ඉදිරිදර්ශන

වුහාන් රසායනාගාරය පිලිබඳ වොෂිංටනයේ බොරුව

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 17 දින Washington’s Wuhan laboratory lie යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

කොවිඩ්-19 ස්වාභාවික මූලාරම්භය පිලිබඳ විශ්වීය මට්ටමෙන් පලකෙරී ඇති විද්‍යාත්මක එකඟතාව ඉදිරියේ, බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද මාධ්‍ය මෙම රෝගය චීන රසායනාගාරයකින් මුදා හැර ඇත යි යන බොරුව දෙගුන තෙගුන කර තිබේ.

මෙම ප්‍රකාශයට සත්‍යයේ අංශුවක් වත් නොමැත. වසංගතයේ මූලාරම්භය පිලිබඳ පර්යේෂන කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) සාමාජිකයින්ගෙන් වඩාත්ම මෑත හා වඩාත්ම විවේචනාත්මක ප්‍රතික්ෂේප කිරීම සිදුවිය. එයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බැවින්, වෛරසය මිනිසා විසින් නිපදවන ලද්දේ යැයි කියන කිසිඳු පරීක්ෂනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොකෙරෙන බව ඔවුහු නිවේදනය කලහ.

2021 පෙබරවාරි 3 වන බදාදා චීනයේ හුබෙයි පලාතේ වුහාන් හි ලෝක සෞඛ්‍ය සංවිධාන කන්ඩායම කල සංචාරයකින් පසුව වුහාන් වෛරස් විද්‍යා ආයතනය තුල ඇති පී 4 විද්‍යාගාරය පිලිබඳ දර්ශනයක් ්(ඒපී ඡායාරූපය / එන් හැන් ගුවාන්)

ලෝ‌ක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ශිංහුවා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියාන් වන්නියන් පැහැදිලි කලේ, “වෛරසය මිනිසුන් විසින් නිර්මානය කරන ලද්දක්” ය යන න්‍යාය “දැනටමත් ලොව පුරා සමස්ත විද්‍යාත්මක ප්‍රජාව විසින්ම ප්‍රතික්ෂේප කර ඇති” බව යි.

වෛරසය අහම්බෙන් රසායනාගාරයකින් පිට වූ බවට පැවසෙන ප්‍රකාශය පිලිබඳව, ලියාන් තවදුරටත් මෙසේ පැවසී ය, “වුහාන් හි සියලුම රසායනාගාරවල, ජීවමාන සාර්ස්-කොවිඩ්-2 වෛරසය නොමැත. මෙම වෛරසයේ පැවැත්මක් නැත්නම්, මෙම වෛරසයට සම්බන්ධ වීමේ ක්‍රමයක් නෑ”

ලෝසෞසං ආහාර සුරක්‍ෂිතතා විශේෂඥ පීටර් බෙන් එම්බරෙක් මෙසේ එකතු කලේ ය, “මෙම වෛරසය මීට පෙර කොතැනකවත් පර්යේෂන කර හෝ හඳුනාගෙන හෝ දැන සිටියේ නෑ.”

ලෝසෞසං විද්‍යාඥයින්ගේ නිශ්චිත නිගමනවලට බයිඩන්ගේ ධවල මන්දිරයෙන් කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් ලැබුනි. “කොවිඩ්-19 පරීක්ෂනයේ මුල් සොයාගැනීම් සන්නිවේදනය කල ආකාරය සහ ඒවා වෙත ලඟා වීමට භාවිතා කල ක්‍රියාවලිය පිලිබඳ ප්‍රශ්න පිලිබඳ ව අපට දැඩි උත්සුකයක් ඇත” යි ධවල මන්දිරය පෙබරවාරි 13වැනි දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මෙය සලකුනු කරන්නේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන න්‍යායයෙන් ඉතාමත් විකාරසහගත මෙන් ම පුදුමාකාර එක ලෙස සලකනු ලබන, කොවිඩ්-19 යනු චීන රසායනාගාරයකින් මුදා හරින ලද “සන්නද්ධ” වෛරසයක් ය යන්න බයිඩන් පරිපාලනය විසින් විවෘත ව වැලඳ ගැනීම යි. ධවල මන්දිර වෙලඳ උපදේශක පීටර් නවරෝ හා ප්‍රධාන මූලෝපායඥ ස්ටීව් බැනන් වැනි අන්ත දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන් විසින් එය ප්‍රවර්ධනය කරන ලදී.

