ජාත්‍යන්තර සංක්‍රමනික දිනයේ ශ්‍රී ලංකා ආන්ඩුවේ පනිවුඩය: වංචනිකත්වයේ ප්‍රකාශනයක්

2021 දෙසැම්බර් 18 වනදා ට යෙදුනු ජාත්‍යන්තර සංක්‍රමනික දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කල කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, විදේශගත කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගත හැකි "සෑම පියවරක්ම ගැනීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින" බවට ශපථ කලේය.

සිල්වා ගේ මෙම නිවේදනය මුල සිට අගටම ප්‍රෝඩාවකි. ඔහු මීට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී "කම්කරුවන් බහුතරයක් ලංකාවට පැමිනීමට අකමැති" බව සඳහන් කරමින් විදේශගත ලාංකිකයින් මෙරටට ගෙන්වීම පැහැර හැරියේය.  

කෙසේ නමුත්, ලංකාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් විදේශයන්හි සිරවී සිටින කම්කරුවන්ගේ සැබෑ සංඛ්‍යා සහ දත්ත මගින් සිරිපාල ද සිල්වා සඳහන් කරන කැපවීමේ යතා ස්වභාවය මැනවින් පෙන්නුම් කරයි. සංක්‍රමනික කම්කරුවන් පිලිබඳ සංවිධාන මගින් පෙන්වා දෙන්නේ, තම රටට පැමිනීමට නොහැකිව ශ්‍රී ලාංකික කම්කරුවන් 90,000 ක පමන පිරිසක් මැද පෙරදිග සිරවී සිටින බවයි. 

ලංකාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් ජෝර්දානයේ සිරවී සිටින කම්කරුවන්-2020 ජූලි 28

මේ වන විට එක්සත් එමීර් රාජ්‍යයෙන් හා කුවේටයෙන් පමනක් 30,000ක් පමන ශ්‍රී ලංකාවට යලි පැමිනීමට ලියාපදිංචි වී ඇත. විදේශගත ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් මුදල් නොමැති කම නිසා මෙරටට පැමිනීමට ලියාපදිංචි වීමට නොහැකිව සිටින බව ද එම සංවිධාන ස‍ඳහන් කරයි.

මැද පෙරදිග කලාපයේ රැකියාවෙහි නිරත වන ශ්‍රී ලාංකිකයින් මිලියන 1.5 කට ආසන්නය.  මෙවන් විශාල පිරිසක් ලංකාවට පැමිනීමට බලාපොරොත්තුවෙන් සිටිය ද ආන්ඩුව දිනකදී ගෙන්වා ඇති වැඩිම සංක්‍රමනික කම්කරුවන් සංඛ්‍යාව 949 ක් වැනි සොච්චමකි.

මෙම කම්කරුවන්ට ආන්ඩුවේ රුදුරු ප්‍රතිපත්තිය හමුවේ මැද පෙරදිග රටවලට සිරවී මුහුන දීමට සිදුව ඇත්තේ ජීවිතයත් මරනයත් අතර රුදුරු කොන්දේසි වලටය. වසංගතය ව්‍යාප්තවීමත් සමඟ ඔවුනට නවාතැන් පහසුකම්, ආහාර හා ආරක්ෂාව අහිමි විය. ආරක්ෂිත උපකරන ප්‍රමානවත් නො වීම නිසා සෞඛ්‍යාරක්ෂාව තර්ජනයට ලක් විය. නේවාසිකාගාරවල ජනාකීර්නත්වය නිසා ආසාදනය වීමේ  අවදානමට  මුහුන දුනි.  රැකියා වලින් දොට්ට වැටී ආර්ථික තත්වයන් බිඳ වැටීම නිසා සමහර කම්කරුවන් හිඟමනට වැටුනි.

ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්ගේ උද්ඝෝෂනය මැඩීමටට ජෝර්දානයේ පොලීසිය කැඳවා තිබුනි.

වසංගතය හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන් සියයකට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ඇමතිවරයාගේ නිවේදනයටම අනුව 20,000 කට ආසන්න පිරිසක් වෛරසයට නිරාවරනය වී ඇත.

කම්කරුවන්ගේ ජීවිත තඹයකට නොතකන ආන්ඩුව ඇතුලු ධනපති පාලකයන් ඔවුන් දකින්නේ ධනපති ආර්ථිකයට විදේශ විනිමය උත්පාදනය කරදෙන යන්ත්‍ර ලෙස පමනකි. නිවේදනය ආරම්භයේදීම ද සිල්වා කියා සිටින්නේ, "සංක්‍රමනික ශ්‍රමිකයන් ආර්ථිකයේ ඉතා වැදගත් හා වටිනා අංශයක්" වන බවයි. ඔවුන් සපයා දෙන "විදේශ විනිමය රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක්" බව ඔහු වැඩි දුරටත් පවසයි.

නිවේදනය මෙසේ ද සඳහන් කරයි. "කොවිඩ් 19 සෞඛ්‍ය අර්බුදය තුල ශ්‍රී ලාංකික සංක්‍රමනික සේවකයන්ගේ අවශ්‍යතා සපුරාලීමේ වැදගත්කම හඳුනාගත් රජය විසින් සංක්‍රමනික කම්කරුවන් සඳහා වූ ජාතික කොවිඩ් 19 ප්‍රතිචාර සැලැස්ම සකස් කොට අනුමත කරන ලදී.”    

මෙම ව්‍යාජ ප්‍රකාශ වලට පටහැනිව, වසරකට ආසන්න කාලයක් මෙම කම්කරුවන් අනේකවිධ දුෂ්කරතාවයන්ට මුහුන දෙද්දී ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඔවුන් ඉන් මුදා ගැනීම පිලිබඳ කවර හෝ සංයුක්ත පියවරක් ගැනීම මග හරිමින් සිටී. සිල්වා සඳහන් කරන ආකාරයට ආන්ඩුව "අයිතිවාසිකම්" ආරක්ෂා කර ඇත්තේ එලෙසිනි.

2020 මාර්තු මාසයේ සිට ආන්ඩුව මහජනතාවගේ වැඩෙන විරෝධය මධ්‍යයේ සීමිත පිරිසක් පමනක් ලංකාවට ගෙන ආවේය. නමුත්, නිරෝධායනය කිරීමට අවශ්‍ය ධාරිතාව නැතැයි කියමින් ආන්ඩුව කිහිප වතාවක් ඔවුන් මෙරටට ගෙන්වීම නතරකර දැමුවේය. ධනපති ආන්ඩුවල සැලසුම් කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා නොවන බව කොවිඩ්- 19 වසංගතයේ දි මැනවින් හෙලිදරව් විය. සංක්‍රමනික කම්කරුවන්ට සැලකූ ආකාරයෙන් එය වඩාත් කැපී පෙනුනි.     

මෙම විදේශගත ලාංකිකයන් මුහුන දෙන කොන්දේසි පිලිබඳ ගෝලීය ඇඟලුම් කර්මාන්තයේ සාමූහික කේවල් කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික කටයුතු කරන ඒෂියා ෆ්ලෝ වේජ් එලයන්ස් හි ශ්‍රී ලංකා සම්බන්ධීකාරිකා අබිරාමි සිවලෝගනාදන් අගෝස්තු මාසයේ මෙසේ ප්‍රකාශ කලාය: “පිටරටවල සිටින සේවායෝජකයන් විතරක් නෙමෙයි අපේ ම ආන්ඩුත් සංක්‍රමනික ශ්‍රමිකයන්ට වෙනස්කම් කරනවා. නුපුහුනු ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගන්න ඉතා ම අසීරු දෙයක් බවට පත් කර තිබෙනවා.”      

තම දරු පවුල් කරා නැවත පැමිනීම කම්කරුවන්ගේ අයිතියකි. ලංකාවේ ආන්ඩුව එය දැනුවත්වම උල්ලංඝනය කර ඇත. ගුවන් ගමන් සලසා තිබුනේ ආර්ථික ශක්තිය ඇති අයට පමනක් මුදල් ගෙවා අවශ්‍ය විට ලංකාවට පැමිනීමට හැකි වන ආකාරයට ය.  

මෙම කම්කරුවන් ලංකාවට පැමිනෙන්නේනම්, ගුවන් ගමනකට 300 දෙනෙකු එකතු විය යුතුවෙයි. ගමන් ගාස්තු, පීසීආර් පරීක්ෂන සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ගාස්තු අය කරන අතර, එම වියදම දැරිය නො හැකි තරම් ඉහල අගයකි. බොහෝ කාන්තා කම්කරුවන්ට පැයකට ඩොලර් ශත 15ත් 30ත් අතර වැටුපකට ඉතාම  දුෂ්කර කොන්දේසි යටතේ මෙහෙවර කර ඉපයූ සියලු මුදල් ගෙවා හෝ තම රටට පැමිනීමට බල කෙරී පවතී.

2020 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ සිට ආපසු පැමිනීමට එක් අයෙකු වෙනුවෙන් ගෙවන්නට වූ පිරිවැය රුපියල් 58,000කි. නමුත්, එවක සාමාන්‍ය පිරිවැය වූයේ රුපියල් 25,074කි. 2020 ජූනිවල චිකාගෝ හි සිට ඒමට රුපියල් 520,430ක් ද ඩුබායි සිට රුපියල් 81,000 ක්ද ගෙවීමට සිදු විය. මීට අමතරව, නිරෝධායන කාලය තුල ආන්ඩුව තෝරාගෙන ඇති හෝටල්වලට දිනකට රුපියල් 7,500ක් බැගින් ගෙවන්නට සිදුවෙයි.  

සංක්‍රමනික කම්කරුවන්ට කිසිසේත්ම දැරිය නොහැකි මෙම මිල ගනන් මගින්මත් පෙන්නුම් කරන්නේ ඔවුන් ආරක්ෂා කිරීම පිලිබඳව ආන්ඩුවේ ප්‍රකාශ වල ප්‍රෝඩාකාරී බවයි.

අනෙක් අතට ආන්ඩුව සංක්‍රමනය වන්නන්ට සැලසූ සුබ සාධන පහසුකම් කප්පාදු කරමින් සිටී. සංක්‍රමනිකයන්ට පුහුනුව ලබාදුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවත්වා ගෙන ගිය කාර්යාල 18ක්  වසා දමා තිබේ. මේ කාර්යාල නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 900ක් වැය වීම නාස්තියක් යැයි කම්කරු ඇමති සිල්වා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුනි.

සංක්‍රමනික කම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, දරුවන් රැක බලා ගැනීමේ වැඩ සටහන්, පාසල් උපකරන ලබා දීම, නිවාස හා ස්වයං රැකියා සඳහා අඩු පොලී නය ලබා දීම වැනි වැඩ සටහන් ද මේ සමග කප්පාදු කෙරෙනු ඇත.         

ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින ආන්ඩුව කම්කරු පීඩිත මහජනතාවට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇත. සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි මගින් කැටිකොට දක්වන්නේ මෙම ප්‍රහාරයේ රුදුරු බවයි.

ලොවපුරා අනෙකුත් ධනපති ආන්ඩු මෙන්ම, රාජපක්ෂ ආන්ඩුව ද වසංගතය මධ්‍යයේ උත්සුකවූයේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත රැකගැනීම සම්බන්ධයෙන් නොව, මහ ධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වා ගෙන යනු වස් ආර්ථිකය කෙසේ හෝ විවෘත කර තබා ගැනීමටයි. වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය පීසීආර් පරීක්ෂන ඉහල දැමීම, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීම සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කල ආන්ඩුව වසංගතයට මහජනයා ගොදුරු කලේය. 

ධනපති හාම්පුතුන් ට, වසංගතයට මුවා වෙමින්, කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමට, දහස් ගනනින් රැකියා වලින් දොට්ට දැමීමට සහ වැඩ වේගවත් කිරීමට සියලු රැකවරන ලබාදුන් සාපරාධී ආන්ඩුවේ කම්කරු ඇමතිවරයා ජාත්‍යන්තර සංක්‍රමනික දිනයේ නිකුත් කල මෙම ප්‍රෝඩාකාරී පනිවුඩය කෙරෙහි සමස්ත කම්කරු පන්තියේ ප්‍රතිචාරය වනු ඇත්තේ දැඩි කෝපය සහ පිලිකුලයි.

කම්කරු පන්තිය වැඩෙන අරගල මාලාවකින් ආන්ඩුවේ මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට ඉදිරියට පැමින ඇත. සංක්‍රමනික කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය මුහුනදෙන දැවෙන ගැටලු ජය ගැනීමට, එම අරගල, ධනපති ක්‍රමය පෙරලා දැමෙන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ඒකාග්‍රව සංවිධානය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

Loading