මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් මහියංගනයේ ඇඟලුම් කම්හලක කොරෝනා ආසාදනය වූ කම්කරු තරුනියක් මිය යයි

යෝධ ව්‍යාපාරයක් වන මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මහියංගනේ රිදීමාලියද්ද ගැමුනුපුර පිහිටි ෂේඩ්ලයින් ඇඟලූම් කම්හලේ 21 හැවිරිදි කම්කරු තරුනියක් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතිවූ සංකූලතාවන් හේතුවෙන් ඊයේ මිය ගියාය. මෙය, වසංගතය සමාජගතවී තිබියදී කම්හල් හිමියන් විසින් අනාරක්ෂිතව කම්කරුවන් බලහත්කාරයෙන් වැඩට යෙදවීමේ සෘජු ප්‍රතිඵලයකි.

මරනය පිලිගනිමින්, ඊයේ (17 දා) මාස් සමූහය විසින් නිකුත් කෙරෙනු නිවේදනයක සඳහන් වූයේ ඇයට පසුගිය 5 දා වෛරසය වැලඳී සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙයවන දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 10 ක් ගතකර තවත් දින 4 ක නිරෝධායනය සඳහා නිවසට පැමිනි බවත්ය.

වෛරසයෙන් මියගොස් ඇත්තේ මහියංගනයේ රිදිමාලියද්ද, වදකහඅරාව පදිංචිව සිටි කේ.එච්. එම්. චන්දිමා දමයන්ති නැමැති තරුනියකි. ඇය හතර දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියනියයි. ඇය නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිවසට පැමින දින දෙකකට පසු,16 දා රාත්‍රියේ හුස්ම ගැනිමේ අපහසුතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගන රෝහලටත්, ඉන්පසු බදුල්ල රෝහලටත් මාරුකර යැවු බව ඊයේ ලංකාදීප පුවත්පත වාර්තා කලේය.

මාස් හෝල්ඩිංග්ස් ආයතනයට අයත් කම්හලක්

ගිය වසරේ ඔක්තෝබර් මස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ පලමු ආසාදිතයා වාර්තාවීමේ සිට, මේ වනවිට මාවතගම, කොග්ගල, හොරන, බියගම, කටුනායක යන නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුලත්, නිවෙක වලට පිටින් මහියංගනය, වේයන්ගොඩ, පොලොන්නරුව වැනි ප්‍රදේශවල කම්හල්වලද වෛරසය පැතිරෙමින් පවතී.

මියගිය තරුනිය සේවය කල ෂේඩ්ලයින් ඇඟලූම් කම්හලේ කම්කරුවෝ 2,500 ක් සේවයේ නිරත වෙති. ඉන් 500 ක් ආසාදනයට ලක්ව ඇති බව ඉහත නිවේදනයෙන් මාස් සමාගම පිලිගනී. මහියංගනයේ කම්හලට අමතරව, මාස් සමූහයට අයත්, මාවතගම, වේයන්ගොඩ යන ස්ථානවල පිහිටි කම්හල්වල සිය ගනනක් සේවකයෝ මෙම වසර ආරම්භයේ සිට කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වූහ.

සේවකයින් 3,500 ක් පමන සේවයේ නිරත, ක්‍රීඩා ඇඳුම් (සහ යට ඇඳුම්) නිපදවන මාස් සමූහයට අයත් මාවතගම නිවෙකයේ පිහිටි මාස් ඉන්ටිමේට් කැෂුවල් ලයින් කම්හලේ පලමු කෝවිඩ් ආසාදිතයා ජනවාරි 13 දා වාර්තා වීමෙන් අනතුරුව, මේ වන විට අවම තරමින් 130 ක් ඉක්මවා සේවකයින්ට වෛරසය අසාදනය වී ඇත. පාලකයෝ මෙම මස මුල සතියක් පමනක් කම්හල වසා තැබූහ.

එම කම්හලේ කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ, තමන් වැඩ කරන පේලියට යාබද පේලියක කාන්තාවක් ජනවාරි 13 දා ආසාදනය වූවායින් පසුව ඇයගේ ආශ්‍රිතයින් අට දෙනෙකු පමන තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කෙරුනු බව සහ පසුව 18 ද සිට සති තුනක් පමන එම පේලිය වසාදමා කම්කරුවන්ට නිවාඩු දුන් බවයි. පසුව අනෙකුත් පේලිවල වැඩ කරන සමහර කම්කරුවන්ද අසාදනය වී ඇත.

මෙම කම්හලේම යන්ත්‍ර ක්‍රියාකරුවකු පැවසුවේ කම්හල තුල යන්ත්‍ර අතර දුර මීටරයකට වඩා අඩු නිසා රෝගය වැලඳීමේ අවදානමක් ඇති බවයි. කම්හල සතියකින් පසු විවෘත කිරීමේදී නිරෝධායනයේ සිටි සේවකයින් හැර අනෙක් සියලු දෙනාටම වැඩට එන ලෙසත් එසේ නොපැමිනියොත් සේවයෙන් නෙරපා හරින බවට පාලකයෝ තර්ජනය කල බවත් කම්කරුවෝ පැවසූහ. තමන්ට ද රෝගය වැලඳෙතැයි යන බිය තිබියදීම සේවකයන් වැඩට ගොස් ඇත.

සේවකයෝ 1,200 ක් පමන සේවයේ නිරත මාස් හෝල්ඩිංග්ස් සමූහයටම අයත් වේයන්ගොඩ, නයිවල පිහිටි මාස් ස්පීඩෝ ලිනිආ ඇකුවා කම්හලේ ජනවාරි සිට මේ දක්වා සේවකයින් 132 ක් ආසාදිත වූ බව පෙබරවාරි 15 ලංකාදීප පුවත්පත වාර්තා කලේය. අනතුරුව, මෙම කම්හල පෙබරවාරි 4 දා සිට සතියකටත් අඩු කාලයක් පමනක් තාවකාලිකව වසා දැමුනි. තොරතුරු එලිදරව් නොකරන ලෙස පාලකයෝ සේවකයින්ට තර්ජනය කලහ.

ජනවාරී 7 වනදා මාස් සමුහය විසින් නිකුත් කෙරුනු නිවේදනයක තම සමූහයට අයත් දිවයිනේ පිහිටි, හංවැල්ල ලීනියා ඇකුවා, පානදුර යුනිචෙලා, තුල්හිරියේ තුරුලී, පල්ලකැලේ කොන්ටුවලයින් යනාදි කම්හල් කිහිපයක සේවකයින් 446 කට පසුගිය වසරේ සිට වෛරසය අසාදනය වී ඇති බව පිලි ගත්තේය.

මාධ්‍යවලට අනුව, මහියංගනය නගරය අසල පිහිටි සේවකයින් 1,500 ක් සේවයේ නිරත ඊඒඑම් මැලිබන් ඇඟලුම් කම්හලේ මෙ මස තුල දුසිම් ගනනක් ආසාදිතයින් හමුවී ඇත.

කටුනායක නිවෙකයේ කම්හල් හතරකින් ඊයේ පමනක් හමුවූ ආසාදිතයින් 15 ක් සමග මේවන තෙක් කම්හල් 50 කින් ආසාදිතයින් 837 හමුවී ඇති බව අද වෙබ් අඩවිය ඊයේ වාර්තා කලේය. දංකොටුව මැල්ලව කම්හලකින් ආසාදිතයින් 44 ක් හමුවූ බව 15 දා මෙම වෙබ් අඩවියම වාර්තා කලේය.

වසර ආරම්භ වී යන්තම් ජනවාරි අවසන් වනවිට, කොග්ගල නිවෙකයේ පිහිටි එයිට්කන් ස්පෙන්ස් ගාමන්ට් ඇතුලුව 6 කට වැඩි කම්හල් ගනනාවක 100 ඉක්මවා ආසාදිතයන් හමුවූ අතර පොලොන්නරුව, ලංකාපුර පිහිටි ඇඟලූම් කම්හලකින් ආසාදිතයෝ 40 ක් හමුවූහ.

ජනවාරි මැද හොරන බොරලුගොඩ නිවෙකයේ ආසාදිතයන් 9 ක් හමුවී ඇත. ලලන් සමුහයට අයත් බියගම, සීතාවක සහ වරකාපොල කම්හල්වල කම්කරුවන් 2,500 ක් පමන සේවය කරන අතර, ඒ අතරින් අත් වැසුම් නිපදවන බියගම කම්හලේ ආසාදිතයින් 8 ක් හමුවූ බව ජනවාරි 10 ශ්‍රී ලංකා මිරර් වාර්තා කලේය.

මාස් සමූහය ඇතුලුව අනෙකුත් හාම්පුතුන් තම සේවකයින් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂන මාර්ගෝපදේශනයන් පිලිපදින බව දිවුරා කීම බේගලයක් බව දැන් මනාව හෙලිදරවු වී ඇත.

ජනවාරී 7 වනදා නිකුත් කල මාස් නිවේදනයක් ව්‍යාජ ලෙස කියා සිටියේ, "සෞඛ්‍යය බලධාරීන්ගේ නිර්දේශ මත වෛරසය ව්‍යාප්තිය සමහන් කිරීම සඳහා පියවර ගෙන" ඇති බවත්, "කලාපීය වෛද්‍ය නිලධාරීන්ද සෞඛ්‍ය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද සමග මෙම සෑම කම්හලක්ම සමීපව වැඩ කරමින් සිටින" බවත් ය.

ලැව්ගින්නක් මෙන් වෛරසය පැතිරෙමින් කම්කරුවන් රෝගී වීම හේතුවෙන් ඔවුන් කැරලිකාරී වී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු විය හැකි අර්බුදයක් සම්බන්ධයෙන් හාම්පුතුන් කලබල වී ඇත. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන්, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් මේ මස මුලදී සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීමක් අමතමින් රජයට බල කර කියා සිටියේ, මෙම ක්ෂේත්‍රයේ යෙදී සිටින සේවකයින් 350,000 දෙනාට හාම්පුතුන් විසින් කොරෝනා එන්නත් සඳහා අරමුදල් සපයන බවත් රජය එම එන්නත් ආනයනය කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවත්ය.

ගිය වසරේ අප්‍රේල් මස ආර්ථිකය යලි විවෘත කිරීමෙන් පසුව ඇන්ටන් මාකස් විසින් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධ වී කම්කරුවන් මත අර්බුදයේ බර පැටවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ස්ථාපිත කල ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බලකාය සමග පෙල ගැසුනි.

මාකස් විසින් කම්කරු ඇමති වෙත ඔක්තෝබර් මස යොමු කෙරුනු ලිපියක් මගින් ඉල්ලා සිටියේ කම්කරුවන්ගේ "සෞඛ්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරමින් සියලු කලාපයන්හි කර්මාන්තශාලා විවෘතව තබා ගැනීම" සඳහා පියවර ගන්නා ලෙසයි. කම්කරුවන්ගේ "සෞඛ්‍ය සුරක්ෂිතතාවය" හාම්පුතුන් විසින් තහවුරු කල ආකාරය ඉහත මරනයෙන් සහ සිය ගනන් ආසාදනය වීමෙන් අනාවරනය වූවායින් අනතුරුව මාකස් කිඹුල් කඳුලු හෙලමින් “සෞඛ්‍ය කමිටු” ස්ථාපිත නොකිරීම ගැන හාම්පුතුන්ට චෝදනා කල බව පෙබරවාරි 13 වාර්තා කලේය.

මාවතගම මාස් කැෂුවල් ලයින් කම්හලේ කම්කරු කාන්තාවක් රජයේ වෛරසය මර්දන මවාපෑම ගැන පිලිකුලෙන් ලෝසවෙඅ ට මෙසේ පැවසුවාය. "මර්දනය කලා කියල ආන්ඩුව කිව්වට එන්න එන්න වැඩිවන මරන වලින් සහ ආසාදන වලින් පේන්නෙ ඒක බොරුවක් බව. ආන්ඩුව මහජනතාවගේ පැත්ත බලනවා කියල කියන්න බැහැ."

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය සඳහා ප්‍රතිපාදන කපා දැමීමෙන්මත් මහජන සෞඛ්‍යය ගැන ආන්ඩුවේ නොතැකීම පෙන්නුම් කෙරෙන බව ද ඇය පැවසුවාය. සෞඛ්‍ය අංශයේ සේවකයින්ට ද අවශ්‍ය ආරක්ෂාව නොමැති බැවින් ඔවුන් වඩවඩාත් වෛරසයට ගොදුරු වෙමින් සිටින බව ඇය පැවසුවේ කොරෝනා ආසාදනයෙන් මියගිය වෛද්‍යවරයා සහ අනෙක් රෝහල් සේවකයා ගැන කනගාටුව පල කරමිනි.

"තමන්ගේ ලාභය පමනක් බලන කොම්පැනිකාරයො අපේ ජීවිත නොතකා ඔවුන්ගේ ඕඩර් ටික ඉවර කරගන්න තමයි හදන්නේ" යනුවෙන් ඇය චෝදනා කලාය.

කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලමින් ධනපතියන් තම ලාභ තර කරගෙන ඇති ආකාරය සංඛ්‍යා ලේඛන හෙලි කරයි. ජනවාරි මස තුල පමනක් ලංකාවේ ධනවතුන්ගේ වත්කම් රුපියල් බිලියන 739 කින් (ඇමරිකානු ඩොලර් 3.8) වැඩි විය. ධනපතියන් මෙසේ ලාභ පොදිගසා ගන්නේ අන්තරායකාරී නව වෛරස් ප්‍රභේදය දිවයිනේ විවිධ පලාත්වලින් වාර්තා වෙමින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 77,906 ක් සහ මරන 422 ක් දක්වා ව්‍යසනකාරීව ඉහල නැග ඇති තතු යටතේය.

මෙසේ වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙද්දී ඊනියා “නව සාමාන්‍ය” යටතේ මහජනතාවගේ ජීවිත පරදුවට තබා, රාජපක්ෂ රජයේ සැබෑ ජනඝාතක රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තිය ක්‍රියාවට දමන බව සපථ කරමින් උග්‍ර ස්වෝත්තමවාදීයකු වන සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ පෙරේදා ප්‍රකාශ කලේ රට දැඩි “නය බරින් මිරිකිලා ඉන්න” නිසා “තව දුරටත් වසා තබාගෙන සිටීමේ ආර්ථිකමය ශක්තියක් නැහැ. ..... කොරෝනා වෛරසය සමග ජීවත්වීම තමා අද අපි ඉදිරියේ තියෙන අභියෝගය" යනුවෙනි.

Loading