2021 ජනවාරි 26 වන දා 'සිලෝන් ටුඩේ' පුවත්පතේ පල වූ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය'ජාත්‍යන්තර උමං හා භූ ගත අවකාශ සංගමයෙන්' ඇගයීම් සහතිකයක් දිනාගෙන ඇත.
මෙම සහතිකය ලබා දීමේදී, ව්‍යාපෘතිය මෙහෙයවීමේ ආරක්ෂිත මූලධර්ම, ගැටලු මඟහරවා ගැනීම, පාරිසරික දූෂනය අවම කිරීම හා නිශ්චිත ජයග්‍රහන යන කරුනු සලකා බැලූ බව ද සඳහන් වෙයි. කෙසේ නමුත්, සැලකිල්ලෙන් මේ පිලිබඳව විමසන අයෙකුට පෙනී යනු ඇත්තේ, ඉහත ව්‍යාපෘතිය සිදු කෙරී ඇත්තේ සැලකිල්ලට ගත් ඉහත කරුනු වලට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධව බවයි.
'උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය' ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ 2008 වසරේ අප්‍රේල් මස අරඹන ලද්දේ, වැලිමඩ, පුහුල්පොල, මාතැටිල්ල ආදී ප්‍රදේශ වල මහජනයාගේ විරෝධතා නොතකමින්, ඔවුන් පාරම්පරික ඉඩම්වලින් පලවා හරිමිනි.
ව්‍යාපෘතියේ ප්‍රකාශිත අරමුන වූයේ, පුහුල්පොල දී උමා ඔය හරස් කොට ජලාශයක් ඉදිකොට එහි ජලය කිලෝ මීටර් 4ක් දුරින් පිහිටි මාතැටිල්ල ජලාශයට රැගෙන යාම, එහි සිට කිලෝ මීටර් 15.2ක් දිග උමගක් හරහා ඇල්ල කරඳගොල්ලේ ඉදිවන භූගත විදුලි බලාගාරයට ජලය සපයා එමගින් මෙගාවොට් 120 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සහ බලාගාරයෙන් බැහැර වන ජලය හම්බන්තොටට රැගෙන යන අතරමග දී මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් හා ජලාශ කීපයකට ජලය සැපයීම යි. දකුනේ හා නිරිත දිග වියලි කලාපයේ ඉඩම් අක්කර 5000කට ජලය සම්පාදනය කෙරෙනු ඇතැ යි ද ගනන් බලා තිබුනි.
මහජනතාවට විදුලිය හා ජලය සැපයීම යන කඩතුරාවට මුවා වී සිදු කෙරුනද මෙම ව්‍යාපෘතිය මූලිකවම ක්‍රියාත්මක කලේ හම්බන්තොට දිස්ත්‍රික්කය ජාත්‍යන්තර ප්‍රාග්ධන ආයෝජන කලාපයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය විදුලිය සහ ජලය ආදී යටිතල පහසුකම් වර්ධනය කිරීමේ අරමුනෙනි.
ව්‍යාපෘතිය හරහා හම්බන්තොට අන්තර් ජාතික ගුවන් තොටුපලට, වරායට, කර්මාන්ත පුරයට සහ තෙල් පිරිපහදුවට ජලය හා විදුලිය සැපයීම මෙන්ම, කෘෂිකාර්මික ආයෝජන සඳහා බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට ජලය සහ විදුලිය සම්පාදනය කිරීම සැලසුම්කර තිබුනි.
ව්‍යාපෘතියට ලබා දී ඇති ඇගයීම් සහතිකයේ ව්‍යාජභාවය පිලිබඳව, එය අරඹා වසර තුනක් ගතවූ තැන නිර්මානය කෙරුනු සමාජ සහ පාරිසරික ව්‍යසනය සාක්ෂි දරයි. ව්‍යාපෘතිය ඇරඹෙන්නේ 2014 දී වන අතර, 2015 වසරේ උමග තුලට සිදුවූ භූගත ජල කාන්දුව තත්පරයට ලීටර් 250ක් විය. දිනකට ලීටර් මිලියන 20ක් පමන වූ එය, 2016 දී මිලියන 40 දක්වා ඉහල ගියේ ය. 2017 දී දිනකට ජල ලීටර් මිලියන 86ක් පමන අපතේ ගියේ ය.
