ඉදිරිදර්ශන

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ 2020 අර්බුදය

2020 ජනවාරි 3 වන දින, නව වසරේ පලමු කලාපයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියසමාජවාදී විප්ලවයේ දශකය ඇරඹේ” යන මාතෘකාව යටතේ ප්‍රකාශයක් පල කලේය. ලෝසවෙඅ ට පවා පූර්වාපේක්ෂා කල නොහැකිව තිබූ වේගයකින් සහ ප්‍රමානයකින්, ප්‍රකාශයේ මාතෘකාව සනාථ වී ඇත. අප පැමින සිටින්නේ තවමත් නොමේරූ විසිඑක්වන සියවසේ වඩාත්ම වැදගත් වසර අවසානයේ ය. 2020 වසංගතය, 1914 දී පලමුවන ලෝක සංග්‍රාමය පුපුරා යාම, 20 වන සියවස ට වැදගත් ඓතිහාසික හැරුම් ලක්ෂ්‍යයක් වූ පරිදි ම වැදගත් වනු ඇත. පලමුවන ලෝක සංග්‍රාමය, ඒවායේ සියලු ම්ලේච්ඡත්වයන් තුල ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා හෙලි කල අතර විසිවන සියවස නිර්නය කල විප්ලවවාදී හා ප්‍රති-විප්ලවවාදී නැගිටීම් පුපුරා යාමට හේතු විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපද) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්

2020 වසංගතය මුලු ලෝකයටම හෙලි කර ඇත්තේ, අතිමහත් බහුතරයකගේ අතිමූලික අවශ්‍යතාවයන් සහ ලාභය සඳහා වන ධනේශ්වර තල්ලුව අතර සමහන් කල නොහැකි ආර්ථික, සමාජීය හා සදාචාරාත්මක අගාධයයි. වසර ආරම්භයේ සිට කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිලියන 1.5 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එක්සත් ජනපදය තුල, මරන සංඛ්‍යාව 300,000 ඉක්මවා ඇත. ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානයේ දිනකට පුද්ගලයින් 3,000 ක් පමන මියයයි. රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී ඉතිරී ඇති අතර රටේ බොහෝ ප්‍රදේශවල දුර්වල සෞඛ්‍ය සේවා පද්ධති බිඳවැටීමේ සැබෑ අනතුරක් පවතී.

දැන්, එන්නත් නිපදවා බෙදා හරිනු ලබන අතර ආසාදනයට එරෙහිව එන්නත් කරනු ලබන්නන් ආරක්ෂා වනු ඇත. කෙසේ වෙතත්, මෙම දිග්ගැස්සුනු ක්‍රියාවලිය, මරන අනුපාතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට මාස කිහිපයක් අවශ්‍ය වනු ඇත. අද දින සිට අප්‍රේල් 1 දක්වා එක්සත් ජනපදය තුල අවම වශයෙන් තවත් මිලියන හතරක පමන පිරිසක් කොවිඩ්-19 නිසා මිය යනු ඇතැයි මේ වන විටත් පුරෝකථනය කර ඇත. එහෙත් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා බරපතල හදිසි පියවරයන් යෝජනා නොකෙරේ.

ආන්ඩුව, සංස්ථා සහ වෝල් වීදියේ වසංගතයෙන් ලාභ ලබන්නන් ද ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් ද ඔවුන්ගේ “ද්වේෂ සහගත නොසලකා හැරීමේ” ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන අතර, ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ප්‍රතික්ෂේප කරති. වසංගතයෙන් ආදායමට බලපෑම් ඇති සියලුම වැඩකරන ජනතාවට සහ කුඩා ව්‍යාපාරවලට හදිසි මූල්‍ය ආධාර ලබා දීම, පාසල් වසා දැමීම සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම සිදු නොවන්නේ ධනවාදී ක්‍රමය ජීවිතයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන බැවිනි. කොටස් වටිනාකම් ඉහල යාම හේතුවෙන් විශාල වශයෙන් වර්ධනය වී ඇති මූල්‍ය හා සංගත කතිපයාධිකාරීන්, කොටස් වෙලඳපොල, ආයතනික ලාභ සහ සියල්ලටමත් වඩා ඔවුන්ගේ පුද්ගලික ධනය කෙරෙහි අහිතකර ලෙස බලපාන සියලු ජීවිතාරක්ෂක ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙති.

