ඉදිරිදර්ශන

ෆේස්බුක්, වාමාංශික පිටු සහ පුද්ගලයින් ඉවත් කරයි

සිකුරාදා, ෆේස්බුක් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයින්ගේ ඇතුළු වාමාංශික, යුද විරෝධී හා ප්‍රගතිශීලී පිටු සහ ගිනුම් ඉවත් කිරීමක් සිදු කලේ ය. ෆේස්බුක්, කිසිදු ගිනුමක් අක්‍රීය කලේ ඇයි ද යන්න හෝ මකා දැමීම් සිදු වී ඇති බවට ප්‍රසිද්ධ පිලිගැනීමක් හෝ සිදු කර නැත.

ෆේස්බුක් ගිනුම් අක්‍රීය කිරීම් දැනුම් දීමක ස්ක්‍රීන්ෂොට් එකක්

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයින් අවම වශයෙන් දුසිම් භාගයකවත් ෆේස්බුක් ගිනුම් ස්ථිරවම අක්‍රීය කර තිබේ. මෙයට සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) හි ජාතික ලේකම් ජෙනිවීව් ලීග් ගේ ප්‍රසිද්ධ ගිනුම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද කලමනාකාර කර්තෘ නීල්ස් නීමත්ගේ පුද්ගලික ගිනුම ඇතුලත් වේ. 2016 දී නීමත් සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද උප ජනාධිපති අපේක්ෂකයා විය.

බස් රියදුරන් අතර විරුද්ධත්වය සංවිධානය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් රාජධානියේ) සහාය ඇතිව පිහිටුවන ලද ලන්ඩන් බස් රියදුරු ක්‍රියාකාරී කමිටුවේ ෆේස්බුක් පිටුව ද අක්‍රිය කර තිබේ. කොවිඩ්-19 වසංගතයට එරෙහිව මූලික ආරක්ෂාවන් ඉල්ලා බස් රථ රියදුරන් වැඩ වර්ජනයක් සඳහා පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වීමෙන් පසුව මෙය සිදු විය.

ගිනුම් අක්‍රීය කල කිසිදු පුද්ගලයෙක් ෆේස්බුක් ප්‍රතිපත්ති උල්ලංඝනය කර නැත. ඔවුන්ගේ ගිනුම මකාදැමීමට එරෙහි ව අභියාචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කල විට, ඔවුන්ට “ඔබේ ගිනුම අක්‍රීය කිරීමේ තීරනය සමාලෝචනය කල නොහැක” යනුවෙන් දෝෂ පනිවිඩයක් (error message) ලැබුනි.

කිසිදු පැහැදිලි කිරීමක් හෝ අනතුරු ඇඟවීමක් නොමැති ව, ෆේස්බුක් තමන් ඉලක්ක කරගත් අය වසර ගනනාවක් තුල ඡායාරූප, ලේඛන සහ ඔන්ලයින් සාකච්ඡා වශයෙන් එක්රැස් කර ගත් බුද්ධිමය දේපල අහිමි කර දමා ඇත.

එක්සත් රාජධානියේ සමාජවාදී කම්කරු පක්ෂය (SWP) ද ඔවුන්ගේ ඉලක්කයක් විය. එහි අනුගාමිකයන් 20 000ක් පමන සිටින ප්‍රධාන ජාතික ෆේස්බුක් ගිනුම ද එහි ශිෂ්‍ය කන්ඩායම වන සමාජවාදී කම්කරු ශිෂ්‍ය සංගමයේ අනුගාමිකයන් 5 000ක් පමන සිටි‍න ගිනුම ද අනුගාමිකයන් 12,000 ක් සිටින වාර්ෂික මාක්ස්වාදී උලෙලේ පිටුව ද අක්‍රීය කර ඇත.

මීට අමතරව, සංවිධානයේ සමස්ත ශාඛා ෆේස්බුක් ගිනුම මෙන්ම තනි සාමාජිකයන්ගේ ෆේස්බුක් ගිනුම් ද අක්‍රීය කර ඇති බව එස්ඩබ්ලිව්පී වෙනුවෙන් ලුවිස් නීල්සන් පවසයි. විශේෂයෙන් ස්කොට්ලන්තය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක පිටු ඉලක්ක වී ඇත. “මෙය අපට එල්ල වූ සැලසුම් සහගත ප්‍රහාරයක්” යැයි නීල්සන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය.

ට්විටර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලයන්හි පුළුල් විරෝධතාවලින් පසුව, ෆේස්බුක් එස්ඩබ්ලිව්පී හි ප්‍රධාන පිටුවෙහි තහනම ඉවත් කරගත් නමුත් දේශීය ශාඛා ගනනාවක සහ සාමාජිකයින්ගේ පිටු තවමත් එසේමය.

සසප සහ අනෙකුත් වාමාංශික සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, රජය සහ පාලක පන්තිය වෙනුවෙන් විරුද්ධත්වය නිහඬ කිරීම සඳහා ගනන් බලා ක්‍රියාවට දැමූ වාරනයකි. මෙම ක්‍රියාවන් එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව වාරනය සඳහා රාමුවක් නිර්මානය කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපාරයක කොටසකි.

එවැනි වාරන ක්‍රියාවන් යනු අසමානතාවයට, සමාජ දුක්ඛිතභාවයට එරෙහි මහජන විරෝධයේ වර්ධනයන්ට සහ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට වඩා ලාභය ඉහල නංවා ඇති කොවිඩ්-19 වසංගතයට පාලක පන්තියේ විනාශකාරී ප්‍රතිචාරයට දක්වන මංමුලා සහගත පිලිතුරු සෙවීමකි.

ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් විසින් වාමාංශික දේශපාලන සංවිධාන මර්දනය කරනු ලැබීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසර ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබේ.

2016 මැතිවරනයෙන් පසුව, එක්සත් ජනපද බුද්ධි අංශ විසින් “ව්‍යාජ ප්‍රවෘත්ති” වලට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් අන්තර්ජාල වාරනය ඉල්ලා සිටියහ. මෙම ක්‍රියා අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රන න්‍යායන් ඉලක්ක කර ගෙන ඉදිරිපත් කර ඇතත් ඇත්ත වශයෙන්ම ඒවා වාමාංශික, යුද විරෝධී සහ සමාජවාදී සංවිධානවලට අති මහත් ලෙස බලපා ඇත.

2017 දී ගූගල් සමාගම “විකල්ප දෘෂ්ටි කෝනයන්” වලට එරෙහි ව “නිල” ප්‍රවෘත්ති මූලාශ්‍රයන් ප්‍රවර්ධනය කරන බවට නිවේදනය කල අතර එම ප්‍රතිපත්තිය වාමාංශික වෙබ් අඩවි වෙත සෙවුම් ගමනාගමනය විශාල වශයෙන් පහත වැටීමට හේතු විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් 2017 අගෝස්තු 25 වන දින ගූගල් වෙත විවෘත ලිපියක් ප්‍රකාශයට පත් කරමින් ඉල්ලා සිටියේ සමාජවාදී, යුද විරෝධී සහ ප්‍රගතිශීලී අඩවි වාරනය කිරීම නතර කරන ලෙසයි. “මෙම පරිමානයෙන් වාරනය යනු දේශපාලන අපලේඛනය (blacklisting) කිරීමකි” යනුවෙන් නෝර්ත් ලිවීය. “ගූගල් වාරන ඇල්ගොරිතමයේ (algorithm) පැහැදිලි අභිප්‍රාය වන්නේ ඔබේ සමාගමට වාර්තා කිරීමට අවශ්‍ය නොවන ප්‍රවෘත්ති අවහිර කිරීම සහ ඔබ එකඟ නොවන අදහස් යටපත් කිරීමයි.”

පසුගිය නොවැම්බරයේ කොංග්‍රසයට සාක්කි දීමේදී ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ගෙන් මෙසේ අසන ලදී: “ඔබට, වාරනය කල ලිබරල් දෘෂ්ටිවාදයන් අතරින් කිසියම් උසස් පුද්ගලයකු හෝ ආයතනයක් නම් කල හැකිද?” යයි විමසනු ලැබූ විට, “අපට ලෝක සමාජවාදී විමර්ශනය සමඟ අනුකූලතා ගැටළු තිබේ” යයි ඔහුගේ පිලිතුර විය. ඒ සඳහන නිසැකවම ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගැන ය.

ෆේස්බුක් සහ ට්විටර්, ගූගල්ගේ ආදර්ශය අනුගමනය කරමින් මිලියන ගනනක් අනුගාමිකයන් සහිත වාමාංශික ගිනුම් සහ පිටු ඉවත් කලේය. මෙම උද්ඝෝෂනයේ නව සන්ධිස්ථානයක් වූ සිකුරාදා දිනයේ, ෆේස්බුක් වෙනත් ගිනුම් දුසිම් ගනනක් මකා දමන අතර ම වාමාංශික සංවිධානයක සමස්ත සමාජ මාධ්‍යය ක්‍රියාකාරීත්වය ම ක්‍රමානුකූලව ඉවත් කලේ ය.

ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් 2020 ජූලි 29 වන බදාදා වොෂිංටන්හි කැපිටල් හිල්හි මන්ත්‍රී මන්ඩල අධිකරන අනුකමිටුව ඉදිරියේ සංගතවිරෝධී නීති (antitrust law) සම්බන්ධයෙන් දුරස්ථව සාක්ෂි දෙමින්. [Credit: Mandel Ngan Pool via AP]

සමාජවාදී කම්කරු පක්ෂය සමඟ අපගේ වෙනස්කම් නොතකා, සමාජ මාධ්‍ය වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට එහි සාමාජිකයින්ට ඇති අයිතිය, අපි කොන්දේසි විරහිතව ආරක්ෂා කරන අතර ඔවුන්ගේ සියලු ගිනුම් වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස බල කර සිටිමු.

සියලු වාමාංශික සංවිධාන අතර ඇති වෙනස්කම් පැහැදිලි කර ගැනීම සඳහා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට සහ කම්කරුවන්ට සහ තරුනයින්ට ඔවුන්ගේ මනස සකස් කර ගැනීමට ඉඩ දීම අත්‍යවශ්‍ය වේ.

මේ ආකාරයේ වාරනයට එරෙහි ව සියලු වාමාංශික සංවිධානවල ඒකාබද්ධ ප්‍රතිචාරයක් තිබිය යුතුය. කම්කරු ව්‍යාපාරයේ මෙම ඓතිහාසික සටන් පාඨය ඉදිරියට ගෙන යා යුත්තේ හරියටම මෙවන් තත්ව තුල ය: “එකෙකුට එරෙහි ප්‍රහාරයක් සැමට එරෙහි ප්‍රහාරයකි!”

සමාජවාදී සමානතා පක්ෂයේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු ම ආධාරකරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉලක්ක කරගත් සියලු දෙනා වෙනුවෙන් ෆේස්බුක් වෙත දැඩි විරෝධය දක්වන ලෙසයි. සසප සහ එස්ඩබ්ලිව්පී සාමාජිකයින් එල්ල කර ගත් වාරනයට විරෝධය පල කරමින් ලබා ගත හැකි සෑම වේදිකාවක ම විරෝධය පල කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. ෆේස්බුක් සහ වෙනත් තාක්‍ෂන සමාගම්වල සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවට එරෙහි ව විරෝධය පලකරන ලෙසත්, තහනම හකුලා ගන්නා ලෙසත් තරයේ බල කර සිටින ලෙස ය.

ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය හා ඉදිරියට ගෙන යාම සඳහා කම්කරුවන්ට තොරතුරු වලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකි යුතුය. කම්කරුවන් සංගතවලට සහ ඔවුන් සේවය කරන මූල්‍ය කතිපයාධිකාරයට එරෙහි අරගලයට අවතීර්න වන විට, තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සහ අන්තර්ජාල වාරනයට එරෙහි වීම යන ඉල්ලීම් පෙරට ගත යුතුය.

Loading