සෞඛ්‍ය සේවකයින් වසංගතයට බිලි දීමේ ආන්ඩුවේ පිලිවෙතට එරෙහිව විරෝධතා වර්ධනය වෙයි

මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් දරුනු ලෙස අනතුරේ හෙලමින්, කොරෝනා රෝගීන් සඳහා වන දැඩි සත්කාර ඒ්කකය අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් වලින් තොරව පවත්වා ගෙන යාමට විරෝධය දක්වමින් සේවයෙන් ඉවත්වීමට සූදානම් වෙමින් සිටින බව, එම ඒකකයේ රාජකාරියේ නියුතු සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

දුෂ්කර සේවා වලින් මිරිකී ඇති කාර්ය මන්ඩලය අමතර වාට්ටුවක වැඩ කිරීමට යෙදවීමෙන් ඔවුන් දැඩි ශාරීරික හා මානසික පීඩනයකට ලක් කර ඇත. මෙ මඟින් සෞඛ්‍ය කම්කරුවන් මෙන්ම අසාධ්‍ය කොරෝනා රෝගීන්ද අනතුරේ හෙලීමට ආන්ඩුවත්, රෝහල් පරිපාලනයත් ක්‍රියා කරමින් සිටිති.

මෙම තත්වය හමුවේ දැනටමත් ලමා හදිසි සත්කාර ඒකකයෙන් කොරෝනා ඒකකයට අනුයුක්ත කල හෙද කාර්ය මන්ඩලය එහි සේවය නොකිරීමට තීරනය කර ඇත. තවද හෘද-උරස් ශල්‍ය ඒකකයේ සේවයට යොදවා තිබූ නිර්වින්දන වෛද්‍යවරුන් ආවරන සේවයෙන් ඉවත්වීමට මේ වන විට ද ඉල්ලා ඇත.

මහනුවර රෝහලේ ජනවාරි 6 වැනි දා පැවති විරෝධතාව (ස්තුතිය: ලෝසවෙඅ මාධ්‍ය)

වෛද්‍ය කාර්ය මන්ඩල සේවකයකු ලෝසවෙඅට පැවසුවේ මසක් ඇතුලත ස්ථිර කාර්ය මන්ඩලයක් හා අනෙකුත් භෞතික සම්පත් සපයා නොදුන්නහොත් ආවරන සේවාවලින් ඉවත්වන බව පාලකයන්ට දැන්වීම සදහා ලිපියක් අත්සන් කරමින් සිටින බවයි.

2020 මාර්තු මස, කොරෝනා වැලඳී ඇතැයි සැක කරන රෝගීන් සඳහා අන්තර් හදිසි සත්කාර ඒකකයක්, මහනුවර ජාතික රෝහලේ ආරම්භ කොට ඇත. ලමා සහ හෘද උරස් ඇතුලු දැඩිසත්කාර ඒකක වලින් මේ සඳහා අවශ්‍ය කාර්ය මන්ඩලය තාවකාලික පදනම මත අනුයුක්ත කර ඇත. නමුත් කාර්ය මන්ඩලය සමග කිසිදු සාකච්ඡාවකින් තොර ව, හොර රහසේම, මෙම ඒකකය කොරෝනා රෝගීන් සඳහා දැඩිසත්කාර ඒකකයක් බවට පරිවර්තනය කර ඇති බව එහි සේවය කරන සෞඛ්‍ය සේවකයෝ පවසති.

ආරම්භයේ දී රෝහල් බලධාරීන් මෙම කාර්ය මන්ඩලයට පොරොන්දු වී ඇත්තේ මෙම ඒකකය තුල එක් ඇඳක් පමනක් නඩත්තු කරන බවට, එයට කොරෝනා යැයි සැක කරන රෝගීන් පමනක් ඇතුළු කරන බවට සහ එම රෝගීන්ට කොරෝනා වැලඳී ඇති බව තහවුරු වුවහොත් තෙල්දෙනිය හෝ පැනිදෙනිය මධ්‍යස්ථානවලට මාරු කරන බවටයි. නමුත් එය අමූලික බොරුවක් මෙන්ම වංචාවකි. කිසිදු පහසුකමක් නොමැති ව සමස්ත කාර්ය මන්ඩලයේ ම විරෝධය මධ්‍යයේ එම ඒකකය තුල ඇඳන් හතරක් දක්වා වැඩිකර, අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන දැඩි සත්කාර ඒකකයක් බවට පත්කර ඇත.

මෙම තීරන වලට තාවකාලික ව අනුයුක්ත කල කාර්ය මන්ඩලය විරුද්ධ වුවද රෝහල් පාලනය ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත. එහි සේවයේ නියුතු වෛද්‍යවරු, රෝහල් පරිපාලනය සමඟ කිහිප වරක්ම සාකච්ඡා කර ස්ථිර කාර්ය මන්ඩල ලබා දෙන ලෙස ඉල්ලීම් කල ද, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු බව එහි සේවය කරන වෛද්‍යවරයෙක් ලෝසවෙඅ වෙත පැවසී ය.

තව දුරටත් ඔහු පැවසූයේ එහි දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය මානව සම්පත් පමනක් නොව භෞතික සම්පත් ද ඇත්තේ ඉතා සීමිත ව බවයි. කාර්ය මන්ඩලය සඳහා වෙන්කල වැසිකිලිය භාවිතා කල නොහැකි තත්වයේ ඇති බැවින් ඔවුනට භාවිතා කිරීමට සිදු වී ඇත්තේ පොදු වැසිකිලියකි.

පසුගිය දිනක කොරෝනා රෝගය වැලඳුනු අයෙක් මෙම ඒකකය තුලදී හදිසියේ මරනයට පත්වූ අතර ඔහුට රෝගී සත්කාර කල කිසිවෙකුගේ පීසීආර් පරීක්ෂන හා නිරෝධායනය බලධාරීන් පැහැර හැරීම නිසා සමස්ත කාර්ය මන්ඩලයට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද, රෝහලේ රෝගීන්ට ද කොරෝනා තර්ජනය එල්ල වී ඇත.

මෙ වැනි ඒ්කකයක් අන්තරායකාරී ලෙස උඩින් මත්තෙන් පවත්වාගෙන යාමට සිදුවී ඇත්තේ තෙල්දෙනිය කෝවිඩ් රෝහලේ දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සපයා දීමට නොහැකි වීම නිසා බව අනාවරනය වී ඇත. මීට මූලික හේතුව වන්නේ පසුගිය අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ සෞඛ්‍ය සේවය තුල සිදු කල දැවැන්ත කප්පාදුව යි.

මහනුවර රෝහලේ කායික වෛද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙකු පවසා සිටියේ, සෞඛ්‍ය සේවකයින් වසංගතයට ගොදුරු වීම අවම කිරීම සඳහා කාන්ඩ දෙකකට බෙදී සේවය කල ද, ජනවාරි පලමු වෙනි දා සිට සියලු ම කාර්ය මන්ඩලය නිතිපතා සේවය කල යුතු බවට රෝහල් බලධාරීන් දන්වා ඇති බවයි. ඔහු තව දුරටත් පවසා සිටියේ, මාස කීපයකට පෙර උගුර කන නාසය සායනයේ සේවකයින් 19 දෙනෙකු රෝගයට ගොදුරු වූ බව සහ කන්ඩායම් දෙකක් ලෙස එහි සේවය කල නිසා එක් කන්ඩායමක් රෝගයට ගොදුරු වීමෙන් වලක්වා ගත හැකි වූ බවයි. එම නිසා ම එම සායනයේ කටයුතු කෙටි කලකින් නැවත ආරම්භ කිරීමට හැකි ව ඇත.

