දුම්රිය ස්ථානාධිපතිවරුන් විරෝධතා උද්ඝෝෂනයක

දුම්රිය ස්ථානාධිපතිවරු, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, පෙබරවාරි 10 මධ්‍යම රාත්‍රියේ සිට අධීක්ෂන සහ ආවරන රාජකාරිවලින් ඉවත්ව අකුරට වැඩ කිරීමේ වීරෝධතා උද්ඝෝෂනයක නිරතව සිටිති. කනිෂ්ඨ කාර්ය මන්ඩල හිඟයට පිලියම්, කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කනිෂ්ඨ කාර්ය මන්ඩල විශ්‍රාමික නිලධාරීන්ට වැටුප් සහ දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලති.

මීට අමතරව, නව සෞඛ්‍ය ආරක්ෂිත කඩිනම් ප්‍රවේශපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම, උසස් කිරීමේ ක්‍රමවේද සහ බදවාගැනීමේ පටිපාටිය සකස් කිරීම කඩිනම් කිරීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුලත් වේ.

පැය 48 ක වීරෝධතා ව්‍යාපාරයක් ලෙස දියත්කර ඇති මෙම උද්ඝෝෂනය කැඳවුම් කර ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (දුස්ස) විසිනි. එම කාලය තුල තම ඉල්ලීම් වලට ආන්ඩුවෙන් “යහපත් ප්‍රතිචාරයක්” නො ලැබුනොත් “අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට” එලඹෙන බව පෙබරවාරි 10 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී දුස්ස ලේකම් කසුන් චාමර ජයසේකර පවසා තිබුනි.

'සංඥා මෙහෙයුම්කරුවන්ගේ හිඟයක් පවතින අතර ඒ සඳහා පසුගිය කාලයේ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ඇති විශ්‍රාමිකයන් සඳහා පසුගිය මාස 6 තුල ගෙවීම් සිදු කර නැති නිසා ඔවුන් පෙබරවාරි 8 වෙනිදා සිට සේවයෙන් ඉවත්ව සිටින බවත් එම නිසා සංඥා නොමැතිව දුම්රිය ධාවනය කිරීමට සිදු වී ඇති බැවින් එය අතිශයින් ම අනතුරුදායක' බවත් දුස්ස සභාපති සුමේධ සෝමරත්න එහිදී පවසා ඇත.

දුම්රිය ස්තානාධිපාතිවරුන්ගේ සංගමයට මෙම විරෝධතාවය කැඳවීමට බල කෙරී ඇත්තේ තම අයිතීන් කප්පාදු කිරීම සහ දුෂ්කර සේවා කොන්දේසි සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරුන් සහ කනිෂ්ඨ සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වන කොන්දේසි තුලය.

සංගමයේ සභාපති සෝමරත්න ප්‍රකාශ කරන ආකාරයට පසුගිය මාස හයක් ම කොන්ත්‍රාත් පදනමේ සංඥා මෙහෙයුම්කරුවන්ට වැටුප් ගෙවා නොතිබිය දී ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුලු සියලු දුම්රිය වෘත්තීය සමිති ඒ සඳහා කිසිදු අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ වෙනුවට මාර්තු 6 වෙනිදා ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුලු දුම්රිය සමිති අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවක දී ' දුම්රිය ගැටලු සියල්ල විසඳීමට' ඔහු දුන් පොරොන්දුව පිලිගෙන ඒ වනවිට යෝජිතව තිබූ දුම්රිය වර්ජනය ඔවුහු අත්හිටවුහ.

මෙවර අකුරට වැඩකිරීමේ උද්ඝෝෂනය පැය 48 කට සීමා කිරීමට ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීන්දු කර ඇත්තේ ද රාජපක්ෂ ආන්ඩුවේ 'යහපත් ප්‍රතිචාරයකට' යටත් කොට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ අරගලයට ඇබ ගැසීමේ අරමුන ඇතිවය. එමෙන් ම, එය සෙසු දුම්රිය සේවකයන්ගෙන් හුදකලා කොට හුදෙක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ අරගලයකට කොටුකර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ විරෝධාතා ව්‍යාපරය කොවිඩ් 19 වසංගතය විසින් ගැඹුරු කරනු ලැබ ඇති අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට එරෙහිව ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයේ කොටසකි. රාජපක්ෂ ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව මෑත දිනවල ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය, වරාය, ඇඟලුම් හා වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ විධ කොටස්වල අරගල මාලාවක් පුපුරා ගියේය. ,

දුම්රිය සේවකයන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදුව කම්කරු පන්තියේ අයිතීන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව විසින් එල්ල කර ඇති පුලුල් ප්‍රහාරයක කොටසකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල අනියම් සහ කොන්ත්‍රාත් පදනමේ කම්කරුවන් 15,000 රැකියා අහිමි කලේය. කොරෝනා වසංගතය ව්‍යාප්තවීම තුල ආන්ඩුවේ සහ පුද්ගලික ව්‍යවසායකයන්ගේ අර්බුදය ගැඹුරු වන කොන්දේසි යටතේ කම්කරු පන්තියේ රැකියා, වැටුප් සහ අයිතීන් කප්පාදු කිරීමේ පුලුල් සැලැස්මක් රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇත..

පසුගිය වසර කිහිපය පුරාම දුම්රිය සේවකයෝ තම අයිතීන් සඳහා නිරන්තරව අරගලවල යෙදී ගත්හ. 2020 පෙබරවාරි 10-11 දිනවල සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ආදේශක දුම්රිය සේවකයෝ 1000 ක් පමන වර්ජනයක සහ විරෝධතා උද්ඝෝෂනයක නිරත වුහ.

එමෙන් ම, 2017, 2018, 2019 වසරවල ද දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, ආරක්ෂක නිලධාරීන්, සංඥා මෙහෙයුම්කරුවන්, ඉංජිනේරුවන්, ඇතුලු සියලු ශ්‍රේනිවලට අයත් දුම්රිය සේවකයෝ වර්ජන සහ පිකට් කිරීම් ඇතුලු විරෝධතා ක්‍රියාවන් හි යෙදුනාහ. එම සියලු අරගල සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට දුම්රිය වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබීය. 

Loading