"අධිකරනයට අපහාස කිරීම” මත රන්ජන් රාමනායකට සිර දඬුවම් ලබාදීම: ආන්ඩුවේ විවේචකයන් ත්‍රස්ත කිරීමේ පියවරක්

“අධිකරනයට අපහාස කිරීමේ” චෝදනාව මත විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ට පවරා තිබූ නඩුව විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය ජනවාරි 12 වන දා එහි  තීන්දුව ප්‍රකාශයට පත් කලේ, අදාල චෝදනාවට රාමනායක වැරදිකරු බව නිගමනය කරමින් ඔහුට බරපතල වැඩ සහිතව සිවු වසරක සිර දඬුවමක් නියම කරමිනි. මෙම දඬුවම හේතුවෙන් රාමනායකගේ ප්‍රජා අයිතිය ද අහෝසි වන අතර, සිර දඬුවම අවසන් වී වසර හතක් ගතවන තුරු ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ පාර්ලිමේන්තු මැතිවරනයකට තරග කිරීමේ අයිතිය අහිමි වෙයි. 

රාමනායක විසින් 2017 අගෝස්තු 21 දා, අරලියගහ මන්දිරය අසලදී ප්‍රසිද්ධ මාධ්‍යයට කල ප්‍රකාශයක් මගින් අධිකරනය අපහාසයට ලක් කෙරී ඇතිබව සඳහන් කරමින් ඔහුට එරෙහිව ඉහත නඩුව පවරා තිබුනේ, ආර්.සුනිල් පෙරේරා නමැති විශ්‍රාමික හමුදා නිලධාරියෙකු විසිනි.

සිසිර ජේ. ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් වන අයුරු, රාමනායක මාධ්‍යයට කර ඇති ප්‍රකාශය මෙසේය:  “ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් (දූෂිත) විනිසුරුවරු. කරප්ටඩ් ලෝයර්ස්ලා (නීතීඥවරු). සියයට 95 ක් විතර වගේ. ඔවුන් සල්ලිවලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනීමරුවන්ව, දූෂිතයන්ව, කුඩුකාරයන්ව ආරක්ෂා කලා සල්ලිවල‍ට. ශ්‍රේෂ්ඨාධිකරනය විසින් රාමනායකට ඉහත බරපතල දඬුවම ලබා දී ඇත්තේ, හුදෙක් එම ප්‍රකාශය සහ එය කිසිවිටෙකත් ඉල්ලා අස්කර නොගන්නා බවට ඔහු අවස්ථා කීපයක කල සැඳහුම් මත පමනකි.

සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක (අනුග්‍රහය: විකිපීඩියා වෙත)

මුලදී දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ ද, පසුව ඉන් බිඳුනු කන්ඩායමක් වන සමගි ජන බලවේගයේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රාමනායක ඉටුකල සහ ඉටු කරමින් සිටි ප්‍රතිගාමී දේශපාලන භූමිකාවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) කවර හෝ සහනයක් නොදෙයි. 

එසේ වුවද, කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත්කල, රාජපක්ෂ ආන්ඩුවට සහ දූෂනයට එරෙහි වාචාල “විවේචන” ඉදිරිපත් කල රාමනායක වැනි ධනපති පන්තියේම නියෝජිතයෙකුට එරෙහිව ගන්නා ලද මෙම පියවරෙහි දුරදිග යන ඇඟවුම් පවතී. ආන්ඩුවට එරෙහි කවර හෝ විවේචනයක් ත්‍රස්තකොට වලකාලීම මෙහි අරමුන වන අතර, එහි අවසාන ඉලක්කය, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙමින් සිටින කම්කරු පන්තිය යි.  

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) විසින් ජනවාරි 18 දා නිකුත් කල ප්‍රකාශයක් මගින් රාමනායකට එරෙහි නඩු තීන්දුවෙන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වී ඇතිබව පවසන්නේ මෙසේය: “අයිසීසීපීආර් සහ එහි විකල්ප කෙටුම්පත මගින් ස්ථාපිත කර ඇති සම්මතයන් හා ප්‍රමිතීන් අනුව, අධිකරනයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවමක් නියම කිරීම, පොදු නීති සම්ප්‍රදාය හා ජාත්‍යන්තර නීතිය යටතේ ස්ථාපිත නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.”

