ප්‍රධාන හේතු සාධකය වේ. එහි ගෝලීය මානව වියදම කෙතෙක්දයත්, මේ වන විට මිලියන 61 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත් කරමින්, මිලියන 1.6 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇත.

මධ්‍යම පලාතේ සමස්ත ආසාදිතයින් 862 න් 540 ක්ම මහනුවර දිස්ත්‍රික්කයේ වන පසුබිමක දී පවා මහනුවර නගර මධ්‍යයේ පිහිටි පාසල් 42 ක් මේ සතියේ යලි විවෘත කිරීමට ආන්ඩුව ගෙන ඇති තීන්දුව මගින් පෙන්නුම් කරන්නේ බස්නාහිර පලාතේ පාසල් ද නුදුරේම විවෘත කරනු ඇති බවයි. පෙර පාසල් හා ප්‍රාථමික අංශයේ පාසල් ජනවාරි මාසයේ දී විවෘත කරන බව සඳුදා අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් ප්‍රකාශ කලේ ය.

වසංගතයට විද්‍යාත්මකව සනාථ කෙරුනු එන්නත් කීපයක් දැනටමත් සොයා ගෙන තිබිය දී, කෙතෙක් කලක් ආර්ථිකය සහ පාසැල් වසා දමා තිබිය යුතුද යන ප්‍රශ්නය තවදුරටත් වලංගු නොවේ. එම තතු තුල කල යුත්තේ, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන හා පාසල් වසා දමා, හැකි ඉක්මනින් සියලු ජනයාට එන්නත ලබා දී ඔවුන් මරනයෙන් මුදා ගැනීමයි.

නමුත්, රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩු සියලු ආර්ථික කටයුතු සහ පාසල් විවෘතව තබා ගනිමින් ලක්ෂ සංඛ්‍යාත ජනයා තවදුරටත් මරනයට ගොදුරු කරමින් සිටිති. ලොව ප්‍රධාන ආර්ථිකය හා වැඩි දියුනු තාක්ෂනිනක දැනුම හිමි ඇමරිකා එක්සත් ජනපදයේ දිනකට මරන 3,000 ක පමන හා ලොවපුරා දිනකට මරන 12,500 ට අධික මරන රේට්ටුවක් වාර්තා වෙමින් පවතී.

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනාධිකාර‌යේ සිට ඉන්දියාවේ මෝදි ආන්ඩුව දක්වා ලොවපුරා ධනපති ආන්ඩු ක්‍රියාවේ යොදවා ඇත්තේ, සියලු ජනයා වසංගතයට නිරාවරනය කොට ප්‍රතිශක්තිය ජනනය කරගතහැකිවුනට දිවි ගලවා ගැනීමටත්, අනෙකුන්ට මියයාමටත් ඉඩ හරින සමූල ඝාතක 'රංචු ප්‍රතිශක්තිකරන' පිලිවෙතයි. රාජපක්ෂ ආන්ඩුව අනුයන්නේ එම සාපරාධී පිලිවෙත වන අතර, පරීක්ෂන පුලුල් කරනවා වෙනුවට, එය මහජනතාවගේ සිරුරු තුල කෙතෙක් ප්‍රතිදේහ නිපදවී ඇත්දැයි පරීක්ෂා කිරීම දැන් ආරම්භ කොට තිබේ. මෙම නරුම ව්‍යායාමයට කොලඹ නගර සීමාවේ මහජනතාව නියැදියක් ලෙස තෝරාගෙන ඇත.

බස්නාහිර පලාතේ පාසල් මෙතෙක් විවෘත නො කෙරුන ද රෝග ව්‍යාප්තියට කොන්දේසි සකසාලමින් සංචරන සීමා ඉවත් කොට කම්හල්, වෙලඳසැල්, බැංකු විවෘතව තබා ඇති අතර අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන්ට වැඩට යෑමට බල කොට තිබේ. මිලිටරි ආඥාදායකත්වයක් දිශාවට වේගයෙන් ගමන් කරන ජනාධිපති රාජපක්ෂ වසංගත මර්දන යාන්ත්‍රනය ආරම්භයේ සිටම මිලිටරිය යටතට පත් කලේය.

වසංගතයට ගොදුරු වෙතැයි යන සාධාරන භීතියෙන් වැඩට නොපැමිනි කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම සඳහා, ජනාධිපති රාජපක්ෂ විසින් වරාය 'අත්‍යාවශ්‍ය සේවාවක්' බවට පත් කෙරුනේ, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට ද අනතුරු අඟවමිනි.

ලොවපුරා ආන්ඩුවල මෙම සාපරාධී පිලිවෙත් වලට එරෙහිව, විශේෂයෙන්ම අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීමට එරෙහිව ජාත්‍යන්තර පරිමානව ගුරුවරුන්ගේ, ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ බලගතු අරගල පැන නංවා ඇත. ලංකාවේ ගුරුවරුන් හා දෙමාපියන් අතර වර්ධනය වෙමින් පවත්නා විරෝධය එම ජාත්‍යන්තර ප්‍රපංචයේ කොටසකි. ඊයේ නිකවැරටිය අවුලේගම මහා විද්‍යාලයේ ගුරුවරු නිවාඩු වාර්තා කල අතර දෙමාපියෝ සිය දරුවන් නිවෙස් කරා රැගෙන ගියහ.

ගුරුවරන්ගේ සහ අවශේෂ කම්කරු පන්තියේ විරෝධය වැඩෙද්දී, ලොවපුරා වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ, ධනපති ආන්ඩු සහ මහා සමාගම් සමග ඒකාබද්ධව වසංගතය මගින් ගැඹුරු කෙරුනු ධනේශ්වර අර්බූදයේ බර මහජනයා මත පැටවීමට විවෘතවම කරබදු වෙමින් සිටිති.

ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අයත් ඒකාබද්ධ ගුරුසේවා සංගමය (ඒගුසේස) ප්‍රමුඛ සියලූම ගුරු-විදුහල්පති වෘත්තීය සමිති, වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට කවර හෝ විරුද්ධත්වයක් පලකර නොමැත. ඔවුන් ආන්ඩුවට දෝෂාරෝපනය කර ඇත්තේ තමා සමග සාකච්ඡා නොකර එම තීරනය ගැනීම පිලිබඳවයි.

ව්‍යසනකාරී අයුරින් පාසැල් විවෘත කිරීමට එරෙහිව මහජන විරෝධය වැඩෙද්දී, 'ආරක්ෂාව තහවුරු කර පාසල් ආරම්භ කරනු' යනුවෙන් ආන්ඩුවට කනිපින්දම්කීමේ ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක මෙම සමිති යෙදී සිටිති. ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ, මෙවර අයවැයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් දැවැන්තව කප්පාදු කල සහ 'සෞඛ්‍යාරක්ෂාව' සඳහා පාසලකට රුපියල් 7,000 ක් තරම් සොච්චම් මුදලක් පමනක් වෙන්කල නරුම පාලන තන්ත්‍රයකටය.

ඉහත ආරක්ෂාව ධනපති ආන්ඩු යටතේ තහවුරු කර ගත නොහැකි බව වෘත්තීය සමිති හොඳින් දනී. ඒ තත්වය තුලදී, තැන තැන හුදකලා විරෝධතා හා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් වෘත්තීය සමිති යෙදී සිටින්නේ ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ වෛරය අවමංගත කිරීමේ ප්‍රතිගාමී ව්‍යායාමයකය. ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය තුලින් ආන්ඩුවට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වය සමස්ත ධනපති ක්‍රමයට එරෙහි ව්‍යාපාරයක් දක්වා වර්ධනය වෙතැයි ආන්ඩුව ඇතුලු පාලක පන්තිය මෙන්ම වෘත්තීය සමිතිද එක සේ භීතියට පත්ව සිටිති.

ඒ තත්වය තුල, සෑම පාසලකම හා නිවහන් ප්‍රදේශ ආශ්‍රිතවත් වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ගුරු-සිසු-දෙමාපිය කමිටු ගොඩනැගිය යුතු යයි කියා සිටින අපි, ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමටත්, දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සුරක්ෂිත කිරීමටත් පහත ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙමු.

