සෞඛ්‍ය සේවක වර්ජනය හා පා ගමන පුලුල් සටනක් ලෙස සංවිධානය කරනු!

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් පෙබරවාරි 23 දිනට කැඳවා ඇති කනිෂ්ඨ කාර්ය මන්ඩල සෞඛ්‍ය කම්කරුවන්ගේ අසනීප නිවාඩු උද්ඝෝෂනය හා විරෝධතා පා ගමන ද, සමස්ත ලංකා සුව සේවා සංගමය පෙබරවාරි 24 – 25 දිනවල කැඳවා ඇති වර්ජනය ද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත කම්කරුවන් මුහුන දෙන දැවෙන ප්‍රශ්න එල්ල කරගත් පොදු සටනක් ලෙස සංවිධානය කර ගැනීම අදාල ඉල්ලීම් ජයග්‍රහනය සඳහා තීරනාත්මකය.

එබැවින්, කට්ටිවාදී සමිති බෙදුම්කඩනයන්ගෙන් තොරව මෙම සටන සංවිධානය කර ගැනීම සඳහා සියලු සෞඛ්‍ය සේවකයින් නියෝජනය වන රැස්වීම් වහා කැඳවිය යුතුයැයි සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව කියා සිටී.

පා ගමන සඳහා නිමිත්ත ලෙස ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 11ට අවදානම් දීමනා, නිල ඇඳුම් දීමනා, උත්සව අත්තිකාරම්, සේවය ස්ථිර කිරීම් වැනි ඉල්ලීම් අයත් වේ. එම ඉල්ලීම් සමස්ත සෞඛ්‍ය කම්කරුවන්ගේ අවශ්‍යතා සමග සෘජුව සම්බන්ධය.

කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මන්ඩල වලට සිදු කෙරෙන අනීතික පත් කිරීම් හා පුහුනු කිරීම් නතරකොට, නියමිත පටිපාටිය හා ක්‍රමවේදයට අනුව එම කටයුතු සිදුකල යුතු බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ඉල්ලීමයි.

වෛද්‍යවරුන්ගේ සිට කනිෂ්ඨ සේවකයින් දක්වා සියලු සෞඛ්‍ය සේවකයින්ගේ පොදු ඉල්ලීම් සමඟ ඉහත ඉල්ලීම් ඒකාබද්ධ කරමින් ද, වරාය, වතුකරය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් හි කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වල ඉල්ලීම් සමග ඒකාබද්ධ කරමින් සහ අවශේෂ කම්කරු පන්තික කොටස්වල සහාය ගොනුකර ගනිමින් මෙම සටන සංවිධානය කර ගත යුතුය.

කොවිඩ් වසංගතය හමුවේ අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩකිරීමට සිදුවීම, අධිකතර වැඩ පැටවීම, අවදානම් දීමනා නොමැති වීම, ආදේශක සේවකයින්ට රැකියා සුරක්ෂිතතාවය නොමැති වීම ආදී දැවෙන ප්‍රශ්න වලට අප ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් හට මුහුන පෑමට සිදුව තිබේ.

තමන් නියෝජනය කරන ශ්‍රේනියට හෝ කොටසට පමනක් සටන සීමා කර, ආන්ඩුවට කරන “බලපෑමක්” ලෙස පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් ඉල්ලිම් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය උත්සාහ දරයි. ජනතා විමුක්ති පෙරමුනට අයත් සමස්ත ලංකා සුව සේවා සංගමය යත්න දරන්නේ සිය ක්‍රියා මාර්ගය තමන් නියෝජනය කරන, ප්‍රාථමික මට්ටමේ නුපුහුනු (පීඑල්1), ප්‍රාථමික මට්ටමේ අර්ධ පුහුනු (පීඑල්2) සහ ප්‍රාථමික මට්ටමේ පුහුනු (පීඑල්3) යන කම්කරු ශ්‍රේනීන්ට පමනක් සීමා කිරීමටය.

මෙවන් පටු සීමාවන් තුල අපේ සටන සිර කිරීමට ඉඩ නොදිය යුතුය.

