වතු සමාගම් සහ සමිති වල වැටුප් යෝජනා ප්‍රතික්ෂේප කරනු!

ඉහල වැටුප් හා සේවා අයිතීන් සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් කරනු! ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසින් පෙබරවාරි 5 දිනට වතු කම්කරුවන්ගේ එක් දින වර්ජනයක් කැඳවුම් කර ඇත. කඳුරට ජනතා පෙරමුන ඇතුලු තවත් සමිති කිහිපයක් වර්ජනයට සම්බන්ධවන බව ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වසංගතය මධ්‍යයේ තම ජීවන තත්වයන් තව තවත් කාබාසීනියා කෙරෙන තතු තුල, ජීවන වියදමට සරිලන වැටුප්, රැකියා සහ සමාජ අයිතීන් සඳහා අරගලයක දැවෙන අවශ්‍යතාවය නිසා බොහෝ වතු කම්කරුවන් මෙම වර්ජනයට සහභාගිවීමට ඉඩ තිබේ.

දේවරාජා ගාර්ඩ්මෝර් වත්තේ කම්කරුවන් අමතයි-2021-ජනවාරි 1

කම්කරුවන් මෙම ප්‍රශ්නයට විවෘතවම මුහුන දිය යුතුය: රාජපක්ෂ පාලනයේ ඍජු හවුල්කරුවෙකු වන සීඩබ්ලිව්සී හා අනෙකුත් සමිති වර්ජනය කැඳවා ඇත්තේ, ශීලාචාර ජීවිතයක් සඳහා ප්‍රමානවත්වන වැටුපක් සඳහා අරගලයකට ඒමෙන් කම්කරුවන් වලක්වා ආන්ඩුවේ, වතු සමාගම් වල සහ වෘත්තීය සමිතිවල සම්මුතියකට ඔවුන් යටත් කිරීම සඳහාය.

ජනවාරි 31 දා වර්ජනය පිලිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සීඩබ්ලිව්සී නායක හා වතු යටිතල කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති ජීවන් තොන්ඩමන් මෙසේ කීවේය: "වතු සමාගම් රුපියල් 725ක මූලික වැටුපක් සහ දීමනා ඇතුලුව රුපියල් 1000 දීමට එකඟ වී තිබේ. එහෙත් සමාගම් අතිරේකව තේ කිලෝ 2ක් කැඩීමේ හා සාමූහික ගිවිසුම අවුරුදු හතරකට දික්කිරීමේ කොන්දේසි දමා ඇත. සාමුහික ගිවිසුම අත්සන් කරන සමිති මෙම කොන්දේසි වලට එකඟ නැත."

එක් දින වර්ජනය කැඳවා ඇත්තේ රුපියල් දහසක මූලික වැටුපක් දිනා ගැනීමට නොවේ. ඉහත දැක්වූ කොන්දේසිවලට එරෙහි වීමේ නමින් කම්කරුවන් සීමිත විරෝධතාවකට කැඳවා ඔවුන් අතර පවතින කැකෑරෙන සමාජ කෝපය විසුරුවා හැර ආන්ඩුව හා සමාගම් සමග ඇතිකර ගන්නා සම්මුතියක් පැටවීමටය.

තොන්ඩමන් සඳහන් කරන සමාගම්වල වැටුප් සූත්‍රය කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ඉල්ලීම මත, එනම් ඔහුගේ අනුමැතිය ඇතිව, සකස් කල බව වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කර ඇත. 2019 සිට මැතිවරන වල දී සහ ඉන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදු පෙරමුන රුපියල් දහසක වැටුපක් වතු කම්කරුවන්ට ලබා දෙන බව ප්‍රකාශ කලේ වතු කම්කරුවන්ගේ ඡන්දය ගසා කෑමේ අරමුන ඇතිව ය. වතු සමාගම් වල ඉහත ප්‍රකාශයෙන් සනාථ කෙරෙන්නේ ඔවුන් විසින් යෝජිත නිෂ්පාදන ඵලදායිත්වයට ගැට ගැසුන වැටුප් සුත්‍රයක් කම්කරුවන් මත පැටවීමට ආන්ඩුව හවුල් වී ඇති බවයි.

කම්කරුවන් එවන් සම්මුතියක් එක හෙලාම ප්‍රතික්ෂේප කල යුතුය. සොච්චම් වැටුපකට කම්කරුවන් යට කිරීමේ කුමන්ත්‍රනය ආන්ඩුව, සමාගම් හා සීඩබ්ලිව්සී ඇතුලු සියලු සමිති එකතුවෙන් සිදු කෙරෙන්නකි.

ඒ වෙනුවට, ජීවන වියදමට සරිලන වැටුපක් හා අනෙකුත් සමාජ අයිතීන් දිනා ගැනීම සඳහා, වෘත්තීය සමිතිවල භේදකාරිත්වයන් කපාගෙන සියලු වතු කම්කරුවන් සහභාගී වන මහා වර්ජනයක්, අවශේෂ කම්කරුවන්ගේ ද සහයෝගය මත සංවිධානය කල යුතුය. දෛනික වැටුපක් වෙනුවට වතු කම්කරුවන් සටන් කල යුත්තේ, ජීවන වියදමට සරිලන, අවම වශයෙන් රුපියල් 50,000 ක් වන, ස්ථීර හා පූර්න වීශ්‍රාමික හිමිකම් සහිත මාසික වැටුපක් සඳහාය.

වැටුප් අරගලය- දික්ඔය වතුකම්කරුවන්ගේ පාගමන- ඔක්තෝබර් 18

එවන් අව්‍යාජ අරගලයක් සංවිධානය කල හැක්කේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වතු සමාගම් වල මුක්කු ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ස්වාධීනව තම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත්කර ගනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වත්තකම පිහිටුවා ගැනීම තුලිනි.

වර්ජනය එක දිනකට සීමා කරන්නේ කොරෝනා වසංගතය නිසා කම්කරුවන් දුෂ්කර කොන්දේසි වලට මුහුන දී සිටින නිසා බව ද තොන්ඩමන් එහි දී සඳහන් කර ඇත. එය බොරුවකි. කම්කරුවන්ගේ දිග් ගැසුනු අරගලයක් සමාගම් වල ලාභ අවශ්‍යතා ආරක්ෂා කරන ආන්ඩුව සමග ඝෘජුව ගැටෙන බව ඔහු දනී. එක්දින වර්ජනය නිවේදනය කරමින් තොන්ඩමන් පැවසුවේ එය ආන්ඩුවට විරුද්ධ වර්ජනයක් නොවන බවයි.

2015 වසරේ වෘත්තීය සමිති රුපියල් 1000 වැටුප් ඉල්ලීම ඉදිරිපත් කලේ කම්කරුවන් අතර ඉහල වැටුපක් සඳහා ඉල්ලීම ලොප් කිරීමට මිස ඒ සඳහා අරගල කිරීම සඳහා නොවේ. 2015 පටන් කම්කරුවන්ගේ සෑම අරගලයකදිම එය ඔප්පු විය. එම ඉල්ලීම පාදක කරගෙන 2018 දෙසැම්බර් මාසයේ දින 11 තිස්සේ 200,000 ක කම්කරුවන් සහභාගිවූ අරගලය සීඩබ්ලිව්සී සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ජාතික කම්කරු සංගමය (එන්යුඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) හා ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්එන්ඩබ්ලිව්යු) ඇතුළු සියලු වතු වෘත්තීය සමිති විසින් පාවා දුනි.

දැන් රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්ට ලැබුනත්, ගත වූ වසර හය තුල අත්‍යවශ්‍ය භාන්ඩ මිල මෙන්ම, විදුලිය හා ප්‍රවාහනය ඇතුළු සේවා ගාස්තු වැඩිවීම නිසා ජීවන වියදමේ සිදු වී ඇති සීඝ්‍ර ඉහල යාම හේතුවෙන් අද එය කිසිසේත් ප්‍රමානවත් නොවේ.

වතු කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් කම්කරු පන්තියට එරෙහිව ක්‍රියාවට දමන පුළුල් ප්‍රහාරයක කොටසකි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය මධ්‍යයේ කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට දක්කන රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන්, රැකියා, වැටුප් සහ දීමනා ඇතුළු අනෙකුත් සමාජ සහන කප්පාදු කිරීමේ සහ වැඩ වේගවත් කිරීමේ ප්‍රහාරයන් ක්‍රියාවට දමා ඇත. එය කොවිඩ් වසංගතයෙන් වඩාත් තීව්‍ර කෙරී ඇති ලෝක ධනවාදයේ අර්බුදය කම්කරුවන් මත පැටවීම සඳහා මාරක "නව සාමාන්‍යය" පිලිවෙත යටතේ සියලුම රටවල ධනපති පාලක පන්තීන් අනුගමනය කරන පිලිවෙත යි.

වෘත්තීය සමිතිවල කඩාකප්පල් කිරීම් තිබියදීම, තම අයිතීන් සඳහා වතු කම්කරුවන් අතර නිරන්තරයෙන් අරගල පැන නැගෙමින් ඇත. වැටුප් කප්පාදුවට සහ දුෂ්කර වැඩ කොන්දේසිවලට විරුද්ධව මස්කෙලිය මොචා වත්තේ කම්කරුවන් දෙසැම්බර් 25 සිට දින හතරක වර්ජනයක නිරත වූ අතර මස්කෙලිය ගාට්මෝර් වත්තේ 500 ට අධික කම්කරුවෝ රැකියා සහ විශ්‍රාමික හිමිකම් ආරක්ෂාකර ගැනීම සඳහා දෙසැම්බර් 28 වෙනිදා සිට ජනවාරි 31 දක්වා අඛන්ඩ වර්ජනයක යෙදී සිටියහ.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මෙම අරගල ධනපති පාලක පන්තීන්ගේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වෙමින් තිබෙන ගෝලීය පන්ති අරගලයේ කොටසකි.

වෘත්තීය සමිති වලට පිටින් වතු කම්කරුවන්ගේ අරගල වර්ධනය වුව ද එම අරගල හුදකලා කොට පාවාදීමට වෘත්තීය සමිති සමත් වන්නේ ඊට එරෙහිව සටන් කිරීමේ විකල්ප සංවිධාන හා ක්‍රියාමාර්ගයක් ඔවුන්ට නොමැති හෙයිනි. ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් අයිතීන් සඳහා සටන වතු කම්කරුවන් විසින් තමන් අතට යුතු යැයි අප යෝජනා කරන්නේ එබැවිනි.

වෙන කවරදාටත් වඩා අද සෑම රටකම කම්කරුවන්ට විශද කෙරී ඇත්තේ ධනේශ්වර පන්ති පාලනය හා ලාභ පද්ධතිය අහෝසි කරන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයකින් තොරව තම අයිතීන් දිනා ගත නොහැකි බව ය. ඒ සදහා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ දී එය කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

.

Loading