වසංගතය වේගයෙන් පැතිරුන ද පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කර තබන ලෙස රාජපක්ෂ අන කරයි

දෙසැම්බර් 10 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී, “ප්‍රාථමික අංශවල සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනයේ ප්‍රගතිය සඳහා ආන්ඩුව ගෙන ඇති ප්‍රතිපත්ති කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආපසු හැරවීමට ඉඩ නො දෙන්නැයි“ අධ්‍යාපන ‘බලධාරීන්ට‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කලේය.

පසුගිය නොවැම්බර් මස 23 දා රටපුරා පාසල් විවෘත කිරීමට එරෙහිව ගුරුවරුන්ගෙන් හා දෙමාපියන්ගෙන් එල්ල වූ බරපතල විරුද්ධත්වය ද නොතකා, කුමන හෝ ජීවිත වියදමක් දරා එම මිනීමරු පිලිවෙත ඉදිරියට ගෙන යෑමට රාජපක්ෂ දරන ව්‍යායාමය මුලුමනින්ම සාපරාධීය.

පසුගිය 23 දා බස්නාහිර පලාත හැර සෙසු පලාත්වල 6 සිට 13 ශ්‍රේනි දක්වා පාසල් විවෘත කලේ රටපුරා රෝගීන් වාර්තා වෙමින් තිබියදී ය. පාසල් විවෘත කොට දැන් මාසයක් ගත වී තිබේ. මේ වන විට දිවයින පුරා දිනකට සිදු කරන සීමිත පීසීආර් පරීක්ෂනවලින් පවා පෙන්නුම් කරන්නේ පාසල් විවෘත කිරීමෙන් පසු රෝග ව්‍යාප්තිය වැඩි වෙමින් ඇති බවයි. ‍

උදාහරනයක් ලෙස මධ්‍යම පලාතේ ආසාදිතයන් සංඛ්‍යාව 1,250 ක් ඉක්මවා තිබේ. දින දෙකකට පෙර එම පලාතේ මහනුවර, නුවරඑලිය හා මාතලේ යන දිස්ත්‍රික්කවල පිලිවෙලින් 765, 331 හා 94 ක් ලෙස රෝගීන් වාර්තා විය. ගාල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් ගෙවුනු මාසය පුරා වසා දැමුනේ පාසල් ආශ්‍රිතව රෝගීන් වාර්තා වීම හේතුවෙනි. දකුනු පලාතේ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 714 දක්වා ඉහල ගොස් තිබේ. ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ එක් දිනකදී රෝගීන් 42 ක් සොයා ගැනීමෙන් පසු පෙරේදා දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමුනි.

මේ වන විට හැටන් ප්‍රදේශයේ පාසල් දෙකක ශිෂ්‍යයන් 5 ක් සහ එක් ගුරුවරියක් රෝගයට ගොදුරු වී සිටිති. පේරාදෙනිය, කොලඹ හා රුහුනු යන විශ්වවිද්‍යාලවලින් ද රෝගී ශිෂ්‍යයන් වාර්තා විය. යාපනය, රත්නපුර, කිලිනොච්චි හා වව්නියා වැනි දිස්ත්‍රික්කවල ද බහුල ලෙස රෝගීන් වාර්තා වන තත්වයේ දී මේ වන විට රටපුරා පාසල් තුන් සියයකට අධික සංඛ්‍යාවක් වසා දමා තිබේ.

මෙවන් තත්වයක් තුල ඉතා හදිසිභාවයකින් ඉස්මතු කොට ඇත්තේ රටපුරා පාසල්, විශ්වවිද්‍යාල හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන කටයුතු නවතා දමා ජීවිත ආරක්ෂාව සහතික කිරීමයි. විද්‍යාත්මකව තහවුරු කෙරුනු එන්නත් මේ වන විට සොයා ගෙන තිබිය දී ජීවිත බිලිදීම මුලුමනින්ම නතර කල යුතුය.

ජීවිත රැක ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිකූල ලෙස, රාජපක්ෂගේ නියෝග ක්‍රියාවට නගමින් අධ්‍යාපන ඇමති පසුගිය දා නිවේදනය කලේ ජනවාරී මස 11 දාට මෙතෙක් ආරම්භ නො කෙරුනු ප්‍රාථමික හා පෙර පාසල් ද ආරම්භ කරන බවයි. බස්නාහිර පලාත තුල පාසල් සහ උපකාරක පන්ති විවෘත කිරීමට අවසර ලබා දීමට කටයුතු කරන බව පීරිස් වැඩි දුරටත් ප්‍රකාශ කලේ ය.

වසංගතය පැතිරෙද්දී කම්හල් විවෘත කිරීම හා සමානවම, පාසල් විවෘත කිරීම වසංගත ව්‍යාප්තියේ ප්‍රමුඛතම සාධකයක් වී ඇති බවත්, දරුවන් වැඩිහිටියන් සේම රෝගයෙන් ජීවිත අවදානමට මෙන්ම දීර්ඝකාලීන ප්‍රතිවිපාකවලට ලක්විය හැකි බවත් ජාත්‍යන්තර පරිමානව වෛද්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

උදාහරනයක් ලෙස ලෝකයේ ප්‍රමුඛ විද්‍යාත්මක සඟරාවලින් එකක් වන නේචර් සඟරාව නොවැම්බර් මාසයේ කරන ලද අධ්‍යනයකින්, පාසල් වසා දැමීම කොවිඩ්-19 වැලැක්වීමේ වඩාත් ම ඵලදායී ක්‍රමවලින් එකක් බව සොයා ගැනුනි. පාසල් දරුවන්ට රෝගය ආසාදනයවීම සම්බන්ධවත්, පාසල් තුල කොවිඩ්-19 පැතිර යාම පිලිබඳවත් ඇත්තේ “අඩු උත්සුකයක්” ය යන ආන්ඩුවල කියාපෑම් සඟරාව විසින් මුලුමනින්ම බැහැර කලේ ය.

නමුත් ලොව පුරා ධනපති ආන්ඩු මෙම විද්‍යාත්මක සත්‍යයන් මුලුමනින්ම ඉවත දමා තිබේ. රාජපක්ෂ අනුයන්නේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් තන්ත්‍රයේ සිට, බ්‍රසීලයේ බොන්සෙනාරෝ, බ්‍රිතානයේ ජොන්සන් හා අසල්වැසි ඉන්දියාවේ මෝදි ආන්ඩුව දක්වා ලොවපුරා ධනපති ආන්ඩු ගෙන යන සමූල ඝාතක “රංචු ප්‍රතිශක්තිකරන“ පිලිවෙතයි.

මහජනයාගේ ජීවිතවලට ඉහලින් ධනපතියන් අතලොස්සකගේ ලාභ පිහිටුවා ඇති පාලකයෝ කම්කරුවන් වැඩට දැක්කීම පහසු කරවීම සඳහා දරුවන් පාසල්, පෙර පාසල්වලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ගාල් කල යුතු යයි ගනන් බලති.

වසංගතය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේශ්වර අර්බුදය යටතේ ආන්ඩුවේ නය අර්බූදය දිනෙන් දින උග්‍ර කෙරෙමින් පවතී. අය-වැය පරතරය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 7.5 ක අගයක් ගෙන තිබේ. ඉදිරි වසර හතර සඳහා රුපියල් බිලියන 4.5 බැගින් නය වාරික ගෙවීමට සිදුව ඇති තත්වයේ දී ආන්ඩුව උදම් අනන්නේ “වේලාවට නය ගෙවා ඇති“ බවටයි.

එහි තේරුම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කර තිබෙන කප්පාදු පිලිවෙත් ක්‍රියාවේ යොදවමින් අර්බූදයේ මුලු බර කම්කරු පන්තිය මත පැටවීම ආන්ඩුවේ එකම පිලිවෙත වන බවයි.

වසංගතය හේතුවෙන් ආපසු හැරවීමට ඉඩ දිය නොහැකි “අධ්‍යාපනයේ ප්‍රගතිය“ ලෙස රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ මෙම අර්බූදයට ප්‍රතිචාර ලෙස නිදහස් අධ්‍යාපන අයිතිය අතුගා දැමීමේ සැලසුම් ය. එවා අතර ප්‍රධාන වන්නේ, දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට අධ්‍යාපනය පත් කිරීමේ අධ්‍යාපනය පෞද්ගලීකරනයේ වැඩපිලිවෙලයි. දෙවැන්න ශ්‍රම වෙලඳපලට ගැලපෙන ආකාරයට පවත්නා සීමිත ශාස්ත්‍රීය අධ්‍යාපනය පවා කප්පාදු කිරීමයි. 2019 ජනාධිපතිවරනයේ දී ඔහු විවෘතවම මේ සඳහා උද්ඝෝෂනයේ නිරත විය.