මැයි මාසයේ දී, කොවිඩ්-19 “වුහාන් විද්‍යාගාරයක ආරම්භ වූයේ දැයි” ඇසූ විට, හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, “මෙය ආරම්භ වූයේ කොතැනින්ද යන්නට විශාල සාක්ෂි තිබේ” යැයි පැවසී ය. ජුනි මාසයේදී නවරෝ විසින් “චීන කොමියුනිස්ට් පක්ෂය… වෛරසය බිහි කලා” යැයි ප්‍රකාශයට පත් කල අතර රෝගය එය “ආයුධයක් ලෙස සන්නද්ධ කල වෛරසයක්” ලෙස නම් කලේය.

එන්නත්-විරෝධී ප්‍රචාරක මධ්‍යස්ථානයක් ලෙස සේවය කර ඇති වෝල් ස්ට්‍රීට් ජර්නලය, ලෝසෞසං සංවිධානය විවේචනය කරන බයිඩන්ගේ ධවල මන්දිරයේ ප්‍රකාශය ඩැහ ගනිමින්, ලෝසෞසං දූත පිරිසේ විද්‍යාඥයින්ට පෞද්ගලිකව ප්‍රහාරයක් එල්ල කිරීමට මුල පිරුවේ, “මෑත ලෝක ලෝසෞසං සංචාරය අවසන් වූයේ බීජීනය වෙනුවෙන් ප්‍රචාරක කුමන්ත්‍රනයක් සමඟ” යැයි චෝදනා කරමිනි.

එය හෙලා දැකීම සඳහා තෝරා ගත්තේ, කන්ඩායමේ වඩාත්ම කතාබහට ලක්වූ සාමාජිකයන්ගෙන් කෙනෙකු වන, සත්ව විද්‍යාඥ පීටර් දාසාක් ය. චීන බලධාරීන්ගේ වසන් කිරීමක් පිලිබඳ ව බොරු චෝදනා කිරීම සම්බන්ධයෙන් මෑතක දී නිව් යෝක් ටයිම්ස් පුවත්පත හෙලා දුටු ඔහු, “වුහාන් විද්‍යාගාර” කුමන්ත්‍රන න්‍යාය දක්ෂිනාංශික අන්තවාදී ෆලුන් ගොං ව්‍යාපාරය සහ එහි ප්‍රකාශනය වන ඊපොක් ටයිම්ස් (Epoch Times) පත්‍රය විසින් දැඩි ලෙස ප්‍රවර්ධනය කරන බව නිවැරදි ව පෙන්වා දුන්නේ ය.

විශ්ව විද්‍යාත්මක සම්මුතියක් මධ්‍යයේ, එක්සත් ජනපද ආන්ඩුව හා මාධ්‍ය මෙම විකාර කුමන්ත්‍රන න්‍යාය ප්‍රවර්ධනය කරන්නේ ඇයි?

මෑත කාල පරිච්ඡේය තුල, චීනයටත්, වැඩි මනත් ලෙස චීන ජනතාවටත් ඇමරිකානු ජනතාව වෛරී කර වීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය එක් ප්‍රචාරක ව්‍යාපාරයකට පසු තව එකක් අඹරවා ඇත. වුහාන් විද්‍යාගාර කුමන්ත්‍රන න්‍යායට පෙර, චීනය සිය මුස්ලිම් ජනතාවට එරෙහි ව “ජන සංහාරයක්” සිදු කරන බවට ප්‍රකාශයක් තිබුනි. ඊට පෙර එය ටිබෙටය විය; ඊටත් පෙර එය තායිවානය විය.