කෙසේ වෙතත්, අධිකරනයේ දූෂිතබව මහජනතාව ඉදිරියේ නැවත නැවතත් අනාවරනය වී ඇති කරුනකි. අධිකරන ක්ෂේත්‍රයේ ඉහලම නිලය වන අගවිනිසුරු තනතුරේ සිටියදී සරත් එන් ද සිල්වා සහ මොහාන් පීරිස් වැන්නවුන් ඉටුකල භූමිකාවන් මේ සම්බන්ධයෙන් කුප්‍රකට ය.  

සුනාමි සමයේ අගමැති මහින්ද රාජපක්ෂ යටතේ පැවති “හෙල්පිං හම්බන්තොට” ව්‍යාපෘතිය තුල සිදු වූ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීම ගැන තමා පසුතැවෙන බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා, 2012 ඔක්තෝබර් හි දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. “රාජපක්ෂ බලයට ගෙන ඒමට වගකිව යුත්තේ මා බවට බොහෝ පැමිනිලි තිබේ. ශ්‍රේෂ්ඨාධිකරනයේ මෙම තීන්දුව නිසා මහින්ද රාජපක්ෂට ජනාධිපති වීමට නිදහස ලැබුනු බැවින් මම එය පිලිගනිමි” යැයි ඔහු පැවසීය.

තමා යටතේ විභාග වූ නඩු කීපයක චූදිතයන්ගේ භාර්යාවන්ට ලිංගික අතවර කල බවට චෝදනා ලත් ලෙනින් රත්නායක නම් මහේස්ත්‍රාත්වරයා ට රැකවරනය ලබාදීම සම්බන්ධයෙන් ද අගවිනිසුරු ද සිල්වා කුප්‍රකට ය.

2015 දී ජනාධිපතිත්වයට පත් වූ සැනින් තමා හමුවීමට පැමිනි මොහාන් පීරිස්, ඔහු අගවිනිසුරු තනතුරේ දිගටම රඳවා ගන්නේ නම් “කැමති ඕනෑම අයුරකින් කටයුතු කිරීමට සූදානම්” යැයි පැවසූ බව මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. පීරිස් අදවනත තෙක් එයට අභියෝග කොට නොමැත.

ඉහත සඳහන් කෙරී ඇත්තේ, එවන් සිද්ධි අතරින් කීපයක් පමනකි.  

ධනපති ව්‍යවස්ථා වලින් “ජනතා පරමාධිපත්‍යය” සහ “භාෂනයේ නිදහස” සහතික කෙරි ඇතැයි යන්නෙහි ආන්තික ව්‍යාජත්වය මෙම නඩු තීන්දුවෙන්, ගැඹුරින්ම ප්‍රකාශයට පත්වෙයි. ධනපති රාජ්‍යයේ ප්‍රධාන උපකරනයක් වන අධිකරනය විවේචනය කිරීමේ අයිතිය එම ව්‍යවස්ථාවෙන්ම අහිමිකර තිබේ. අධිකරනය තුලදී හෝ ඉන් පිටතදී අධිකරනයට එරෙහිව කරන විවේචනයක් “අධිකරනයට අපහාස කිරීමක්” ලෙස අර්ථ කථනය කරමින් විවේචකයාට දඬුවම් කිරීමේ බලතල ව්‍යවස්ථාවෙන්ම අධිකරනයට සම්පාදනය කොට ඇත.

රාමනායකට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරිමේදී ශ්‍රේෂ්ඨාධිකරනය, රාමනායක වරදට කොටු කරන්නේ ව්‍යවස්ථාවේ එන 105(3) වගන්තිය යොදා ගනිමිනි “ ......අධිකරනයේ දී ම නැතහොත් අන් ස්ථානයක දී ඒ අධිකරනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය හෝ අභියාචනාධිකරනය සුදුසු යයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින් ම හෝ දඬුවම් කිරීමේ බලය ද ඇතුලුව එබඳු අධිකරනයක සියලූ බලතල ඒ අධිකරනයන්ට ඇත්තේ ය.” 

ස්ථාවර හමුදාවක්, පොලීසියක්, නිලධාරි තන්ත්‍රයක්, පූජක සංස්ථාපිතයක්, අධිකරනයක් සහ සමහරවිට පාර්ලිමේන්තුවක් මධ්‍යගතව ඒකාග්‍ර කරගත් රාජ්‍යය, අති මූලික වශයෙන් කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා සංවිධානය කරන ලද උපකරනයකි. ව්‍යවස්ථාව යනු එම රාජ්‍යය කම්කරු පන්තික ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කෙරෙන නීතිමය රාමුවයි.