පසුගිය ජුනි හා නොවැම්බර් මාසවල දී වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට ආන්ඩුව වෙන් කල සොච්චම් මුදලින් දෙවතාවේදීම එක් පාසලකට හිමි වූයේ රුපියල් විසිදාහකටත් අඩු මුදලකි. 2021 අයවැයෙන් සමස්ත අධ්‍යාපන පිරිවැය බිලියන 40 ක් කපා හරිමින් බිලියන 126 ක් දක්වා කප්පාදු කිරීම මගින් ප්‍රකාශයට පත්වන්නේ මෙවැනි කප්පාදු තවදුරටත් ඉදිරියට යන බවයි.

අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් කප්පාදු කර ඇති ආන්ඩුව කම්කරු පීඩිත මහජනයාගේ අරගල තලා දැමීම සඳහා ආරක්ෂක අංශයට රුපියල් බිලියන 440 ක් වෙන් කොට තිබේ. ගුරුවරු, වෛද්‍යවරු සහ හෙදියන් බඳවා ගන්නවා වෙනුවට හමුදාවට හා පොලීසියට දහස් ගනනින් බඳවා ගැනීම් ආරම්භ කර තිබේ.

වසංගත තත්වය තුල සිසුන් හා ගුරුවරු මුහුන දුන් එකදු ගැටලුවකට හෝ ආන්ඩුව “විසඳුම්“ ඉදිරිපත් කර නැත. රාජපක්ෂ ආන්ඩුව මුල සිටම පාසල් විවෘත කර තබා ගැනීමට යත්න දැරුවේ රට සාමාන්‍ය තත්වයට පත්ව ඇතිබව මවාපාමින් කම්කරුවන් වැඩට දැක්කීම සඳහා මිස දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ උත්සුකයකින් නොවේ.

පාසල් විවෘත කර ඇති මුත් දෙමාපියන් තම දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන උත්සුක වන තත්වයේ දී රටපුරා දරුවන්ගේ පාසල් පැමිනීම සියයට 50 මට්ටමේ පවතී. නාගරිකව එය සියයට 30 ක් නො ඉක්මවයි.

තදබදයෙන් පිරිනු පාසල්වල සිසුන් 40 ක් ඉක්ම වූ පන්ති කාමරවල මුහුනට මුහුනලා කරන අධ්‍යාපනය වෙනුවට, ඔන් ලයින් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම හරහා ජීවිත ආරක්ෂා කර ගනිමින් අධ්‍යාපන අවස්ථා සලසා දීම එකම විකල්පයයි.

නමුත්, ලංකාවේ පාසල් යන වයසේ ලමුන් සහිත පවුල් වලින් අන්තර්ජාල සම්බන්ධතා පවතින්නේ සියයට 34 ක් වැනි කුඩා කොටසකට පමනක් බව චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මැයි මාසයේදී ඉදිරිපත් කල සමීක්ෂනයක් මගින් හෙලිදරව් කෙරිනි.

එමෙන්ම ඔන්ලයින් ඉගෙනුම් වලදී අත්‍යවශ්‍ය ස්මාට් දුරකථනයක් හෝ පරිගනකයක් පවතින්නේ පවුල් වලින් සියයට 48 කට පමනි. සමාජයේ පහලම ආදායම් ලබන සමාජ-ආර්ථික කන්ඩායමෙහි ස්මාට් දුරකථන හෝ පරිගනක පවතින්නේ සියයට 25 කට හා අන්තර්ජාල පහසුකම් පවතින්නේ සියයට 21 කට තරම් අඩු ප්‍රතිශතයකටයි.

රටපුරා පාසල් මට්ටමින් ඔන් ලයින් අධ්‍යාපනයට යම් ආරම්භකත්වයන් ගෙන ඇති නමුත් ඉන් ප්‍රතිලාභ ලබන්නේ අතිශය සීමිත සංඛ්‍යාවකි. ඒ තත්වය තුල දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවටත්, ඔන් ලයින් අධ්‍යාපනයටත් බිලියන ගනනින් මුදල් වෙන් නො කොට රාජපක්ෂ සැබෑවට සැලසුම් කොට ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත අනතුරට හෙලා අධ්‍යාපනය ද කඩාකප්පල් කිරීමයි.

Loading