වරාය කම්කරුවෝ පුද්ගලීකරනය පරාජය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරති

කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ කලින් ඇතිකරගත් ගිවිසුම අවලංගු කර ඒ වෙනුවට වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මන්ඩලය පසුගිය දා තීන්දු කලේය. වරායේ බටහිර කොටස "සංවර්ධනය" කිරීමට ඉන්දියාවට පැවරීමද ඒ සමගම ආන්ඩුව යෝජනා කලේය.

ඊසීටී ය ඉන්දියානු සමාගමකට පැවරීමට එරෙහිව සටන් වැදීමටයයි කියමින් වරායේ වෘත්තීය සමිති 23ක මූලිකත්වයෙන් ගොඩනගා ගත් ඉන්දියානු විරෝධී සහ වර්ගවාදී “ජාතික ව්‍යාපාරයේ” සියලු සංවිධාන ආන්ඩුවේ තීන්දුව ජයග්‍රහනයක් ලෙස පිලිගත්තේය. මේ අනුව වෘත්තීය සමිති මගින් කැඳවන ලද වරාය අධිකාරියේ සේවකයන්ගේ අකුරට වැඩකිරීමේ ක්‍රියා මාර්ගයද අවසන් කෙරුනි.

2020 අගෝස්තු මුල පුද්ගලීකරනයට එරෙහිව උද්ඝෝෂනයක යෙදෙන කොලඹ වරායේ කම්කරුවන්. ඉදිරියෙන් ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීම පෙන්නුම් කරන පුවරුව ඔසවා ගෙන සිටින්නේ සමිති නිලධාරින් ය (ලෝසවෙඅ මාධ්‍ය)

ආන්ඩුවේ නිවේදනයෙන් පසු ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) පාලනය කරන වානිජ, කාර්මික හා සේවා ප්‍රගතිශීලී සංගමයේ නායක ශ්‍යාමාල් සුමනරත්න ප්‍රකාශ කලේ ඔවුන් “පර්යන්තය ඉන්දියාවට භාර නොදීමේ ඉල්ලීම දිනාගත්” බවයි. ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප ) නායකයෙකු වන පුබුදු ජයගොඩ මෙසේ පැවසීය. “නැගෙනහිර ජැටිය විකුනන්න එපා කියන සටන් පාඨය ජයග්‍රහනය කරලා තියෙනවා.”

සුමනරත්න පුවත්පත් සාකච්චඡාවන්හි දී තරයේ කියා සිටියේ ඔවුන් පුද්ගලීකරනයට විරුද්ධ නොවන බවය. තව දුරටත් ඔහු පැවසූයේ ආයෝජකයන් කැඳවීමට විරුද්ධ නොවන බවත්, 1999 හෝ 2013 දී හෝ කල පුද්ගලීකරනයන්ට විරුද්ධ නොවන බවත්ය. ඔවුන් විරුද්ධ ලාභ ලැබීමේ අංශයක් වන නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට බව ද අවධාරනය කලේය. ලාභය සඳහා වන ධනේශ්වර රාජ්‍යය යටතේ කම්කරුවන්ගේ වැටුප් පත කැප කිරීම මගින් හෝ ලාභය රැකදෙන බවට ඔහු ආන්ඩුවට පොරොන්දු වූයේය. 

පෙසප නායකයෙකුවන දුමින්ද නාගමුව, ඇල්ලේ ගුනවංස භික්ෂුව සමග වරාය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක-2021-05f

 

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දක්වමින් වරාය කම්කරුවෝ වෘත්තීය සමිති නායකයන් හා පෙසප ඇතුලු සංවිධාන පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන්ගේ සටන පාවා දුන් බවට චෝදනා කලහ. තවද ද වෘත්තීය සමිති ආන්ඩුවේ කොටස්කරුවන් ලෙසට ක්‍රියා කරන බව කම්කරුවන් දන්නා බවද ඔවුහු කෝපයෙන් කියා සිටියහ.

කොලඹ වරාය සමුද්‍ර නිලධාරීන්ගේ සංගමයේ සාමාජික කම්කරුවෙක් මෙසේ පැවසීය: “මේක බරපතල පාවා දීමක්. පෙසප ඇතුලත්ව ගොඩනගන ලද ජාතික ව්‍යාපාරය කම්කරුවන්ගේ ව්‍යාපාරයක් නොවෙයි. කම්කරුවන් බහුතරයක් වෘත්තීය සමිති ගත් තීන්දුවට විරුද්ධයි. සමිති ආන්ඩුව සමග සාකච්ඡා පවත්වමින් කම්කරුවන්ට එරෙහිව වැඩ කරන බව කම්කරුවො දන්නවා. නැගෙනහිර පර්යන්තය හෝ බටහිර තවමත් වැඩ ආරම්භ කර නැති කොටස පුද්ගලීකරනය කිරීමට කම්කරුවන් විරුද්ධයි. මේක කම්කරුවන්ට  එරෙහි උගුලක් .”

ආන්ඩුව සූදානම් වන්නේ බටහිර කොටස ඉන්දියාවට පැවරීමට විතරක් නොව වෘත්තීය සමිතිවල පක්ෂපාතීත්වයෙන්, වරාය අධිකාරිය යටතේ පවතින ගාල්ල වරායේ අක්කර 7කට ආසන්න භූමි භාගයේ මෙන්ම, ත්‍රිකුනාමල වරායේ සහ දික්ඕවිට වරායේ ද,  පුද්ගලික අංශය සමග එක්ව මෙහෙයුම් දියත් කිරීමට බව වරාය අධිකාරියේ සභාපති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කල බව පෙබරවාරි 4 දින හිරු ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය. 

ඉහත සඳහන් කල කම්කරුවා මෙසේ ද පැවසීය: “වරාය අධිකාරිය යටතේමත් කම්කරුවන්ගෙ අයිතීන් කප්පාදු කෙරෙනවා. සමිති එකඟවූ ගිවිසුමකට අනුව වරාය කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලැබෙන්නෙ වසර තුනකට සැරයක්. මේ ජනවාරි වලට එම වැඩිවීම ලබාදිය යුතු ව තිබුනත් ලැබුනෙ නැහැ. සමිති නායකයන් ඒ ගැන කතා කරන්නෙ නැහැ.”

කම්කරුවන් එසේ කියද්දී දැනටමත් කම්කරුවන්ගේ සේවා කොන්දේසි කපා හැරිය යුතු බවට පාලක පක්ෂයේ කොටස් තර්ක කරති. 

පෙබරවාරි 1 දින ඩේලි එෆ් ටී වෙබ් අඩවියේ පල වූ ලිපියකින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කල යුතු බවට තර්ක කර තිබුනි. වරාය කම්කරුවන්ගේ සේවා කොන්දේසි කැපීමෙන් තොරව සංවර්ධනය සිදු කල නොහැකි බවට ද එය මෙසේ තර්ක කලේය. “ශ්‍රී ලංකා වරාය අධිකාරියට බොහෝ පාඩු සිදුවන්නේ ඉහල වැටුප්, දීමනා, සේවක අතිරේක වරප්‍රසාද හේතු කොටගෙනය. එහෙත් සේවකයන් අතිශය ලෙස වැඩ කරමින් ඉටුකරන්නේ අඩු කාර්ය සාධනයකි.”  ලිපිය පවසන්නේ අමූලික බොරුවකි. කම්කරුවන්ගේ මූර්ත වැටුප් මට්ටම් සහ සේවා කොන්දේසි පහලට කිඳා බසිමින් ඇත.

“කොවිඩ් 19 වසංගතය වරාය තුල පැතිරීමට පාලකයන් හා වෘත්තීය සමිති නායකත්වය වගකිව යුතුයි. අවශ්‍ය මට්ටමට පීසීආර් පරීක්ෂන නොකිරීමෙන් හා අවශ්‍ය සෞඛ්‍ය පියවර නොගැනීමෙන් වසංගතය පැතුරුනා. නායකයන්ගෙ අනුමැතියෙන් අත්‍යවශ්‍ය සේවය ප්‍රකාශයට පත් කර සේවයේ යෙදීම අනිවාර්ය කලා යැයි ඉහත කම්කරුවා ප්‍රකාශ කලේය.

