සති හතේ මහජන විරෝධතාව නීති-විරෝධී කිරීම සඳහා පදනම සකසන අතර ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරනය ගොවීන් පිලිබඳ ව්‍යාජ උත්සුකයක් ආරූඪ කරගනී

විරෝධතාවේ යෙදෙන ගොවීන් හා කෘෂිකාර්මික කම්කරුවන් දේශපාලන උගුලකට හසුකිරීම පිනිස සැලසුම් කරන ලද නිගමනයක් දුන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය, භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් මෑතක දී අනුමත කල කෘෂිව්‍යාපාර-ගැති “ප්‍රතිසංස්කරන” නීති භාවිතා කරනු ලැබීම තාවකාලික ව නවත්වන බව අඟහරුවාදා (ජනවාරි 12) නිවේදනය කලේ ය.

ඒ අතර ම, ගොවීන්ගේ පැමිනිලිවලට ඇහුම් කන් දීම සඳහා “විශේෂඥ මන්ඩලයක්” -එහි සාමාජිකයන් හතර දෙනා ම මෙම නීතිවලට සහයෝගය දීම පිලිබඳ ව සුප්‍රසිද්ධ ය- ස්ථාපිත කල ඉන්දියාවේ ඉහල ම අධිකරනය, එහි ව්‍යාජ “ස්වාධීන” මන්ඩලය සමග සහයෝගයෙන් කටයුතු නො කල හොත්, විරෝධතාකරුවන්ට එරෙහි ව නෛතික ක්‍රියා මාර්ග ගන්නා බවට තුනී තර්ජන නිකුත් කලේ ය.

2020 දෙසැම්බර් 12 සෙනසුරාදා ඉන්දියාවේ කල්කටාවේ පැවැත්වෙමින් තිබුනු ගොවි විරෝධතාවට සහයෝගය දක්වමින් පෙලපාලියේ යෙදෙන විවිධ ආගම්වල නියෝජිතයන් (ඒපී ඡායාරූප/ බිකාස් දාස්)

නව කෘෂිකාර්මික නීති භාවිතා කිරීම ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අත්හිටුවීමට එරෙහි ව නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන බීජේපී ආන්ඩුව කඨෝර ලෙස තර්ක කර ඇත. එහෙත්, නිගමනය නිකුත් කොට මන්ඩලයේ සංයුතිය නිවේදනය කල විට, කෘෂිකර්ම ඇමති කයිලාෂ් චවුද්රි “තීන්දුව සාදරයෙන් පිලිගැනීම සඳහා” කඩිනම් විය.

අඟහරුවාදා තීන්දුව පෙත්සම් කිහිපයකට දැක්වූ ප්‍රතිචාරයක් විය. සති හතකට පෙර ජාතික අගනුවර භූමි ප්‍රදේශයට ඇතුල් වීම තහනම් කරමින් ආන්ඩුව නීති පැනවූ තැන් පටන්, දිල්ලි නුවර යාබද ප්‍රදේශ මත කඳවුරු තනාගෙන සිටින, දස දහස් ගනනක් වන විරෝධතාවේ යෙදෙන ගොවීන්ට මහා මාර්ග දුසිම් බාගයක් මත හටගන්නා මාර්ග අවහිරතා නැවැත්වීම පිනිස නියෝග කරන්නැයි සමහරු ආයාචනා කරමින් සිටිය හ. ඉන්දියානු හා ගෝලීය ප්‍රාග්ධනය විසින් දීර්ඝ කාලයක් තිස්සේ විධානය කරනු ලබන පියවරයන් ස්ථාපිත කරන නව නීතිවල ව්‍යවස්ථානුකූල භාවයට අනෙකුත් අය අභියෝග කල හ.

ලෝකයේ “ආන්තික ලෙස දුගී” පුද්ගලයන්ගෙන් හතරෙන් පංගුවක වාසස්ථානය වන ඉන්දියාව පුරා කොවිඩ්-19 රෝගය පැතිර යද්දී, පසුගිය සැප්තැම්බරයේ බීජේපී ආන්ඩුව පාර්ලිමේන්තුව හරහා කෘෂිකාර්මික නීති තුනක් තල්ලු කර ගත්තේ ය. අතිමහත් බහුතරයක් දෙනා කෘෂිකාර්මික කම්කරුවන් සහ හෙක්ටයාර දෙකක් (ඉඩම් අක්කර පහක්) හෝ ඊට අඩු භූමි භාගයක් මත ජිවිකාව සරිකර ගන්නා ආන්තික ගොවීන් වන, තම ජීවිකාව සඳහා කෘෂිකර්මාන්තය මත රඳා සිටින මිලියන සිය ගනනක් එම නීති මගින් යෝධ කෘෂිව්‍යාපාර උත්සුකයන්ගේ අත්අඩංගුවේ තබයි.

