වසංගතයෙන් උග්‍ර කෙරුනු ජීවන කොන්දේසි ගැන වතුකරයේ තරුන තරුනියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

ශ්‍රී ලංකාවේ වතුකරයේ තරුන තරුනියන්ගෙන් බොහෝ දෙනෙකු රැකියාවන් හි නිරතව සිටින්නේ, වතු ආශ්‍රිත නගරයන් හි සහ කොලඹ පිහිටි විවිධ වෙලඳ ආයතනයන්හි ය. ඊට අමතරව සමහරු ඇඟලුම්  ක්ෂේත්‍රයේ රැකියාවන් කරන අතර තවත් කොටසක්  මැද පෙරදිග රටවලට සංක්‍රමනය වී සිටිති. පොදුවේ මෙම සියලු දෙනාම පාහේ අධික ශ්‍රම සූරාකෑමේ කොන්දේසිවලට මුහුන දෙති.

1990 ගනන්වලදී රාජ්‍ය වතු පුද්ගලීකරනය කිරීමෙන් පසු සමාගම් විසින් තරුන කොටස් වතු රැකියාවලට බඳවා ගැනීම ක්‍රමයෙන් අඩුවීමත්, ජීවත්වීමට ප්‍රමානවත් වැටුපක් වතු කම්කරුවන්ට නො ලැබීමත් හේතුකොට ගෙන වතුකරයේ තරුන ජනයාට රැකියා සොයා වතුකරයෙන් පිටට යාමට බල කෙරුනි.

වතුකම්කරු වැටුප් අරගලයට සහාය දක්වා කොලඹ ගාලුමුවදොර පැවති වතුකම්කරු තරුනයින්ගේ උද්ඝෝෂනය-2018

 මාධ්‍ය වාර්තාවකට අනුව, “පුද්ගලීකරනයෙන් පසුව අවුරුදු  14-33 වයස් කාන්ඩයේ  විරැකියාව වේගයෙන් වර්ධනය වන්නට පටන් ගැනීම නිසා නුවර එලිය දිස්ත්‍රික්කයේ  විරැකියාව සියයට 60  දක්වා ඉහල  ගියේ ය. වසර 2000 වන විට රැකියා කල  ප්‍රමානය නිවැසියන්ගෙන් සියයට 1.7 ක් වූ අතර ඔවුන්ගෙන් යැපෙන ගනන බෙහෙවින් වැඩි විය.”

වතුකරයේ තරුන කම්කරුවන් මුහුන දෙන තත්වය කොරෝනා වසංගතයත් සමග උග්‍රවී ඇති ආකාරය පිලිබඳව නගරයේ තරුන සාප්පු සේවිකාවක වන දිනේෂ් කුමාරි ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලාය. ඇය කල හෙලිදරව්ව පොදුවේ වතුකරයේ  තරුන ජනයාගේ රැකියා හා ජීවන කොන්දේසි පිලිබඳ ව පැහැදිලි පැතිකඩක් සම්පාදනය  කරයි.         

“කොරෝනා පලමු රැල්ල ආ වෙලාවේ එක පාරට ම අපට රක්ෂාව නැතිවුනා. වැඩ කරල ගන්න පඩිය මිසක් අපිට වෙන ආදායම් මාර්ග නැහැ. කොලඹ රක්ෂාවල්  කරපු අයයි, ගෙදර ඉඳල වැඩට ගිය අයයි ගෙවල්වලට ආවෙ හිස් අතින්. ඒ නිසා ජීවත්වන එක සෑහෙන ප්‍රශ්නයක් වුනා. ආන්ඩුවෙන්  රුපියල් 5000ක් පවුලකට දුන්නා. ගෘහ මූලිකයට ඒ සල්ලි දුන්නෙ. ගෙවල් නැති නිසා දරුවො විවාහ වෙලා එක ම ගෙයි පවුල් දෙක තුනක් ජීවත් වෙනවා. එක පවුලක තුන් දෙනා ගානෙ හිටියත් ගෙදරක නව දෙනෙක් ඉන්නවා. වෙන, වෙන ම ජීවත් වෙන්න ගෙවල් තිබුන නම් මේ කරදර වෙලාවෙ පවුල් තුනට ම ආධාර ලැබෙනවා. රුපියල් 5000 න් කොහොම ජීවත් වෙන්න ද?” කුමාරී  ප්‍රශ්න කලා ය.

ඇය සේවය කරන වෙලඳසැල වසා තිබූ කාලයේ, එම ආයතනයෙන් රුපියල් 5000ක නයක් ලබාදුන් නමුත්, වසංගතයෙන් පසු නැවත වැඩ පටන් ගත් පසු ලැබුනු පලමු වැටුපෙන් එකවරම ඒ මුදල කපා ගත් බව ඇය පැවසුවාය. කොලඹ රැකියාවේ නිරතව සිටි තරුන තරුනියන් නැවත එම රැකියා සොයා ගියද බොහෝ දෙනෙකුට හිස් අතින් නැවත පැමිනීමට සිදු ව ඇත. වසංගත තත්වය කවදා නිමවේදැයි කිව නොහැකි බැවින් තත්වය වඩාත් උග්‍රවෙනු ඇති බව ද ඇය පැවසුවාය. කොලඹ රැකියාව අහිමි වූ තම සොහොයුරා දැන් බන්ඩාරවෙල බාබර් සාප්පුවක රැකියාවක නිරත වුවද, වසංගතය හේතුවෙන් එයට ලැබෙන ආදායම අඩු බැවින් ලැබෙන්නේ සුලු වැටුපක් බවද ඇය කීවාය. 

“අපි පොඩි කාලෙ  ඉඳල දුක් විඳපු මිනිස්සු. අපේ අම්මල තාත්තල වත්තෙ වැඩ කරල ගත්ත පඩියෙන් අපේ පවුල් ජීවත් වුනේ හුඟක් අමාරුවෙන්. මම උසස් පෙල  සමත්. ඉගෙන ගෙන හොඳ රස්සාවක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් හිටියෙ. නමුත් එහෙම එකක් ලැබෙන කල් තව දුරටත් බලා ඉඳල දෙමව්පියන්ට  කරදර කරන්න  බැරි නිසයි  කඩයක සේල්ස් ගර්ල් කෙනෙක් හැටියට වැඩට ගියේ”.

තමා උසස් පෙල සමත් වුවද, වැඩි දෙනෙකු 8,9,10 ශ්‍රේනි වලදී පාසල්වලින් ගිලිහෙන බවත්, ඔවුන් කඩ සාප්පුවල සොච්චම් වැටුපකට වැඩෙහි නිරතවන බවත් ඇය පැහැදිලි කලාය. 

සමාජ විද්‍යා පිලිබඳ ජාත්‍යන්තර පර්යේෂන හා නවෝත්පාදන ජර්නලය 2018 ඔක්තෝබර් මාසයේ  නිකුත් කල සමීක්ෂන වාර්තාවකට අනුව වතු කම්කරු ජනයා බහුතරයක් ජීවත් වන නුවරඑලිය  දිස්ත්‍රික්කයේ  අවුරුදු 17-35  වයස් කාන්ඩයේ තරුන ජනයාගෙන්  සියයට13 ක්, 1-5 ශ්‍රේනි වල දී තම අධ්‍යාපනය නිමා කර තිබුනි. සියයට 25 ක් අධ්‍යාපනය ලබා ඇත්තේ  6-11 ශ්‍රේනිය දක්වා පමනි. සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය ලැබූ ප්‍රතිශතය සියයට 16 ක් වන අතර එය සමත්ව ඇත්තේ සියයට 19 කි. උසස් පෙල  සමත් සංඛ්‍යාව සියයට 11වූ අතර උපාධියක් සමත් වූ ගනන සියයට 2ක් පමනි. සියයට 3ක් කිසිදිනක පාසල් ගොස් නැත.   

වතු තරුන පරපුරේ අඩු අධ්‍යාපන තත්වය, විරැකියාවට ප්‍රධාන හේතුවක් වන අතර වතු කම්කරුවන්ගේ අඩු වැටුප් හා සංස්කෘතික වර්ධනය සඳහා පහසුකම්  නැතිකම ද වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනික සහ සංස්කෘතික වර්ධනයට බාධාවන් ලෙස පවතී. වතු කම්කරුවන් අත්විඳින මෙම තත්වය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ සිට මේ දක්වා ධනේශ්වර සමාජ ක්‍රමය විසින් ඔවුන්ට උරුම කර දී ඇති සමාජ අසමානතාවේ සහ වෙනස්කොට සැලකීමේ ප්‍රතිඵලයකි. 

කඩ සාප්පු වල කම්කරුවන්ට ලැබෙන්නේ අතිශයින්ම සුලු වැටුපක් බව තවත් වෙලඳ සහායිකාවක් පැවසුවාය: “අපිට ලැබෙන පඩිය දවසට රුපියල් 350, 400, 450 වගේ මුදලක්. ඒ විදිහට ගනන් බලලයි මාසේ පඩිය ගෙවන්නේ. සමහර ලොකු කඩවල දවසට රුපියල් 700ක් 800ක් විතර පඩියක් ලැබෙන අයත් ඉන්නවා. නමුත්  කලාතුරකින්. සමහර ලමයි වැඩ කරල ගන්න පඩියෙන් මුලු පවුල ම ජීවත් වෙනවා. සමහර අම්මල තාත්තල අසනීප නිසා වැඩට යන්නෙ නැහැ. මගෙ අම්ම තාත්තත් ඒ වගේ. ගමන් වියදම්, කෑම බීම, බෙහෙත්වලට වියදම් ගියා ම ඇඳුමක් ගන්නවත් පඩියෙන් ඉතුරු වෙන්නෙ නැහැ”. 

කොරෝනා වසංගතයෙන් පසු කඩ හිමියන් ලාභ රැක ගැනීම සඳහා වැඩ පැය ගනන වැඩි කර ඇති සැටි ඇය විස්තර කලාය:. “කොරෝනාවලට ඉස්සෙල්ල අපේ වැඩ පටන් ගත්තෙ  උදේ 9ට. අවසන් වුනේ සවස 6.30ට වගේ. හැම සෙනසුරාදා ම නිවාඩු තිබුනා. දැන් උදේ 8ට වැඩ පටන් අරගෙන  සවස 7 වගේ වනතුරු වැඩ කරන්න වෙනවා. නිවාඩුවක් නැහැ. සතියේ දවස් හත ම වැඩට යන්න ඕන.”

නගරයේ කඩ සාප්පුවල වැඩ කරන  කම්කරුවන් බොහොමයකට  සෞඛ්‍ය සහ ආහාර ගැනීමේ පහසුකම් නොමැති බව ඇය පැවසුවාය: “හැම කඩයක ම වැසිකිලි පහසුකම් නැහැ. බොහෝ අය පාවිච්චි කරන්නෙ නගරයේ තියෙන  පොදු වැසිකිලිය. සමහර ගැහැනු ලමයි උදේ ගෙදරින් වැසිකිලියට ගිහින් ආවට පස්සෙ නැවත ගෙදර ගියාම තමයි තම ශරීර අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නෙ. ඒ නිසා වතුර බොන ප්‍රමානය අඩු කරල. ඉස්සර වතුරවත් හරියට තිබුනෙ නැහැ. දැන් අත් සෝදන්න ඕන නිසා වතුර ටිකක් කඩවලට අරගෙන තියනවා.”

දුෂ්කර වැඩ කොන්දේසි සහ අඩු වැටුප් නිසා මෙම කම්කරුවන් තැනින් තැනට මාරුවීම සුලභ තත්වයක් බව ඇය සඳහන් කලාය. “මම කඩ කිහිපයක වැඩ කලා. වැඩ වැඩිකම, පඩි අඩුකම නිසා මාස කිහිපයක් වැඩ කරන විට වෙන තැනකට යන්න හිතෙනවා. පඩි හොඳ නම්, එතරම්  අපිව මහන්සි කරන්නෙ නැත්නම් අපි එහෙම තැනින් තැනට යන්නෙ නැහැ. මේ නිසා අපිට අර්ථ සාධක අරමුදල් ලැබෙන්නෙත් නෑ. අපේ අනාගතයක් ගැන නම් හිතා ගන්නවත් බැහැ.”    

වතු සමාගම් වල රැකියා කප්පාදුවේ ප්‍රතිපලයක් ලෙස  වර්ධනය වූ මේ තත්වය වතු වෘත්තීය සමිති විසින් වසන් කරනු ලබන අතර  වතු කම්කරු තරුන  ජනයාගේ රැකියා අයිතිය  වෙනුවෙන් සටන් කිරීම ඔවුන් මුලුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.

Loading