මෙම සමිති වල මූලික ක්‍රියා මාර්ගය වනුයේ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිට හෝ අමාත්‍යාංශ ලේකම්ට ලිපි ලිවීම මගින් හෝ ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම මගින් මෙම ඉල්ලීම් දිනා ගත හැකිය යන මිත්‍යාව වපුරමින් තම සාමාජිකයින් විවිධ විරෝධතාවන්ට තල්ලු කිරීමයි. විටින් විට සංවිධානය කරන එවන් විරෝධතා හරහා ලබා ගන්නා ආන්ඩුව සමග සාකච්ඡාවන් දැවැන්ත ජයග්‍රහනයක් බව ඔවුහු හුවා දක්වති.

මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපි 18ක් ලියා විරෝධතා හතක් පවත්වා ඇතත්, “ඒ් කිසිවක් පිලිබදව අමාත්‍යාංශය විසින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොතිබීම අතිශය කනගාටුදායක” බව ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට ලියා තිබේ.

පෙබරවාරි 17දින උදේ වරුවේ වැඩ නැවැත්වීමක් දියත් කල ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, එදින දහවල් කොලඹ ජාතික රෝහලේදී පැවැත්වූ රැස්වීමකදී සමිති නායක ටැම්පිටියේ සුගතානන්ද පැවසූවේ තමන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා මේ වන තෙක් අසාර්ථක වී ඇති බවයි. ඒසේ වුවද මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පා ගමනින් ගොස් බලය පෙන්වීම මගින් තවත් සාකච්ඡාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.

පෙබරවාරි 18 දින බදුල්ල මහ රෝහලේ පැවැත්වූ පැය හතරක වර්ජනය අතරතුරදී සිය සාමාජිකයන් ඇමතූ සමස්ත ලංකා සුව සේවා සංගමයේ උප සභාපති අසංක ඉන්දික කියා සිටියේ වරින් වර ඒ් ඒ් රෝහල් වල සංකේත වර්ජන කල නමුත් බලධාරීන් තමන් ඉදිරිපත් කල ප්‍රශ්න නෑහුනා ලෙස සිටි බවය. ඔහු යලිත් කීවේ ලබන 22දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන තවත් සාකච්ඡාවක් පිලිබඳව කම්කරුවන් විශ්වාසය තැබිය යුතු බවයි.

සාකච්ඡාවන්ගේ අසාර්ථකත්වය පිලිබඳව පුන පුනා කියන මොවුන් යලිත් කම්කරුවන් මෙහෙයවන්නේ එම බංකොලොත් ක්‍රියාවටමය.

මින් අනාවරනය වන කාරනාව වන්නේ ජවිපෙ හා පෙසප හා ඒවායේ නායකත්වය ලබන වෘත්තිය සමිති සෞඛ්‍ය සේවකයන් පෙලනු ලබන ධනපති ආන්ඩුව සමග සම්මුති විරහිත සටනකට යාමට පවතින නොසූදානමයි.

මෑතදී මෙය ඉතා පැහැදිලිව ඉස්මතු වූයේ කොලඹ වරායේ නැගෙනහිර ජැටිය පුද්ගලීකරනය කිරීමට එරෙහිව පැන නැගි කම්කරු සටන, වෘත්තීය සමිති 23ක් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ සමඟ ගොඩනගා ගත් 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නම්වූ අන්ත දක්ෂිනාංශික සංවිධානය විසින් ඉන්දියානු විරෝධී 'දේශප්‍රේමයක්' තුල කොටු කිරීමට ජවිපෙ සහ පෙසප ඒ්කාබද්ධ වීමත් මගිනි.

1980 ජූලි මහ වැඩ වර්ජනයට හොරිකඩකම් කිරීමේ සිට මේ දක්වාම ජවිපෙට ඇත්තේ එවන් පාවාදීමේ ඉතිහාසයකි. පෙසප, ජවිපෙ න් සංවිධානාත්මකව වෙන් වුව ද, එහි දේශපාලනික පෙකනිවැල ජවිපෙ න් වෙන් වී නොමැත.