“දැන් කරන ඇන්ටිජන් පරීක්ෂනය කිසිම ප්‍රමිතියකට සිදුවන්නෙ නැහැ. කම්කරුවන්ට දීපු නොම්මර වරද්දලා කම්කරුවන්ගෙ විරෝධය වැඩුනා. ඇන්ටිජන් පරීක්ෂනයෙන් පොසිටිව් බව පැවසුවත් කම්කරුවන් පුද්ගලිකව පීසීආර් පරීක්ෂනය කල විට නෙගටිව් බව තහවුරු වුනා. සමහර කම්කරුවො මේ නිසා පරීක්ෂනය ප්‍රතික්ෂේප කරනවා” යැයි ඔහු කීවේය.

“සමාජවාදී සමානතා පක්ෂය (සසප) පෙන්වා දෙන ආකාරයට, ප්‍රධානකොටම චීනයට එරෙහිව ඇමරිකාවෙ මූලෝපායික අවශ්‍යතා මතයි ඉන්දියාව වරායේ කොටස් ඉල්ලා බල කරන්නේ. මෙම අන්තරාය වෘත්තීය සමිති වසං කරනවා. ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධ කල හැකි වැඩ පිලිවෙලකින් තොරව පුද්ගලීකරනයට හෝ කම්කරුවන් මුහුනදෙන අන්තරායන්ට එරෙහිව සටන් කරන්න බැහැ. කම්කරුවන්ට වෘත්තීය සමිතීන්ට පිටතින් ස්වාධීනව සංවිධානයවීමේ උවමනාව තියෙනවා. වසංගතය මැද කම්කරුවෙක් සතියක් සේවයේ යෙදුනාම සතියක් නිවාස වල රැඳී සිටිය යුතු නිසා සංවිධානය වීම අපහසුයි. නමුත් කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගිය යුතුය යන යෝජනාවට පක්ෂයි.”

කම්කරුවන්ට සත්‍යය පවසනුයේ සසප පමනක් බව පැවසූ ඔහු, පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල හැක්කේ සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් කිරීමෙන් පමනක් බව පිලි ගන්නා බව ද කීවේය. කම්කරුවන්ට එය පහදාදීමේ දුෂ්කරභාවය ජයගන්නේ කෙසේද? ආදී ප්‍රශ්න ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පැවසීය.  

වරායේ තාක්ෂනික කම්කරුවෙක් ලෝසවෙඅ ට මෙසේ කරුනු දැක්වීය: “වෘත්තීය සමිති සටන පවා දුන් බව කම්කරුවන් තේරුම් අරන් තියෙන්නෙ. වර්ගවාදී කන්ඩායම් ඒකාබද්ධ කර ගත්  ‘ජාතික ව්‍යාපාරය’සම්බන්ධව ලෝසවෙඅ හි පලවූ, ‘ඉන්දියානු-විරෝධී වර්ගවාදයක කම්කරුවන් ගිල්වීමේ ව්‍යායාමයක්’ යන ලිපියට මම එකඟයි. මම ඒ ලිපිය කීප දෙනෙකුට යැව්වා කියව ගන්න. වර්ගවාදයට එරෙහිව කම්කරුවො ඒකාබද්ධව සංවිධානය විය යුතුයි. පුද්ගලීකරනයට එරෙහි අරගලයේදී ඉන්දියාවෙ කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධ කලයුතුයි සසප කරන යෝජනාව මම පිලිගන්නවා.”

“අපේ වැටුප් ප්‍රශ්නය ගැන තවම විසඳුමක් නැහැ. වරාය කම්කරුවන්ගෙ මූලික වැටුප ඉතා අඩුයි. මූලික වැටුප රු. 25,000- 30,000ක් පමන. අතිකාල සේවයේ යෙදීමෙන් තමයි කම්කරුවො ජීවත් වෙන්නෙ. වසංගතය නිසා අතිකාල සේවය නොලැබ ගියා. කම්කරුවො ජීවත් වුනේ අසීරුවෙන්. වසර තුනකට පසුව අවම වශයෙන් සියයට 30ක වැටුප් වැඩිවීමක් බලා පොරොත්තු වෙනවා.”

ස්ථීර කම්කරුවන් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙන තත්වයේදී, වරාය තුල සේවා කොන්දේසීන්ගේ බරපතල කප්පාදුවක් සිදුවෙයි. ස්ථීර සේවකයන් ඉවත් කර මිනිස් බල කම්කරුවන් සේවයේ යොදවා ඇත. එම කම්කරුවෙක් පැවසූයේ ඔවුනට වැඩකරන  දිනකට ලැබෙන්නේ රු. 900ක් බවය. වසංගත සමයේ ඔවුනට මාස දෙකක් පමන වරාය භූමියේම රැඳී සිටීමට සිදුවූ අතර ඒ සඳහා ඔවුනට පහසුකම් ලැබී නැත. රාත්‍රි කාලය ගත කරනු ලැබූයේ කන්ටේනර වලය. 

තවදුරටත් කතා කල තාක්ෂනික  කම්කරුවා “මම සමාජවාදී සමානතා පක්ෂය ගැන දැනගත්තෙ මෑතකදීයි. ලෝසවෙඅ ලිපි කිහිපයක් මම කියෙව්වා. රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද යන ලිපිය බාගත්තා. මම මේවා කියවා හදාරනවා” යැයි පැවසීය.

“පලමුවන ජාත්‍යන්තරයේ සිට හතරවන ජාත්‍යන්තරය දක්වා පාවාදීම් සිදුවුන බව දන්නා බවත්, එවැනි පාවාදීමක් දැන් හතරවන ජාත්‍යන්තරය තුල සිදු නොවන බවට සහතිකය කුමක්දැයි ඔහු ප්‍රශ්න කලේය.

කාල් මාක්ස් හා ෆෙඩ්රික්  එංගල්ස් ගොඩ නැගූ පලමුවන ජාත්‍යන්තරය හා එංගල්ස්ගේ නායකත්වයෙන් ගොඩනැගූ දෙවන ජාත්‍යන්තර පිලිබඳව එහිදී සාකච්ඡා කෙරුනි.  පලමුවන ලෝක යුද්ධය මධ්‍යයේ, රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැර, ජර්මනිය ප්‍රමුඛ අනෙකුත් රටවල දෙවන ජාත්‍යන්තරයේ ශාඛා ඒ ඒ රටවල ජාතික ධනපති පන්තියට සහයෝගය දෙමින් මාක්ස්වාදී වැඩපිලිවෙල පාවා දුන් අයුරු සහ එම පාවාදීමට එරෙහිව වී.අයි.ලෙනින්ගේ අරගලයේ ඓතිහාසික පාඩම් පිලිබඳව එහිදී සාකච්ඡා විය. 

1917 දී ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් රුසියාවේ කම්කරු පන්ති විප්ලවය ජයග්‍රහනය කිරීමේ අත්දැකීම් හා තුන්වන ජාත්‍යන්තරය තුල, තනි රටක සමාජවාදී න්‍යාය යටතේ ස්ටැලින්වාදීන් කල පාවාදීමට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය සම්බන්ධව ද දීර්ඝව සාකච්ඡා කෙරුනි. පාවාදීම් පමනක් නොව මාක්ස්වාදී ක්‍රියාමර්ගය සඳහා අඛන්ඩ අරගලයක් ගෙනගිය බවද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ මෙම උරුමය නියෝජනය කරන බවද එහිදී පැහැදිලි කෙරිනි.

පලමුවන ලෝක යුද්ධය සේම අද අධිරාජ්‍යවාදීන් යුද ගැටුමකට සූදානම් වන බවද, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව යුද ගැටුමකට සූදානම් වීමේදී ඉන්දියාව ආසියාකරයේ ප්‍රධාන සහකරු ලෙස ක්‍රියා කරන බවද, එම මූලෝපායික උවමනාව මත කොලඹ වරායේ නැගෙනහිර ජැටිය ඉල්ලා සිටින බවද ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

Loading