"සෞභාග්‍යයේ දැක්ම" ට කැපවෙන බවට රජයේ සේවකයන්ගෙන් ජනාධිපති රාජපක්ෂ‍ ප්‍රතිඥාවක් ලබා ගනී: ආඥාදායකත්වයක් දෙසට තැබූ සුවිශේෂී පියවරක්

ආඥාදායකත්වයක් දෙසට යන ගමනේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, ජනවාරි 01 දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ දේශපාලන සහ ආර්ථික වැඩපිලිවෙලට 'කැපවන'බවට සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් දිවුරුමක් ලබා ගත්තේය. මෙම දිවුරුමට අනුව, 'රට හදන 'සෞභාග්‍යයේ දැක්ම' පෙරදැරි කරගත්, විනය ගරුක, නීති ගරුක, ගුන ගරුක සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමට' රාජ්‍ය සේවකයන් සියලුදෙනා 'කැපවිය' යුතු වෙයි. 

'සෞභාග්‍යයේ දැක්ම' යනු, 2019 නොවැම්බර් ජනාධිපතිවරනයේදී සහ 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරනයේදී රාජපක්ෂ සහ ඔහුගේ පොදුජන පෙරමුන ඉදිරිපත් කල වැඩපිලිවෙලයි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත සැකසුනු එය, කම්කරු-පීඩිත මහජනතාවගේ දැවෙන ප්‍රශ්න කිසිවකට ආමන්ත්‍රනය නොකල, හුදෙක් ඇස්බැන්දුම් වලින් ආටෝප ගන්වා තිබූ ප්‍රතිගාමී වැඩපිලිවෙලකි.

රාජපක්ෂ බලයට පත්වූදා සිට වේගවත් කොට ඇති මිලිටරීකරන වැඩපිලිවෙල සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ විධානයන් මත කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරමින් පවත්නා රුදුරු ප්‍රහාරයන් ඔහු විසින් ක්‍රියාවට නංවනුයේ මෙම 'සෞභාග්‍යයේ දැක්ම' නාමයෙනි. 

ශ්‍රී ලංකාවේ වසර 73 ක ධනේශ්වර පාලනය තුල, ධනපති පාලකයෙකු තම දේශපාලන වැඩපිලිවෙලට කැපවන බවට රාජ්‍ය සේවකයන් සියලු දෙනාගෙන් මෙවන් දිවුරුමක් ලබාගත් පලමු අවස්ථාව මෙය වෙයි. දෙසැම්බර් 31 දා රාජපක්ෂ නිකුත් කල 'නව අවුරුදු පනිවිඩය' මගින්ද, රාජ්‍ය සේවකයන්ට එරෙහි ඔහුගේ මෙම බලහත්කාරය කැපී පෙනෙන අයුරින් ප්‍රකාශයට පත් කෙ‌රේ. 

ඔහු තම පනිවිඩයේ මෙසේ සඳහන් කරයි: ' 'සෞභාග්‍යයේ දැක්මේ' ඇතුලත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යතාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. .........සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.'

කම්කරු-පීඩිත මහජනතාව තුල රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩී ඇති බලගතු විරෝධය, මෙවන් ආඥාදායක පියවර හේතුවෙන්, සමාජ පිපුරුමක් බවට පත්වෙතැයි යන උත්සුකය ධනපති පාලක පන්තික කොටස් තුලින්මත් ඉස්මතු වෙමින් පවතී. 

රාජපක්ෂට පාර කැපූ ධනපති මාධ්‍යයක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ජනවාරි 02 දා කතුවැකිය එම උත්සුකය මෙසේ ප්‍රකාශයට පත් කරයි: 'අතීතයේ සිටි රාජ්‍ය නිලධාරීන්ට ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා දිවුරුම් දීමට සිදු විය. 2008 දී මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් මහජනයාට සේවය කිරීම සඳහා දිවුරුම් දීමේ භාවිතාවක් ආරම්භ කරන ලදී. මේ වසරේ ඔවුන්ට, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ මහජනතාවට සේවය කිරීමට  පමනක් නොව, ජනාධිපතිවරයාගේ මැතිවරන ප්‍රකාශනය කි‍්‍රයාත්මක කිරීම සඳහා ද දිවුරුම් දීමට සිදුවිය.'