වසංගතය එහි භයානක ගාස්තුව අය කරගන්නා අතර, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය දැවැන්ත සමාජ අසමානතාවයෙන් ඇති කරන ලද පීඩනයට යටින් බිඳ වැටෙමින් තිබේ. සංගත-මූල්‍ය කතිපයාධිකාරය තුල සැලකිය යුතු සහායක් සහිත ඩොනල්ඩ් ට්‍රම්ප්, තම ජනාධිපති ධුරය, අයිතිවාසිකම් පිලිබඳ පනත් කෙටුම්පත (Bill of Rights) යටපත් කිරීමට සහ ෆැසිස්ට් ආඥාදායකත්වයක් ඇති කිරීමට යොදා ගෙන තිබේ.

පෙර නොවූ විරූ සමාජ හා දේශපාලන අර්බුද සහිත මේ වසර තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කම්කරු පන්තියට ගෝලීය සිදුවීම් අසමසම ලෙස ආවරනය කිරීම සිය තීරනාත්මක හා අත්‍යවශ්‍ය භූමිකාව කරගෙන තිබේ. නමුත් එය සිදුවීම් පිලිබඳ වාර්තා කිරීම පමනක් නොව; ඒවා විශ්ලේෂනය කර ඒවායේ වැදගත්කම පැහැදිලි කරයි. ලෝසවෙඅ ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාකාරී වැඩසටහනක් සපයයි.

වසංගතය පිලිබඳ ආවරනය කිරීම අතින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමඟ සැසඳිය හැකි එකදු ප්‍රකාශනයක්වත් ලෝකයේ නැත. වසංගතය පැතිරීම පිලිබඳ එහි පලමු හරවත් වාර්තාව 2020 ජනවාරි 24 දින පල කරන ලදී.

ජනවාරි 25 වන දින එය අනතුරු ඇඟවූයේ, “කොරෝනා වෛරස් හදිසි අවස්ථාව අපගේ අවධානය යොමුකරවන්නේ ජනගහනයේ මූලික අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීමට ධනේශ්වර ක්‍රමය අසමත් වීමේ ප්‍රකාශනය ලෙස පවතින සෞඛ්‍ය අර්බුදයක් වෙතයි” යනුවෙනි.

වසංගතයට ඉක්මනින් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම සාධාරනීකරනය කරමින් ට්‍රම්ප් පරිපාලනය සහ මාධ්‍ය කියා සිටියේ වසංගතයේ විෂය පථය හා මාරාන්තික බව පුරෝකථනය කල නොහැකි බවයි.

එහෙත් අර්බුදයේ මුල් දිනවල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල අනතුරු ඇඟවීම් සහ හදිසි ක්‍රියාමාර්ගයන්ගෙන් මෙම සාහසික බොරුව හෙලි වේ:

2020 මාර්තු 6 වන දින, මුලු එක්සත් ජනපදයේ මුලු මරන සංඛ්‍යාව යන්තමින් 15 ක් වූ විට, වසංගතයේ විනාශකාරී විභවය සහ ආන්ඩුවේ ප්‍රතිචාරයේ සාපරාධී නොතැකීම යන දෙකම ඒ වනවිටත් ලෝසවෙඅ හඳුනාගෙන තිබුනි.අපි මෙසේ ලිවීමු:

ට්‍රම්ප් ආන්ඩුව ජනගහනයේ සෞඛ්‍යය කෙරෙහි දක්වන උදාසීනත්වය පාරාවෝවරුන් වහලුන්ට දක්වන ආකල්පයට වඩා වැඩි නොවේ. ඇතැම්විට ඊටත් වඩා නරකය. මිනිස් ජීවිත අහිමිවීමට වඩා වෝල් වීදියේ කොටස් වටිනාකම් පහත වැටීම ගැන වැලපීමට මාධ්‍යය බොහෝ කාලයක් ගත කර ඇත.

2020 මාර්තු 13 වන දින, කොවිඩ්-19 හේතුවෙන් එක්සත් ජනපදයේ සිදු වූ මුලු මරන සංඛ්‍යාව 47 ක් වූ විට, ලෝසවෙඅ ප්‍රකාශයක් නිකුත් කරමින්, “ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී” යන මාතෘකාව යටතේ අනතුරු ඇඟවූයේ: “කොරෝනා වෛරස් වසංගතය පෙර නොවූවිරූ පරිමානයෙන් සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය විය හැකිය” යනුවෙනි.

2020 මාර්තු 17 වන දින, එක්සත් ජනපදයේ සිදු වූ මුලු මරන සංඛ්‍යාව 100 ඉක්මවා ගිය විට, ලෝසවෙඅ, සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුව විසින් නිකුත් කරන ලද “කම්කරු පන්තිය සඳහා ක්‍රියාකාරී වැඩපිලිවෙලක්” ප්‍රකාශයට පත් කරන ලදී:

පසුගිය මාස දෙක තුල, වසංගතයට ප්‍රතිචාර වශයෙන් ධවල මන්දිරය ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග අරමුනු කර ඇත්තේ මූල්‍ය වෙලඳපොලවල් වලට මුක්කු ගැසීමයි.…

අතිවිශාල කාලයක් අහිමි වී ඇති නමුත් වසංගතයේ බලපෑම හා ප්‍රමානය රඳා පවතින්නේ දැන් ගත හැකි හදිසි ප්‍රතිචාර මතය.

අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මඟ පෙන්විය යුතු අත්‍යවශ්‍ය මූලධර්මය නම්, වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා, සංගත ලාභය සහ පෞද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ගත යුතු බවයි. එය, පාලක පන්තිය තමන්ට දිය හැකි යැයි කියන දේ නොව ජනතාවට අවශ්‍ය දේ ය.

මෙම ප්‍රකාශයන් සහ පසුගිය වසර තුල පල කල තවත් දුසිම් ගනනක් ලිපි, වෙනත් කිසිදු ප්‍රකාශනයක සොයාගත නොහැකි සමාජ හා දේශපාලන අවබෝධයක් පෙන්නුම් කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් භාවිතා කරනු ලබන මාක්ස්වාදී විධික්‍රමයේ අසාමාන්‍ය බලයට ඒවා සාක්ෂි දරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අනතුරු ඇඟවීම්වලට සවන් දුන්නේ නම් සිය දහස් ගනනකගේ ජීවිත බේරා ගත හැකිව තිබුනි. එහෙත් අපගේ අනතුරු ඇඟවීම්වලට සවන් දෙනවා වෙනුවට, ආයතනික ‍මාධ්‍ය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාරනය කිරීම දිගටම කරගෙන ගියේය.

එක්සත් ජනපදයේ දේශපාලන අර්බුදයට ලෝසවෙඅ හි ප්‍රතිචාරය, වසංගතය ආවරනය කිරීමට වඩා තීක්ෂන බුද්ධියෙන් අඩු නැත. 2020 ජුනි මස මුලදී, ලෝසවෙඅ විසින් කැරලිකෝලාහල පනත (Insurrection Act) ඉල්ලා සිටින ට්‍රම්ප්ගේ තර්ජනයේ අර්ථය සහ පුරවැසියන්ගේ විරෝධතා ප්‍රචන්ඩ ලෙස මැඩපැවැත්වීම සඳහා ඔහු මිලිටරි පොලිසිය බලමුලු ගැන්වීම නිවැරදිව තක්සේරු කලේය. 2020 ජුනි 4 වන දින පල කල ප්‍රකාශනයක ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියා සිටියේ:

දැන් ධවල මන්දිරය වූ කලී මිලිටරි ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීම සහ එක්සත් ජනපදය පුරා පැතිරී ඇති පොලිස් කෲරත්වයට එරෙහි විරෝධතා ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමේ කුමන්ත්‍රනයක දේශපාලන මර්මස්ථානයයි.

තවද, අනතුරු ඇඟවීමක දී, පසු සිදුවීම් දෙස බලන විට, අසාමාන්‍ය අනාගත ඥානයකින් පුරෝකථනය කර ඇත: “අර්බුදය පහව ගොස් ඇතැයි සිතීමට වඩා භයානක කිසිවක් නැත. එය යන්තම් ආරම්භ වූවා පමනි.”

වසංගතය ඛේදවාචකයක් පමනක් නොවේ. එය අනතුරු ඇඟවීමකි. ලාභය සහ පුද්ගලික ධනය ලුහුබැඳීම සඳහා පෘථිවිය යටත් කිරීම ෆැසිස්ට්වාදයට හා න්‍යෂ්ටික යුද්ධයේ අවසාන ව්‍යසනයට තුඩු දෙයි. නමුත් ප්‍රතිරෝධය පිලිබඳ මනෝභාවයක් ලොව පුරා වර්ධනය වෙමින් පවතී. ගෝලීය වසංගතයට පාලක ප්‍රභූන්ගේ සාපරාධී ප්‍රතිචාරය ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වෙන කවරදාටත් වඩා කෝපයක් ඇති කරයි. දේශපාලන අර්බුදය තීව්‍ර වීම සහ පන්ති අරගලය වර්ධනය වීම මගින් 2021 වර්ෂය සනිටුහන් වනු ඇත.

සෑම මහා ඓතිහාසික අර්බුදයක්ම දේශපාලන ව්‍යාපාර සහ ඒවායේ වැඩපිලිවෙල පරීක්ෂාවට ලක් කරයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ ලොව පුරා අනුබද්ධිත සමාජවාදී සමානතා පක්ෂවල හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට 2020 දී අභියෝග රැසකට මුහුන දීමට සිදුවූ බව සාධාරන ලෙස ප්‍රකාශ කල හැකිය.

එහි දේශපාලන විශ්ලේෂනයේ හා වැඩපිලිවෙලෙහි නිරවද්‍යතාවය සහ පැහැදිලිකම, කම්කරු පන්තියේ දෛනික අරගලවලට එහි වැඩෙන මැදිහත්වීම සමඟ එක්ව - ගූගල්, ෆේස්බුක්, ට්විටර් සහ රෙඩිට් (Google, Facebook, Twitter and Reddit) හි වාරනයන්ට නොකඩවා උත්සාහයන් තිබියදී වුවද - ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාව සැලකියයුතු ලෙස වර්ධනය විය. ලොසවෙඅ ඔක්තෝබර් 2 දින යලි දියත්කිරීම කිරීම වෙනුවෙන් උද්‍යෝගිමත් ප්‍රතිචාරයක් ලැබී තිබේ.

2019 දී ලෝසවෙඅ හි පිටු කියවීම් මිලියන 17 ක් වාර්තා කලේය. 2020 දී - නව වසර ආරම්භ වීමට සති දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී - ලෝසවෙඅ පිටු කියවීම් මිලියන 21.7 ක් වාර්තා කර ඇති අතර එය සියයට 28 ක වැඩිවීමකි.

ලෝසවෙඅ හි මුලු පාඨක සංඛ්‍යාව සියයට 41.7 කින් වැඩි වී තිබේ. ලොව පුරා ලෝසවෙඅ විසින් වාර්තා කරන ලද සැලකිය යුතු වර්ධනය ගැන අපි විශේෂයෙන් සතුටු වෙමු. බ්‍රිතාන්‍යයේ වෙබ් අඩවි පාඨක සංඛ්‍යාව දෙගුනයකට වඩා වැඩි වී තිබේ. ඕස්ට්‍රේලියාවේ පාඨක සංඛ්‍යාව සියයට 93 කින් වැඩි වී තිබේ. ඉන්දියාවේ සියයට 67 ක වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ සියයට 235 ක වැඩිවීමකි. බ්‍රසීලයේ සියයට 103 ක වැඩිවීමකි. තුර්කියේ, ලෝසවෙඅ භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 152 කින් වැඩි වී තිබේ.