මෙය ජනජීවිතය සහ පරිසරය මත විශාල ව්‍යසනයක් පතිත කලේය. භූ ගත ජලය ඉවත් වෙමින් මුලු ප්‍රදේශයේ ම පාහේ ලිං සිඳී ගිය අතර, කුඹුරු බිම් පුපුරා ගියේ ය. ගොවි බිම් අක්කර දහස් ගනනක් වියලෙන්නට විය. ජල උල්පත් සිඳී යමින් සුවිසල් ජනකායකට පානීය ජලය අහිමි විය. බිත්ති ඉරිතැලී පසුව ක්‍රමයෙන් දෙ පලු වී නිවාස කඩා වැටෙන්නට පටන් ගැනින. මහ පොලොව ගිලා බැස ගැඹුරු අගාද නිර්මානය වී මහජනයා ට උන්හිටිතැන් පමනක් නොව ජීවනෝපාය ද අහිමි විය. දරුවන්ගේ අධ්‍යාපනයට ඉමහත් බාදා පැමිනුනු අතර, ඉරි තැලීම් හේතුවෙන් බන්ඩාරවෙල, මකුල්ඇල්ල පාසල වසා දමන්නට ද සිදු විය.
ව්‍යාජ පාරිසරික සමීක්ෂන වාර්තා ඉදිරිපත් කරමින්, මෙම ව්‍යසනය සිදු කෙරුනේ ප්‍රදේශවාසීන්ගේ පරිසරවේදීන්ගේ විරුද්ධත්වය මධ්‍යයේ ය. ශ්‍රි ලංකාවේ සිදු කල ව්‍යාපෘති වලින් වඩා ම පරිසර විනාශකාරී ව්‍යාපෘතිය ලෙස මෙය හැඳින්විය හැකි යැයි සමහර පරිසරවේදියෝ ප්‍රකාශ කලහ.
ජල කාන්දුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට අයත් හාලිඇල, වැලිමඩ උාව පරනගම, ඇල්ල හා වැල්ලවාය ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 7500 ක් පමන පීඩාවට පත් වූහ. නිවාස, දේපල සහ පාරිසරික ව්‍යසනයට විරුද්ධ ව මහජනතාව සටන් කරමින් වන්දි, නිවාස සහ ඉඩම් ඉල්ලන්නට පටන් ගත්හ.
නිවාස මුලුමනින් ම විනාශ වූ අයට කුලී නිවසක් සඳහා මාස 6ක කුලිය දෙන්නටත් අලාබ හානි වූ සියල්ලන්ට ම වන්දි ලබා දෙන බවටත් ආන්ඩුව පොරොන්දු විය. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ හෝ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ හෝ වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ හෝ එම මහජනයාගෙන් සුවිසල් සංඛ්‍යාවකට එකී සොච්චම් වන්දිය පවා ලැබී නොමැත.
ව්‍යාපෘතියට ලැබී ඇති 'සම්මානය' ගැන තම කෝපය පල කරමින් ඉන් පීඩාවට පත් ගොවියෙක් මෙසේ පැවසීය: '2014 පටන් කවරදාකවත් මුහුන දී නැති විශාල ප්‍රශ්න වලට අපිට මුහුන දෙන්න සිදුවුනා. ලිං හිඳිල, වගා බිම් ඉරි තැලිල, ගෙවල් පුපුරල මිනිස්සුන්ට ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වුනා.'
ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වයෙන් පැවැත්වූ විරෝධතාවන්හි නිස්සාරභාවය ඔහු මෙසේ විස්තර කලේය: 'ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්නල අපිත් එකතු කරගෙන පෙලපාලි ගියා ව්‍යාපෘතිය නතර කරන්න. ඒත් ආන්ඩුව ඒක නතර කලේ නෑ. දැන් වැඩ ඉවරවෙලා වෙන්න ඇති ඔය සම්මාන හම්බවෙලා තියෙන්නෙ. හැබැයි අපේ ප්‍රශ්න තාමත් විසඳිලා නෑ. සම්මාන ලැබෙන්න ඕන මිනිස්සුන්ට සහනයක් දුන්න දේකට නෙ.'
සැබැවින්ම ජවිපෙ මෙහිදී කලේ මහින්ද රාජපක්ෂ ආන්ඩුවට සහ ඉන්පසුව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව පැනනැගි මහජන කෝපය ඊනියා බලපෑම් යෙදීමේ විරෝධතා තුල දියකර හැරීමයි. දහස් ගනනක් ජනයා පෙලපාලිවලින් බන්ඩාරවෙල නගරයට පැමින පැවැත් වූ රැස්වීමේ දී ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න ඔවුනට හුරුපුරුදු පූච්චානම් භාෂාවෙන් ප්‍රකාශ කලේ 'මහජන බලය” ඉදිරියේ පාලකයන් දනගැස්විය හැකි බව සහ 'ජයග්‍රහනය තෙක් සටන නොනවත්වන' බව ය.
මේ පූච්චානම අතරතුර රැස්වීම් භූමියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවකට එකඟ වූ බව ප්‍රකාශ කෙරෙන ලිපියක් රැගෙන ඌව පලාත් ආන්ඩුකාරවරයාගේ ලේකම් පැමිනියේය. විද්‍යාරත්න මෙය ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින් විරෝධතා විසුරුවා හැර මහජනයාගේ අරගලය අවසන් කර දැමී ය. ජවිපෙ මහජන විරෝධය වාශ්ප කර දැමුවේ ඒ ආකාරයටය.
එක් දරු මවක් වූ අනුරාධා සඳහන් කලේ ගෙවල් වලට සිදුවූ හානි සඳහා තවමත් වන්දි ලැබී නොමැති බවයි. වන්දි ලැබූ බහුතරයකට විනාශයේ තරමට සෑහෙන වන්දියක් නොලැබුනු බව ද, 'මිනිස්සුන්ට සාධාරනයක්' සිදු නොවූ බව ද ඇය පැවසුවාය. 'අවුරුද්ද ම වැඩ කරල හම්බ කර ගත්ත ඉඩම්වල වැස්සොත් විතරයි දැන් වගා කරන්න පුලුවන්. කැලෑවට තමයි අනික් කාලෙට. මිනිස්සු මේ ඉඩම්වලින් තමයි ජීවිතේ ගෙනිච්චෙ. හැම දෙයක් ම කර ගත්තෙ.”
තවමත් ජල ප්‍රශ්නයට මුහුන දෙන ගෘහනියක් කියා සිටියේ, ලිං හරහා ජලය ලබා ගනිමින් සිටි තමන්ට දැන් බවුසර් හරහා ජලය ලබා ගැනීමට සිදුව ඇති බවයි. මෙම බවුසර් පැමිනෙන්නේ සතියකට පමනක් හෙයින් විශාල අර්බුදයකට මුහුන දීමට සිදුව ඇති බවත් ඇය සඳහන් කලාය. ආන්ඩුව නව ජල ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සඳහන් කර ඇතත්, එය 'පොරොන්දුවක් විතරක්” වී ඇති බව ඇය වැඩි දුරටත් සඳහන් කලාය.
මහජනතාවගේ සමස්ත ජීවිතය සහ පරිසරය මත එල්ල කර ඇති මෙම ව්‍යසනය ධනපති ක්‍රමයේ නිර්මිතයකි. උමාඔය ව්‍යාපෘතියෙන් ද අනාවරනය වී ඇත්තේ, කොවිඩ් වසංගතයත් සමග පැහැදිලිවම ප්‍රකාශයට පත් වී තිබෙන, මහජනතාවගේ ජිවිත වලට ඉහලින් සංගතවල ලාභ තැබීමේ ධනපති ක්‍රමයෙහි ව්‍යසනකාරී ප්‍රතිවිපාකයන් ය.
මෙය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ධනපති සමාගම්වල ලාභ අවශ්‍යතා වෙනුවෙන් පසුගිය දශක කීපය තුල විදුලිබල සැපයුමේ ඇතිකල වෙනස්කම් හේතුවෙන් දින ගනනාවක් පුරා විදුලිය බිඳවැටී පැවති ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිලියන 14 කට ආසන්න ජනතාවකට ශීත තත්වයන් යටතේ කිසිදු ආරක්ෂක පියවරයන් නොමැතිව ජීවිතයත් මරනයත් අතර සටනක නිරත වීමට සිදුව ඇත. කොවිඩ් වසංගතයට ධනපති පාලක පන්තීන් දැක්වූ සාපරාධී ප්‍රතිචාරයෙන් සහ මෙවන් ව්‍යසනයන්ගෙන් පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමය මහජනතාවගේ පැවැත්ම සඳහා මුලුමනින්ම අපොහොසත් තත්වයට පත්ව ඇති බවයි.
උමාඔය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කල යුත්තේ මහජන අවශ්‍යතාවන් සපුරාලීමේ අරමුනෙන් මිස ලාභය සඳහා නොවේ. එය මහජනතාවට හිතකර අයුරින් ඉතාමත් තාර්කිකව සැලසුම් කල යුතුය. නමුත් ධනේශ්වර ක්‍රමය යටතේ මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ ධනපති ලාභ අවශ්‍යතා මත ය. උමාඔය ව්‍යාපෘතියට සම්මාන සහතිකය ප්‍රදානය කොට ඇත්තේ ඒ පන්තති අවශ්‍යතාවෙනි.
වැඩි දුර කියවීමට ලිපි:
- දහස් සංඛ්‍යාත ජනයා ගොදුරු කර ගනිමින් උමාඔය ව්‍යාපෘතියේ පාරිසරික ව්‍යසනය තවදුරටත් පැතිරෙයි [2017 ජනවාරි 30]
- දැඩි මහජන විරෝධය හමුවේ උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව අත් හිටුවයි [2015 මාර්තු 06]
