වර්ගවාදී ආතතීන් අවුස්සමින් මිලිටරිය යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය බිඳ දමයි

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙහි සිසුන් විසින් මුල්ලිවයික්කාල් හි යුද්ධයේ දී මියගිය ජනයා සැමරීමට සාදා තිබූ ස්මාරකය හමුදාව  විසින් සිකුරාදා රාත්‍රියෙහි ඩෝසර් කර බිමට සමතලා කර ඇත. හමුදාව ස්මාරකය  විනාශකර ඇත්තේ විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්ගුනරාජා විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල නීති විරෝධී ඉදි කිරීමක් තිබෙන බවට කරන ලද පැමිනිල්ලකට මුවා වී ගෙනය. 

ස්මාරකය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා කලින් හිටපු උපකුලපති ආර් විග්නේශ්වරන් ඉවත් කර පසුගිය වසරේ අගෝස්තු මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කල වර්තමාන උපකුලපති රාජපක්ෂ ආන්ඩුවේ හෙන්චයියෙකි. 

ස්මාරකය සමතලා කිරීමට දින කිහිපයකට පෙර විශ්ව විද්‍යාල පරිශ්‍රයට පැමිනි යාපනයේ කෝපායි කඳවුරේ  ශ්‍රී ලංකා හමුදාවේ 512 හමුදා කන්ඩයේ අනදෙන නිලධාරියා ස්මාරකය නිරීක්ෂනය කල බවත් උප කුලපති හමුදාව සහ පොලීසිය සමග එක්ව මෙම විනාශය කල බවටත්   සිසුහු චෝදනා කරති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් විසින් ස්මාරකය ඉඳි කිරීම වැලක්වීමට උත්සාහ කල නමුත් සිසුන්ගේ බරපතල විරුද්ධත්වය නිසා එය අසාර්ථක විය.  

දෙමල ජනයාට එරෙහි වාර්ගික යුද්ධය අවසන් කෙරුන 2009 මැයි  මාසයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) හා සිවිල් ජනයාට එල්ල කල ලේවැකි වන්නි හමුදා ප්‍රහාරයේ දී මිය ගිය ජනයා සමරනු පිනිස යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මෙම ස්මාරකය 2019 මැයි මාසයේ දී ඉඳි කරනු  ලැබීය. ස්මාරකය සාදා ඇත්තේ ද එම ප්‍රහාරවලදී තම පියා මියගිය විශ්ව විද්‍යාල සිසුවකු විසිනි.

 

හමුදා භටයන් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සහ අවට රැකවල් ලා සිටි (ඡායාරූප ස්තූතිය: කලම්බු ටෙලිග්‍රාෆ් වෙත)

 ස්මාරකය විනාශ කරන බව දැනගත් සිසුන් පිරිසක් හා ප්‍රදේශ වාසීන්  විශ්ව විද්‍යාලය වෙත පැමිනි නමුත් ඔවුන්ට එහි පරිශ්‍රයට ඇතුලු  වීමට විශ්ව විද්‍යාල බලධාරීන් සහ ආරක්ෂක හමුදාවන් විසින් ඉඩ දී  නැත. පසුව සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ ගේට්ටුව අසල උපවාසයක් ආරම්භ කර තිබේ. 

සන්නද්ධ එස්ටීඑෆ් සහ හමුදා භටයන් විශාල සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල  සහ අවට රැකවල් ලා  සිටිති. උපවාසයට සහභාගිවීමට  පැමිනි යාපනය නගාරාධිපති විශ්වලිංගම් මන්නිවානන් එලවා දැමීමට ද පොලීසිය උත්සාහ කර ඇති අතර අවට රැස්වී සිටින සිසුන්ට සහ ජනයාට පොලීසිය සහ හමුදාව පරුස වචනයෙන් බනිමින් ඔවුන්ව ද පලවා හැරීමට උත්සාහ කල බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 

රාජපක්ෂ ආන්ඩුවේ හෙන්චයියෙකු වන මෑතදී නගරාධිපතිකමට පත්වූ මන්නිවානන් එහි ගොස් ඇත්තේ එහි ජනයාට ව්‍යාජ අනුකම්පාවක් පෙන්නීමටය. 