ධනපති ක්‍රමය අර්බුදයට යත්ම, ධනපති පාලක පන්තිය විසින් කම්කරු පන්තියේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාර වඩවඩාත් ගැඹුරු කෙරේ. ඒ අනුව, ප්‍රාග්ධනය සහ වැටුප් ශ්‍රමය අතර ගැටුම, නැතහොත් පන්ති අරගලය වඩවඩාත් තීව්‍ර වෙයි. 2008 ලෝක මූල්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් මුදා හැරුනු ලෝක ධනේශ්වර අර්බුදය ගෝලීය වසංගතය මගින් වඩාත් උග්‍ර කෙරී ලංකාව ද ඇතුලු ලොවපුරා පන්ති අරගල මාලාවක් පැන නංවා ඇත්තේ මෙම ඓතිහාසික සත්‍යය සනාථ කරමිනි.

මෙයට පාලක පන්තියේ ප්‍රතිචාරය වනුයේ, සාපේක්ෂ වශයෙන් පන්ති අරගල තීව්‍රව නොපැවති කාල පරිච්ඡේදයන්හි භාවිතයට නොගත්, ව්‍යවස්ථාවෙන් සම්පාදිත රුදුරු නීතිමය ප්‍රතිපාදන වඩවඩාත් භාවිතයට ගැනීම සහ කම්කරු පන්තිය මැඩීමේ නව සංශෝධනයන් ව්‍යවස්ථාවට ගෙන එමින් ආඥාදායක පාලන රූපයන් වෙතට වේගයෙන් මාරු වීමයි. ජාත්‍යන්තරව සහ ශ්‍රී ලංකාව තුල ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය හරහා කම්කරු පන්තිය සහ අවශේෂ පීඩිත මහජනතාව අත්විඳිමින් සිටින්නේ එයයි. 

රාජපක්ෂ තම අතෙහි අසීමිත විධායක බලතල සංකේන්ද්‍රනය කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් නිර්දේශ කිරීමේ නාමික බලයක් පාර්ලිමේන්තු කොමිසමකට පැවරී ඇති නමුත්, සැබැවින්ම ඔවුන් පත් කෙරෙන්නේ ජනාධිපතිගේ අභිමතය පරිදිය. එහි ප්‍රතිඵල ලෙස, ඔහුගේ හිතමිතුරන්, ඥාතීන් සහ සමීපතම පාක්ෂිකයන් එකාපසුපස එකා වශයෙන්, ඔවුනට එරෙහි විවිධාකාර දූෂන සහ අපරාධ නඩු වලින් නිදහස් වෙමින් පවතින අතර, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීහු සහ ඔහුට අවනත නොවන රාජ්‍ය නිලධාරීහු නිතිපතා දඩයමට ලක් වෙති.

රාමනායක ට සිර දඬුවම නියම කල දිනයට පසුදින, එනම් ජනවාරි 13 දා, රාජපක්ෂගේ ආන්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට එරෙහිව දිගු කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මිනීමරුම් නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඉවත දැමුනි. 2005 දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජෝසෆ් පරරාජසිංහම් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් ඇතුලු පස්දෙනෙක් චෝදනා ලැබ සිටියහ.  

මෙම පියවරට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිකුත් කල ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි: “රජය සමඟ පෙලගැසී සිටින අයට ඓතිහාසික අපයෝජනයන් සඳහා මුක්තිය ලබාදීම දිගටම කරගෙන යා යුතු නොවේ. වගවීමකින් තොරව, මෙම අඳුරු පරිච්ඡේදයේ පිටුව හැරවීමට ශ්‍රී ලංකාවට කිසි විටෙකත් නොහැකි වනු ඇත. බලධාරීන් වහාම නව පූර්න, ඵලදායී හා අපක්ෂපාතී අපරාධ පරීක්ෂනයක් දියත් කල යුතු අතර ජෝසෆ් පරාරාජසිංහම්ගේ ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුනුවිය යුතුය.” 

දෙමල සහ මුස්ලිම් කලාකරුවන්, වෘත්තිකයන් සහ මාධ්‍යවේදීන් ගනනාවක්ම, ප්‍රජාතන්ත්‍ර විරෝධීව සහ නීති විරෝධීව අත්අඩංගුවට ගනිමින් ඔවුන් දිගුකාලීනව රඳවා තැබීම, නීතිය තම අතට ගනිමින් රාජපක්ෂ ගෙනයන වැඩකටයුතුවල තවත් ප්‍රධාන අංගයකි. මෙහි එල්ලය, දෙමල සහ මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයන් අවුලුවා කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ  බෙදීමයි. 