සමස්ත රෝහල් කාර්යය මන්ඩලයට එල්ල වී ඇති මෙම තර්ජනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සෞඛ්‍ය සේවකයන්ට පිටුපස හරවා බලධාරීන්ට සහ ආන්ඩුවට සේවය සලසමින් සේවකයින් බලහත්කාරයෙන් වැඩට දැක්කීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු සඳහන් කලේ ය.

මහනුවර රෝහලේ මෙම තත්වය හමුවේ වෘත්තිය සමිති වල ක්‍රියාකලාපය, රට තුල මෙන්ම ජාත්‍යන්තරව සමිති විසින් ඉටු කරනු ලබන ද්‍රෝහී ක්‍රියා කලාපයට කැපී පෙනෙන නිදසුනක් සම්පාදනය කරයි.

රත්නපුර ශික්ෂන රෝහලේ අංක 24 කායික වාට්ටුවේ කාර්ය මන්ඩලය ඇතුළු රෝගීන් 14 දෙනෙකුට වසංගතය වැලඳී ඇති බව තහවුරු වීමෙන් පසු එම වාට්ටුව වසාදමා ඇත. රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ සීමාවාසික වෛද්‍යවරයෙකුට, හෙදියන් දෙදෙනෙකුට, කනිෂ්ඨ කාර්යය මන්ඩල සේවකයින් දෙදෙනෙකුට සහ නේවාසික රෝගීන් නව දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතිබව පරීක්ෂනවලින් තහවුරු වී ඇති බවයි.

වසංගතය වේගයෙන් පැතිරී යද්දී සෞඛ්‍ය කම්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් එයට ගොදුරු වී සිටිය ද, මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය එම සංඛ්‍යා ලේඛන සඟවා ඇති බව සෞඛ්‍ය සේවකයෝ කීප දෙනෙක්ම ලෝසවෙඅ ට පැවසූහ. තමන් සේවය කරන රෝහල තුල රෝගයට ගොදුරු වන සේවක සංඛ්‍යාව අදාල රෝහල් බලධාරීන් තමන්ට වසන් කරන බව, මහනුවර, පේරාදෙනිය, ගම්පොල රෝහල් වල සෞඛ්‍ය සේවකයෝ කියා සිටියහ.

සති කිහිපයකට පෙර ගම්පොල රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක්, ලමා රෝග අංශයේ වෛද්‍යවරියක් සහ හෙදියක් වෛරසයට ගොදුරු වූහ. එම අවස්ථාවේ කාර්ය මන්ඩලයේ 60 දෙනෙකු පමන නිරෝධායනයට යොමු කෙරිනි. එහි හෙදියක් පවසා සිටියේ තම රෝහලේ අන් හෙදියකට රෝගය වැලඳී ඇති බව දැනගත්තේ දින කිහිපයකට පසු බවයි.

නිරෝධායනය කෙරුනු සේවකයින්ට සපයා තිබුනු පහසුකම් ශෝචනීය බවත්, සමහරකුට ඒ සඳහා ලබා දී තිබුනේ දූවිලි වලින් පිරීගිය වසා තැබුනු පැරනි නිල නිවසක් වන බවත් ඇය තව දුරටත් පැවසුවා ය. එහි ඉඳගැනීමට පුටුවක් හෝ තිබී නොමැත.

වසංගතය පැතිරී යද්දී කාර්ය මන්ඩලය රෝගයට ගොදුරු වීම වැලැක්වීමට ගෙන ඇත්තේ අවම පියවර වනවා පමනක් නොව, එසේ ගොදුරුවන්නන් නිරෝධායනය කිරීම සඳහා කිසිදු සාධනීය පියවරක් මේ වන තෙක් ද ගෙන නොමැති තත්ත්වයක් තුල රෝහල් කාර්ය මන්ඩලය දැඩි අපහසුතාවට ලක් වීමට ඉඩ ඇති බවට ද ඇය අනතුරු ඇඟවූවා ය.

