හතරවන ජාත්‍යන්තරයේ ආරක්ෂාව සඳහා

සිල්වියා ඇජිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 5 දින Security and the Fourth International Sylvia Ageloff and the assassination of Leon Trotsky යන මැයෙන් පල කෙරුනු කොටස්හතරකින් යුතු ලිපියේ පලමුවන කොටසේ සිංහල පරිවර්තනයයි.]

1940 අගෝස්තු 20 වන දින මෙක්සිකෝ නගරයේ උප නගරයක් වන කොයෝවාකාන්හිදී ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කාඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී. මේ මහා විප්ලවවාදියා වෙතට මර්කාඩර්ට ලං විය හැකි වූයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) සාමාජිකාවක් වූ සිල්වියා ඇජිලොෆ් සමඟ ඔහුට පැවති සම්බන්ධතාව නිසාය. ඝාතනයෙන් ඉක්බිතිව, ඇජිලොෆ් තමා මර්කාඩර්ගේ වංචනික කම් වල අහිංසක ගොදුරක් ලෙස පෙනී සිටියාය. එස්ඩබ්ලිව්පීය ඇගේ මෙම ප්‍රකාශය කිසි විටෙකත් අභියෝගයට ලක් කලේ නැත.

මෙම ලිපි මාලාව ඇජිලොෆ්ගේ භූමිකාව පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් සිදු කරන ලද පලමු ක්‍රමානුකූල විමර්ශනය වන අතර හතරවන ජාත්‍යන්තරයේ ආරක්ෂාව පිලිබඳව ජාත්‍යන්තර කමිටුව සිය විමර්ශනය අඛන්ඩව ඉදිරියට ගෙන යයි. මෙම ලිපි මාලාව කොටස් හතරකින් පලවේ.

හැදින්වීම

ස්ටැලින්වාදී නියෝජිත රේමන් මර්කාඩර් 1940 අගෝස්තු 20 වන දින අගභාගයේදී මෙක්සිකෝ නගරයේ උප නගරයක් වන කොයෝවාකාන්හිදී ලියොන් ට්‍රොට්ස්කි  ඝාතනය කලේය. ප්‍රහාරයෙන් පැය 26 කට පසු, පසුදා සවස, 1917 ඔක්තෝබර් විප්ලවයේ සම නායකයා මර්කාඩර් විසින් සිදු කරන ලද තුවාලය නිසා මිය ගියේය.

ලියොන් ට්‍රොට්ස්කි  ඝාතනය යනු 20 වන සියවසේ වඩාත්ම සංවිපාකදායක දේශපාලන ඝාතනයයි. ඉන්  20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදී න්‍යායඥයා හා විප්ලවවාදී නායකයා ලෙස ලෙනින් සමග එක පෙලට සිටි මිනිසා ජාත්‍යන්තර කම්කරු පන්තියට අහිමිවිය. ඔහුගේ  තීරනාත්මක කාර්යභාරයක් තුලින් 1938 දී පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරය,  ට්‍රොට්ස්කිගේ මරනයෙන් බරපතල ලෙස දුර්වල කෙරුනු අතර ඉදිරි දශක ගනනාවකට ලෝක සමාජවාදී ව්‍යාපාරයේ වර්ධනය අඩපන කිරීමට එය තුඩු දුන්නේය.

සෝවියට් ස්ටැලින්වාදී තන්ත්‍රයේ ව්‍යාජ ප්‍රතික්ෂේප කිරීම් නොතකා, සමස්ත ලෝකයම ක්ෂනිකවම  පිලිගන්නා ලද්දේ ඝාතකයා සෝවියට් සංගමයේ රහස් පොලිසිය වන ජීපීයූ හි ඒජන්තයෙකු බවයි.  කෙසේවුවද, වසර 35 ක් ම, කුමන්ත්‍රනයේ සුවිසල් පරිමාව සහ ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් ඝාතනය සූදානම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට යොදාගත් ඒජන්ත ජාලය පිලිබඳව ලෝකය දැන සිටියේ ඉතා අල්පයකි. “ජැක් මෝර්නාඩ්” සහ “ෆ්‍රෑන්ක් ජැක්සන්” යන නම් වලින් පෙනීසිටි මිනිසාගේ සැබෑ අනන්‍යතාවය 1950 වන තෙක් නිශ්චිතවම තහවුරු කර නොතිබුනි. ප්‍රහාරයට පෙර වසරවල ගෝලීය පරිමානයෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට රිංගා ගැනීමට ජීපීයූ විසින් දැරූ උත්සාහයන් පිලිිබඳව සැලකිය යුතු පරීක්ෂනයක් කිරීමට, ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂය වූ එවකට හතරවන ජාත්‍යන්තරයට පක්ෂපාත එක්සත් ජනපද ශාඛාව ලෙස පැවති ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) අසමත් වූවා පමනක් නොවේ.  එස්ඩබ්ලිව්පීය තමන්ගේම සංවිධානයට ඉහල මට්ටමින් ජීපීයූ විනිවිදීම පිලිගැනීම ප්‍රතික්ෂේප කල අතරම ඒ පිලිබඳ සාක්ෂි සෘජුවම වසන් කලේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ජීපීයූ සහ එෆ්බීඅයි ඔත්තුකරුවන් විනිවිදීම පිලිබඳ සඳහනක් කිරීම පවා එස්ඩබ්ලිව්පී නායකයින් විසින් හෙලා දකින ලද්දේ “ඒජන්තයන් බිලීබෑමක් ” ලෙස ය. 

ලියොන් ට්‍රොට්ස්කි (1879-1940)

 

1975 මැයි මාසයේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජාත්‍යන්තර කමිටුව) පරීක්ෂනයක් ආරම්භ කලේය. ට්‍රොට්ස්කිගේ මරනයෙන් පසු දශක ගනනාවක් තිස්සේ එස්ඩබ්ලිව්පී හි රැඳී සිටි නියෝජිතයන් ද ඇතුලුව, ඝාතනයට සම්බන්ධ ජීපීයූ ඒජන්තයන්ගේ ජාත්‍යන්තර ජාලය හඳුනාගෙන එම සොයා ගැනීම් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය යන  මාතෘකාවෙන් ප්‍රසිද්ධ කෙරින. 

ජාත්‍යන්තර කමිටුවේ කටයුතු කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයන් නොතකා, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ විමර්ශනය අඛන්ඩව සිදු වූ අතර එය අසාමාන්‍ය වැදගත්කමක් ඇති සොයාගැනීම් වලට ඉඩ සැලසුවේය.

විමර්ශනය ආරම්භ කිරීමට ගත් තීරනයෙන් පසුව, ඝාතනයට අදාලව වොෂිංටන් ඩී.සී. හි ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති තීරනාත්මක එක්සත් ජනපද රජයේ ලේඛන, වර්කර්ස් ප්‍රෙස් (හජාජාක හි බ්‍රිතාන්‍ය ශාඛාවේ පුවත්පත)හි කර්තෘ ඇලෙක්ස් මිචෙල් විසින් සොයා ගන්නා ලදී. 1975 අගෝස්තු මාසයේදී, ඇමරිකාවේ ට්‍රොට්ස්කිවාදියෙකු වන ඩේවිඩ් නෝර්ත්, හජාජාක ‌වෙනුවෙන් ක්‍රියා කරමින්, සැන් ෆ්‍රැන්සිස්කෝ හි මාර්ක් ස්බොරොව්ස්කි සොයාගෙන ඡායාරූප ගත කලේය. 1941 දී එක්සත් ජනපදයට සංක්‍රමනය වීමට පෙර ස්බොරොව්ස්කි, 1930 ගනන් වලදී, ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් හා ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම්වරුන් දෙදෙනෙකු වන අර්වින් වුල්ෆ් සහ රුඩොල්ෆ් ක්ලෙමන්ට් ද ජීපීයූ වෙතින් පලාවිත් හතරවන ජාත්‍යන්තරයට තම සහාය ප්‍රකාශ කල ඉග්නේස් රීස් ද ඝාතනය කිරීම සඳහා ස්ටැලින්වාදීන් වෙත තොරතුරු සැපයීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. ආරක්‍ෂාව සහ හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ මූලික ප්‍රතිපල 1975 අගභාගයේදී, "ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය: ජීපීයූව දැල එලූ සැටි" [How the GPU Murdered Trotsky] යනුවෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

1976 දෙසැම්බරයේ මෙක්සිකෝ නගරයට සංචාරය කල මිචෙල් සහ නෝර්ත්, ඝාතනය ආශ්‍රිත සිද්ධීන් පිලිබඳ සාක්ෂිකරුවන් වූ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්චා පැවැත්වූහ. එක්සත් ජනපදයේ පරීක්ෂනයේදී ලැබූ වැඩිදුර ප්‍රගතිය තුල සනාථ  වූයේ, 1938 සිට 1947 දක්වා එස්ඩබ්ලිව්පී නායක ජේම්ස් පී. කැනන්ගේ පුද්ගලික ලේකම් සිල්වියා කෝල්ඩ්වෙල් (විවාහයට පෙර කැලන්) ජීපීයූ ඒජන්තියක වූ බවයි. 1937 සිට 1940 දක්වා මෙක්සිකෝවේ දී ට්‍රොට්ස්කිගේ ලේකම් ලෙස ක්‍රියා කල, එමෙන්ම 1979 දී මිය යන තුරුම එස්ඩබ්ලිව්පීයේ ප්‍රධාන නායකයෙකු වූ ජෝසප් හැන්සන් ජීපීයූ ඒජන්තයෙකු වූ බවත් පසුව එෆ්බීඅයි හි ඔත්තු සපයන්නෙකු වූ බවත් තහවුරු කරන ලියකියවිලි ජාත්‍යන්තර කමිටුව විසින් සොයා ගන්නා ලදී. ඔත්තුකරුවෙකු සහ ආන්ඩුවට තොරතුරු සපයන්නෙකු ලෙස ඔහුගේ ක්‍රියාකාරකම් අනුව අපේක්ෂා කල හැකි පරිදි, “ඒජන්තයන් බිලීබෑමට” එරෙහිව තරයේම විරුද්ධ පුද්ගලයා ලෙස දශක ගනනාවක් තිස්සේ එස්ඩබ්ලිව්පී නායකත්වය තුල කටයුතු කලේ ජෝසප් හැන්සන් ය. ජීපීයූ (පසුකාලීනව කේජීබී ලෙස හැඳින්වූ) සහ එෆ්බීඅයි හි කඩාකප්පල්කාරී හා මිනීමරු ක්‍රියාකාරකම් වලට එරෙහිව ට්‍රොට්ස්කිවාදී   ව්‍යාපාරයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට උත්සාහ කල අය "පරභීතිකාවෙන්" පෙලෙන්නන් ලෙස ලේබල් කිරීම ඔහුගේ ප්‍රයත්නයන් අතර විය.

ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ මූලික සොයාගැනීම් 1975 සහ 1985 අතර ප්‍රකාශයට පත් කරන ලදී. පසුකාලීන වර්ධනයන් - විශේෂයෙන්, සමාජවාදී කම්කරු සංගමය තුල ආන්ඩුවේ ඔත්තුබැලීම් වලට එරෙහිව ඇලන් ගෙල්ෆාන්ඩ් විසින් ගෙනගිය නඩුව තුලදී ලබාගත් ලේඛන - ජාත්‍යන්තර කමිටුවේ විමර්ශනයේ වඩාත් තීරනාත්මක අංගයන් මුලුමනින්ම සනාථ කලේය. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ජීපීයූ-කේජීබී රහස් පොලීසියේ ලේඛන මුදා හැරීමෙන් මෙම පරීක්ෂනය තවදුරටත් සනාථ විය. 

ඉතා මෑත දී, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය මගින් කෙරුනු සොයාගැනීම් මෙන්ම, මෙක්සිකෝවේ රාජ්‍ය ලේඛනාගාරයෙන් නිකුත් කරන ලද අතිරේක ලියකියවිලි ද භාවිතා කල ස්වාධීන පර්යේෂකයන් විසින් ට්‍රොට්ස්කි  ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කල ආකාරය පිලිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගත හැකි වැදගත් සාක්ෂි අනාවරනය කරගෙන තිබේ.

සිල්වියා ඇජිලොෆ්ගේ පෞද්ගලික පසුබිම සහ එස්ඩබ්ලිව්පී සාමාජිකයෙකු ලෙස පෙනී සිටි ඇයගේ දේශපාලන ක්‍රියාකාරකම් ද, රේමන් මර්කාඩර් සමඟ සමීපව ක්‍රියාකිරීම සඳහා ඇය ඇතිකරගෙන තිබූ සම්බන්ධතාවය ද ගැන පරීක්ෂා කිරීම සමඟ එකට ගෙන මෙම නව තොරතුරු විශ්ලේෂනය කිරීමෙන් ට්‍රොට්ස්කි  ඝාතනය සුදානම් කිරීමේදී ඇජිලොෆ් විසින් ඉටු කරන ලද තීරනාත්මක කාර්යභාරය පිලිබඳ නිවැරදි විස්තරයක් සැපයීමට ජාත්‍යන්තර කමිටුවට දැන් හැකි ව තිබේ.