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ දැක්වූ සාපරාධී නොතැකීම හේතුවෙන් එය ව්‍යසනකාරීව පැතිරෙමින් පවතින තතු තුල පවා, මහ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් තම ජීවිත නොතකා වැඩට දැක්කීමටත්, දරුවන් පාසැලට ගාල් කිරීමටත් එරෙහිව මෙන්ම, ඉසිලිය නොහැකි ජීවන කොන්දේසි සම්බන්ධයෙන් මහජනතාව තුල වැඩී ඇත්තේ කවර හෝ මොහොතක පුපුරා යා හැකි කැකෑරෙන කෝපයකි. ඒ ගැන සංවේදී රාජපක්ෂ කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක වන ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් ගමන් කරමින් සිටී. 

ව්‍යාජ වම්මුන් සහ ඊනියා ලිබරලුන් පවසන අයුරු මෙය හුදෙක් රාජපක්ෂගේ දුෂ්ඨත්වයක් හෝ  “අසමර්ථභාවයක්” නොවේ. රාජපක්ෂ යනු ඓතිහාසික වශයෙන් පරිහානිගත ධනවාදයේ පුද්ගලාරෝපනයක් පමනි. අධිකරනයේ දූෂිතභාවය එම පරිහානියේම ලක්ෂනයකි. ලොවපුරා ධනපති ආන්ඩු, ධනපති අධිකරන සහ ඒවායේ මුදුනත ලැග සිටින්නන් සියල්ල මෙම ලක්ෂන අඩුවැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ සමස්ත ධනපති ක්‍රමය ඓතිහාසික වශයෙන් මියැදෙමින් සිටින හෙයිනි. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි දක්වා ලොවපුරා පාලකයන් විසින් ප්‍රකාශයට පත් කරන්නේ මෙම ඓතිහාසික ප්‍රපංචය යි. ඇමරිකානු ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරමින් සහ ෆැසිස්ට් මැර නඩ උසි ගන්වමින් ට්‍රම්ප් ගෙනයන දක්ෂිනාංශික වැඩකටයුතු සම්බන්ධයෙන් කවර හෝ මූලධර්මාත්මක හා ප්‍රබල අභියෝගයක්, හෙට දිනයේ ජනාධිපති තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත ජෝ බයිඩන්ගෙන් එල්ල නොවනුයේ, ඔහුට ද ඓතිහාසිකව නියම කෙරී ඇත්තේ එවැනිම භූමිකාවක් බැවිනි. 

එලෙසම, කාෂ්මීර ජනයා භුක්ති විඳි “අර්ධ ස්වෛරිත්වයට” වල කපමින් සහ මුස්ලිම් ජනයාගේ පුරවැසි අයිතීන් පාගා දමමින් හින්දු ස්වෝත්තමවාදී මෝදි පාලනය විසින් සිදු කරන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථා සංශෝධනයන්ට මෙන්ම, මිලියන සිය ගනනක් වන දුගී ගොවීන්, යෝධ කෘෂි සංගතයන් හි අත්අඩංගුවේ තබන මෝදි ගේ “නව කෘෂි නීති” සම්බන්ධයෙන්, කවර හෝ ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් දැනවීමට, ඉන්දියානු ධනපතියන්ගේ සම්ප්‍රදායික පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය අසමත් වී ඇත. 

පාර්ලිමේන්තුවේ එක් ආසනයකට පමනක් සීමාවී කුජීතව සිටින, ලංකාවේ ධනපතියන්ගේ සම්ප්‍රදායික පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට සහ ඉන් උපත ලද සමගි ජන බලවේගයට මෙන්ම, ධනපති නීතිය බිඳ වැටීම පිලිබඳව නිරන්තරව වැලපෙන තවත් ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුනට, දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ වලට සහ ව්‍යාජ-වාම පක්ෂ වලට, රාජපක්ෂගේ අත්තනෝමතික පාලනයට එරෙහිව, කවර හෝ අභියෝගයක් එල්ල කල නොහැක්කේ ඔවුන් සියලුදෙනා ධනපති රාජ්‍යයේ සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් බැවිනි.  

සමාජ සමානතාවය, සාධාරනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල හැක්කේ, කම්කරු පන්තිය, ‌අවශේෂ පීඩිත කොටස් තමා වටා රැලිකර ගනිමින් ධනපති රාජ්‍යයන් සහ ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ල කරගත් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය මත සටන් වැදීමෙන් පමනි. ඒ ඉදිරි දර්ශනය මත සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.   

Loading