එපමනින් නොනවතින ටයිම්ස් කතුවැකිය ජනාධිපති රාජපක්ෂ ගේ 'පනිවිඩයේ' අන්තර්ගතය ජර්මනියේ ෆැසිස්ට් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ භාවිතාවන් සමග සසඳමින් මෙසේ ලියයි. '1934 සිට 1945 දක්වා කාලය තුල, (ජර්මනියේ) සන්නද්ධ හමුදා සාමාජිකයන්ට රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට අමතරව, ෆියුරර්ට (හිට්ලර්ට) පක්ෂපාතී බවට දිවුරුම් දීමට සිදු‌ වීමෙන් පසු, සිවිල් සේවකයින්ට (රාජ්‍ය නිලධාරීන්ට) ඒ හා සමාන පක්ෂපාතීත්වයකට දිවුරුම් දීමක් සඳහා විධානය කෙරුනු තවත් රටක් ඇතිබව නූතන ඉතිහාසය හදාරන සිසුන් විසින් මතකයට නංවනු ඇත.' 

රාජපක්ෂ මෙම දිවුරුම ලබා ගත් දිනයේම, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ වැඩකටයුතු 'සම්බන්ධීකරනයේ' නාමයෙන්  දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම හමුදා නිලධාරීන් 25 දෙනෙකු පත් කිරීමට පියවර ගත්තේය. 

ලොව අනෙකුත් ධනපති පාලකයන් මෙන්ම වසංගතය පාලනය කිරීමේ කවර හෝ විද්‍යාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකොට මහජනතාව මරනයට ඇද දැමූ සහ ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩපොලවලට ද ලමුන් පාසැල් වලට ද දැක්කූ තම තන්ත්‍රය කෙරෙහි වැඩී ඇති දැවැන්ත මහජන විරෝධය සම්බන්ධයෙන් රාජපක්ෂ සංවේදී ය.  

නව මිලිටරි නිලධාරීන් පත් කිරීමේ සැබෑ අරමුන වනුයේ, වසංගත පාලනයේ වැඩ කටයුතු 'සම්බන්ධීකරනය' නොව, දැනටමත් පුපුරා යමින් පවතින කම්කරු සහ අනෙකුත් මහජන විරෝධතා රුදුරුම ආකාරයෙන් තලා දැමීම ඒකාග්‍රව සංවිධානය කර ගැනීම යි. 

රාජපක්ෂගේ 'පනිවිඩය' සහ බලහත්කාරී 'දිවුරුම' යන දෙකෙහිම එන 'නීතිගරුක' සහ 'විනය ගරුකබව' යන්නෙන් අදහස් කරනුයේ කම්කරු-පීඩිත මහජනතාව කවර හෝ විරෝධතාවයකින් තොරව ඔහුගේ රුදුරු ප්‍රහාරයන්ට අවනතව සිටිය යුතු බවයි.

ඔහු තම 'පනිවිඩයේ' මෙසේ සඳහන් කරයි:' ​එලැඹෙන වසරේදී කුමන බාධකයකට මුහුන දීමට සිදුවුවත් ඒ සඳහා ආත්මශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුල එම විශ්වාසය අප තහවුරු කර ඇත. විනයගරුක රටක ආර්ථික සහ සාමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්, අපි සියලුදෙනාම විනය ගරුකව, අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුලදී අදිටන් කර ගනිමු.'

වැඩෙන ආර්ථික අර්බුදය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කිරීමට සිදුවන රුදුරු ප්‍රහාරයන් සහ ඊට එරෙහිව අනිවාර්යයෙන් පැන නැගීමට නියමිත පන්ති අරගල සම්බන්ධයෙන් දැනුවත්ව සිටි රාජපක්ෂ, බලයට පත්වීමට පෙරාතුව සිටම, 'ජාතික ආරක්ෂාව' තහවුරු කිරිමේ කඩතුරාව යටතේ මිලිටරීකරන වැඩපිලිවෙල සැලසුම් කලේය. ඔහු මේ සඳහා, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය යහමින් ගසා කෑවේය. 