ඉන් ලැබෙන විස්තරයෙන්, ඇජිලොෆ් වනාහි මර්කාඩර් විසින් ට්‍රොට්ස්කිට ලංවීම සඳහා පාවිච්චි කල අහිංසක ඉත්තෙකු බවට වූ, අවුරුදු 80ක් තරම් පැරනි, අභියෝගයට ලක් නොවූ ආඛ්‍යානය නිෂ්ප්‍රභා කෙරෙයි. ඝාතනයෙන් පසුව, මෙම ප්‍රසිද්ධ පුද්ගලතාව නිමවන ලද්දේ ඇජිලොෆ් සහ මර්කාඩර් විසිනි. “අහිංසක පුංචි සිල්වියා” යන දයානුකම්පිත කතාවෙන් සැඟවී ඇති සත්‍ය කරුනු කිසි විටෙකත් බැරෑරුම් ලෙස විමර්ශනය කර නැත. එම ආඛ්‍යානය මිථ්‍යාමය තත්වයක් ලබා ගත්තේය. නමුත් මෙම මිථ්‍යාවට යථාර්ථයෙහි දී කිසිදු පදනමක් නොමැත.

මිථ්‍යාව පිලිගැන්වීම සඳහා ඇජිලොෆ්-මර්කාඩර් සම්බන්ධතාවයේ වඩාත්ම සැක සහිත මෙන්ම විශ්වාස කල නොහැකි පැති පවා  ඉතා අහිංසක හා අදේශපාලනික ආකාරයකින් අර්ථ නිරූපනය කිරීම අවශ්‍ය විය. ඇජිලොෆ්ව “වාසනාවෙන් රවටනු ලැබූ තැනැත්තියක “fortune’s fool”"ලෙස දැකිය යුතුව තිබුනි. එනම්, සංවිධානයකට සම්බන්ධ නැති, ජීවිතය පුරා අන්ධ ලෙස ඉබාගාතේ යන, එමෙන්ම තමන් සමඟ වසර දෙකක් යහන්ගත වන මිනිසාගේ ගුප්ත ජීවිත කතාවේ හා ක්‍රියාකාරකම්වල විනිවිද පෙනෙන හා විකාර සහගත ප්‍රතිවිරෝධතා හඳුනා ගැනීමට අපොහොසත් වන තරමටම මෝඩ ගැහැනියකි.

නමුත් මිථ්‍යාව සත්‍ය තොරතුරු පිලිබඳ වෛෂයික සමාලෝචනයක් මගින් විස්ථාපනය කල විට බෘක්ලින්හි තරුනිය දකින්නට ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ලෙසකිනි. 1938 සිට 1940 දක්වා, ඇජිලොෆ් හිතාමතා ගෙනගිය හැසිරීම් රටාවක නිරත වෙමින්, මොනම අහිංසක පැහැදිලි කිරීමකට හෝ ඉඩක් නැති ලෙස, ට්‍රොට්ස්කි වටලා මරා දැමීමට ජීපීයූ දරන ප්‍රයත්නයන් නිරන්තරයෙන් ඉදිරියට ගෙන ගියාය.

ඝාතනය සූදානම් කිරීමේ සෑම අදියරකදීම - මර්කාඩර් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයටත් අවසාන වශයෙන් කොයෝවාකාන්හි ආරක්ෂිත නිවස්නය තුලටත් ගෙන ඒමේදී - තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ සිල්වියා ඇජිලොෆ්ය. වර්තමාන විමර්ශනයේ නිගමනය වන්නේ ඇජිලොෆ් ජීපීයූ ඒජන්තියක වූ අතර ලියොන් ට්‍රොට්ස්කි  ඝාතනය කිරීමේ රේමන් මර්කාඩර්ගේ සහායිකාව වූ බවය.

1940 දී මෙක්සිකානු පොලිසිය ඝාතනය පිලිබඳ එකම සමකාලීන විමර්ශනය සිදු කල අතර ට්‍රොට්ස්කි ඝාතනයේ ඇජිලොෆ් හවුල්කරුවෙකු බව එමඟින් තීරනය කෙරුනි. මෙක්සිකානු නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කොට, මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීය. පෙනී යන පරිදි, ඇජිලොෆ් වරදකරු වීමෙන් ගැලැවී ඇත්තේ ඇමරිකානු බලධාරීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මතය. එවකට එස්ඩබ්ලිව්පීය ඇජිලොෆ් පිලිබඳ මෙක්සිකානු විමර්ශනය පිලිබඳ වාර්තා ලබා නොදෙමින් පක්ෂ සාමාජිකයන් අඳුරේ තැබීය. ට්‍රොට්ස්කි  ඝාතනයට තුඩු දුන් සිදුවීම් දාමය තුල ඇයගේ භූමිකාව පිලිබඳ  ඇජිලොෆ්ගේ ස්වයං-විශෝධන විස්තරය ප්‍රශ්න කිරීමට එස්ඩබ්ලිව්පීය අසමත් විය. එබැවින් වර්තමාන විමර්ශනය ආරම්භ කල යුත්තේ “දුප්පත් පුංචි සිල්වියා” පිලිබඳ මිථ්‍යාව විමසා බැලීමෙනි.

සිල්වියා  ඇජිලොෆ්ගේ මිථ්‍යාව

ඇජිලොෆ් සහ මර්කාඩර්

සිදුවීම්වල සාම්ප්‍රදායික අනුවාදයට අනුව, සිල්වියා ඇජිලොෆ් බෘක්ලින්හි සරලමතික හා චාම් සමාජ සේවිකාවකි. ස්නේහය සඳහා දැඩි ලොබින් හුන් මෙම තරුන එස්ඩබ්ලිව්පී සාමාජිකාව ජැක් මෝනාර්ඩ් විසින් ඉතා ඉක්මනින් රැවටීමට ලක් කරන ලදී. මෙම ජැක් මොනාර්ඩ් යන නාමය ඝාතකයා භාවිතා කල අන්වර්ථ නාම ගනනාවකින් එකක් වූ අතර, ඔවුන් මුන ගැසෙන විට ඔහු භාවිතා කරමින් සිටියේ එම නමයි. ඇජිලොෆ්ගේ චිත්තවේගීය දුර්වලතා සහ අත්දැකීම් අඩුකම කුරිරු ලෙස ගසා කෑ ඔහු අවසානයේදී ට්‍රොට්ස්කිගේ ගෙදරට ඇතුලුවීමට තමන්ට ඉඩ සලසා ගැනීමට ඇයව රවටා ගත්තේය.

හයක් හතරක් නොවැටහී නොදැනුවත්වම ඇජිලොෆ් විසින් විවර කෙරුනු අවස්ථාව ප්‍රහාරය සිදු කිරීම සඳහා මර්කාඩර් භාවිතා කලේය. මෙම ආඛ්‍යානයට අනුව,  ඇජිලොෆ්, මෝර්නාඩ් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් පුරා පැවති ලෙන්ගතු සම්බන්ධතාවයක් තුල, ඔහුගේ ආවරන කතාවේ ඇති කැපී පෙනෙන   ප්‍රතිවිරෝධතා නොසලකා හැර හෝ බැහැර කර ඇත. විවිධ නම් භාවිතා කිරීම, ඔහුගේ පවුල් පසුබිම පිලිබඳ විනිවිද පෙනෙන බොරු, ගුප්ත ව්‍යාපාරික ක්‍රියාකාරකම්, සහ විශාල මුදල් ප්‍රමානයකට අත පෙවීමට ඔහුට තිබූ පැහැදිලි කල නොහැකි හැකියාව ද එම ප්‍රතිවිරෝධතා අතර විය.

වඳුරන් තිදෙනා පිලිබඳ කථාවේ එන වඳුරන් තිදෙනා එක් කොට එක් පුද්ගලයෙකු වාත්තු කලා වැනිය; ඇජිලොෆ් කිසිදු නපුරක් දුටුවේ නැත, ඇයට කිසිත් නපුරක් ඇසුනේ නැත, ඒ සියල්ලටමත් වඩා - ඇය කිසිත් නපුරක් කලේ නැත.

ඇයගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ඇය මත පැවරෙන කවර හෝ සාපරාධී වගකීමකින් ඇය නිර්දෝෂ කරන මෙම කථාව මුලින්ම නිර්මානය කරන ලද්දේ මර්කාඩර් විසින්මය. “සිල්වියාට මේ සමග කිසිම සම්බන්ධයක් නැහැ,” ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ප්‍රශ්නකරුවන්ට පැවසීය. [1] ඔහු 1978 දී කියුබාවේදී මිය යන තුරුම ඔහුගේ කථාව වෙනස් නොකෙලේය. ඔහුගේ සහෝදරයා වන ලුයිස් මර්කාඩර් පසුව මර්කාඩර් ගැන මෙසේ කියයි: “ඔහු කිසි විටෙකත් තමාගේ අය පාවා දුන්නේ නැත.” [2] මර්කාඩර්ගේ මරනයෙන් පසු ඔහුගේ නීතිඥ එඩුවාඩෝ සෙනිසෙරෝස් පිලිගත්තේ, “ඔහු දරුනුතම කුනාටු මැදින් ගියත් ඔහු කිසිවෙකුට කිසිවක් පාපොච්චාරනය කලේ නැති” බවයි. [3]

“දුප්පත් කුඩා සිල්වියාගේ” අනුකම්පා සහගත ප්‍රතිරූපයට පදනම වූයේ, ස්ටැලින්වාදී රහස් පොලිසිය සමඟ තමාට කිසිම සම්බන්ධයක් නැති බව කියා සිටිමින්ම වුව, මර්කාඩර් ඇයට ලබා දුන් අන්‍යස්ථානිකභාවයේ සහතිකයයි.

ඇජිලොෆ් දිගු කලක් තිස්සේ කියා සිටියේ, මර්කාඩර්ගේ පාවාදීම නිසා ඒ සා කම්පනයට පත් වීමෙන් තමන් උන්මත්තක භාවයට පත් වූ හෙයින්, මෙක්සිකානු පොලිසිය හෝ එජ ෆෙඩරල් ඒජන්තවරුන් තමන් වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට තමන්ට පිලිතුරු දිය නොහැකි වූ බවයි. තමන්, ස්වකීය අවබෝධය ඉක්මවා යන නාටකයක සිදුවීම් අතරට හසු වූ විශ්වාසවන්ත එස්ඩබ්ලිව්පී සාමාජිකාවකැයි ඇය දිගටම කියා සිටියය. අත්‍යන්ත කම්පනයකට ගොදුරු වූ බවක් පෙන්නුම් කල ඇය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හැර ගිය අතර නැවත කිසි දිනෙක රැඩිකල් දේශපාලනය තුල මතු නොවූවාය. ඝාතනය අවසාන වූ වහාම මෙක්සිකානු ආන්ඩුව විසින් කෙරුනු විමර්ශනයේ දී හැරුනු කොට කිසිවෙක් - අන් සියල්ලන් තබා එස්ඩබ්ලිව්පීය පවා - ඝාතකයා විසින්  ඇජිලොෆ්ට සම්පාදනය කර දෙන ලද අන්‍යස්ථානිකභාවය විචාරාත්මකව විමසා බැලීමට උනන්දු නොවූහ.

අපරාධය පිලිබඳ ප්‍රධාන චිත්‍රපට දෙකක් - ජෝසෆ් ලොසීගේ The Assassination of Trotsky (1972) සහ ඇන්ටෝනියෝ චවරියාස්ගේ The Chosen (2016) - මිනීමැරුම් කුමන්ත්‍රනය පිලිබඳ ඔවුන්ගේ කථා ප්‍රවෘත්තියේ කේන්ද්‍රයේම මිථ්‍යාව ස්ථානගත කර ඇත. ඇජිලොෆ් සම්බන්ධයෙන් ගත් කල, ඇය සිය ජීවිතයේ ඉතිරි අවුරුදු 55 සමෘද්ධිමත් නිර්නාමිකභාවයක් තුල ගෙවා දැම්මාය. අවසානයේදී සැප පහසු මෑන්හැටන් මහල් නිවාසයක පදිංචිව සිටි ඇජිලොෆ් 1995 දී, වයස අවුරුදු 86ක් ගෙවා, 20 වන සියවසේ ඛේදවාචකයක මේ සා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට පැමිනියේ කෙසේද යන්න පිලිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් නොකරම මිය ගියාය.

සිල්වියා ඇජිලොෆ් [Photo: Public domain]

ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ කුමන්ත්‍රනය පරෙස්සමින් ප්‍රතිනිර්මානය කර බැලීමේ දී ප්‍රතික්ෂේප කල නොහැකි එක් කරුනක් මතු වේ: සිදුවීම් දාමයෙන් ඇජිලොෆ් ඉවත් කරන්න, 1940 අගෝස්තු 20 වන දින කිසිදු ඝාතනයක් සිදු නොවනු ඇත. සිල්වියා ඇජිලොෆ් සමග තිබූ සම්බන්ධතාවය හරහා ඉඩ විවර නොවන්නට මර්කාඩර්ට ට්‍රොට්ස්කිගේ මිදුලට ඇතුලු වීමට නොහැකි වීමට ඉඩ තිබුනි. ඝාතනයට පෙරාතුව, “ඇත්තටම සිල්වියාගේ පෙම්වතා කවුද?” කියා ප්‍රශ්න කරනු ලැබුවේ නම් මර්කාඩර් සහ ඇජිලොෆ් යන දෙදෙනාම වටා ඇති ප්‍රශ්න රාශියකට දොර විවර වනු ඇත. 1940 මැයි 24 වන දින ස්ටැලින්වාදී ඒජන්තවරුන් විසින් ට්‍රොට්ස්කිගේ ජීවිතය විනාශ කිරීමට ගත් අසාර්ථක උත්සාහයෙන් පසුව නිසැකවම සහතික කල යුතු කාර්යයක් වන “ජැක් මෝර්නාර්ඩ්-ෆ්‍රෑන්ක් ජැක්සන්ගේ” සද්භාවය පිලිබඳව කෙරෙන හුදු ලුහුඬු විමසා බැලීමකින් පවා ඔහු සැකයේ ඉලක්කයක් බවට පත් වීමට, ට්‍රොට්ස්කි වෙත ඔහුගේ ප්‍රවේශය කපා හැරීමට හා පහත ප්‍රශ්නය මතුකිරීමට ඉඩ තිබුනි:  සිල්වියා ඇජිලොෆ් ඔහු මෙහි රැගෙන ආවේ ඇයි?

ට්‍රොට්ස්කිගේ මරනයෙන් සති හයකට පසු 1940 සැප්තැම්බර් 28 වන දින, එස්ඩබ්ලිව්පී පුන්සැසියකට කල කතාවකදී එස්ඩබ්ලිව්පී නායක ජේම්ස් පී. කැනන් විසින් මෙය අඩු වැඩි වශයෙන් පිලිගනු ලැබීය.

අතීතයෙන් පැමින ශේෂ වූවක් සේ මෙම ව්‍යාපාරය තුල පැවත ආ නොසැලකිලිමත්කමක් තිබේ. ප්‍රමුඛ ස්ථානවල පවා සිටින මිනිසුන්ගේ අතීතය - ඔවුන් පැමිනියේ කොහෙන්ද, ඔවුන් ජීවත් වන්නේ කෙසේද, ඔවුන් විවාහ වී සිටින්නේ කා සමඟ ද ආදිය - ගැන අප ප්‍රමානවත් තරම් ගැඹුරින් සොයා බැලුවේ නැත.  අතීතයේ දී, විප්ලවවාදී සංවිධානයකට අතිමූලික වූ මෙවැනි ප්‍රශ්න මතු වූ විට, සුලු ධනේශ්වර විපක්ෂය, “මාගේ දෙවියනි, ඔබ සහෝදරවරුන්ගේ පෞද්ගලික ජීවිත ආක්‍රමනය කරන්නෙහිය!" යනුවෙන් හඬා වැටෙනු ඇත. ඔව්, නිරවද්‍යව ම, අප කරමින් සිටියේ, හෝ වඩාත් නිවැරදිව කිවහොත් කරන බවට තර්ජනය කරමින් සිටියේ එයයි. එහෙත් අතීතයේ දී එයින් අපට කිසිත් ලබා ගැනීමට නොහැකිවිය. අප එවැනි කාරනා ගැන තවත් මඳක් විමසිලිමත්ව බැලීමු නම්, ගත වූ දිනවල සිදු වූ සමහර අයහපත් දේ වලක්වා ගත හැකි වන්නට තිබින. [4]

කැනන්ගේ විස්තාරනය නොකල ප්‍රකාශය, කොයොවාකාන්හි දී ට්‍රොට්ස්කි අවට සිටින පුද්ගලයින් සහ පක්ෂයේ “ප්‍රමුඛ තනතුරු” පිලිබඳව විමර්ශනය කිරීමට එස්ඩබ්ලිව්පීය අපොහොසත් වී ඇති බව පිලිගැනීමකි.

කැනන් ප්‍රකාශ කලේ තවත් ප්‍රශ්න ඇසීම සහ “තව ටිකක් ප්‍රවේශමෙන් දේවල් පරීක්ෂා කිරීම” අවශ්‍ය බවයි. එය අවම වශයෙන් කිවහොත් තත්ත්වය අඩුවෙන් දැක්වීමකි. කැනන් එම වචන කථා කරන විට, මිනීමැරුම් චෝදනාව මත සිල්වියා ඇජිලොෆ් මෙක්සිකානු පොලිසිය විසින් රඳවා ගනු ලැබ තිබුනි. නමුත් කැනන්ගේ ක්‍රියාව ඔහුගේ වචනවලට අනුකූල වීමට සමත් වූයේ නැත. ට්‍රොට්ස්කිගේ මරනයෙන් පසු එස්ඩබ්ලිව්පීය ඇජිලොෆ් සම්බන්ධයෙන් සම්පූර්න නිශ්ශබ්දතාවයක් පවත්වා ගෙන ගිය අතර ඇයට නිර්නාමිකභාවයට පසුබැසීමට ඉඩ දුන්නේය. එස්ඩබ්ලිව්පී පුවත්පත වන මිලිටන්ට්, ඝාතනයෙන් පසු ඇය අත්අඩංගුවට ගැනීම ගැන වාර්තා නොකල අතර 1950 දී ඇජිලොෆ් ඇමරිකානු නොවන ක්‍රියාකාරකම් පිලිබඳ සභා කමිටුව හමුවේ පෙනී සිටි විට එය ඇගේ සාක්ෂිය ගැන කිසිදු සටහනක් තැබුවේ නැත.

මිථ්‍යාව සහ යථාර්ථය අතර පරස්පරතා: සිල්වියා ඇජිලොෆ් යනු කවුද?

මෙම පරීක්ෂනය සිල්වියා ඇජිලොෆ්ට අදාල තීරනාත්මක ප්‍රශ්න විමසා බලයි: ඇගේ පවුල් පසුබිම කුමක්ද? ඇගේ දේශපාලන ඉතිහාසය කුමක්ද? ඇය මිතුරන් හෝ පවුලේ අය හරහා ස්ටැලින්වාදීන් සමඟ පෞද්ගලික සම්බන්ධතා පැවැත්වූවාද? ඇය ව්‍යාපාරයට හඳුන්වා දුන්නේ කෙසේද සහ, ට්‍රොට්ස්කි සමඟ ඇය සමීපව සිටීම සාධාරනීකරනය කල හැකි ආකාරයේ කවර දායකත්වයක් - ඉදින් එවැන්නක් ඇත්නම් - ඇය ලබා දී තිබිනි ද? ඇජිලොෆ්ගේ වරද හෝ නිර්දෝෂීභාවය ගැන මෙක්සිකානු බලධාරීන් විශ්වාස කලේ කුමක්ද? ඇජිලොෆ්ගේ අන්‍යස්ථානිකභාවයන් (alibis) කරුනු සමඟ සැසඳෙන්නේ කෙසේද?

ඇජිලොෆ්ගේ සැලකිය යුතු ශාස්ත්‍රාලයීය පුහුනුව, පුවත්පත් වාර්තා,  ඇජිලොෆ් සහ මර්කාඩර් දන්නා අයගේ සමකාලීන නිරීක්ෂන, ඇජිලොෆ් සහ මර්කාඩර්ට එරෙහි මෙක්සිකානු නඩු විභාගයේදී ඇජිලොෆ් පවුලේ සාමාජිකයන් ඉදිරිපත් කල ප්‍රකාශ, ඝාතනය පිලිබඳව පල වූ ප්‍රකාශන, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තර විමර්ශනය මගින් අනාවරනය කරගත් එෆ්බීඅයි වාර්තා සහ වෙනත් වටිනා තොරතුරු ආදී වශයෙන් වූ කරුනුමය වාර්තාවලින් උකහා ගනිමින් දැන් මෙම ප්‍රශ්නවලට පිලිතුරු සැපයිය හැකිය.

මෙම විමර්ශනය, මෙක්සිකෝවේ ෆෙඩරල් අපරාධ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ ප්‍රකට මෙක්සිකානු අපරාධ විද්‍යාඥ මාටින් ගේබ්‍රියෙල් බැරන් කෘස් (ජාතික දන්ඩන විද්‍යා ආයතනය මෙක්සිකෝව, 2018) විසින් රචිත, "ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය තුල කාරක ක්‍රියාකාරකම්" යන කෘතිය ද ඇතුලු, මෑතකදී ස්පාඤ්ඤ භාෂාවෙන් සිදු කොට ඇති පර්යේෂන ද ඉවහල් කර ගනී. ඉහත සඳහන් කෘතිය තුල මෙක්සිකානු ඉතිහාසයේ වැදගත්ම අපරාධ විමර්ශනය පිලිබඳ සවිස්තරාත්මක නැවත සලකා බැලීමේ විශ්ලේෂනයක් අඩංගු වන අතර, ඇජිලොෆ් සහ මර්කාඩර්ට එරෙහි අපරාධ නඩුවේ තීරනාත්මක නීතිමය ගොනු කිරීම්වල ප්‍රතිනිෂ්පාදනයක් ද ඊට ඇතුලත් ය. ඇජිලොෆ් සහ මර්කාඩර් ද ඇතුලුව, ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ ප්‍රශ්න කිරීම් පිටපත් වල උපග්‍රන්ථයක් එහි අඩංගු වේ.

මෙම රචනය වැදගත් ස්පාඤ්ඤ භාෂා පොත් දෙකක් ගැන ද සඳහන් කරයි: ඒවා නම්, ග්‍රෙගෝරියෝ ලුරි විසින් රචිත පොරොන්දු වූ අහස: ස්ටාලින්ගේ සේවයේ සිටි කාන්තාවක් (Editorial Ariel, 2016); සහ එඩ්වඩ් පුයිවෙන්ට්ස් ලෝපෙස් විසින් රචිත ද රේමන් මර්කාඩර්: මෑන් ඔෆ් ද පියොලට් (New Books, 2015) ය.

මෙම සාක්ෂ්‍යමය වාර්තාව මත පදනම්ව, පුරාවෘත්තයන්හි එන සිල්වියා ඇජිලොෆ්, සැබෑ පුද්ගලයා හා දැන් සැසඳිය හැකිය.

“දුප්පත් පුංචි සිල්වියා” යන මිථ්‍යාව දිගටම පැවතීම සඳහා, ඇයට සමාජවාදී කම්කරු පක්ෂය විසින් ආරෝපනය කරනු ලදුව පසුකලෙක සිනමාරූපී ආඛ්‍යාන ප්‍රබන්ධ මඟින් ජනප්‍රියත්වයට පත් වූ පුද්ගල ස්වභාවය - එනම්, ඇය ලඳ බොලඳ, අත්දැකීම් අඩු සමාජ සේවිකාවක්; පුවත්පත්වල 'සිතට සහනයක්' තීරුවලට ලිපි යවන වර්ගයේ අයෙක් ආදී වශයෙන් වූ පුද්ගලතාව - අවිවේචනාත්මකව පිලිගැනීම අවශ්‍ය වේ. මෙම මිථ්‍යාවේ නොනැසී පැවැත්ම රඳා පවතින්නේ එය කිසි විටෙකත් ප්‍රශ්න නොකිරීමේ හේතුව මත ය; මක්නිසාදයත්, නිර්මානය කෙරී ඇති පුද්ගලතාවය හා ඇත්තෙන්ම ඇජිලොෆ් කවරෙකුව සිටියා ද යන්න අතර මොනයම් ම හෝ සම්බන්ධතාවයක් නොමැති හෙයිනි.

විමර්ශනය අත්‍යවශ්‍ය ලෙස ම ආරම්භ වන්නේ ඇජිලොෆ් පවුල පිලිබඳ පරීක්ෂාවකිනි.

සැමුවෙල් ඇජිලොෆ්

1909 දී උපත ලද සිල්වියා ඇජිලොෆ්, නිවසේදී රුසියානු භාෂාව කතා කල රුසියානු සංක්‍රමනිකයන් වන සැමුවෙල් ඇජිලොෆ් (1884-1972) සහ ඇනා මැස්ලෝ (1881-1930) ගේ දියනියයි. සැමුවෙල් උපත ලැබුවේ බෙලරුසියාවේ ලෙපෙල්හි වන අතර 1900 දී පමන එක්සත් ජනපදයට සංක්‍රමනය වී 1902 දී ඇනා සමඟ විවාහ විය. ඇනාගේ මරනයෙන් පසු සැමුවෙල් නැවත විවාහ විය.

සැමුවෙල් ඇජිලොෆ් නිව්යෝර්ක් නගරයේ ධනවත් දේපල වෙලඳාම් ව්‍යාපාරිකයෙකු බවට පත්විය. ඇජිලොෆ් සහෝදරියන්ගේ ජීවිත පිලිබඳ The Two Sisters of Coyoacán නම් ප්‍රබන්ධාත්මක වාර්තාවක කතුවරිය වන රොබර්ටා සැටෝව්ට අනුව:

1917 වන තෙක් ඔහු ප්‍රධාන වශයෙන් පවුල් වාසස්ථාන අලුත්වැඩියා කිරීමට උනන්දු වූ නමුත් පසුව පොදු ගරාජ ඉදිකිරීමේ පුරෝගාමියෙක් වූයේය. ඔහු කෝනි දූපතේ සහ බෙන්සන්හර්ස්ට්හි වාසස්ථාන සහ ෆ්ලැට්බුෂ් මාවතේ වෙලඳසැල් ද ඉදි කලේය. පසුව ඔහු විලියම්ස්බර්ග්හි බද්ධ නිවාස ඉදි කල අතර, කාර්යාල ගොඩනැගිලි අනූ නව අවුරුදු බද්දකට බදු දීම ද, කාර්යාල සඳහා ගොඩනැඟිලි කුලියට දීම ද සිදු කලේය. මෙසේ කුලියට දුන් ගොඩනැඟිලි අතර සංගීත ඇකඩමිය ඉදිරිපිට කාර්යාල ගොඩනැගිල්ලක් ද විය. [5]

සැටෝව්ගේ කතාව ප්‍රබන්ධයක් වුවත් ඇය සැමුවෙල් ඇජිලොෆ් පිලිබඳ රැස් කල පසුබිම් තොරතුරු කරුනුමය වශයෙන් නිරවද්‍ය ය. සැමුවෙල් ඇජිලොෆ් කෝනි දූපතේ නිවාස 48 ක්, බෙන්සන්හර්ස්ට් හි 65 ක් සහ බෘක්ලින්හි ෆ්ලැට්බුෂ් මාවතේ බොහෝ වෙලඳසැල් ඉදිකර ඇති බව ඇගේ පර්යේෂනයෙන් සොයා ගෙන තිබින. ඔහු 1929 දී මැන්හැටන් හි නැගෙනහිර තුන්වන වීදියේ සහ හතරවන වීදියේ පිහිටි ඇජිලොෆ් කුලුනු දෙක ඉදිකලේය. [6]

සැමුවෙල් ඇජිලොෆ් දැන්වීම, බෘක්ලින් ඩේලි ඊගල්, 1923

“මෙය ඉතා ධනවත් පවුලක් වීයැ"යි සැටෝව් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පවසා තිබේ. [7] සාර්ථක ව්‍යාපාරිකයින්ට අමතරව, පවුලට කලාකරුවන් සහ මනෝ විද්‍යාඥයින් ද ඇතුලත් විය. ලෝසවෙඅය ඇජිලොෆ්ගේ ඥාතියෙකු හා වෘත්තියෙන් මනෝ විද්‍යාඥවරියක වන ඇමී ෆෙල්ඩ් සමඟ කතා කල අතර, ඇය පැවසූවේ ෆ්‍රැන්කෝ-රුසියානු චිත්‍ර ශිල්පී මාක් චගල් සහ “අවශ්‍යතා ධුරාවලිය” පිලිබඳ න්‍යාය වර්ධනය කල ජාත්‍යන්තර කීර්තිමත් මනෝ විද්‍යාඥ ඒබ්‍රහම් මැස්ලෝ ද ඇජිලොෆ් සහෝදරියන්ගේ ඥාතීන් වූ බවයි.  

ඇජිලොෆ්ට දියනියෝ සිව්දෙනෙක් ද - ලිලියන් (1902-1986), හිල්ඩා (1906-1997), සිල්වියා (1909-1995) සහ රූත් (1913-2009) - පුත්තු දෙදෙනෙක් ද - ඇලන් (1903-1997) සහ මොන්ටේ (1907-1965) - වූහ. සිල්වියා ඉහලින්ම දේශපාලනික වූ පවුලකින් පැවත එන අතර සහෝදරියන් අතරින් තිදෙනෙක්ම තරුන වියේදී සමාජවාදී දේශපාලනයට අවතීර්න වූහ.

හිල්ඩා ඇජිලොෆ්

1931 සැප්තැම්බර් 2 වන දින බෘක්ලින් ඩේලි ඊගල් පුවත්පත වාර්තා කලේ හිල්ඩා ඇජිලොෆ් සෝවියට් දේශයට ගොස් සෝවියට් සංගමයේ මහජන අධ්‍යාපනය පිලිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වූ ලෙනින්ගේ වැන්දඹුව වන නදීෂ්දා කෘප්ස්කායා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. මෙම සංචාරය සිදු කෙරුනේ ට්‍රොට්ස්කි තුර්කියට පිටුවහල් කිරීමෙන් වසර දෙකකට පසුව හා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් ඔහුගේ අනුගාමිකයින්ට පීඩා කරනු ලැබෙද්දී ය. ට්‍රොට්ස්කි කෙරෙහි සහකම්පාව දැක්වූ කෘප්ස්කයාට බොහෝ කලකට පෙර වාම විපක්ෂය හෙලා දැකීමට බල කෙරී තිබින.

බෘක්ලින් ඩේලි ඊගල්, 1931 සැප්තැම්බර් 2

බෘක්ලින් ඩේලි ඊගල් පුවත්පතට අනුව:

වෙස්ට්මිනිස්ටර් පාරේ 198 හි හිල්ඩා ඇජිලොෆ් මෙනෙවිය ඇගේ මාස තුනහමාරක රුසියානු සංචාරයේ ඉහලම ලක්ෂ්‍යය වූ ලෙනින් මැතිනිය සමඟ කල සම්මුඛ සාකච්ඡාව ගැන අද පැවසූවාය.

සමූහ ගොවිපලවල් සහ නගරවල ලමුන් රැකබලා ගන්නා බාලාංශ හා පෙර පාසැල්වල භාවිතා වන ප්‍රගතිශීලී අධ්‍යාපනයේ නව ක්‍රමවේදයන් පිලිබඳව ඇජිලොෆ් මෙනවිය විශේෂ අධ්‍යයනයක් කරමින් සිටින හෙයින්, ලෙනින් මැතිනියගෙන් බොහෝ ප්‍රශ්න ඇසීමට ඇය අපේක්ෂා කලාය. ...

සම්මුඛ පරීක්ෂනයක් සංවිධානය කිරීම පහසු නොවීය. විදේශීය පුවත්පත්වල බොහෝ වාර්තාකරුවන් ප්‍රතික්ෂේප වී තිබුනි… නමුත් දුෂ්කරතා සමනය වී අවසානයේ දිනක ඇජිලොෆ් මෙනවිය, රුසියාව තම ගැලවුම්කාරයා ලෙස බුහුමන් කරන පුරුෂයාගේ බිරිඳ ඉදිරියේ පෙනී සිටියාය.

හිල්ඩා ඇජිලොෆ් මෙසේ කී බව දැක්වෙයි: “විප්ලවයෙන් පසුව ඔවුන් මෙම කාර්යය ආරම්භ කල අවස්ථාවේ එය ශක්‍යතාවයක් නොවූවා විය හැක. නමුත් ලෙනින් මැතිනිය විශ්වාස කරන්නේ, කොමියුනිස්ට්වාදයේ මූලධර්මවලට අනුව ජනතාව ජයග්‍රහනය කර ඇති බවයි.”

ලිපිය මෙසේ අවසන් වූයේය: “ ඇජිලොෆ් මෙනවිය ලෙනින් මැතිනියගේ උද්‍යෝගයෙන් කොටසක් බෙදා හදා ගන්නා අතර ප්‍රගතිශීලී අධ්‍යාපන ව්‍යාපාරය සමඟ තවදුරටත් කටයුතු කිරීම සඳහා රුසියාවට ආපසු යාමට අදහස් කරන බව පැවසුවාය”.

1931 දෙසැම්බර් 27 වන දින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, හිල්ඩා ඇජිලොෆ්ගේ නමින්, “සෝවියට් සංගමය පෙර පාසල් වැඩකටයුතු වලට තල්ලුව දෙයි: විශාල ප්‍රගතියක් වාර්තා වේ” යන මාතෘකාව යටතේ ලිපියක් පල කලේය. “නූතන අධ්‍යාපන ලෝකයේ ප්‍රවනතා සහ වඩදිය බාදිය” යන මාතෘකාව යටතේ ඉරිදා ලිපි මාලාවක ප්‍රධාන ලිපිය වූයේ මෙම කතාවයි.

ඇගේ ලිපිය රටේ අධ්‍යාපන ක්‍රමය පිලිබඳ ස්ටැලින්වාදී ගැති විස්තරයක් සහ ස්ටැලින්වාදී නිලධරය උත්කර්ෂයට නැංවීමකි. එය ස්ටැලින්වාදියෙකු හෝ ස්ටැලින්වාදී සහගාමිකයෙකුට පමනක් ලිවිය හැකි වර්ගයේ ලිපියකි.

ඇජිලොෆ්ගේ වාර්තාව විශේෂයෙන් සෝවියට් සංගමයේ “බලධාරීන්” විසින් “ලුනාචාර්ස්කි මහජන අධ්‍යාපන කොමසාරිස් ධුරයෙන් නෙරපා හරිනු ලැබීමෙන් පසු" ලබා ඇති දියුනුව ගැන ප්‍රශංසා කලේය. 1929 දී සෝවියට් සංගමයෙන් නෙරපා හරින ලද ට්‍රොට්ස්කි හා සම්බන්ධ ඕනෑම අයෙකු පසෙකට දැමීමේ නිලධාරි තන්ත්‍රයේ ප්‍රයත්නයන් විසින් ඇනටෝලි ලුනාචර්ස්කි සිය ධුරයෙන් නෙරපා හරින ලදී.

හිල්ඩා ඇජිලොෆ්ගේ ලිපිය ප්‍රශංසා කලේ “බලධාරීන් දැන් ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානවල සහ සාමූහික ගොවි කලාපවල ස්ථාවර ගොඩනැඟිලි වැඩසටහනක් ආරම්භ කර ඇති” බවයි. ස්ටැලින්වාදී ආඛ්‍යානය අවිවේචනාත්මකව ඉදිරියට ගෙන යමින් ඇය ලීවේ: “බලධාරීන් දැඩි සටනක යෙදී සිටිමින්” “ශ්‍රේෂ්ඨ හා මානුෂීය කාර්යයක්” සාක්ෂාත් කරන බවයි. “ඊලඟ පස් අවුරුදු සැලැස්මේ” සාර්ථකත්වය “අනාගත ලෝකයට උත්පත්තිය දෙන මව්පියන් වන තරුන කොමියුනිස්ට්වාදීන් මත රඳා පවතින" බව ප්‍රව්ඩා ආකාරයේ විලාසිතාවකින් ඇය ලියුවාය.

වෘත්තීය හා සංස්කෘතික හුවමාරුව සඳහා මෙම කාලය තුල සමහර ඇමරිකානුවන්ට සෝවියට් සංගමයට යාමට අවකාශ ලැබුනු අතරම, රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය සාකච්ඡා කිරීම සඳහා සෝවියට් සංගමයේ සියලු ප්‍රමුඛ පුද්ගලයින් අතරින් ලෙනින්ගේ වැන්දඹුව සමඟ රැස්වීමක් සූදානම් කිරීම, බෘක්ලින් ඩේලි ඊගල් සඳහන් කලාක් මෙන්ම, පහසුවෙන් පිලියෙල කල හැක්කක් නොවේ. සෝවියට් රජයේ ඉහලම මට්ටම්වලින්, එනම් ස්ටැලින් වෙතින්ම ලැබෙන අනුමැතියකින් තොරව හිල්ඩා ඇජිලොෆ්ට ලෙනින්ගේ වැන්දඹුව හමුවීමට ඉඩ නොලැබෙනු ඇත. ඇගේ ගමනට අවකාශ සැලැසූ සෝවියට් බලධාරීහු ඇජිලොෆ් පවුල විශ්වාස කලෝය.

යුරෝපයට ගිය ගමනේදී හිල්ඩා සමඟ ඇගේ සහෝදරියන් ද ගොස් තිබූ නමුත්, ඔවුන් ඇය සමඟ රුසියාවට ගියාද යන්න පැහැදිලි නැත. නමුත් ග්‍රෙගෝරියෝ ලුරි, ඔහු ලියූ මර්කාඩර් පවුලේ චරිතාපදානයේ මෙසේ ලිවීය: “සහෝදරියන් තිදෙනා 1931 අගෝස්තු අවසානයේ එක්සත් ජනපදයට ආපසු ආවේ, මානව වර්ගයාගේ අනාගතය සෝවියට් සංගමය හරහා ගමන් කරන බවට වූ ඒත්තු ගැනීම ද සමඟය.” [8] ඒ වන විට සිල්වියාගේ වයස අවුරුදු 22 ක් වන්නට ඇත. රූත්ට වයස අවුරුදු 18 කි.

රූත් ඇජිලොෆ්

සිල්වියාගේ බාල සොහොයුරිය වන රූත් ඇජිලොෆ් ද දේශපාලන ජීවිතයක් ගත කල අතර, තවත් සංකීර්න දේශපාලන පවුලකට ආවාහ වූවාය.

Young Sidney Hook: Marxist and Pragmatist (යං සිඩ්නි හුක්: මාක්ස්වාදියා හා තත්කාර්යවාදියා) නම් පොතේ කතුවරයා වන ක්‍රිස්ටෝපර් ෆෙල්ප්ස්ට අනුව, රූත් සහ සිල්වියා නිව්යෝර්ක් සරසවියේ ශිෂ්‍යාවන්ව සිටියදී, එහි ආචාර්යවරුන් වූ ජේම්ස් බර්න්හැම් හා හුක්ගේ උපදෙස් මත, රැඩිකල් දේශනාකරුවෙකු වූ ඒ.ජේ. මස්තේ විසින් නායකත්වය දරන ලද වාමාංශික පක්ෂයක් වන ඇමෙරිකානු කම්කරු පක්ෂයට (American Workers Party - ඒඩබ්ලිව්පී) බැඳීමට පෙලඹුනාහ. [9] විශේෂයෙන් සඳහන් කල යුත්තේ, චරිතාපදානයේ එක් පාද සටහනක ෆෙල්ප්ස් සඳහන් කර ඇති පරිදි, "මෙකී චරිතාපදානය පිලිබඳ සියලු සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වීම ඇජිලොෆ් සහෝදරියන් මුල සිටම ප්‍රතික්ෂේප කර ඇති" බවයි. [10]

රූත් ඇජිලොෆ් 1937 සිට මෙක්සිකෝ නගරයේ ට්‍රොට්ස්කිගේ ලේකම්වරිය ලෙස සේවය කලාය. ඒ වනවිට ඇය 23 හැවිරිදි වියේ සිටියාය. ඇය මෙම තනතුරට පත් වූයේ කෙසේදැයි හරියටම පැහැදිලි නැත. ඇය සිය සේවාවන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවා වීමට බොහෝ සේ ඉඩ ඇත. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් විසින් පවත්වාගෙන ගොස් තිබූ ලිහිල් ආරක්ෂාව සැලකිල්ලට ගෙන කිව හැක්කේ, රුසියානු භාෂාව චතුර ලෙස දැන සිටීම ඇය මෙක්සිකෝවට යැවීමට ප්‍රමානවත් වූවා විය හැකි බවයි. මෙය එස්ඩබ්ලිව්පීයේ කුඩා කාර්ය මන්ඩලයට නියෝජිතයින් ඇතුලු කිරීම සඳහා ස්ටැලින්වාදීන් විසින් භාවිතා කරන ලද ක්‍රමයකි. ඉන් යන්තම් වසරකට පසුව, 1938 දී, චිකාගෝහි ස්ටැලින්වාදිනියක වූ සිල්වියා කැලන් නිව්යෝර්ක් වෙත ගොස් එස්ඩබ්ලිව්පීයේ ජාතික කාර්යාලයේ සේවය කිරීමට ඉදිරිපත් වූවාය. මාස කිහිපයක් ඇතුලත ඇය එස්ඩබ්ලිව්පී නායක ජේම්ස් පී. කැනන්ගේ පෞද්ගලික ලේකම්වරිය බවට පත්විය.

ටයිම් සඟරාවේ ඡායාරූපයේ දැක්වෙන්නේ ට්‍රොට්ස්කි සමඟ හිල්ඩා සහ රූත් ඇජිලොෆ් හමුවීමයි

2009 පෙබරවාරි 4 වන දින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, රූත් ඇජිලොෆ් (විවාහක නම, පූලෝස්) ගේ මරනය පිලිබඳව මෙසේ පල කලේය.

පූලොස් - රූත් ජී., 1913 නොවැම්බර් 13 - 2009 ජනවාරි 31; ජෝන් ජී. පූලොස්ගේ වැන්දඹුව; රුසියානු සංක්‍රමනිකයන් වූ ඇනා මැස්ලෝ සහ සැමුවෙල් ඇජිලොෆ්ගේ දියනිය සහ ඇජිලොෆ් සහෝදර සහෝදරියන්ගේ බාලයා; නිව්යෝර්ක් සරසවියේ බීඒ උපාධිධාරිනිය හා පසුව කොලොම්බියාවේ මනෝ විශ්ලේෂනය සඳහා ජාතික මනෝවිද්‍යා සංගමයේ එම්ඒ උපාධිධාරිනිය; 1936 දී [පුවත්පතේ සඳහන් වූ ආකාරයට] හා 37 දී ඇය ලියොන් ට්‍රොට්ස්කිගේ සහ ජෝන් ඩිවි කොමිසමේ ලේකම් ලෙස මෙක්සිකෝ නගරයේ විසුවාය. වයසින් පනස් විය ඉක්මවා මනෝචිකිත්සකවරියක බවට පත් වූ ඇය වයසින් අසූ ගනන් දක්වාම ප්‍රතිකාර කිරීමෙහි යෙදුනාය. [11]

ට්‍රොට්ස්කි 1937 ජනවාරි වන තෙක් මෙක්සිකෝවට නොපැමිනියේය. රූත් මෙක්සිකෝවේ දී ට්‍රොට්ස්කි වෙනුවෙන් සේවය කල අතර, සිල්වියාට අනුව, ඇය නිර්දේශ කලේ ජේම්ස් පී. කැනන්ය. මෙක්සිකානු අපරාධ විද්‍යාඥ මාටින් ගේබ්‍රියෙල් බැරන් කෘස් ලියා ඇත්තේ, ඝාතනයෙන් පසු මෙක්සිකානු බලධාරීන් “රූත් ට්‍රොට්ස්කි වෙත නිර්දේශ කලේ කවුරුන්ද යන්න පිලිබඳව සිල්වියාගෙන් ප්‍රශ්න කල අතර ඇය ඒ කැනන් බව පාපොච්චාරනය කල" බවය.එක්සත් ජනපදයේ ඕනෑම පුද්ගලයෙකුට ට්‍රොට්ස්කි සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය සෑම විටම එය සිදු කරනු ලැබුවේ සමාජවාදී කම්කරු පක්ෂය හරහාය. [12] [මේ ආකාරයෙන් ඇගේ සහෝදරිය] ඇය ට්‍රොට්ස්කි වෙත ඉදිරිපත් කරන වරපත්‍රයක් ලබා ගත්තාය.” [13]

මෙක්සිකෝවේ වැඩ කිරීමෙන් පසුවද රූත්ගේ දේශපාලන ජීවිතය පවත්වා ගැනින. 1940 ජුනි මාසයේදී මෙක්සිකෝ සිට ආපසු පැමිනීමෙන් පසුව, 1930 ගනන්වල වැඩ වර්ජන ව්‍යාපාරය තුල ප්‍රමුඛත්වය ලබා ගත් වෘත්තීය සමිතිවාදියෙකු වූ ජෝන් පූලෝස් (1911-1980) සමඟ විවාහ වූ රූත්, 1938 දී කාර්මික සංවිධානවල ආරම්භක සම්මේලනයේ නියෝජිතයෙකු බවට ද, සමාජවාදී කම්කරු පක්ෂයේ ජාතික කමිටුවේ සාමාජිකාවක බවට ද පත් වූවාය. පූලෝස් පසුව එස්ඩබ්ලිව්පීයෙන් ඉවත්ව මැක්ස් ෂැට්මන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයට බැඳුනි. ඔහු මිය යන තුරුම ෂැට්මන්වාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටි අතර එහි ප්‍රකාශනය වන ලේබර් ඇක්ෂන් සඳහා නිතිපතා දායක විය.

පූලොස්ගේ සහෝදරයා ද, ඔහුගේ සමීපතමයා ද, ජීවිත කාලයක් පුරා ඔහුගේ සහකාරකයා ද වූ කොන්ස්ටන්ටයින් පූලොස්, දෙවන ලෝක සංග්‍රාමය සමයේ  බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අරමුදල් සැපයූ හා බ්‍රිතාන්‍ය බුද්ධි වත්කම් සඳහා මාධ්‍යවල අක්තපත්‍ර ලබා දීම සඳහා භාවිතා කරන ලද ඕවර්සීස් නිව්ස් ඒජන්සිය විසින් බඳවා ගනු ලැබීය. [14] ඔහුට සංකීර්න දේශපාලන ඉතිහාසයක් තිබූ අතර පෙනෙන හැටියට ඔහු ස්ටැලින්වාදියෙකි. ග්‍රීක සිවිල් යුද්ධය අතරතුර, කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන ලද EAM-ELAS මිලීෂියාව සමඟ සම්බන්ධ වූ පලමු ඇමරිකානු මාධ්‍යවේදියා කොන්ස්ටන්ටයින් පූලෝස් ය. සිවිල් යුද්ධයෙන් පසුව, ඔහු එක්සත් ජනපද සාකච්ඡාකරුවන් ස්ටැලින්වාදී ඊඑම්-එලස් නායකත්වය සමඟ සම්බන්ධ කල අතරමැදියෙකු විය. කොමියුනිස්ට් පක්ෂය සමඟ තිබූ සබඳතා නිසා එවිට කොන්ස්ටන්ටයින් රාජාන්ඩු රජය විසින් ග්‍රීසියෙන් නෙරපා හරින ලදී. 1950 ගනන්වලදී ජෝන්, එක්සත් මෝටර් රථ සේවක සංගමයේ ඔහුගේ භූමිකාවෙන් අසාදු ලේඛනගත කොට ඉවත් කරන ලදී. [15]

1980 දී සිදු වූ ජෝන් පූලෝස්ගේ මරනය දක්වාම ඔහු හා රූත් ඇජිලොෆ් විවාහ වී සිටියහ. ඔහුගේ මව සහ ඥාති මව්වරුන් පිලිබඳව ඉහත දී සම්මුඛ සාකච්ඡා ලබා දී ඇති ඔවුන්ගේ පුත් එරික් පූලෝස්ට මෙම කතුවරයා කථා කල නමුත්, අදහස් දැක්වීමක් සඳහා කල ඉල්ලීමට ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

සිල්වියා ඇජිලොෆ්

1938 වසන්තයේ දී යුරෝපයට යාමට තීරනය කරන විට සිල්වියා ඇජිලොෆ්ගේ වයස අවුරුදු 29 කි. මීට වසර හතකට පෙර ඇගේ සොහොයුරිය හිල්ඩා සෝවියට් දේශයට ගිය ගමනේ පටන්, ඇජිලොෆ් පුලුල් ලෙස සංචාරය කොට තිබිනි. තව ද උසස් උපාධියක් ලබා සිටි ඇය සමාජවාදී දේශපාලනයට ගැඹුරින් සම්බන්ධ වී සිටියාය.

ඉංග්‍රීසි හැරුනු විට, ඇජිලොෆ් අවම වශයෙන් ප්‍රංශ සහ රුසියානු භාෂාවන්හි චතුර වූවාය. නාට්‍ය පිලිබඳ විශේෂඥ තාවයක් සහිතව ඇය උසස් පාඨශාලා අධ්‍යාපනය අවසන් කලාය. ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසු ඇයට සිය රංගන කුසලතාවන් භාවිතයට දැමිය හැකි වන්නට ඇත. උසස් පාඨශාලා අධ්‍යාපනය ලැබීමෙන් පසුව ද ඇජිලොෆ් අධ්‍යාපනය දිගටම කරගෙන ගියාය. උසස් උපාධි තිබියේවා, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම පවා දුර්ලභ වූ යුගයක, ඇය නිව්යෝක් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිලිබඳ උපාධියක් ලබා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්න කලාය. ඇජිලොෆ් 1934 දී කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ලමා මනෝ විද්‍යාව පිලිබඳ විශාරද උපාධියක් (MA) ලබා ගත්තාය.

ජෝර්ජ් ජේ. ස්ටාර් යන ඒජන්තයා විසින් සකස් කරන ලද 1940 සැප්තැම්බර් 3 දිනැති එෆ්බීඅයි වාර්තාවක, ඇජිලොෆ්ගේ දේශපාලන ඉතිහාසය පිලිබඳව, තොරතුරු සපයන්නන් සමඟ සම්මුඛ සාකච්ඡා මගින් සම්පාදනය කෙරුනු සවිස්තරාත්මක සමාලෝචනයක් එයි.

ඇජිලොෆ්, ප්‍රගතිශීලී කම්කරු ක්‍රියාකාරිත්වය සඳහා වූ කොන්ග්‍රසය (සීපීඑල්ඒ) සහ 1933 දී ආරම්භ කරන ලද ඇමරිකානු කම්කරු පක්ෂය (ඒඩබ්ලිව්පී) යන සංවිධාන දෙක තුලදීම රැඩිකල් පූජක ඒ.ජේ. මස්තේට සහාය දුන්නාය. ඉන් පසුව ඇය ඒඩබ්ලිව්පී හා ට්‍රොට්ස්කිවාදී ඇමරිකානු කොමියුනිස්ට් ලීගය (සීඑල්ඒ) අතර සංයෝගයකින් බිහි වූ කම්කරු පක්ෂය (එජ)ට බැඳුනාය.

එෆ්බීඅයි වාර්තාව පැහැදිලි කලේ ඇජිලොෆ් මුලින්ම ඒඩබ්ලිව්පීයට සම්බන්ධ වූයේ ඇගේ සොහොයුරියන් සමඟ බවයි.

කම්කරු පක්ෂය (එක්සත් ජනපදය) යනු මහා අවපාතය හා වැඩ වර්ජන රැල්ල විසින් කම්කරු පන්තියේ සහ මධ්‍යම පන්තියේ පුලුල් කොටස් රැඩිකලීකරනය කරනු ලැබෙද්දී පිහිටුවන ලද පුලුල්, විෂමජාතීය දේශපාලන සංවිධානයක් විය. එය ඒඩබ්ලිව්පීය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුන වූයේ රැඩිකලීකරනයට පත් සමාජ ස්ථරවලට අධ්‍යාපනය දී ඔවුන් නිර්ව්‍යාජ මාක්ස්වාදයට දිනා ගැනීම සඳහා ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට පුලුල් වටපිටාවක් ලබා දීමයි.

ඒඩබ්ලිව්පීය සමන්විත වූයේ 1934 ටොලෙඩෝ ඔටෝ ලයිට් වැඩ වර්ජනයේ දී මෙන්ම, පක්ෂය විසින් පිහිටුවන ලද විරැකියා කවුන්සිල තුලින් ද ප්‍රමුඛත්වයට නැඟුනු, කාර්මික මිඩ්වෙස්ට්හි හා  අන්ත දරිද්‍රතාවයේ කිඳී සිටි ඇපලාචියානු කලාපවල රැඩිකලුන් හා කම්කරු නායකයන්ගෙනි. ඒඩබ්ලිව්පීය සමාජ සංයුතිය වශයෙන් ගත් කල අනියතාකාර ද, සමාජවාදී දේශපාලනය ප්‍රවර්ධනය කිරීමේදී සාරසංග්‍රහවාදී ද විය. එහෙත් එය ස්ටැලින්වාදයට විරුද්ධ වූ අතර කම්කරුවන් හා රැකියා විරහිතයන් අතර වැදගත් අනුගාමිකත්වයක් දිනා ගත්තේය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ වීම ඒඩබ්ලිව්පී දක්ෂිනාංශයට බාධාකාරී වූ අතර ලුවී බුඩෙන්ස් සහ හැරී හෝව් වැනි ඒඩබ්ලිව්පී නායකයින්ට කම්කරු පක්ෂය (එක්සත් ජනපදය) සමඟ භේද වෙමින් ස්ටැලින්වාදී ව්‍යාපාරයට බැඳීමට එය හේතු විය. එමෙන්ම මෙම ඒකාබද්ධ කිරීම, රැකියා විරහිතයින්ට රැඩිකල් සහය ලබා දෙන තාක් කල් මස්තේ සහ ඒඩබ්ලිව්පීයට මූල්‍යමය වශයෙන් සහයෝගය දුන් ඉසුරුමත් ප්‍රගතිශීලී කිතුනු කොටස් ද වියවුලට පත් කලේය. මස්තේ සහ ඔහුගේ ව්‍යාපාරය විප්ලවවාදී දේශපාලනය සමඟ ඇඟෑලුම්කම් පෑමත් සමඟම මෙම මූල්‍ය ආධාරකරුවෝ ඉන් ඉවතට ගසා ගෙන ගියෝය.

1934 දී පිහිටුවීමෙන් මාස කිහිපයක් ඇතුලත, සමාජවාදී පක්ෂයට (එස්පී) ඇතුලුවීම සඳහා ට්‍රොට්ස්කිවාදීන්ගේ යෝජනාව සම්බන්ධයෙන් කම්කරු පක්ෂය (එක්සත් ජනපදය) ගැටුම් මාලාවකට මැදි විය. ඒ වන විට සමාජවාදී පක්ෂය තුල සාමාජිකත්වය මෙන්ම එහි දේශපාලන ගමන් මඟ රැඩිකලීකරනයට පාත්‍ර වීම ද වර්ධනය වෙමින් පැවතුනි. 1936 දී කම්කරු පක්ෂයේ (එක්සත් ජනපදය) ට්‍රොට්ස්කිවාදී සාමාජිකයන් සමාජවාදී පක්ෂයට ඇතුලු වූ විට තවදුරටත් කම්කරු පක්ෂයක් (එක්සත් ජනපදය) පැවතුනේ නැත. 

පෙනී යන පරිදි ඇජිලොෆ්, පලමුව එස්පීය තුලත් පසුව එස්ඩබ්ලිව්පීය තුලත්, හිටපු අයිඩබ්ලිව්ඩබ්ලිව් සාමාජිකයෙකු ද, 1920 ග‍නන්වල කොමියුනිස්ට් තරුන ව්‍යාපාරයේ නායකයාද වී සිටි මාටින් ඇබර්න් වටා හුන් නිව්යෝර්ක් ට්‍රොට්ස්කිවාදීන්ගේ කන්ඩායමට සමීපව සිට ඇත. ට්‍රොට්ස්කි සඳහා දැක්වූ සහයෝගය නිසා 1928 දී ඇබර්න් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හරින ලද අතර කැනන් සහ ෂැට්මන් සමඟ සීඑල්ඒ හි ආරම්භක සාමාජිකයෙකු වූයේය. සීඑල්ඒ පිහිටුවීමේදී ඇබර්න් ධෛර්ය සම්පන්න කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කල්ලි ගැසීම කෙරෙහි දක්වන ඔහුගේ නැඹුරුව, විශේෂයෙන් පක්ෂයේ නිව්යෝර්ක් ශාඛාව තුල, සුලු ධනේශ්වර කොටස්වල ආකර්ෂනය ඔහුට දිනා දුන්නේය. 

1938 ජනවාරියේදී ඇජිලොෆ් සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු බවට පත් වූ නමුත්, 1939-40 කන්ඩායම් සටනේදී ෂැට්මන් සහ ඇබර්න් විසින් මෙහෙයවන ලද සුලුතර විපක්ෂ ප්‍රවනතාවයට සහාය දුන්නාය. 1940 අප්‍රේල් මාසයේ දී එස්ඩබ්ලිව්පීයෙන් ඉවත් වූ ඇය, එස්ඩබ්ලිව්පීයෙන් ඉවත් වූ පසු සුලුතරය විසින් පිහිටුවා ගන්නා ලද කම්කරු පක්ෂයට බැඳුනාය.

ජේම්ස් කැනන්, මාටින් ඇබර්න්, මැක්ස් ෂැට්මන්

විශේෂ මනෝ විද්‍යාඥයෙකු ලෙස ඇජිලොෆ්ගේ පුහුනුව

සිය වෘත්තීය ජීවිතය තුල ඇජිලොෆ්, මිනිසුන් හොඳින් නිරීක්ෂනය කිරීමට ද, ඔවුන් පවසන දේට සවන් දීමට ද පුහුනු කරන ලද ප්‍රවීන මනෝ විද්‍යාඥවරියක වූවාය. “වාර්ගික හා ලිංගික වෙනස්කම් සංසන්දනය කිරීමේදී පහසුවෙන් නම්මා ගත හැකි ස්වභාවය කෙරේ බල පැවැත්වෙන 'ගරුත්වය පිලිබඳ' හා 'වෛෂයික' සාධක පිලිබඳ අධ්‍යයනයක්” යන මාතෘකාව යටතේ ලියැවුනු ඇගේ විශාරද උපාධි නිබන්ධනය, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ බට්ලර් පුස්තකාලයේ ගොනුවල තවමත් ඇත.

ඇජිලොෆ්ගේ නිබන්ධනය මඟින් අවධානය යොමු කෙරුනේ, මිනිසුන් තමන් ගරු කරන පුද්ගලයින් විසින් රැවටීමට ලක්වීමේ අවදානම වෙතය. ඇය “පහසුවෙන් නම්මා ගත හැකි ස්වභාවය” යන තේමාව යටතේ පුලුල් ලෙස පර්යේෂන හා පරීක්ෂන සිදු කලාය. ඇගේ පර්යේෂනයන් විසින් ඇයට මඟ පෙන්වනු ලැබූයේ, පුද්ගලයන්, තමන් ගරු කරන අයවලුන් විසින් පීඩනයට ලක් කෙරෙන විට, ඔවුන් සාමාන්‍ය බුද්ධිය අතහැර දැමීමට නැඹුරු වන බවයි. මර්කාඩර් විසින් රවටනු ලැබූ බව පසුකලෙක ප්‍රකාශ කරන කාන්තාවක් සම්බන්ධයෙන් සැලකූ කල, එය කුතුහලය දනවන ක්ෂේත්‍රයක ලද විශාරදත්වයකි.

සිල්වියා ඇජිලොෆ්ගේ 1934 නිබන්ධනය [Photo: Columbia University]

ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමය (ඒපීඒ) “පහසුවෙන් නම්මා ගත හැකි ස්වභාවය” අර්ථ දක්වන්නේ “අන් අයගේ අදහස්, විශ්වාස, ආකල්ප හෝ ක්‍රියාවන් පහසුවෙන් හා අවිවේචනාත්මකව පිලිගැනීමට ඇති නැඹුරුව” ලෙස ය. ඇගිලොෆ්ගේ නිබන්ධනයේ සුවිශේෂී කේන්ද්‍රස්ථානය වූ “ගරුත්වයේ යෝජනාව” ඒපීඒ අර්ථ දක්වන්නේ, “පිලිගත් තත්වයේ පුද්ගලයකු විසින් එය ලබා දෙනු ලැබීම මඟින් හෝ, පිලිගත් තත්වයේ පුද්ගලයකුට එය ආරෝපනය කිරීම මඟින් එහි ඒත්තු ගැන්වීමේ බලය නිර්නය කෙරෙන පනිවිඩයක්” ලෙස ය.

ඇජිලොෆ්ගේ නිබන්ධනය කලු හා සුදු පාසල් ලමුන් පරීක්ෂාවට ලක් කරමින්, ඔවුන් ගරු කල පුද්ගලයෙකුගේ - ඔවුන්ගේ ගුරුවරයාගේ - ප්‍රකාශ වඩවඩාත් සැක සහිත සහ නුසුදුසු බවට පත්වෙද්දී පවා, එකී ප්‍රකාශ පිලිගැනීමට ඔවුන් දක්වන නැඹුරුතාව නිර්නය කිරීමේ පරීක්ෂාවක් කලේය. ඇජිලොෆ් ඇගේ ප්‍රවේශය සංක්ෂිප්තව මෙසේ ගෙනහැර දැක්වූවාය: “අප මෙහි යෝජනා කරන්නේ සුදු හා නීග්‍රෝ වශයෙන් වූ එම වාර්ගික කන්ඩායම් අතරම", එහෙත්  “පරීක්ෂකයාගේ පෞද්ගලික බලපෑම” මැනීම අරමුනු කරගත් පරීක්ෂන මාලාවක් මඟින්, "වෙනස්කම් අධ්‍යයනය කිරීමටය." ආගන්තුකයෙකුගෙන් ලිඛිත හෝ වාචික උපදෙස් ලබනවාට වඩා, ගෞරවයට පාත්‍ර වූ චරිතයක් මගින් දරුවෙකුට බලපෑම් කල විට “පරික්ෂාවට බඳුන්වන තැනැත්තා වැරදි විනිශ්චයන් ගොඩනැගීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කල හැකි" බව; හෝ, “වෙන කෙනෙකු අනුකරනය කරමින් හෝ වෙනත් කෙනෙකුගේ බලපෑම යටතේ ක්‍රියා කල හැකි” බව, ඇය පූර්වාපේක්ෂා කලාය. [16]

කොලොම්බියාවේ පුස්තකාලයෙහි ඇති ඇජිලොෆ්ගේ නිබන්ධනය විමර්ශනය කල ප්‍රථම පුද්ගලයා වූ, හයිපොක්‍රයිට් රීඩර් හි 2015 දී ප්‍රකාශයට පත් කරන ලද “සිල්වියා ඇජිලොෆ් සමඟ සිතීම” යන ලිපියේ කතුවරයා ද, ඇජිලොෆ් සොහොයුරියන්ගේ ඥාතියෙකු ද වන එරික් එම්. ගුරෙවිච් මෙසේ පැවසීය: “සමහර අවස්ථාවලදී ඇය පහසුවෙන් රවට්ටාගත් මෝඩයෙකු ලෙස විස්තර කෙරෙයි, සමහර විට ලිංගික වියවුලට පත්, අවලස්සන යුදෙව් ගැහැනියක් ලෙස, ඒත් නැතහොත් මේවායේ විචලනයක් ලෙස ඇය විස්තර කෙරේ. එහෙත් මේවා හුදු පට්ටා ගැසූ යෙදුම් හා වාක්‍යාලංකාර පමනි. ” පසුව ඔහු මෙසේ එක් කලේය: “කුමක් සිදු වී ද යන්න සම්බන්ධයෙන් යමෙකු කුමක් සිතුවත්, ඇය මෝඩ නැත.” [17]

ගුරෙවිච් පැහැදිලි කලේ, “ඇගේ විශාරද උපාධිය සඳහා ලියූ නිබන්ධනය පැහැදිලිවම අති නවීන සමාජ මනෝ විද්‍යාඥයන්ගේ මඟ පෙන්වීම යටතේ නිර්මිත එකකි. සමාජ මනෝ විද්‍යාවේ මෙම නව, ඉස්මතු වී එන ක්ෂේත්‍රය පිලිබඳ ඇයට සැබෑ වැටහීමක් ඇත.”

“ඇගේ පර්යේෂනය ‘අඥාන කවුද ’යන අදහස ගැන ය.” ගුරෙවිච් පැවසීය. “මේ සියල්ලේ සරදම වන්නේ, සම්පූර්න කථාවම පවතින්නේ, අන්‍යයන් ඔබේ සිතට කා වැද්දීමට අවශ්‍ය වී ඇති දෙයටම ඔබ අනුකූල වන්නේ කෙසේද යන්න පිලිබඳව වීමයි. මෙය ඇය සැබවින්ම උනන්දුවක් දක්වන්නක් වීම කුතුහලයට කරුනකි.”

'කොයෝවාකාන්හි සහෝදරියන් දෙදෙනා' කෘතියේ කතුවරිය වූ ද, වෘත්තියෙන් මනෝ විශ්ලේෂකයෙකු වූ ද රොබර්ටා සැටෝව් මෙසේ පැහැදිලි කලාය: “පහසුවෙන් නම්මා ගත හැකි ස්වභාවය යනු, ඉදින් ඔබ එසේ කීමට කැමති නම්, යම් ආකාරයක අපහරනයකි. තව ද, ඇය රැවටීමකට ලක් වී ඇත. එබැවින් එය ඇගේ නිබන්ධනයේ මාතෘකාව වීම සිත්ගන්නා සුලු කරුනකි.” [18]

ඇජිලොෆ් “මුලා කරන ලදැ"යි යන කථාව යමෙකුට පිලිගත හැක්කේ, තමන් රවටනු ලැබීමට ඇති හැකියාව ගැන ඇය කිසි විටෙකත් සලකා නොබැලූ බව යමෙකු පිලිගන්නේ නම් පමනි. එහෙත්, ඇගේ නිබන්ධනය පෙන්වා දෙන පරිදි, තමන් ඉන් වසර කිහිපයක් පමනක් ගත වූ තන්හි ගොදුරු වූ සේ පෙනී යන සංසිද්ධිය ඇජිලොෆ් ගැඹුරින් අධ්‍යයනය කර තිබුනාය.