සූදානම් කර ඇති මෙම පා ගමන හා වර්ජනය කම්කරුවන්ගේ සටන් ශක්තිය මොට කර ආන්ඩුවේ ප්‍රහාරාත්මක වැඩ පිලිවෙල කම්කරු පන්තිය මත පටවන්නාවූ හා කම්කරුවන්හට සිය ඉල්ලීම් දිනා ගතහැකි මාවත වලහන්නාවූ ඊනියා “සටනක්” වනු වෙනුවට, සෞඛ්‍ය කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ගතහැකි සම්මුති විරහිත සටනක් බවට පත් කර ගැනීම සඳහා අප ඉහත දක්වා ඇති ලෙස සංවිධනාය වීම අත්‍යවශ්‍යය.

ලංකාව තුල මෙන්ම ජාත්‍යන්තරව ද අප අත්දකින්නේ පාලක පංතීන් විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින කම්කරු සටන් ඒ් ඒ් ශ්‍රේනි වලට හා ඒ ඒ් ස්ථාන වලට සීමා කරමින් එම සටන් ඒ්කාබද්ධ අරගලයේ මාවතින් වියෝකොට අවසානයේ පාවා දීමයි. හෙට සිට කැඳවා ඇති සටන්ද ඒවන් කට්ටිවාදී සහ පාවාදීමේ වැඩ පිලිවෙලකට යොමු නොකල යුතුය.

සමිති විසින් මෙහෙයවන ඊනියා බලපෑම් යෙදීමේ විරෝධතා සටන් වලට විකල්පව සෞඛ්‍ය කම්කරුවන්ගේ ඉල්ලීම් වටා කම්කරු පන්තියේ සියලු කොටස් ඒ්කාබද්ධ කර ගනිමින්, ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ එම ප්‍රහාර ක්‍රියාවට නංවන ධනපති ආන්ඩුවට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් සංවිධානය කොට මෙහෙයවා ගැනීම දැවෙන වුවමනාවයි.

ධනපති ක්‍රමයට ඓන්ද්‍රීයවම බැඳී ඇති වෘත්තීය සමිති එවන් වැඩපිලිවෙලකට මුලුමනින්ම සතුරු ය. සියලු රෝහල් ඇතුලු කම්හල් හා වැඩපල ආශ්‍රිතව, ධනපති රාජ්‍යයෙන් හා වෘත්තීය සමිති ඇතුලු ධනපති පන්තියට කත් අදින සියලු කොටස් වලින් බිඳී කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනා ගැනීමේ අවශ්‍යතාව අප අවධාරනය කරන්නේ එබැවිනි.

මේ වන විට රෝහල් පද්ධතිය පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් සිය ගනනකට කොරෝනා රෝගය වැලඳී ඇති අතර ජනවාරි 8දා රත්නපුර රෝහලේ සෞඛ්‍ය සේවක ශාන්ත ස්ටීවන්ද පෙබරවාරි 2 දින තරුන වෛද්‍යවරයෙකුවු ගයාන් දන්තනාරායනද කොරෝනා රෝගයෙන් මිය ගියහ.

මේ වනවිට රෝහල් ගනනාවක කොවිඩ් රෝගීන් හමුවී තිබියදීත් ඔවුන් ඇසුරු කල අනෙක් කම්කරුවන් දිගටම සේවයේ යොදවන අතර කොවිඩ් රෝගීන් රෝහල් තුලින් හමුවීම අවශේෂ සෞඛ්‍ය කම්කරුවන්ගෙන් වසන් කිරීම සිදුවන බව අප දන්නා කරුනකි. එන්නත ලබා දුන්නද ඉන් ලැබෙන්නේ පාර්ශ්වික ප්‍රතිශක්තියක් පමනක් නිසා, රෝගීන්ට මෙන්ම අප පවුල් වල අයට එන්නත නොලැබී ඇති තතු තල අප මුහුන දෙන අනතුර පහවී නැත.