කොවිඩ්-19 ප්‍රථම වරට චීනයේ මතු වූ විට, සමූහ මරන හා රෝගාබාධ පිලිබඳ දර්ශන ඇමරිකාව තුල උතුරා යන ජාත්‍යන්තර සහයෝගීතාවක් ජනිත කලේය. ඇමරිකානුවෝ ස්වේච්ඡාවෙන් චීනයට සැපයුම් යැවූහ. සංධ්වනි වාද්‍ය වෘන්ද එහි වෛද්‍ය සේවකයින් වෙනුවෙන් ප්‍රසංග වෙන් කලෝය.

අන්‍යයන්ගේ අවශ්‍යතා සම්බන්ධ මොහොතේ දී අනෙකුන්ගේ දුක් විඳීමට සහාය දැක්වීමේ මෙම මානව ආවේගය, චීනය ලෝකයේ ආධිපත්‍යයට ඇති ලොකු ම බාධකය ලෙස දකින, එක්සත් ජනපද ආන්ඩුවේ අරමුනු ඉක්මවා යයි.

එබැවින් ට්‍රම්ප් පාලනාධිකාරයේ විශාල බොරුව මතු විය, එනම්, කොවිඩ්-19 යනු චීන කොමියුනිස්ට් පක්ෂය විසින් හිතාමතා ම ලෝකයට පමුනුවන ලද “චීන වෛරසය” යි. මෙම පුපුරන සුලු ප්‍රකාශය එල්ල කෙරුනේ මහජන විඥානය මොට කිරීමට හා චීනය “සතුරා” ලෙස යක්ෂයෙකු බවට පත් කිරීමට ය.

නව ජනාධිපතිවරයා තම පූර්වගාමියාගේ වර්ගවාදය, විදේශිකභීතිකාව හා මිලිටරිවාදය ප්‍රතික්ෂේප කරනු ඇතැ යි යන බලාපොරොත්තුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් බයිඩන්ට ඡන්දය දුන්හ. මෙම බලාපොරොත්තු අස්ථානගත වුනි. ට්‍රම්ප් මෙන් බයිඩන් ද කතා කරන්නේ ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයක් වෙනුවෙන් වන අතර, එහි ගෝලීය ආධිපත්‍යයට වන මොන යම් හෝ අභියෝගයක් වැලැක්වීමට අධිෂ්ඨාන කරගෙන සිටී. එය රැක ගැනීමට එය අසංඛ්‍යාත යුද්ධ කර - මිලියන ගනනක් මිනිසුන් ඝාතනය කර ඇත.

මැදපෙරදිග පාලනය සඳහා වූ දශක ගනනාවක යුද්ධවලින් පසු ව, ට්‍රම්ප් පරිපාලනය විසින් “මහා බල ගැටුම” යනුවෙන් හැඳින්වූ දෙයට, විශේෂයෙන් චීනය සමඟ යුද්ධය සඳහා සූදානම් වීමට එක්සත් ජනපදය මාරු වී තිබේ.

“ප්‍රචාරකයාගේ පැරනිතම උපක්‍රමය වන්නේ වෛරයට පාත්‍ර වූ අනෙක් අය හෝ වෙනත් අයව යක්ෂයින් ලෙස සැලකීම සහ සතුරා මුහුන නැති (සැඟවුනු) වස්තුවක් බවට පත් කිරීමයි” යනුවෙන් ප්‍රචාරක ශිල්පීය ක්‍රම පිලිබඳ එක් කතුවරයෙක් ලිවී ය. "මෙය කිරීමෙන් ප්‍රතිවාදියාට රිදවීම පහසු වේ."

එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධයකට මිලියන ගනනකගේ මරන හසු කෙරෙනු ඇත. එවැනි පරිමානයක ලේ වැගිරීමක් සඳහා ජනගහනය “සතුරාට” වෛර කිරීමට පදම් කරන තෙක්, වසර ගනනාවක් තිස්සේ බොරුව පිට බොරුවක් ගොඩගැසීමේ සූදානම අවශ්‍ය වේ.

බොරුවේ විකාර සහගත බව හා ව්‍යාජත්වය අවසානයේ වැදගත් නො වේ. වැදගත්ම දෙය වන්නේ ඇතමෙකු හෝ බොහෝ දෙනෙකු එය විශ්වාස කරනු ඇත යන්න යි. මහජන මතයට වස කවනු ඇති අතර, සාමාන්‍ය කාලවල දී සමූහ ඝාතනය ලෙස හැඳින්වෙන දේ ආත්මාරක්ෂාව ලෙස ඉදිරිපත් කල හැකි වනු ඇත.