වසංගතයට ප්‍රතිචාර වසයෙන්, කම්කරු පන්තිය සහ ගම්බද පීඩිතයින් සූරාකනු ලැබීම තීව්‍ර කිරීම මගින් ආයෝජන අද්දා ගැනීමේ සිය ධාවනය, අන්ත-දක්ෂිනාංශික බීජේපී ආන්ඩුව විසින් වේගවත් කො‍ට තිබේ. බොහෝ කම්කරු ක්‍රියා නීති-විරෝධී බවට පමුනුවන, අස්ථීර කොන්ත්‍රාත්-ශ්‍රම රැකියා දිරිමත් කරන සහ විශාල සංගතවලට සිය අභිමතය පරිදි කම්කරුවන් දොට්ට දැමීමේ හැකියාව බලාත්මක කරන කම්කරු නීති “ප්‍රතිසංස්කරන” සමග ඒකාබද්ධ ව එහි කෘෂිකාර්මික නීති සම්මත කරගනු ලැබී ය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය සෑම හැරුම් ලක්ෂ්‍යයක දී ම පාහේ බීජේපී ආන්ඩුවට ආධාර හා සහයෝගය දී ඇත. කාෂ්මීරයට එරෙහි මෝදිගේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයට 2019 දී පහසුකම් සැපයූ එය, බීජේපීය හා එහි හින්දු අධිපතිවාදී සගයන් විසින් දශක ගනනාවක් තිස්සේ ගොඩනගනු ලබන වාර්ගික ප්‍රචන්ඩත්වයේ හා බිය වැද්දීමේ උද්ඝෝෂනයට හිස නමමින්, බාබ්රි මස්ජීද් මුස්ලිම් පල්ලිය සමතලා කරන ලද භූමිභාගයේ රාම් නමැති හින්දු දෙවියාට කැප කරන ලද පන්සලක් තැනීමට නියෝග කලේ ය.

ගොවි උද්ඝෝෂනය පිලිබඳ ව සඳුදා හා අඟහරුවාදා ඇසූ නඩුවාරවල දී, අග විනිසුරු ශරාද් ඒ. බොබ්දේ විසින් නායකත්වය දෙනු ලබන උසාවි විනිසුරු මඩුල්ලක්, ගොවීන්ගේ උත්සුකතාවන්ට ආමන්ත්‍රනය කිරීමේ ක්‍රම සොයා ගැනීමට අසමත් වීම ගැන ආන්ඩුවේ අත් ඇඹරවීමේ ප්‍රදර්ශනයක් පෙන්වමින්, විරෝධතාවේ යෙදීමට ගොවීන්ට තිබෙන අයිතියෙහි ආරක්ෂකයෙක් ලෙස ව්‍යාජ ව පෙනී සිටියේ ය. කොන්ත්‍රාත් වගාව සහ අවම සහයෝගී මිල (එම්එස්පී) ක්‍රමයට වල කපා අවසානයේ සිය ජීවිකාවන් විනාශ කිරීම හා අනෙකුත් වෙලඳපොල-ගැති ප්‍රතිසංස්කරන කෙරෙහි ගොවීන් අතර පවතින භීතියට ආමන්ත්‍රනය කරමින් අග විනිසුරු බොබ්දේ “අපි ගොවීන්ගේ ඉඩම් ආරක්ෂා කරනවා” යි ප්‍රකාශ කලේ ය.

මේ සියලු දෙඩවිලි සමගින් ශ්‍රේෂ්ඨාධිකරනයේ ඉලක්කය වූයේ, ගොවීන්ගේ මහා පරිමාන හා අධිෂ්ටානවත් විරෝධයට හා වැඩෙන සමාජ විරෝධයට මුහුන දී සිටින බීජේපී ආන්ඩුවට, එහි කෘෂිව්‍යාපාර-ගැති ප්‍රතිසංස්කරන තල්ලු කරගැනීමේ උපාමාරුවලට සහයෝගය දීමට උත්සාහ දැරීම යි. ‌ගොවීන් නොවැම්බර් 26 වැනි දා දියත් කල දිල්ලි චාලෝ (අපි දිල්ලියට යමු) උද්ඝෝෂනය, මෝදි ආන්ඩුවේ ආයෝජක-ගැති “ප්‍රතිසංස්කරනවලට” විරෝධය පෑම පිනිස පැවැත්වූ එක් දින මහා වැඩ වර්ජනය සහ වසංගතය සමයේ රැකියා හෝ වැටුප් කප්පාදු කරනු ලැබ තිබූ මිලියන සිය ගනනකට හදිසි ආධාර ඉල්ලා සිටීම සමග සමපාත වන පරිදි සැලසුම් කොට තිබුනි.