මාස් (MAS) හෝල්ඩින්ග්ස් සමාගමට අයත් මහියංගනයේ ඇඟලූම් කම්හලක 21 හැවිරිදි කම්කරු තරුනියක් කෝවිඩ්-19 ආසාදනය වීමෙන් මිය යාම, වසංගතය නොතකා කම්හල් විවෘතව තබා ගනිමින් කෙරෙන ලාබ ගැරිමේ ක්‍රියාවලියේ ව්‍යසනකාරිත්වය තහවුරු කරයි. මේවන විට දිවයින පුරා කම්හල් හා ගම්බද ප්‍රදේශ තුල වෛරසය ලැව් ගින්නක් ලෙස පැතිරේ. ආසාදිත සංඛ්‍යාව 80,000ට ආසන්න අතර මරන සංඛ්‍යාව 500කරා වේගයෙන් ගමන් කරයි.

තත්වය එසේ වුවද එය සීමා කිරීමේ අත්‍යවශ්‍යම පියවරක් වන ජාතික පරිමාන අගුලු දැමීමකට නොයන බවත් රට දිගටම විවෘතව තැබෙන බවත් ජාතික කොරෝනා මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මෙන්ම ආන්ඩුවේ කැබිනට් මන්ඩලයද සපථ කරයි.

ඉතා වේගයෙන් පැතිරෙන වෛරසයේ නව ප්‍රභේදයට මුහුන දීම කෙසේවෙතත්, ලංකාවේ දැනට ප්‍රමුඛ ව පැතිරෙන කොරෝනා වෛරසයට පවා මුහුන දීමට පවතින නිරෝධායන මධ්‍යස්ථාන, රෝහල්, හදිසි ප්‍රතිකාර ඒකක කිසිසේත්ම ප්‍රමානවත් නොමැති බව පැහැදිලිය.

ආසාදිතයින් වේගයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල් පද්ධතිය වරින් වර අඩපන වන තතු තුල වසංගතයේ පැතිරීම වඩ වඩාත් වේගවත් වුවහොත් අනිවාර්යයෙන්ම මෙම සීමිත ධාරිතාව ඉක්මවා ගොස් සෞඛ්‍ය සේවක අපට මුහුන දීමට සිදුවන කොන්දේසි අමුතුවෙන් කිව යුතු නැත.

කොවිඩ් සඳහා වෙන්වුනු රෝහල් වල දැඩි සත්කාර ඒ්කක වල ඇති තදබදය නිසා සෞඛ්‍ය සේවකයින් වන අපට වුවද කොවිඩ් රෝගය උත්සන්න වුවහොත් සිදුවන්නේ ප්‍රතිකාර හරිහැටි නොලබාම මියයාම යි

අදහස් ප්‍රකාශ කිරීමේ සහ තීන්දු තීරන ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මත පාදක වූ, ධනපති ආන්ඩුවේ මෙම සියලු ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත සටන් කරන, ශ්‍රේනි වලට සීමා නොවූ, කම්කරු ක්‍රියාකාරී කමිටු තම සේවා ස්ථානයන්හි ගොඩ නගා ගැනීමේ දැවෙන අවශ්‍යතාව සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව යලියලිත් අවධාරනය කරයි.

රෝහල්වල සෞඛ්‍ය සේවකයින් සමඟ මෙන්ම අධ්‍යාපන සෙවකයන් සමග ද, වරාය හා වතුකරය වැනි ස්ථාන වල සටන්කාමී කම්කරුවන් සමගද සාකච්ඡා කිරීම සඳහා අප සේවක කන්ඩායම් මෙහෙයවා ගනිමින් සහ ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හරහා පුලුල් වැඩ කරන ජනයා අතර උපරිම සහාය දිනා ගනිමින් එම සටන සංවිධානය කර ගත යුතුය.

ඒ සදහා ඉදිරියට පැමිනෙන වෛද්‍යවරුන් ඇතුලු සියලු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අප සමඟ පහත යොමු හරහා සබඳතා ඇති කර ගන්නා ලෙසයි.

ඊ මේල්: healthworkers-sl@wsws.org දුරකථන සහ කෙටි පනිවිඩ: 0773562327

Loading