මේ අනුව, “කම්පනය සහ භීතියේ” බෝම්බ හෙලීමේ උද්ඝෝෂනයකට මුල පිරූ, එක්සත් ජනපදයේ ඉරාකය ආක්‍රමනය, න්‍යෂ්ටික අවි තර්ජනයක ආත්මාරක්ෂාව ලෙස මහජනයාට විකුනනු ලැබී ය. යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව හා සිරියාවේ රටකට පසු රටක මෙම උපක්‍රමය පුනරුච්චාරනය කෙරී ඇත.

එහෙත් යුද්ධය විශාල වන තරමට එය සාධාරනීකරනය කිරීමට අවශ්‍ය බොරුව වඩා විශාල වන අතර, චීනය සමඟ යුද්ධයක් සියල්ලන්ගෙන් ම විශාලතම යුද්ධය වනු ඇත. මේ අනුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි, “මිලියන දෙකකට ආසන්න පිරිසක් මියගොස්” ඇත්තේ “චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය පිලිබඳ විනිවිද පෙනෙන හා ගැඹුරු පරීක්ෂනයක් ක්‍රමානුකූල ව වලක්වා ඇති බැවිනි.

චීනයට එරෙහි මහජන මතය විස ගැන්වීමට දරන උත්සාහය දේශීය අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීම සමඟ සමීපව බැඳී පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ 500,000කට අධික පිරිසක් මියගොස් ඇත්තේ, වසංගතය ගැන මහජනතාවට අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කිරීම, කඩාකප්පල්කාරී පරීක්ෂන, හා පසු ව කොටස් වෙලඳපල ඉහල නැංවීමේ අරමුනින් අකාලයේ නැවත ව්‍යාපාර හා පාසල් විවෘත කරන ලද බැවිනි.

ඊට හාත්පසින්ම වෙනස්ව, සෞඛ්‍ය ආරක්ෂනය සැපයීම සඳහා චීනය මහජන සම්පත් ඉහල නංවා ඇති අතර වසංගතය පාලනය වන තෙක් පාසල් හා ව්‍යාපාර වසා දමා තැබුවේ ය. එම හේතුව නිසා, චීනයේ සමස්ත වසංගතය තුල මිය ගිය තරම් පුද්ගලයෝ එක්සත් ජනපදයේ එක් දිනක් තුල මිය ගියහ.

චීනය යක්ෂයින් කිරීමේ ව්‍යාපාරයේ තර්කනය ෆිනෑන්ෂල් ටයිම්ස් හි තීරු රචක ජනන් ගනේෂ් විසින් "ඇමරිකාවේ එක්සත් ව සිටීමේ හොඳම බලාපොරොත්තුව චීනයයි" යන මාතෘකාව යටතේ දක්වා ඇත. “පහර දීමට බාහිර සතුරෙකු නොමැතිව, ජාතිය තමන් වෙතට ම හැරෙන්නේ, බාහිර සතුරෙකුට පමනක්, විසංවාදයේ යුගය අවසන් කල හැකි නම් පමනී” යැයි ගනේෂ් නිගමනය කලේ ය.

එහෙත් ගනේෂ් “ජාතික සමගිය” සඳහා උත්සාහ දැරීම දීප්තිමත් වචනවලින් ඉදිරිපත් කරන අතර, 19 සහ 20වන සියවස්වල සමස්ත ඉතිහාසය පෙන්නුම් කරන්නේ, විශේෂයෙන් ඓතිහාසිකව පීඩිත රටවලට එරෙහි ව යුද්ධ ප්‍රවර්ධනය කිරීම සැමවිට ම වර්ගවාදයේ දරුනුතම රූපකාරයන් සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි. 19වන සියවසේ අගභාගයේ දී චීනය කැබලි කිරීම හා යටත් කර ගැනීම සාධාරනීකරනය කිරීම සඳහා [අග්නිදිග ආසියානු රටවල් බරහිර ලෝකයට අයහපතකි යන අරුත ඇති] “කහ උපද්‍රවය” පිලිබඳ වර්ගවාදී මිථ්‍යාව භාවිතා කරන ලදී.

