ලංකාවේ ආන්ඩුව සමාජ මාධ්‍ය නියාමනයට කැසකවන බව ජන මාධ්‍ය ඇමතිගේ ප්‍රකාශවලින් හෙලිවේ

“මුහුනුපොත ඇතුලු” සමහර සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන්නන්, ආන්ඩුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව ගිය සතියේ පැවති මාධ්‍ය සාකච්චාවක දී, ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ ය.

සියලුම වර්ගවල මාධ්‍ය “ස්වයං-නියාමන” රාමුවක් පවත්වාගෙන යාමට බැඳී සිටින බව තහවුරු කිරීමේ සාකච්ඡා දැනට සිදු වී ගෙන යන බව රඹුක්වැල්ල තව දුරටත් සඳහන් කලේ ය. මේ පිලිබඳ ව (මාධ්‍ය ආයතන සමග) පවත්වන සාකච්ඡා 2010 සිට ඇදී යමින් තිබෙන බවත්, “දැන් කාලය එලඹී ඇත්තේ සාකච්ඡා සමාප්තියකට ගෙනැවිත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට” බවත් ඔහු කියා සිටියේ ය.

ආන්ඩුව ගැනීමට යන මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර ගැන මහජන විවේචන නැගී ඒම නිසා ඇමතිවරයා තම මුල් ප්‍රකාශය ගැන වැරදි අර්ථකතනයක් දී ඇතැයි පසුව උපාමරුවක් දැමුවේ ය. විකාර සහගත වසං කිරීමේ ප්‍රයත්නයක නිරත වුනු ඔහු,  තමන් සැබෑවට ම අදහස් කලේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම නො ව, “දත්ත මත ආධිපත්‍ය පත්වගෙන යන විදේශීය බහුජාතික ඩිජිටල් සමාගම්, අපේ [ශ්‍රී ලාංකික] දේශීය ව්‍යාපාර අභිබවා ගිහින්, තනි කරලා දුර්වල කරන්නට උත්සාහ කරන නිසා, ඒවා ලියාපදිංචි කිරීම පිලිබඳ සලකා බැලීම” බවද කීවේ ය.

කෙසේ වුවත්, ඇමතිගේ ප්‍රකාශ මාධ්‍ය නිදහස පාගා දැමීම සඳහා ආන්ඩුව නව ප්‍රහාර වටයක් සූදානම් කරමින් සිටින බවට පැහැදිලි අනතුරු ඇඟවීමකි. ධනපති පාලනය කොවිඩ්-19 වසංගතයෙන් උත්සන්න කෙරුනු ගැඹුරුතම දේශපාලන හා ආර්ථික අර්බුදයක ගිලී සිටින තත්වය තුල, කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන නොසන්සුන්තාවකට මුහුන දෙන ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව එය මැඩීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපනය කිරීමේ පියවර වේගවත් කර ඇත. මාධ්‍ය නිදහසේ හුස්ම හිර කිරීම මෙම ක්‍රියා දාමයේ ප්‍රමුඛ පියවරකි.

සමාජ මාධ්‍ය මෙසේ ඉලක්ක කරගනු ලබන්නේ ආන්ඩුවට හා සංගතවලට අයත් දූෂිත සාම්ප්‍රදායික මාධ්‍යවලට විකල්පයක් ලෙස, එය වැඩෙන සමාජ ප්‍රතිරෝධයේ ද්වාරයක් බවට ද පත්ව ඇති නිසාය .

දේශීය වෙබ් අඩවි නියාමනය කිරීම පිනිස වන යාන්ත්‍රනයක් “ඉතා ඉක්මනින්” හඳුන්වා දීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටින බව, නොවැම්බර් අග පැවති “ජනමාධ්‍ය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ” දී රඹුක්වැල්ල නිවේදනය කලේ ය. සිංගප්පූරුවේ “ඉන්ෆොකොම් මාධ්‍ය සංවර්ධන අධිකාරි පනත -2016” (Infocomm Media Development Authority Act) හා “අන්තර්ජාල ව්‍යාජයන්ගෙන් හා උපාමාරුවලින් ආරක්ෂා විමේ පනත -2018” (Protection from Online Falsehoods and Manipulation Act) යන පනත් අනුව එම යාන්ත්‍රනය සකස් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. මෙම නීති බලහත්කාරය හා මර්දනය සඳහා යොදා ගැනෙන නිසා මාධ්‍ය ක්‍රියාකාරිකයෝ හා මානව හිමිකම් ආයතන ඒවා තරයේ විවේචනයට බඳුන් කර ඇත.

පසුගිය දශකය තුල බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු විසින් අන්තර්ජාල මාධ්‍ය නිදහස මත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ අවසන් මාස කිහිපය තුල බෙදුම්වාදයට-ගැති “ටැමිල්නෙට්” වෙබ් අඩවිය තහනම් කරමින්, එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව අන්තර්ජාල වාරනයක් පලමුව ආරම්භ කලේ ය. අවස්ථා කිහිපයක දී ම වෙබ් අඩවියට හා සමාජ-මාධ්‍ය වෙතට ප්‍රවේශ වීම අත්හිටුවමින් කලින් පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එය තව දුරටත් දැඩි කලේ ය.

2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහනය කිරීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, රටෙහි අන්තර්ජාල ද්වාර පාලකයා වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (ටීආර්සී) ආරක්ෂක අමාත්‍යවරයා යටතට පවරා ගනු ලැබී ය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන ජනරාල් කමල් ගුනරත්න පලමු මාස කිහිපය තුල ටීආර්සී සභාපති ලෙස කටයුතු කලේ ය. 

2019 අග භගායේ පැවති ජාත්‍යන්තර “සයිබර් ආරක්ෂක” සමුලුවක් ආරම්භයේ දී එය ඇමතූ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සමාජ මාධ්‍ය මත සම්පූර්න පොලිස්-රාජ්‍ය ග්‍රහනයක් පවත්වාගැනීමේ අවශ්‍යතාව ඉඟි කලේ ය. “සමාජ මාධ්‍ය තුල සිටින නො මග ගිය තරුනයෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට වඩා අන්තරායකාරී” බවත්, “සයිබර් අවකාශීය යුද්ධයක්” සඳහා ආන්ඩුව සූදානම් විය යුතු බවත් ඔහු කීවේ ය. 

තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය සමයේ, ලංකාවේ ආන්ඩුව නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහි ව බොහෝ සීමා පනවා ඇත. සාම්ප්‍රදායික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආන්ඩුවේ මනාපය පරිදි වාරනය කිරීම පිනිස නීති ප්‍රතිපාදන සිදුකර තිබේ. ප්‍රසිද්ධ හමුවීම් හා රැස්වීම් බොහෝ සෙයින් නියාමනය කර ඇති අතර නිරන්තරයෙන් පොලිස් ඔත්තු කරුවන් විසින් අධීක්ෂනය කරනු ලබයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයන් හිතුමතේ අත්අඩංගුවට ගෙන අවිනිශ්චිත කාලයකට රඳවා ගනු ලැබිය හැක. සමාජ මාධ්‍ය නියාමනයට යෝජිත රෙගුලාසි, මෙම පොලිස් රාජ්‍ය පියවරයන් සයිබර් අවකාශය දක්වා දීර්ඝ කිරීමේ උත්සාහයකි. 

“වාර්ගික වෛරය අවුලුවන” සමාජ මාධ්‍ය අන්තර්ගතයන් වැලැක්වීමට එවන් පියවර අවශ්‍ය බවට ආන්ඩුව කරන කියාපෑම් අමු කුහක ය. ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා හා අගමැති වන මහින්ද රාජපක්ෂ ඇතුලු සමීප පාලක කල්ලියට  ඇත්තේ, වර්ගවාදී දේශපාලනයේ යෙදීමේ හා සිවිල් යුද්ධයේ දීත් ඉන් පසුවත් ලේ වැකි ප්‍රහාර දියත් කිරීමේ වාර්තාවකි.

මාධ්‍ය නිදහස පිලිබඳ ව ධනේශ්වර විරුද්ධ පක්ෂ හා ව්‍යාජ-වම හෙලන කිඹුල් කඳුලු ද ඒ හා සමාන ව කුහක වේ. යෝජිත රෙගුලාසි ව්‍යාජ ලෙස විවේචනයට බඳුන් කල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, “සමාජ මාධ්‍ය ඇතුලු සමස්ත මාධ්‍ය මත අත නො තබන” ලෙසත්, “මහජනතාවගේ කට වසමින් නිදහස් ප්‍රකාශනයට ඔවුන්ට ඇති අයිතියට බාධා නො කරන” ලෙසත් ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රේමදාස  ප්‍රධාන ඇමතියෙකු වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පාලනය ගෙන ගිය 2015 සිට 2019 දක්වා සමයේ ප්‍රකාශනයේ නිදහසට පාගා දැමීමේ ප්‍රහාර එල්ල විය. ජනමාධ්‍යවේදීන්ට සහ ලේඛකයන්ට කායික ප්‍රහාර එල්ල කිරීමේත් ඔවුන් ව මරා දැමීමේත් දීර්ඝ හා කුප්‍රකට ඉතිහාසයක් සහිත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් 2019 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ ද ඔහු ය.

පාර්ලිමේන්තුවේ වාම සන්ධානයක් ලෙස ව්‍යාජ ව පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් යෝජිත රෙගුලාසි ගැන ඇඟ බේරාගෙන විවේචනය කර ඇත. එහෙත්, මූලධර්මාත්මක ව ගත් කල යම් ආකාරයක මාධ්‍ය නියාමනයක් අවශ්‍ය බවට ආන්ඩුව සමග ඔවුහු එකඟ ව සිටිති. ආන්ඩුවේ අවශ්‍යතාවන්ට ම සේවය කරමින්, ඔවුන්ගේ මන්ත්‍රය බවට පත් ව ඇත්තේ, මාධ්‍ය සංවිධාන, ජනමාධ්‍යවේදීන් හා ඒවා භාවිතා කරන්නන් සදාචාර සංග්‍රහයකට නතු කරන “මාධ්‍ය ස්වයං-නියාමනය” යි.

ලොව පුරා ධනේශ්වර ආන්ඩු අන්තර්ජාලය වාරනය කිරීමට තල්ලු කරන සන්දර්භය මෙම ව්‍යාජ විවේචකයන් විසින් වසං කරයි. 2008 ගෝලීය ආර්ථික අර්බුදයේ පටන් ධනේශ්වර පාලනයට එරෙහි ව සමාජ කෝපය හා පන්ති අරගලය පුපුරා යාම, සමාජ මාධ්‍ය තුල තියුනු ප්‍රකාශනයක් අත් පත් කරගෙන ඇත.

2011 ඊජිප්තු විප්ලවයේ සිට ප්‍රන්සයේ “කහ කබා” විරෝධතා හා පසුගිය වසරේ ඉන්දියාවේ පැන නැගුනු පුරවැසි පනතට එරෙහි මහජන පෙලපාලි යන සියල්ලේ දී විශේෂයෙන් ම තරුන කම්කරුවන් හා ශිෂ්‍යයන් අතර සමාජ මාධ්‍ය මූලික භූමිකාවක් ඉටු කලේ ය.

බොහෝ සාම්ප්‍රදායික මාධ්‍ය දැනටමත් පොලිස් පාලනයට නතු කර ඇති ශ්‍රී ලංකාව තුල සමාජ මාධ්‍ය දේශපාලන විවේචනයේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත. 2018 දී රුපියල් 1000ක අවම දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් වැඩ වර්ජනයේ යෙදුනු විට, සමාජ මාධ්‍ය හරහා ස්වයං-සිද්ධ ව එක් දිනක් තුල සම්බන්ධීකරනය කරන ලද රැස්වීමක දී වර්ජකයන්ට සහයෝගය දක්වමින් තරුන කම්කරුවන් පන්දහසකට අධික පිරිසක් කොලඹ නගරයෙහි එක්රැස් වීම පාලක පන්තියේ අවධානයට හේතු වූ කරුනක් විය.

නිදහස් වෙලඳ කලාප, වරාය හා දුම්රිය කම්කරුවන්ගේ මෑත කාලීන සටන්කාමී අරගල ද සමාජ මාධ්‍ය වේදිකා තුල බලගතු ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබී ය. ආන්ඩුව හා ශ්‍රී ලංකාවේ සමස්ත පාලක පන්තිය, මෙම අහඹු අරගල නටුවෙන් ම උගුල්ලා දමා සම්බන්ධීකෘත දේශපාලන ව්‍යාපාරයක් බවට එක්සත් වීම වැලැක්වීමේ දුෂ්ට අධිෂ්ටානයෙන් යුතු ය.

ව්‍යාජ-වම්මුන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කියා සිටින පරිදි සමාජ මාධ්‍ය හා අන්තර්ජාල නිදහස ආරක්ෂා කිරීම සාදාචාරත්මක කර්තව්‍යයක් නො වේ. එය ධනපති රාජ්‍යයේ ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්තිය හා පීඩිත ජනයා ආරක්ෂා කිරීමේ සටනින් වෙන් කල නො හැකි දේශපාලන සටනකි. ආන්ඩුව ජනමාධ්‍ය මතට එල්ල කරන ප්‍රහාර, බැගෑපත් ඉල්ලීම් හෝ සදාචාරාත්මක අයැදීම් මගින් නවත්වනු ලැබිය නොහැක. එය නවත්වනු ලැබිය හැක්කේ පාලක පන්තිය මාරාන්තික ව බිය වන දෙයක් වන, අන්තර්ජාලයමත් බලගතු ආවුදයක් ලෙස යොදා ගනිමින් කම්කරුවන්, තරුනයන් හා පීඩිතයන් ඒකාබද්ධ ව කරන අරගලකින් පමනි.

ශ්‍රී ලකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් සහෝදර ශාඛා සමග, මේ අවශ්‍යතාව වේලාසනින්ම හඳුනා ගනිමින්, ලෝක කම්කරු පන්තියේ ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකත්වයට දියුනු  කම්කරුවන් හා තරුනයින්  දිනා ගැනීමට සටන් කර ඇත.

නීතිමය ප්‍රහාරයන්ට ලක්ව ඇති අන්තර්ජාල ක්‍රියාකාරීන් (කරුනු හෙලි කරන්නන්) වන ජුලියන් අසාන්ජ්, එඩ්වඩ් ස්නෝඩන්  හා චෙල්සී මැනින් නිදහස් කර ගැනීමටත්, ගූගල් ආයතනය විසින් ප්‍රගතිශීලි හා යුද විරෝධී වෙබ් අඩවි මත පැනවූ වාරනයට එරෙහිවත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය බලවත් උද්ඝෝෂනයක් දියත් කර ඇත. ශ්‍රී ලංකාව තුල නිදහස් වෙලඳ කලාප, අධ්‍යාපන, සෞඛ්‍ය හා වරාය ක්ෂේත්‍ර වලද, විදේශ ගත කම්කරුවන්ගේද අරගල ශක්තිමත් කිරීමට සසප විසින් විද්‍යුත් පුවත් හසුන් හා 'මුහුනු පොත' තුල කන්ඩායම් සංවිධානය කර ඇත.

මේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන මෙන් අපි ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ප්‍රකාශනයේ නිදහස ආරකෂා කිරීම කම්කරු පීඩිත අරගල වල ප්‍රධාන උද්ඝෝෂනයක් ලෙස ඉදිරියට ගත යුතුය. 

Loading