  • වසංගතය මුලුමනින්ම පාලනය කරන තුරු සියලු සේවකයන්ට වැටුප් ගෙවිම් සහිතව පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම
  • පලල් පරිමානයෙන් රෝග පරීක්ෂන ඉහල දැමීම
  • සිසුන්ට නිවසේ සිට ඔන් ලයින් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය නවීන පරිගනක සහ අන්තර්ජාල පහසුකම් නොමිලේ සම්පාදනය කිරීම
  • ගුරුවරුන්ට ඔන්ලයින් ඉගැන්වීම පිලිබඳ විධිමත් පුහුනුවක් නොමිලේ ලබාදීම
  • වසංගතය පාලනය කොට පාසැල් විවෘත කිරීමෙන් පසු පන්ති කාමරවල සෞඛ්‍ය ආරක්ෂාවත්, ගුනාත්මක අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමත් ඉලක්ක කොටගෙන ගුරු-සිසු අනුපාතය 1:15 දක්වා පහල දැමීම.
  • විද්‍යාත්මක පරීක්ෂන මගින් තහවුරු කෙරෙන එන්නත් නොමිලේ මහජනතාවට ලබා දීම
  • සිසුන් හා ගුරුවරුන් පාසල්වලට සෞඛ්‍යාරක්ෂිතව ප්‍රවාහනය කිරීමට ඒ සඳහාම වෙන් වූ ප්‍රවාහන සේවාවන් දියත් කිරීම.

වසංගතයට කම්කරු-පීඩිත මහජනතාව බිලිදෙමින් සහ බිලියනපතියන් තව තවත් තර කරමින්, මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයක් දිශාවට ඇද දමමින් සිටින යල්පිනූ ධනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන යන දේශපාලන අරගලයකින් තොරව, දැවැන්ත සමාජ ධනය හා විද්‍යාව තාක්ෂනයේ අති විප්ලවීය ශක්‍යතා මෙවැනි දැවෙන මානව අවශ්‍යතා සඳහා උපයෝගී කර ගත නොහැක. දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලිය හැක්කේ, මහා පරිමාන බැංකු, දැවැන්ත සමාගම් හා සුවිසල් වතු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදීමෙන් පමනි.

එවන් අරගලයකට සපුරා එරෙහි ධනපති උපකරනයන් වන වෘත්තීය සමිතිවලින් ස්වාධීන වන අප ගුරු-සිසු-දෙමාපිය කමිටුව, ගුරුවරු, අනධ්‍යයන සේවකයන් ඇතුලු අවශේෂ කම්කරු පන්තිය තුල සටන් වදින්නේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක වූ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නායකත්වය යටතේ ය.

සසප දැනටමත් සෞඛ්‍ය අංශයේ කම්කරුවන්ගේ හා වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට මූලිකත්වය ගෙන තිබේ. ලෝක කම්කරුවන්ගේ පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අයත් සසප ශාඛාවන් ඉහත ඉදිරි දර්ශනය යටතේ ගනු ලැබූ ආරම්භකත්වයන් මත, ඇමරිකා එක්සත් ජනපදයේ, ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ ගොඩනගා ඇති, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සුරක්ෂිතතා කමිටු හා මෝටර් රථ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු පන්යට පෙරමග පෙන්වමින් ධෛර්යසම්පන්න අරගලයක නිරතව සිටිති. මෙම අරගලයන්ගේ කේන්ද්‍රීය මාධ්‍යය වනුයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියයි.

ඉහත ඉදිරිදර්ශනය පිලිබඳව වැඩිදුර සාකච්ඡාවන් වර්ධනය කර ගැනීමටත්, ඔබ පාසලේ හා නිවහන් ප්‍රදේශ ආශ්‍රිතව ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමටත්, අප ගුරු-සිසු-දෙමාපිය කමිටුව සමග ඒකාබද්ධ වන ලෙස අපි සියලුම ගුරුවරුන්ට, උසස් අධ්‍යාපන ශිෂ්‍යයන්ට හා අවශේෂ කම්කරුවන්ට කැඳවුම් කර සිටින්නෙමු.

Loading