ට්‍රම්ප් සමඟ චීනයට එරෙහි උද්ඝෝෂනය “කුං ෆ්ලූ(උන)” හා “චීන වෛරසය” ඇද ගැනීමත් සමඟ අතිශයින්ම වර්ගවාදී රූපාකායක් ගත්තේ ය. කෙසේ වෙතත්, බයිඩන්ගේ දේශපාලන සහචරයන් ද වර්ගවාදී භාෂාව හා චිත්තරූප යොදා ගෙන ඇත. 2019 දී වොෂිංටන් පෝස්ට් පත්‍රය, චීන ඇමරිකානුවන් “කහ අධිරාජයාගේ පුතුන් හා දියනියන්” ලෙස හඳුන්වනු ලබන, හූවර් ආයතනයේ වාර්තාවක් ප්‍රවර්ධනය කරන ලදී, එයින් ඇඟවෙන්නේ “සමස්ත ලෝක චීන ඩයස්පෝරාව” වාර්ගික පදනම මත බීජිනයට තම පක්ෂපාතිත්වය දැක් වීමට බැඳී සිටින බව යි.

පක්ෂ දෙකෙන් ම මේ ආකාරයේ කැලිකසල ගලා ඒමත් සමඟ ආසියානු විරෝධී වර්ගවාදය ඉහල යාම පුදුමයක්ද? පසුගිය වසරට සාපේක්ෂව නිව් යෝක් නගරයේ පමනක් ආසියානුවන්ට එරෙහි වෛරී අපරාධවලට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව සියයට 867 කින් ඉහල ගොස් තිබේ. 2006 සිට ඇමරිකානු ජනතාව තුල චීනය පිලිබඳ අසුබවාදී අදහස් දෙගුනයකට වඩා වැඩි වී ඇති බව පිව් පර්යේෂන මධ්‍යස්ථානය(Pew Research Center) පවසයි.

ගනේෂ් බලාපොරොත්තු වන"ජාතික සමගිය"අත්වැල් බැඳ ගන්නවා ඇත්තේ, දෙවන ලෝක සංග්‍රාමයේ දී ජපාන ඇමරිකානුවන් සිරගත කිරීම ඇතුලු ව, ආසියානු විරෝධී වෙනස්කම් කිරීම, අගතිය සහ හිංසනය හේතුවෙන් ඉතිහාසය කැලැල් වී ඇති රටක, වර්ගවාදයේ දූෂිත උද්ඝෝෂනය සමගිනි.

ජර්මානු ධනවාදයට ද “මහජනයා” එක්සත් කිරීමට සතුරෙකු අවශ්‍ය විය. නාසීන් යටතේ, එය යුදෙව්වන් තුල හුදෙක් එවැනි සතුරෙකු සොයා ගත්තේ, සමූලඝාතනයෙන් මියගිය යුදෙව්වන් මිලියන හයකට පමනක් නො ව, ජර්මනියේ හා මුලු යුරෝපයේ ම කම්කරු පන්තියට ද භයානක ප්‍රතිවිපාක ඇතිව ය.

අතීතයේ පාඩම් අමතක කල නො හැක. මානව ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනයන් සූදානම් කෙරුනේ විදේශික භීතිකාව සහ ජාතිකත්වයන් හා ජනවාර්ගික කන්ඩායම් යක්ෂයින් කිරීමෙනි.

මේ ආකාරයේ යක්ෂාවේශය ඉතිහාසය විසින් මේ වන විටත් ගර්හාවට ලක් කෙරුනු, මංමුලා සහගත පාලක පංතිවල අවසාන රැකවරනය යි. ඇමරිකානු ධනවාදය එහි අපරාධවලට පිලිතුරු දිය යුතු ය. ඇමරිකාවේ මිලියන භාගයක ජනතාවගේ මරනයට වගකිව යුත්තේ චීනයේ කම්කරුවන් නො ව ඇමරිකාවේ ධනපතියන් ය!

Loading