පේරාදෙනිය රෝහලේ විකිරනවේදී අංශයේ සේවය කරන කනිෂ්ඨ සේවිකාවකට කොරෝනා රෝගය වැලඳී ඇති බව දෙසැම්බර් 25 වැනිදා සොයාගෙන ඇත. නමුදු, හතලිහක් පමන සේවයේ නියුතු එම ස්ථානයෙන් නිරෝධායනයට යොමුකර ඇත්තේ සේවකයින් දහ දෙනෙකු පමනකි. ඔවුන් දහ දෙනාගේ පමනක් පීසීආර් පරීක්ෂන කර ඇති අතර ඉතිරි කාර්යමන්ඩලයේ පීසීආර් පරීක්ෂන සිදු කරනුයේ අහඹු ලෙස බව එහි සේවය කරන වෛද්‍යවරයෙක් පැවසී ය.

තවද ඔහු ප්‍රකාශ කර සිටියේ එම ඒකකයේ ඇති ස්කෑන් කාමරය ඉතා කුඩා බැවින් සේවයේදී දැඩි දුෂ්කරතා මතුවන බවයි. එක් වරකට අඩු ම තරමේ වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සේවකයන් නම දෙනෙකු පමන එහි සිටින බවත්, ඉතා අඩු වාතාශ්‍රයක් සහිත මෙම කාමරයට කෝවිඩ් ආසාදිත රෝගීන් ඇතුළු වූවොත් සියලු දෙනාටම එය ආසාදනය වීමේ අවදානමක් ඇති බව ඔහු පැවසී ය. එසේ වුව ද මෙම ඒකකය එක් දිනක් හෝ වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර නොමැති අතර කිසිදු විෂබීජහරනයක් ද සිදු කෙරී නැත.

වරාය තුල වසංගතය පැතිරෙද්දී අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා කම්කරුවන් වැඩට කැඳවූ ආන්ඩුව, මහා ව්‍යාපාරික වුවමනාවන්ට මුල්තැන දුන්නේය. සෞඛ්‍ය කම්කරුවන්ට යොදා ඇත්තේ එම බලහත්කාරයමයි. නිදහස් වෙලඳ කලාප තුල කම්කරුවන් දහස් ගනනින් අසාදිත වීම නොතකා, ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්හල් විවෘතව පවත්වාගෙන යාමට ඉඩ සලසාදුන් ආන්ඩුව කම්කරුවන් වැඩට ගෙන්වා ගැනීම පහසු කිරීම සඳහා පාසැල් විවෘත කිරීමට දැන් සැරසේ.

සෞඛ්‍ය සේවකයින් තම තමන් බැඳී සිටින වෘත්තිය සමිති වලින් කිසියම් හෝ හව්හරනක් ලැබේ යැයි බලාපොරොත්තු දල්වා සිටින්නේ නම්, එය මුළුමනින්ම මිථ්‍යාවක් බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) කල අනතුරු ඇඟවීම් යලි යලිත් සනාථ වී ඇත.

තවත් කල් නොයවා කම්කරුවන් තම සේවා ස්ථානයන්ගේ ස්වාධීන සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු, ශ්‍රේනි භේදයකින් තොර ව පිහිටුවා ගනිමින් ආන්ඩුවේ මෙම ප්‍රහාරයට එරෙහි ව සටන් වැදීමට තීන්දු ගත යුතු බව සසප හා සෞකක්‍රික අවධාරනය කර සිටියි. අධ්‍යාපන, වරාය වැනි අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරු කොටස් සමඟ මෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග අත්වැල් බැඳ ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් සහිතව සංවිධානය වීම දැවෙන අවශ්‍යතාවයයි. එම වැඩ පිලිවෙල පිලිබඳ ව සාකච්ඡා කිරීමට සෞකක්‍රික සමඟ සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමු.

Loading