වසංගතයෙන් තීව්‍ර වන දුෂ්කර සේවා කොන්දේසිවලට එරෙහිව සෞඛ්‍ය කම්කරුවෝ අරගලයට ඇදෙති

පසුගිය දෙසතියේ දිවයිනේ රෝහල් කිහිපයක සෞඛ්‍ය සේවකයෝ, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට ලබාදී තිබූ විශේෂ නිවාඩුව අවලංගු කිරීම, ප්‍රමානවත් පරිදි පුද්ගලික ආරක්ෂිත උපාංග ලබා නොදීම සහ වසංගතයෙන් ආසාදිත හෙද හෙදියන්ට ක්‍රමවත් සුබ සාධක වැඩ පිලිවෙලක් නො මැති වීම යන කාරනා වලට එරෙහිව විරෝධතා උද්ඝෝෂනයන්හි නිරත වූහ.

මහනුවර හෙද සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂනය-2020ජූලි 15

මහනුවර, ගලිගමුව, පේරාදනිය යන රෝහල් වල හෙද හෙදියෝ 15 වනදා උදැසන වරුවෙහි පැය දෙකකට ආසන්න කාලයක් සේවාවෙන් ඉවත් වී විරෝධතාවයට සහභාගී වූහ. මහනුවර රෝහලේ හෙද සේවකයින් 350 කට ආසන්න පිරිසක් මෙම ක්‍රියාමාර්ගයට සහභාගී වී ඇත.

මෙම විරෝධතාවය සෞඛ්‍ය සේවකයින් අතරින් දිගින් දිගට පැන නගිමින් පවතින අරගල රැල්ලේ මෑතම සිදුවීමයි. පසුගිය 19 වනදා බලපිටිය, ඇල්පිටිය, ගම්පොල ආදී රෝහල් වල ආදේශක සෞඛ්‍ය සේවකයෝ ද තමන්ට මුහුන දීමට සිදුවන ගැටළු වලට විසඳුම් ඉල්ලා විරෝධතාවයක නිරත වූහ. මීට අමතරව, මඩකලපුව සහ ත්‍රිකුනාමලය රෝහල් වල සෞඛ්‍ය සේවකයෝ ද විරෝධතාවන්හි නිරත වූහ.

ඇල්පිටිය මූලික රෝහල-15 ජූනි 2020

වසංගතයේ වේගවත් පැතිරීම මධ්‍යයේ සෞඛ්‍ය සේවකයන්ට මුහුන දීමට සිදුව ඇත්තේ අතිශයින්ම දුෂ්කර කොන්දේසි වලටය. ඔවුන්ට ආන්ඩුව විසින් නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂන උපකරන ලබාදී නොමැති අතර, සියලු දෙනාම එක්වර වසංගතයට නිරාවරනයවීම වලකනු වස් කන්ඩායම් ලෙසින් සේවයට කැඳවීම නවතා, ජනවාරියේ සිට සම්පූර්න කාර්ය මන්ඩලයම සේවයට කැඳවා ඇත. විරෝධතාවයට මූලික නිමිත්ත වී තිබුනේ එම අනාරක්ෂිත කැඳවීමයි.

මේ වන විට එකසිය පනහකට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසකට වෛරසය වැලඳී ඇත. 20 බදාදා කොරෝනා ආසාදිතයෙකුට නිරාවරනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ හෙද සේවකයින් දහයකට ආසන්න පිරිසකට නිරෝධායනය වීමට සිදුවූ බව වාර්තා විය. සෞඛ්‍ය සේවකයන්ට අරගල වලට පැමිනීමට බල කෙරී ඇත්තේ මෙම ජීවිතයත් මරනයත් අතර කොන්දේසි මගිනි.

අඛන්ඩ අරගල වලින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ආන්ඩුවේ පිලිවෙත් පරාජය කිරීමට සෞඛ්‍ය කම්කරුවන්ට ඇති වුවමනාවයි.

නමුත් එම උවමනාව මෙම අරගල මත ලැග සිටින වෘත්තීය සමිති විසින් වාෂ්ප කර හරිමින් පවතී. ඔවුහු එකම ප්‍රශ්න වලට මුහුන දෙන සෞඛ්‍ය කාර්ය මන්ඩලය ශ්‍රේනි වලට බෙදමින් කම්කරුවන්ගේ ශක්තිය දුබල කරමින් සිටිති.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත සමස්ත ලංකා හෙද සංගමය (සලංහෙස) කැඳවූ සිකුරාදා විරෝධතාවයද ඒ ආකාරයෙන් සීමා වූයේ හෙද සේවකයින්ට පමනි. අනෙක් අතට සෞඛ්‍ය සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් වී තිබුනද සමිති මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ ඒ ඒ රෝහල් වලට සීමාවූ ඒවා ලෙසය.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සමාජිකයෝ, මෙම අරගලය ඉදිරියට වර්ධනය කිරීමට "යෝජිත හෙද වර්ජනය සෞඛ්‍ය කම්කරුවන්ගේ පුලුල් සටනක් ලෙස සංවිධානය කරනු!" නමින් නිකුත් කල ප්‍රකාශය සෞඛ්‍ය සේවකයන් අතරේ බෙදා හරිමින් අරගලය ඔවුන් අතට ගැනිමේ අවශ්‍යතාව පිලිබඳ සාකච්ඡාවක නිරත වූහ.

සමස්ත කාර්ය මන්ඩලය එකවර කැඳවීමට ගෙන ඇති තීන්දුවට විරෝධය පල කල මහනුවර රෝහලේ හෙදියක්, "මෙච්චර මිනිස්සු මැරෙන්නට පටන්ගෙන තියෙද්දි, රෝගය රටපුරා ව්‍යාප්ත වෙලා තියෙද්දි, අපිට අටවල තියෙන්නෙ මර උගුලක්" යැයි පැවසුවාය.

ඇය තව දුරටත් සඳහන් කලේ රාජකාරිය පිලිබඳව තීන්දු ගැනීමේ බලධරයා අදාල රෝහලේ අධ්‍යක්ෂ වරයා වන නිසා, ඔහුට හිතෙන පරිදි සේවා මුර සැලසුම් කල හැකි බවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් ඇයට පැහැදිලි කලේ මෙය වෘත්තීය සමිති විසින් සෞඛ්‍ය සේවකයින් රැවටීමට පතුරවන මිථ්‍යාවක් බවයි. රෝහල් පාලනාධිකාරයේ පියවරයන් ආන්ඩුව විසින් සෞඛ්‍ය සේවකයින් අනාරක්ෂිතව වැඩෙහි යෙදවීමේ සහ වසංගතය සාමාන්‍යකරනය කිරීමේ පිලිවෙතින් ගලා එන්නක් බව ඇයට වාර්තාකරුවන් පැහැදිලි කලහ.

පේරාදෙනිය රෝහලේ පිහිටුවා ඇති සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝද එම රෝහල තුල සෞඛ්‍ය සේවකයින් අතරේ සාකච්ඡාවක් දියත් කලහ. තමන්ට මුහුන් දීමට සිදුව ඇති කොන්දේසි විස්තර කරමින් ක්‍හෙදියක් සඳහන් කලේ, තමන්ට දවසේ කුලී කාරයින් මෙන් නිසි පුහුනුවකින් තොරව විවිධ වාට්ටුවල වැඩ කිරීමට සිදුව ඇති බවයි. එය රෝගීන්ට ද අසාධාරනයක් බව ඇය සඳහන් කලාය.

බහුතර සෞඛ්‍ය සේවකයන්, සමිති සහ ශ්‍රේනි භේදයකින් තොරව ඒකාබද්ධ අරගලයකට සහභාගි වීමට සූදානම් නමුත් "වෘත්තිය සමිතිවල නායකයින් පොදු ක්‍රියාමාර්ගයකට යෑමට විරුද්ධව කකුලෙන් අදින" බව ඇය පැවසුවාය. සමිති ශ්‍රේනි තුල විරුද්ධකම් දියත් කරමින් කට්ටිවාදී ලෙස කටයුතු කරන බව ද ඇය පැවසුවාය.

වෘත්තීය සමිති ධනපති පංතියේ උපකරන බවට පත්ව බොහෝ කල් ගතව ඇති බවත්, ඒවා කම්කරුවන් භේද කරමින් පාලක පන්තියේ උවමනාවන්ට අනුව වැඩ කරන බවත් කම්ටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. මේ තත්වය තුල කම්කරු පන්තියට ඒකාබද්ධව ස‍විධානය වීමටනම් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු අත්‍යවශ්‍ය බව ඔවුහු ඇයට පැහැදිලි කලහ.