අපගේ පාඨක සංඛ්‍යාවේ වර්ධනය සහ මුලු පිටු දසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන්, වෙබ් අඩවිය නිෂ්පාදනය කිරීම හා පල කිරීම සඳහා ලියන සහ දායක වන කතෘ මන්ඩලය ඇතුලු ලොව පුරා සිටින අපගේ බොහෝ සහෝදරවරුන්හට යුක්ති සහගත ලෙස ආඩම්බර විය හැකිය.

එහෙත් පාඨක සංඛ්‍යාවේ වැඩිවීම කම්කරු පන්තියේ වර්ධනය වන සටන්කාමී බවක් පිලිබිඹු කරන අතර, එමඟින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට නව හා ඊටත් වඩා බැරෑරුම් දේශපාලන, තාක්‍ෂනික හා සංවිධානාත්මක අභියෝගයන්ට මුහුන දීමට සිදුවනු ඇත.

මෙම අභියෝගයන්ට මුහුන දීමට ලෝසවෙඅ අදිටන් කරගෙන සිටියි. නමුත් අපට ඔබේ සහාය අවශ්‍යයි. ලෝසවෙඅ හි නිෂ්පාදනය, තාක්‍ෂනික නඩත්තුව සහ ගෝලීය ආවරනය වඩාත් සංකීර්න වන විට, වෙබ් අඩවිය පවත්වා ගෙන යාමට හා සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය සම්පත්වල පරිමානය ද ඉහල යයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය වෙනුවෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ 2021 අලුත් අවුරුදු අරමුදලට ඔබට හැකි විශාලතම පරිත්‍යාගය ලබා දෙන ලෙසයි. අද ආරම්භ වන මෙම අරමුදල් ව්‍යාපාරය 2021 පෙබරවාරි 15 දක්වා පවතිනු ඇත. ඔබට දැන් ඔබේ පරිත්‍යාගය කල හැකිය, නැතහොත් පෙබරවාරි 15 වන විට ලබාදෙන බවට පොරොන්දු විය හැකිය.

අපට ලැබෙන මුදල් අපගේ කාර්ය මන්ඩලය විශාල කර ගැනීමටත්, අපගේ ආවරන පරාසය පුලුල් කිරීමටත්, වේගයෙන් වර්ධනය වන අන්තර්ජාල තාක්‍ෂනය සමඟ ගමන් කිරීමටත් යොදා ගැනේ.

ලෝසවෙඅ හි පල කර ඇති මෙම වීඩියෝව සහ තොරතුරු ඔබේ මිතුරන්ට සහ සහෝදර සේවකයින්ට බෙදා හැරීමෙන් අරමුදල් ව්‍යාපාරයේ සාර්ථකත්වයට සහ වෙබ් අඩවියේ පාඨක සංඛ්‍යාවේ වර්ධනයට දායක විය හැකිය. ආයතනික මාධ්‍ය විසින් ලෝසවෙඅ වෙත ප්‍රවේශය වාරනය කිරීම හා මර්දනය කිරීම සඳහා දරන උත්සාහය අත්හරිනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු. නමුත් වෙබ් අඩවියට නව පාඨකයින් දිනා ගැනීමට ඔබ ගන්නා උත්සාහය මගින් මෙම පියවරයන්ට ප්‍රතිරෝධය දැක්විය හැකිය.

අවසාන වශයෙන්, ඔබ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඔබේ මූල්‍ය දායකත්වය ලබා දෙන විට, සියල්ලටම වඩා වැදගත් පියවර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කරන්න. ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම සඳහා මෙන්ම අසමානතාව, දේශපාලන මර්දනය සහ යුද්ධය නොමැති ලෝකයක් සඳහා වන අරගලයක් අතට ගන්න. 2021 දී සමාජවාදය සඳහා අරගලයට සම්බන්ධ වන්න.

මෙම ඉල්ලීම දෙසැම්බර් 19 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading