සෞඛ්‍ය කම්කරු ඉල්ලීම් ජය ගැනීමට රෝහල් තුල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු! ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීම හා සාකච්ඡාව

කෝවිඩ් 19 වසංගතයෙන් දරුනු ලෙස බැට කන පේරාදෙනිය රෝහල තුල සියයකට අධික සෞඛ්‍ය කම්කරුවන් ඇතුලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය මන්ඩලවල සිය ගනනක් සේවක සේවිකාවන් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති අතර එම ඒකක වසා නොදමා පවත්වාගෙන යාමට ආන්ඩුව උත්සාහ කිරීම නිසා කාර්ය මන්ඩල දැඩි ශාරීරික හා මානසික ආතතියකට ලක්කරන කෝපාන්විත වාතාවරනයන් නිර්මානය කෙරී ඇත.

මෙලෙස නිරෝධායනය සඳහා යොමු කෙරීමට සිදුව ඇත්තේ, සැක සහිත රෝගීන් ආරම්භයේදීම පීසීආර් පරීක්ෂනයන්ට ලක් නොකිරීමේ හා නියමිත ප්‍රමිතියෙන් යුතු පුද්ගලික ආරක්ෂන ඇඳුම් (පීපීඊ) කට්ටල සෞඛ්‍ය සේවකයින්ට ලබා නොදීමේ, ආන්ඩුවේ රුදුරු ක්‍රියා පිලිවෙත නිසා බව පැහැදිලිය.

බොහෝ රටවල මෙන්ම ලංකාවේද ආන්ඩුව ගෙන යන 'රංචු ප්‍රතිශක්තිකරන' හෙවත් ආර්ථිකය විවෘතව තබා ගනිමින් වසංගතයට ඔරොත්තු දිය නොහැකි අය මරනයට ගොදුරු වීමට ඉඩ හැරීමේ' පිලිවෙත නිසා වසංගතය පැතිරීම වේගවත් වී තිබේ.

මහා ව්‍යාපාරිකයේ ලාභ උත්පාදනය නොකඩවා පවත්වාගෙන යනු වස්, නිදහස් වෙලඳ කලාපවල මෙන්ම ඉන් පිටතද පවත්නා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනයේ යෙදෙන කම්හල් වල කම්කරුවන් වැඩට කැඳවීමට ඉඩ දීම, පාසැල් විවෘත කර ගුරුවරුන්, සිසුන් හා ඔවුනගේ පවුල්වල සාමාජිකයන් වසංගතයට නිරාවරනය කිරීම හා වරාය සේවකයින්ට අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා වසංගතය වේගයෙන් පැතිරෙද්දී සේවයට පැමිනීම අනිවාර්ය කිරීම ආදිය මඟින් ආන්ඩුවේ රංචු ප්‍රතිශක්තිකරන ප්‍රතිපත්තිය වඩාත් පැහැදිලි වී තිබේ.

ආන්ඩුව, කෝවිඩ් වසංගතයට ගොදුරු වන රෝහල් සේවකයන් පිලිබඳ සත්‍ය තොරතුරු අවශේෂ කම්කරුවන්ගෙන් කූට ලෙස වසන් කරයි. එම රෝහල් සේවකයන්ට නිරෝධායනය අවශ‍්‍ය බව තහවුරු වූ විට නිවෙස්වලම නිරෝධායනය වීමට අතහැර ඇඟ බේරා ගැනීම ආන්ඩුවේ සාපරාධී ප්‍රතිචාරය යි.

මේ තත්වය වනාහි, පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් කප්පාදු කරමින් සෞඛ්‍ය පොදු කාර්ය ව්‍යූහය විනාශ කිරීමේ ප්‍රතිපලයයි. වසංගතය මැඩ පැවැත්වීම වෙනුවට ඒ් සමඟ ජීවත් වීමේ ආන්ඩුවේ “නව සාමාන්‍ය” පිලිවෙතෙහි රුදුරු ස්වභාවය ජනවාරි 8 වෙනිදා රත්නපුර රෝහලේ අප සහෝදර සෞඛ්‍ය සේවකයෙකු වූ ශාන්ත ස්ටීවන් කොවිඩ් වැලඳී මියයාමෙන් සටහන් වී තිබේ. වසංගතය සඳහා වෙන්කර ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකකවල තදබදය නිසා සෞඛ්‍ය සේවකයින් වන අප හටද රෝගය උත්සන්න වුවහොත් නිසි ප්‍රතිකාර නොලබාම මියයාමට සිදු වන බව පැහැදිලිය.

ලොව පුරා වෛද්‍යවරුන්ගේ සිට කනිෂ්ඨ ශ්‍රේනි දක්වා සෞඛ්‍ය කම්කරුවන් 20,000ට අධික සංඛ්‍යාවක් මිය යාමෙන්ද 300,000ක් පමන ආසාදනය වීමෙන්ද ඉස්මතු වී ඇත්තේ කෝවිඩ් වසංගතයේ පලමුපෙල සේවකයින් වන අපව ලෝකයේ මෙන්ම ලංකාවේ ධනපති ආන්ඩු විසින් ඇද දමා ඇති අන්තරායකාරී තත්වයයි.

සෞඛ්‍ය කම්කරුවන් වන අප මුහුන දෙන මෙම මරනීය කොන්දේසි හමුවේ, වෘත්තීය සමිති ආරක්ෂා කරන්නේ අප නොව, ආන්ඩුවේ මෙම රුදුරු පිලිවෙත යි. ආන්ඩුව සමග ඊනියා සාකච්ඡා පවත්වමින්, සෞඛ්‍ය කම්කරුවන් මුලා කරන ඔවුහු කට්ටිවාදී ලෙස ශ්‍රේනි අතර හා ශේනි තුලම බෙදුම් ඇති කර කම්කරුවන්ගේ සටන් ශක්තිය මොට කරමින් සිටිති.

ධනපති ආන්ඩුවේ රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව, අදහස් ප්‍රකාශ කිරීමේ සහ තීන්දු තීරන ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මත පාදක වූ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් සහිතව සටන් කරන, ශ්‍රේනි වලට සීමා නොවූ, කම්කරු ක්‍රියාකාරී කමිටු රෝහල් තුල ගොඩ නගා ගනිමින් ඒවා පුලුල්ව සහ ඒකාග්‍රව සංවිධානය කර ගැනීම දැවෙන අවශ්‍යතාවයයි. වසංගතයෙන් ආරක්ෂා වීමට නියමිත ආරක්ෂක ඇඳුම්, ප්‍රවාහන පහසුකම් හා සේවා මුර ලබාගැනීම, අවදානම් හා නිරෝධායන දීමනා, සේවක පුරප්පාඩු පිරවීම හා සේවා ස්ථිරත්වය ලබාගැනීම ඇතුලු ඉල්ලීම් දිනා ගැනීමේ මාවත එයයි.

එම අරමුන මත අප ක්‍රියාකාරී කමිටුව විසින් පෙබරවාරි 7 දින රාත්‍රී 9.00 ට කැඳවා ඇති අන්තර්ජාල රැස්වීමට හා සාකච්චාඡාවට පහතින් දැක්වෙන සබැඳිය හරහා සම්බන්ධ වන ලෙස අපි ආරාධනා කරමු.

පහත සබැඳිය හරහා රැස්වීමට ලියාපදිංචි වන්න:

https://attendee.gotowebinar.com/register/4438645290934040587

අප සමඟ සාකච්ඡා කිරීමට හා සම්බන්ධ වීමට ඊ මේල් පනිවිඩයක් (healthworkers-sl@wsws.org) හෝ කෙටි පනිවිඩයක් (0773562327) එවන මෙන් ඉල්ලා සිටිමු.

Loading