ඉදිරිදර්ශන

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගන්වනු! දේශපාලන මහ වැඩවර්ජනයක් සඳහා සූදානම් වනු!

ජනවාරි 6 වැනි දා වොෂින්ටන් ඩීසී නගරයේ සිදු වූ ෆැසිස්ට්වාදී නැගී සිටීමෙන් සතියකට පමන පසු, පදවි ප්‍රාප්ති දිනය වන ජනවාරි 20 වැනි දා ඉලක්ක කර ගෙන එක්සත් ජනපදය පුරා අන්ත-දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වය පෙරට යාමේ තර්ජන පවතී.

මෙම තර්ජනය රාජ්‍යය ඇතුලත කොතරම් බැරෑරුම්ව සලකා බලනු ලබන්නේ ද යන්න පිලිබඳ ඉඟියක් දෙමින්, පදවි ප්‍රාප්තියට පෙරාතු ව මේ එලඹෙන සති අන්තය වන විට, භටයන් 10,000ත් 15,000ත් අතර පිරිසක්  වොෂින්ටන් ඩීසී නගරයේ දිගේලි කරනු ලබන බව ජාතික ආරක්ෂක කාර්යාංශයේ ප්‍රධානියා සඳුදා (ජනවාරි 11) නිවේදනය කලේ ය.

ඒබීසී ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ජනවාරි 11 වැනි දා නිකුත් කරන ලද අභ්‍යන්තර සටහනක්, අන්ත-දක්ෂිනාංශික කන්ඩායම් විසින් වොෂින්ටන් ඩීසී නගරයට අමතර ව ප්‍රාන්ත අගනුවර 50 තුල ම සන්නද්ධ විරෝධතා සැලසුම් කරමින් පවතින බවට අනතුරු අඟවයි. “හඳුනාගත් සන්නද්ධ කන්ඩායමක් ජනවාරි 16 වැනි දා වොෂින්ටන් ඩීසී නගරයට ඇතුලු වීමේ අභිප්‍රායයෙන් පසුවන බවට එෆ්බීඅයි වෙත තොරතුරු ලැබී ඇත” යැයි එම සටහන ප්‍රකාශ කරයි. “25 වන සංශෝධනය හරහා පෝටස් (ට්‍රම්ප්) ඉවත් කිරීමට කොංග්‍රසය උත්සාහ දරන්නේ නම්, විශාල කැරැල්ලක් ඇතිවේ යැයි ඔවුහු අනතුරු අඟවා සිටිති.”

යාහූ නිව්ස් හි ඉඩක් ගෙන තිබූ එෆ්බීඅයිහි තවත් සටහනක්, ජනවාරි 17 වැනි දා මිචිගන්, මිනේසොටා හා අනෙකුත් ප්‍රාන්ත තුල සිදු කිරීමට අපේක්ෂිත සුවිශේෂී සැලසුම් හඳුනා ගනී. “අනෙකුත් පුද්ගලයන් අගනුවර ‘අත්පත් කරගන්නා’ අතර, ව්‍යාකූලත්වයක් නිර්මානය කිරීම සඳහා “පෙට්‍රෝලියම් බෝම්බ උගුලක් ඇටවීම” ගැන මිචිගන්හි අන්ත-දක්ෂිනාංශික “බූගලෝ” ව්‍යාපාරය සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. මිචිගන් යනු පසුගිය ඔක්තෝබරයේ හෙලිදරවු කරගත් පරිදි එහි ආන්ඩුකාරවරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කොට තිබුනු ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයක මධ්‍යස්ථානය යි.

කම්කරු පන්තිය, තරුන ජනයා හා සියලු ප්‍රගතිශීලී බලවේග, අත්‍යන්ත බරපතල කමකින් යුක්ත ව මෙම තර්ජන සැලකිල්ලට ගත යුතු ය. 

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරනයට විරෝධය දැක්වීමේ පිට්ස්බර්ග් රැලිය. (ඒපී ඡායාරූපය/ ජීන් ජේ. පුස්කාර්)

දේශපාලනික අපරාධකාර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් සභාව හා කොංග්‍රසය තුල ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් විසින් පොලඹවනු ලබන අන්ත-දක්ෂිනාංශික දාමරික කල්ලි විසින් වොෂින්ටන් ඩීසී වේවා රටපුරා ප්‍රාන්ත අගනුවරවල් වේවා, ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්ගේ ජීවිතවලට තර්ජනය කිරීමටත් ආන්ඩුවේ ගොඩනැගිලි හා අනෙකුත් මූලෝපායික ස්ථාන අත්පත් කරගැනීමටත් දරන උත්සාහයන්ට, මහා වැඩ වර්ජනයක් දියත් කරමින් කම්කරු පන්තිය සිය ප්‍රතිචාරය දැක්විය යුතු ය.

පදවි ප්‍රාප්ත දින ප්‍රචන්ඩත්වයේ තර්ජනය පැමිනෙන්නේ, ජනවාරි 6 වැනි දා නැගී සිටීමට රිපබ්ලිකන් පක්ෂයේ සහ මිලිටරි-පොලිස් යාන්ත්‍රනයේ තීරනාත්මක කොටස් වෙතින් ඉහල මට්ටමේ සහයෝගයක් තිබෙන බවට වැඩෙන සාක්ෂි මධ්‍යයේ ය. එක්සත් ජනපද අගනුවරේ වටලෑමට පහසුකම් සපයන ලද්දේ, ජාතික ආරක්ෂකයන් දිගේලි කිරීමට පෙන්ටගනයේ ට්‍රම්ප් පාක්ෂිකයන්ගේ උපදසේ පරිදි, අගනුවර පොලීසිය ඉවත් කොට තැබීම හා ප්‍රමාද කරවීම් වීම් මගිනි.

කොංග්‍රස් සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයෙකු වන ඩිමොක්‍රටික් කොංග්‍රස් සභික ජේසන් ක්‍රෝ, එක්සත් ජනපද හමුදා ලේකම් රයන් මැකාති සමග ඉරිදා පැවැත්වූ දුරකථන සාකච්ඡාවක් වාර්තා කලේ ය. “විශාල ව්‍යසනයක් අනූ නවයෙන් වලක්වා ගනු ලැබූ බව පෙන්නුම් කරමින්, [අගනුවර සිදු කල කුඩා වැටලීමකින් පසු] දිග තුවක්කු, පෙට්‍රල් බෝම්බ, පුපුරනසුලු ද්‍රව්‍යයන් හා වෙඩි උන්ඩ සොයා ගත් බව” මැකාති ක්‍රෝට දැනුම් දුන්නේ ය. 

“ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින හා අතිරේක මිලිටරි සාමාජිකයන් කැරැල්ලට සහභාගි වූ බවට වාර්තා වීම පිලිබඳ ව තමන් බැරෑරුම් උත්සුකයන් පල කල” බවත්, “පදවි ප්‍රාප්ති උත්සවයට දිගේලි කරන ලද භටයන් දේශීය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහශීලී නො විය යුතු” බවත්, ක්‍රෝ තවදුරටත් පැවසී ය.

වොෂින්ටනයේ සිද්ධීන්වල බැරෑරුම් භාවය අතිශයෝක්තියට නැංවිය යුතු නැති බවත්, එය කුමන්ත්‍රනයකට සමාන කිරීම වැරදි බවත් විවධාකාර ව්‍යාජ-වාම ප්‍රවනතා විසින් කරන කියාපෑම්, අන්තරායදායක ලෙස කරුනු නො තකා හැරීමකි. ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ට (ඩීඑස්ඒ) අනුබද්ධ ජැකොබින් සඟරාව, “කලහකාරීත්වය, කුමන්ත්‍රනයක් (ලෙස) ක්ෂනික ව ගුනාංගීකරනය කල සමාජ මාධ්‍ය වාර්තා හා ලිබරල් සඟරා” වාර්තාවන්ට එරෙහි ව තර්ක කරයි. 

පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දක්වන නිසා, ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වයේ අන්තරාය අවම බව ජැකොබින් සඟරාව කියා සිටී. එය මෙසේ ලියයි: “අගනුවර යටත් කරගැනීම, සංගත ප්‍රභූව හා රාජ්‍ය ආයතන යන දෙගොල්ලන් ම අතර අන්ත-දක්ෂිනාංශික ඒකාධිපතිවාදයට පිටුබලය නො දෙන බව හෙලිදරවු කර ඇත. සමස්ත ඇමරිකානු ඉතිහාසය පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සේවය කර ඇති අගනුවර තවමත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට කැපවී සිටින බව පෙනේ.”

ජැකොබින් නියෝජනය කරන ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයන් තුල ගුනාංගීකරනය කෙරෙන දේශපාලන මුග්ධත්වය හා අත්‍යන්ත අලස බව එවන් අදහස් දැක්වීම මගින් ඒකාබද්ධ කරයි. ජැකොබින් සඟරාවට අනුව පාලක කතිපයාධිකාරයේ පන්ති අවශ්‍යතාවන්ට හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෛෂයික පදනම ඛාදනය කර ඇති යෝධ සමාජ අසමානතාවට ට්‍රම්ප්ගේ ඒකාධිපති ක්‍රියාවන් අසම්බන්ධිත ය. එක්සත් ජනපදය තුල 385,000කට අධික ජනකායක් මිය ගොස් ඇති වසංගතය හේතුවෙන්, සමාජ ධ්‍රැවාන්තගත වීම විසින් ඉස්මතු කරන පීඩනයන් පුපුරනසුලු ලක්ෂ්‍යය කරා ධාවනය කරනු ලැබ ඇත.

දේශපාලන අර්බුදය හා ට්‍රම්ප් උත්සාහ දරන ලද කුමන්ත්‍රනය විසින් ඉදිරියට දමන අන්තරායන් උදාසීන ලෙස අවතක්සේරු කිරීමේ තවත් අංශයක් වන්නේ, සති අන්තයේ දී ට්‍රම්ප්ගේ ට්විටර් ගිනුම වසා දැමීමට දක්වා ඇති ප්‍රතිචාරය යි. වර්තමාන කොන්දේසි යටතේ මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඇති ප්‍රධාන තර්ජනය ලෙස දැක ගනු ලැබීම, දැනට සිදූ වන දෙය පිලිබඳ සම්පූර්න අවතක්සේරු කිරීමකි.

ට්‍රම්ප් ක්‍රමවිරෝධී ප්‍රගතිශීලී හා වාමාංශික ව්‍යාපාරයක නියෝජිතයෙකු නොවන්නේය යන කරුන පසෙක තැබුව ද ට්‍රම්ප් යනු හුදු තනි පුද්ගලයෙක් නො වේ. එක්සත් ජනපදයේ ප්‍රධාන අන දෙන නිලධාරියා වන ඔහු, ජනාධිපති ව සිටින තාක් කල් න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීමේ බලය ද ඇතුලත් ඇඟ කිලි පොලා යන බලයක් සහිත පුද්ගලයෙකි. රට පුරා ඔහුගේ ෆැසිස්ට්වාදී අනුගාමිකයන් බලමුලු ගැන්වීමේ හා පෙලඹවීමේ හැකියාව සහිත ව-නිදහස් භාෂනය සම්බන්ධයෙන් තීරනාත්මක කාරනාවක් පවතින්නාක් මෙන්-ට්විටර් හා සමාජ මාධ්‍ය වෙත ඔහුට නිර්බාධිත ප්‍රවේශයක් තිබිය යුතු යයි අවධාරනය කිරීම උමතුවක් නොවේ නම් දේශපාලනික ව වගකීම් විරහිත දෙයකි. ඔහුගේ ට්විටර් ගිනුම වසා දැමීමට ඉඩ දිය නො හැකි නම්, ඔහු ව වහා ම ධවල මන්දිරයෙන් ඉවත් කොට අත්අඩංගුවට ගැනීම එමෙන් දෙගුනයකින් ඉඩදිය නො හැකි කාරනාවකි! දේශපාලනික ව බංකොලොත් ව්‍යාජ-වාම නරුමයන් වැඩියෙන් වද විය යුත්තේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳව විනා ට්‍රම්ප්ගේ අයිතීන් පිලිබඳව නොවේ.

බයිඩන් පරිපාලනය යනු වෝල් වීදියේ, ඔත්තු ‍සේවා ඒජන්සි හා මිලිටරියේ දක්ෂිනාංශික ආන්ඩුවක් වනු ඇත යන්න නිසැක වසයෙන් ම සත්‍ය ය. එහෙත් ප්‍රතිගාමී ධනේශ්වර ආන්ඩුවක් සමග සටන් වැදීමේ කර්තව්‍යය, කම්කරු පන්තියේ වගකීමක් වන අතර, ෆැසිස්ට් බලවේග බලමුලුගන්වමින් සිටින දක්ෂිනාංශික ආඥාදායකයෙකුගේ කර්තව්‍යයක් නො වේ.

තමන්ගේ ම ක්‍රමවලින් හා තමන්ගේ ම ක්‍රියා මාර්ගයක් මත ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයක් දියත් කරමින්, කම්කරු පන්තිය මෙම අර්බුදයට ස්වාධීන ව මැදිහත් විය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා පාලක පන්තියේ කිසිදු කොටසක් කෙරෙහි විශ්වාසය තැබිය නො හැක. ට්‍රම්ප් විසින් ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වය ඇවිලවීම සිවිල් යුද්ධයක් දියත් කිරීමේ අනතුර දරා සිටිතියි පාලක පන්තියේ ට්‍රම්ප්ගේ විරුද්ධවාදීහු හොඳින් ම දනිති. එහෙත්, ඔවුන් වඩාත් ම බියට පත්වන වන කාරනය: එනම්  ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ව්‍යාපාරයක් බවට වර්ධනය වීමේ තර්ජනයට තුඩුදිය හැකි ට්‍රම්ප්ට එරෙහි විරෝධය මැඩ පැවැත්වීම ගැන ඔවුහු වඩාත් උත්සුක ය.

ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයක් උසිගැන්වීමේ දී ට්‍රම්ප් දරන භූමිකාව, පලල් දේශපාලන සන්දර්භයෙන් හුදකලා කිරීමට ඩිමොක්‍රටිකයන් උත්සාහ දරන්නේ මේ හේතුව නිසා ය. විශේෂයෙන් ම ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා ලෙස බයිඩන්, රිපබ්ලිකන් පක්ෂ ආයතනය රැකගැනීමට ඔහුට හැකි සියල්ල කරමින් සිටින්නේ, මැතිවරනය සොරාගන්නා ලද බවට ට්‍රම්ප් කරන කියාපෑම් යුක්තියුක්ත කිරීම මගින් එම පක්ෂයේ නායකයන් කුමන්ත්‍රනයට අවශ්‍ය දේශපාලන ආවරනය සම්පාදනය කරන අතරතුර ය.

කුමන්ත්‍රනයෙන් මෙපිට කල එක ම ප්‍රසිද්ධ ප්‍රකාශය සිකුරාදා මාධ්‍ය හමුවක දී සිදු කල බයිඩන්, තමන් “ශක්තිමත්” රිපබ්ලිකන් පක්ෂයක් වෙනුවෙන් කැප වන බව කීවේ ය. කුමන්ත්‍රනය සිදු වූ දිනයේ සන්ධ්‍යා භාගයෙහි සෙනෙට් රිපබ්ලිකානු බහුතර නායක මිච් මැක්කොනල් බයිඩන්ගේ ජයග්‍රහනය කොංග්‍රසය විසින් පිලිගැනීම සඳහා කල කැඳවුම හේතුවෙන්, බයිඩන් වර්නනාව සඳහා මැක්කොනල් ව තෝරා ගත්තේ ය.

බදාදා (ජනවාරි 13) තරම් ඉක්මනින් සිදු විය හැකි, නියෝජිත මන්ඩලය තුලින් දෝෂාභියෝග චෝදනා සම්මත කර ගැනීමට ඩිමොක්‍රටිකයන් දරන උත්සාහයන් මත් මේ ප්‍රයත්නයේ කොටසකි. දෝෂාභියෝගය සතු ව කිසිදු ප්‍රායෝගික බලපෑමක් නැතැයි තහවුරු කරන සියලු වර්ගයේ කොන්දේසි සමගින් චෝදනා හඳුන්වා දෙනු ලබමින්  පවතී. බිඩන්ගේ සමීපතමයෙකු වන කොංග්‍රස් සහික ජේම්ස් ක්ලයිබර්න් විසින් නායකත්වය දෙනු ලබන ඉහල පෙලේ ඩිමොක්‍රටිකයන්, දෝෂාභියෝග චෝදනා සෙනෙට් සභාවට යැවීමට පෙර මාස කිහිපයක් බලා සිටින ලෙස කැඳවුම් කරන අතර, එහි අර්ථය වන්නේ ට්‍රම්ප් දින ගනනාවක් කාර්යාලයේ රැඳී සිටීම මත එමගින් බලපෑමක් නො වනු ඇති බව යි.

බයිඩන් විසින් උත්කර්ෂයට නංවනු ලැබ ඇති ට්‍රම්ප්ගේ හෙංචයියෙකු වන මැක්කොනල් සඳහන් කර ඇත්තේ, කොංග්‍රසය සෙනෙට් සභාවට දෝෂාභියෝග චෝදනා ක්ෂනික ව යවන්නේ නම්, පදවි ප්‍රාප්තියට පෙර දිනය වන ජනවාරි 19 දා තෙක් වත් ඔහු නඩුවක් කැඳවන්නේ නැති බව යි.

තව ද ට්‍රම්ප්ගේ පුද්ගලික භූමිකාව කොතරම් අර්ථභාරී වුවත්, එය වනාහි ජාතික හා ප්‍රාදේශීය රිපබ්ලිකන් පක්ෂ නිලධාරීන් සහ මිලිටරි හා පොලිස් යාන්ත්‍රනයේ කොටස් සහභාගි වන, පලල් දේශපාලන කුමන්ත්‍රනයක කොටසකි. ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට දේශපාලනික ව සහයෝගය දීම හේතුවෙන් ටෙඩ් කෲස් හා ජෝෂ් හෝලි යන සෙනෙට් සභිකයන් දෙදෙනා ව ක්ෂනික ව අත්අඩංගුවට ගැනීම පසෙක තැබුව ද ඔවුන්ගේ ඉල්ලා අස්වීම පිනිස කල කැඳවීම් පවා බයිඩන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයෙහි නව අවධියක් නියෝජනය කරන ජනවාරි 6 ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයෙන් අවශ්‍ය පාඩම් උකහා ගත යුතු ය. එය වනාහි ඇමරිකානු ධනවාදී සමාජයෙහි විස්තීර්න බිඳවැටීමක ප්‍රකාශනයකි. පවත්නා ආර්ථික පර්යායේ ගැඹුරු අර්බුදයක පදනම මතින් පැන නගින සමාජ ව්‍යාපාරයකට, මෙය හඳුනා ගැනීමකින් තොර ව, ෆැසිස්ට්වාදයේ තර්ජනයට එරෙහි ව සටන් වැදිය නො හැක. මහජන සමාජ අතෘප්තිය ෆැසිස්ට්වාදයේ මාධ්‍ය හරහා කම්කරු පන්තියට එරෙහි ව එල්ල කෙරුනු ප්‍රතිගාමී ව්‍යාපාරයක් දෙසට යොමු කිරීමට පාලක ප්‍රභූව උත්සාහ දරයි.

ෆැසිස්ට්වාදයට එරෙහි දේශපාලන විෂ හාරකය වන්නේ, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි. තව ද මේ සටනේ දී කම්කරු පන්තිය පෙරට පැමිනෙන ප්‍රමානයට, ඩිමොක්‍රටික් පක්ෂයට හා බයිඩන් පරිපාලනයකට එරෙහි සටන තුල අපරිමිත ලෙස ශක්තිමත් වනු ඇත.

ජනවාරි 20 වැනි දා හා ඒ ආසන්න දිනවල සැලසුම් කරන ෆැසිස්ට් ප්‍රචන්ඩත්වයට එරෙහි ව, මහා වැඩ වර්ජනයකට සූදානම් වීමෙන් ප්‍රතිචාර දක්වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට කැඳවුම් කරයි. කම්කරු පන්තියේ සියලු කොටස් බලමුලු ගන්වමින් එකමුතු කිරීමට, කර්මාන්තශාලා හා වැඩපොලවල ද සෑම නිවහන් ප්‍රදේශයක ම හා නගරයක ම ද ක්‍රියාකාරී කමිටු ජාලයක් වර්ධනය කරනු ලැබිය යුතු ය.

ෆැසිස්ට් කුමන්ත්‍රනය යනු මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්වල ප්‍රකාශයක් වෙනුවට “සුදු ජාතික භාවයේ” ප්‍රකාශයක් යයි ඩිමොක්‍රටිකයන් කරන කියාපෑම් ඇතුලු දේශපාලන තත්ත්වය තුලට වාර්ගික ගැටුම් හා බෙදා වෙන් කිරීම් එන්නත් කිරීමට දරන සියලු ප්‍රයත්නයන් කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු ය. මෙම ආඛ්‍යානය කරන එකම දෙය වන්නේ ෆැසිස්ට්වාදීන්ට ම දේශපාලන වෙඩි බෙහෙත් සම්පාදනය කිරීම පමනි. රට පුරා සියලු වර්ගවල හා වාර්ගිකත්වයන්ගේ කම්කරුවෝ උරෙනුර ගැටී වැඩ කරති. ධනපති පාලක ප්‍රභූව තුල ඔවුන් මුහුන දෙන්නේ පොදු සමාජ හා ආර්ථික අර්බුදයකට හා පොදු හතුරන්ට ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට පාලක පන්තිය දරන ප්‍රයත්නයන්ට එරෙහි මහා ජනතා විරෝධය, ජනවාරි 6 කුමන්ත්‍රනය පිලිබඳ සම්පූර්න, විවෘත හා ප්‍රසිද්ධ විමර්ශනයක් ඉල්ලා සිටීම සමග බද්ධ කල යුතු ය. කුමන්ත්‍රන මෙහෙයුම සංවිධානය කිරීමේ ද එයට දේශපාලන ආවරනය සම්පාදනය කිරීමේ ද නිරත වූ සියලු දෙනා තනතුරුවලින් ඉවත් කොට, අත්අඩංගුවට ගෙන චෝදනාවට ලක්කල යුතු ය.

සන්නද්ධ සොල්දාදුවන් හා පොලිස් නිලධාරීන් දහස් ගනනක රැකරවනය මැද බයිඩන් ජනවාරි 20 වැනි දා දිවුරුම් දී ධවල මන්දිරයට ඇතුලු වුව ද අර්බුදය එතැනින් අවසන් නො වනු ඇත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ එහි මරන මංචකයේ ය.

සමාජවාදය ගොඩ නැගීම ඉලක්ක කර ගෙන, ලොව පුරා කම්කරු පන්තිය සමග එකමුතු ව, කම්කරු පන්තියේ බලගතු මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හැර මේ අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් තිබිය නොහැකි ය.  

මෙම ව්‍යාපාරය ගොඩ නැගීමේ හදිසි භාවය හඳුනා ගන්නා සියලු දෙනා සමාජවාදී සමානතා පක්ෂයට බැඳිය යුතු ය.

[මෙම ඉදිරිදර්ශනය ජාත්‍යන්තර සංස්කරනයේ ජනවාරි 12 වැනි දින පල විය.]

Loading