නාමික "නිදහසේ" සිට වසර 73ක්

ඊයේ කොලඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වූ ශ්‍රී ලංකාවේ 73 වන "නිදහස් දින" සැමරුම ව්‍යාජ දේශමාමක දේශන සහ සන්දර්ශනවලින් පිරීතිරී පැවතුනි. පාලනයකින් තොරව රටපුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතය, පිම්මේ ඉහල යන විරැකියාව, දරාගත නොහැකි බඩුමිල ඉහලයාම, පෙර නොවූවිරූ අයුරින් දරිද්‍රතාව වැඩිවීම, වේගවත් කරමින් තිබෙන මිලිටරිකරනය සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරී‍මේ අයිතිය ඇතුලු මූලික අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කිරීම හමුවේ ආන්ඩුවට එරෙහිව කැකෑරෙමින් තිබෙන මහජන වෛරය, මෙම සංදර්ශන වලින් වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව බංකොලොත් වෑයමක යෙදී ගත්තේය. 

වතාවතක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන නිදහස් දින සැමරුම්වලදී තොරොම්බල් කරන, එහෙත් යතාර්ථයට කවර හෝ සම්බන්ධයක් නැති ඊනියා "ජාතික සමගිය ගොඩනැගීම" යන පාඨය මන්ත්‍රයක් සේ ජනාධිපති පුන පුනා ප්‍රකාශ කලේය. මෙවර නිදහස් සැමරුමේ තේමාපාඨය ලෙස යොදාගෙන තිබුනේ, "සෞභාග්‍යමත් හෙටක්- සෞභාග්‍යමත් මව්බිමක්" යන්න යි. ඉහත සඳහන් කල අතිශයින්ම  බරපතල සමාජ හා ආර්ථික ප්‍රශ්න ගැන යලි අවධානය යොමුකිරීමේදී මෙම යෙදුම් විකාර සහගත බවක් පෙනී ගිය ද, ඒවා තුල පාලක පන්තිය විසින් කම්කරු පීඩිත ජනයා ඉලක්ක කර දියත් කිරීමට නියමිත ප්‍රහාර මාලාවක් ගැබ් ව පවතී. 

1948 නිදහස සඳහා එකඟතාවට අත්සන් තබයි

වසර 73කට පෙර, 1948 පෙබරවාරි 4දා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලබා දුන් නාමික නිදහස,  ඊයේ පැවැත්වූ "නිදහස්" දේශනවලදී ධනපති දේශපාලනඥයින් සහ ව්‍යාපාරගැති මාධ්‍ය විසින් තොරොම්බල් කල අයුරින්, පීඩිත ජනයා ඒකාබද්ධ කර දියත් කෙරුනු පුලුල් "ජාතික සටනක" ප්‍රතිපලයක් නොවේ. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීමේ කාරානාව හේතුවෙන්, දෙවන ලෝක යුද්ධයේ ගිනිමැලය  මධ්‍යයේදී මෙම දිවයින අග්නිදිග ආසියාවේ මිත්‍ර පාක්ෂික යුද්ධ ප්‍රයත්නයේ අන දෙන මූලස්ථානය බවට පත්වූ අතර, එකල අමාත්‍ය මන්ඩල ප්‍රධානියාවූ ඩී.එස්. සේනානායක පශ්චාත් යුදකාලීන ස්වයං-පාලනය සඳහා රහසිගතව කේවල් කිරීමට එම තත්වය යොදා ගත්තේ ය. 

මහජනයා අතර අපකීර්තියට පත්ව අද මුලුමින්ම කුජීතභාවය පත්ව තිබෙන, රටේ පැරැනිතම ධනපති දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස සේනානායකට අවශ්‍යවූයේ, ඩොමීනියන් තත්වයක් හෙවත්  දිවයිනේ සමස්ත විදේශීය හා ආරක්ෂක පිලිවෙත් ලන්ඩනය විසින් තීන්දු කෙරෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කනිෂ්ඨ හවුල්කාරකමකට වැඩි දෙයක් නොවේ. 

එකල ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තර‍යේ කලාපීය ශාඛාව වූ ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකත්වය යටතේ සටන්කාමී වෙමින් අරගලයට පිවිසෙමින් සිටි කම්කරු පීඩිත ජනයා අධිරාජ්‍යවාද-විරෝධී සටනේ පෙරමුන ගැනීමේ ඉඩකඩ ගැන භීතියට පත්වූ සේනානායක ඇතුලු මෙරට පාලක ප්‍රභූව එවන් සමතයකින් සිංහල ප්‍රභූවේ දේශපාලන ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට  බලාපොරොත්තු වූවේ ය. 

1948 නිදහස දිනයි

එම "නිදහස" ගැන, බීඑල්පීඅයි නායක කොල්වින් ආර්.ද.සිල්වා විසින් ඉතා නිවැරැදිව ගුනාංගීකරනය කලේ," බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව බැඳ ඇති දම්වැල් අලුතින් වාත්තු කිරීමක්" හෙවත් " ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය සෘජුක්‍රමවල සිට වක්‍ර ක්‍රම කරා මාරුවීම" ලෙස ය.   

එවන් සතුරු ධනපති පාලනයකට එරෙහිව අනිවාර්යෙන් එල්ලවීමට නියමිතවූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රහාරය අඩපන කිරීම සඳහා ඔවුන්ගේ පන්ති එකමුතුව බිඳීමට දෙමල විරෝධී වර්ගවාදය දැනුවත්ව භාවිත කිරීමට පාලකයෝ ආරම්භයේ සිටම අධිෂ්ඨාන කොට සිටියෝ ය. විදෙස් පිලිවෙත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අත තිබියදීම දිවයිනේ දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ අයිතිය පිලිබඳව ඉන්දියාව සමග කෙරෙන සාකච්ඡාවන්ට ශ්‍රී ලංකාව අත තබා ගත යුතුයැයි සේනානායක යෝජනා කලේ මේ විෂකුරු අරමුනු පෙරදැරිව ය. 

"නිදහස" ලද වහාම එක්සත් ජාතික පක්ෂය ගෙන ආ විෂකුරු පුරවැසි පනත මගින් දෙමල කතා කරන වතුකම්කරුවන් අති බහුතරයකට පුරවැසියන් ලෙස පැවති මූලික අයිතිවාසිකම් අහිමි කිරීම මගින් "නිදහසේ" ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය මැනවින් පැහැදිලි විය. 

සේනානායක ආන්ඩුවේ මෙම වර්ගවාදී ක්‍රියාවට බීඑල්පීඅයි, එකහෙලා විරුද්ධවූ අතර, 1948 අගෝස්තු මාසයේ කොල්වින් ආර්.ද සිල්වා සිදුකල කතාවකදී "ජාතිය වර්ගය සමග සමසීමිත කොට රාජ්‍යය ගොඩනැගීමේදී ජනවර්ගය තීරනාත්මක සාධකය කරන ලද්දේ ද නිශ්චිතවම ෆැසිස්ට්වාදය යටතේ" යැයි අනතුරු ඇඟවූයේ ය. 

කම්කරු පන්තියේ දැඩි විරුද්ධත්වය හේතුවෙන් පූර්න ෆැසිස්ට්වාදයක් කරා මෙරට පාලක ප්‍රභූව මෙතෙක් ගමන් කර නැතිවුවද, ඔවුන් භේදභින්න කරතබා ගැනීමේ මූලික අවියක් ලෙස පසුගිය දශක හතකට වැඩි කාලය පුරා කොලඹ ආන්ඩුව දෙමල-විරෝධී වර්ගවාදය යහමින් ගසා කා තිබේ. ලක්ෂයකට අධික දෙමල, සිංහල ජනයා සංහාරය කෙරනුු, තිස් වසරකට එහා ඇදී ගිය ජනඝාතක වර්ගවාදී යුද්ධයෙන් කුලු ගැන්වුනු මෙම වර්ගභේදවාදී දේශපාලනය එක දිගට පවත්වා ගැනීමට කොලඹ පාලන තන්ත්‍රය අද ද අදිටන් කර සිටී. 

ඒ එදා මෙන්ද අද දිනයේදී ද ධනපති පාලනයට තර්ජනයක් වෙමින් දෙමල හා සිංහල කම්කරු පන්තිය එ්කාබද්ධව අරගලයකට ප්‍රවිෂ්ට වීමෙන් වැලක්වීමට ය. 2009 වසරේදී, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් යුද්ධය නිල වසයෙන් අවසන් කෙරුනද ඉනික්බිතිව ගෙවුනු දශකයකට අධික කාලය තුල දෙමල ජනයා එක දිගට පීඩාවට පත් කරමින් උතුරේ පවත්වා‍ගෙන යන අර්ධ මිලිටරි පාලන‍යේ එක් මූලික අරමුනක් වන්නේ මෙම වාර්ගික භේදකරනය සජීවීව පවත්වා ගැනීම යි. 

"නිදහසින්" අනතුරුව ගෙවුනු දශක ගනනාව තුල කොලඹ පාලනය, දෙමල ජනයාට එරෙහිව වර්ගභේදකරනය පොදුවේ කම්කරු පීඩිත ජනයාට එරෙහි මූලික දේශපාලන අවියක් කරගත්තේ යම් සේ ද, එයටම සම්බන්ධිතව එය විසින්  පාලන තන්ත්‍රයේ මූලික කොටස්කරුවෙක් ලෙස මිලිටරිය ඉස්මත්තට ගෙන තිබීමේ කාරනය කම්කරු-පීඩිත මහජනයා සම්බන්ධයෙන් අතිශය දරුනු ඇඟවුම් සහිතය. 

