වතු කම්කරු වැටුප නිෂ්පාදන පලදායිත්වය මත පදනම් කල යුතු බව වතු සමාගම් අවධාරනය කරති

වතු කම්කරු වැටුප වැඩිකිරීම සම්බන්ධව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ මූලිකත්වයෙන් වතු සමාගම් සහ වෘත්තීය අතර දෙසැම්බර් 21 වෙනිදා පැවති සාකච්ඡාවේ දී දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීමේ ආන්ඩුවේ යෝජනාව වතු සමාගම් එක හෙලාම ප්‍රතික්ෂේප කලහ ඒ වෙනුවට නිෂ්පාදන පලදායිත්වය මත පදනම් වූ විකල්ප වැටුප් යෝජනා දෙකක් වතු සමාගම් විසින් ඉදිරිපත් කර ඇත.

ඉන් පලමුවැන්න, සතියකට දින තුනක් දෛනික වැටුපට සහ දින තුනක් කිලෝ ගනනට ගෙවීමේ කොන්ත්‍රාත් ක්‍රමය සහිත දෙමුහුන් ක්‍රමයක් ලෙස ඉදිරිපත් කර ඇත. කිලෝ ගනනට වැටුප් ගෙවන දිනයන්හි, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ඇතුලුව කඩන සෑම අමු තේ දලු කිලෝවකට ම රුපියල් 50 ක් ගෙවනු ලැබේ. මෙය කම්කරුවන්ගේ ප්‍රතිරෝධයට තුඩු දී ඇති ආදායම් බෙදීමේ කොන්ත්‍රාත් ක්‍රමය ඔවුන් මත ක්‍රමානුකුලව පැටවීමේ පිලිවෙතකි.

2018 වසරේ දී වතු කම්කරුවෝ සියයට සියයක වැටුප් වැඩි වීමක් වෙනුවෙන් ස්ට්‍රයික් සටන් මාලාවක් දියත් කලහ. එම වසරේ ඔක්තෝබරයේ දික්ඔය වත්තේ කම්කරුවෝ තම ඉල්ලීම වෙනුවෙන් පෙලපාලියක් පවත්වමින්

දිනකට දලු කිලෝ 30-40 ක් කැඩිය හැකිනම් ඔවුන්ගේ ඉපැයීම් විශාල වසයෙන් “ප්‍රසාරන”ය කර ගැනීමේ හැකියාව කම්කරුවන්ට ඇතැයි සමාගම් තර්ක කරති. රුපියල් 50 රේට්ටුව යටතේ දලු කිලෝ 20 ක් කඩන කම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක් හා මාසයකට රුපියල් 25,000 ක් ඉපැයිය හැකි බව ද, දිගටම එම ක්‍රමයට වැඩ කලහොත් මසක ඉපැයුම රුපියල් 37,500-62,000 අතර මුදලක් වන බවද සමාගම් කියති. එහෙත් වතුවල සාරවත්භාවය, කාලගුනය හා කම්කරුවන්ගේ වයස ඇතුලු සාධක ගනනාවක් මත දැනට පවතින දලු කිලෝ 16-18 ඉලක්කයන් සම්පූර්න කිරීම පවා ඔවුන්ට දුෂ්කරය.

මෙම යෝජනා ව ඉදිරිපත් කරමින් වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුලුමුල්ල මෙසේ සඳහන් කලේ ය: ' අපි සම්ප්‍රදායික වැටුප් ක්‍රමයෙන් ඉවත් විය යුතු අතර කම්කරුවන් ව්‍යවසායකයන් ලෙස බල ගැන්විය හැකි කර්මාන්තයේ ස්ථාවරත්වය දිසාවට යොමුවිය යුත්තෙමු. නිෂ්පාදන පලදායිත්ව මොඩලය ක්‍රියාවට ට දැමූ වහාම කම්කරුවන්ට නම්‍යශීලී වැඩ පැය ගනන් මෙන් ම, පවුලේ සෙසු සාමාජිකයන්ට ඉපයීමේ ක්‍රියාවලියට දායක වියහැකි කම්කරු සංචලනයේ වාසිය ද ලැබෙනු ඇත. වැඩකල යුතු වෙලාව සහ ආකාරය පිලිබඳව තීන්දු ගැනීමේ දී අපේ කම්කරුවන්ට භූමිකාවක් හිමිවන අතර ඔවුන්ගේ ඉපයීම් ක්‍රියාවලිය නාටකාකාර ලෙස වර්ධනය වනු ඇත.'