උද්ඝෝෂනයේ යෙදෙන්නන් සමග "පසුව ගනුදෙනු බේරා  ගන්න" බවට උපකුපති තර්ජනාත්මක  ප්‍රකාශයක් කර ඇත. "මෙය නීති විරෝධී ඉදිකිරීමක්. කෙසේ හෝ එය ඉවත් කල යුතුයි. පොඩි තර්ජනයක් තියෙනවා. නමුත් අපි ඔවුන් සමග පස්සේ ගනුදෙනු බේරා ගන්නවා. අපට තර්ජනය කිරීම නීති විරෝධීයි. ඔවුන් ඉවත්ව නො ගියොත් අපි ඔවුන් සමග ගනුදෙනු බේරා ගන්නෙමු"

දැනටමත් සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එය ස්මාරකය විනාශ කිරීමට උද්ඝෝෂනයේ යෙදී සිටින්නන්ට එරෙහිව මෘග හමුදා පොලිස් කඩා පැනීමක් හා සිසුන්ට එරෙහි රාජ්‍ය දඩයමක් මුදාහැරෙන බවට පෙර ඇඟවුමකි. 

හමුදාව මෙහයවා සිදු කරන ලද මෙම ප්‍රකෝපකාරී ක්‍රියාව රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ සහ පීඩිත මහජනයාගේ කෝපය සහ විරුද්ධත්වය පුලුල්ව වැඩෙන කොන්දේසි තුල කම්කරු පන්තිය වාර්ගිකව භේද කිරීමේ එල්ලය ඇතිව දෙමල ජනයාට එරෙහිව වර්ගවාදී උත්සන්නියක් ඇවිලවීමේ ක්‍රියාවකි. 

ආන්ඩුවේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියාව කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමක් වන අතර කම්කරු පන්තිය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ගරු කරන සියලු දෙනා විසින් එය හෙලා දැකිය යුතු ය.

ඒ අතර සිංහල හමුදාව සහ පොලීසිය විසින් ස්මාරකය විනාශ කල බව කියමින් වාර්ගික ඇවිලවීමට තෙල් වක්කිරීමට ටැමිල් නෙට්  උත්සාහ කර ඇත. මෙම විනාශය හෙලා නොදකින දකුනේ සන්විධාන සහ සිවිල් ක්‍රියාකාරීන් ගැන “සටහන්” කරගත යුතු බව ද එය සඳහන් කර තිබේ.  ටැමිල් නෙට් ප්‍රතිගාමී ප්‍රයත්නය හමුදාවේ ක්‍රියා සිංහල මහජනයාගේ ක්‍රියා ලෙස හංවඩු ගැසීමයි. හමුදාව හෝ පොලීසිය සිංහල වේවා දෙමල වේවා ධනේශ්වර රාජ්‍ය උපකරනය. 

යුද්ධයේ අවසන් සති කිහිපය තුල 40,000 ක් පමන දෙමල සිවිල් ජනයා හමුදා ප්‍රහාරවලින් මරනයට පත් කෙරුනු  අතර තවත් දහස් ගනනක් අතුරු දහන් වූහ. ලක්ෂ තුනකට අධික පිරිසක් අනාත කඳවුරු තුලට ගාල් කෙරුනි.  එල්ටීටීඊ සාමාජිකයන් ලෙස සලකා අත්  අඩංගුවට ගත්  දෙමල දේශපාලන සිරකරුවන් සිය ගනනක්  තවමත් බන්ධනාගාර තුල රඳවාගෙන සිටිති. 

යුද්ධය අවසන් වී වසර 11 ගත වී ඇතත් යුද්ධයෙන් ව්‍යසනයට පත් උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ අහිමි වූ ඉඩම්, නිවාස හා ආදායම් මාර්ග ඇතුලු මූලික ප්‍රශ්න බොහොමයක් තවමත් විසඳී නැත. මිලිටරි වාඩි  ලා ගැනීම දිගටම පාවාගෙන යමින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තව තවත් දඬු ගසනු ලබයි. 

දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනපති පක්ෂ දෙමල  කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන කවර හෝ තැකීමක් නැත.  මෙම සංවිධාන උත්සුක වන්නේ චීනයට එරෙහිව ඉන්දියාවේ ධනපති පාලක පන්තියේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී බලයන් ගෙනයන යුද සූදානමට සහයෝගය දෙන ගමන් කොලඹ සිංහල ධනපති පාලක පන්තිය සමග සම්මුතියකින් තමන්ගේ දේශපාලන සහ ආර්ථික වරප්‍රසාද රැක ගැනීම කෙරෙහි පමනි.

කම්කරු පන්තිය යාපනයේ සිදුකර තිබෙන මෙම වාර්ගික ඇවිස්සීමට තරයේ විරුද්ධ විය යුතු අතරම  රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සිංහල- දෙමල හා මුස්ලිම් ජනයාගේ සමාජවාදී එකමුතුව ගොඩනගමින් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගැනීමේ ඒකාබද්ධ අරගලයක් සඳහා සටන් කල යුතු ය.

Loading