1938 ගිම්හානය: හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුව සඳහා ඇජිලොෆ් යුරෝපයට යයි

1938 ග්‍රීෂ්ම සෘතුවේ දී, ඇජිලොෆ්ට (එවකට ජැක් මොනාර්ඩ් ලෙස තමා හඳුන්වා දුන්) මර්කාඩර් හමු වූ ඇගේ යුරෝපා ගමන ඇගේ ජීවිතයේ තීරනාත්මක අත්දැකීමක් විය. ඇයගේ ගමන හුදු නිවාඩුවක් ගත කිරීමකැයි පසුකාලීනව ඇය කියා සිටි නමුත්, එය එසේ නොවීය. ඒ වෙනුවට, යුරෝපයේ ඇයගේ ක්‍රියාකාරකම් පිලිබඳ පරීක්ෂාවකින් තහවුරු වන්නේ, 1938 සැප්තැම්බර් මාසයේ පැවති හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුුව සඳහා පූර්ව සූදානම් කිරීම් සම්බන්ධ දේශපාලන කටයුතුවල ඇජිලොෆ් නියැලී සිටි බවය. 1938 දී එස්ඩබ්ලිව්පීයට ඇතුලුවීම සඳහා ජීපීයූවේ උත්සාහයන් කලමනාකරනය කරමින් සිටි කොමියුනිස්ට් පක්ෂ නායක ලුවී බුඩෙන්ස්, 'මෙය මගේ කථාවයි' යන ඔහුගේ පොත තුල ඇජිලොෆ් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සඳහා “කුරියර් සේවයේ යෙදෙන්නියක (පාර්සල් ප්‍රවාහනය කරන්නියක)” ලෙසය. 

යුරෝපය කරා ඇජිලොෆ්ගේ සංචාරය සිදු කෙරුනේ ස්ටැලින්ගේ මහා භීෂනයේ හා යුරෝපය තුල හතරවැනි ජාත්‍යන්තරයේ සාමාජිකයන් මුලිනුපුටා දැමීමට ගෙන ගිය ජීපීයූවේ මිනීමරු ව්‍යාපාරයේ පසුබිම තුලය. එය කිසිසේත්ම ට්‍රොට්ස්කිවාදියෙකුට පෞද්ගලික නිවාඩුවක් ගත කිරීම සඳහා උචිත කාලයක් හා ස්ථානයක් නොවීය. සංචාරයේ අන්තර්ගතයට අනුව, ඇයගේ සංචාරක සහායිකාව ලෙස ස්ටැලින්වාදී රූබි වේල් තෝරා ගැනීම වූ කලී, පහදා දීමට අතිශය දුෂ්කර තේරීමකි.

ඇජිලොෆ් යුරෝපයට යාමට තීරනය කිරීමට සති කිහිපයකට පෙර, 1938 පෙබරවාරියේ,  ජීපීයූ ජාලය ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් පැරීසියේ ක්ලිනික් මිරාබෝහි දී ඝාතනය කර තිබින. ප්‍රංශ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල එටියන් නම් වූ ජීපීයූ ඒජන්ත මාක් ස්බොරොව්ස්කි, ඝාතනය සිදුකිරීමට හැකිවන පරිදි තීරනාත්මක තොරතුරු ජීපීයූව වෙත ලබා දුන්නේය. තවත් ඝාතන තුනක් සැලසුම් කිරීමට උදව් කිරීම සඳහා ද ස්බොරොව්ස්කි සම්බන්ධ විය: 1 ) 1937 ජූලි මාසයේදී ස්පාඤ්ඤයට ඇතුලු වීමෙන් පසු ජීපීයූ විසින් ඝාතනය කරන ලද ට්‍රොට්ස්කිගේ දේශපාලන ලේකම්වරයෙකු වූ අර්වින් වුල්ෆ්; 2) ජීපීයූ වෙතින් ඉවත් වීමෙන් පසු 1937 සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ දී ඝාතනය කරන ලද ඉග්නේස් රීස්; සහ 3) 1938 ජූලි මාසයේදී පැරිසියේදී ඝාතනය කරන ලද හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට්.

ස්ටැලින්වාදීන් විසින් ට්‍රොට්ස්කිවාදීන් ඉලක්ක කරනු ලැබූ මෙම සංහාරය මධ්‍යයේ, සිල්වියා ඇජිලොෆ් පැරීසියට ගියේ ක්‍රියාකාරී ස්ටැලින්වාදියෙකු බව ඇය දන්නා අයෙකු - ජීපීයූ ඒජන්ත රූබි වේල් - සමඟය. [19]

1938 දී සිල්වියා ඇජිලොෆ් ඇගේ සංචාරක සහකාරිය වන ජීපීයූ ඒජන්ත රූබි වේල් ගැන දැන සිටියේ කුමක්ද?

වේල් ස්ටැලින්වාදී නියෝජිතයෙකු බව තමා නොදැන සිටි බවත් ඔවුන් මිතුරන් වූ නිසා ඇය සමඟ යුරෝපයට යාමට එකඟ වූ බවත් ඇජිලොෆ් පසුව කියා සිටියාය. මෙම මිත්‍රත්වය, මර්කාඩර් / මෝර්නාඩ් ට්‍රොට්ස්කිවාදී වටපිටාවට හඳුන්වා දීමේ කුමන්ත්‍රනය සඟවා ලීමේ ස්ටැලින්වාදීන්ගේ පසු කතාවේ තීරනාත්මක අංගයක් බවට පත්විය. ඔහු මෙම ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූයේ කෙසේදැයි ඔහුගෙන් කවදා හෝ විමසනු ලැබුවහොත්, ඔහුගේ මිතුරෙකු වන රූබි වේල් විසින් ඔහු ඇගේ මිතුරියක වූ සිල්වියාට හඳුන්වා දුන් බව අහිංසක ලෙස පැහැදිලි කිරීමට ඔහුට ඉන් හැකියාව ලැබුනි.

රූබි වේල් වාර්ෂික පුස්තක ඡායාරූපය, එවාන්ස්විල්, ඉන්දියානා [Photo: Yearbooks.com]

රූබි වේල් කොමියුනිස්ට් පක්ෂයේ සිටින බව සිල්වියා  ඇජිලොෆ් දැන සිටියේ නම්, ඇය හතරවන ජාත්‍යන්තරයේ රහසිගත ආරම්භක සමුලුව පිලියෙල කිරීම සඳහා වේල් සමඟ ගමන් කරන්නේ ඇයි? විශේෂයෙන් ස්ටැලින්වාදී මහා භීෂනය අතරතුර සහ ජීපීයූව විසින් පැරිසියේ දී සහ යුරෝපය පුරා ට්‍රොට්ස්කිවාදීන් ඝාතනය කෙරුනු තතු යටතේ ඇය එසේ කලේ ඇයි?

යුරෝපයට යාමට තීරනය කල අවස්ථාවේ සිල්වියා ඇජිලොෆ් සහ ඇගේ සහෝදරියන් වේල් ගැන දැන සිටි දේ සොයා ගැනීමට ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසු කරන ලද ප්‍රකාශ සමාලෝචනය කිරීම අවශ්‍ය වේ.

ට්‍රොට්ස්කිගේ ඝාතනය සහ එහි ලා ජීපීයූවේ කාර්යභාරය පිලිබඳව තමන් දන්නා දේ සම්බන්ධයෙන් කොන්ග්‍රසය ඉදිරියේ සාක්ෂි දීමට 1950 දෙසැම්බර් මාසයේ දී සිල්වියා සහ හිල්ඩා ඇජිලොෆ් කැඳවනු ලැබූහ. වේල් ස්ටැලින්වාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටි බව තමන් දැන සිටි බවට සහෝදරියෝ දෙදෙනාම සාක්ෂි දුන්හ: “කටකතාවලින් කියවුනේ ඇය කොමියුනිස්ට් පක්ෂයට බැඳෙන බවයැ'යි සිල්වියා ඇජිලොෆ් දිවුරුම් පිට සාක්ෂි දෙමින් පැවසුවාය. [20]

හිල්ඩා ඇජිලොෆ් ඇයගේ සාක්ෂියේ දී පැහැදිලි කලේ, ඇයට රූබි වේල් මුනගැසුනේ ඔවුන් "1936 දී හෝ ඒ ආසන්න කාලයේ සිටි ඇමරිකානු කම්කරු පක්ෂයේ දී"බවයි. [ඒ ඇය පැවැසූ අයුරුය., එහෙත්: ඒඩබ්ලිව්පීය 1934 දෙසැම්බරයේ ට්‍රොට්ස්කිවාදී සීඑල්ඒ සමඟ ඒකාබද්ධ වූ අතර ඉන් පසු එය ස්වාධීන සංවිධානයක් ලෙස පැවතුනේ නැත.] රූබි වේල් ඇගේ මස්සිනා වන හැරී හෝව් සමඟ පුවත්පතේ වැඩ කලාය. මා ඇය දැන හඳුනා ගත්තේ එලෙසිනි. පසුව ඇය පක්ෂයෙන් ඉවත් වී පුවත්පතේ වැඩ කිරීම නතර කලාය. හැරී හෝව් ද පුවත්පත අතහැරියේයැයි මම සිතමි. ” [21]

ට්‍රොට්ස්කි ඝාතනයෙන් කෙටි කලක් තුල ප්‍රශ්න කිරීමේදී සිල්වියා ඇජිලොෆ් මෙක්සිකානු පොලිසියට පැවසුවේ, රූබි වේල් සමඟ සංචාරය කිරීමට ඇය එකඟ වූ අවස්ථාවේ දී ඇගේ ස්ටැලින්වාදී සම්බන්ධතා ගැන තමන් දැන සිටි බවයි. පොලිස් සම්මුඛ සාකච්ඡාවක පිටපතක මෙසේ සඳහන් වේ. “හැරී හෝව් නම් වූ [වේල් සහෝදරියකගේ] සැමියා ඒඩබ්ලිව්පීයේ සිටි බවත්, පසුව ඔහු ස්ටැලින්වාදීන් සමඟ සම්බන්ධ වූ බවත් ඇය දැන සිටියාය. හෝව් දැනට නිව්යෝර්ක්හි ජීවත් වන නමුත් ඇය ඔහුගේ ලිපිනය දන්නේ නැත.” [22]

හැරී හෝව් හුදෙක් ඒ.ජේ.මස්තේගේ සාමාන්‍ය අනුග්‍රාහක සහායකයෙක් නොවීය.1935 දී හෝව්, මස්තේවාදී ඒඩබ්ලිව්පීය සහ ට්‍රොට්ස්කිවාදී සීඑල්ඒ ඒකාබද්ධ කිරීමෙන් පසුව පිහිටුවන ලද කම්කරු පක්ෂයේ (එක්සත් ජනපදය) පුවත්පත වන නිව් මිලිටන්ට් හි සහායක කර්තෘවරයා විය. පුවත්පතේ සංස්කාරක ලැයිස්තුවේ කැනන්ගේ නම අසල ඊලඟට ඇත්තේ හෝව්ගේ නමයි. [23] මස්තේගේ මඟ පෙන්වීම යටතේ ප්‍රගතිශීලී කම්කරු ක්‍රියාකාරිත්වය සඳහා වූ කොන්ග්‍රසය විසින් මෙහෙයවනු ලැබූ නිව්යෝර්ක් කම්කරු පාසලේ හෝව් ප්‍රමුඛ සාමාජිකයෙකු වූ අතර, කම්කරු පුවත්පත් කලාව පිලිබඳ 1932 පාඨමාලාවක් සඳහා කථිකාචාර්යවරයෙකු ලෙස ඔහු ලැයිස්තු ගත කොට තිබිනි. [24]

ට්‍රොට්ස්කිවාදීන් සමඟ ඒකාබද්ධ වීමට හෝව් අතිශයින් සතුරු වූ බැව් පෞද්ගලික ලිපිවලින් පෙනී යයි. 1934 දී හෝව් සෙසු ඒඩබ්ලිව්පී සාමාජිකයෙකුට ලියූ ලිපියක, ට්‍රොට්ස්කිවාදයට එරෙහි ඔහුගේ සතුරුකම පැහැදිලිව දක්වයි: “අප ඒ සා දැඩි ලෙස ප්‍රතික්ෂේප කල එම නිකායවාදයේ දිශාවට අපි ගමන් කරමින් සිටිමු." පක්ෂය “ඉතා වේගයෙන් වමට යමින් සිටියි… විප්ලවීය පාරිශුද්ධත්වය සඳහා අනෙක් සියලුම කුඩා කන්ඩායම් සමඟ තරඟ කිරීමේ මෙම ව්‍යාපාරයෙන් මම සෑහෙන්න වෙහෙසට පත්ව සිටිමි.” [25]

මස්ගේතේ චරිතාපදානය ලියූ ලෙයිලා ඩැනියෙල්සන් පැවසුවේ හෝව් ඒඩබ්ලිව්පීයේ “වඩාත්ම වැදගත් ජාතික නායකයන්” අතර සිටින බවයි. සීඑල්ඒ සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව හෝවේ බුඩෙන්ස්ගේ නායකත්වය අනුගමනය කරමින් 1935 දී කම්කරු පක්ෂයෙන් (එක්සත් ජනපදය) ඉල්ලා අස්විය. [26]

රූබි වේල්ගේ සහෝදරිය වූ මේරියන් වේල්, හෝව්ගේ බිරිඳ වූවාය. පසුව, 1940 සැප්තැම්බර් 25 වන දින මෙක්සිකානු කොන්සල් කාර්යාලයේ සිට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට කල සන්නිවේදනයක දී, රූබි වේල් සමඟ සංචාරය කිරීමට තීරනය කරන විට, ඇගේ සහෝදරියක වන මේරියන් ද ස්ටැලින්වාදියෙකු බව සිල්වියා ඇජිලොෆ් දැන සිටි බවත්, ඇජිලොෆ් හා මර්කාඩර් අතර හමුව සංවිධානය කිරීමට තුන්වන වේල් සොහොයුරියක් වන ගර්ට්රූඩ් ද සම්බන්ධ වන්නට ඇති බවත් ජෝසප් හැන්සන් එක්සත් ජනපද ආන්ඩුවට පවසා ඇතැයි හෙලිදරව් වී ඇත. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තර විමර්ශනය හරහා නිකුත් කරන ලද සන්නිවේදනයේ මෙසේ සඳහන් වේ:

පහත සඳහන් ආකාරයට වටිනා තොරතුරු ලබා ගත හැකියැයි හැන්සන් මහතා දන්වා සිටියේය: මෙම කාර්යාලයෙන් යවා ඇති පනිවුඩ අතර රූබි වේල් කෙනෙකු සම්බන්ධයෙන් සඳහන් වෙන ඒවා දෙපාර්තමේන්තුවට කැඳවීමෙන්. හැන්සන්ට අනුව ඇය සහෝදරියන් තිදෙනෙකු අතරින් එක් අයෙකි. අනෙක් දෙදෙනා නම් ගර්ට්රූඩ් සහ මේරියන් ය. [27] ඉන් පලමුව සඳහන් වන තැනැත්තිය යුදෙව් ධර්මාචාර්යවරයෙකු සමඟ විවාහ වී නිව් මෙක්සිකෝවේ ඇල්බකර්කි හි ජීවත් වේ; 1938 දී පැරිසියේ සිටි සිල්වියා ඇජිලොෆ් වෙත මේරියන් ලියූ ලිපියකින්, සිල්වියා ජැක්සන්ව මුන ගැසිය යුතුය යන්න ගැන ඇගේ මෙම සොහොයුරිය උනන්දු බැව් දන්වා ඇතත්, ගර්ට්රූඩ් කිසි විටෙකත් කවර ආකාරයක හෝ දේශපාලනයකට සම්බන්ධ වී නොසිටියාය. මේ සම්බන්ධව ගර්ට්රූඩ්ගේ නම භාවිතා කිරීම පිලිබඳව හැන්සන්ගේ පැහැදිලි කිරීම නම්, මේරියන් දිගු කලක් තිස්සේ අන්තගාමී හා භක්තිමත් ස්ටැලින්වාදියෙකු ව සිට ඇති හෙයින්, ජැක්සන් සහ සිල්වියා අතර රැස්වීමක් සඳහා තමන් උනන්දුවක් දක්වන පාර්ශවයක් ලෙස පෙනී සිටිය හොත්, ඇගේ අභිප්‍රායයන් ගැන සැක පහල කිරීමට සිල්වියාට හේතු තිබිය හැකි හෙයින් ඇය එසේ කරන්නට ඇති බවයි. දෙපාර්තමේන්තුවට ගර්ට්රූඩ් වෙතින් යම් වටිනා තොරතුරු දැන ගත හැකි විය හැක. හැන්සන් පැවසුවේ ඉහත තොරතුරු සිල්වියා ඇගේ සහෝදර මොන්ටේට පැවසූ බවයි.

සිල්වියා ඇජිලොෆ් රූබි වේල් සමඟ සංචාරය කරන අවස්ථාවේ ඇජිලොෆ් සොහොයුරියන් මේරියන් වේල් දැන සිටි බවට හිල්ඩා ඇජිලොෆ් පසුව සාක්ෂි දුන්නාය: “මම වරක් ඇගේ [රූබීගේ] සහෝදරිය වන මේරියන්ට දුරකථන ඇමතුමක් දී ඇය කෙසේදැයි විමසුවෙමි. ” [28]

කොයොකාන් හි විලා හි ට්‍රොට්ස්කිගේ අධ්‍යයන කුටියට යන මාවත (අනුග්‍රහය: ඩේවිඩ් නෝර්ත්) [Photo by David North]

1938 ජූලි: ඇජිලොෆ් සහ “ජැක් මෝර්නාඩ්” පැරිසියේදී හමුවෙති

කතාවේ අභියෝගයට ලක් නොවූ අනුවාදයට අනුව, ජූලි මස මුල පැරිසියේදී වේල්, “ජැක් මෝර්නාඩ්” වෙත ඇජිලොෆ් හඳුන්වා දුන්නාය. ඇජිලොෆ්ට නොමසුරුව සත්කාර කල ඔහු, තමා සමඟ ආදරයෙන් බැඳීමට ඇය පොලඹවා ගත්තේය. මෝනාඩ් පැවසුවේ ඔහු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බවත් ලා නේෂන් බෙල්ජ්, ලෙ සොයර්, ලෙස් ඩර්නියර්ස් නූවෙල්ස්, ඔටෝ සහ ලෙස් ස්පෝර්ට්ස් වැනි පුවත්පත් සඳහා ලියන බවත්ය. [29] 1926 දී මියගිය බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ දරුවෙකු වූ නිසා ඔහුට වියදම් කිරීමට ඕනෑ තරම් මුදල් ඇති බැව් ඔහු පැවසීය.

ප්‍රහාරයෙන් පසු මෙක්සිකානු පොලිසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයක දී ඇජිලොෆ් පැහැදිලි කලේ, ඇය කිසිදා ඔහු වැඩ කරනු දැක හෝ, ඔහු විසින් ප්‍රකාශිත ලිපි කියවා හෝ නැති බවයි. 1939 දී ඔහු උතුරු ඇමරිකාවට පැමින විිට භාවිතා කල “ජැක්සන්” යන නම භාවිතා කරමින්, ඇය “ජැක්සන් පැවසූ දේ සත්‍යයක් ලෙස පිලිගත්තාය.” ඔහු අත “සෑමවිටම මුදල් යහමින් තිබූ අතර හොඳම ස්ථානවලට ඔහු නිතර නිතර ගියේය” යනුවෙන් ඇජිලොෆ් තවදුරටත් පැවසුවාය. [30]

පලමු නිසැක ප්‍රශ්නය වන්නේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉහල මට්ටමේ වගකීම් භාර දී ඇති, ඉහලම අධ්‍යාපනයක් ලද බුද්ධිමතෙකු හා ඇය හඟවන පරිදි කැපවූ විප්ලවවාදී සමාජවාදියෙකු ද වූ ඇජිලොෆ්, -ඉදින් මොනාර්ඩ් කී දේ විශ්වාස කටයුතු නම් - ප්‍රතිගාමී බෙල්ජියම් රාජ්‍යය සමඟ සමීප සම්බන්ධතා ඇති, ධනවත් ස්ත්‍රී ධූර්තයෙකු සමඟ සම්බන්ධතාවයකට කිසිත් නොසිතාම ඇද වැටෙනු ඇති ද යන්නයි.

කොයි හැටි වෙතත්, මොර්නාඩ් සමඟ ඇජිලොෆ්ගේ සම්බන්ධතාවයේ මුල් අවධියේ සිටම නිසැක ලෙසම පෙනෙන්නට තිබූ කරුන වූයේ, ඇගේ නව පෙම්වතා ඉතා සැක කටයුතු පුද්ගලයකු බවයි. ඔවුන්ගේ මුල් හමුවීමේ තතු අසම්භාවී වූ අතර ඔහුගේ පෞද්ගලික කථා ප්‍රවෘත්තියේ කැපී පෙනෙන ප්‍රතිවිරෝධතා තිබුනි. සෝවියට් සමූහාන්ඩුවේ මොස්කව් නඩු විභාග හා ස්ටැලින්වාදී භීෂනය, සහ ස්පාඤ්ඤයේ (අර්වින් වුල්ෆ්), ස්විට්සර්ලන්තයේ (ඉග්නාස් රයිස්) සහ ප්‍රංශයේ (ලියොන් සෙඩොව් හා රුඩොල්ෆ් ක්ලෙමන්ට්) ට්‍රොට්ස්කිවාදීන් ජීපීයූව විසින් ඝාතනය කරනු ලැබීම ආදී වශයෙන් වූ පැවැති දේශපාලන සන්දර්භය දෙස බලන විට මෝර්නාඩ් ස්ටැලින්වාදී නියෝජිතයෙකු වීමේ ඉඩකඩ පිලිබඳව ඇජිලොෆ් නොතැකුවේයැයි කිසි විටෙකත් පිලිගත නොහැකිය.

මතු සම්බන්ධයි.

සටහන්:

[1] මාර්ටින් ගේබ්‍රියල් බැරන් කෲස්, “Actuaciones Ministeriales en el Homicidio de León Trotsky,” Instituto Nacional de Sciencias Penales, Mexico D.F., 2018, පි. 39.

[2] ජේවියර් රියෝයෝ හා ජෝස් ලුවී ලෝපේස් ලිනරේස් විසින් අධ්‍යක්ෂනය කරන ලද Asaltar los Cielos, (Storm the Skies), නම් 1996 වාර්තා චිත්‍රපටයෙන් උපුටා ගන්නා ලදී.

[3] එම 

[4] ජේම්ස් පී. කැනන්, The Socialist Party in World War II: Writings and Speeches, 1940 – 43 (Pathfinder Press, 1975), පිටු 81–82.

[5] https://www.twosistersofCoyoacán.com/about වෙබ් ලිපිනයෙහි ඇති සැටොව්ගේ වෙබ් පිටුව බලන්න. 

[6] අයිෂා කාටර්, “Sunny East Village Pad in Ageloff Towers Is the Perfect Starter Apartment,” වර්ග අඩි 6, 2015 අප්‍රේල් 16.

[7] රොබර්ටා සැටොව් සමඟ එරික් ලන්ඩන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව, 2020 අගෝස්තු 18

[8] ග්‍රෙගොරියෝ ලුරි, El Cielo Prometido: Una Mujer al Servicio de Stalin (Barcelona: Editorial Planeta, 2016), පි. 214.

[9] එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1934 දී ඒඩබ්ලිව්පීය සමඟ ඒකාබද්ධ විය. 

[10] ක්‍රිස්ටෝපර් ෆෙල්ප්ස්, Young Sidney Hook: Marxist and Pragmatist (Ann Arbor: University of Michigan Press, 2005), පි. 111 n. 32. 1997 දී පලමුවරට Cornell University Press මඟින් පල කෙරුනි. තමන් තම පර්යේෂනය පැවැත්වූයේ සොහොයුරියන් තිදෙනාම ජීවතුන් අතර සිටියදී බව ෆෙල්ප්ස් පෙන්වා දෙයි.

[11] මෙතැනින් බලන්න.

[12] එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1938 ජනවාරියේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පීය) පිහිටුවීය. 

[13] බැරන් කෲස්, පිටු 54–55.

[14] පී.ජේ. ග්‍රිසාර්, “Sharks Defending Britain from Nazis? How ‘Fake News’ Helped Foil Hitler,” Forward, October 22, 2018. (“the publication provided press credentials to British spies.”)

[15] ඩෑන් ජෝර්ගකාස්, “The Greeks in America,” Journal of the Hellenic Diaspora, NY, Spring-Summer 1987, 14 වෙලුම අංක 1 හා 2, පිටු 29–31.

[16] සිල්වියා ඇජිලොෆ්, “A Study of ‘Prestige’ and ‘Objective’ Factors in Suggestibility In A Comparison of Racial and Sex Differences,” 1934 මැයි, කොලොම්බියා සරසවියේ බට්ලර් පුස්තකාලයේ ඇත.

[17] එරික් එම්. ගුරෙවිච් සමඟ එරික් ලන්ඩන්ගේ සම්මුඛ සාකච්ඡාව, 2020 අගෝස්තු 17

[18] රොබර්ටා සැටොව් සමඟ එරික් ලන්ඩන්ගේ සම්මුඛ සාකච්ඡාව, 2020 අගෝස්තු 18

[19] අත්ලාන්තික් සාගරය හරහා යන සමුද්‍ර යාත්‍රාවක සාමාන්‍ය පෞද්ගලික කාමරයක් සඳහා වන ඩොලර් 200ක පිරිවැය 1938 දී බොහෝ දෙනෙකුට දැරිය නොහැකි තරම් අධික මිලක් විය. (ලේඛනාගාරයේ ඇති 1938 පැවැති මිල ගනන් දැක්වෙන පොත් පිංචවල් සඳහා මෙතැනට පිවිසෙන්න.) 2020 ඩොලර් වටිනාකම්වලින් සලකා බැලූ කල, එදා සාමාන්‍ය පන්තියේ ටිකට් පතක් අද මුදලින් දල වශයෙන් ඩොලර් 3,700 ක් පමන වේ.

[20] American Aspects of the Assassination of Leon Trotsky, US House of Representatives Committee on Un-American Activities, 1950, පි. 3,402.

[21] එම, පි. 3,407.

[22] බැරන් කෲස්, පි. 163.

[23] උදාහරන සඳහා මෙතැනට පිවිසෙන්න.

[24] උදාහරන සඳහා, Labor Age 1932 නොවැම්බර්, පි. 2.

[25] ලෙයිලා ඩැනියෙල්සන්, “Howe to Hardman, June 21, 1934,” American Gandhi: AJ Muste and the History of Radicalism in the Twentieth Century (Philadelphia: Penn Press, 2014), පි. 188.

[26] එම, පි. 404 n. 57.

[27] බොහෝ සඳහන්වල රූබි වේල්ගේ සොහොයුරියගේ නම සඳහා අක්ෂර වින්‍යාසය දක්වා ඇත්තේ "Marian"ලෙස නොව, “Marion” ලෙසය.

[28] American Aspects of the Assassination of Leon Trotsky, පි. 3,409.

[29] එඩුවාර්ඩ් පුයිග්වෙන්ටෝස් ලෝපේස්, Ramón Mercader, el Hombre del Piolet: Bi ografía del asesino de Trotsky (Barcelona: Now Books, 2015), විද්‍යුත් පොත 2,424 අනුස්ථානයේ.

[30] එම. 2,415 අනුස්ථානයේ.

Loading