පාලක පන්තියට පවතින විශාලතම භීතිය වන්නේ, ගොවීන්ගේ උද්ඝෝෂනය කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට උත්ප්‍රේරකයක් බවට පත්වනු ඇත යන්න යි.

දිල්ලියට තුල හා ඒ අවට ප්‍රවාහනයට තව දුරටත් බාධා කල නොහැකි වන පරිදි, ගොවීන්ගේ අරගලය විකල්ප ස්ථානයකට හෝ කිහිපයකට මාරු නො කල හොත්, එය නීති-විරෝධී කිරීමේ පදනම සකසන අතර, ගොවීන්ට විරුද්ධ ව සූදානම් කරන ව්‍යාජ සමාදාන කිරීමේ ක්‍රියා දාමයක උගුලකට ඔවුන් ව හසු කිරීම ශ්‍රේෂ්ඨාධිකරන නිගමනයේ ඉලක්කය යි.

“විශේෂඥ මඩුල්ලේ” සංයුතිය සලකා බලන්න. “ශ්‍රේෂ්ඨාධිකරන කමිටුවේ සාමාජිකයන් හතර දෙනා වනු ඇති, සුප්‍රකට වෙලඳපොල-ගැති කෘෂි ආර්ථික විද්‍යාඥ අශෝක් ගුලාති සහ ප්‍රමෝද් කුමාර් ජෝෂි සමගින් ෂෙක්තාරි සංඝටන ගොවි සමිතියේ අනිල් ඝන්වාට් හා භාරතීය කිසාන් (ඉන්දියානු ගොවි) සමිතියේ එක් කන්ඩායමක නායකයා වන බුපින්ඩර් සිං මාන්, නව ගොවි නීති ආයතනගත ලෙස හඳුන්වා දීමට උත්සාහ දරන පෞද්ගලික, සංගත නායකත්වය දෙන කෘෂිකාර්මික වෙලඳපොලවලට නිරන්තරයෙන් සහයෝගය දී ඇත” යි ද වයර් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කලේ ය.

“විශේෂඥ” කමිටුව සමග ඒකාබද්ධ වන ලෙස ගොවීන්ට පැහැදිලි ව අනතුරු අඟවමින් අග විනිසුරු එස්. ඒ. බොබ්දේ අඟහරුවාදා මෙසේ කීවේ ය: “ස්වාධීන කමිටුව බිහිකිරීමෙන් අප ව වැලැක්විය හැකි කිසිදු බලයක් මිහිපිට නැත. ...දේශපාලනය හා අධිකරනට අතර වෙනසක් තිබේ. ඔබට තිබෙන්නේ එක්සත් ව වැඩ කිරීම යි.”

නව නීති අත්හිටුවීම තාවකාලික දෙයක් පමනක් බව පැහැදිලි කිරීමට දක්වා ඔහු ඉදිරියට ගියේ ය; ආන්ඩුවේ ආස්ථානය ප්‍රතිරාවය කල ඔහු, ගොවීන් සරල ව ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමනක් නො ව, නීති හා යෝජනා පිලිබඳ සුවිශේෂී විවේචන ද කල යුතු බව අවධාරනය කලේ ය. “නීති අත්හිටුවීමට අපි කැමති වුවත්, ඒ අවිනිශ්චිත කාලයකට හා බිම් මට්ටමේ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොර ව නො වේ. නීතියේ වෙනස් කරනු ලැබිය යුත්තේ කවර කොටසදැයි ඔබ කියා සිටීම වෙත සවන් දීමට අපට අවශ්‍ය ය” යි අග විනිසුරුවරයා කීවේ ය.

පන්ජාබ් ප්‍රාන්තයේ ගොවි නායකයෙක් වන බල්බීර් සිං රාජ්වාල් “මෙම කමිටුව ආන්ඩුවේ උප්පර වැට්ටියක් බව අපි අවබෝධ කරගන්නවා” යි කීවේ ය. “එහි එක ම අර්ථය වන්නේ, විරෝධතාවෙන් අවධානය ඉවතට හැරවීම හා ආන්ඩුව මත පීඩනය අඩු කිරීම යි.”

ගොවීන් කෙරෙහි උත්සුකය‍ පල කරන අතර ම, උද්ඝෝෂනය මත රාජ්‍ය මර්දනයක් දියත් වීමට පසුබිමක් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් සූදානම් කරමින් සිටී.

ජනවාරි 26 වැනි දාට යෙදුනු වාර්ෂික ජනරජ දින සැමරුම් සමයේ, ගොවීන් අගනුවර තුල ට්‍රැක්ටර් රථ පෙලපාලියක් පැවැත්වීමෙන් වලක්වන උසාවි නියෝගයක් ලබා ගැනීමට දිල්ලි පොලීසිය කල ඉල්ලීම ප්‍රදානය කරනු ලබන බව අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරනය නිවේදනය කලේ ය. ඉන්දීය ස්වදේශ ඇමතිවරයා හා මෝදිගේ ප්‍රධාන හෙන්චයියා වන අමිත් ෂාගේ ඍජු පාලනය යටතේ පවතින දිල්ලි පොලීසියේ ඉල්ලුම් පත්‍රය තුල, “ජාතියට ‌ලෝක පරිමාන ව හානි කිරීමට” විරෝධතා දැක්වීමේ අයිතියට කිසිදා ඇතුල් කල නො හැකි බව දිල්ලි පොලීසිය අවධාරනය කලේ ය.

දිල්ලි නගරය තුල විරෝධතා දැක්වීමට ගොවීන්ට කෙදිනක හෝ අවසර දෙනු ලබන්නේ නම්, නගරයට “අසන්නද්ධ ව ඇතුල් වීමට” ඉඩ දෙනු ලබන විරෝධතාකරුවන් ගනන සඳහන් කිරීමටත්, එසේ ඉඩ දෙනු ලබන්නේ කවර ස්ථානයකටදැයි නීර්නය කිරීමටත් සම්පූර්න අභිමතය පොලීසියට තිබිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරනය කියා සිටියේ ය. නොවැම්බර් 26-27 දිනවල ගොවීන් දිල්ලි නගරයට ඇතුල් වීමෙන් වැලැක්වීම පිනිස පොලීසිය හා පැරාමිලිටරි හමුදා දහස් ගනනක්, ජල ප්‍රහාරක රථ හා කඳුලු ගෑස් යන්ත්‍ර දිගේලි කරමින් සහ නගර මධ්‍යයෙන් හා ආන්ඩුවේ ආසනයකින් බොහෝ ඔබ්බේ ඔවුන්ගේ විරෝධතාව පවත්වන ලෙස යෝජනා කරමින් ආන්ඩුව ක්‍රියාවට දැමූ මහජන මර්දනය, මෙ මගින් අනුමත කරයි. මෙය සිරගත කිරීමට සමාන කිරීමක් ලෙස සඳහන් කරමින් ගොවීහු මෙය ප්‍රතික්ෂේප කල හ.

ජාතික අගනගර භූමියේ යම් තැනක සංකේත විරෝධතාවක් පැවැත්වීමට සීමිත ගොවි පිරිසකට හා ඔවුන්ගේ ආධාරකරුවන්ට ඉඩ දීමට හිලවුව පිනිස, ව්‍යාජ “සහන” හා තර්ජනවල සංයුතියක් හරහා දිල්ලි නගර සීමාවත අවසානයේ එයට “කඩාකප්පල්කාරී” කඳවුරු බිඳ දැමීමට ඉඩ දෙනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරනය පැහැදිලි ව අපේක්ෂා කරයි.

“නීති පනවනු ලැබූ විට, විරෝධතාකරුවන් ව වර්තමාන භූමියෙන් ඉවත් කරනු ලැබිය හැකිදැයි දැකගැනීම අවශ්‍ය වේ” යි අග විනිසුරු බොබ්දේ කීවේ ය.

එහෙත්, තත්ත්වයේ පුපුරනසුලු බව හා උසාවි මැදිහත් වීමේ ගනන් බැලීම් සලකා බලමින් විරෝධතාව නවතා දැමිමට සූදානමින් තොර ව ගන්නා උත්සාහයක් අවසන් විය හැක්කේ “ලේ හැලීමක් තුල” යි අග විනිසුරුවරයා භීතියෙන් යුත් හඩක් පල කලේ ය. “අපේ අත්වල ලේ තැවරීම අවශ්‍ය නැත” යි ඔහු ප්‍රකාශ කලේ ය.

ලෝකයේ වඩාත් ම අසමාන ධනපති සමාජයකින් එකක් ආරක්ෂා කිරීමේ රාජකාරිය පැවතී ඇති මූලික රාජ්‍ය ආයතනයක ප්‍රධානියා වන විනිසුරු බොබ්දේ විඳ වීම හා ප්‍රචන්ඩත්වය පිලිබඳ හිත රිදෙන පුද්ගලයෙක් නො වේ. ඉන්දියාවේ ඉහල ම අධිකරනයේ උත්සුකය වන්නේ, ගොවීන් සමග වන ප්‍රචන්ඩ ගැටුමක් බීජේපී ආන්ඩුවට හා ධනපති පාලනයට එරෙහි මහජන ව්‍යාපාරයක් දැල්විය හැකි ය යන්න යි.

මෙම ප්‍රධාන අර්බුදය මධ්‍යයේ, අතිශයින් ම නින්දිත භූමිකාව ඉටු කරනු ලබන්නේ, ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඒවාට අනුබද්ධිත වෘත්තීය සමිති විසිනි. ගොවීන්ට සහයෝගී වචන ප්‍රකාශ කරන අතර ම, කම්කරු පන්තිය පසෙකට කර තැබීමටත්, මෝදිට හා ඔහුගේ බීජේපීයට එරෙහි ව මෝදු වන විරෝධය, මෑතක් වන තුරු පාලක පන්තියේ මනාපීය ආන්ඩු පක්ෂය වූ කොංග්‍රස් පක්ෂයට සහ විවිධාකාර දක්ෂිනාංශික ප්‍රාදේශීයවාදී හා කුල මත පදනම් වන පක්ෂවලට දේශපාලනික ව යටත් කිරීමටත් ඔවුහු තමන්ට හැකි සියල්ල කරති.

“ඉන්දීය ගොවි උද්ඝෝෂනය හා කම්කරු පන්තියේ සමාජවාදී මූලෝපාය” නමැති ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල ප්‍රකාශයක් විස්තර කල පරිදි:

කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස මෙම අර්බුදයට මැදිහත් වීම අත්‍යවශ්‍යය. ... තම කාර්මික හා ස්වාධීන දේශපාලන බලය පිහිටුවා ගනිමින්, සියල්ලටත් වඩා කෘෂිකාර්මික කම්කරුවන් සහ ඉඩම් නොමැති ගොවීන් ඇතුලු ග්‍රාමීය ජනතාව, සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, සිය නායකත්වය යටතේ මෝදි ආන්ඩුවට හා ධනේශ්වර පාලනයට එරෙහිව සටන් කිරීම පිනිස පෙලගස්වා ගන්නා ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ඉන්දියානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

මෝදි ආන්ඩුව පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය මහා දේශපාලන වැඩ වර්ජනයකින් බලමුලු ගැන්විය යුතුය. මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහි මහජන විරෝධතා, ජනවාරි 8 සහ නොවැම්බර් 26 එක්දින සමස්ත ඉන්දීය විරෝධතා වැඩ වර්ජන සහ වැඩ වේගවත් කිරීම, වැටුප් කපාහැරීම හා කොවිඩ්-19ට මුහුන දීම පිනිස පුද්ගලික ආරක්ෂක උපකරන සපයන ලෙස ඉල්ලා එලඹි වර්ජන හා අරගලවල වර්තමාන රැල්ල ඇතුලු පසුගිය වසරේ සමාජ අරගලවල දැවැන්ත වර්ධනය පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ මෙහෙයවන ප්‍රහාරයක් සඳහා ඇති දැවැන්ත විභවය යි.

ගොවීන් උද්ඝෝෂන ස්ථානවලින් පන්නා දැමීමට සියල්ල කරන අතරම ගොවීන් හුදෙකලා කිරීම, වෙහෙසට පත්කිරීම හා භේදභින්න කිරීම සාර්ථක කර ගැනීමට මෝදි ආන්ඩුව දරන ප්‍රයත්නයට ඉඩ නොදිය යුතුය.

[මෙම ලිපිය ජනවාරි 13 වැනි දින ජාත්‍යන්තර සංස්කරනයේ පල විය.]

Loading