කොරෝනා වසංගතය මගින් ගැඹුරු කරන ලද ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ගොඩඒමේ ක්‍රමයක් ලෙස මහජනයා ඇට පොත්තටම සූරාකෑම උග්‍රකිරීම හැර අන් "විසඳුමක්" නැති ධනපති ක්‍රමයට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයේ වහන්තරාව පවත්වා ගත නොහැකි ය. ආන්ඩුවේ ප්‍රධාන ආයතනවල මූලික තනතුරු වලට හිටපු මිලිටරි ජනරාල්වරුන් පත් කිරීම මෙන්ම ක්‍රීඩා පිටි ගොඩනැගීමේ සිට එලවලු මිලදී ගැනීමේ කටයුතු දක්වා මිලිටරිය යෙදීම මගින් වත්මන් රාජපක්ෂ ආන්ඩුව මිලිටරිය මත පදනම්වූ ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනැගීම කරා වේගයෙන් ගමන් කරමින් සිටී. 

"නිදහසින්" පසු ගතවූ කාලය තුල මෙරට ධනපති දේශපාලනය සම්බන්ධයෙන් කැපී පෙනෙන අනෙක් ලක්ෂනය වන්නේ, එයට කවර දිනකවත් "ස්වාධීන ජාතියක්" ලෙස ඉස්මතුවීමට හැකියාවක් ලැබී නැති බව යි. ලියොන් ට්‍රොට්ස්කි තම "නොනවතින විප්ලව න්‍යාය" මගින් පැහැදිලි කල පරිදි "දහසක් හුයපට වලින් අධිරාජ්‍යවාදයට ගැට ගැසී සිටින" මෙම පාලක පන්තීන්ට අධිරාජ්‍යවාදයට එරෙහිව කෙල බිඳක් හෝ හෙලීමේ හැකියාවක් එහි උපතේ සිටම ඇත්තේ නැත. 

අද දින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් චීනයට එරෙහිව කරගෙන යන යුද සැලසුම් වලට ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක පිහිටි මෙම දූපත ද ඇදී ගොස් තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන ගනනක් ජනයා ලේවැකි යුද්ධයකට ඇද දැමීමේ තර්ජනය මතු කර තිබේ. එවන් යුද්ධයක කොටස්කරුවන් කර නොගැන්නැයි අධිරාජ්‍යවාදී රටවලට බලකොට කීමට තරම් දිරියක් දේශපාලනිකව බෙලහීන පාලකයන්ට ඇත්තේ නැත.  

2015 ජනාධිපතිවරනයේදී, චීනයට නැඹුරුව සිටි රාජපක්ෂ පාලනය තමන්ට ගැති පාලනයකින් විස්ථාපනය කර දැමීම සඳහා තිරය පිටුපස සිට මැදිහත්වූ එක්සත් ජනපදයට එරෙහිව අද දක්වාමත් කටක් සෙලවීමට කොලඹ පාලක ප්‍රභූව අසමත් වීමෙන් පමනක් නොව, අනාගතයේදී එවන් ඉරනමකට මුහුන නොදීම සඳහා ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට සහ විශේෂයෙන්ම එහි කලාපීය සහකරුවා වන ඉන්දියාව සමග අත්වැල්බැඳ ක්‍රියාකිරීමට සපථ කර තිබීම මගින් මෙම අධිරාජ්‍යගැති ස්වභාවය පැහැදිලි කෙරෙයි. 

වියහැකි පරිදිම, "නිදහස් සැමරුම්" දිනයට පෙරාතුව අන් සියලුම රාජ්‍ය නායකයින්ටත් කලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ආන්ඩුවට "සුබපැතුම්" පනිවිඩයක් එවීය.  "එලැඹෙන වසරවලදී රටවල් දෙක අතර ශක්තිමත් සබඳතා තවදුරටත් දැඩිකර ගැනීමට" යෝජනා කරන විට එයින් ඉගි කරන්නේ චීනයට එරෙහි ප්‍රකෝපකාරී "ශක්තිමත් සබඳතා" මිස අන්කවරක්වත් නොවේ.  

මෙනයින් බැලූ විට, 73 වන "නිදහස්" සැමරුමේ තේමා පාඨය ලෙස යොදා ඇති "සෞභාග්‍යමත් හෙටක්" යන්න මහජනයා රැවටීමට යොදාගත් පාඨයක් බවත්, "සෞභාග්‍යමත් මව්බිමක්" යන්න පාලකයන් අධිරාජ්‍යවාදී බලයන් සමග යොදන උපාමාරු මහජනයාට වසන් කරමින් ඔවුන් ජාතිවාදයෙන් මුසපත් කිරීම සඳහා යොදාගත් පාඨයක් බවත් පැහැදිලි ය. 

Loading