බලයට පත්වූ සැනින්, ආරක්ෂක ලේකම් ධුරය සහ රජයේ මර්මස්ථානයන්හි සියලුම ප්‍රධාන නිලයන්, විශ්‍රාමික සහ සේවයේ නියුතු ඉහල මිලිටරි නිලධාරීන්ට පැවරූ රාජපක්ෂ, මිලිටරිය මත පාදක වූ ආඥාදායක පාලනයක් සඳහා වේගයෙන් පියවර තැබීය.  කොවිඩ්-19 වසංගතය 'පාලනය' කිරීමේ යාන්ත්‍රනයේ ප්‍රධානියා ලෙස හමුදාපතිවරයා පත් කල ඔහු, වසංගතයද, මිලිටරීකරනය වේගවත් කිරීම සඳහා යොදාගත්තේ ය. 

දිස්ත්‍රික් හමුදා ප්‍රධානීන් පත් කිරීමට පෙර දිනයේ, එනම් දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ජෙනරාල් ධුරයට උසස් කිරීමට පියවර ගත් ජනාධිපතිවරයා, සිවිල් ක්‍රියාකාරකම් මිලිටරිය යටතට පත් කිරීම සඳහා ඔහු ගෙනයන වැඩකටයුතුවල කොටසක් ලෙස මෝටර් රථ ලියා පදිංචි කිරීමේ ආයතනයේ සහ සමූපකාර තොග වෙලඳ සංස්ථාවේ (සතොස) මූලික අංශ කීපයක්ම මිලිටරියට පැවරීය.  

තම ආඥාදායක වැඩපිලිවෙලේ කොටසක් ලෙස, ප්‍රකාශනයේ නිදහස පාගා දැමීමට ගෙනයන වැඩකටයුතු ද රාජපක්ෂ නව වටයකින් ඉස්මත්තට ගනිමින් සිටී. “මුහුනුපොත ඇතුලු” සමහර සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, ආන්ඩුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව, ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සති කීපයකට පෙර මාධ්‍යයට පැවසීය. සමාජ මාධ්‍ය මෙසේ ඉලක්ක කරගනු ලබන්නේ ආන්ඩුවට හා ධනපති මාධ්‍යවලට විකල්පයක් ලෙස, එය වැඩෙන සමාජ ප්‍රතිරෝධයේ වේදිකාවන් බවට පත්ව ඇති බැවිනි.

රාජපක්ෂ ආන්ඩුව මෙම මිලිටරීකරන වැඩපිලිවෙලට සමාන්තරව, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා එහි පන්ති ශක්තිය දුබල කිරිමේ අරමුනෙන්, දෙමල සහ මුස්ලිම් සුලු ජන වර්ගයන්ට එරෙහිව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයක් අඛන්ඩව වර්ධනය කරමින් සිටී. දෙමල බෙදුම්වාදය සහ මුස්ලිම් අන්තවාදය යලි හිස ඔසවමින් සිටින බව පවසමින් රාජපක්ෂ ආන්ඩුව, සිංහල අන්තවාදී සංවිධාන සහ එයට හිතවත් මාධ්‍යයෝ රකුසන් නිර්මානය කරති. 

මෙහි නවතම ප්‍රකාශනය ලෙස, ආන්ඩුව විසින් කොවිඩ්-19 ආසාදිතව මියයන සියලු දෙනාගේ මල සිරුරු ආදාහනය කලයුතු බවට නියෝග කර ඇත්තේ මුස්ලිම් ජන වර්ගයේ සංස්කෘතික සම්ප්‍රදායක් වන භූමදානය වලකමිනි. ආන්ඩුව මෙම නියෝගය දෙනු ලැබුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව පිලිගත් වසංගත රෝග විශේෂඥයන් ආදාහනය සහ භූමදානය යන දෙකම අනුමත කොට ඇති තත්වයක් තුල සහ රටවල් 184 ක එය ක්‍රියාත්මක වෙමින් පැවතියදීය. 

මේ සියලු ප්‍රතිගාමී සැලසුම් වලට සමගාමීව, රාජ්‍ය සේවකයන්ට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ගම්බද පීඩිත ජනයා පිහිටුවීමේ අන්ත දක්ෂිනාංශික ව්‍යාපෘතියක රාජපක්ෂ නියැලී සිටී. 'ගම සමග පිලිසඳරක්' සහ 'වැඩ සමග යලි ගමට' වැනි වැඩසටහන් වලට ඇත්තේ මෙම ප්‍රතිගාමී අරමුනයි. මේ යටතේ ඈත දුෂ්කර ගම්දනව් වලට යන රාජපක්ෂ, ගම්මුන්ගේ ගැටලු විසඳන සුර දූතයෙකු මෙන් පෙනී සිටී. 

ඔවුන්ගෙන් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් වූ සැනින්, එය ඉටු නොවීම පිලිබඳව අදාල රාජ්‍ය සේවකයන්ට දොස් පවරන රාජපක්ෂ එම ගැටලු වහා විසඳන ලෙසට මහජනයා ඉදිරියේ අන කරයි. ඒ සඳහා අවශ්‍ය අධිකාරිත්වයන් සහ ප්‍රතිපාදන නොමැති බව පවසන රාජ්‍ය සේවකයන්ට, තමා 'විධායක ජනාධිපති' බැවින් තම කට වචනය රාජ්‍ය චක්‍රලේඛ ලෙස පිලි ගතයුතු බව ඔහු කියා සිටී. මහජනතාවගේ ගැටලු නොවිසඳී පවතින්නේ රාජ්‍ය සේවකයන්ගේ අලසකම, නොතැකීම සහ දූෂිතභාවය නිසා බව අවධාරනය කිරීමට ඔහු නිරන්තරව උත්සාහ ගනී.

'සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ' යැයි ඔහු තම 'නව අවුරුදු පනිවිඩයේ' සඳහන් කරන විට එහි අර්ථය වන්නේ, ඔහුගේ ආන්ඩුවට මහජන අවශ්‍යතාවයන් ඉටුකර ලීමට නොහැකිව ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ දුර්පැවැත්ම හේතුවෙන් යන්නයි. 

කම්කරු පන්තියට එරෙහිව අවශේෂ මහජනතාව, විශේෂයෙන්ම ගම්බද පීඩිත මහජනයා පිහිටුවීමේ ආසන්න අරමුන වනුයේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය සහ පීඩිත ගොවීන් අතර සන්ධානයක් වලකා ලීමයි. අවශ්‍ය වුවහොත් කම්කරු පන්තිය තලා දැමීම එල්ල කරගත් ෆැසිස්ට් පන්නයේ ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීම රාජපක්ෂගේ මෙම ව්‍යායාමයෙහි අවසන් ඉලක්කය ලෙස පවතී.

කොවිඩ්-19 වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ, රටක් රටක් පාසා ධනපති පාලකයන් ආඥාදායක පාලන රූපයන් වෙතට හැරීම වේගවත් කෙරී පවතින අතර, රාජපක්ෂගේ ප්‍රතිචාරය එම ජාත්‍යන්තර ප්‍රපංචයේ ප්‍රකාශනයකි. ඔහුගේ එල්ලය වනුයේ, මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් යටතේ කම්කරු-පීඩිත මහජනතාව දඬුගසා විනයගත කොට, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරය ඔවුන් මත කඩාපාත් කිරීමයි.

මෙම ආඥාදායක ගමන පරාජය කල හැක්කේ කම්කරු පන්තිය, පීඩ්ත ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් තමා වටා රැලිකර ගනිමින්,  රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව ගෙනයන ස්වාධීන දේශපාලන අරගලයක් හරහා පමනි. එම අරගලය ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මත පාදක කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

Loading