කොවිඩ්-19 පිලිබඳ ආන්ඩුවේ රහස් හෙලි කරන්නියකු වන රෙබෙකා ජෝන්ස්ට අත නොතබනු!

ෆ්ලොරිඩාවේ සහ එක්සත් ජනපදය පුරා K-12 (බාලාංශයේ සිට 12 වන ශ්‍රේනිය දක්වා) පාසැල් හි කොවිඩ්-19 ආසාදනවල සැබෑ මට්ටම හෙළිදරව් කරමින් සිටි ප්‍රකට දත්ත විද්‍යාවේදිනියකු සහ කොවිඩ්-19 පිලිබඳ ආන්ඩුවේ රහස් හෙලි කරන්නියකු වන රෙබෙකා ජෝන්ස්ට එරෙහි ෆැසිස්ට්මය ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (HWAC) දැඩි ලෙස විරුද්ධත්වය පල කරයි.

ජෝන්ස් ඉලක්ක කර ගනු ලැබුවේ ෆ්ලොරිඩාවේ රිපබ්ලිකන් ආන්ඩුකාර රොන් ඩිසැන්ටිස්ගේ සහ ට්‍රම්ප් පරිපාලනයේ ජන සංහාරක ප්‍රතිපත්තිවලට එරෙහිව ඇය කතා කල බැවිනි. එක්සත් ජනපදය පුරා වසංගතයේ වාර්තාගත නැගීමක් ඇති කල ‘ආපසු-වැඩට’ සහ ‘ආපසු-පාසලට’ මෙහෙයුම් වලට ඇයගේ මැදිහත්වීම් ප්‍රතිවිරුද්ධව පිහිටියේ විය.

රෙබෙකා ජෝන්ස් (Screenshot: CBS Local)

ජෝන්ස්ට හිරිහැර කිරීමට එරෙහි ව සහ ඇයගේ කොවිඩ්-19 අධීක්ෂන වෙබ් අඩවිය අඛන්ඩ ව යාවත්කාලීන කිරීමට ඇය දරන උත්සාහයට සහාය පිනිස සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) දියත් කල උද්ඝෝෂනයට අපි අපගේ සහයෝගය ප්‍රකාශ කරමු.

තම රාජ්‍ය අංශයේ රැකියාවෙන් ඉවත් කිරීම නොතකමින් කොරෝනා වෛරස් ආසාදන පිලිබඳ වෛෂයික සංඛ්‍යාලේඛන විශ්ලේෂනයන් දිගට ම සැපයීම සඳහා ජෝන්ස්ගේ ප්‍රතිපත්තිමය හා අධිෂ්ඨාන සහගත ස්ථාවරය අපි අගය කරමු. වසංගතය පිලිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට සහ ජීවිත ආරක්ෂා කිරීමට ජෝන්ස් ඇයගේ උපරිමය හැකිතාක් හොඳින් ඉටු කර ඇත.

ජෝන්ස් නිවැරදි ව පෙන්වා දුන් පරිදි, දෙසැම්බර් මස මුල දී ඇගේ නිවසට සිදුකළ දුෂ්ඨ පොලිස් වැටලීම හිට්ලර්ගේ ගෙස්ටාපෝව සිහිපත් කරවයි. මෙය, පාලක ප්‍රභූව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම අතහැර දැමීම පිලිබඳව එක්සත් ජනපදයේ හා වෙනත් තැන්වල කම්කරු පන්තියට තවත් සිහි ගැන්වීමකි.

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්, ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධ පිලිබඳ කේබල් කාන්දු කල බවට චෝදනා ලැබූ චෙල්සි මැනිං සහ තමන්ගේම පුරවැසියන්ට එරෙහි වොෂින්ටනයේ මහා ඔත්තු ජාලය හෙලි කල එඩ්වඩ් ස්නෝඩන් වැනි ධෛර්ය සම්පන්න රහස් හෙලි කරන්නන්ට පීඩා කිරීම සම්බන්ධයෙන් අනුප්‍රාප්තික එක්සත් ජනපද පරිපාලන කුප්‍රකට ය.

මැනිං වසර හතකට සිරගත කර ඇත; එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ තීන්දුවක් සහ වසර 175 ක සිර දඬුවමක් ලෙලවමින් අසාන්ජ් ලන්ඩනයෙන් පිටත කොරෝනා වෛරස් ආසාදිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිර කර ඇත. ස්නෝඩන්ට රටින් පලා යාමට සිදු විය.

ජෝන්ස් ඉදිරියේ ඇති අන්තරායන් අපි තේරුම් ගෙන සිටිමු. ඉදිරියට පැමින ඇයව ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් අපි ඉල්ලා සිටිමු.

වැඩකරන ජනතාව රැවටීම සඳහා කොවිඩ්-19 සංඛ්‍යාලේඛන හසුරවනු ලැබීම ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරුපුරුදු ය. ආරම්භයේ සිට ම දකුනු ආසියාවේ ආන්ඩු විසින් මෙම විකෘති කිරීම් කොරොනා වයිරසයේ භයානක හා අධික ලෙස බෝවන ස්වභාවයේ සැර බාල කර ඉදිරිපත් කිරීම සඳහා විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙමින් යොදා ගන්නා ලදී.

සෞඛ්‍ය සේවකයන් වශයෙන් ශ්රී ලංකාවේ කොරෝනා වෛරසය මගින් සෞඛ්‍ය සේවකයින් කොපමන සංඛ්‍යාවක් ආසාදනය වී ඇත්ද යන්න පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන දැනට අප සතු ව නැත. බොහෝ අවස්ථාවන්හීදී, පීසීආර් පරීක්ෂන මගින් කොවිඩ්-19 ආසාදිත ලෙස හඳුනා ගත්තවුන් කවුරුන්ද යන්න රෝහල් කලමනාකාරිත්වය විසින් අනාවරනය නොකෙරේ.

මහා ව්‍යාපාරික ඇඟලුම් සමාගම් හෝ වෙනත් සමාගම් සතු කර්මාන්තශාලා සියල්ලට ම පාහේ එය පොදු ය. ඔවුන් ද ආසාදිත සංඛ්‍යාව පිලිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන හෝ තොරතුරු ලබා නොදේ. මේ අයුරින් සංගත කලමනාකරනය ලාභ ගැරීම කර ගෙන යනු ලබන අතර අනාරක්ෂිත “නැවත වැඩට” ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යයි.

මෙ ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ සිට දකුනු ආසියාව දක්වා ආන්ඩු සංගත හා ප්‍රකෝටිපතියන්ගේ ධනය ආරක්ෂා කරන අතර මෙම මාරක වෛරසයෙන් කම්කරුවන් හා දුප්පතුන් ආසාදනය කරයි.

Loading