සමාගම් මවා පෙන්වන චිත්‍රයට විපරීතව, ඔවුන් ගනන් බලන ආකාරයේ මුදලක් ඉපැයීමට නම්, මහල්ලන්, දරුවන් ඇතුලු කම්කරුවාගේ මුලු පවුලම කැඹීරිය යුතුය.

දෙවැන්න වනුයේ, දෛනික මූලික වැටුප රුපියල් 700 ක්, අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් සඳහා රුපියල් 105 ක්, පැමිනීමේ දීමනාව රුපියල් 70 ක්, නිෂ්පාදන දීමනාව රුපියල් 75 ක් සහ මිල කොටස් අතිරේක ගෙවීම රුපියල් 75 ක් සහිතව, එකතුව රුපියල් 1025 ක් වන දෛනික වැටුප් ක්‍රමයකි. මෙම ක්‍රමය යටතේ කම්කරුවෙකුගේ මාසික ආදායම රුපියල් 4250 කින් පමන ඉහල යන බවද වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

මෙමගින් දැනට පවතින මූලික දෛනික වැටුප රුපියල් 20 කින් කප්පාදු කෙරෙන අතර, පැමිනීම, නිෂ්පාදන පලදායිත්වය සහ තේ මිල ඇතුලු සාධක මත අනෙකුත් දීමනා තීන්දු කෙරෙනවා මිස නිශ්චිත ව සහ අනිවාර්යයෙන් කම්කරුවාගේ ආදායමට එකතු වන ගෙවීම් නොවේ.

යෝජනා දෙකෙන් කවරක් ක්‍රියාවට දැමුන ද එමගින් සිදුවන්නේ කම්කරුවන් මත තව තවත් රුදුරු ශ්‍රම සූරාකෑමේ කොන්දේසි පැටවීමකි.

එමෙන් ම, ආන්ඩුව විසින් යෝජිත රුපියල් 1000 ක දෛනික වැටුප ලැබුන ද එය වර්තමාන ජීවන වියදමට කිසිසේත් නොසෑහේ. වතු කම්කරුවන් රුපියල් 1000 වැටුප් ඉල්ලීම ඉදිරිපත් කලේ 2015 වසරේ දීය. මේවනවිට සිදු වී ඇති අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහලයාම, රුපියලේ අගය පහත වැටීම් සහ එතුලින් වැටුපේ මූර්ත අගය තියුනු ලෙස පහත වැටීම යටතේ ජීවන වියදම 2015 වසරට වඩා කිහිප ගුනයකින් ඉහල ගොස් තිබේ.

කෙසේ නමුත් අයවැය යෝජනාවක් ලෙස ආන්ඩුව මෙම යෝජනාව ඉදිරිපත් කලේ වතු කම්කරුවන් කෙරෙහි කිසිදු තැකීමක් ඇතිව නොවේ. ජීවන වියදම ඉහල යාම පිලිබඳව වතු කම්කරුවන් අතර පවතින කැකෑරීම සමනය කිරීම එහි එක අරමුනකි. අනෙක, වතුකරය තුල සංචාරක කර්මාන්තය, වානිජ කෘෂි භෝග වගාව සහ ඇඟලුම් ඇතුලු අපනයන කර්මාන්ත සඳහා ආයෝජන ආකර්ශනය කර ගැනීමය.

රුපියල් 1000 වැටුප් ඉල්ලීම දීමට අසමත් වන සමාගම් විසින් පාලනය කරනු ලබන වතු ආපසු පවරාගෙන 'සුදුසු' ආයෝජකයන්ට පවරන බවට ඇමති සිල්වා කර ඇති ප්‍රකාශයේ අර්ථය එයයි.

ආන්ඩුවේ වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති, ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් මෑත දී කල ප්‍රකාශයක දී ආන්ඩුවේ මෙම සැලැස්ම එලිදරව් විය. ඔහු මෙසේ පැවසීය ' වැටුප පමනක් නොවෙයි ප්‍රශ්නය. වතු කම්කරු තරුනයන් විරැකියාවට සහ තවත් ප්‍රශ්න වලට මුහුන දෙනවා. වතු වලට අමතරව සංචාරක වැනි වෙනත් කර්මාන්ත දියුනු කල යුතුයි'

වතු වෘත්තීය සමිතිවල භූමිකාව වන්නේ ආන්ඩුව සහ වතු සමාගම් විසින් එලැඹෙන තීන්දු කම්කරුවන් මත පැටවීම හා ඔවුන්ගේ අරගල කඩාකප්පල් කිරීමය.

රුපියල් 1000 වැටුප් ඉල්ලීම මත 2018 දෙලක්ෂයක් පමන වතු කම්කරුවන් දෙසතියකට වැඩි කාලයක් අධිෂ්ඨානශීලී අරගලයක නිරත වුහ. එය පාවාදුන් සීඩබ්ලිව්සී, ලංකා ජාතික වතු කම්කරු සංගමය (ලජාවකස), ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ඒවෘසම) ජාතික කම්කරු සංගමය (එන්ඩබ්ලිව්යූ ), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය(ඩීඩබ්ලිව්සී) සහ කඳුරට ජනතා පෙරමුන(යූපීඑෆ්) ඇතුලු සියලු වතු සමිති, රුපියල් 20 ක සොච්චම් වැටුප් වැඩිවීමක් කම්කරුවන් මත පැටවූයේ ඔවුන්ගේ බලගතු විරුද්ධත්වය තිබියදීය.

2018 දී වතු සමාගම් සහ වෘත්තීය සමිති විසින් අත්සන් කෙරුනු සාමූහික ගිවිසුමට, නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ සහ ආදායම් බෙදීමේ කොන්ත්‍රාත් ක්‍රමය හඳුන්වාදීමේ කොන්දේසි ඇතුලත් විය.

මෙම ක්‍රමය යටතේ කම්කරුවන්ට නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් සහිත ඉඩම් කට්ටියක් ලැබෙන අතර එහි සියලු නඩත්තු කටයුතු කල යුත්තේ ඔවුන් විසිනි. සමාගමෙන් සපයන පොහොර සහ කෘෂි රසායනවල වියදම අඩු කර ගැනීමෙන් පසු කම්කරුවන්ට ආදායමක් ලෙස ලැබෙන්නේ ඉතිරි මුදලෙන් සුලු කොටසකි. ඒ සමගම, අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුලින් ලැබෙන විශ්‍රාමික හිමිකම් ද සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සීමිත සමාජ පහසුකම් ද ඔවුන්ට අහිමි වෙයි. වතු කම්කරුවන් 'සුලු ව්‍යවසායකයන්' බවට පරිවතනය කිරීම පිලිබඳව වතු සමාගම් සහ වෘත්තීය සමිති විසින් කරනු ලබන වංචනික ප්‍රකාශයන්ගේ අර්ථය එයයි.

කම්කරුවන්ගේ විරෝධය නොතකා වෘත්තීය සමිතිවල ඍජු සහයෝගය ඇතිව දැනටමත් කැලනිවැලි, වටවල, සහ බොගවන්තලාව ඇතුලු වතු සමාගම් විසින් ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දමා ඇත. නව යෝජනා සමග එම ප්‍රහාරය තියුනු කෙරෙනු ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ කම්කරුවන් කිහිප දෙනෙකු ආදායම් බෙදීමේ ක්‍රමය හා වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී ක්‍රියා කලාපය කෙරෙහි සිය කෝපය ප්‍රකාශ කල අතර දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳව විස්තර කලහ.

අප්කොට් හි ග්ලිනුයිජ් වත්තේ පදිංචි දේවිකා 38 හැවිරිදි කම්කරු කාන්තාවකි. 'රුපියල් 700 පඩිය ගන්න දවසකට කිලෝ 16 ක් කඩන්න ඕන. ඊට අඩු වුනොත් පැය අටම වැඩ කලත් ගෙවන්නේ දවස් භාගෙක පඩිය. ජීවන වියදම ඉහල යාමත් එක්ක දැන් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. කලින් මාසෙකට රුපියල් 12,000 ක් පමන කෑමට වියදම් කලා. දැන් රුපියල් 7,000 වගේ ගනනක් තමයි කෑමට වියදම් කරන්න පුලුවන්' යැයි ඇය සඳහන් කලාය.

මස්කෙලිය වතු සමාගම විසින් පාලනය කරනු ලබන මොචා වත්තේ උඩ කොටසේ කම්කරුවෝ වැටුප් කප්පාදුවට විරුද්ධව දෙසැම්බර් 23 දා සිට අඛන්ඩ වර්ජනයක යෙදී සිටිති. එහි දලු කැඩීමේ දෛනික ඉලක්කය කිලෝ 16 කි. ඉලක්කය සම්පූර්න නොකොලොත් ඔවුන්ට ලැබෙන්නේ මූලික වැටුපෙන් අඩක් වන රුපියල් 350 ක් පමනි කම්කරුවන් වර්ජනයට එලැඹ ඇත්තේ වෘත්තීය සමිති වලට පිටිනි. ඔවුන්ගේ අරගලය බිඳීම සඳහා සමිති වතු පාලකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව කම්කරුවෝ කීහ.

ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෙකු වන 48 හැවිරිදි එම්. රවීන්ද්‍රන් මෙසේ පැවසීය: 'රුපියල් 1000 ඉල්ලීම දැන් යල් පැනල. ජීවන වියදමේ ඉහල යාමත් එක්ක දැන් 1,500 ලැබුනත් මදි. ආන්ඩුවේ යෝජනාව බොරුවක්. කලින් ආන්ඩුවත් පොරොන්දු වුනා දාහේ ඉල්ලීම දෙනවා කියල. සියලුම ආන්ඩු අපිව රවට්ටනවා. වෘත්තීය සමිති ආන්ඩුවලට සහය දීල අපිව පාවාදුන්න. ගිය සතියේ සාකච්ඡාවේදී දවසේ ටාර්ගට් එක කිලෝ 2 කින් වැඩි කරන්න ඕන කියල සමාගම් කිව්වා. අපේ සියලුම අයිතීන් විනාශ කරන්නයි වතු සමාගම් සූදානම් වෙන්නේ. සමාජවාදී සමානතා පක්ෂයේ සහයෝගය ඇතිව කම්කරු මෙහෙයුම් කමිටුවක් අපි හැදුවේ මෙම ප්‍රශ්නවලට විරුද්ධව සටන් කරන්න. ඒ යටතේ අපි කම්කරුවන් සංවිධානය කල යුතුයි.'

ආන්ඩුව සහ වතු සමාගම් විසින් ගෙනඑන වැටුප් යෝජනා වතු කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන් සටන් කලයුත්තේ ශීලාචාර ජීවිතයක් ගත කල හැකි මාසික වැටුපක් සහ නිවාස ඇතුලු සමාජ අයිතීන් වෙනුවෙනි.

කම්කරුවන්ට එම අයිතීන් දිනා ගත හැක්කේ, වතු සමාගම් කම්කරු පාලනය යටත් ජනසතු කෙරෙන සමාජවාදී නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සදහා කරන සටනක් තුලින් පමනි.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව පිහිටුවා ගනු ලබන ක්‍රියාකාරී කමිටු හරහා ඒ සඳහා සටන් වදින කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට වතු කම්කරුවන් පෙරට ආ යුතුය.

Loading