ඇය එය අනුමත කරමින් සඳහන් කලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසන ආකාරයට ජාත්‍යන්තර සෞඛ්‍ය සේවකයින් සමගද ඒකාබද්ධව "ශ්‍රේනි භේද නොසලකා සෞඛ්‍ය සේවකයින් විදියට එකට ගමන් කල යුතුයි යන අදහස" පිළිගන්නා බවයි. ඇය සාකච්ඡාව අවසානයේදී පේරාදනිය සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවට බැඳීමට සූදානම් බව පැවසුවාය.

ගම්පොල රෝහලේ හෙදියක් සඳහන් කලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළු දෙනාටම ගැටළු තිබුනද ඔවුන් ව වෘත්තීය සමිති විසින් ඔවුන් වෙන් කර ඇති බවයි. ඇය සඳහන් කලේ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකට වෘත්තීය සමිති "අනිවාර්යයන්ම විරුද්ධ" බව සහ "ඒක රජයට වාසියක්" බවයි. හෙද සේවිකාව වැඩි දුරටත් පැවසුවේ ශ්‍රේනි භේද නොමැතිව රෝහලේ "හැමෝම එකතු වී සංවිධානයක්" සාදා ගත යුතු බවයි.

එම රෝහලේම හෙද නිලධාරියෙක් සඳහන් කලේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍ය නමුත් විරෝධතාවය "සංවිධානය කරන ඔය දේශපාලන පක්ෂ ගැන නම් විශ්වාසයක් නොමැති" බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ඉදිරියේදී හැමෝම එකතු වෙලා කරන වැඩකට සහයෝගය දීමට සිතාගෙන සිටින බවයි.

සෞඛ්‍ය කම්කරුවන් අතරේ ඒකාබද්ධ අරගලයකට වැඩෙන සහයෝගය සාධනීය ය. නමුත්, අතිමූලික වන්නේ එම අරගලය සංවිධානය කෙරෙන්නේ කිනම් ක්‍රියාමාර්ගයක් මතද යන්නයි.

වසංගතයෙන් වඩාත් තීව්‍ර කෙරී ඇති ලෝක ධනේශ්වර අර්බුදය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩුවලට බලකෙරී ඇත්තේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි පෙරනොවූවිරූ දැවැන්ත කප්පාදු ක්‍රියාවට දැමීමයි. ධනපති ආන්ඩුවලට කරන කන්නලව් වලින් හෝ බලකිරීම් වලින් මෙම පිලිවෙත් නෙස් කල නොහැක.

සෞඛ්‍ය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට එල්ල කෙරෙන ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩු වලට එරෙහි ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් මත, එනම් ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ අරගලයක් අනිවාර්යය වන්නේ එබැවිනි. එම අරගලය, ධනපති ප්‍රහාර වලින් බැටකන අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් ලෙස පෙරට ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

නමුත් කම්කරුවන්ගේ නායකත්වයෙහි පවතින වෘත්තීය සමිති එවන් අරගලයක් සංවිධානය කිරීමට එරෙහිව සිටී. වෘත්තීය සමිති සිදු කරමින් සිටින්නේ ආන්ඩු වල ව්‍යාජ පොරොන්දු සහිතව හෝ නොමැතිව මෙම අරගල දිය කර හැරීමටයි. සලංහෙස, කරාපිටිය රෝහලේද විරෝධතාවයක් සැලසුම් කර තිබුනු අතර එය විසඳුම් ලැබුනු බව සඳහන් කරමින් අතහාර දැමුනි. මහනුවර රෝහලේ විරෝධතාවය සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් යලිත් 18 වනදා පැවැත්වුනු අතර පාලනාධිකාරයේ විශේෂ නිවාඩු ලබා දීමේ පොරොන්දුව උඩ නවතා දැමිනි. සලංහෙස සභාපති සඳහන් කලේ විරෝධතාවයන් පැවැත්වුනු අනෙක් රෝහල් එවන් හෝ පොරොන්දුවක් නොලැබුනු බවයි.

මෙම පස්සට ඇදීම් සහ භේද කිරීම් වලින් තොරව, ඉහත ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය ඉදිරියට වර්ධනය කල හැක්කේ, වෘත්තීය සමිති වලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙනි.